6/09/2015

ලාංකීය සාහිත්‍ය සමාජය තුළ කතුවරයාගෙන් වියුක්තව කෘති සංවාදයට ලක්කරන්න බැහැ

කතෘ:යුතුකම     6/09/2015   1 comment

ලාංකීය සාහිත්‍ය සමාජය තුළ කතුවරයාගෙන් වියුක්තව කෘති සංවාදයට ලක්කරන්න බැහැ
- කුමාර ලියනගේ -

1988 දී ”විමානයෙන් බසිනු මැනවි” සහ 2000 වර්ෂයේ දී ”ඉඳුවර පොකුණ” නමින් කාව්‍ය සංග‍්‍රහ දෙකක් පළ කොට කවියෙකු වශයෙන්  සලකුණු තැබූ කුමාර ලියනගේ ගේය පද රචකයකු ලෙසද අනන්‍යතාවක් ගොඩනගා ගත්තෙකි. ඔහුගේ   ”චේ සහ ඇපල් ” නමැති තෙවන කාව්‍ය සංග‍්‍රහය සංවාදයට බඳුන් කළ යුතු පිටු 120 ක  විමර්ශනාත්මක පෙරවදනකින් යුක්තය. මේ ඒ පිළිබඳ ඔහු සමග කළ  සංවාදයේ සංක්ෂිප්ත සටහනයි. මේ සංවාදය දිවයින වටමඩලේ මුල්වරට පලවිය.

-------------------------------------------------------------------------------------------------------------
”විමානයෙන් බසිනු මැනවි”, ”ඉඳුවර පොකුණ” වැනි ඔබේ අනෙකුත් කාව්‍ය සංග‍්‍රහ වලින් ”චේ සහ ඇපල් ” වෙනස් වෙන්නේ කොහොම ද?

මූලික වශයෙන් ”විමානයෙන් බසිනු මැනවි”, ”ඉඳුවර පොකුණ” යන කාව්‍ය කෘති දෙක ගත්තොත් ඒවායෙහි මූලික අරමුණ එහි පෙරවදනේම සදහන් කොට තිබෙනවා. ආධුනික කවියෙක් හැටියට අත්‍යවශ්‍ය කාරණයක් තමයි සම්ප‍්‍රදාය හැදෑරීම. එතකොට තමයි යම් විදිහකට තමන්ගෙම කියල අනන්‍යතාවයක් කෙනෙකුට ගොඩනගාගන්න පුළුවන් වෙන්නෙ. අධ්‍යාපනික පැත්තෙන් වානිජ විද්‍යාව තමයි මම උපාධිය දක්වා හැදෑරුවේ. එතැනදී කලා උපාධිය හදාරපු අයට මෙන් කලා ඉතිහාසය, අපේ සාහිත්‍ය සම්ප‍්‍රදාය පිළිබද  දැනුම මට ලැබුණේ නෑ. එතකොට මට සිද්ධවෙනවා ස්වාධීන උත්සාහයක් ඔස්සේ එය දැන ගන්න. සම්ප‍්‍රදාය හදාරමින් ඊට අනන්‍ය කවි බසක් ගොඩ නගා ගැනීමට තමයි  මම මුල් කෘතිවලින් වෙහෙසුනේ. ”චේ සහ ඇපල් ”කෘතියේ දී මම කරන්නේ ඒ කවි බස තව දුරටත් මගේ රීතියක් ඔස්සේ නවීකරණය කර ගන්න පුළුවන්ද කියලා උත්සාහයක් දැරීම.
ඔබ කිසියම් දේශපාලන මැදිහත්වීමක් ද ඒ ඔස්සේ කරන බව පේනවා,

ඉතාමත් පැහැදිලියි, සාහිත්‍යකරුවා කියන්නේ සමාජ ජීවියෙක්. එතකොට මේ සමාජ රටාව මෙහෙයවන ජාතික සහ අන්තර්ජාතික දේශපාලන ක‍්‍රියාවලියට ඔහු මුහුණ දෙමින් සිටිනවා. ඉතිහාසයේ අපේ රටේත් විවිධ රටවල සාහිත්‍යකරුවන්ගේත් කාර්යභාරය මම හැමවිටම දකින්නේ යම් දේශපාලනික මැදිහත් වීමක් විදිහට. බෞද්ධ සමාජයේ ගිහි පැවිදි පඩිවරුන්  ආගමික මතවාද ඔස්සේ යම් යම් අර්බුදකාරී අවස්ථාවල සාහිත්‍යකරුවන් විදිහට ඒ මැදහත්වීම කර තිබෙනවා. ඒ මැදිහත්වීම්වල අරමුණ තමයි සමාජය පොදු ජනතාවගේ යහපත පිණිස සකස් කර ගැනීම. එතකොට මේ කෘතියේ මගේ මැදිහත්වීම තිබෙන්නේ වර්තමානයේ අපට නොපෙනෙන ඒ වගේම අපි නොසිතන තරමේ සංකීර්ණ බටහිර බලවේග විසින් මෙහෙයවනු ලබන කොල්ලකාරී ධනේශ්වර දේශපාලනය නිරාවරණය කිරීම. එය අත්‍යවශ්‍ය කරුණක් බව මා විශ්වාස කරනවා.

ගෝලීය දේශපාලනය හමුවේ බටහිර බලවතුන්ගේ ක‍්‍රියාකාරීත්වය නූතන මානවයාගේ ජීවිතයට කරන බලපෑම නිරාවරණය කළ යුතු යැයි ඔබ සිතන්නේ කවර හේතු සාධක මත ද?

මේ මොහොතේ අපේ ආසියානු මෙන්ම අප‍්‍රිකානු ලතින් ඇමරිකානු රටවල තිබෙන සමාජ අර්බුද නිර්මාණය කර තිබෙන අදිසි බලවේගය ඇමරිකාව ප‍්‍රමුඛ බටහිරයන්ගේ දේශපාලනය. ලෝක ශිෂ්ටාචාරය ගත්තම යම් යම් දර්ශන එහෙම නැත්නම් දේශපාලනික මතිමතාන්තර බලවත් රටවලින් දුබල රටවලට ඉදිරිපත් වෙලා තිබෙනවා. නමුත් නව ලිබරල් යටත්විජිතවාදය ඔස්සේ ලෝකයේ මුල්වරට ඒ දෘෂ්ටිවාදී මතවාදය සදහා විද්‍යාත්මකව, ශාරීරික සහ මානසික වශයෙන් මිනිසුන් පරිවර්තනය කිරීමේ මෙහෙයුමක් දියත් වෙනවා. මේක ඉතාමත් සූක්ෂමව දියත් වෙන්නේ. ත‍්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය, විනෝද කර්මාන්තය, ආහාර සංස්කෘතිය, ඖෂධ හා ජනමාධ්‍ය මේ ක‍්‍රියාවලියට විවිධාකාරයෙන් දායක කර ගන්නවා. මේ පිළිබදව මා වසර 10 ක් පමණ අඛණ්ඩ අධ්‍යයනයක යෙදී සිටියා. 

නමුත් ගෝලීය දේශපානය හමුවේ කිසිම රටකට හුදකලා වෙන්න බැහැ නේද?

ලංකාවේ ඉතිහාසය ගත්තත් අපි හුදකලාව ගොඩනැගිල නෑ. අපි අන්තර්ජාතික ක‍්‍රියාවලීන් සමග බැදී සිටි ජාතියක්. අපේ රටට රත්න දීප, සිහල දීප, සෙයිලාන්, සිලෝන්, මේ ආදී වශයෙන් නම් ගොඩක් ලැබෙන්නේ ඒ නිසා. නමුත් ඉතිහාසයේ අපට පුළුවන්කම තිබුණා අපිට අනන්‍ය ශිෂ්ටාචාරයක් ගොඩ නගාගන්න. අද අපිට ජාතික රාජ්‍ය වලංගු නෑ කියන මිත්‍යාව අද අපේ ඔලූවලට දාලා තියෙනවා. අපි තේරුම් ගන්න  ඕන දේ තමයි රාජ්‍යයකින් තොරව අධිරාජ්‍යයක් ගොඩනැගෙන්නෙ නෑ කියන එක.  ඒ කියන්නෙ නූතන දේශපාලනය ඇතුලෙත් ජාතික රාජ්‍ය වලංගුයි. ඒ නිසා තමයි ඇමරිකාවට රාජ්‍ය ලේකම්වරයෙක් ඉන්නෙ. මං යෝජනා කරන්නේ බටහිර බලවේග  යෝජනා කරන අත්තනෝමතික දෘෂ්ටිවාදවලින් බැහැර වෙලා මේ නූතන දේශපාලනය ඇතුලේ අනන්‍යතාව ගොඩනගා ගන්නේ කොහොමද කියන එකයි. අද රටවල් කලාපීය වශයෙන් සන්ධානගතවීමක් දක්නට ලැබෙනවා. නමුත් ඒ කලාපීය සන්ධාන ඇතුලේ ඒ ඒ රටවල අනන්‍යතාව ආරක්ෂා කරගන්න උත්සාහ ගැනීම මා කියන කරුණ තහවුරු වෙන එක් සාධකයක්.

77 විවෘත ආර්ථිකයේ විෂම පැවැත්ම මේ බොහෝ විපර්යාසයන්ට හේතු වූ කඩඉමක් ලෙස ගැනීම නිවැරදි වුවත් එම කාල සීමාව වන විට ජේ.ආර් සිටි තැන විජේවීර සිටියත් අපේ රට ගෝලීය ධනේශ්වරයට විවෘත වීම වළක්වන්න බැහැ නේද.

නූතන ලංකාවේ සමාජය වහා කළ යුතු දේ තමයි ජේ.ආර්. ගෙන් ගැලවීම. ජේ.ආර්. කියන්නේ ඉංග‍්‍රිසි පාලන සමයේ ඔවුන්ගේ ක‍්‍රියාවලියට ඍජුව බැලමෙහෙවරකම් කරපු පරම්පරාවක නූතනයා. නිදහස් ලංකාවෙ ප‍්‍රථම ආර්ථික කටයුතු පිළිබද අමාත්‍ය ධූරය හොබවන්නෙ ඔහු. ඊළගට දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ සැන්ෆ‍්‍රැන්සිස්කො (San Francisco) නගරයේ දී ඇමරිකාවට පක්ෂග‍්‍රාහීව ආසියානු කලාපය නියෝජනය කරමින් රුසියාවට එරෙහිව මත නිෂ්පාදනය කළෙත් ඔහු. මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඔහු හා ඇමරිකාව අතර අප‍්‍රකාශිත එකගතාවක් තිබුණ බව. 1956 බණ්ඩාරනායක ඝාතනය කිරීම, උතුරේ ත‍්‍රස්තවාදය නිර්මාණය කිරීම, වාමාංශික දේශපාලනය බිද දැමීම සහ අවසාන වශයෙන් 76 වෙනකොට විවිධ කුමන්ත‍්‍රණ ඔස්සේ සභාග ආණ්ඩුව බිද වැට්ටීම ඇතුලේ බටහිර බලවේග සියුම්ව ක‍්‍රියාත්මක වුණු බව පේනවා. ඒ නිසා මේ අනාගත අවදානම අපිට ඒ කාලෙ තේරුම් ගන්න බැරි වුණා. නමුත් සියල්ල අවසන් වූවාට පසු මේක අවබෝධ කරගන්න පුලූවන් වෙලා තියෙනවා. 
අන්තර්ජාතික අලෙවිකරණ ක්ෂේත‍්‍රයට 70, / 80 දශකවල බටහිරයන් විසින් හදුන්වා දුන් නව ප‍්‍රවේශ බහුමානීය වශයෙන් ගත්විට වැදගත්කමක් ඇත්තේම නැද්ද?

වැදගත්කමක් තියෙනවා. ඒ වැදගත්කම තියෙන්නෙ ඒක භාවිතා කරන ක‍්‍රමවේදය අනුව. දැන් ගෝලීය නව ආර්ථික ක‍්‍රමවේදය කියන්නේ ලාභය පදනම් කර ගත්ත වෙළද සමාජයක්. ලාභය උපරිම කර ගැනීම සඳහා පිරිවැය අවම කරගත යුතුයි. බටහිර සහ ලෝකයේ ධනවත් රටවල් වලට අයත් පාරජාතික සමාගම් (Trans National Companies - TNC) ලාභදායී ශ‍්‍රමය සහ භූමිය හොයාගෙන දුප්පත් රටවලට එනවා. ඒ ඇවිත් ඔවුන්ගේ නිෂ්පාදන කර්මාන්තශාලා ඒ රටවල් ආශි‍්‍රතව ගොඩනගනවා. මෙතැන දී බටහිර රටවලට වැරදුණු දෙයක් තමයි ඒ එක්කම ඔවුන්ගේ තාක්ෂණය ඒ රටවල් වලට ගලාගෙන යන එක. ආසියානු කොටි (Asian Tiger ) නමින් හැදින්වෙන රටවල් බිහිවුණේ ඒ විදිහට.

චීනය අදවන විට ලෝක බලවතෙක් බවට පත් වී තිබෙන්නේ ඩෙන් ෂියා  ඕපින් ගේ ( Deng Xiaoping ) පාලන කාලයේ දී බටහිර රටවල තාක්ෂණය චීනයට ලබා ගැනීම සදහා විවිධ වෘත්තිකයන් ඒ රටවලට යවලා ආපහු ගෙන්වා ගත් නිසා. ගෝලීයකරණය ප‍්‍රතිවර්තනය වීම (Bounce Back) සිදුවුණේ ඒ විදිහට. අද ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් වලට, අමුද්‍රව්‍ය හිමිකාරීත්වය සහිත රටවල් වලට, ඔවුන්ගේ ගොදුරුබිම් බවට පත් වී තිබුණ අමුද්‍රව්‍ය සහිත රටවල් අහිමි වෙමින් තිබෙනවා. බටහිර ආර්ථිකයත් අද කඩා වැටෙන්නේ ඒ නිසයි. ස්වභාවික සම්පත් සහිත ජාතික රාජ්‍යයන් නූතන දේශපාලනයේ දී සිදු කළ යුත්තේ තමන්ගේ අවශ්‍යතාවන් සදහා අන්තර්ජාතික මට්ටමේ දැනුම් පද්ධති ගොඩ නගා ගැනීමයි. මේ ගෝලීය දේශපාලනය භාවිතා කළ යුත්තේ ඒ සදහායි.

මේ විවෘත්ත ආර්ථිකය කියන්නේ යුද්ධයක්. එය ඔබ පිළිගත්තේ  නැත්නම් ඔබට සිදුවන්නේ යුද්ධයේ ගොදුරක් වෙන්නයි.” යන කීත් චෙම්බර්ස් ගේ ප‍්‍රකාශය ද ඔබ පෙරවදනෙහි උපුටා දක්වා තියෙනවා. එහෙම ප‍්‍රයෝගිකව බැලූවොත් ලෝකයේ දිනෙන් දින දියුණු වන සංවර්ධනයට සීමාවන් පැනවිය හැකි ද?

මේ සමාජ ක‍්‍රමය පිළිගත යුතුමයි කියා බලකරන්නන් අප වටකොට සිටිනවා. ඒ නිසා මේ සිද්ධ වෙන්නේ සංවර්ධනය යැයි අප සිතමින් ඉන්නවා. නමුත් වෙළදපොල ආර්ථිකය අද වන විට ඇමරිකාව පවා ප‍්‍රතික්ෂේප කරනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී බැරක් ඔබාමා සහ මිට් රොම්නි (Mitt Romney) අතර සිදු වූ සජීවි සංවාදය මා නැරඹුවා. ඔවුන් දෙදෙනාගේම යෝජනා වල තිබුණේ අභ්‍යන්තරාභිමුඛ (Inward bound) ආර්ථික යෝජනා. ඒවා කි‍්‍රයාත්මක වෙන විදිහේ ප‍්‍රශ්න තියෙන්න පුලූවන්. නමුත් මාර්ගෝපදේශිත (Guided market) වෙළදපල ක‍්‍රමය තමයි වර්තමානයේ සංවාදයට ලක්වෙමින් තිබෙන්නේ. ලිබරල් ආර්ථික ක‍්‍රමය ඇතුලේ මිල්ටන් ෆ‍්‍රීඞ්මන් (Milton Friedman) කියපු විදිහේ රූරා වැටීමේ (Trickle Down) වාසිය සිදුවන්නේ නැති බව  ඕනෑවටත් වඩා ඔප්පු වී තිබෙනවා. ලෝක වෙළද මධ්‍යස්ථානයට ප‍්‍රහාර එල්ල වූ අවස්ථාවේ බිද වැටුණු ගොඩනැගිලි දෙක සංකේතවත් කරමින් සමාජවාදය හා ධනවාදය රජ කළ යුගය අවසන් වී ඇති බව ඇතැම් ආර්ථික විද්‍යාඥයන් පැවසුවා.

ආසියානු සියවසේ එළැඹිමත් එක්ක අලූත් ආර්ථික න්‍යායන් ලෝකයට අවශ්‍ය වී තිබෙනවා. එය මාක්ස්වාදී විග‍්‍රහයන් ඇතුලෙත් ආසියානු නිෂ්පාදන මාදිලිය කියා වෙනම හදුනාගෙන තිබෙනවා. ලෝක අර්බුදය හමුවේ නූතන මිනිසාට නව සමාජ දැක්මක් අවශ්‍ය වී තිබෙන බව පැහැදිලියි. ඊට හේතුව මුලූ මහත් ලෝකයම සංවර්ධනය යැයි අද ගමන් කරමින් සිටින්නේ විනාශයටයි. 

80 දශකයෙන් පසු බිහි වූ Yපරම්පරාව පවා ඔබ හදුනාගන්නේ සමාජ අර්බුදයක් ලෙසයි. ඔබ එවැනි නිගමනයකට එන්නේ කවර කරුණු නිසා ද?

ලෝකයේ 1980 න් පස්සේ බිහි වූ තරුණ පරම්පරාව Y ජෙනරේෂන් (Y - genaration) හැටියට තමයි හදුන්වන්නේ. ඒ Y පරම්පරාව බිහිවන්නේ නව ලිබරල් ධනවාදයේ අවශ්‍යතාවයක් හැටියට. ලෝකයේ විද්වත්තු පිළිගන්නවා Y පරම්පරාවේ ගැහැනු සහ පිරිමි අතරින් ප‍්‍රථම ලිංගිකයා (First Sex) බවට පත්වෙන්නේ ගැහැනිය. ඒක සැලසුම් සහගත ක‍්‍රියාවලියක් ඇතුලෙයි සිද්ධ වෙන්නේ. 

බි‍්‍රතාන්‍ය පාලන සමයේ දී වෙල්ලස්සේ කැරැල්ල මර්ධනය කිරීම සදහා අවුරුදු 18 ට වැඩි සියලූම පිරිමි ඝාතනය කිරීමේ සැලැස්මක් දියත් කළා. පසුකාලීන අධිරාජ්‍යවාදයට එරෙහිව විවිධ රටවල ගොඩනැගුණු අරගල වල මූලිකත්වය ගත්තේ ඒ ඒ රටවල පිරිමි සමාජය.  එදා වෙල්ලස්සේ කරපු ඝාතනය අද සිද්ධ වෙන්නේ ගර්භාෂයෙන්. ඒ සදහා ඖෂධ, හෝමෝන, ජාන, ආහාර, කුමන්ත‍්‍රණකාරී ලෙස භාවිත කරනවා. මං අහන්නේ අපේ රටේ නූතන තරුණ පිරිමි පරපුරේ බහුලව දැකිය හැකි කාන්තා ලක්ෂණ සහිත පිරිමින් බිහිවුණේ කොහොම ද? ඔවුන් අද වන විට ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර ආර්ථිකය විසින් සැලසුම් කර තිබෙන වෙළදපොල යාන්ත‍්‍රණ්‍යට අනුගත වෙමින් සිටින්නේ කොහොම ද?

Y පරම්පරාවේ ප‍්‍රථම ලිංගිකයා (First Sex) තරුණිය බව අපේ සමාජය මේ වන විට ඔප්පු කරමින් සිටිනවා. අද කලාව, සාහිත්‍ය, ජනමාධ්‍ය, පොළඹවන්නේ කාන්තාවන් විදිහට හිතන්න. අද පිරිමින්ට තියෙන්නේ කාන්තාවන් විදිහට ලියන්න. කාන්තාවන් විදිහට රගපාන්න. කාන්තාවන් විදිහට අඳීන්න, කාන්තාවන් විදිහට මාල, වළලූ, කරාබු දාන්න. කාන්තාවන් විදිහට ඇහිබැම සහ තොල් සකස් කර ගන්න.

නූතන Y පරම්පරාව බිහිවන්නේ ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රතිඵලයක් හැටියට කියන එක ද ඔබේ අදහස

අපි තේරුම් ගන්න  ඕන දේ තමයි ලිබරල් ආර්ථික ක‍්‍රමය මත ගොඩනැගුණු වෙළදපළෙන් තොර ජනප‍්‍රිය සංස්කෘතියක් නෑ කියන එක. නූතන ජාතික රාජ්‍ය බිද වැටීම කියන ක‍්‍රියාවලිය මුහුණ දෙන්නේ  ලිබරල් වෙළෙන්දන්ගේ ආක‍්‍රමණයට. ලිබරල් වෙළදාම - සිනමාවෙන්, ටෙලිවිෂන් එකෙන්, එෆ්.එම් ගුවන් විදුලියෙන්, පොත් වෙළදාමෙන්, විලාසිතා කර්මාන්තයෙන්, සංගීතයෙන්, අලෙවිකරණයෙන්, විනෝද කර්මාන්තයෙන්, සිදුවෙමින් තිබෙනවා. ජනප‍්‍රිය සංස්කෘතිය කියන්නේ  Y- පරම්පරාව පදනම් කරගෙන ලිබරල් ආර්ථිකය ස්ථාපිත කිරීම. 

පශ්චාත් නූතනවාදය ප‍්‍රවණතාවයක් වශයෙන් ඉස්මතුවීමත්, ඔබ සදහන් කරන සමාජ වෙනස් වීම කෙරෙහි බලපෑම් කළා ද?

බටහිර රටවල පශ්චාත් නූතනවාදය කියන ප‍්‍රවණතාවය බිහිවන්නේ ඔවුන්ගේ ක‍්‍රියාවලියක් ඇතුලේ. හැබැයි මට පශ්චාත් නූතනවාදය කියන යෙදුම පිළිබද ගැටලූවක් තියෙනවා. පශ්චාත් ලෝක යුධ සමයක් තියෙන්න පුළුවන්. පශ්චාත් යටත් විජිත සමයක් තියෙන්න පුලූවන්. ඊට හේතුව ඒ සිදුවීම් නිශ්චිත දවසක අවසන් වන නිසා. නමුත් කාර්මීකරණය නූතනත්වය නිශ්චිත දවසක අවසන් වෙන්නේ නැහැ. ඒවායේ වර්ධනයත් එක්ක තමයි සමාජයත් ඉදිරියට ගමන් කරන්නේ. උදාහරණයක් විදිහට පශ්චාත් ළදරු අවධියක් පුද්ගලයෙකුට තියෙන්න බැහැ. පශ්චාත් නූතනවාදයේ ශී‍්‍ර ලංකා  පීතෘවරුන්ට මේක නොතේරුනත් පශ්චාත් නූතනවාදය කියන යෙදුම මම පළමුව බැහැර කරනවා.

දෙවනුව,

ඔය කියන පශ්චාත් නූතනවාදය අවශ්‍ය වෙන්නේ මිනිසාගෙන් බැහැර වුණු සංස්කෘතික ජීවිතය නැවත ගොඩනගන්න. නමුත් ලංකාවේ පශ්චාත් නූතනවාදය කියන්නේ නව ලිබරල් වෙළදපලේ අවශ්‍යතාවන් සදහා ගොඩනැගුණු සමාජ ප‍්‍රවණතාවක්. ඒ මතවාද ඔස්සේ යම් යම් දාර්ශනික සංවාද ඉස්මතු කර පෙන්නුවත් ඒ ක‍්‍රියාකාරිකයන් සමාජය තුළ නැගී සිටියේ වෙනත් වේෂයකින්. ලිබරල් වෙළදපළේ විවිධ පාතාල වැඩවලට මොවුන්ගේ දායකවීම් තිබෙනවා.ඒවා එළිපිට සාකච්ඡා වෙන්නේ නැහැ. ඒ හිඩැසෙන් තමයි අද සිංහල සක්විතිලා වගේ චරිත විචාරකයෝ සහ දේශකයෝ වෙලා තියෙන්නේ.

අද අපේ රටේ කලාවේ, ජනමාධ්‍යයේ, සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ සිදුවන තක්කඩිකම්වලට එරෙහිව පොදු ජනමතයක් ගොඩනගන්න බැරිවී තිබෙන්නේ ඒ නිසයි. දීපිකා ප‍්‍රියදර්ශනීට මෑතක දී ලැබුණු බුසී සම්මානය පිළිබද නූතන සාහිත්‍ය පරිවර්තකයෙකු සැර විවේචනයක්  කර තිබුණා. ඔහු මතුකර තිබුණේ බුසී සම්මානය ප‍්‍රදානය කරන්නේ ඒ රටේ සමාජ අපරාධකාරයෙක් කියන එක. එතකොට ඔහුගේ ඇතැම් සාහිත්‍ය කෘති ප‍්‍රකාශයට පත් කරන්නේ කවුද? මේ වගේ ප‍්‍රශ්න පශ්චාත් නූතනවාදීන් කියන කණ්ඩායම් වලට විෂය නොවන්නේ ඇයි?

තෙවනුව,
අපේ රටේ මෑතක දී ප‍්‍රචලිත වූ මහා ආඛ්‍යාන අවසන්ය කියන කතාව මා සළකන්නේ කෙප්පයක් හැටියටයි. සෝවියට් දේශය බිදවැටුනට පස්සේ ලෝකයේ නිර්මාක්ස්වාදීන් ප‍්‍රචාරය කරපු මෙවැනි අශාස්ත‍්‍රීය මතවාද අපේ විලාසිතාවාදී ඊනියා දාර්ශනිකයන් අවිචාරශීලි ලෙස භාර ගත්තා. මහා ආඛ්‍යාන අවසන් යැයි කියන ඔවුන්ම මහා ආඛ්‍යාන උපුටා දක්වමින් මහා ආඛ්‍යාන ගොඩනගන්න උත්සාහ දරමින් සිටිනවා.

හෙණ වැදීම, බහුජාතික ගොවියා පුත වැනි කාව්‍ය හරහා ඔබ මෙරට පාරම්පරික කෘෂිකර්මාන්තය බහුජාතික සමාගම්වලට නතු වූ ආකාරය පවා ප‍්‍රශ්න කරනවා. මේ කෘතිය තුළ මෙවැනි දෑ පිළිබදව ද අවධානය යොමු කිරීමට කල්පනා කළේ ඇයි?

අද ලංකාවේ පාරම්පරික ආහාර සංස්කෘතිය සැළැසුම් සහගතව බිද දමා තිබෙන බව පැහැදිලියි. එයින් ඇතිකර තිබෙන අහිතකර සමාජ උවදුරු වලින් ගැලවෙන එක පහසු නෑ. විවිධ සමාජ සත්කාර වැඩසටහන් හැටියට ජනමාධ්‍ය තුළ ඔජ වඩන කෘෂිකාර්මික වැඩසටහන්යට තිබෙන්නේ විශාල සමාජ අනතුරක්. අද අපට පිරිසිදු වතුර පානය කිරීමත් ප‍්‍රශ්නයක් වෙලා. නමුත් අපේ අතීත මුතුන් මිත්තන් පරිසරය ආරක්ෂා කර ගනිමින් ගොවිතැන් කර්මාන්තයේ නියැලූණා. ඒ සියල්ල අද අර්බුදයට ලක් කර තිබෙන්නේ පාරජාතික කොම්පැනිකාරයෝ. ඒවාට උඩගෙඩි දෙමින් අපේ උරුමය විකුණන කලාකරුවන් යැයි කියාගන්නා දුෂ්ඨ පුද්ගලයන් ද සිටිනවා. මනුස්සකම මුවාවෙන් අමනුස්ස වැඩ කරන පුද්ගලයන්ට අවශ්‍ය වෙන්නේ සල්ලි විතරයි. 

නමුත් කවියා කළ යුත්තේ මතවාද ගෙන ඒම ද? ඒ පිළිබද සංවේදනා පළකිරීම ද?

ඒක සාපේක්ෂයි. ලතින් ඇමරිකානු රටවල සහ අපි‍්‍රකානු රටවල සාහිත්‍යකරුවන් තමන්ගේ මෙහෙවර හැටියට සලකන්නේ අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කිරීම. සහරා කාන්තාරය පතුලේ ලෝකයේ භාවිත වන ජලය වගේ සිය ගුණයක උල්පත් තිබෙන බව ගවේෂණවලින් තහවුරු කරගෙන තිබෙනවා. එහෙත් ඒවා මතුකර ගැනීමට අප‍්‍රිකානු රජයට තවමත් නොහැකි වී තිබෙනවා. මෙවැනි අර්බුද දැක දැක සංවේදනා පළකිරීම කළ හැකි වන්නේ මානසික රෝගීන්ට පමණයි. අද කලාවෙන් සංවේදනා පළකරන්න උත්සාහ කරන ජීවිත ඇතුලේ තිබෙන්නේ අදුරු යථාර්ථ. මේවා අභියෝගයට ලක් නොකර මනෝරාජික සාහිත්‍ය ලෝකවල කැමැති කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්.

නමුත් ඔබ මහගමසේකරව ගෝලීය දේශපාලනය පුරෝකතනය කල කවියෙකු ලෙස හදුන්වා දෙමින් පෙරමුණට ගේන බව පේනවා.

පැහැදිලිවම ඔව්. 60 දශකයේ මැද භාගයේ ඇමරිකාවේ, ප‍්‍රංශයේ, එංගලන්තයේ සංචාරය කරපු ඔහුට බටහිර සමාජයේ තිබුණ ඇතැම් නිස්සාර දේවල් දෙස විචාරශීලීව බලන්නට හැකියාව ලැබුණා. ලෝක දේශපාලනයේ ඉදිරි ගමන පුරෝකතනය කළ ඔහුට නුදුරු කාලයේදීම ඒ සමාජ ක‍්‍රමය අපේ රටත් ආක‍්‍රමණය කරන බව වටහා ගන්න තරම් බුද්ධියක් තිබුණා. ඔහුගේ බොහෝ කෘතිවල මේ අදහස දකින්න පුළුවන්. මම සේකර හදුනා ගන්නේ ලංකාවේ බිහි වු අග‍්‍රගන්‍ය නූතන දාර්ශනික කවියා විදිහට.

එතකොට නූතන කාව්‍ය සම්ප‍්‍රදාය පිළිබද ඔබේ අදහස මොකක්ද?

ලංකාවේ කලා සම්ප‍්‍රදාය අතීතයේ  ඉදලම අර්බුදයකට මුහුණ දුන්නා. ඒ නිසා අපි මහා සම්ප‍්‍රදාය කියලා තේරුම් ගත්තේ වෙන දෙයක්. 10 වෙනි සියවසේ දී පමණ අපේ රටට බලපෑ හින්දු සභ්‍යත්වය ඔස්සේ සංස්කෘත සාහිත්‍ය ධාරාවට රාජ්‍ය අනුග‍්‍රහය ලැබුණා. ඒක ඇත්තටම පොදුජන සාහිත්‍ය ව්‍යාපාරයක් නොවෙයි. සකු රීතිය ඔස්සේ ගොඩනැගුණු මහා කාව්‍ය සම්ප‍්‍රදාය නිසා දේශජ සාහිත්‍ය කලාව දූෂණය වූ බවයි මා විශ්වාස කරන්නේ. දඹදෙණි කතිකාවත, බුදුගුණ අලංකාරය වැනි කෘති පසුකාලීනව නිර්මාණය වෙන්නේ ඊට එරෙහිවයි.

කෝට්ටේ යුගයේ දී අත්කර ගත්ත ජයග‍්‍රහණ පිළිබදව විචාරකයන් කතා කරනවා. මේ අදහස පිටුපස තිබෙන්නේ එතෙක් කලක් රටේ පැවතුණේ පීඩනයක්ය කියන එක. අපේ රටේ ජන සම්මත කවීන් සීගිරි කුරුටු ගී ලිවීමෙනුත් කළේ විප්ලවයක්. 

පශ්චාත් යටත්විජිත සිංහල බුද්ධිමතුන් හැටියට ප‍්‍රකට වුණු ඇතැම් සමාජ විද්‍යාඥයන් අනුකාරකයන් විදිහට කටයුතු කළ බව කියන්න  ඕනෑ. ඔවුන් රොබට් රෙඞ්ෆීල්ඞ් ( Robert Redfield ) වැන්නන්ගේ සංකල්පවලින් අපේ රටේ සම්ප‍්‍රදාය විග‍්‍රහ කළා. එතැනිනුත් විශාල හානියක් සිදු වුණා. ඔය කියන මහා කාව්‍ය සම්ප‍්‍රදායෙන් කැටකිරිලි සංදේශය ලියැවෙනකොට ඒක දෙවියන්ගෙන් දෙවියන්ට යොමු කැරෙන කාව්‍ය ධාරාවක් බවට පත් වුණා. අපට අවශ්‍ය මිනිස් ජීවිතයත් එක්ක බැදුණු කවියක්.

නමුත් ඒ සදහා නූතන කාව්‍ය සම්ප‍්‍රදායේ තිබෙන අර්බුදය මොකක් ද?

සෑම කාව්‍ය කෘතියක්ම එකම භාෂා රීතියකින් නිර්මාණය විය යුතුයි යන මිත්‍යා මතයට කවීන් ගොදුරු වුණා. වර්තමානයේ කාව්‍ය කෘතියක් යනු විවිධ තේමා මත පදනම් වුණු කාව්‍ය නිර්මාණ සංඛ්‍යාවක එකතුවක්. මේ අනුව නූතන කාව්‍ය නිර්මාණ සදහා ඒ ඒ ප‍්‍රස්තුතයන්ට  අදාළ ආකෘතියත්, භාෂාවත් යොදාගත යුතුයි. නිදහස් කාව්‍ය සම්ප‍්‍රදාය බිහිවන්නේ ඒ සදහා යි. නාගරිකයා හා ගැමියා මුහුණ දෙන සමාජ ගැටළු එකම භාෂා රීතියකින් පවසන්නට යෑමෙන් බිහිවන්නේ කවියකු විනා කවිය නොවෙයි. ප‍්‍රස්තුතයට අනුව භාෂාව ගොඩනගනවා නම් භාෂාව වෙනස් වෙන්න  ඕන. ගැමියාට ගැමියාගේ මුහුණුවරත්, නාගරිකයාට නාගරිකයාගේ මුහුණුවරත් ලබා දිය යුතුයි. වර්තමාන කාව්‍ය නිර්මාණ කෘතිවල තිබෙන්නේ සංදේශ සාහිත්‍ය වලින් ආභාසය ලැබූ දූත කේන්ද්‍රීය කාව්‍ය සම්ප‍්‍රදායක්. මේ නිසා එකම භාෂා රීතියකින් විවිධ ප‍්‍රස්තුත, නිර්මාණ බවට පත්කිරීමට උත්සාහ කිරීම මා දකින්නේ පටු සාහිත්‍ය ව්‍යාපාරයක් ලෙස.
ඔබ ”චේ සහ ඇපල් ” කෘතියෙන් කරන්නේ එම කාව්‍ය සම්ප‍්‍රදාය අභියෝගයට ලක් කිරීම ද?

”චේ සහ ඇපල් ” අභියෝග කරන්නේ කාව්‍ය සම්ප‍්‍රදායට නොව චේ සහ ඇපල් සමාජයටයි.

”චේ සහ ඇපල් ” සමාජය යනුවෙන් ඔබ හදුන්වන්නේ මොකක් ද?

වර්තමානයේ තියෙන්නේ සල්ලි ආර්ථිකයක්. සල්ලි ආර්ථිකයක දී ”චේ සහ ඇපල් ” එකට විකිණෙනවා. මෙහිදී ”චේ” යන්නෙන් මා අදහස් කරන්නේ වාමවාදී ව්‍යාපාරයෙන් බිහි වූ වර්තමානයේ වෙළද නාමයක් බවට පත් වී තිබෙන ”චේ” නම් වූ පුද්ගල චරිතයයි. ඔහු ධනේශ්වරයට අභියෝග කළ සටන්කාමියෙක්. ”ඇපල්” යන්නෙන් අදහස් කරන්නේ ”බිග් ඇපල්” නමින් හැදින්වෙන නිව්යෝක් නගරයයි. එජාප සහ  ජ.වි.පෙ. අද එක වේදිකාවට ගොඩ වෙන්නේ මේ සල්ලි ආර්ථිකය නිසයි. නන්දා මාලනියි සිරස නාලිකාවයි ශ්වේත රාත‍්‍රියක දි එකතු වෙන්නෙත්, සරසවි මහැදුරන් ටියුෂන් මුදලාලිලාගේ නිබන්ධන කෘති අගයමින් කුඩා ලිපි ලියන්නෙත්, ඇකඩමික් විචාරකයන් සිංහල සක්විතිලා ගේ කුණුහරුප කෘති විචාරය කරන්න පේරාදෙණියේ සිට කොළඹ එන්නේත් මේක ”චේ සහ ඇපල් ”සමාජයක් වූ නිසයි.

ඔබ ව්‍යංගයෙන් කියන දේ පැහැදිලියි. නමුත් කතුවරයා මගහැර කෘතිය පමණක් සාහිත්‍ය පඨිතයක් විදිහට අපට කියවන්න බැරි ද? උදාහරණයක් විදිහට ගීද මෝපසාං ගේ  සාහිත්‍ය මිසක් ඔහුගේ දුරාචාර පුද්ගලික චරිතය අපට වැදගත් නැහැ.

බටහිර විචාරයේ දී කතුවරයා මියයාම පිළිබද සංවාදය ඇතිවෙන්නේ කෘතිය බහුමානීය කියවීමකට යොමු කිරීමේ එක් උපක‍්‍රමයක් හැටියටයි. ඒ අනුව කෘතිය නැවත කියවීමකට (Re-Reading) ලක් කළ හැකි බව රෝලන්ඞ් බාත් පෙන්වා දුන්නා. නමුත් ලංකාවේ සාහිත්‍යකරුවන් සහ ඊනියා විචාරකයන් ඒක විග‍්‍රහ කරන්නේ වෙනත් ආකාරයකටයි. කතුවරයාගේ පාදඩකම් වසා ගනිමින්  ඕනෑම කෘතියක් රචනා කළ හැකි බව තමයි එයින් ප‍්‍රකාශ වුණේ. ඒ අනුව කතුවරයා බැහැර කර කෘතිය විචාරයට ලක් කරන විට ඔහු රෑට  දුරකතනයෙන් නිවසට කතාකොට කතුවරයා සිටින බවත් කතුවරයාගෙන් විචාරකයා පරෙස්සම් විය යුතු බවත් මතක් කර දෙනවා. උදාහරණ වශයෙන් එවන් අවස්ථාවක් මාස කිහිපයකට ඉහත දී ”වටමඩල”ට ලිපියක් ලියමින් චින්තක රණසිංහ පෙන්වා දුන්නා.  මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා ද ජීවත්ව සිටියදී  ලියනගේ අමරකීර්ති එතුමාට  දුරකතන ඇමතුමක්  දී නාකියා කියා බැණවැදුනු  අයුරු හෙළිදරව් කළා. ඉන් පෙනෙන්නේ ලංකාවේ සාහිත්‍ය සමාජය ඇතුලේ කතුවරයාගෙන් වියුක්තව කෘති සංවාදයට ලක් කරන්න බැරි බවයි. 

සංවාදය
රත්තනදෙණියේ මේධානන්ද හිමි

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. මහින්ද සමඟ නැගිටින්න මාතර ජන රැලිය මෙතනින් නරඹන්න
    https://www.youtube.com/watch?v=30lskaHTOKM

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions