6/12/2015

ග්ලයිෆොසේට්‌ තහනමේ ඇත්ත සහ නැත්ත

කතෘ:යුතුකම     6/12/2015   2 comments

පසුගිය සති කිහිපයක කාලයේ මෙරට සහ "නොරට වසන මෙරටට සබඳතා ඇති" උගතුන් ගේ සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන මාතෘකාවක්‌ නම් "ග්ලයිෆොසේට්‌ තහනම"යි. ග්ලයිෆොසේට්‌ යනු වල් නාශකයකි ත මිනිසා විසින් කෘත්‍රිම ලෙස නිපදවන ලද රසායන ද්‍රව්‍යයකි ත ශ්‍රී ලංකාවේ මෙන්ම මුළු ලෝකයේ ම ගොවිතැන් කටයුතු සඳහා යොදන ප්‍රධානතම රසායන ද්‍රව්‍යයයි. බටහිර විද්‍යාව නිපදවූ විස්‌මයජනක රසායන ද්‍රව්‍යයක්‌ ලෙස බටහිර කෘෂි විද්‍යාඥයෝ ග්ලයිෆොසේට්‌ හඳුන්වති. ආරම්භයේ දී මේ රසායන ද්‍රව්‍යයට පේටන්ට්‌ අයිතිය ලබාගත්තේ කිවුල ඉවත් කරන රසායන ද්‍රව්‍යයක්‌ ලෙස ය. ඒ 1964 වසරේ දී ය. පසුව 1969 වසරේ දී ඇමෙරිකා එක්‌සත් ජනපදයේ මොන්සැන්ටෝ සමාගම වල් නාශකයක්‌ ලෙස ග්ලයිෆොසේට්‌ සඳහා පේටන්ට්‌ අයිතිය ලබාගත්තේ ය. (මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 2014 ජනවාරි 29 විදුසර බලන්න).

දැන් ලංකාව තුළ ග්ලයිෆොසේට්‌ සාමාන්‍ය ගොවිතැන් කටයුතු සඳහා තහනම් ය. එහෙත් බොහෝ දෙනාට මේ තහනමේ සැබෑ තත්ත්වය පිළිබඳ අවබෝධයක්‌ නැති බව පෙනේ. වඩා බැරෑරුම් තත්ත්වය නම් ග්ලයිෆොසේට්‌ හෝ එහි තහනම ගැන හරිහැටි නො දැන ඔවුන් පුවත්පත්වලට, වෙබ් අඩවිවලට ලිපි ලේඛන ද සැපයීමයි. මේ ඇතැම්හු විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු වෙති. සමහරක්‌ කෘෂි රසායන සමාගම්වල තනතුරු තානාන්තර දැරුවාහු ය ත තවමත් දරන්නෝ ද වෙති. කිහිප දෙනෙක්‌ ලංකාවේ උපත ලබා වසරකට හෝ වසර කිහිපයකට වරක්‌ සිය නිවාඩුවට පමණක්‌ මේ සිරිලකට පැමිණෙන විදේශගත උගත්තු ය. පොදු වශයෙන් ගත් කල මේ අය ලිපි ලියන්නේ ඉංගි්‍රසි පුවත්පත්වලට සහ ඉංගී්‍රසි භාෂාවෙන් පළ වන වේබ් අඩවිවලට ය. ඉඳහිට සිංහල පුවත්පත්වලට ද ලියති.

අදින් සති 2කට පමණ පෙර රටේ ජනාධිපතිතුමා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක දී ප්‍රකාශ කළේ ග්ලයිෆොසේට්‌ භාවිතය මෙරට මුළුමනින් ම නැවතූ බවත්, මේ තීරණය දැනගත් පසු ඇතැම් සමාගම්වල නියෝජිතයන් කිහිප දෙනකු තමාට එදින උදැසන කතාකර දැනට ලංකාවට ගෙන්වා ඇති ග්ලයිෆොසේට්‌ ප්‍රමාණය හෝ විකුණාගැනීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටි බවත් ය. එහෙත් මෙරට ජනතාව වස විසෙන් මුදාගැනීමේ අරමුණ පෙරදැරිව තමා එකී ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළ බව ජනාධිපතිතුමා පැවසී ය. මේ හා සමගාමී ව කැබිනට්‌ මණ්‌ඩලයට සංදේශයක්‌ ඉදිරිපත් කළ කෘෂිකර්ම ඇමතිතුමා ග්ලයිෆොසේට්‌ තහනමට අදාළ යම් යම් කාරණා කිහිපයකට අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය අපේක්‌ෂා කළේ ය. සැබැවින් ම ජනාධිපතිතුමා ග්ලයිෆොසේට්‌ තහනම් කළේ ද? එසේ නම් ඒ ඇයි? පෙර කී අමාත්‍ය මණ්‌ඩල සංදේශයේ සඳහන් වූයේ කවරේ ද? ග්ලයිෆොසේට්‌ දැනට රට තුළ භාවිතය නැවතී ඇති ද?
ශ්‍රී ලංකාව තුළ ග්ලයිෆොසේට්‌ තහනම පිළිබඳ මුල් වරට සංවාදය ඇරඹෙන්නේ 2012 වසරේ දී ය. 2012 නොවැම්බර් මස 22 දින පැවැති "රජරට වකුගඩු රෝගය හා කෘෂි රසායන ද්‍රව්‍ය" පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව මගින් මේ පිළිබඳ සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට 10 දෙනකු ගෙන් යුත් විද්වත් කමිටුවක්‌ පත් කරන ලදි. එහි සභාපතිවරයා වූයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩී. බී. ටී. විඡේරත්න මහතා ය. පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ තනතුරු දැරූ වෛද්‍යවරු දෙදෙනකු ගේ ද සහභාගීත්වය ලැබූ එකී කමිටුවේ මම ද සාමාජිකයෙක්‌ වීමි. කමිටුවේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ශීSඝ්‍රයෙන් පැතිර යන කෘෂිකාර්මික වකුගඩු රෝගය තවදුරටත් පැතිර යැම වැළැක්‌වීම සඳහා විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය වෙතින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලංකාවේ පැතිර යන වකුගඩු රෝගය පිළිබඳව සිදු කළ පර්යේෂණයේ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් ව තිබුණේ නැත. එහෙත් අතුරු වාර්තා 4ක්‌ ද සහිත "Investigation and Evaluation of Chronic Kidney Disease of Uncertain Aetiology in Sri lanka - Final Report" යන මැයෙන් අවසන් වාර්තාවක්‌ ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දී තිබිණි. එහෙත් යම්කිසි හේතුවක්‌ නිසා එකී වාර්තාව සැඟව පැවතිණි. එවකට රජයේ කැබිනට්‌ අමාත්‍යවරයකු ගේ මාර්ගයෙන් මේ වාර්තාව මා අතට පත් විය. මා මේ පිළිබඳව එවකට සෞඛ්‍ය ඇමැතිතුමා ගෙන් (වත්මන් ජනාධිපතිතුමා) විමසා බැලූ විට එතුමා ප්‍රකාශ කළේ වාර්තා අමාත්‍යංශයට ලැබී ඇති බවත් විවිධ කරුණු කාරණා හේතුවෙන් එම වාර්තාව ප්‍රසිද්ධ වීම වැළකී ඇති බවත් ය. ඒ අනුව අපි පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වා එකී වාර්තාවේ තිබූ කරුණු හෙළිදරවු කළෙමු. මේ සමග ම පුවත්පත්වලට ලිපි සපයමින් (අද ග්ලයිෆොසේට්‌ තහනමට විරුද්ධ ව දිගට හරහට ලිපි ලියන්නේ ද මේ පිරිස ය) ඇතැම් විද්වතුන් ප්‍රකාශ කළේ මේ වාර්තාව ව්‍යාජ එකක්‌ බවත්, මාධ්‍යවලට ඉදිරිපත් කළ වාර්තාවේ නිල මුද්‍රd සටහන් නොමැති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ සෞඛ්‍ය අමාත්‍යංශය මේ ආකාරයේ වාර්තාවක්‌ ගැන කිසිදු ප්‍රකාශයක්‌ කර නොමැති බවත් ය. එහෙත් ඒ ගැන තැකීමක්‌ අප නො කළේ නිල මුද්‍රd සහිත කොටස ඉවත් කර අදාළ වාර්තාව ජනමාධ්‍ය වෙත ලබා දුන් නිසාත් වාර්තාවේ සුජාත බව පිළිබඳ සහතිකයක්‌ සෞඛ්‍ය ඇමැතිතුමා දී තිබූ හෙයිනුත් ය. කෙසේ හෝ විද්වත් කමිටු රැස්‌වීමට පැමිණි සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීහු මේ වාර්තාව නිල වාර්තාවක්‌ ලෙස පිළිගත් හ. ඒ සඳහා අවශ්‍ය පසුබිම ඒ වන විට සකස්‌ වී තිබිණි. අවසන් නිර්දේශය සකස්‌ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව මහත් පිටිවහලක්‌ විය. ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව අනුව වකුගඩු රෝගීන් ගෙන් ලබාගත් මුත්‍රා සාම්පලවල පළිබෝධනාශක අවශිෂ්ට කොටස්‌ වර්ග කිහිපයක්‌ නිර්දේශ මට්‌ටමට ඉහළින් පැවතිණි. විෂ විද්‍යාවේ සහ පරිසර විද්‍යාවේ පිළිගැනෙන පූර්ව ආරක්‌ෂණ මූලධර්මය (Precautionary Principle) අනුව එවන් අවස්‌ථාවක, සැලකිල්ලට බඳුන් වන රෝගය සහ අදාළ රසායන ද්‍රව්‍ය අතර සෘජු සබඳතාවක්‌ නොමැති බව සාධාරණ සැකයකින් තොර ව සනාථ කරන තෙක්‌ නිශ්චිත රසායනය මනුෂ්‍ය භාවිතයට හෝ පරිසරයට මුදාහැරීම නො කළ යුතු ය. මේ මූලධර්මයත් තවත් එවැනි බටහිර විෂ විද්‍යා සිද්ධාන්ත කිහිපයකුත් මත ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ සඳහන් වූ පළිබෝධ නාශක අවශිෂ්ටවල මුල් පළිබෝධනාශක වූ ප්‍රොපනිල්, ග්ලයිෆොසේට්‌, කාබරිල් සහ ක්‌ලෝෆයිරිෆොස්‌ යන රසායන 4 භාවිතය අත්හිටුවිය යුතු බව මම යෝජනා කළෙමි. මේ ගැන පැවැති දීර්ඝ සංවාදය අවසානයේ කමිටුව තීරණය කළේ එම රසායන ද්‍රව්‍ය 4 කෘෂිකාර්මික වකුගඩු රෝගය පැතිර ඇති පළාත්වල අලෙවිය සහ භාවිතය අත්හිටුවීමට නිර්දේශ කළ යුතු බවයි. එම යෝජනාව ද සහිත ව යෝජනා 15කින් යුත් ලියෑවිල්ලක්‌ කමිටුව පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට ඉදිරිපත් කළේ ය. ඒ සඳහා (2013 අප්‍රේල් මස 10 වැනි දින) කාරක සභා අනුමැතිය හිමි වූ අතර යෝජනා සඳහා කැබිනට්‌ අනුමැතිය ලබාගැනීමෙන් පසු ක්‍රියාවට නැංවිය යුතු බව තීරණය විය. කිසිවක්‌ සුමට ලෙස සිදු වූවා නොවේ. කෘෂි රසායන සමාගම් මෙන්ම ඔවුන් වෙනුවෙන් විවිධ හේතු නිසා පෙනී සිටි පුද්ගලයෝ ද ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේ ද මීට විරුද්ධව කළ හැකි සැම දෙයක්‌ ම කළ හ. පර්යේෂණ සඳහා උදව් උපකාර කළ මහත් කැපකිරීම් කළ සියල්ලන්ට ම නින්දා අපහාස කළ හ. මඩ පත්තර ගැසූ හ. විශ්වවිද්‍යාලවල සනාතන සභාවලට ලියුම් ලියූ හ. දේශපාලනඥයන් පිටුපස යමින් ඊනියා දැනුම්වත් කිරීම් කරමින්, ඔවුන් ලවා තීරණ වෙනස්‌ කිරීමට උත්සාහ දැරූ හ.

අවසානයේ 2013 මැයි මස 16 වැනි දින එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා ව සිටි මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරිපත් කළ 22/2013 දරන අමාත්‍ය මණ්‌ඩල සංදේශයෙන් පෙර කී රසායන ද්‍රව්‍ය 4 රෝගය පැතිර ඇති ප්‍රදේශවල අලෙවිය සහ භාවිතය අත්හිටුවීමේ යෝජනාව ද සහිත වූ යෝජනා 15ක්‌ ක්‍රියාවට නැංවීමට කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය පැතී ය. ඒ සඳහා කැබිනට්‌ අනුමැතිය හිමි විය. කෙසේ වෙතත් සමාගම්වල බලපෑමෙන් සහ ඔවුන් ගේ සහායට සිටි විද්වතුන් කල්ලියේ කීමට මේ යෝජනා ක්‍රියාත්මක නො වී ය.
මේවා මෙසේ සිදු වෙද්දී අපි පර්යේෂණ කටයුතු ද ඉදිරියට ගෙන ගියෙමු. කැලිෆොaනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයයේ සේවයේ නියුතු කීර්තිමත් ශ්‍රී ලාංකික මහාචාර්යවරයකු වන වෛද්‍ය සරත් ගුණතිලක මැතිතුමා ගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාව තුළ සිදු කළ නොහැකි පර්යේෂණ ගණනාවක්‌ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ විද්‍යාගාර කිහිපයක දී සිදු කිරීමට අපට හැකි විය. එහි දී ලබාගත් පර්යේෂණ දත්ත ද පදනම් කරගෙන ග්ලයිෆොසේට්‌ නම් රසායනික ද්‍රව්‍ය වකුගඩු රෝගය ඇති කිරීමට දායක වන ආකාරය පිළිබඳව බොහෝ දුරට සංගත බටහිර විද්‍යාත්මක පැහැදිලි කිරීමක්‌ ගොඩනැඟීමට අපට හැකි විය. එය සනාථ කිරීමට අවශ්‍ය විද්‍යාත්මක දත්ත සෑහෙන මට්‌ටමකට අප සතු විය. ආරම්භයේ දී විද්‍යාත්මක ජර්නලවල මේවා පළ කිරීමට මා ගේ එතරම් උනන්දුවක්‌ නො වී ය. කෙසේ වෙතත් මහාචාර්ය නලින් ද සිල්වා, මහාචාර්ය ප්‍රියාණි පරණගම, මහාචාර්ය සරත් ගුණතිලක, මහාචාර්ය සිසිර සිරිබන්ධන වැනි ජ්‍යෙෂ්ඨයන් ගේ දිරිමත් කිරීම මත කැලිෆොaනියාවේ දී ලබාගත් පර්යේෂණ ප්‍රතිඵල එකින් එක ක්‍රමානුකූල ව පළ කළ යුතු බව මම තීරණය කළෙමි.

බටහිර විද්‍යා ජර්නල (සඟරා) ප්‍රධාන කොට දෙවර්ගයකි. එකක්‌ නම් පාඨකයා මුදල් ගෙවා සඟරාව හෝ පර්යේෂණ පත්‍රිකාව ලබාගත යුතු ජර්නල ය. අනෙක කර්තෘවරයා මුදල් ගෙවා පාඨකයන්ට කියවීමට අවස්‌ථාව ලබා දෙන (open access) ජර්නල ය. වැඩි පිරිසකට කියවීමට අවස්‌ථාව ලබා දීමේ අරමුණින් අපි දෙවැනි වර්ගයේ ජර්නලවල අප ගේ සොයාගැනීම් පළ කිරීම ඇරඹුවෙමු. ඒ සමග ම මෙරට කුහක විද්වතුන් ප්‍රචාරයක්‌ දියත් කළේ අප තත්ත්වයෙන් බාල, මුදල් ගෙවා පළ කරන ජර්නලවල මේ කරුණු පළ කර ඇති බව ය. එය අමූලික බොරුවකි. ලොව ප්‍රමුඛ විද්‍යා සඟරා සියල්ලක්‌ ම පාහේ open access පහසුකම සපයයි. එසේ වූ පමණින් ඒවාට බාල ජර්නල යෑයි කිසිවෙක්‌ නො කියති. අනෙක්‌ අතට අප ගේ ප්‍රකාශන පළ වූ ජර්නල බටහිර විද්‍යා ජර්නල ප්‍රමිතිකරණය අනුව ඉහළින් ම පවතින ඒවා ය. මුදල් ගෙවූ පමණින් ඕනෑ ම දෙයක්‌ ඒවායේ පළ කළ නොහැකි ය. සාමාන්‍ය විද්‍යා ජර්නලයක ක්‍රියාත්මක වන ප්‍රමිතිකරණය ම ඒවායේ ද ක්‍රියාත්මක වේ. වැදගත් ම කරුණ නම් මේ චෝදනා කරන පිරිස නො දන්නා දේ ය. ඊට හේතුව ඔවුන් අන්තර්ජාතික සඟරාවක මේ ආකාරයේ ප්‍රකාශනයක්‌ පළ කිරීමට හෝ යමක්‌ නො කළ පිරිසක්‌ වීම ය. මේ ගැන අත්දැකීමක්‌ ඇති අයෙක්‌ නම් මේ නිහීන චෝදනා නො කරයි. මේ ජර්නල සියල්ලක්‌ ම ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් ගණනාවකට මුදල් ලබාගැනීමකින් තොර ව open access පහසුකම සපයයි.

ඔවුන් පළමුව විමසනුයේ ඉදිරිපත් කරන දේ තම සඟරාවේ ප්‍රමිතියට ගැලපෙන කරුණු ද යන්න මිසක මුදල් ලබාගැනීම පිළිබඳව නො වේ. මුදල් ගෙවීම හෝ නො ගෙවීම තීරණය කරනුයේ අවසන් අවස්‌ථාවේ දී ය. මේ ජර්නල සියල්ලක්‌ ම පාහේ ලෝක බැංකු වර්ගීකරණය අනුව අඩු හෝ පහළ ආදායම් ලබන රටවල කර්තෘවරයකු ඉදිරිපත් කරන විද්‍යාත්මක පත්‍රිකා සඳහා කිසිදු මුදලක්‌ අය නො කරයි. ශ්‍රී ලංකාව ද එම කාණ්‌ඩයේ බැවින් අපට ද මුදල් ගෙවීමේ අවශ්‍යතාවක්‌ මතු නො වී ය. එහෙත් සිය ජීවිත කාලය තුළ කටමැත දොඩවනවා මිසක අන්තර්ජාතික විද්‍යා ජර්නලයක ප්‍රකාශනයක්‌ පළ කර නොමැති කුහකයන් මේ බව නො දන්නේ එවැනි ක්‍රියාවලියකට අනුගත වී සැබැවින් ම සිදු වන්නේ කුමක්‌ දැයි අත්දැක නොමැති හෙයිනි.

අපි මුලින් ම ග්ලයිෆොසේට්‌ ඇතුළුව අනෙකුත් විෂ ද්‍රව්‍යවල දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගය ඇති වන ආකාරය පිළිබඳ කල්පිතය (Hypothesis) ස්‌විට්‌සර්ලන්තයේ පළ වන විද්‍යා ජර්නලයක 2014 පෙබරවාරි මස පළ කළෙමු. එය දරාගත නොහැකි වූ කුහක උගත්හු මෙය හිතළුවක්‌ පමණක්‌ යෑයි පවසමින් ඊට අපහාස කළ හ. ඔවුන් හිතළුව (Imagination) සහ කල්පිත (Hypothesis) අතර වෙනස වත් නො දන්නා බක පණ්‌ඩිතයෝ ම පමණක්‌ වෙති. අපි අපේක්‌ෂා කළ පරිදි ම ලෝක මට්‌ටමේ ඉහළ පිළිගැනීමක්‌ ඇති රසායන විද්‍යා, වෛද්‍ය විද්‍යා, විෂ විද්‍යා බුද්ධිමතුන් ගණනාවක ගේ අවධානය ඒ කරා යොමු විය. අපේ රටේ උගතුන් එය හිතළුවක්‌ යෑයි බැහැර කරද්දී බටහිර සැබෑ බුද්ධිමත්හු අප කල්පිතයේ ඇති අඩුපාඩු පෙන්වා දෙමින් එය වර්ධනය කළ හ. අවංකව ම එය අගය කළ හ. අප ඒ රටවලට ගෙන්වාගෙන මේ ගැන කරුණු විමසමින් පර්යේෂණ සහයෝගිතා සඳහා ආරාධනය කළ හ. මේ ගැන වැඩිදුර තොරතුරු පැවසීමට ඉක්‌මන් වැඩි වුව ද විදුසර පාඨකයන්ට අප සතුටෙන් දැනුම් දෙන්නේ ඒ පිරිස අතර නොබෙල් ත්‍යාගය ලැබූ සුවිශේෂ පුද්ගලයන් කිහිප දෙනකු සිටින බවයි. අප ගේ පර්යේෂණ නොබෙල් ත්‍යාග ලබාගැනීමට නො වුව ද අප රටේ සිටින උගතුන් සහ බටහිර සැබෑ බුද්ධිමතුන් අතර වෙනස පෙන්වා දීමට පමණක්‌ මේ කරුණු සටහන් කරමු.

මේ නම් හිතළුවක්‌ පමණකැයි පවසමින් පුවත්පත්වලට ලිපි සැපයූවෝ එකී හිතළුව සනාථ වන දත්ත සහිත පර්යේෂණ පත්‍රිකා පළ වෙද්දී ඒ ගැන කථා නො කර "හිතළුව" ගැන පමණක්‌ ම කතා කරමින් හිකනළුන් සේ හැසිරෙති.

2013 මැයි මස කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කළ ද ඊට කැබිනට්‌ අනුමැතිය හිමි වුව ද ග්ලයිෆොසේට්‌ තහනමක්‌ ක්‍රියාත්මක නො විණි. ඊට හේතුව වූයේ එය බලාත්මක කිරීමට අවශ්‍ය ගැසට්‌ නිවේදනය නිකුත් නො වීමයි. කෙසේ හෝ අවසානයේ වසර එක හමාරක ප්‍රමාදයකින් පසු පසුගිය ජනාධිපතිවරණ සමයේ එනම් 2014 දෙසැම්බර් මස 22 නිකුත් කළ අංක 1894/4 දරන ගැසට්‌ පත්‍රයෙන් අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මොණරාගල දිස්‌ත්‍රික්‌ක 4 තුළ සහ බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ මහියංගනය, රිදීමාලියද්ද සහ කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ තුළ ග්ලයිෆොසේට්‌, ප්‍රොපනිල්, කාබරිල්, ක්‌ලොෆයිරිෆොස්‌ සහ කාබොෆියුරාන් යන සක්‍රීය ද්‍රව්‍ය අඩංගු පළිබෝධනාශක භාවිතය සහ විකිණීම තහනම් කෙරිණ.

මේ ආකාරයෙන් නීතිගත කෙරුණ ද ඡන්ද උණුසුම සහ ඉන් පසුව ඇති වූ තත්ත්වය මත මේ තහනම කොළයට පමණක්‌ සීමා විය. එය ක්‍රියාත්මක කිරීමේ නිසි ක්‍රමවේදයක්‌ නො වී ය. ගොවීහු ද, වෙළෙන්දොa ද ජනමාධ්‍ය පැවසූ දේ මිස තහනම ගැන නිසි අවබෝධයක්‌ නො ලැබූ හ. අනුරාධපුර ගොවීහු දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයට එළවළු වෙළෙ¹මට පැමිණ ගෙදර යන විට "ඩීමෝ බට්‌ටා" පිරෙන්න ග්ලයිෆොසේට්‌ බහාලුම් රැගෙන ගියේ ගමට ම ඇති වෙන්න දෙන්නට ය. (දඹුල්ල අයිති වන්නේ මාතලේ දිස්‌ත්‍රික්‌කයට ය). මේ අතර නව රජය යටතේ ද වකුගඩු රෝග නිවාරණයට වෙන ම ඒකකයක්‌ ආරම්භ විය. එහි සාකච්ඡාවල දීත් ඉන් පිටතත් පළිබෝධනාශක තහනම ගැන යළි සාකච්ඡා විය. අලුත් දේ කරන්නට පෙර දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ශක්‌තිමත් කිරීමට තීරණය විය. මුළු රටටට ම ග්ලයිෆොසේට්‌ තහනමක්‌ පැනවිය යුතු බවට ද යෝජනා ඉදිරිපත් විය. මේ කතාබහ දැනගත් විට පළිබෝධනාශක වෙළෙන්දොa මෙන්ම උගතුන් කණ්‌ඩායම ද නැවත සක්‍රීය වූ හ. ග්ලයිෆොසේට්‌ නැති ව වගා කරන්නට බැරි බවත්, භෝග ඵලදාව අඩු වන බවත්, මිනිසුන්ට බඩගින්නේ ඉන්නට සිදු වන බවත්, රටේ ආර්ථිකය කඩා වැටෙන බවත් පවසමින් ලිපි ලියමින්, ඊමේල් පණිවිඩ යවමින් නැවත වටයකින් ඔවුහු වැඩ ඇරඹූ හ. කෙසේ වෙතත් ගොඩනැගී තිබූ සමාජ වටපිටාව අනුවත්, ජනාධිපතිවරණ ඡන්ද පොරොන්දු අනුවත්, ඒ වන විටත් ප්‍රදේශ කිහිපයක ග්ලයිෆොසේට්‌ තහනමට අදාළ ගැසට්‌ පත්‍රය නිකුත් කර තිබූ නිසාත්, අඩිය පසුපසට ගත් සමාගම් මුළු රටෙන් ම ග්ලයිෆොසේට්‌ අතුගෑවී යැම නතර කරවාගෙන හොඳ කුට්‌ටියක්‌ කඩාගෙන එය පමණක්‌ හෝ රැකගැනීමේ සටන ඇරඹී ය. වී වගාවට හැරුණු විට ග්ලයිෆොසේට්‌ ප්‍රධාන ලෙස භාවිත කරන්නේ තේ වගාවේ වල් මර්දනය සඳහා ය. කම්කරුවන් යොදා වල් ඉවත් කිරීමට වඩා පූර්ණ වල් නාශකයක්‌ යෙදීම ඉතා වාසිසහගත ය. මේ අනුව වතුකරයට අවශ්‍ය ග්ලයිෆොසේට්‌ රැකගැනීම කෘෂි රසායන සමාගම්වල අවම අවශ්‍යතාව විය. ඒ වෙනුවෙන් විද්වත්හු ලිපි ලිවීමට පටන්ගත් හ. දැන් කම්කරු කුලිය ඉතා වැඩි බවත්, ග්ලයිෆොසේට්‌ නැති ව තේ වගාව බැරි බවත්, තේ වැටුණොත් රටේ ආර්ථිකය වැටෙන බවත් මේ නිසා ග්ලයිෆොසේට්‌ අවශ්‍ය බවත් පැවසෙන ලිපි පළ වන්නට පටන් ගත්තේ ය. කෙසේ හෝ ඒ සටනින් සමාගම්වලට ජය අත් විය. අවසානයේ තීරණය වී ඇත්තේ වැවිලි භෝග සඳහා භාවිතයට ඉඩ සලසමින් අනෙකුත් ගොවිතැන් කටයුතු සඳහා ග්ලයිෆොසේට්‌ තහනම් කිරීමට ය. ඒ අනුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට (සිපෙට්‌කෝ) පමණක්‌ ග්ලයිෆොසේට්‌ රටට ආනයනය කළ හැකි ය. ඔවුන් වැවිලි කර්මාන්තකරුවන්ට තොග වශයෙන් ග්ලයිෆොසේට්‌ නිකුත් කරනු ඇත. වෙනත් කිසිදු පෞද්ගලික සමාගමකට රටට ග්ලයිෆොසේට්‌ ගෙන ආ නොහැකි ය. අලෙවි කළ නොහැකි ය. එනම් විවෘත වෙළෙඳපොළේ තවදුරටත් ග්ලයිෆොසේට්‌ තිබිය නොහැකි ය.

කෙසේ වෙතත් මේ සඳහා නීතිමය පසුබිම තවමත් සකස්‌ වී නැත. ඉහත ආකාරයට ග්ලයිෆොසේට්‌ තහනම් විය යුතු බව දැක්‌වෙන්නේ පසුගිය දා කෘෂිකර්ම ඇමතිතුමා ඉදිරිපත් කළ කැබිනට්‌ පත්‍රිකාවේ ය. එහෙත් ඒ සඳහා ගැසට්‌ පත්‍රිකාවක්‌ තවම නිකුත් වී නැත. කෙසේ නමුත් පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව වෙත ලිතව දන්වා ඇත්තේ මින් මතු ග්ලයිෆොසේට්‌ ආනයනය සඳහා බලපත්‍ර නිකුත් නො කරන ලෙස ය. දැන් මතු වන ප්‍රශ්නය වන්නේ මේ වන විටත් ආනයනය කර රේගුවෙන් නිදහස්‌ නො කරගත් ග්ලයිෆොසේට්‌වලට සහ මේ වන විටත් ණයවර ලිපි විවෘත කර ඇති ආනයන කිරීමට නියමිත ග්ලයිෆොසේට්‌වලට සිදු වන්නේ කුමක්‌ ද යන්නයි. මේවා රටට පැමිණීම නතර කිරීමට නීතිමය තත්ත්වයක්‌ නැත. ගැසට්‌ පත්‍රයකින් හෝ වෙනත් ලිපියකින් ශ්‍රී ලංකා රේගුවට මේ පිළිබඳව උපදෙසක්‌ ලැබී නැත. එහෙයින් දැනට ගුදම්වල ඇති ග්ලයිෆොසේට්‌ මෙන්ම, බලපත්‍ර ලබා දී ඇති ඉදිරියේ දී වරායට පැමිණීමට නියමිත ග්ලයිෆොසේට්‌ ද සමාගම්වලට නිදහස්‌ කිරීමට රේගුවට සිදු වේ. එක්‌කෝ සමාගම් මේවා පැමිණි රටට ආපසු පිටත් කර හැරිය යුතු වේ. නැතිනම් "සිපෙට්‌කෝ" වෙත විකිණිය යුතු වේ. (මන්ද වැවිලි භෝග සඳහා ග්ලයිෆොසේට්‌ ලබා දීමට හැකි එක ම ආයතනය මේ නිසා ය). මේ දෙක ම කළ නොහැකි නම් යම් ආකාරයකට විනාශ කළ යුතු වේ. මේ තත්ත්වය හමුවේ සමාගම් උත්සාහ කරන්නේ පහත අනුපිළිවෙළින් තම ඉලක්‌කයට ළගා වීමට බව පෙනී යයි.

01. කුමන ආකාරයකට හෝ තහනම ඉවත් කර ගැනීම. මේ සඳහා ඔවුන් යොදාගන්නා මූලික අවිය පසුගිය වසර කිහිපයක්‌ තුළ ඔවුන් සමග සිටි "විද්වතුන්" කණ්‌ඩායමයි. ඒ පිරිස ලවා ග්ලයිෆොසේට්‌ යනු සබන් වතුර තරම් අහිංසක දෙයක්‌ බවත්, ග්ලයිෆොසේට්‌වලින් වකුගඩු රෝගයක්‌ ඇති වනවා යන්න හුදු හිතළුවක්‌ බවත් දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට ඒත්තු ගැන්වීමට සමාගම් උත්සාහ දරයි.

02. "ප්‍රශ්නය ඇති වන්නේ දැනට භාවිත කරන ග්ලයිෆොසේට්‌ හේතුවෙනි. කෙසේ වෙතත් කිවුල සමග සංයෝග නො වන, කිවුල් ජලයේ නො

රැඳෙන "හොඳ ග්ලයිෆොසේට්‌" ඇත. ඇමෝනියම් ලවණ යොදා නිපදවූ හොඳ ග්ලයිෆොසේට්‌වලින් වකුගඩු ලෙඩ ඇති වීමට කිසි ම හැකියාවක්‌ නැති නිසා තහනමේ අරුතක්‌ නොමැත ත දැන් රටට ගෙන්වන "නරක ග්ලයිෆොසේට්‌" වෙනුවට "හොඳ ග්ලයිෆොසේට්‌" ගෙන ඒම කළ යුතු ය. මේ සඳහා පසුබිම සැකසීම දෙවැනි උපක්‍රමයයි.

3. දැනට රටට ගෙන්වා ඇති සහ ඉදිරියේ දී පැමිණෙන ග්ලයිෆොසේට්‌ ප්‍රමාණය හෝ විකුණාගැනීමට වසරක හෝ දෙකක සහන කාලයක්‌ ලබාගැනීම. නැත හොත් වෙනත් ලේබලයක්‌ යටතේ වෙනත් වල්නාශකයක්‌ ලෙස වෙළෙඳපොළට මුදාහැරීම.

4. ග්ලයිෆොසේට්‌ තහනම ඉවත් කරවාගැනීමට කිසිසේත් නොහැකි නම් රසායනිකව ඊට කිට්‌ටු ව්‍යqහයක්‌ ඇති තවත් පූර්ණ වල් නාශකයක්‌ වන ග්ලූෆොසිනේට්‌ වෙළෙඳපොළට හඳුන්වා දී එය ගොවීන් අතර ප්‍රචලිත කිරීම. (මේ වන විටත් ග්ලූෆොසිනේට්‌ ප්‍රජනන දුර්වලතා ඇති කරන රසායනිකයක්‌ ලෙස හඳුනාගෙන ඇත.)

උක්‌ත කරුණු සාක්‌ෂාත් කරගැනීම සඳහා සෘජු ව හෝ වක්‍ර ව සහාය වන විද්වත් කණ්‌ඩායම ගෙන එන ප්‍රධාන තර්කයක්‌ නම් හිතළුවක්‌ මත පදනම් ව ග්ලයිෆොසේට්‌ ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති බවත් එය මේ රටේ විද්‍යාත්මක ප්‍රජාවට කරන බරපතළ නිග්‍රහයක්‌ බවත් ය. මේ මහා විද්‍යාඥයන් ගේ විද්‍යාවේ තරම කෙතරම් ද යත හොත් ග්ලයිෆොසේට්‌ තහනම් කළේ ඇයි දැයි කියා වත් ඔවුහු නො දනිති. ඒ අප විසින් පළ කෙරුණු කල්පිතය මත පදනම් යෑයි සිතා ඔවුහු ඊට පහර දෙති. ගෙදර ඇති මුව හමට තඩි බෑවාට මුකුත් ම සිදු නො වන්නේ තහනම සඳහා යෝජනා ඉදිරිපත් වී එය කැබිනට්‌ මණ්‌ඩලය කරා ගොස්‌ අනුමැතිය ද ලැබුණේ අප "කල්පිතය" ඉදිරිපත් කිරීමට මාස ගණනකටත් පෙර හෙයිනි. දෙවැන්න අප ගේ කල්පිතය දැන් හුදු කල්පිතයක්‌ ලෙස ගැනීම වැරැදි ය. කල්පිතය පළ කිරීමෙන් පසු අප විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙන්ම ඉදිරියේ දී ප්‍රකාශයට පත් වන පර්යේෂණ පත්‍රිකාවලින් ද කල්පිතය සනාථ කිරීමට අවශ්‍ය සාධක සහ දත්ත අපි ඉදිරිපත් කර ඇත්තෙමු. එය කල්පිතයක්‌ යෑයි, හිතළුවක්‌ යෑයි කියමින් උඩ පනින්නන් ගැන අනුකම්පා කිරීම හැර අන් යමත් අපට කළ නොහැකි ය. ග්ලයිෆොසේට්‌වලින් වකුගඩුවලට හානියක්‌ නො වන්නේ යෑයි සිතන සහ ඒ අනුව ලිපි ලියන, මිථ්‍යා වපුරන පුද්ගලයන් අපේ පර්යේෂණ පත්‍රිකාවලින් ඒවා කියවීම මදිපුංචිකමකැයි සිතනවා නම් Klintean Wannapuk ඇතුළු පිරිස සිදු කළ පර්යේෂණ ප්‍රතිඵල ගැන කියවා දැනගැනීම සුදුසු යෑයි සිතමි.

වකුගඩු රෝගයට ඇති සබඳතාව හේතුවෙන් තහනම් කර ඇත්තේ ග්ලයිෆොසේට්‌ පමණක්‌ නො වේ. ප්‍රොපනිල් ද, ක්‌ලෝෆයිරිපොස්‌ ද, කාබරිල් ද ඒ ආකාරයට ම 2014 දෙසැම්බර් ගැසට්‌ පත්‍රිකාවෙන් තහනම් කර ඇත. එහෙත් මේ උගතුන් ගේ අවධානය ග්ලයිෆොසේට්‌ ගැන පමණකි. ඔවුන් විද්‍යාත්මක සාක්‌ෂි සොයන්නේ ග්ලයිෆොසේට්‌වලට පමණි. කොටින් ම "ගොඩ දාන්න" හදන්නේ ග්ලයිෆොසේට්‌ පමණි. කාබරිල් තහනම් කළාට, ප්‍රොපනිල් තහනම් කළාට මේ අය ගේ විද්‍යාත්මක හදවත් උණු නො වේ. වකුගඩු රෝගයට සබඳතා ඇතැයි පැවසෙන අනෙකුත් තහනම් කළ පළිබෝධනාශකවල විද්‍යාත්මක උප්පැන්න, පොරොන්දම් පරීක්‌ෂා නො කර ග්ලයිෆොසේට්‌ ගැන පමණක්‌ ලිපි ලිවීමට පැය ගණන්, දින ගණන් වැය කරන්නේ කාගේ අවශ්‍යතාවට දැයි පාඨකයන් තීරණය කළ යුතු ය. තහනම් කළ අනෙකුත් රසායන ද්‍රව්‍යවල වෙළෙඳපොළ මෙන් ශ්‍රී ලංකාව තුළ ග්ලයිෆොසේට්‌ වෙළෙඳපොළ සිය දහස්‌ ගුණයකි. කාබරිල් තහනම් කළාට කෘෂි රසායන සමාගම්වලට දැනෙන්නේ නැත. එහෙත් ග්ලයිෆොසේට්‌ යනු ඇතැම් සමාගම්වල ලාභයෙන් 60-80%ක්‌ ලබා දෙන වෙළෙ¹මයි. රුපියල්වලින් නම් කෝටි ප්‍රකෝටි ගණනකි. එක්‌කෝ ප්‍රොපනිල්, ක්‌ලොෆයිරිපොස්‌, කාබරිල් නිසා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගය ඇති වන බව මේ මහා විද්‍යාඥයන්, වියතුන්, කාටත් හොර රහසේ සොයාගෙන තිබෙනවා විය හැකි ය. ඒ ගැන ඔවුනට ප්‍රශ්නයක්‌ නැත්තේ එහෙයිනි. නැතිනම් ග්ලයිෆොසේට්‌ ගැන පමණක්‌ අසීමිත උනන්දුවෙන් කතාබස්‌ කරමින් සිය වටිනා කාලය කැප කරමින් වෙහෙස වන්නේ ඒ මහන්සිය අපතේ නො යැමක්‌ බව මේ පිරිස වසර 3- 4ක සිට ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටින නිසා විය යුතු ය.

චන්න ජයසුමන

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions