ජාතික ජන බලවේගය 2024 වසරේ දී විශාල ජනතා ආකර්ෂණයක් දිනා ගත් නව දේශපාලන ප්‍රවාහයකි. ඒ වන විට සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වෙත එල්ල වූ අප්‍රසාදය සුලු පටු නැත. එහි දී ජනතාවට තිබූ විකල්පය ජාතික ජන බලවේගය යි. එහි තිඹිරිගෙය ජනතා විමුක්ති පෙරමුණ යි. එහි වූ මධ්‍යගත ක්‍රමවේදය හා මාක්ස්වාදී දේශපාලන දෘෂ්ටිවාදය ජාතික ජන බලවේගය තුළ දක්නට නොමැති අතර, ඒ වූ කලී එක්තරා ආකාරයක ප්‍රොතෙස්ත්‍රන්ත හෙවත් ප්‍රතිසංස්කරණවාදී දේශපාලන ව්‍යාපාරයක් ලෙස හදුනා ගැනීම වඩා සුදුසු ය. ඒ ප්‍රතිසංස්කරණවාදි ලිහිසි ප්‍රතිපදාව ම ජාතික ජන බලවේගයේ පරිහානියේ මූල බීජය ලෙස හදුනා ගත හොත් එහි ඇති වරදක් නැත.
ජාතික ජන බලවේග ආණ්ඩුව පිහිටුවා මාස හයක් ගිය තැන, සිය පිරිහීම නිරූපණය කරන මට්ටමකට පත්ව තිබේ. එහි ප්‍රථම ලිට්මස් පරික්ෂාව පළාත් පාලන ඡන්ද විමසීම විය හැකි ය. ධාතු වන්දනාව හුදු බුද්ධාලම්බන ප්‍රීතියකට වඩා දේශපාලන අරමුණු වලින් සමන්විත වූවක් බව බැහැර කළ නොහකි ප්‍රවාදයකි. මැයි දින සැමරුම ද සිය දේශපාලන ශක්තිමත් බව නිරූපනය කිරීමට යොදා ගත් ප්‍රදර්ශනවාදි හුදු අලංකාරිකයක් පමණි. පෙර අවස්ථාවල ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිවල පැවැති දැඩි සංවිධානාත්මක බව, විනය, සටන්කාමීත්වය වෙනුවට ආණ්ඩු බලය ගත් ජාතික ජන බලවේගයේ මෙවර මැයි දින සැමරුම ආණ්ඩු බලය පැවැති ඉකුත් සමයන්හි එක්සත් ජාතික පක්ෂය හෝ පොදුජන පෙරමුණ හෝ පවත්වන මැයි දින බජව්වක් හා සමාන ම වූයේ ය. 
ජාතික ජන බලවේගයේ නායකත්වය මෙම පිරිහීමට සෘජුවම සහ පූර්ණ වශයෙන් වග කිව යුතු ය. පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය පරිපාලනය කරන ටිල්වින් සිල්වාට ප්‍රතිසංස්කරණවාදී, මධ්‍ය-දක්ෂිණාංශික ජාතික ජන බලවේගය පාලනය කළ නොහැකි බව පැහැදිලි ය. පක්ෂයේ පදනම වු 3% දැඩි සෝදාපාලුවකට ලක්ව තිබෙන බව නිරූපණය වන්නේ ජාතික ජන බලවේගයේ විසූක දස්සන සමාජ මාධ්‍යවල සංසරණය වන ආකාරය නිරීක්ෂණය කරන විට ය. ජනතා විමුක්ති පෙරමුණ යනු විනයවාදී දේශපාලන ව්‍යාපාරයකි. නමුත් ජාතික ජනබලවේගය වෙතින් එම සංවිධිත විනයවාදී බව කිසි ලෙසකින් හෝ ප්‍රදර්ශනය නොවේ. ඔවුන්ට විනය යනු කොඩිවිනයකි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ නවත්වා ආහාර ගැනීම සහ මළ-මුත්‍ර කිරීම ජන බලවේග ක්‍රියාකාරින්ට අරුම නොවන්නට පුළුවන. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ කාඩරය වෙතින් මෙවැනි අවිනීත දේ කිසි ලෙසකින් හෝ අපේක්ෂා කළ නොහැකි ය. පැලවත්ත කාර්යාලයේ විනය හා සංයමය ජාතික ජන බලවේගයේ පෑල දොරින් පලා ගොස් ඇති බව පැහැදිලි ය. ටිල්වින් සිල්වාගේ පැලවත්ත කාර්යාලය දැන් මොනශොවික් (ජනප්‍රිය නොවු, කුඩා කණඩායම යන අර්ථය) පාර්ශවය වී ඇත. අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේග බොල්ෂෙවික් පාර්ශවය (ජනප්‍රියවාදී බහුතර කණ්ඩායම) ටිල්වින් පෙරලා ගෙන ඉදිරියට යමින් සිටී. එහෙත්, ඒ ගමන කෙටි බව නම් පැහැදිලි ය. ඒ තුළ විනීතකම සහ විනය නැත. එය ම ජාතික ජනබලවේගයේ ගමනක නිමාවක ආරම්භය වීමට පුළුවන.


යුතුකම 2025 මැයි කලාපයේ පළවූ පාඨක ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .