ලක්දිව උතුරුකරයේ පිහිටි ලක් පොළොවෙන් අතුරුදහන් වී ගිය පූජ්‍යස්ථාන පිළිබඳ සාකච්ඡා කිරීමට ලියැවෙන ලිපි මාලාවේ සිව්වැන්න ලෙස මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ යාපනයේ බෞද්ධ පුරාවස්තු වැඩි වශයෙන් ම විසිරී තිබූ ප්‍රදේශයක් වශයෙන් සැලකිය හැකි චුන්නාක්කම්හි පිහිටි එතරම් ප්‍රසිද්ධ නොවූ පුරාවිද්‍යා ස්ථානයක් පිළිබඳව යි. චුන්නාක්කම්හි පිහිටි නටබුන් ස්ථාන 4ක් පිළිබඳ පෝල් ඊ. පීරිස් මහතා වාර්තා කර තිබේ. ඒවා වන්නේ චුන්නාක්කම් දුම්රියපොළ අසළ දාගැබ, කොඩ්ඩියාවත්ත නටබුන් ස්ථානය, කදුරුගොඩ විහාරය සහ මෙම ලිපියෙහි කියවෙන මකයාපිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල අසළ නටබුන් ස්ථානය යන ස්ථාන සතරයි.
මෙහි දී කළ ගවේෂණයේ දී ප්‍රථමයෙන්ම ම හමුවන්නේ පොකුණක් අසළ තිබු පැරණි ප්‍රතිමාවක පාද කොටසකි. මේ වන විට මෙම ප්‍රතිමා කොටස යාපනය කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති අතර එම පුරාවස්තුවේ පාදයෙහි ඇති ආභරණ අනුව එය බෝසත් ප්‍රතිමාවක් බවට අනුමාන කෙරේ.
ඊට අමතරව මෙම ස්ථානයෙන් ලැබෙන පුරාවස්තු අතර බුද්ධ ප්‍රතිමා දෙකක නටබුන්, දාගැබක නටබුන් සහ පැරණි ගල් කණු, කණු මුල් ඇතුළු ගොඩනැගිලි නටබුන් වන බව පීරිස් මහතා වාර්තා කොට තිබේ.
මකයාපිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල ද, අසළ පිහිටි කුඹුරු ද ඉඩම් ඇතුළු භූමියත් ගවේෂණ සහ කැණීම් කටයුතු කරන පෝල් ඊ. පීරිස් මහතා ඇතුළු පිරිසට එක් බුදු පිළිමයක කැඩී ගිය සිරසක් ද, තවත් බුදු පිළිමයක දේහ කොටස් ද හමු වී ඇත. ඉහත පිළිම දෙකෙහි ම කොටස්වල ලෝහ කූරු එබ්බවීමට කළ සිදුරු තිබුණු බැවින් මෙම පිළිම කොටස් වශයෙන් සකසා එකතු කිරීම හෝ යම් විනාශයකට පසුව පිළිසකර කිරීම සිදු කර ඇති බව පීරිස් මහතා අනුමාන කරයි. කෝවිලට යාබද කුඹුරු යාය කෙළවර පිහිටි දාගැබ් වහන්සේ චුන්නාකම් දාගැබට සමාන ඊට වඩා විශාල වූවක් බව පීරිස් මහතා සඳහන් කරයි. දෙවැනි බුදු පිළිම වහන්සේ හමු වන්නේ මෙම දාගැබ් ගොඩැල්ලට මීටර් 9 ක් පමණ එහායින් පිහිටි ගල් කණු ආදියෙන් යුක්ත වු පරිශ්‍රයකිනි. එම පිළිම වහන්සේ මුණින් අතට පොළොවෙහි තැන්පත් වීම හේතුවෙන් එය නැවත හමුවන අවස්ථාව වන විටත් සිවුරෙහි රැළි හොඳින් ආරක්ෂා වී තිබූ බව කියවේ. දකුණු අත හමු වී නොමැති අතර වම් අත කැබලි වලට කැඩී ඇත්තේ පිළිම වහන්සේ බිඳ වැටීමේ දී බව අනුමාන කරයි.
අඩි 5.5 ක් පමණ උස මෙම පිළිම වහන්සේ හිඳි බුද්ධ ප්‍රතිමාවක් විය යුතු අතර බොහෝ විට සමාධි මුද්‍රාවෙන් නිරූපිත වූවක් විය යුතු ය. පිළිම වහන්සේ තැන්පත් කර තිබූ බව සැලකෙන මධ්‍යයේ මඳක් උස් වූ රවුම් පිහිටීමක් සහිත ගලක් ද, බොරදම් සහිත හුණු ගල් පුවරුවක් ද හමු වූ අතර එම හුණුගල් පුවරුවේ ගැඹුරු විශාල නෙරුමක් සහ නොගැඹුරු කුඩා නෙරුමක් වූ බව පීරිස් මහතා සඳහන් කරයි.
මෙම ප්‍රතිමාව පිහිටි ගොඩනැගිල්ල පිළිබඳව පීරිස් මහතාගේ වාර්තාවේ දැක්වෙන්නේ පහත පරිදි ය.
“high degree of sanctity which once attached to the place. The building in which it had been placed, so far as one can judge at present, consisted of a central nave running east and west with aisles to north and south. The ásana is at the western end and the image was placed facing the east with a verandah or passage behind it. The floor was reached at the depth of four feet and was found to be of thick concrete So far as the excavation has gone this floor measures 56 feet from east to west and 36 feet from north to south.”
ඒ අනුව මෙය ඉතාම වටිනා ප්‍රතිමාඝරයක් බව නොඅනුමාන ය. නමුත් එහි ලකුණකුදු අද වන විට දක්නට නොලැබේ. තවත් ගල් පුවරුවක් මෙම ප්‍රතිමා ගෘහයෙන් සොයා ගැනෙන අතර එහි ද පෙර සඳහන් කළ නෙරුම දක්නට ලැබුණි. මෙය මල් ආසනයක් ලෙස පෝල් ඊ. පීරිස් මහතා අනුමාන කරන අතර පෙර සඳහන් කළ පුවරුවේ නෙරුම වන්දනාකරුවන්ගේ අත් හා පාදයන් ගැටීම නිසා ඇති වූවක් බව එතුමාගේ අදහසයි.
මෙවැනි ම වූ නෙරුම් මුලතිව් කුරුන්දි විහාරයෙන් හමු වූ ආසන සිලාවේ ද අපට දක්නට තිබෙන අතර මේවා කුමක් නිසා සෑදුණු ඒවා ද යන්න නිශ්චිත නොවේ. යම් බෙහෙත් ඇඹරීමක් වැන්නක් බවට විද්වත් මත පළ වී තිබේ. අවසාන වශයෙන් මෙම කුඹුරු යායේ වූ ගල් කණු මණ්ඩි අසළ උළු තට්ටු රාශියක් වූ බව ද මෙම ලිපියේ දැක්වේ. පුරාවිද්‍යා කොමසාරිස් එම්. එච්. සිරිසෝම මහතා සන්සෝනි කොමිසමට ද මෙම ස්ථානය පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇති නමුත් මෙම ස්ථානය කුමක්දැයි වර්තමානයේ නිශ්චිත ව හඳුනාගත නොහැකි ය.
එය සොයාගිය අපිට ලිපියේ කියවෙන පිහිටීම ආදී කරුණුවලට සමාන වන ස්ථානයක් ලෙස මකයාපිඩ්ඩි ගමට යාබද ව, කදුරුගොඩ විහාරයට නොදුරු ව සන්දිලිප්පායි නම් ගම්මානයේ කල්වලෙයිහි පිල්ලෙයාර් කෝවිල දැකගැනීමට හැකි වුණි. කෙසේ නමුත් පරික්ෂාවකින් තොර ව නිගමනවලට එළැඹීම නුසුදුසු ය.
-විනුක විදාණපතිරණ
යුතුකම 2025 මැයි කලාපයේ පළවූ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .