6/29/2015

මේ උවදුර හඳුනාගත යුත්තේ කෙසේද?

කතෘ:යුතුකම     6/29/2015   No comments

-ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

මානව සමාජය පන්තීන් ලෙස බෙදී ගිය මුල් අවධියේ සිටම අධිපතීහු, අධිපති කණ්ඩායම් හා බලවේග බිහිව සමාජය පාලනය කරන්නට වූහ. බලසම්පන්න අධිපතියෙක් හෝ අධිපති කණ්ඩායමක් හෝ යම් රටක බලය අත් කරගෙන තහවුරු කොට ගත් විට ආසන්න රාජ්‍යයන් සිය ග‍්‍රහණයට ගෙන අධිරාජ්‍ය ගොඩනැඟීම ඉතිහාසය පුරාම සිදුව තිබේ. අධිරාජ්‍ය ක‍්‍රමයේ මූලික අරමුණ යටත් කරගනු ලබන රටවල භෞතික මානව හා සංස්කෘතික සම්පත් අධිපති රාජ්‍යයේ පාලක පන්තීන්ගේ සුඛ විහරණය පැවැත්ම හා වර්ධනය සඳහා උපයෝගී කොට ගැනීමය. හැමවිටම පාහේ අධිරාජ්‍ය ගොඩනගනු ලැබුවේ අවි බලයෙන් හා හිංසාවෙනි. ඇතැම් විට ප‍්‍රයෝගකාරී ගිවිසුම් වැනි උපක‍්‍රමද භාවිත කරනු ලැබීය.
ඉතිහාසයේ විවිධ වකවානුවල සෑම භූමි කලාපයකම පාහේ අධිරාජ්‍ය ඇතිව නැතිව ගියේය. පර්සියානු, මැසිඩෝනියානු, රෝම, ඔටෝමන් තුර්කි, ගුප්ත, චෝල, පාන්ඩ්‍ය, ඔස්ත්‍රෝ හංගේරියානු අධිරාජ්‍ය එවන් සමහරකි. මානව වංශ කතාවේ නූතන අවධියේ අධිරාජ්‍ය ගොඩනංවනු ලැබූයේ පෘතුගාලය, ස්පාඤ්ඤය, ඕලන්දය, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය හා බෙල්ජියම ආදී බටහිර ජාතීන් අතලොස්සක් විසිනි. 1898 ඇමරිකානු ස්පාඤ්ඤ යුද්ධයත් සමඟ ඇමරිකා එක්සත් ජනපදයද අධිරාජ්‍ය තර`ගයට එක්විය.

අරමුණු හා ගොඩනැඟූ ආකාරය සමාන වුවද පැරණි අධිරාජ්‍ය හා බටහිර අධිරාජ්‍ය අතර තීරණාත්මක වෙනස්කම් රාශියක් තිබේ. බටහිර අධිරාජ්‍යවාදය ධනේශ්වර ක‍්‍රමයේ උපත හා වර්ධනය සම`ග වෙන්කළ නොහැකි අයුරින් බැඳී පවතින්නකි. එබැවින් බටහිර අධිරාජ්‍යවාදය ආර්ථීක දේශපාලන දෘෂ්ටියක් සහිතය. එය පැරණි අධිරාජ්‍ය මෙන් නොව මහද්වීප ඉක්මවා ව්‍යාප්ත වූවකි. බටහිර අධිරාජ්‍යවාදය ගොඩනැඟීම සහ පැවැත්ම සඳහා අවි බලයට අමතරව නූතන දේශපාලන මතවාද, සිය අණසක යටතේ පවත්නා අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, විද්‍යාව හා තාක්ෂණය, ජනසන්නිවේදන ඒකාධිකාරය, ආර්ථික ආධිපත්‍යය, බටහිර ජීවන රටාව හා සංස්කෘතිය වැනි මෙවලම් රාශියක් උපයෝගී කොට ගනී. මේ නිසාම පුර්ව ධනවාදී අධිරාජ්‍ය මෙන් ප‍්‍රබල අභියෝග හමුවේ අභාවයට නොගොස් අභියෝග ජය ගනිමින්, ම`ග හරිමින්, විකල්ප උපාය උපක‍්‍රම භාවිත කරමින් ලෝක බලවේගයක් ලෙස නොනැසී පවතින්නට බටහිර අධිරාජ්‍ය ක‍්‍රමය අද දක්වාම සමත් වී තිබේ.

බටහිරයන් ගොඩනැගූ ශී‍්‍ර ලංකාව ඇතුලූ සෘජු යටත්විජිත අධිරාජ්‍ය ක‍්‍රමය අභ්‍යන්තර හා බාහිර ප‍්‍රතිවිරෝධයන් සමූහයක සමුච්චිත ප‍්‍රතිඵලයක් ලෙස දෙවැනි ලෝක සංග‍්‍රාමය අවසානයෙන් පසු බිඳවැටෙන්නට විය. අද ලොව කිසි තැනක සෘජු යටත් විජිත නැත. එබැවින් අද අධිරාජ්‍යවාදයක් නැතැයි සාමාන්‍ය ජනයා පමණක් නොව වාමාංශිකයන් ඇතුළු බොහෝ විද්වත්හුද විශ්වාස කරති. එහෙත් එය එසේ නොවේ. යටත් විජිත අහිමි වන්නට පටන් ගැනීමත් සම`ගම අධිරාජ්‍යවාදය නව මුහුණුවරකින් යළි කරලියට පැමිණියේය. ශී‍්‍ර ලංකාව බඳු කුඩා හා ආර්ථික සහ යුධ ශක්තියෙන් දුබල රටවල් පමණක් නොව රුසියාව හා චීනය වැනි බලසම්පන්න ජාතීන් පවා අද මුහුණ දී සිටිනුයේ මේ නව අධිරාජ්‍යවාදයටය.

බටහිර ජාතීන් වර්තමානයේ අත්කරගෙන ඇති ඉහල ජීවන මට්ටම කරා ළ`ගා වූයේ හුදෙක් ස්වශක්තියෙන් නොව තම ග‍්‍රහණයට නතු කරගත් රටවල සම්පත් නිර්දය ලෙස කොල්ල කා ගැනීමෙනි. 1902 දී පළ කරන ලද ජෝන් හොබ්සන් විසින් රචිත ; imperialism – a study නැමති සම්භාව්‍ය ග‍්‍රන්ථය මේ සූරාකෑම කදිමට පැහැදිලි කරයි. දෙවැනි ලෝක සංග‍්‍රාමයේ අවසානයත් සමඟ ආරම්භ වූ නව යටත් විජිතකරණ කි‍්‍රයාදාමය නිසා මේ මහා සම්පත් සම්භාරය තමන්ට අහිමි වන බව දුටු අධිරාජ්‍යවාදීහු පැරණි යටත්විජිත තවදුරටත් සිය අවනත භාවයේ තබා ගැනීමට සැලසුම් සකසන්නට වූහ. මේ වකවානුව වනවිට ලෝක ධනේශ්වර ක‍්‍රමයේ නායකත්වය බි‍්‍රතාන්‍ය වෙතින් සියතට ගෙන සිටි ඇමරිකා එක්සත් ජනපදය නව අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේ පෙරමුණ ගත්තේය.

ලෝක බැංකුව, මූල්‍ය අරමුදල, වැනි සිය අණසක යටතේ පවත්නා ආයතන ම`ගින් අලූත නිඳහස දිනූ රටවල ආර්ථිකය හසුරුවන අතර තමන්ට අවනත නොවන රටවල් ඇතුළතින් අස්ථාවර කොට ජාතිකවාදී නායකත්වයක් සහිත ආණ්ඩු පෙරළා දමා රූකඩ ආණ්ඩු ස්ථාපනය නව අධිරාජ්‍යවාදී සැලැස්මේ මූලික උපායමාර්ගයක් විය. ගෝතමාලා (1952), ඉරානය (1953) ඉන්දුනීසියාව (1964) නිකරගුවා (1979) යන රටවල ආණ්ඩු පෙරළි ඊට නිදසුන් කීපයක් පමණි. එසේ වුවද එකල සෝවියට් දේශය නමින් බලසම්පන්න පසමිතුරු රාජ්‍යයක් තිබූ බැවින් නව අධිරාජ්‍යවාදී සැලැස්ම මුළුමනින්ම කි‍්‍රයාත්මක කිරීමට හැකි වූයේ නැත.

1991දී සෝවියට් දේශය බි`ද වැටිණි. සමාජවාදී රාජ්‍ය පද්ධතිය අභාවයට ගියේය. නව ලිබරල් ගෝලීයකරණය සමස්ථ පෘථිවියම වෙලා ගන්නට විය. ලෝකය පාලනය කිරීමේ නව අධිරාජ්‍යවාදී සැලැස්ම නව ජවයකින් කරළියට ගෙන එනු ලැබීය. තමන්ට අවනත නොවන ආණ්ඩු පෙරලා; දමා imperialism – a study රූකඩ ආණ්ඩු බලයට ගෙන ඒම එළිපිටම ඇරඹිණි. ඒකාධිපති පාලන ව්‍යූහයක් සහිත රටවල් ආක‍්‍රමණය කොට යටත් කරගනු ලැබීය. වෙනත් රටවල වර්ණ විප්ලව (colour revolution) දියත් කෙරිණි. තවත් රටවල වාර්ගික ගැටුම් අවුළුවා බෙදුම්වාදය පෝෂණය කරනු ලැබීය. විසිවැනි සියවසේ දෙවැනි භාගයේ සිට තුන්වැනි ලෝකයේ රටවල් රැුසක වර්ධනය වූ සන්නද්ධ බෙදුම්වාදය තමන්ට අවනත නොවන රාජ්‍යයන් අස්ථාවර කිරීම ස`දහා නව අධිරාජ්‍යවාදීහු ප‍්‍රධාන මෙවලමත් බවට පත්කර ගත්හ.

තිස් වසරකට ආසන්න කාලයක් තිස්සේ ඇදී ගිය එල්ටීටීඊ සන්නද්ධ බෙදුම්වාදය නිසා ශී‍්‍ර ලංකාව නව අධිරාජ්‍යවාදයේ පහසු ගොදුරක් බවට පත්විය. ශී‍්‍ර ලංකාව සිය අණසක යටතට ගැනීමට ඔවුන්ට අවශ්‍ය වනුයේ උපායමාර්ගික වැදගත්කමක් සහිත භූගෝලීය පිහිටීම් නිසා පමණක් නොව පෙර අපර දෙදිග නාවික වාණිජ මාර්ගයක කේන්ද්‍රයක්ද වන නිසාය. ශි‍්‍ර ලංකාවේ බෙදුම්වාදයට උදව් කොට දිවයිනේ ෆෙඩරල් හෝ වෙනත් ස්වරූපයක තවත් රාජ්‍ය ව්‍යූහයක් නිර්මාණය කළ විට දෙපිරිසම පාලනය කිරීමට තමන්ට හැකි වන බව බටහිර බලවත්තු මැනවින් දැන සිටිති. ඔවුන්ගේ අවශ්‍යතාව ශී‍්‍ර ලංකාව ඇතුළත හා පිටත ඊළාම්වාදීන්ගේ වුවමනාව සම`ග මනාව සැසඳිනි. අනෙක් අතට ශී‍්‍ර ලංකාවේ පය ගසා ගත් විට සිය ආර්ථික ආධිපත්‍යයට දැනටමත් අභියෝගයක් වී ඇති ඉන්දියාව හා චීනය අවුල් කිරීම අධිරාජ්‍යවාදීන්ට වඩා පහසුය.

එල්ටීටීඊ සන්නද්ධ ශක්තිය පවත්වා ගනිමින් හා වර්ධනය කරමින්ම වාර්ගික පදනමක් මත වෙනම රාජ්‍ය ව්‍යූහයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල 2001දී ආණ්ඩු බලය හිමිකරගත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා යටතේ පියවරෙන් පියවර ඉදිරියට යමින් තිබිණි. මේ අන්තරාය වටහාගත් ජනතාව 2004 මහ මැතිවරණයේදී ඔහුගේ ආණ්ඩුව පෙරළා දැමූහ. 2005 ජනාධිපති ධූරයට පැමිණි මහින්ද රාජපක්ෂ බෙදුම්වාදීන්ගේත් අධිරාජ්‍යවාදීන්ගේත් අපේක්ෂා භංග ඛරමින් ඔවුන්ගේ බලවත් විරෝධය මධ්‍යයේ එල්ටීටීඊය යුධමය වශයෙන් විනාශ කර දැමීය. සිය සැලසුම් ව්‍යර්ථ කළ රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැර තමන්ට කීකරු ආණ්ඩුවක් පත්කර ගැනීමට ඇමරිකාවට යුරෝපා සංගමයට හා ඉන්දියාවට අවශ්‍ය විය. රෙජීම් චේන්ජ් ව්‍යාපෘතියක් සැලසුම් කෙරිනි. මංගල සමරවීර එය හදුන්වන්නේ දේදුණු විප්ලවයක් ලෙසය. ව්‍යාපෘතියේ අරමුණු දෙකකි. ඒ බෙදුම්වාදයට ඉඩ සැලසීම සහ අධිරාජ්‍යවාදීන්ගේ නියෝග නොපිළිගත් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දඩ්‍රුවම් කිරීමය. ව්‍යාපෘතියට යහපාලන සළුපිළි අන්දවනු ලැබීය. පසුගිය රජයේ ඇතැම් පිළිවෙත් හා චර්යාවන් නිසා කළකිරී සිටි කොටස්ද යහපාලනයක් පතා ඡන්දය දුන්හ. ව්‍යාපෘතිය සාර්ථක විය.

දැන් යහපාලනය කෙසේ වෙතත් බෙදුම්වාදය ඉදිරියට යමින් තිබේ. ඒ කෙසේදැයි ඊළඟ ලිපියෙන් විමසා බලමු.

[Lanka Lead News වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි ]

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com