![]() |
1948 මැයි මස 14 වැනි දින ඊශ්‍රායලය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කිරීමේ
අවස්ථාව. |
නූතන ඊශ්‍රායල් රාජ්‍ය බිහි වන්නේ 1948 මැයි මස 14 වැනි දින ය. ඊශ්‍රායලය බිහි වී මෙම වසරේ මැයි මාසයට වසර 77ක් සපිරෙන විට ඊශ්‍රායල් - පලස්තීන අර්බූධය නැවත වරක් උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. වත්මන් ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කවර විවෙචන තිබුණ ද, ඊශ්‍රායලය බිහි වීම යුදෙව් ජාතිකවාදයේ උච්චතම අවස්ථාව ලෙස සැලකිය හැකි ය. යුදෙව් ජාතිකවාදය යනු ලෝකයේ වඩාත් ශක්තිමත් ම දාර්ශනික පදනම සහිත ජාතිකවාදී ව්‍යාපාරය විය හැකි ය.
රටක් නොමැතිව ලොව පුරා විසිර සිටි යුදෙව් ජනතාව (යුදෙව් ඩයස්පෝරාව) වෙනුවෙන් රටක් නිර්මාණය කර ගැනීම අරමුණු කර ගත් යුදෙව් ජාතිකවාදී අදහස් ප්‍රධාන වශයෙන් වර්ධනය වන්නේ යුරෝපය කේන්ද්‍ර ගත කර ගෙන ය. වසර දහස් ගණනකට පෙර තමන්ට තිබුණේ යැ යි ප්‍රකාශ වන රට අහිමි වීම හේතුවෙන් විසිරී ලොව විවිධ රටවලට සංක්‍රමණය වූ යුදෙව්වන්, එම රටවල සංස්කෘතීන් සමග මුසු නොවී සිය වාර්ගික අනන්‍යතාව රැක ගැනීම සුවිශේෂී කරුණකි. ඕස්ට්‍රේලියාව හෝ වෙනත් යුරෝපීය රටක් හෝ වෙත සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයින්, ඉන්දියානුවන්, වැනි ජන කොටස් පරම්පරා දෙක තුනක් තුළ සිය අනන්‍යතාව නැති කර ගන්නා ආකාරය සමග මෙය සංසංදය කර බැලීම වටී. එමගින් පෙනී යන්නේ යුදෙව්වන් තුළ ඇති දැඩි ජාතිකත්ව (නොහොත් වාර්ගිකත්ව) හැඟීම යි. මේ හේතුව නිසා ම, යුදෙව්වන් කෙරෙහි යුරෝපීයයන් තුළ විරෝධාකල්ප පැන නැඟීම ස්වාභාවික ය. භාහිර පෙනුමින්, ඇඳුමින්-පැළඳුමින්, සිරිතෙන්-විරිතෙන්, ආගමින්, තමන්ට වඩා යුදෙව්වන් වෙනස් වීමත්, තම (යුරෝපීය) සංස්කෘතියට අවශෝෂණය නොවී, ඔවුන් සිය අනන්‍යතාව දිගට ම පවත්වා ගෙන යාම යුරෝපීයයන්ට රිසි නොවන්නට ඇත. මීට අමතරව යුදෙව්වන් ව්‍යාපාරික කටයුතුවල ශූරයින් වීම හේතුවෙන්, යුදෙව්වන් විසින් තමන් ආර්ථිකමය ලෙස සූරා කනු ලබන්නේ ය යන හැඟීම පොදුවේ යුරෝපීයයන් තුළ පැවතී ඇත.
යුරෝපීයයන්ගේ මෙම විරෝධාකල්පී අදහස් අතීත සාහිත්‍ය නිර්මාණ තුළින් පවා පිළිබිඹු වේ. මීට හොඳ ම උදාහරණයක් ලෙස විලියම් ශේක්ස්පියර්ගේ සුප්‍රකට "වැනීසියේ වෙළෙන්දා (The Merchant of Venice)" වේදිකා නාට්‍යය පෙන්වා දිය හැකි අතර, එහි "ෂයිලොක්" නම් චරිතයෙන් යුදෙව්වෙකු නිරූපනය වේ. තමාගෙන් ලබා ගත් ණය මුදලක් පියවීමට අපොහොසත් වීම හේතුවෙන් ණයකරුවාගේ සිරුරින් "මස් රාත්තලක්" ඉල්ලා සිටින ෂයිලොක්ගේ චරිතය එම නාට්‍යය තුළ නිරූපනය කර ඇත්තේ ඉතා දරුණු, සට-කපට, කලු චරිතයක් ලෙස ය. අනෙක් අතට මෙහි දෙබස් හරහා ෂයිලොක්ගේ වාර්ගිකත්වය නිතර නිතර මතු කොට දැක්වීමත්, ඉහත කී යුදෙව් විරෝධය ඉස්මතු වන්නක් ලෙස හඳුනා ගත හැකි ය. නට්‍යය තුළ ෂයිලොක් චරිතයෙහි දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් නම් ඔහුගේ සිතෙහි නිරන්තරයෙන් ඇති පළි ගැනීමේ චේතනාව යි. එකල යුරෝපයේ ණයට මුදල් ලබා දීම, ප්‍රධාන වශයෙන් ම යුදෙව්වන් අත පැවති ව්‍යාපාරයක් බවත්, ෂයිලොක්ගේ හැසිරීම සහ චරිත ලක්ෂණ පොදුවේ යුදෙව්වන් තුළ දක්නට ලැබුණු ලක්ෂණ බවත් අයෙකුට අනෙක් අතට තර්ක කළ හැකි ය. යුදෙව් සංස්කෘතිය සම්බන්ධයෙන් කතා කිරීමේ දී කුප්‍රකට "ඇසට ඇසක් - දතට දතක්" ප්‍රතිපත්තිය අපට අමතක කළ නොහැකි අතර, හානියේ ස්වභාවයට සමානුපාතිකව ඊට අදාළ දඬුවම තීරණය විය යුතු බව එයින් අදහස් වේ. යුරෝපීයනගේ මෙම යුදෙව් විරෝධයේ උච්චතම අවස්ථාව ලෙස හඳුනා ගත හැක්කේ, ආඩෝල්ෆ් හිට්ලර් විසින් මෙහෙයවන ලද යුදෙව් සංහාරය යි. මෙහි දී නාසි ජර්මනිය සිය යටත් රටවල විසූ යුදෙව්වන් කඳවුරු තුළට කැඳවා වද බන්ධනයන්ට ලක් කිරීමත්, ඇතැම් විට ඔවුන් විවිධ විද්‍යාත්මක පර්යේෂණ සඳහා යොදවා ගැනීමත්, අවසානයේ මරණයට පත් කිරීමත් සිදු කර ඇත. මෙම ක්‍රියාවන්ට එරෙහිව යුරෝපයේ පැන නැඟුණු විරෝධය හෙතුවෙන්, යුරෝපීයයන් තුළ යුදෙව් විරෝධය යටපත් වී, ඔවුන් කෙරෙහි අනුකම්පාව ඉස්මතු වී ඇත.
යුදෙව්වන්ට විඳින්නට සිදු වූ මෙම දුක් ගැහැට නිසා ම, අනුන්ගේ රටවල දෙවන ගණයේ පුරවැසියන් වනවාට වඩා, තමන්ගේ ම රටක් නිර්මාණය කර ගත යුතු ය යන හැඟීම පොදුවේ යුදෙව්වන් තුළ වර්ධනය වූවාට සැක නැත. මේ නිසා ම කාලාන්තරයක් තිස්සේ මතු වෙමින් තිබූ යුදෙව් රාජ්‍යය ප්‍රතිනිර්මාණය කර ගැනීම සම්බන්ධ යුදෙව් ජාතිකවාදී අදහස් වඩාත් තීව්‍ර විය. යුදෙව්වන්ගේ වාර්ගික විඥානය යුදෙව් රාජ්‍ය සංකල්පය හරහා ජාතික විඥානයක් බවට පරිවර්තනය කිරීම, එතෙක් බෝහෝ දුරට ලේඛනවලට පමණක් සීමා වී පැවති හීබෲ භාෂාව නූතන සංකල්ප ප්‍රකාශ කළ හැකි භාෂාවක් බවට පරිවර්තනය කර ගැනීම, යුදෙව් සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා කර ගැනීම, තමන් දෙවියන්ගේ තෝරා ගත් ජාතිය ය යන හැඟීම සහ "පොරොන්දු දේශය" යන සංකල්පය මෙම ජාතිකවාදී අදහස් වල කැපී පෙනෙන ලක්ෂණ විය.
යුදෙව් රාජ්‍යය බිහි කළ යුතු ස්ථානය සම්බන්ධයෙන් විවිධ මත පළ වී ඇතත්, ඉන් කැපී පෙනන අදහස වී ඇත්තේ ජෙරුසෙලම ආශ්‍රිතව එම රාජ්‍යය බිහි කළ යුතු ය යන අදහස යි. මෙම අදහස පොදුවේ "සයොනවාදය" ලෙස හැඳින්වෙන අතර, "සයොනය" යනු ජෙරුසෙලමට පර්යාය පදයක් ලෙස සැලකේ. මිට පදනම වී ඇත්තේ ඓතිහාසික යුදෙව් රාජ්‍යයේ අගනුවර ලෙස ජෙරුසෙලම සැලකීම යි. වත්මන් ඊශ්‍රායලයේ විශාලත ම සහා වාණිජ්‍යමය ලෙස වැදගත් ම නගරය ටෙල් අවීව් වුව ද, එහි අගනුවර ලෙස සැලකෙන්නේ ජෙරුසෙලම යි. ඒ සිය අගනුවර ජෙරුසෙලම බව පලස්තීනය ද ප්‍රකාශ කරන පසුබිමක ය. සයොනවාදය දර්ශනයක් ලෙස ගොඩනඟමින්, යුරෝපයේ පළමු සයොනවාදී සමුළුව 1897 දී පැවැත්වීමේ ගෞරවය හිමි වන්නේ, නාටන් බියන්බෝම් (Nathan Birnbaum) වෙත ය.
ඔහුගේ අදහස් දේශපාලනික ස්වරූපයකට වඩා සංස්කෘතික ස්වරූපයක් ගන්නා ලදී. එහෙත්, නූතන දේශපාලන සයොනවාදයේ පියා ලෙස සැලකෙන්නේ නීතීඥයෙකු මෙන් ම මාධ්‍යවේදියෙකු ද වූ තියඩොර් හර්ට්සල් (Theodor Herzl) ය. ඔහු විසින් ජර්මානු භාෂාවෙන් රචනා කොට 1896 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද "යුදෙව් රාජ්‍යය" (Der Judenstaat) නම් පොත් පිංච, නූතන සයොනවාදට අදාළ වැදගත් ම ලෙඛනය ලෙස සැලකේ. මෙහි දී යෝජනා කර ඇත්තේ යුදෙව් රාජ්‍යයක් ගොඩනඟා ගැනීම සඳහා වූ ප්‍රායෝගික වැඩ පිළිවෙලකි.
යුදෙව් ජාතිකවාදය ගැන කතා කිරීමේ දී වඩාත් සිත් ගන්නා සුළු මාතෘකාවක් වන්නේ හීබෲ භාෂාව නූතන අදහස් ප්‍රකාශ කළ හැකි භාෂාවක් ලෙස වර්ධනය කර ගැනීම ය. හීබෲ භාෂා පුනරුද ව්‍යාපාර 19 වන ශත වර්ෂයේ දී යුරෝපය තුළ ඇරඹුණු අතර, නූතන සංකල්ප ප්‍රකාශ කළ හැකි නව වචන හීබෲ භාෂා ප්‍රේමීන් විසින් නිර්මාණය කරන ලදී. පසුව පලස්තීනය තුළ ඇති වෙමින් තිබූ යුදෙව් කොලනි තුළ හීබෲ භාෂාව ඉගැන්වීමේ ව්‍යාපාර ආරම්භ කරන ලදී. ලෝකයේ විවිධ ප්‍රදේශවල සිට පලස්තීනයට පැමිණි යුදෙව් සංක්‍රමණිකයින්හට පොදු භාෂාවක් ලෙස, හීබෲ භාවිත කිරීමට මෙම ව්‍යාපාර හරහා අනුබල දෙන ලදී. ක්‍රමයෙන් එම ප්‍රදේශයේ පොදු භාෂාව ලෙස හීබෲ ප්‍රචලිත වූ අතර, එම භාෂාවෙන් ඉගැන්වීම් කරන පෙර පාසල් පවා ආරම්භ කරන ලදී.
යුදෙව් ජාතිකවාදී ව්‍යාපාර දෙස ආපසු හැරී බලන විට අපට නිරීක්ෂණය වන්නේ යුරෝපයේ එකළ පැවති යුදෙව් විරෝධය, යුදෙව් ජාතිකවාදයට උත්ප්‍රේරකයක් වී ඇති බව යි. එම ව්‍යාපාරයේ අනෙක් මූලික ලක්ෂණය නම් ඊට ඉතා ශක්තිමත් දාර්ශනික පදනමක් පැවතීම ය. එම දාර්ශනික පදනමින් ඔබ්බට ගොස්, ඒ මත පදනම් වූ ක්‍රියාකාරී සැලැස්මක් පැවතීම එහි ඉතාමත් වැදගත් ලක්ෂණය යි.
-නාරද බලගොල්ල
[යුතුකම සඟරාවේ මැයි කලාපයේ පළවූ ලිපියකි]
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .