ශ්‍රී ලංකාවේ ජනාවාස විකාශනය පිළිබඳ අවබෝධයක් ඇති සැවොම දන්නා කරුණක් නම්, බුදුදහම ලැබීමත් සමඟ අනුරාධපුරය මුල් කරගෙන විකාශනය වූ බුදුසමයේ සශ්‍රීකම බෞද්ධ ප්‍රබෝධය ඇති වූයේ අනුරාධපුරයෙන් උතුරු දෙසට වන්නට බවයි. ඒ මිහින්තලය මධ්‍යස්ථානය කරගනිමිනි. අදටත් වැඩිම බෞද්ධ පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවන්නේ ලංකාවේ අනෙක් පළාත්වලට සාපේක්ෂව මෙම කලාපයෙනි. එයින් වවුනියා දිස්ත්‍රික්කය සුවිශේෂී වේ.
උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයට අයත් නයිනමඩු වන රක්ෂිතය මධ්‍යයේ, අඩි 300ක් පමණ උසැති ලෙන් සහිත පර්වත භූමියක් වටා මෙම සුන්දර බෞද්ධ ආරාම සංකීර්ණය පිහිටා ඇත. මෙම ස්ථානය සඳහා මෑතකදී ‘වෙඩිකිනාරිමලය’ යන නම භාවිතා කිරීමට පටන්ගෙන තිබේ. එහෙත් මෙහි ඓතිහාසික නාමය ‘වඩ්ඩමාන පබ්බත විහාරය’ බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පෙන්වා දී ඇත. අනුරාධපුර යුගයේ මුල්ම කාලයට අයත්, රහතන් වහන්සේලාගේ පහසින් හෙබි මෙම වඩුන්නාගල විහාරයේ අඳුරු ශෝකාලාපය මෙසේ දිග හරිමි.
වඩුන්නාගල පිළිබඳ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ, මෙය ක්‍රි.පූ. 3-1 සියවස්වලට අයත්, වංශකතාවල මෙන්ම ශිලා ලිපිවල ද සඳහන් වන පුරාණ බෞද්ධ ආරාමයක් බවයි. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගේ මතය අනුව මෙම විහාරය නාග ගෝත්‍රිකයන්ගේ නිර්මාණයකි. මෙහි ඇති බ්‍රාහ්මී ගුහා ලිපිවල බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ලෙන් පූජා කළ බව පැහැදිලිව සඳහන් වේ. ඉන් එක් ලිපියක, "පරුමක පුෂමිතපුතෂ මහ ලෙනේ අගත අනගත චතුදිශ සඝස දිනේ" (ප්‍රමුඛ පුෂමිතගේ පුත් විසින් සිව්දිගින් පැමිණි නොපැමිණි මහා සංඝයාට මේ මහා ලෙන පරිත්‍යාග කරන ලදී) යනුවෙන් සඳහන් වේ. ක්‍රි.පූ. 2 වන සියවසේදී මහා සංඝරත්නය උදෙසා සඝසතු කොට මෙම ලෙන් පූජා කළ බව එහි ඇති ප්‍රධාන සෙල්ලිපි තුනක දැක්වේ. මෙම ලිපි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් කියවා, ‘Inscriptions of Ceylon – Volume I’ ග්‍රන්ථයේ ප්‍රකාශයට පත් කර ඇත.
විශේෂයෙන්ම පර්වතය මුදුනේ ස්තූප දෙකක නටබුන් පැවති අතර, ඒවා මුලින් සොයාගන්නා විට එක් ස්තූපයක් අඩි 46ක වටප්‍රමාණයකින් සහ අඩි 11ක උසකින් ද, අනෙක් ස්තූපය අඩි 21ක වටප්‍රමාණයකින් සහ අඩි 06ක උසකින් ද යුක්ත විය. මෙම ආරාමය වටා පුරාණ වැව් 11ක් හමුවීමෙන් තහවුරු වන්නේ, වඩුන්නාගල යනු හුදෙක් එක් විහාරයක් නොව විශාල පුරාණ ජනාවාසයක මධ්‍යස්ථානයක් බවයි. එම නටබුන් අතර කාලයාගේ ඇවෑමෙන් ගෙවී ගිය සිරිපා ගලක් සහ බුද්ධ ප්‍රතිමාවක කොටසක් ද හමු විය.
2010 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානය නැවත හඳුනාගෙන ලේඛනගත කරන අවස්ථාවේදී මෙහි තිබුණේ පුරාණ බෞද්ධ ආරාම අවශේෂ පමණි. එහි කිසිදු නව ගොඩනැගිල්ලක් හෝ වෙනත් ආගමික සංකේත තිබුණේ නැත.
නමුත් 2018 වසරෙන් පසු මෙම ස්ථානයට අතිශය කනගාටුදායක ඉරණමක් අත්විය. බ්‍රාහ්මී ලිපි සහිත ගුහාවල බිම් පුරවා, පර්වත මුදුනේ තිබූ ස්තූප විනාශ කර, නව දේව රූප ස්ථාපිත කරන ලදී. නයිනමඩු වනාන්තර සංරක්ෂිතය ද කපා දමා මුළු පුරාවිද්‍යා භූමියම ගිනිතැබීම ද සිදු විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම අනවසර ක්‍රියාවන්ට එරෙහිව 2019 සහ 2020 වසරවල අවස්ථා තුනකදී නඩු පවරා ඇත. මේ සම්බන්ධයෙන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර, එම නඩු තවමත් වවුනියා අධිකරණයේ පවතී. එහෙත් විවිධ බලපෑම් හේතුවෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට තොරතුරු අනාවරණය වේ.පැවති ස්තූප දෙකෙහි ගඩොල් ගලවා වෙනත් තැනක ගොඩගසා ඇති අතර, තිබූ සිරිපා ගල ද අතුරුදන් කර ඇත. සෙල්ලිපි මතට පිටතින් පස් ගෙනැවිත් දමා සමතලා කොට වසා දමා ඇත. වසර කිහිපයකට පෙර පූජාවක් පැවැත්විය යුතු යැයි පවසා ඔවුන් අනවසරයෙන් පඩිපෙළක් තනා පර්වතය මතුපිට තිබූ සියලුම විහාර අංග අතුරුදන් කොට තිබේ. ස්තූප පැවති භූමිය තුළ ශිව ලිංගයක් තබා එය කෝවිලක් බවට පත් කර ඇත. ඒ අනුව අද මෙය ‘වඩ්ඩමාන පබ්බත විහාරය’ නොව ‘වෙඩුක්කුනාරි ආදිලිංගේශ්වරර්’ කෝවිල බවට පත් කර තිබේ.
මෙහි වඩාත් කනගාටුදායක කරුණ වන්නේ, පුරාවිද්‍යා ස්ථානයක අනන්‍යතාව විනාශ කිරීම භෞතික විනාශයට සමානව බරපතල අපරාධයක් වීමයි. 1940 අංක 9 දරන පුරාවිද්‍යා ආඥා පනත අනුව, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව කිසිදු ආගමික කටයුත්තක් හෝ ගොඩනැගිල්ලක් පුරාවිද්‍යා භූමියක සිදු කළ නොහැක. ‘වඩුන්නාගල විහාරය’ බෞද්ධයන්ට පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම අයත් පොදු උරුමයකි.
තව ද, දෙමළ අන්තවාදීන් මෙම ස්ථානය කෝවිලක් ලෙස හඳුන්වමින් අන්තර්ජාලය සහ ගූගල් සිතියම් (Google Maps) ඔස්සේ ද වැරදි තොරතුරු ප්‍රචාරය කරමින් සිටී. වඩ්ඩමාන විහාරය ලෙස යමෙකු ගූගල් සිතියම්වල සලකුණු කළ ද, සංවිධානාත්මක පිරිස් විසින් එය වාර්තා (Report) කර ඉවත් කරවනු ලබයි. උතුර සහ නැගෙනහිර පළාත්වල පමණක් බෞද්ධ ස්මාරක 1600කට වඩා හඳුනාගෙන ඇති හෙයින්, නිල වශයෙන් මෙම ස්ථාන පිළිබඳ නිවැරදි තොරතුරු ගූගල් වැනි සමාගම් වෙත තහවුරු කිරීම සංස්කෘතික අමාත්‍යාංශයේ වගකීමකි. අද අප මෙම විනාශය හමුවේ නිහඬව සිටින්නේ නම්, හෙට තවත් පුරාවිද්‍යා ස්ථාන රැසකට මෙවැනිම ඉරණමක් අත්වනු ඇත. වඩුන්නාගල වැනි අගනා පුරාණ උරුමයන් ආරක්ෂා කිරීම සඳහා සමාජයේ සියලු දෙනාගේ හඬ සහ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. ජාතියක් වශයෙන් අනාගත පරපුරට උරුමයක් ඉතිරි කිරීමට නම්, අප අද අපේ උරුමය රැක ගැනීමට කැප විය යුතුය.
- නොනිත් ලක්නිදු කරසිංහ -
ජාතික උරුමයන් සුරැකීමේ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී සාමාජික, ඉතිහාස ගවේෂක, චිත්‍ර ශිල්පී, පාරම්පරික චිත්‍ර ශිල්පී තරුණ පදනමේ සභාපති
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama



0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .