එජාප රජයක සියළු මූලෝපායික තීරණ ගනු ලබන්නේ රනිල්ගේ ම මතවාදය දරණ තවත් දෙතුන් දෙනෙකු විසිනි ඒ අතර, රවී කරුණානායක හා මංගල සමරවීර කැපී පෙනේ. යුධ සමයේ මොවුන්ගේ හැසිරීම මදක් නිරීක්‍ෂණය කරන්න. විවිධ අපහාසාත්මක ප්‍රකාශ හරහා යුධ සමයේ දී හමුදාවල හා රජයේ කකුලෙන් ඇදීමට අමතර ව මොවුන් විසින් මෙරට ජාතික අභිලාෂයන් නැංවීම සඳහා ගත් එකදු පියවරක් හෝ අපහසුවෙන් වුව අප මතකයට නගාගත නොහැක.
එජාපය යනු රනිල්, රවී හා මංගල පමණක් නොවන බව කෙනෙකු සිතනු ඇත. ජාත්‍යන්තරය යනු මුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 192ක ම ද? කිසිසේත් ම නැත. ජාත්‍යන්තරය යනු ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා තවත් රටවල් කීපයකි. ඒ අනුව ජාත්‍යන්තරයේ මතය යනු මේ රටවල් කීපයක මතයයි. එජාපය ද එසේ ය. එජාපයේ මුදුන මෙහෙය වන්නේ ඉහත තිදෙනා ඇතුළු තවත් නිශ්චිතව හඳුනා නොගත් දෙතුන් දෙනෙකු විසිනි. සාමාන්‍ය එජාප මන්ත්‍රිවරයාට හා ආසන සංවිධායකවරයාට ඇත්තේ දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටින්ට පමණි. කොටින් ම ඇතැම් නායක මට්ටමේ ප්‍රභලයින් හා සාමාන්‍ය මන්ත්‍රිවරු ද ගමේ ගොඩේ එජාප පාක්‍ෂිකයා ද ඉහත පුද්ගලයින් කෙරෙහි දැඩි නොරිස්සුමෙන් සිටින බව ප්‍රසිද්ධ රහසකි. ඒ කෙසේ වෙතත්, මෛත්‍රී ජයග්‍රහණයෙන් පසු රජයේ ප්‍රබලත ම ඇමති ධුර (මුදල්, විදේශ) ගියේ මෙම පිරිසට වීමෙන් පෙනෙන්නේ, එජාප පාක්‍ෂිකගේ මතය තඹ දොයිතුවකට හෝ මායිම් නොකරමින්, අදාළ පුද්ගලයින් පක්‍ෂය තුල කොතරම් ප්‍රබල ද යන්න ය.
ඉහත තුන් කට්ටුව විසින් එජාපයේ පැරණි මදය සපුරා ඉවත් කොට නව විජාතික එකක් බද්ධ නොකරන්නට එජාප-ශ්‍රිලනිප භේදයක් මෙරට දේශපාලනය තුළ මෙතරම් පැහැදිළි ව පෙනෙන්ට නොතිබෙනු ඇත. අද එජාප-ශ්‍රිලනිප භේදය වඩාත් තීව්‍ර ලෙස කැපී පෙනෙන්නේ ආර්ථික ඈ කාරණා මත නොව මෙරට ඉතිහාසය හා සංස්කෘතික විඥානය පිළිනොගැනීම හා ඒ මතින් මෙරට ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නය දෙස බැලීම මත ය. ගාමිණි හෝ ලලිත් ජීවත් ව සිටින්නට මෙවැනි තත්වයක් එජාපය තුළ කිසි දිනෙක සිදු නොවනු ඇත. ඔවුන්ගේ මරණවල ද හේතු ව ඒ ය.
මේ සියල්ලෙන් ම පැහැදිළි වන්නේ එජාපය පරාජය කිරීම යනු එජාපය නැමැති එම පක්‍ෂය පරාජය කිරීම ම නොවේ. ඉහත විජාතික මතවාදය පරාජය කිරීම ය. මෙය පක්‍ෂ වශයෙන් සිතා ගත යුතු තීරණයක් නොව රටක් වශයෙන් ජාතියක් වශයෙන් එක් ව ගත යුතු තීන්දුවකි.
-මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .