ලක්දිව හෙළ සිතුවම් කලාවේ සුපැහැදිලි ගමන්මඟ ආරම්භ වනුයේ අනුරාධපුර රාජධානි සමයත් සමඟය. වංශකතා හා විදේශිකයන්ගේ දේශාටන වාර්තා මඟින් එදා පැවති සාම්ප්‍රදායික අග්‍රගන්‍ය සිතුවම් කලාව පිළිබඳ තොරතුරු රැසක් හමුවේ. දෙවනපෑතිස් රාජ්‍ය සමයේදී බුදුදහම මෙරටට වැඩම වීමත් සමඟ, දහම පැතිරවීමේ ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් ලෙස සිතුවම් කලාව උපයෝගී කරගත් බව මෙම වාර්තා මඟින් හෙළි වේ. බුද්ධ චරිතයේ විවිධ සිදුවීම් ඇතුළත් 'පෙතිකඩ' (රෙදි සිතුවම්) නිර්මාණයන්ගෙන් අනුරාධපුර මංමාවත් සරසා තිබූ බව ෆාහියන් හිමියන්ගේ වාර්තාවල සඳහන් වේ. එමෙන්ම ලෝවාමහාපායේ සැලැස්ම පෙතිකඩක එක්තරා හිමිනමක විසින් සිත්තම් කර තිබූ බව ද කියැවේ.
වැඩ අවසන් නොවූ රුවන්වැලි මහා සෑය නිම වූ පසු දිස්වන ආකාරය දුටුගැමුණු රජුට පෙන්වීම සඳහා සද්ධාතිස්ස කුමරු රෙදිවලින් සෑය සරසා සිත්තරුන් ලවා සිතුවම් කරවූ බව වංශකතාවල සඳහන් වේ. එමෙන්ම රුවන්වැලි සෑ ධාතු ගර්භයේ පන්සිය පනස් ජාතකයම සිතුවම් කර ඇති බව මහාවංශය සාක්ෂි දරයි. රුවන්වැලි මහා සෑයේ නැගෙනහිර වාහල්කඩින් හමු වූ සිතුවම් කොටසින් එදා අනුරපුර යුගයේ පැවති ශෛලිය පිළිබඳ වැටහීමක් ලබාගත හැකිය. මෙම සිතුවමෙහි අන්තර්ගත වූයේ මිනිස් මුහුණක් හා පක්ෂියෙකුගේ ශරීරයක් සහිත 'කිඳුරු' රුවකි. කිසියම් සිදුවීම් දාමයක් නිරූපණය කිරීමට එකල ශිල්පියා දැරූ උත්සාහයට මෙය කදිම නිදසුනකි. හෙළ අනන්‍යතාව සහිත සම්භාව්‍ය චිත්‍ර කලා සම්ප්‍රදාය වඩාත් ඔප්නැංවී පෙනෙන්නේ ක්‍රි.ව. 5 වන සියවසට අයත් සීගිරි සිතුවම් කලාවෙනි. අනුරාධපුර යුගයේ සුවිශේෂීම සිතුවම් හමුවන්නේ සීගිරියෙනි. කාශ්‍යප රජු දවස (ක්‍රි.ව. 5 වන සියවස) නිම වූ සීගිරි සිතුවම්, දේශීය ලක්ෂණයන්ගෙන් පිරි සම්භාව්‍ය කලාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඇති කදිම නිදසුනකි. මෙය ලෝකයා හමුවේ හෙළ කලාව ප්‍රදර්ශනය කරන ජාතික උරුමයකි. සීගිරි පර්වතය තම රාජධානිය කරගත් කාශ්‍යප රජු, අංග සම්පූර්ණ ආරක්ෂිත මෙන්ම අලංකාර බලකොටුවක් නිර්මාණය කළේය. පවුරු හා දිය අගල්වලින් වට වූ මෙම සංකීර්ණය අලංකාර උද්‍යාන, ජල තටාක හා ස්වයංක්‍රීය ජලමල් සහිත විසිතුරු නිර්මාණයකි. මෙම සියලු නිර්මාණ මධ්‍යයේ ප්‍රධාන පිවිසුම් මාර්ගය නිමවා ඇත. භූමියේ ස්වභාවික පිහිටීම විකෘති නොකොට සියලු නිර්මාණ සිදු කර ඇති අතර, සිංහ පාද ද්විත්වයක් මධ්‍යයෙන් ඉහළ මාලිගයට යා හැකි පියගැටපෙළ නිමවා තිබේ. සීගිරි රාජධානිය සියලු රාජශ්‍රීයෙන් අනූන වූ 'අහස් මාලිගාවක්' බඳු විය. කාශ්‍යප රජු සීගිරිය ආලකමන්දා පුරවරය සේ නිර්මාණය කොට එහි කුවේරයෙකු සේ රාජ්‍ය පාලනය කළ බව වංශකතා පවසයි. තිඹිරිවැව සෙල්ලිපියේ මෙය "කසබල අලකපය මහරජ" (කාශ්‍යප ආලකපය මහරජු) ලෙස පැහැදිලිව සඳහන් වේ.
සීගිරි පර්වතය මහාමේරු පර්වතය සේ සලකා ඒ මත ආලකමන්දා පුරය නිර්මාණය කරගත් කාශ්‍යප රජු, එම පුරය අහස් ගැබෙහි පවත්නා බව දැක්වීමට ඒ වටා ගැවසෙන වලාකුළු හා විදුලිය පර්වත බිත්තිවල සිතුවම් කළ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි. ඒ අනුව මෙම කාන්තා රූපවලින් 'මේඝලතා' (වලාකුළු) හා 'විජ්ජුලතා' (විදුලිය) නිරූපණය වේ. මෙම රූපවල ඇති රේඛා ලාලිත්‍යය තුළින් හෙළ සම්භාව්‍ය චිත්‍ර කලාවේ අග්‍රගන්‍ය බව විදහා දැක්වේ.
සීගිරි ශිල්පියා සිතුවම් ඇඳීමට පෙර ගල් තලය මත බදාමයක් ආලේප කළේය. වැලි, මැටි, දහයියා, මැලියම් හා සත්ත්ව ලෝම සංයෝග කිරීමෙන් තනාගත් බදාමය රළු ගල් තලය මත තවරා, ඒ මත හුණු බදාම ආලේප කර ඔපමට්ටම් කළේය. එම බදාමය වියළීමට පෙර සිතුවම් ඇඳීම 'ෆ්‍රෙස්කෝ බුවනෝ' (Fresco Buono) සම්ප්‍රදාය ලෙස හැඳින්වේ. එහෙත් මෑතකදී කරන ලද විද්‍යාත්මක පර්යේෂණවලට අනුව හුණු ආලේපය වියළුණු පසු ඒ මත සිතුවම් ඇඳ ඇති හෙයින්, මෙය 'ටෙම්පෙරා' හෙවත් 'ෆ්‍රෙස්කෝ සිකෝ' (Fresco Secco) සම්ප්‍රදායට අයත් බව විද්වතුන් පවසයි. වර්ණ බදාමයට උරාගෙන තිබීම හා මූලික රේඛා මැකීමට නොහැකි වීම නිසා මෙය බොහෝ කලක් ආරක්ෂා වී පවතී.
සීගිරි සිත්තරාගේ වස්තු විෂය වූයේ සුන්දර ලලනාවන්ගේ උඩුකය රූ සපුවයි. පුළුල් උකුල හා සිහින් ඉඟ පෙන්වා ඇති අයුරු කාව්‍යමය ලක්ෂණ පෙන්වයි. පියකරු මුහුණ, දිගටි නාසය හා කාන්තිමත් දෙනෙත් මෙම සිතුවම්වලට ජීවය සපයයි. ශිල්පියා යොදාගත් ආභරණ හා සැරසිලි මඟින් ලාලිත්‍යමය ස්වභාවය මතු වේ. සිතුවම් සඳහා රතු, අඳුරු කහ හා කොළ වර්ණ සමඟ සුදු හා කළු මිශ්‍ර කරගෙන ඇත. වර්ණ පූරණයෙන් පසු රුව වටා ප්‍රාණවත් රේඛා කරණයක් යොදාගෙන තිබේ. සිහින් හා පුළුල් ලෙස යොදා ඇති මෙම රේඛා සිතුවම්වලට ජීවයක් එක් කරයි. වේගවත් පින්සල් පහරවල් හා රේඛා භාවිතය තුළින් එකල සිත්තරා සතු වූ මනා සංයමය විදහා දැක්වේ.
සීගිරි සිතුවම් පිළිබඳ විද්වතුන් විවිධ මත පළ කර ඇත. සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ අඳුරු පැහැති රූපවලින් වලාකුළු (මේඝලතා) ද, රන්වන් පැහැති රූපවලින් විදුලිය (විජ්ජුලතා) ද නිරූපණය වන බවයි. ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතය වූයේ මොවුන් 'අප්සරාවියන්' (දිව්‍ය අප්සරාවන්) බවයි. එච්.සී.පී. බෙල් මහතා පැවසුවේ කාශ්‍යප රජුගේ බිසෝවරුන් හා සේවිකාවන් මල් රැගෙන පිදුරංගල විහාරයට යන ආකාරය මින් නිරූපණය වන බවයි.
සීගිරියේ කැටපත් පවුරේ ඇති 'සීගිරි කුරුටු ගී' තුළින් මෙම සිතුවම් පිළිබඳ තොරතුරු රැසක් හමුවේ.
එකල සීගිරිය නැරඹීමට පැමිණි රසිකයන්ගේ අව්‍යාජ සිතුවිලි කුරුටු ගී ලෙස එහි සටහන් විය. මීට අමතරව පර්වතය පාමුල ඇති ආසන ගුහාව, නයිපෙන ගුහාව හා චිත්‍රලතා ගුහාව තුළ ද සිතුවම් කොටස් හමුවේ. මේවා ලෞකිකත්වයට පමණක් සීමා නොවූ විවිධ තේමාවන්ගෙන් යුක්තය. අනුරාධපුර සිතුවම් කලාවේ මහිමය සීගිරියෙන් පමණක් නොව හිඳගල, ගොනාගොල්ල වැනි ස්ථානවලින් ද අනාවරණය වේ.
මෙම අග්‍රගන්‍ය සිතුවම් රැකගෙන අනාගත පරපුරට දායාද කිරීම සිත්තරුන් මෙන්ම පුරවැසියන් වන අප සැමගේම යුතුකමකි
-පසිදු ධර්මවංශ-
පාරම්පරික චිත්‍ර ශිල්පී තරුණ පදනමේ ලේකම් යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama




0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .