6/19/2015

'යූ' ද ගේම්

කතෘ:යුතුකම     6/19/2015   2 comments

ධර්මන් වික්‍රමරත්න ලියන මුරගල තීරු ලිපිය - 109

2015 ජුනි 19 සිකුරාදා
එජාපය බය වෙලාය. හෙළ උරුමය කොර වෙළාය. ජවිපෙ පච වෙළාය.  ආචාර්ය බාහුගේ නව සමසමාජය පීචං වෙලාය. අසාද් සාලිගේ පිරිසට කෙල වෙලාය.  ද්‍රවිඩ ජාතික සන්ධානය කිච වෙලාය. හකීම්ගේ මුස්ලීම් කොංග්‍රසයට මඤ්ඤංය. හදවතින්ම ශ්‍රිලනිප කණ්ඩායම හමුවේ ඩාර්ලි රෝඩ් ශ්‍රිලනිප කණ්ඩායම කුජීත වෙලාය. මහින්ද සුළඟ හමුවේ මේ පක්ෂ සහ කල්ලි සියල්ල පාරේ යන ත්‍රීවිල් වැනිය. ඔවුහු වමට සිග්නල් දමා දකුණට හරවති. ඇමරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍යය. සහ නොර්වේ රටවල් සිදුකරන දේදුනු විප්ලවයේ න්‍යාය පත්‍රයට රූකඩ මෙන් නැටවෙති. 
   
'යහපාලන' ආණ්ඩුවට මාස 6කට ආසන්නය. ආර්ථිකය අලි අවුලකය. දේශපාලන අර්බුදය උග්‍රය. එජාපය සුවාසේය. ආණ්ඩුව දොං සිමංය. රට අංජබජල්ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එදා ලෝකයෙන් ණය ගත්තේ සියයට 5.12ටය. 'යහපාලන' ආණ්ඩුව අද ණය ගන්නේ සියයට 6.12ටය. මහ බැංකුවේ බැදුම්කර වංචාවේ පාඩුව දැන් රුපියල් කෝටි  5,250කි. හොරා කා පුරුදු එකා ලූණු පොල් කට්ටටත් ඇඟිල්ල දා කටේ ගා ගන්නවා ගැමි වහරේ කියමනක් පවතී.
   
වත්මන් රජයේ මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුවක්‌ වන්නේ රජයේ ආදායම අඩුවීමත්, රාජ්‍ය වියදම් ඉහළ යැමත්ය. මෙලෙස බදු ආදායම් අඩුවීම හා රජයේ වියදම් ඊට සාපේක්‍ෂව අඩු නොවීම නිසා රාජ්‍ය අයවැය තුළ විශාල ආදායම් හිඟයක්‌ ජනිතව ඇත. මෙවැනි අයවැය තත්ත්වයක්‌ තුළ රජයට ප්‍රාග්ධන වියදම් දැරීමට පමණක්‌ නොව, පුනරාවර්තන වියදම් දැරීමට ද සිදුවන්නේ ණය වීමෙනි. වත්මන් රජය ඉදිරිපත් කළ අතුරු අයවැය තුළ මෙවැනි ආදායම් හිඟයක්‌ තිබේ. අතුරු අයවැයේ කෙටුම්පත් සහ රෙගුලාසි 26ක් සම්මත නොකර ගැනීමෙන්ම 'යහපාලන' ආණ්ඩුව අසාර්ථකය.

වත්මන් රජය පත්වූ පසු ශ්‍රී ලංකා රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 132 සිට රුපියල් 137 පමණ දක්‌වා මස්ත බාල්දුවී ඇත. මුදල් ඇමති රවී කරුණානායකද විවාදයක් සඳහා හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂට 17වැනි වරටද අභියෝගයක් කරන බව කියා සිටියේය. 'යහපාලන' ආණ්ඩුවේ බොඩිය සහ චැසිය රකින අන්දරේලා සමඟ වාද කිරීමට හිටපු ජනාධිපතිවරයාට මොළේ කචල් නැත. 

පරිප්පු බද්ද රුපියල් 4.75කින් අඩුකලද එහි සහනය පාරිභෝගිකයාට නැත. රුපියල් 10 ආප්පයද දැන් 13කි. ලුණු මිරිසක් සමඟනම් රුපියල් 15කි. වී ගොවියෝ කබලෙන් ලිපටය. ආණ්ඩුව රුපියල් 50 ගන්නවා කියූ වී කිලෝව ගොවියා ගෙන් ඉකුත් සිංහල අවුරුද්දෙන් පසු පොලොන්නරු දිස්ත්‍රික්කය ඇතුළු රටපුරා කොහෝවත් මිලදී ගෙන නැත. මුදලාලිලාට ඊයේත් වී කිලෝව විකුණනු ලැබුවේ රුපියල් 28කටය. ඉතා අඩු මිලට කිරිපිටි ආනයනය කරන බැවින් දේශීය කිරි ගොවියා නන්නත්තාරය. කිරි ලීටරයක මිල රුපියල් 60ට අඩුය. අර්තාපල් බදු ඉවත් කළේ අස්වනු නෙලන කාලයටය. අර්තාපල් ගොවීන්ද හාන්සිය. නුඹ නාඩන්, නුඹ නාඩන්, නුඹට ඕවා හොද පාඩම් කියා රටේ ආර්ථිකය වැනසෙන විට කිසිවෙකු සිනාසිය යුතු නැත. 

වැඩිහිටියන්ට මසකට ගෙවනු ලබන රුපියල් 2,000 වැඩිහිටි දීමනාවද සෑම මසකම පළමු සතියේ ගෙවිය යුතු වූවද අදවන තෙක් මේ පිං පඩිය පවා ගෙවීමට ආණ්ඩුවට මුදල් නැත. වැඩිහිටියන් 386,000ක් දිනපතා රස්තියාදු වෙති. ගැබිනි මව්වරුන්ට දෙන පෝෂණ මල්ලද නිසි පරිදි නොලැබේ. එයද හබක්ය. වකුගඩු රෝග සහ පිළිකා ආබාධවලට හේතුවන ග්ලයිපොසේට් වල්නාශක රසායනය ආනයනය කිරීම ජුනි 11 සිට ගැසට් මගින් තහනම්ය. තීරණය ගත්තේ මැයි 22වැනිදාය. පසුව කන්ටේනර් 10ක එම වල්නාශක ලීටර් ලක්ෂ ගණනක් ගැසට් තහනමට පෙර පෞද්ගලික සමාගම් ආනයනය කලේය. එම තොගය ඉදිරි වසර 10 සඳහාම හොදටම ප්‍රමාණවත්ය. හඩ ජාකොප්ගේ වූවාට අත ඊසොප්ගේය.

ශ්‍රි ලංකා රජයට එරෙහිව කැරළි ගසමින් ලක්ෂයකට ආසන්න සිවිල් පුරවැසියන් ඝාතනයකල ද්‍රවිඩ කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවිමේ කැබිනට් යෝජනාවකි. දෙස් විදෙස් බලවේගවල ගොදුරු බිමක් බවට මව්බිම වේගයෙන් ඇදී යයි. බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදී සෙවනැලි යළි මතුවෙමින් තිබේ. අසීමිත කැපකිරීම් කොට එක්සේසත් කල මාතෘභූමිය ෆෙඩරල් රාජ්‍යයක් කරා ගමන් කරමින් පවතී. යුද්ධයේ විජයග්‍රහණයෙන් පසු දිනාගත් සියළු සමාජ, දේශපාලන, ආර්ථික ජයග්‍රහණ රටට අහිමි වෙමින් පවතී. අලුත් රටක්ද? වෙනස සැපද? 

මිදි කොහෙද තිත්ත - නරි කියයිද ඇත්ත කීවාක් සේ පුරවැසි බලය ගජරාමෙට කඩේ යති. අලුත් පරපුරේ ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුය. ඇතිදා වවුලෝ එල්ලිලා - නැතිදා වවුලෝ ඉගිලිලා යති කියන්නාක් මෙන් පළමු පෙරමුණ දැන් ජවිපෙ විශ්‍රාමික නායක සෝමවංශ අමරසිංහ සමඟින් එජාප සරණං ගච්ඡාමිය. මෛත්‍රී ගුණරත්නගේ ජාතික පවුර, ළිඳ මගේ නම් - මම ළිදේ නම් - කාටවත් ඇයි වේදනා  කියමින් පතලට බැස මිනිරන් කඩයි. ජාතික රූපවාහිනිය හත් පොලේ ගාගෙනය. එය සෝමරත්න දිසානායක පවුලේ නාලිකාවක් බවට පත්වෙමින් තිබේ. ඊයේ සරෝජාය. අද පුංචි සුරංගනාවිය. හෙට සූරිය අරණය. අනිද්දා "සෝමේ අයියාගේ" අහවල් එකද වන්නටද බැරි නැත. සයිබර් කැඩපත් පවුරේ ලියන බ්ලොග් ලේඛකයින් ගෙන් ඇතමුන්ද මරේ මරුය. ඔවුන්ගේ පෞද්ගලික අදහස් දැන් ගොසිප් වෙබ් අඩවිවල කැලෑ පත්තරද පරාදය.  මේ සියලු දෙනා වෙරළට ගොඩගසන අම්බර සොයා අතපත ගෑවද ඔවුනට හමුවන්නේ කැත කුණු පමණි.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් එජාපය කර ඇරීම ඉස අතගා ඇහැ උලුප්පනවා වගේය. පෙබරවාරි 2වැනිදා ගෙනෙනවායි කියූ මහජන නියෝජිතයින් විසින් පිළිපැදිය යුතු චර්යාධර්ම සංග්‍රහය තවමත් නැත. පෙබරවාරි 19වැනිදා සහ 20වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරනවායැයි කියූ ජාතික විගණන පනත සහ තොරතුරු දැනගැනීමේ පනත ගොළුවා දුටු හීනය වගේය.

නිකවැරටිය මහා විද්‍යාලයේ දහවල් 12ට තිබෙන උත්සවයට අධ්‍යාපන ඇමති චූටි බබා යන්නේද ටයි කෝට්  හැඳ පැලඳ ගෙන ගරු ගාම්භීරවය. මහා සංඝරත්නයට මෙන්ම ගිහියන්ටද ඔහු වදින්නේ මැෂිමක් මෙන් යාන්ත්‍රිකවය. අනේ සාධු, මෙහෙමත් වැදිල්ලකි.  ලංකාවේ අධ්‍යාපන ක්‍රමයද දැන් යන්නේ රුහිතෙටය. එය මාළුවන්ට ගස් නගින්නද වඳුරන්ට පීනන්න උගන්වන ක්‍රමයක්දැයි සැකයකි. හෙට අනිද්දාම මාල‍ඹේ උපාධි කඩයෙන් දොස්තරලාද බිහිවනු ඇත. මාලඹේ පෞද්ගලික සරසවියට ඉංජිනේරු උපාධි පාඨමාලා පිරිනැමීමේ බලයද නීතිගත කළේය. අධ්‍යාපන ධවල පත්‍රිකාව පස්සා දොරෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.

හොරු හොරු කීවාට නටපු නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත. විදුලි සංදේශ නියාමක කොමිසමේ සභාපති ලලිත් වීරතුංග එහි මුදලින් රුපියල් දශලක්ෂ 600ක සිල් රෙදි ඉකුත් ජනාධිපතිවරණයට බෙදාදීමට වැයකල බවට චෝදනා කලද දැන් හා හූවක් නැත. සංචාරක සංවර්ධන අධිකාරියේ මුදල් වලින් රුපියල් දශලක්ෂ 300ක් ජනාධිපතිවරණයේ ප්‍රවර්ධන කටයුතු වලට එහි සභාපති භාෂ්වර ගුණරත්න වැයකර ඇති බවට රජය මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වූවද දැන් නෝ කථාය. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක චෝගම් සමුළුවේ ප්‍රචාරක කටයුතු සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය රුපියල් කෝටි 118ක් නිස්කාරණයේ වැයකල බවද එහි එවකට ජනමාධ්‍ය අමාතාංශයේ ලේකම් චරිත හේරත් රුපියල් 5,000 කොලවලින් කෝටි ගණනක මැල්ලුම් කෑවේදැයි ජවිපෙ නායක අනුර කුමාරගෙන් බරපතල චෝදනාවක් විය.  සිදුවී ඇතැයි කියූ මෙම අවකෙළි අතේ රෝල් නොවේනම් නීතිමය ක්‍රියාමාර්ග මේ වන තෙක් නොගන්තේ මන්දැයි ප්‍රශ්නයකි. මෙවැනි ක්‍රියාවලට එරෙහිව හඬනැගූ පාර්ලිමන්ට් ජොක්ස් චිත්‍රපටියේ නළුවා වූ සමාජ සේවා නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක ඇතුළු පිරිස මොවුනට කල අපහාසයන්ට වන්දි ගෙවිය යුතුය. 


ආර්ථික සංවර්ධන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේ ඉකුත් අප්‍රේල් 22වැනිදාය. ඔහු ඇපපිට දින 57කින් පසු නිදහස් වූයේ ජුනි 16වැනිදා රාත්‍රී 7.10ටය. එහෙත් කිසිදු චෝදනා ගොනු කිරීමක් මේ දක්වා සිදුවී නැත. එම නඩුව යළි කැඳවන්නේද මාස 6කට පසු 2015 දෙසැම්බර් 8වැනිදාය. මෙය 'යහපාලන' ආණ්ඩුවේ ගෙස්ටාපෝ පොලිසිය වූ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ රාජකීය වික්‍රමයන්ය. හිටපු ඇමති බැසිල් ඇතුළු කිසිදු නිළධාරියෙක් අදාල මුදල් පෞද්ගලිකව පරිහරණය කර නැතැයි ආණ්ඩුවේ නීතිපතිගේ නියෝජිතයාම කියා සිටියේය. එබැවින් රජයේ ජේෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ කොළඹ මහාධිකරණයේදී අවධාරණය කළේ බැසිල් රාජපක්ෂ ඇතුළු නිළධාරින් 4 දෙනාට ඇපදීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් පල නොකරන බවය. 'යහපාලන' දින 100 නිමවීමට පෙර දිනයේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් එජාප ආණ්ඩුව බලාපොරොන්තු වූයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඡන්ද යාන්ත්‍රණයේ හිටපු මහ මොලකරු වන ඔහු රිමාන්ඩ් ගතකර අප්‍රේල් 23වැනිදා ආණ්ඩුව විසුරුවා හැර මහ ඡන්දයකට යෑමය. ඉබ්බෝ කවද්ද ගස් ගියේ කීවාක් මෙන් එජාපයේ ප්‍රයත්නය ලත් තැනම ලොප් විය.  

ඉකුත් ඡනාධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූයේ බැසිල් රාජපක්ෂය. හොද වැඩකාරයෙකු වූ ඔහුගේ උපාය උපක්‍රමයන් නොවන්නට ජනාධිපතිවරණයේ සන්ධානයේ පරාජය ලක්ෂ 20කට ආසන්නවීමට ඉඩ තිබිණි. “ආප්පේ දන්නේ නැහැ,තාච්චියේ හිටපු හැටි" යන ප්‍රකට කියමන මෙහිදී සිහිපත් වේ. ජනපතිවරණය පරාජයේ සියළු වගකීම් භාරගැනීමට තරම් නිහතමානී වූ බැසිල් ශ්‍රිලනිප ජාතික සංවිධායක තනතුරෙන්ද ඉල්ලා අස්විය. අනෙක් සුවිශේම කරුණ වන්නේ බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට අප්‍රේල් 21වැනිදා පැමිණියේ අත්අඩංගුවට පත්වන බව දැන දැනම රාජපක්ෂ පවුලේ හොද නම රැක ගැනීමටය. දින 55ක් ඔහු සිරබත් කෑවේ රාජපක්ෂලා වෙනුවෙනි. දැන් කිසිදු චෝදනා පත්‍රයක් නොමැතිව සිය නිර්දෝෂිභාවය ජනතා අධිකරණය ඉදිරියේ බැසිල් රාජපක්ෂ පසක් කොට ඇත. වින්ස්ටන් චර්චිල් වරක් කීවාක් මෙන් බුරන බල්ලන්ට ගල් ගැසීමට නැවතිය යුතු නොවේ.  එමෙන්ම වැරදුන තැන්වලින් පාඩම්ද ඉගෙනගත යුතුය.
සමස්ත ලංකා සමෘද්ධි බැංකු සහ කාර්යාල නිළධාරින්ගේ සංගමය ඇතුළු සියළුම වාගේ සමෘද්ධි සංගම් ප්‍රකාශයක් මගින් කියා සිටියේ හිටපු ඇමති බැසිල් ඇතුළු නිළධාරින් 4 දෙනාම ඉතාම දක්ෂ පිරිසක් බවත් දුප්පත්කම අඩුකරමින් දිවි නැගුම ජාතික ආර්ථිකය ශක්තිමත් කල බවය. ශ්‍රී ලංකාවේ දුප්පත්කම 2005වන විට සියයට 16.2ක්වූ අතර එය 2013වන විට සියයට 6.7ක් දක්වා අඩුවූයේ දිවි නැගුම වැඩසටහන හේතුකොට ගෙන බවද එහ සමෘද්ධි සංගම් වැඩිදුරටත් ාපෙන්වා දී තිබිණි. 

ඉකුත් ජනාධිපති මැතිවරණය අරාබි වසන්තය, ශ්‍රී ලංකාවට ආදේශ කිරීමකි. මෙවරද මහ මැතිවරණය සම්බන්ධයෙන් ඇමරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍යය සහ නොර්වේ ඇතුළු යුරෝපීය රටවල් දක්වන්නේ පුදුමාකාර උනන්දුවකි. මහින්ද සුළඟ ඉතා වේගයෙන් ගම් නියම් ගම් හරහා වෙළා ගනිමින් පවතී. මහින්ද සුළඟ දිනාගත් දේශය රැක ගැනීමටය. මහින්ද සමඟ නැගිටිමු රැස්වීම් මාලාවට සෙනඟ එන්නේ වක්කඩ කැඩුවා සේය. කොටුවේ බෝගහ අසළ, ගාල්ල උසාවියේ පචගහ යට, ගම්පහ දුම්රිය පොල ඉදිරිපිට වැනි ස්ථානයන්හි  තෙල් බෙහෙත් වෙළෙන්දෙකුට පවා සීයක් දෙසීයක් ජනයා රැස්වේ. මහින්දගේ රැස්වීම්වලට ජනතාව ලක්ෂ ගණනින් ආවාට පමණක් මදිය. මහ මැතිවරණ යාන්ත්‍රණයක්ද මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ප්‍රබලව ක්‍රියාත්මක විය යුතුය.

අගමැති රනිල් වික්‍රමසිංහ කීවාක් මෙන් මළබතට වට්ටක්කා සැපයීමට වාසුදේව නානායක්කාරලාට හැකිවූවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ශ්‍රිලනිප පාක්ෂිකයින් සහ හිතවතුන්, ප්‍රගතිශීලි පක්ෂ සහ පුද්ගලයින්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පිරිස් දිනා ගැනීමට මැතිවරණ යාන්ත්‍රණයකට නායකත්වය දීමට ඔවුනට කිසිසේත් නොහැක. යුගයේ අවශ්‍යතාවය අනුව මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටින්නේනම් බැසිල් රාජපක්ෂ එම මැතිවරණ යාන්ත්‍රණයට ක්‍රියාකාරිව මැදිහත් විය යුතුය.  එමෙන්ම මැදිහත් කරවාගත යුතුය. 

මහින්ද රාජපක්ෂ ජනාධිපති කරගැනීමට පළමු සැලසුම බැසිල් රාජපක්ෂ ඇරඹුවේ 1989 මාර්තු 4වැනිදා ටොරින්ටන්හි සුනිමල් ප්‍රනාන්දුගේ කාර්යාලයේදීය. බැසිල්ගේ ආත්මය සුන්දර ගැමියෙකුගේය. කලමණාකරණය සහ නායකත්වය ජාත්‍යන්තරවාදීය. මහින්ද රාජපක්ෂ ආනන්දයෙන් ප්‍රඥාවට යන ගමනේදී අයෝමය ශක්තිය වූයේද බැසිල්ය. කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව යුධ විජයග්‍රහණයේදී ගෝඨාභය රාජපක්ෂ මහින්දගේ අරමුණට එකඟව මානුෂික මෙහෙයුම සිදු කරද්දී එයට සමගාමීව සංවර්ධනය සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලියට අත ගැසූවේද ඇමති බැසිල්ය. බෙදුම්වාදී ත්‍රස්තවාදයට හිතකරව ජාත්‍යන්තරව ගොඩනැගී තිබූ මව්බිමට අහිතකරවූ විදේශීය රාජ්‍ය ත්‍රාත්ත්‍රික මතවාදයන් සමනය කරමින් බැසිල් ඉටුකල මෙහෙය කිසිසේත් අකාමකා දැමිය නොහැක. නැගෙනහිර නවෝදය, උතුරු වසන්තය ජාතික සංහිදියාවට නව පෙරවදනක් විය. මෙණ්ඩක සිටුවරයා අරභයා බුදුන් වදාල ගාථාවක සඳහන් පරිදි කොළ-අතුවලින් ඇඟ වසාගත් තමන්ගේ ලොකු වැරදි පවා සඟවාගෙන සිටින කපටි ලිහිණි වැද්දන්ට පමණක් මේවා අරහං වනු ඇත.

වසර 1977 ශ්‍රිලනිප පාක්ෂිකයෝ මහ මැතිවරණය කළේ ‘සීනි නැතිව තේ බොන්නම්, මිරිස් නැතිව හොදි කන්නම්, මැතිණි අතින් දෙනවානම් පිදුරු වුනත් අපි කන්නම්' යනුවෙන් පෙළපාලි යමිනි. ශ්‍රිලනිප 1989 පෙබරවාරි මස පැවති මහ මැතිවරණයට පෙළපාලි ගියේ ‘හේමාට නෙට්බෝල්, ප්‍රේමෙට ෆුඩ්බෝල්, රෝසිට පැනඩෝල්, අපිට පොලිඩොල් යනුවෙනි'. මේවා අදට වලංගු නැත. තට්ට මහත්වරුන්ට පනා විකුණා වැඩක් නැත. ඇස්කිමෝවරුන්ට අයිස් විකුණා වැඩක් නැත. සැර බීම ෂොප් අසළ තේ කඩ ඇරලා වැඩක් නැත. එබැවින් දිනූ දේශය රැක ගනිමින් පස් අවුරුදු ජනතාවාදී යෝධ සැලැස්මක් ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කල යුතුය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක 1994 දී සියයට 62ක් ඡන්ද ලබා ජයගත්තේ යුද්ධය තිබෙන කොටය. මහින්ද රාජපක්ෂ 2010 සියයට 57ක් ඡන්ද ලබා ජය ගත්තේ යුද්ධයේ විජයග්‍රහණයෙන්ද පසුවය. ඉකුත් වසර 9 කරුණු කාරණා පිළිබදව ස්වයං විවේචනාත්මකව  ආපසු හැරී බැලීමක් සහ අනාගතය වෙත ප්‍රවේශයක් සිදුකල යුතුය. මේවාට එක්කරගත යුත්තේ අත්තෙන් අත්තට පනින බලය ඇති විට මොලය නැති මහාචාර්යවරුන් ඇතුළු සරසවි ඇදුරන් නොවේ. පොලවේ පය ගසා සිටින බුද්ධිමතුන් සහ උගතුන්ය. 

මේ හෙයියන්මාරු මෙසේ සිදුවෙද්දී මෛත්‍රී සහ මහින්ද සමඟි කරවීමට ශ්‍රිලනිපයෙන් 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද පත් කළේය. මේවා චූන් පාන් කාරියන්ගේ සැලසුම් සහගත නරි නාටක උපායන්ය. බටහිර තානාපති කාර්යාලවල උපදෙස් අනුව බටකොළ ආච්චිද පසුබිමේ සිටිනවා විය හැකිය. පළමු සාකච්ඡාවේදීම මහින්දට පල නොකියා පලා බෙදීය. කෝදුරු තෙල් හත්පට්ටයක් ගෙනාවද ශ්‍රිලනිපයේ නිල අගමැති අපේක්ෂකත්වය මහින්දට ලබාගැනීම ගඟට කපන ඉනි මෙනි. මහින්ද මීළඟ සාකච්ඡාවකට යා යුත්තේ ශ්‍රිලනිප නිල නායකත්වයෙන් අවබෝධතා ගිවිසුමක් කෙටුම්පත්කර ගැනීමෙන් පසුව පමණි.


මහින්ද නැතිව ශ්‍රිලනිපයට දිනන්නට බැරිය. එය ඓතිහාසික සාධකයකි. පාසැල් නිල ඇදුම් ඇදගෙන යළි බැක් ටු ස්කූල් යන හිරුණිකා ප්‍රේමචන්ද්‍රලා වැනි ශ්‍රිලනිප ඩාර්ලි රෝඩ් කණ්ඩායම සමඟ එක වේදිකාවේ කටයුතු කිරීම හදවතින්ම ශ්‍රිලනිප කණ්ඩායම නියෝජනය කරන නායකයා වන මහින්ද රාජපක්ෂට උචිත නොවේ. උපාය උපක්‍රමයන් මත විකල්පයකට මහින්ද රාජපක්ෂ යා යුත්තේ දිනූ දේශය රැක ගැනීමටය. එජාපය සහ ඩාර්ලි රෝඩ් ශ්‍රිලනිප කණ්ඩායම පිනවීමට නොව හදවතින්ම ශ්‍රිලනිප කණ්ඩායම ඇතුළු ප්‍රගතිශීලින් දිනවීමටය. සටන ඇරඹිය යුතුය. 'යු' ද ගේම්ය.


- ධර්මන් වික්‍රමරත්න  : ejournalists@gmail.com
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. යෝධ සැලැස්මක් කියන්නේ හෙන ලොකු ඇති නේද? අර මහින්ද චින්තන පඩංගුව වගේ එකක්ද?

    ReplyDelete
    Replies
    1. සිරි මෝඩි පඹයාගේ ගහන ගහන පදයට නටන පඹ රූකඩ චින්තනයට ජය වේවා....

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions