6/21/2015

චම්පිකලාගේ දේශපාලන අවස්ථාවාදය සහ බොදු බල සේනාවේ ඉදිරි මග කොයිබටද?

කතෘ:යුතුකම     6/21/2015   7 comments

පසුගිය ජනවාරි 8 වෙනිදායින් පසු දින 100 තුළම බොදුබල සේනා සංවිධානය හීන් කෙඳිරියක් හෝ නැගුවේ ඉතා කලාතුරකිනි. බදුර්දීන් දිගටම විල්පත්තු එළි පෙහෙළි කරමින් තිබිනි. බොදු බල සේනා සංවිධානය ඒ කරුණ සම්බන්ධයෙන් පුදුම එළවන සුළු නිහැඬියාවක් ප්‍රකට කළේය. මෛත්‍රීපාල ජනාධිපතිවරයා, පාඨලී ඇමතිවරයා සාමාජිකත්වය දරන ජාතික විධායක සභාවේ තීරනයක් අනුව දෙමළ බසින් ජාතික ගීය ගැයීමට අවසර දීම හේතුවෙන් ජාතිය භේද භින්න කිරීමට පාර කැපිනි. එය බොදු බල සේනාවට මාතෘකාවක් නොවිනි. යහ පාලන ආණ්ඩුව දිය වඩන නිළමේවරයා අත් අඩංගුවට ගැනීම පිළිබඳව මහා නායක ස්වාමීන් වහන්සේ පවා විරෝධය පළ කළහ. නමුත් ඥානසාර හිමියන් ඒ බවක් දන්නේදැයි නොදනිමි. උතුරේ හමුදා කඳවුරු එකින් එක ගැලවෙමින් තිබේ. බොදුබල සේනා සංවිධානය ඒ ගැනද නිහඬය. පසුගිය දා විජේදාස රාජපක්ෂ ඇමතිවරයා මේ රට සිංහල රටක් නොවන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කලේය. බොදු බල සේනා සංවිධානයේ ක්‍රමවේදයට අනුව මෙවන් කරුණක් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය වැටළිය යුතු වුවත් එවැන්නක් සිදු නොවිනි.

පසුගිය කාලය තුළදීම බොදුබල සේනා සංවිධානය කට ඇරියේනම් ඒ අවස්ථා දෙකකදී පමනි. ඉන් එකක් “අර බලු සේනා මේ බලු සේනා ආවොත් අපිට කියන්ඩ” යනුවෙන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා මහත්මිය කරන ලද ප්‍රකාෂයකට විරෝධය පළ කිරීමටයි. තමන්ව ඉලක්ක කර එක එල්ළේ කරනු ලබන චෝදනාවකට ප්‍රතිචාර දැක්වීම ඕනෑම සංවිධානයක හෝ පුද්ගලයෙකුගේ ස්වභාවයක් බැවින් (අනුර කුමාර දිසානායක මහතාට සහ පාඨලී චම්පික රනවක මහතාට මේ කරුණ අදාල නොවේ. විජේදාස රාජපක්ෂ මහතාගෙන් ගත්තායැයි කියන ලක්ෂ 25 පිළිබඳ චෝදනාවට අනුර කුමාර මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත. රාජිත සේනාරත්න මහතා හෙළිකරන පාටලීගේ ස්ථාවරය වන "ඔයාල පෙඩරල් දෙන්න, බලය බෙදන්න, ඔයාල කරගෙන යන්න, අපි (බොරුවට ) විරුද්ධ වෙන්නම්" යන්න සම්බන්ධයෙන් ඔහු මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත. ) චන්ද්‍රිකා මහත්මියට දැක්වූ ප්‍රතිචාරය එතරම් අරුමයක් නොවේ.

ඔවුන් හඬ අවධිකළ දෙවැනි අවස්ථාව මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන පිරිස් සංවිධානය කළ විරෝධතාවකට පටි නැති කොඩි ගෙනැවිත් ඇතිකළ අර්බුධ අවස්ථාවයි. ඒ පිළිබඳව මදක් කතා කළ යුතුය.

මා මුළ සිටම බොදු බල සේනාහි ක්‍රියාකාරිත්වය අනුමත කළ සහ අදත් එවන් සංවිධානයක පැවැත්ම යුක්ති යුක්ත කරන්නෙක්මි. මා මෙයට පෙරද මේ සම්බන්ධයෙන් "පාඨලීගේ මාධ්‍ය මාෆියාව අධ්‍යක්ෂණය කළ බොදු බල සේනා ව්‍යාපෘතිය" ලිපියෙහි කරුණු දක්වා ඇත්තෙමි.

නමුත් මෙතන ඇත්තේ බොදු බල සේනා නමින් පෙනී සිටින පිරිසේ අවංකභාවය පිළිබඳ ප්‍රශ්නයකි. එහි මුල් තැනක සිටින අතීත රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකු පිළිබඳව මුළ සිටම ගැටලු නොතිබුනා නොවේ. මෙම කොඩි සිද්දිය ඒ නොගැලපීම කරළියට පැමිනි මොහොතකි. මේ රටේ සිංහල බෞද්ධයාට කප්පරක් ප්‍රශ්න තිබේ. ඒ කප්පරක් ප්‍රශ්න, අසාධාරනයන් අතර එක් තැනක ජාතික කොඩියේ වර්ණ තීරු පිළිබඳ ප්‍රශ්නයද තිබෙන බව සැබෑවකි. නමුත් එය මේ මොහොතේ ප්‍රධාන හෝ තීරනාත්මක ප්‍රශ්නයක් නොවේ. අද රට තිබෙන්නේ පාට තීරු නොව ජාතික කොඩියෙන් සිංහයා ඉවත් වීමේ තර්ජනාත්මක මොහොතකය. එවන් අවස්ථාවක මේ කැලේ ප්‍රශ්න කරළියට ගෙනැවිත් ජාතියේ ඒකාග්‍රතාව බිඳ දමා මේ නැගීගෙන එන ජනතා පවුර කඩා විසුරවීමට උත්සාහ දැරීම සමාව දිය නොහැකි වරදකි. බොදු බල සේනා සංවිධානය ඒ පිළිබඳව වරදකරු විය. දින 100 නිහැඩියාව බිඳිමින් ඥානසාර හිමියන් නිදිගැට හැර අවධි වූයේ මේ සිදුවීම පදනම් කරගනිමින් මහින්ද රාජපක්ෂ මහතාට සහ එතුමාගේ පාර්ශ්වයට පහර දීමටයි. මාධ්‍ය සාකච්ඡා පැවැත්විනි. පුවත්පත් සාකච්ඡා පැවැත්විනි. මාධ්‍ය ප්‍රකාෂන පිටවිනි. බදුර්දීන්ගේ විල්පත්තු සංහාරය, ජාතික ගීය දෙකඩ කිරීම, උතුරේ හමුදා කඳවුරු ගැලවීම, ජාතික රූපවාහිනියට වැදුනු හිපියන් බෞද්ධයාට කරන ගැරහිලි කිසිවකට නොඇරුනු බොදුබල සේනාහි කට මහින්දට එරෙහිව විවර විය. ඒද වැදගැන්මකට ඇති කරුණක් සම්බන්ධයෙන් නොව ප්‍රමුකතා ලැයිස්තුවේ නොපෙනෙන ඈතක ඇති සිල්ලර ප්‍රශ්නයක් සම්බන්ධයෙනි.

එසේ ඇරඹි බොදු බල සේනාහි යහපාලන ගමන් මග අද වනවිට මහ මැතිවරණයට තරඟ කිරීම දක්වා විකසනය වී ඇත.

ඔවුන් වෙනම දේශපාලන ගමනක් ආරම්භ කරන්නේනම් හෝ දැනටමත් ගොඩ නැගී තිබෙන හෝ ඉදිරියේදී ගොඩනැගෙන දේශපාලන පෙරමුණකට එක්වන්නේනම් හෝ ඒ කවර පදනමකින් විය යුතුද? බොදු බල සේනා මෙතෙක් ක්‍රියාත්මක වූයේ සිංහල බෞද්ධයා වෙනුවෙන් ක්‍රියාකාරී වන සිවිල් සංවිධානයක් වශයෙනි. එසේනම් ඔවුන්ගේ දේශපාලනයද සිංහල බෞද්ධයාට වන අසාධාරනයට එරෙහි වූවක් විය යුතුය. නමුත් එවිට පැන නගින සරළ ප්‍රශ්නයක් ඇත. එම ප්‍රශ්නයට මෙතෙක් බොදු බල සේනාහි කීවෙක් පිළිතුරු දී නැත.

සිංහල බෞද්ධ රාජ්‍යයක් ස්ථාපිත කරන බවට සපත වෙමින් දේශපාලනයට එන පළමු සංවිධානය බොදුබල සේනා නොවේ. කලකට පෙර ජාතික හෙළ උරුමය බිහිවන්නේ ඒ අවශ්‍යතාවය වෙනුවෙනි. දැන් ඒ අවශ්‍යතාවය වෙනුවෙන්ම බොදු බල සේනාද දේශපාලනයට පැමිනෙන්නේනම් එහි අර්ථය බොදුබල සේනා සංවිධානය සිතන පරිදි හෙළ උරුමය තම මුල් භූමිකාවෙන් ඉවත් වී ඇතැයි යන්නද? එසේ ඉවත් වී ඇත්නම් බොදු බල සේනා සංවිධානය තම දේශපාලන ගමනට අත් පොත් තැබිය යුත්තේ හෙළ උරුමය මගින් ඉටු නොවූ එම අඩුව පිරවීමට බිහි වන පක්ෂයක් වශයෙනි. එසේනම් ඔවුන්ගේ පළමු කරුණ විය යුත්තේ සිංහල බෞද්ධ හම පෙරවාගෙන තවමත් දේශපාලනයේ රැඳී සිටින හෙළ උරුමයේ හෙළුව නිරාවරණය කිරීමයි. නමුත් අද වන තුරු බොදුබල සේනා වෙතින් එවැන්නක් සිදු වී නැත.

එසේනම් සිදුවිය යුතු දෙවැන්න බොදු බල සේනා ක්‍රියාත්මක විය යුත්තේ හෙළ උරුමයට සහාය දෙන දේශපාලන පෙරමුනක් වශයෙනි. එවැන්නක් අද වන තුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශකර නැතත් බොදු බල සේන හෙළ උරුමය විවේචනය නොකරන්නේනම් ඔවුන්ට වෙනත් විකල්පයක් නැත. එකම කරුණ සම්බන්ධයෙන් පක්ෂ දෙකක් බිහි වීමේ ඉඩක් දේශපාලනය තුළ නැත.

2014 පැවති ජාතික හෙළ උරුම සම්මේලනයේදී ප්‍රකාශයට පත් වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ එය සිංහල බෞද්ධ රාජ්‍යයක් ස්ථාපිත කිරීම දේශපාලන අරමුණ කරගත් පක්ෂයක් බවයි. නමුත් ඉන් මාස 8 කට පසුව මෙම වසරේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වන එහි නායක අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කරන්නේ හෙල උරුමය කිසි දිනක සිංහල බෞද්ධ පදනම මත බිහිවූ පක්ෂයක් නොවන බවත් එයට වඩා පුළුල් දේශපාලන දැක්මක් තම පක්ෂයට ඇති බවත්ය.

පාඨලී චම්පික රනවක ඇමතිවරයාද සිටින ජාතික විධායක සභාවේදී ජාතික ගීය දෙමළ බසින් ගැයීමට තීරණය කරන්නේ ඒ පුළුල් දැක්මට අනුව විය යුතුය. ගෝඨාභය අල්ලාගෙන සිටි ඉඩම් යැයි කියමින් උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම එම ඇමතිවරයාම යුක්ති යුක්ත කරන්නේ එම පුළුල් දේෂපාලන දැක්මට අනුව විය යුතුය.

ගිය වසරේ බොදු බල සේනා සංවිධානය විල්පත්තු වන සංහාරය දැක ගැනීමට ගිය නිරීක්ෂන චාරිකාවට සමගාමීව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන පාඨලී චම්පික රනවක ප්‍රකාශ කරන්නේ උතුරෙන් යුද්ධය හේතුවෙන් අවතැන් වූවන්ට අද වන විට උතුරු පළාතෙන්ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද ඉඩම් ලැබී ඇති බැවින් විල්පත්තුවෙන් නැවතත් ඉඩම් ලබා දීම වැරදි බවයි. එමෙන්ම ජාතිවාදී ලෙසින් කරන පදිංචිකිරීම් දැඩි ලෙසින් හෙළා දකින බවත් ඔහු පවසයි. ඉන් නොනැවතී විල්පත්තුවෙන් පමනක් නොව ජනවාර්ගික අනුපාතය විකෘති වන අයුරින් පුත්තලම දිස්ත්‍රික්කය තුළද පදිංචිකර ඇති මුස්ලිමුන් පවා ඉවත් කළ යුතු බව ඔහු පවසන්නේ බොදුබල සේනා සාමාජිකයන් අමන්දානන්දයට පත් කරමිනි. ඒ ගිය වසරේදීය. නමුත් රතන හිමි පවසන පරිදි අද වනවිට ඔවුන් පටු සිංහල බෞද්ධ පදනමින් ඉවත්ව පුළුල් දේශපාලනයකට අවතීරණය වී ඇත. ඒ පුළුල් දැක්මට අනුව අද පාටලී ඇමතිවරයා විල්පත්තුව පිළිබඳ පවසන්නේ ඉතා මට සිළිටි සමනල කතාවකි. ඔහු පවසන්නේ හම්බන්තොට නගරයද, අම්පාර නගරයද, බෙල්ලන්විලද ඉදිකර ඇත්තේ අභයභූමි තුළ බැවින් විල්පත්තු පදිංචිකිරීම් වල වරදක් නැති බවයි.

එපමනක් නොව පාඨලී සහ රතන හිමි ප්‍රමුඛ හෙළ උරුමයේ සිංහල බෞද්ධ ජාතිකවාදී මුහුනුවරද වෙස් මුහුණක් පමනක් බව රාජිත ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් සනාත වෙයි. ඔහු පවසන්නේ රතන හිමි ආදීන්ගේ සිංහල බෞද්ධ ජාතිකත්වය පොලිටිකල් (හුදෙක්ම දේශපාලන වාසිය පිණිස පවතින ) බවයි. එපමනක් නොව මේ ආණ්ඩුව කරන බෙදුම්වාදී සහ දෙමළ මුස්ලිම් ජාතිවාදී, සිංහල බෞද්ධ විරෝධී ක්‍රියාවන්ට එරෙහිව පාඨලී ඇමතිවරයා ප්‍රධාන හෙළ උරුමය දක්වන සිල්ලර විරෝධයද හුදෙක් දේශපාලන පැවැත්ම උදෙසා කරන රඟපෑමක් පමනක් බව රාජිත ඇමතිවරයා ඉතා පැහැදිලිව පවසයි.

කරුණු මෙසේ තිබියදී බොදු බල සේනා සංවිධානය හෙළ උරුමයත් සමඟ එක්ව මහ මැතිවරණයේදී කන දීගය කුමක්ද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි.

එක්කෝ බොදු බල සේනා සංවිධානය දේශපාලනයට පැමිනිය යුත්තේ හෙළ උරුමයේ මේ ව්‍යාජ සිංහල බෞද්ධ විරෝධී බල ලෝභී දේශපාලනය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පසුවය. හෙළ උරුමයෙන් ඉටු නොවන දේශපාලන අවශ්‍යතාවය ඉටු කිරීමට එවිට බොදු බල සේනා වෙත ඉඩ කඩ විවර වෙයි.

එසේ නැතහොත් බොදු බල සේනාද තම සිංහ හම උනා දමා හෙළ උරුමයේ සමනල දේශපාලනය තෝරාගත යුතුය. ඥානසාර හිමියන් මින් තෝරාගන්නේ කුමක්ද? උන්වහන්සේගේ හෙළ උරුමය පිළිබඳ නිහැඬියාව අපට ඒත්තු ගන්වන්නේ බොදු බල සේනාහි ස්ථාවරය මෙහි සඳහන් දෙවැන්න බවයි. බොබසේ ද හෙළ උරුමය සමඟ එක්ව සිංහල බෞද්ධයන්ට එරෙහි ව්‍යාජ දේශපාලනය තෝරාගෙන ඇති බව අපට අකමැත්තෙන් වුවත් පිළිගැනීමට සිදුවී ඇත.

මෙම රජය සිදුකරන සිංහල බෞද්ධ විරෝදී ක්‍රියාවන් සම්බන්ධයෙන් බොදුබල සේනා හි මරණීය නිහැඬියාව අපගේ එම නිරීක්ෂනය තවත් ශක්තිමත් කරයි. කහ සිවුරත්, සිංහයාගේ රූපයත් ඉදිරියට දමා ගෙන අද බොදුබල සේනා සංවිධනය ඉටු කිරීමට යන්නේ පාඨලී, රාජිත ආදීන්ගේ කොන්ත්‍රාත්තුවකි.

ළඟ එන මහ මැතිවරණයේදී දෙමළ සහ මුස්ලිම් ඡන්දවල හැසිරීම කාටත් රහසක් නොවේ. ඒ පැහැදිලිවම සිංහල බෞද්ධයාට, ජාතික ආරක්ෂාවට, රටේ ඒකීයත්වයට එරෙහි ඡන්දයකි. එසේනම් අපට ගොඩයා හැකි එකම ක්‍රමය සින්හල ඡන්ද එක් ගොඩකට ගොනු කිරීම පමනි. ඒ ගොඩ කිසි සේත් රනිල් වික්‍රමසිංහ මහතාගේ එජාපයනම් නොවේ. අද වන විට මෙම රජය මංගල සමරවීර හරහා කොටි සමඟ සාම සාකච්ඡා ආරම්භ කර ඇත. සාකච්ඡා කිරීමට කොටි කොහෙන්ද යන ප්‍රශ්නය කිසිවෙකු ඇසිය හැකිය. ඉතිරිවී ඇති කොටි එකා දෙන්නා එකතු කොට හෝ එය කිරීම ඔවුන්ගේ උපාය වී ඇත. ඔවුන්ගෙන් අපට වන සෙතක් නැත. දෙමළ මුස්ලිම් බෙදුම්වාදී ඡන්ද ඔවුන්ව පෝශනය කරනු ඇත.

එසේනම් අපට ඇත්තේ එම එජාප විජාතිකත්වයට එරෙහි බල කඳවුරට සහාය දිම පමනි. මේ ඡන්දයෙන් සිංහලයාට දිනා ගත හැකි උපරිමය එම කඳවුර කෙතරම් ශක්තිමත්ද යන්න මත තීරණය වේ. එසේ නොමැතිව බොදු බල සේනාව හෝ වෙනත් කිසිවෙකු හෝ කෙතරම් කෑගැසුවත් ඉන් සිංහලයාට සත පහක ප්‍රයෝජනයක් මේ ඡන්දයේදී අත් නොවනු ඇත. එය මනාව පැහැදිලි වන්නේ ගිය මැතිවරණයේදී ඉදිරිපත් කළ යහ පාලන ප්‍රෝඩාව සමඟ සැසඳිමෙනි. ඔවුන් සිංහලයාගේ ඡන්දය ගත්තේ ඡන්ද දායකයාව කප්පරක් සිහින මාලිගා තුළ සිර කරමිනි. නමුත් අද වන විට ඉන් ඉටු වී ඇත්තේ කුමක්ද? පාඨලී ඉන්නවනේ, රතන හාමුදුරුවො ඉන්නවනේ යනුවෙන් කීවද අද මේ රජයේ විජාතික ගමන්මග නතරකිරීමට ඔවුන්ට කළ හැක්කේ කුමක්ද?කරුණු එසේ තිබියදී බොදු බල සේනා අද උත්සාහ කරන්නේ මෙම නැගී ගෙන එන සිංහල ජාතික බලවේගය කඩා ඉන් කොටසක් බිලී බා ගැනීමටයි. ඔවුන්ගේ අවසන් අරමුණ රනිල් වික්‍රමසිංහගේ, සම්බන්ධන්ගේ, හකීම්ගේ සහ පැත්තක එල්ලුනු පාඨලීගේ රජයකි.
සංකේතාත්මකව ගතහොත් ඉදිරි මැතිවරණයේදී ඥානසාර-රතන-සෝභිත ත්‍රිත්වය යම් එකඟතාවක සිට ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුසාරයෙන් සුදු හැඳගත් හොර උපාසකයන් කිහිපදෙනෙකුට පාර්ලිමේන්තු වරම් ලැබුනද සිංහලයාට යන එනමං නැතිවනු ඇත. ඔවුන් කරකරන්නේ රොටිය නොවේ. මේ සිංහල ජාතියයි. සිංහලයා හැකිනම් ඒ රත්වූ කබලෙනුත් ලිපට ඇද දැමීම ඔවුන්ගේ අරමුණ වනු ඇත.

ඥානසාර හිමියන්ට උන්වහන්සේගේ වාග් චාතුර්යයට මම අදත් ගරු කරමි. එමෙන්ම උන්වහන්සේ තුළ අදටත් ජාතිය පිළිබඳ අවංක කැක්කුමක් ඇතැයි සිතීමට මම කැමැත්තෙමි. නමුත් මගේ ඒ ගෞරවය ඒ පැහැදීම රඳවාගැනීමට අවස්ථාවාදී හොර බෞද්ධයන්ගේ බළල් අතක් වී ඇති බොදු බල සේනාව අසමත් වේනම් මම කුමක් කරන්නද?

ඥානසාර හිමියනි, කමා කළ මැනවි! 
-විමුක්ති වනිගසේකර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

7 comments :

  1. "චම්පිකලාගේ දේශපාලන අවස්ථාවාදය සහ බොදු බල සේනාවේ ඉදිරි මග කොයිබටද?" -පිළිතුරු

    විමුක්ති වනිගසේකර නම්වූ කිරිසප්පයා වෙත ලියමි,
    පළමුව ඔබට පැවසිය යුතු කරුණනම් බොදු බල සේනාව ටෝයියන්ගේවත් බයියන්ගේවත් නොව මේ රටට සැබෑවටම ආදරය කරන දේශමාමකයන්ගේ සංවිධානය යන්නයි.
    විල්පත්තු වන විනාශය පිලිබදව මුලින්ම පසුගිය වසරේදී රටට අනාවරණය කලේ බොදු බල සේනාවය. එය ඔබ නොදනිනම් දැනගන්න නරබන්න. (https://www.facebook.com/OfficialBoduBalaSena/videos/vb.774472799239416/931196690233692/?type=3&theater)
    දෙවනවරට හිරු රුපවාහිනිය අනාවරණය කිරීමට සතියකට පෙර 2015 මාර්තු 31 වනදා වත්මන් ජනාධිපතිවරයාට බොදු බල සේනාව විසින් යවන ලද ලිපිය (http://www.bodubalasena.info/#!විල්පත්තු-විනාශකාරී-අපරාධය-හා-යහපාලන-රජයේ-රැකවරණ/c12hj/551b275d0cf21e26bac3fe23) මෙම ලිපිය මාධ්‍ය වෙතද යොමු කරන ලදී. ඒ සදහා බොදු බල සේනා විසින් කරන ලද මාධ්‍ය ප්‍රකාෂ (https://www.youtube.com/watch?v=Gj-SN7QCeJw ) ( https://www.youtube.com/watch?v=EdIannZXxRs). ඔබේ නොදැනුවත් කමට හෝ හිතාමතාම ඔබ වපුරන්නේ අසත්‍යයයි.

    ජාතික ගීය පිලිබදව ඥානසාර හිමියන් කරනලද ප්‍රකාෂවලට අදාල වීඩියෝ දර්ශන "youTube " හී "BBS Puwath " චැනලය වෙතින් ඔබේ දැනුවත්වීම සදහා ලබා ගන්නා මෙන් මම ඔබට ආරාධනා කර සිටිමි. දියවඩන නිලමේ වරයාගේ ක්‍රියා කලාපය 2013 සිට ඥානසාර හිමියන්ගේ විවේචනයට ලක්වුනුබව ඔබ නොදන්නවා විය නොහැක. බොදු බල සේනා යනු රාජපක්‍ෂවරුන් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති සංවිධානයක් නොවනබවද මා ඔබට අවධාරණය කර සිටිමි. පක්‍ෂ විපක්‍ෂ සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින ඕනෑම නායකයකු වෙනුවෙන් බොදු බල සේනා පෙනී සිටින බවද සදහන් කල යුතුමය.

    ඔබ අද කතා කරන උතුරේ කදවුරු ඉවත්කිරීම සහ වවුනියා සිංහල ගම්මානයේ අනාරක්ෂිත බව පිලිබදව බොදු බල සේනා සංවිධානය කතා කලේ පසුගිය පෙබරවාරී මාසයේදීය. ඊට අමතරව මේ පිලිබදව ආරක්ෂක අංශයේ ඉහල වගකිවයුතු අංශ ලිකිතව දැනුවත් කර සිටි අතර බොදු බල සේනා විරෝදයද ඔවුන් වෙත එල්ල කරන ලදි.

    ඔබේ කලින් ලිපිය සදහාද ජාතික කොඩියේ අර්බුදය පිලිබදව මා පිළිතුරු ලබා දෙන ලදී. ඔබ ලිපි ලියන්නේනම් ඒ සදහා ලබා දෙන පිළිතුරු කියවීමට නිහතමානී වන ලෙසත් එසේ නොවන්නේනම් මෙවැනි අසත්‍ය ලිපි ලිවීමෙන් වලකින ලෙසත් මා ඔබට සදහන් කිරීමට කැමැත්තෙමි.

    සිංහලේ ජාතික කොඩිය මහින්ද හිටපු ජනපතිවරයා වෙනුවෙන් සංවිධානය කරන ලද සියලුම රැස්වීම් සදහා රැගෙන ආ කොඩියකි. ඊට අමතරව පාර්ලිමේන්තුව අසල පැවති උත්ඝෝෂණය අවස්ථාවේදීද දක්නට ලැබුණි. මේ කිසිම අවස්ථාවකට බොදු බල සේනා සහබාගී නොවුනි. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවති උද්ඝෝෂණය පිලිබදව පමණක් ඔබ කතා කරන්නේ වරද බොදු බල සේනා මත පැටවීමට ඔබ දරන නින්දිත උත්සාහය මත බව නොතේරෙන්නට තරම් ඔබ වැනි කිරිසප්පයෝ සිටිය නොහැක.

    බොදු බල සේනා ඉදිරි දේශපාලනය පිලිබදව ඔබ දරන මතයට මම කිසිවක් නොකියමි. නමුත් ඔබට ඇති එකම ප්‍රශ්නය පමණක් මා දනිමි. එනම්

    මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිවරයා ඉදිරියේදී හකීම්,බදුර්දීන් ඇතුළු පිරිස ඔහුගේ වේදිකාවට ගොඩකරවිමෙන් ඔහුට අහිමිවන ජනතා මනාපය සදහා තුන්වන පාර්ශවයක් බිහිවී තිබීමෙන් රාජපක්‍ෂ ජනපතිවරයාට සිදුවන අවාසිය මදක් හෝ අවම කිරීමට බිහිවන ජාතික දේශපාලන පක්‍ෂය මඩ ගසා විනාස කිරීම සදහා ඔබේ කුස පිරවීමේ කුලිය වශයෙන් ඔබ මෙවැනි අසත්‍ය ලිපි සමාජගත කරයි.

    ReplyDelete
  2. මෙය මුලුමනින්ම අසත්‍ය කරුණු ගල් පැලෙන බොරු හා මෝඩ තර්ක පදනම් කරගත් ලිපියකි. ලියන්නෝ කෙසේ ලිවද කියවන්නෝ තණ බුදින්නෝ නොවේ. හැබැයි මේවා පල කරන්නෝ නම් මොන ජාතියේ උන් දැයි හිතා ගන්න අමාරැයි

    ReplyDelete
  3. මෙම ලිපියේ සාරාංශය බොදු බල සේනා සංවිධානය සහ පාඨලී චම්පික රනවක ප්‍රමුක සිංහල බෞද්ධයා රවටමින් රට විජාතිකයන්ට බිලිදෙන පිරිස් අතර මුවහත් වෙමින් පවතින එකඟතාවක් පිළිබඳව තර්කානුකූල විග්‍රහයකි. එසේ නොමැතිව බොදු බල සේනා සංවිධානය හෝ එය සමාජගත කරන මතය විවේඡනය කිරීම එහි අරමුණ නොවේ. බොදුබල සේනා සංවිධානයට සිංහල බෞද්ධයා ආරක්ෂා කිරීමේ සැබෑ වුවමනාවක් වේනම් ඔවුන් මෙම ව්‍යාජ ජාතිකවාදීන්ගෙන් තීරනාත්මක ලෙස වෙනස් විය යුතුය. එසේ නොමැතිව ඔවුන් සමඟ රෑ දනියෙල් දවල් මිගෙල් සබඳතා තබාගනිමින් සිංහලයා වෙත ජයග්‍රහන ලබා දිය නොහැක.

    ලිපිය විවේචනය කරන්නන් එම හරය තේරුම්ගෙන ඒ පිළිබඳව අදහස් දැක්විය යුතුය. එසේ නැතිව එහි අස් කොන් වල කොටස් අල්ලාගෙන කරන විවේචන ඵල රහිතය.

    ReplyDelete
  4. //එක්කෝ බොදු බල සේනා සංවිධානය දේශපාලනයට පැමිනිය යුත්තේ හෙළ උරුමයේ මේ ව්‍යාජ සිංහල බෞද්ධ විරෝධී බල ලෝභී දේශපාලනය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පසුවය. හෙළ උරුමයෙන් ඉටු නොවන දේශපාලන අවශ්‍යතාවය ඉටු කිරීමට එවිට බොදු බල සේනා වෙත ඉඩ කඩ විවර වෙයි.

    එසේ නැතහොත් බොදු බල සේනාද තම සිංහ හම උනා දමා හෙළ උරුමයේ සමනල දේශපාලනය තෝරාගත යුතුය. ඥානසාර හිමියන් මින් තෝරාගන්නේ කුමක්ද? උන්වහන්සේගේ හෙළ උරුමය පිළිබඳ නිහැඬියාව අපට ඒත්තු ගන්වන්නේ බොදු බල සේනාහි ස්ථාවරය මෙහි සඳහන් දෙවැන්න බවයි. බොබසේ ද හෙළ උරුමය සමඟ එක්ව සිංහල බෞද්ධයන්ට එරෙහි ව්‍යාජ දේශපාලනය තෝරාගෙන ඇති බව අපට අකමැත්තෙන් වුවත් පිළිගැනීමට සිදුවී ඇත.//

    ReplyDelete
  5. දින පොත හිස්ව තැබිය නොහැකි නිසා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සහ ලිපි ලිවීම එකකි. සමාජ ප්‍රශ්නයකට නායකත්වය සැපයියීම තවත් එකකි. සැබැවින්ම ප්‍රශ්නයකට අත පෙවීමෙදීද ලිපි ලිවීම සහ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම කළද, එසේ කල පමනින් ප්‍රශ්න නිරාකරනය නොවේ. බොදුබල සේනා ලිපියක් යැවූ පමනින් රජයක් ඊට අනුකූලව ක්‍රියා කරන්නේද? වැඩක් කරන විදිහ ජනවාරි 8ට පෙර බොදුබල සේනා ජනතාවට ප්‍රකට කර ඇත. ඒ අනුව බලදී පසුගිය දින 100තුළ බොදුබල සේනා නිදා ගැනීමට වැඩි දෙයක් නොකලේය. සැරයක් දෙකක් නින්දෙන් ඇහැරී වතුර එකක් බිවුවේ නැතැයි මම නොකියමි. නමුත් නින්ද ඔවුන්ගේ ප්‍රධාන ක්‍රියාව විය.

    ඔවුන් අද ඒ නින්දෙන් අවදි වන්නේ ඡන්දයට එනබව කියමිනි. එසේනම් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා විය යුත්තේ සිංහල බෞද්ධයා කඩේ යවන චම්පික නොවේද? ඒ පිළිබඳ නිහඬ වීමෙන් හෙළි වන්නේ බොදු බලය චම්පිකට කඩේ යන බවයි.

    එය එසේ නොවන බවට සාක්සියක් වෙත්නම් පෙන්වා දෙන්න.

    ReplyDelete
  6. ඉතින් ඕයි ඔය වැල් බයිලා ගහන්නේ නැතිව කියනවා බොදු බලේ බය ගෝතගේ ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි නම් උන් කරපු වැරදි වලට පහුගිය රජය නිතිය ක්‍රියාත්මක නොකළේ ඇයි? හරිම ලේසි උත්තරයක් තියෙන්නේ. මහින්ද සෙට් එක හිටියේ රනිල් එනකම් සිංහල චන්ද වලින් දිනන්න. දැන් ඉතින් කුමන්ත්‍රණ කතා විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. අව්ලක් නැහැ බොලාට ඉදිරි ජීවිත කාලෙම තියෙනවා කුමන්ත්‍රණ කතා කියකිය දරුවෝ නලවන්න.

    ReplyDelete
  7. ආණ්ඩුව බොදු බලයට මොකුත් නොකලෙ ඒක පාටලීගෙ වැඩක් නිසා. පාටලීල ඇතුලෙ ඉඳන් කුමන්ත්‍රන කලාට ආණ්ඩුව ඔවුන්ව විශ්වාස කළා. ඔයා ගෝඨ කතාව තමයි ඔයාල දිගටම ඉස්සරහට දාන්නෙ. දැනුත් ඒ බයිලාවමනෙ ගහන්නෙ. ඊයෙ පෙරේද වෙනකන්ම එහෙන් මෙහෙන් කිය කිය ප්‍රචාරය කළා ගෝඨ බොදුබලෙන් ඡන්දෙට එනව කියල. අන්තිමට ඒ මනුස්සයට විශේෂයෙන් කියන්න වුනා කිසි සේත් බොදු බලෙන් එන්නෙ නෑ කියල. ඊට පස්සෙනෙ ඒ බොරුව අකුල ගත්තෙ. එදත් එහෙම තමයි. ගෝඨ ගෝඨ කියකිය තමයි ගේම් එක ගහගෙන ගියේ.

    දැනුත් හදන්නෙ වැලේ වැල් නැතිවෙලා ඉන්න පාඨලීගෙ දේශපාලන අනාගතය ශක්තිමත් කරන්න. ඒ අයම කිවුවට පස්සෙ දැන් එයාල සිංහල බෞද්ධ පදනමෙන් ඉවත් වෙලා ඉන්නෙ කියල, දැන් ආයිමත් සිංහල බෞද්ධ කම ගාව ගන්න බෑනෙ. ඒ නිසා බොදු බලේ ඉස්සරහට දාල එයාගෙ ඉත්තො ටික උගත්තු බුද්ධිමත්තු කියල බොදු බලේ හරහා බස්සවන්න යන්නෙ. ඒක තමයි මොකාට මොන කතන්දරේ කිවුවත් බොදු බලේ තමන්ගෙ පාඨලී ලොකු අයියට විතරක් වචනයක් කියන්නෙ නැත්තෙ.

    බලල්ලු ලවා කොස් ඇට බෑවීම.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com