6/12/2015

පන්සලේ විප්ලවය

කතෘ:යුතුකම     6/12/2015   1 comment

ධර්මන් වික්‍රමරත්න ලියන මුරගල තීරු ලිපිය - 108
2015 ජුනි 12 සිකුරාදා

සිරිලක සිංහල බෞද්ධ ජන මනස බුද්ධාලම්භන ප්‍රීතියෙන් සනහාලන්නට පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධී පූජා 70 දශකයේ අග භාගයේ සහ 80 දශකය මුල්භාගයේදී සමත් වූහ. වික්ටර් රත්නායකගේ ‘ස' සංගීත ප්‍රසංගයද එකළ ජනප්‍රිය හෙයින් මිනිසුන් විසින් අතිශයින් ජනප්‍රිය අරියධම්ම හිමිගේ බෝධි පූජාව හැදින්වූයේ ‘බ' යනුවෙනි. 
පසුකලෙක බෞද්ධයෝ අන්ධානුකරණයෙන්  මිථ්‍යා දෘෂ්ටික දෙවියන් යෑදීම වැනි ක්‍රියාවන්වල නිරතවීමේ ඇති නිසරු බව පෙන්වමින් ගංගොඩවිල සෝම හිමියන්ගේ ධර්ම දේශනා ගම් නියම්ගම් කරා දහස් ගණනින් යුතුව පැතිර ගියේ විදුලි වේගයෙනි. මේවා හැමලින් නුවර නලාකාරයා පස්සේ මියෝ ටික ගියා වගේ මිනිසුන් ඔහේ ඉබාගාතේ ගිය වැඩසටහන් නොවේ. ඒවා අවසානයේ දැවැන්ත සමාජ පරිවර්තනයන් දක්වා මඟ විවර කළෝය.
වර්තමානයේ දිනූ දේශය රැකගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මෙහෙයවීමෙන් රටපුරා දැන් පැවැත්වෙන ආශිර්වාද පූජාද බොදු බැතියෙන් සහ සාදු නදින් ගිගුම් දෙනු ලබයි. මෙය පන්සලේ විප්ලවයකි. ලාංකීය අධිරාජ්‍ය විරෝධී සටනේදී සහ දේශප්‍රේමි අරගලවලදී තිඹිරිගෙය වූයේ පන්සලය. එය කිසිවෙකුට අකා මකා දැමිය නොහැක. යහපාලනයේ වට්ටක්කා චින්තනයට අනුව කොටි ඩයස්පෝරාවේ ඊළාම් සිහිනය වනසා දමන මහින්ද රාජපක්ෂගේ මෙම පන්සලේ විප්ලවය ගැරඬියාට භූමිතෙල් සේ දිස්වනු පෙනේ. එයට එරෙහිව අවි අමෝරා ගෙන යක්කු පමණක් නොව පෙරේත කුම්භාණ්ඩයෝත් එළියට පැමිණ පන්සලට අපහාස කරති. භික්ෂුවට ගරහති. ඒ සඳහා එජාපය වෙනුවෙන් වොයිස් කට් දෙන්නේ චූටි බබෙකු මෙන් දිස්වන අධ්‍යාපන ඇමති අකිල විරාජ්  සමගින් කළුතර බෞද්ධ පුරවරයෙන් පාර්ලිමේන්තුවට ආ ඇක්ටින් විදේශ ඇමති අජිත් පෙරේරාය.   
එජාපයට ඉතිහාසයේ ආරම්භයේ සිට කහ සිවුර අරහංය. පන්සල අකැපය. සිංහල භාෂාව සහ බුද්ධාගමේ ආරක්ෂාව පිණිස දිවි හිමියෙන් ක්‍රියාකරන බවට සිරිමා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට් හවුල 1968 ජනවාරි 8වැනිදා සත්‍යයග්‍රහයක් පැවැත්වීමෙන් පසු ගාලු මෝදර බලා ගිය පෙළපාලියට එජාප ආණ්ඩුව වෙඩි තැබීය. වෙඩි පහරින් දඹරාවේ රතනසාර හිමි අපවත් වූහ. කොල්ලුපිටියේ මංසන්දියේ වෙඩි වැදුනු තැන අදද දඹරාවේ හිමිගේ සිහිවටන ඵලකය දක්නට ඇත.
ජනාධිපති ජයවර්ධනගේ ආණ්ඩුව කාලේ මහනුවර ගැටඹේ  ලබුදුවේ සිරිධම්ම හිමියන්ගේ රාජෝපාරාම පන්සලට එරෙහිව  එජාපය කටු කම්බි ගැසුවේය. ඒ ශ්‍රිලනිප නායිකා සිරිමා බණ්ඩාරනායක වෙනුවෙන් සිරිධම්ම හාමුදුරුවෝ පෙනී සිටිමේ සහ එම පන්සලේ බෝධී පූජා පැවැත්වීමේ ‘වරදටය'. ගැටඹේ පන්සල ඉදිරිපිට සහ ඒ අවට කළු කොඩිද එජාපය මගින් එදා ඔසවා තිබිණි.
ගම්පහ සාම විහාරයේ නායක ආචාර්ය දරමිටිපොල රත්නසාර හිමියන්ගේ මෙහෙයවීමෙන් එම පන්සලේදී පැවැති පැවිදි හඬ සංවිධානයේ රැස්වීමක්ද එජාප ආණ්ඩුව මගින් පොලිස් අධිකාරි ප්‍රේමදාස උඩුගම්පොල ලවා තහනම් කළේය. එයට එරෙහිව දරමිටිපොල රතනසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් නඩුවක් පැවරූ අතර පෞද්ගලිකව මුදලින් වන්දියක් උන්වහන්සේට ගෙවන ලෙස පොලිසියේ උඩුගම්පොලට ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී නියෝග කළේය. එජාප ආණ්ඩුව උඩුගම්පොලට පොලිසියේ උසස්වීමක් ලබාදී උඩුගම්පොලගේ වන්දි මුදල ආණ්ඩුවෙන් ගෙවා දැමීය. මේ එජාපය පන්සලට ඇති ආලයේ තරමය.
වර්තමානයේ යහපාලනය මෙන් එදා 1977 එජාපය බලයට පත්වූයේ ධර්මිෂ්ඨ සමාජයක් ඇතිකරන බව කියමිනි. ධර්මිෂ්ඨ සමාජය ප්‍රෝඩාවක් බව කියමින් සිංහල බෞද්ධ අයිතීන් වෙනුවෙන් සිංහල බල මණ්ඩලය 1982 ජුලි 21වැනිදා කොළඹ 7 සමස්ත ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේදී 2,000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් රැස්විමක් පැවැත්වීය. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී සිංහල සංස්කෘතියේ  පිරිහීමට හේතුව ධර්මිෂ්ඨ සමාජයේ විවෘත ආර්ථිකය බව මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍ර එහිදී කියා සිටියේය. එජාප ආණ්ඩුවේ ආධාරකරුවෝ මහාචාර්ය සරචන්ද්‍රට පහර දී වේදිකාවේන් බිමට දමා ඔහුගේ මුහුණට සහ පපුවට පයින් ගසමින් ඇදගෙන ගොස් කානුවට දමන ලදී. සෝභිත හිමියන්ටද පහරදුන් අතර පනානේ විනයවංශ හිමි මාරක ප්‍රහාරවලින් බේරිමට සමත් විය.
වෙනසක් නැත. එජාපයේ ‘යහපාලන' ආණ්ඩුව අද යන්නේද එදා උරුලෑවා ගිය පාරේමය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පන්සල්වල ආශිර්වාද පූජා පැවැත්වෙන අවස්ථාවන්හි  එදා ජේ.ආර්.ගේ එජාප ආණ්ඩුව ගැටඹේ විහාරය ඉදිරිපිට එදා කළුකොඩි දැම්මාක් මෙන් මෙදා ‘යහපාලන' ආණ්ඩුවේ ආධාරකරුවෝ එම සෙල්ලමම කරති.  බස් ධාවනය නතර කරති. ශබ්දවාහිනී අවසරපත් තහනම්ය. විදුලිය විසන්ධි කරයි. ජලය කපා දමයි. ලොරි රථ නවතා සෙනඟට ඒමට නොහැකි සේ පාර අවහිර කරයි. එහෙත් මෙම බාධාකිරීම් නොතකමින් දහ දහස් ජනයා එයට සහභාගිවන්නේ එජාප ආණ්ඩුවල ජන්ම ගති වෙනස් නොවන ආරේ ගුණ නෑරෙන පුරුද්දක් ඇතිබව දන්නා නිසාය. පොලොන්නරුවේ ආශිර්වාද පූජාවන්ට විහාරස්ථාන 37න් 32ක හිමිවරුන් වැඩ සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනාගෙන් තිදෙනෙකු සහභාගි විය. පළාත් සභා මන්ත්‍රීවරුන් 8 දෙනෙකුගෙන් 6 දෙනෙකු එක්වී සිටියහ. පොලොන්නරුවේ දස දහස් ගණන් ජනයාද මෙයට එක්ව සිටියහ.
මහින්ද සුළඟ ගම් නියම්ගම් පමණක් නොව නගරයද වෙලාගන්නා බව දිස්වූයේ ඊයේ පෙරේදා ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පැවති සී.වී ගුණරත්න අනුස්මරණ උත්සවයේදීය. එයට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම තිබුණේ කුඩා රැස්වීම් ශාලාවකදීය. එජාප විරෝධී සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයින්ගේ හදවතේ ඇති ශ්‍රිලනිප හමුවේ ඩාර්ලි රෝඩ් ශ්‍රිලනිපය දැන් ඉණිමං දිගේ ඉහළට ගොස් පළමු කොටුවටම දැන් වැටී තිබේ.  ඩාර්ලි රෝඩ්හි බිල්ඩිමකට සීමාවූ ශ්‍රිලනිපය දැන් ‘බැක් ඉන් ස්ක්වෙයාර් වන්ය'.
මාතර නිල්වලා ජනගඟ පිටාර ගලන්නේ අදය. මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ සටන මොට කිරීමට මොන මාස්ටර් බ්ලාස්ටර්ලා ගෙන ආවද වැඩක් නැත. කුරුඳු පොලු හමුදාවට ඇපද නැත. මහින්ද සාධකය දැන් පොදු සාධකයකි. ඔහු සිංහල ජාතිකවාදයේ සංකේතයයි. මහින්ද රාජපක්ෂ බලමුළු ගැන්වූ නුගේගොඩ, නුවර, කුරුණෑගල රැස්වීම්වලට පැමිණ පිරිස ලක්ෂ ගණනකි. ඉතිහාසයේ කිසිම දිනක ඒසා විශාල ජනගඟක් එම නගරවල පැවති කිසිම රැස්වීමකට පැමිණ සිටියේ නැත. සමස්ත රාජ්‍ය බලය තිබියදී ඉකුත් ජනපතිවරණයේදී පැවති රැස්වීම්වලට වඩා  අතිවිශාල ජනකායක් වර්තමානයේදී මහින්ද වටා දැන් එක්වී සිටිති. රටේ බහුතරයට මහින්ද නැති අඩුව මාස කිහිපයකින්ම තදින්ම දැනී තිබේ. ත්‍රස්තවාදය, චෙක්පොයින්ට්, මායිම් ගම්මාන, බිම් බෝම්බ, මිනිස් බෝම්බ, ජොනි බට්ටෝ දැන් කෞතුකාගාරයට ගිය වචන සෙට් එකක් පමණි.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වසර 9 තුළ දින 3,285ක් නිමවන විටද සිටියේ ඇමතිවරුන් 106කි. ‘යහපාලන' ආණ්ඩුවට අදට දින 153කි. විද්‍යාත්මක පදනමක් මත පත්කරනවා යැයි කියූ එහි ඇමති මණ්ඩලය දැන් 82කි. එජාපයේ මන්ත්‍රීවරුන් 47 දෙනාගෙන්ම 40 දෙනෙක් ඇමතිවරුන්ය. කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය කුමන කාලේ, භාගේ කංකානම් ඇමතිකම්වූවද ලැබෙන වරප්‍රසාද සියල්ලම එක සමානය. ඒ අතරතුරදී චීනයේදී පැවති මීටර් 800 ලෝකඩ පදක්කමක් දිනූ නිමාලි ලියනාරච්චි කටුනායක ගුවන්තොටුපොලට ජුනි 8වැනිදා පැමිණ කටුනායක සිට හම්බන්තොට සූරියවැව සිය නිවසට ගියේ පොදු බස් රථයෙනි. ‘යහපාලන' ආණ්ඩුවේ ක්‍රිඩා ඇමති නවීන් දිසානායක ගේ කථාව දෝලාවෙන්ය. ගමන පයින්ය.
වැඩිහිටි පිංපඩිය පවා නිසිපරිදි ගෙවීමට නොහැකියැයි විපක්ෂ නායකවරයාම චෝදනාකල ‘යහපාලන' ආණ්ඩුව වැඩිහිටි දේශපාලඥයින් දෙදෙනෙකුටම සලකා ඇත. ඒ ශ්‍රිලනිප ජාතික ලැයිස්තුවෙන් පත්කල මන්ත්‍රීවරුන් වූ රත්නසිරි වික්‍රමනායකට සහ හිටපු අගමැති දි.මූ ජයරත්න දෙපළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජේෂ්ඨ උපදේශකයින් වශයෙන් ඊයේ සිට පත්කිරීමෙනි. හිටපු අගමැති දි.මූ ජයරත්න රෝගාතුරවූ අවස්ථාවේදී මහින්ද රජපක්ෂ ආණ්ඩුවද හොදහැටි සැලකුවේය. ඒ දි.මූ ජයරත්නට සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ මුදලින් රුපියල් ලක්ෂ 220ක ගනුදෙනුවක් ලබාදෙමිනි. දි.මූ ජයරත්නගේ නව ප්‍රවේශයත් සමඟම ගම්පොල අම්බුළුවාව කන්දේ අක්කර පහකින් යුත් විහාරයේ අයිතිය සම්බන්ධයෙන් එහි විහාරාධිකාරි යැයි කියූ සාන්තභද්‍ර හිමි දැමූ ගෝරියද අවසන්වීම ඔහුගේ සතුටට හේතුවනු ඇත.
‘යහපාලන' ආණ්ඩුවේ අලුත් ඇමති පත්කිරීම් සහ උපදේශකවරුන් පත්කිරීම අනුව සැබෑ වෙනසක් ඉල්ලූ ජනතාවට මරේ මරුය. දේශපාලඥයින් කන්ටේනර්වල බහා හෙරොයින් හොරෙන් ගෙනවිත් සිය ලේකම්වරුන්ගේ ලිපි මගින් නිදහස්කර දැමීමට දැරූ කුප්‍රකට ක්‍රියාවන්හි අපවාද වලින් මහින්ද රාජපක්ෂ දැන් නිදහස්ය. රේස් බයි රේස් සූදුව ඕකේය. ඉකුත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තම අඹුව හොරෙන් ගෙනයෑමට රජයේ දේශපාලනයෙකුට අනුග්‍රහය දැක්වූ බවට කසුන් වේලාරත්න කල චෝදනාවෙන්ද ඉකුත් ආණ්ඩුව දැන් නිදහස්ය. අධිවේගී මාර්ගයේ වාහන නිති කැඩීම නිසා දඩ කොලයක් ලියූ පොලිස් නිළධාරියාට බැනවැදී තර්ජනයකර පසුව පොලිස් නිළධාරියාගේ පෞද්ගලික වාහනයද ගිනි තැබීමේ චෝදනාවට ලක්වූ නියෝජ්‍ය ඇමතිවරයාද දැන් ‘යහපාලන' ආණ්ඩුවේද  නියෝජ්‍ය ඇමතිවරයෙකි. 

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නිකායන් 03කි. එම නිකායන් යටතේ ක්‍රියාත්මක වන පිළිගත් පාර්ශවයන් සංඛ්‍යාව 32කි. ලාංකීය වාමාංශික දේශපාලන පක්ෂ තුළද මුලසිටම දේශපාලන භික්ෂූන් ක්‍රියාත්මක වූහ. එය 1935 දෙසැම්බර් 18වැනිදා ලංකා සම සමාජ පක්ෂය ආරම්භයේ සිට සිදුවිය. ජනතාව මතවාදිව හැඩගැස්වීමෙහිලා භික්ෂූහු ඉතිහාසය ආරම්භයේ සිට මේ දක්වා  තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර තිබේ. 

මහින්ද රාජපක්ෂගේ පන්සල් යෑම ගැන ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ විවේචනයට ලක්වීම හාස්‍යජනකය. භික්ෂූන් සංවිධානාත්මකව විශාල වශයෙන් පක්ෂ දේශපාලනයට සම්බන්ධකරගත් සහ ජවිපෙ විප්ලවීය මූල කඳවුරු විශාල සංඛ්‍යාවක් පන්සල්වල සංවිධානය කළේද ජනතා විමුක්ති පෙරමුණය. වසර 1971 මෙන්ම 1987 ආරම්භ වූ ජවිපෙ දෙවැනි කැරැල්ලේද බොහෝමයක් පන්සල් කැරැල්ලේ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන බවට පත්වූ අතර ජවිපෙ ක්‍රියාකාරිකයෝ බොහෝමයක් යැපුනේද පන්සලෙනි. ජවිපෙට දුක සිතී ඇත්තේ තම පක්ෂය වසර 50ක් පන්සලේ කල දේශපාලනයට දැන් කණකොකා හැඩවෙන බැවිනි. 

මේ අනුව ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ අධිරාජ්‍යයට එරෙහිව හෝ මව්බිමේ නිදහස පතා විප්ලවය ඇරඹුණේ පන්සලෙනි. ශ්‍රී ලංකාවේ 19වැනි සියවසේ සිදුවූ ගොවිජන කැරළි පිළිබඳව අරගලයට නායකත්වය දුන්නේ පන්සලෙනි. 1816 සහ 1818 කැරළිවලදී ප්‍රධාන වැඩ කොටසක් කැරළි නායකයින් සමඟ ඉටුකරනු ලැබුවේ ඉහළගම රතනපාල ඇතුළු භික්ෂූන් විසින් පන්සල මුල්කර ගනිමිනි. එජාප ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ආශිර්වාද පූජා සදහා යන පන්සල් රාජදෝහී ස්ථාන ලෙස ඉදිරියේදී සලකන්නේනම් 1918 කැරැල්ලේදී හිරභාරයට ගත් අඹගොල්ලේ හිමි ඇතුළු පිරිසට බ්‍රිතාන්‍යයන් පැවසූ පරිදි ශ්‍රී ලංකාවේ ඇති සෑම බෞද්ධ පන්සලක්ම කුමන්ත්‍රණ ගුහාවකි. 

බ්‍රිතාන්‍යය ආණ්ඩුකාර ටොරින්ටන් විසින් 1848 අගෝස්තු 26වැනිදා කුඩාපොල හිමි සිවුරු පිටින් වෙඩිතබා ඝාතනය කල අතර එය පසුව ප්‍රතිවිපාක ගෙනදුන් ප්‍රබල සිද්ධියක් විය. මුද්‍රණ කම්කරුවන්ගේ 1893 වැඩ වර්ජනයට සහ දුම්රිය කම්කරුවන් 1912දී කල වර්ජනයට වෘත්තීය සමිති නායකයෝ වැඩකළේ පන්සලේ ක්‍රියාකාරි සහාය මතය. ලංකාවේ නිදහස් සටනේ පෙරමුණ ගත් අභීත යතිවරයකු වූයේ 1902 ජනවාරි 07 කුරුණෑගල උඩකැන්දවල ග්‍රාමයේදී උපන් උඩකැන්දවල සරණංකර හිමියන්ය. ලංකා කොමියුනිස්ට් පක්ෂය 1943දී පිහිටුවාගත් අවස්ථාවේදී එහි ආරම්භක සභාපතිවරයා වූයේද උන්වහන්සේය. නරාවිලි ධර්මරතන සහ දුම්බර පාලිත යන හිමිවරුන් ගොවි ජනතාව වෙනුවෙන් දේශපාලන වැඩකළේ  පන්සලෙනි. 

භික්ෂූන් සහ පන්සල දේශපාලනයට සම්බන්ධවීමට විරුද්ධව එකළද එජාපයේ දේශපාලනඥයින් වූ ඩී.එස්. සේනානායක සහ ආර්.ජී. සේනානායක සිය වාග් ප්‍රහාරයන් අද මෙන්ම  එල්ල කළෝය. විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂූන් වෙනුවෙන් කිරිවත්තුඩුවේ පඥ්ඥාසාර හිමි එයට පිළිතුරු දුන්නේ භික්ෂූන් සහ දේශපාලනය යන මැයෙන් 1946 පෙබරවාරි මස නිකුත් කල ප්‍රකාශයෙනි. එහි මෙසේද සඳහන් විය. “....මනුෂයින්ගේ යහපත සදහා කරන සෑම වැඩසටහනක්ම දේශපාලනයට අයත්ය. රටවැසියන්ගේ යහපතට හේතුවන යම් වැඩපිළිවෙලක් වේනම් එහි නම දේශපාලනය හෝ කුමක් හෝ වේවා එහි යෙදීම භික්ෂූන්ට සුදුසුමය. එපමනක් නොව රටවැසියන්ගේ දියුණුවට බාධා කරන කරුණුවලට විරුද්ධව ක්‍රියාත්මකවීමද භික්ෂූන්ට අයත්ය...."


 දැන් සිදුවන පන්සලේ විප්ලවය කිසිසේත් නරක ආදර්ශයක් නොවේ. රටවැසියන් වෙනුවෙන් පන්සලත් භික්ෂූනුත් අතීතයේ මෙන්ම මෑත කාලයේත් පෙනී සිටි පූර්වාදර්ශයන් බොහෝමයකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිනූ දේශය රැක ගැනීම සඳහා ජනතාව සමඟ පන්සල් යෑම භික්ෂූන්, ජනතාව සමඟ සමීප සබඳකම් පවත්වන තාක්කල් කිසිවෙකුට එය වැලකිය නොහැක. 'යහපාලන' ආණ්ඩුවට එය ඉරටු දුන්නෙනුත් ඇස් කණ වෙනවා වගේ වැඩක්ය. 
ධර්මන් වික්‍රමරත්න - ejournalists@gmail.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. පැවිදි හඩ නඩුව පිළිබඳව තවත් තොරතුරු දැන ගැනීමට අවශ්‍යයි .

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions