3/13/2015

පාඨලීගේ මාධ්‍ය මාෆියාව අධ්‍යක්ෂණය කළ බොදු බල සේනා ව්‍යාපෘතිය

කතෘ:යුතුකම     3/13/2015   2 comments

පසුගිය මහින්ද රාජපක්ෂ රජය බිඳවැටීමට බලපෑ ප්‍රධාන හේතු අතර සුළු ජනවර්ග ඔවුන් කෙරෙහි දැක්වූ අකමැත්ත තීරණාත්මක සාධකයක් විය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරින් සමුගෙන මැදමුලනට ගොස් ප්‍රකාෂකළේ යුද්ධය අවසන් නොකළේනම් තවමත් රටේ ජනාධිපති තමන් බවය. බහුතරයේ බහුතරය නොමැතිව සුළු ජනවර්ගවල ඡන්දයෙන් තේරී පත්වූ පළමු ජනපති යන අදහස මෛත්‍රීපාල මහතා වෙත පටබැඳිනි. ඒ මතු නොව ජයග්‍රාහකයන්ද එම අදහස විශ්වාස කරන බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මුස්ලිම් ප්‍රජාව හමුවේ කළ එක් කතාවකින්ද පසුගියදා උතුරේ කල සංචාරය අතරතුර මෛත්‍රීපාල ජනාධිපතිවරයා සිදුකළ අදහස් දැක්වීමකින්ද සනාථ වෙයි.

තමන්ව බලයට පත් කළ බලවේගයන් දිගින් දිගටම ආරක්ෂා කර ගැනීමට ඕනෑම දේශපාලකයෙකු ක්‍රියා කරනු ඇත. එය මෛත්‍රීපාල මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පමනක් වලංගු නොවීමට හේතුවක් නැත. චන්ද්‍රිකා කළ කතාවෙන්ද මෛත්‍රීපාල ජනාධිපතිවරයා සිදුකළ කතාවෙන්ද ගම්‍ය වූයේ ඔවුන් එම සුළු ජනවර්ග මෙහෙයවන ජාතිවාදී බලවේගයන් තවදුරටත් තමන්වටා රඳවාගැනීමට ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට බැඳී සිටින බවයි. කවර ජන සමූහයකගේ වුවද සිතුම් පැතුම් ඉටුකිරීම ඔවුන්ට පුරවැසියන් ලෙස හිමිවිය යුතු අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබා දීම වරදක් නොවේ. නමුත් මේ සුළු ජනවර්ග මෙහෙයවන නායකයන්ගේ ඉල්ලීම් එවන් දෑ නොවේ. ස්වයංපාලන බලතල, වෙනම නීති පද්දති, වෙනම උසාවි, වෙනම පොලීසි ආදී ඔවුන්ගේ ඉල්ලීම්හි අවසන් අරමුණ වෙන්වී යෑමේ අභිලාශයයි. එම අභිලාශයන් සංතර්පනය කිරීම කවර තත්ත්වයක් යටතේ හෝ සාධාරනීකරනය කළ නොහැක. සිංහල බෞද්ධයාගේ මහා ගැලවුම්කරු ලෙස මැතිවරණ සමයේ තමන්ව හුවා දක්වාගත් පාඨලී චම්පික රනවකට හෝ රතන හිමිට මෙම අවිනිශ්චිත බවින් රට මුදාගත හැකිද?

මහින්ද රාජපක්ෂ මහතා වෙතින් දෙමළ ජනයා ඈත් වීම අපේක්ෂා කළ හැක්කකි. මන්ද වසර 30ක් තිස්සේ අන්ත ජාතිවාදී මිලිටරි පාලනයක් මඟින් මොළ සෝදනු ලැබූ ජනයා වසර 5ක් වැනි සුළු කාලයක් තුළ එම ජාතිවාදයෙන් මිදේයැයි සිතිය නොහැකිය. ඔවුන්ගේ ජාතිවාදී නායකයන්ද ජාත්‍යන්තර අරමුදල්ද තවමත් ඔවුන්ව මෙහෙයවන බලවේග වෙයි. එබැවින් ඔවුන්ගෙන් ලද හැකි උපරිමය මෙය බව වටහාගැනීමට සිදුවේ. වත්මන් පාලකයන් වගබලාගත යුත්තේ එම නායකයන්ගේ ජාතිවාදයට උඩගෙඩි දීම නොව සාමාන්‍ය ජනයා ඔවුන්ගේ ග්‍රහනයෙන් ගලවා ජාතිවාදයෙන් බෙදුම්වාදයෙන් මුදවාගැනීම කෙරෙහිය.

නමුත් මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් සිදු වූයේ කුමක්ද? එහිදී එක්වරම සිහියට නැගෙන්නේ බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරිත්වයයි. බොදු බල සේනා සම්බන්ධයෙන් ඍජුවම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඇඟිල්ල දිගු විය.

මුස්ලිම් ජනයා අතර පැතිරීයන අන්තවාදයට සැලකියයුතු ඉතිහාසයක් ඇත. 1915 අරගලය සහ මොහොමඩ් ගඩාෆිගේ ලංකාගමනය අමතක කළද අඩුම තරමින් 2003දී ඇතිවූ ඔලුවිල් සම්මුතිය අපට අමතක කළ නොහැකිය. දෙමළ ජනයා ජාතිවාදී යුද්ධයකට තල්ලු කළ වඩොක්කොඩෙයි සම්මුතිය මෙන්ම මෙමගින්ද මුස්ලිම් ජනයාට ආරාධනා කළේ නැගෙනහිර වෙනම පාලනයක් වෙනුවෙන් පෙළගැසෙන ලෙසයි. මුස්ලිම් දේශපාලනය තුළ මෙළෙසින් ජාතිවාදය වර්ධනය වෙද්දී එයට සමගාමීව ආගමික අන්තවාදයක්ද ඔවුන් අතර ප්‍රචලිත විය. මුස්ලිම් සමාජය වනසන ජිහාඩ් අන්තවාදය පිළිබඳව මුල්ම හෙළිදරවුව කරන්නේ අලෙවි මවුලානා මහතා විසිනි. බේරුවල, මාදම්පේ වැනි ස්ථානවලදී එය මනුශ්‍ය ඝාතන තෙක් ඔඩු දුවා ගියේය. ඔවුන් අතර ක්‍රමයෙන් දළුලා වැඩෙන මෙම ගින්නේ රස්නය සිංහල බෞද්ධ මෙන්ම කතෝලික සහ දෙමළ හින්දු ජනයා වෙතද නොදැනුනා නොවේ. කතෝලිකයන් බහුතරයක් වෙසෙන මීගමුව වැනි ප්‍රදේශවල මුල්බැසගත් මුස්ලිම් විරෝධයක් ඇත. රක්වාන වැනි ප්‍රදේශවල දෙමළ හින්දු ජනයා මුස්ලිම් ක්‍රියාකාරිත්වයට එරෙහිව පාරට බසිනු වාර්ථා විය. එක් වරක් කොළඹ ප්‍රදේශයේ හින්දු ආගමික ප්‍රධානීන් මුස්ලිම් පීඩනයට එරෙහිව බොදු බල සේනා සමඟ පාරට බසිනු දක්නා ලදී. මේ සියළු කරුණු සනාථ කරන්නේ මෙම ක්‍රියාවන්ට එරෙහි සංවිධානයකට ඉල්ලුමක් රට තුළ පැවති බවයි.

ඔදු බල සේනා සංවිධානය නොර්වේ අරමුදල් මත යැපෙන ඔවුන්ගේ අතකොළුවක් බවට ඉතා ප්‍රබල චෝදනාවක් විමල් වීරවංශ මහතා එල්ල කරන්නේ එම සංවිධානය ආරම්භයේදීමය. එයට සාර්ථක පිළිතුරක් එම සංවිධානය වෙතින් නොසැපයිනිය යන්න මගේ වැටහීමයි. එසේ වුවද මේ හේතුවෙන් විමල් වීරවංශට එරෙහි දැවැන්ත විරෝධයක් එකළ බොදු බල සේනා වෙතින් මෙන්ම සමාජ ජාල හරහා එල්ල විය. (සමාජ ජාල හරහා බොදු බල සේනාව වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනා අද වන විට ඉන් ගිලිහී ගොස් ඇත. නමුත් විමල් වීරවංශ වෙත එල්ලවූ විරෝධය තවමත් ඔවුන් අතර එලෙසම පැවතීම හාස්‍ය ජනකය. )

ඒ කෙසේ වුවද අප වටහාගත යුත්තේ බොදු බල සේනා විසින් ප්‍රශ්න කරන ලද්දේ රටේ නැගෙමින් තිබූ කවර ලෙසකින් හෝ විසඳුමක් දිය යුතුව තිබූ කරුණක් බවයි. හළාල් ව්‍යාපාරය හරහා රට මුස්ලිම් වෙළඳ ඒකාධිකාරයක් වෙත තල්ලුකිරීමේ සැළසුමක් පැවතිනිය යන්න රහසක් නොවේ. විල්පත්තු අභයභූමිය බලහත්කාරයෙන් අල්ලා විනාශකර එහි මුස්ලිම් වැසියන් පදිංචිකිරීම සිදුවිය. කූරගල වැනි ස්ථානවළ ඇතිවූ සිදුවීම් වළදී බෞද්ධ පාර්ශ්වය නිවැරදි බව අධිකරනය මඟින්ද තීරණය විය.

පසුගිය රජය වෙතින් සුළු ජනවර්ග ඉවත්වී යාම සහ බොදු බල සේනා ක්‍රියාකාරිත්වය අප වටහාගත යුතේ මෙම යථාර්තය බසුබිමේ තබාගනිමින්ය.

යථාර්තය එසේ වුවද මෙම ගැටළු සම්බන්ධයෙන් හඬ නැගූ බොදු බල සේනා සංවිධානයට එරෙහිව දැවැන්ත මාධ්‍ය ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය ඉතා අසාමාන්‍ය ප්‍රහාරයක්ය යන්න මගේ වැටහීමයි. මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වන්නේයැයි කාදිනල්වරයා ප්‍රකාශකරන විට නිහඬව සිටින ජන මාධ්‍ය එම කරුණම ඥානසාර හිමියන් ප්‍රකාශකරන විට උන්වහන්සේට එරෙහිව ජාතිවාදියා, ආගම්වාදියා යන හංවඩුව ගැසීම අසාමාන්‍ය නොවන්නේද? ආරම්භයේ සිටම බොදු බල සේනා සංවිධානය මෙම මාධ්‍යයන්හි ගොදුරක් බවට පත් වෙයි.

හළාල් සිදුවීම ආරම්භයේදී බො.බ.සෙ. වෙත මෙළෙසින් මාධ්‍ය හරහා ප්‍රහාරයක් එල්ල වුවද ක්‍රමයෙන් එය සමාජගත වන විට තවත් දෙයක් සිදුවිය. එම සමාජගත වීම මැනවින් නිරීක්ෂනය කරන පාඨලී චම්පික රනවක ඇමතිවරයා කල් යල් බලා මෙම සටන සියතට ගනී. ඔහු ඉතා පැහැදිලිවම ප්‍රකාෂ කරන්නේ සිංහලයන් සිංහල අවුරුද්ද සමරන්නේ හළාල් නැති රටක්තුළ බවයි. මෙතෙක් කල් බො.බ.සෙ. වෙත එල්ල වී තිබූ අවි මේ සමඟම පාඨලී වෙත එල්ලවිය යුතු වුවද එවැන්නක් සිදු නොවේ. එසේ වුවද සමාජ ජාල තුළ සහ ඉන් පිටතත් බො. බ. සෙ. සාමාජිකත්වයේ වීරයා බවට පාඨලී පත් වෙයි. ඥානසාර හිමියන් ජාතිවාදයේ ආගම්වාදයේ මඩවළින් වැසී යන අතර හළාල් සටනේ යම් දුබලතාවක් තිබිනිනම් එය බැසිල් රාජපක්ෂගේ හෝ ගෝඨාභය රාජපක්ෂගේ ගිණුමට බැර වෙයි. පාඨලී පමනක් සිංහල බෞද්ධයාගේ වීරයා බවට පත් වන අතර ඔහුට එරෙහි කිසිඳු අන්තවාදී චෝදනාවක් සමාජගත නොවෙයි.

ඉන් අනතුරුව එන්නේ විල්පත්තු වන සංහාරය පිළිබඳ අවුලයි. ඥානසාර හිමියන් එම ස්ථානය නිරීක්ෂනය කරයි. උන්වහන්සේ අහිංසක මුස්ලිම් වැසියන්ට හිංසා කළ බවද බැන තර්ජනය කර බිය වැද්දූ බවද ප්‍රකාෂ වෙයි. පසුව කරුණු හෙළිදරවු වන විට වන ජීවී සහ වන සංරක්ෂන ආයතන වලින් අනවසර පදිංචිකරුවන්ට එරෙහිව නඩු පැවරුනද එය බො.බ.සෙ. වෙත එල්ලවන ජාතිවාදී ත්‍රස්තවාදී හංවඩුව යටපත් කිරීමට හේතු නොවෙයි. සියළු ජන මාධ්‍ය හරහා දිගින් දිගටම එම සංවිධානයට එරෙහි ප්‍රහාර දියත් වෙයි. මෙවරද සටන අවසානය තෙක් ගමන් කළ පසු බො.බ.සෙ. හි ලොකු අයියා ලෙසින් වීරයා කරළියට පිවිසේ. ඔහු ප්‍රකාෂ කරන්නේ විල්පත්තු පදිංචි කිරීම මුළුමනින්ම නීති විරෝධී බවයි. ජාතිවාදී, ආගම්වාදී පදනමකින් ජනයා පදිංචි කිරීමට විරුද්ධ වන ඔහු එයටද එහා ගොස් පුත්තලම් දිස්ත්‍රික්කයේ ජන ව්‍යාප්තිය පිළිබඳවද කරුණු හෙළි කරයි. ඒ අනුව ඔහු අවධාරනය කරන්නේ යුද්ධය සමයේ එහි පැමින පදිංචි වූ සියළු මුස්ලිමුන් ඉවත්කළ යුතු බවයි. බො.බ.සෙ. සාමාජිකයන් පස්වනක් ප්‍රීතියෙන් පිනා යයි. නමුත් එම ජාතිවාදී ප්‍රකාශයට එරෙහිව හඬ නගන මාධ්‍යයක් නැත. ඥානසාර හිමියන්ද නිහඬ වෙයි. කිසිවක් නොසිදුවූ ලෙස සියල්ල යටපත් වෙයි. රිශාඩ් බදුර්දීන් ඇමතිකම් දරන රජය කෙරෙහි සිංහලයන්ද අන්තවාදීන් ආරක්ෂා කරන රජය කෙරෙහි මුස්ලිම් ජනයාද කළකිරෙයි. එලෙසින් පාඨලී පැමින බොදුබල සේනා වෙනුවෙන් පෙනී සිටියද ජනමාධ්‍ය හරහා සමාජගත වන්නේ බොදු බල සේනා සංවිධානය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්මාණයක් බවයි. එය එසේනම් ඔහු තම සංවිධානය තම සොහොයුරු බැසිල් රාජපක්ෂට සහ රජයට එරෙහිව මෙහෙයවාවිද යන පැනය කිසිවෙකුත් නොවිමසයි.

අලුත්ගමදී සිදුවන්නේද මෙවැන්නකි. එම සිදුවීමෙන් පසු රජය විසින් කිසිඳු පුවතක් වාර්ථා කිරීමට ඉඩ නොතබා මාධ්‍ය වාරණයක් පනවයි. එම වාරණය අතරතුරදීද මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් බොදු බල සේනා නිර්දෝශී බව ප්‍රකාෂකරන පාඨලී ඔවුන්ගේ වීරයා බවට පත් වෙයි. නමුත් අද දක්වාම එම සිදුවීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන් ප්‍රධාන බො.බ.සෙ. වෙත චෝදනා එල්ලකරන කිසිවෙක් එම අවස්ථාවේ පාඨලීගේ හැසිරීම පිළිබඳව කිසිඳු හඬක් නොනගයි. නමුත් මාධ්‍ය වාරණ දමමින් මෙය තවත් ඉදිරියට ව්‍යාප්තවීමට ඉඩ නොතබා එය විසඳන ආරක්ෂක ලේකම්වරයා බොදු බල සේනා සංවිධානය මෙහෙයවනේය යන මතය සමාජගත වෙයි.
මෙළෙසින් බොදු බල සේනා පිටුපසින් සිටිමින් දැවැන්ත මාධ්‍ය කඩතුරාවට මුවා වී බළලුන් ළවා කොස් ඇට බාවන්නේ පාඨලී ඇමතිවරයා විසිනි. අපරිනත බොදු බල සේනා සංවිධානය අත පුච්චා ගනී. එසේ වුවද දැවැන්ත මාධ්‍ය ජාලය විසින් බොදු බල සේනාහි සියළු වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කිරීමට සූක්ෂම විය.

යළි යළිත් ඇසිය යුතු මුත් මේ දක්වා කිසිවෙකු විසින් නොඅසන ලද ප්‍රශ්නය මෙයයි. පාඨලී චම්පික ඇමතිවරයා මෙළෙසින් බොදු බල සේනා වෙනුවෙන් පෙනී සිටියදී එම සංවිධානයේ සාමාජිකයන් ඔහු තමන්ගේ වීරයා ලෙස සිංහල බෞද්ධයාගේ රජු ලෙස කිරුළ පළඳවන විට ගෝඨාභය රාජපක්ෂ මහතා බො.බ.සෙ. හි හිමිකරුවා ලෙස ලියාපදිංචි වන්නේ කෙසේද?

සැබැවින්ම බො.බ.සෙ. විසින් සමාජගත කළේ මුස්ලිම් අන්තවාදයට එරෙහි විරෝධයක් පමනක් නොවේ. ඔවුන් පැහැදිලිවම ආණ්ඩු විරෝධයක්, රාජපක්ෂ විරෝධයක්ද සමාජගත කරයි. ඥානසාර හිමියන් අලුත්ගම සමුළුවේදී "මහ උන්දෑ" ලෙස අමතමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට චෝදනා කරයි. මහින්ද රාජපක්ෂ රජය මුස්ලිමුන් වෙත වරදාන, වරප්‍රසාද ලබා දෙමින් සිංහලයන්ට එරෙහිව ක්‍රියා කරන්නේය යන මතයද ඉතා ප්‍රබල ලෙසින් සමාජ ගත කිරීමට ඔවුහු ක්‍රියා කළහ. බොදු බල සේනා මෙහෙයවූයේ රාජපක්ෂ රජය මඟින් නම් එම සංවිධානය රාජපක්ෂ විරෝධයක් රටතුළ ගොඩනගන්නේ කෙසේද?

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කටයුතු වළට සම්බන්ධ වන්නේ අවස්ථා කිහිපයකදී පමනි. එකක් කූරගල සිදුවීමයි. එම කූරගල බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට අධිකරනය විසින් තීන්දු කළ පසුව එහි කැණීම් කටයුතු ඇරඹිය යුතු බව ගෝඨාභය මහතා මුස්ලිමුන්ට පැහැදිලි කරයි. නමුත් මෙහිදී බොහෝ දෙනා අමතක කරන්නේ කූරගලට බොදු බල සේනාහි සම්බන්ධයක් නොමැති බවයි. කූරගල ගැටළුව බොදු බල සේනාහි ආරම්භයටද එහා දිව යන ඉතිහාසයක් ඇත්තකි. ඔහු සම්බන්ධ වන දෙවන අවස්ථාව කිරම විමලජෝති හිමියන්ගේ බෞද්ධ ගොඩනැගිල්ලක් විවෘත කරන අවස්ථාවයි. නමුත් එයද බොදු බල සේනාහි කටයුතු වලින් පරිබාහිර කරුණකි.

යමෙකු පැවසිය හැක්කේ ගෝඨාභය තිරෙන් එහා සිට මෙය මෙහෙයවූ බවයි. එසේනම් එම චෝදනාව ගෝඨාභයට මෙන්ම පාඨලීටද සමසේ එල්ළවිය යුතුය. මෙහි ඇති පරස්පරය නම් බොදු බල සේනාහි සියළු ක්‍රියාකාරිත්වයන් වළදී කොටින්ම අලුත්ගම සිදුවීමේදී පවා ඍජුවම එම සංවිධානය වෙනුවෙන් පෙනී සිටි පාඨලීට කිසිඳු චෝදනාවක් එල්ළ කිරීමට කිසිඳු ජන මාධ්‍යයක් ඉදිරිපත් නොවීමයි.

මානයන් දෙකක් ඔස්සේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ බව පැහැදිලිය. එකක් බොදු බල සේනා මඟින් සමාජගත කරන ලද රාජපක්ෂ විරෝධයයි. දෙවැන්න ඥානසාර හිමියන්ට එරෙහිව මුළ සිටම එල්ල කරන ලද මාධ්‍ය ප්‍රහාරය ඒ අසළම සිටි පාඨලී මඟහැර ක්‍රමිකව ගෝඨාභය රාජපක්ෂ වෙත ඉලක්ක කිරීමයි. බොදු බල සේනාහි සාමාජිකයන් සමාජ ජාල ඔස්සේ දියත්කළ රාජපක්ෂ විරෝධය එම සංවිධානය ගෝඨාභයගේය යන මතයට පරස්පර වුවද එම පරස්පරය ප්‍රශ්නකිරීමට මාධ්‍යයක් නොමැති වෙයි. නමුත් මුළ සිටම ඒ වෙනුවෙන් පෙනී සිටින පාඨලී මාධ්‍ය කඩතුරාවට මුවහ වෙමින් නිදොස්ව නිදහස් වෙයි. පසුගිය ජනාධිපතිවරනයේදී මෙම මාධ්‍ය මාෆියාව මෙලෙසින්ම මහින්ද රාජපක්ෂට එරෙහිව යෙදවිමට ඔහු සහ ඔහුගේ කුමන්ත්‍රනයේ දීර්ඝකාලීන හවුල්කරුවන් සමත්වෙයි.

අද වන විට බොදු බල සේනාහි ප්‍රචාරක යාන්ත්‍රනය මුළුමනින්ම පාහේ බිඳවැටී ඇත. බොදු බල සේනා හා සම්බන්ධව සමාජ ජාලයන් තුළ ක්‍රියාත්මක වූ බොහෝ පිරිස් පසුගිය මැතිවරණ සමයේ පාඨලී චම්පික රනවක සමඟින් පොදු අපේක්ෂකයා දිනවීම සඳහා ක්‍රියා කරනු දැකිය හැකිවිය. පාඨලී කරනම් ගැසීමත් සමඟම බොදු බල සේනා මුළුමනින්ම අකර්මන්‍ය වී ඇත. ඒ සියළු කරුනු සපත කරන්නේ එක් දෙයක් පමනි. ඒ බොදු බල සේනා පාඨලී විසින් මෙහෙයවන ලද බළල් අත වූ බවයි.

පාඨලීට විදුළිබල අමාත්‍ය තනතුර අහිමි වීම, රතන හිමි පිවිතුරු හෙටක් හරහා වෙන් වි යෑම වැනි කරුණු සමඟ බොදු බල සේනාහි රාජපක්ෂ විරෝධයද වැඩී ගිය අයුරු නිරීක්ෂනය කළ හැකිය. බොදු බල සේනා ව්‍යාපෘතියද රාජපක්ෂ පාලනය අවසන් කිරීමේ දැවැන්ත කුමන්ත්‍රනයේ එක් අංශයක් පමනි.

නමුත් මින් අදහස් වන්නේ බොදු බල සේනා තුළ අවංකවම රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවයක් නොතිබුන බව නොවේ. පසුගිය රජය තමන්ගේ රජයක්ය යන හැඟීම සිංහලයා තුළ තිබිනි. ජාතිය හමුවේ මුස්ලිම් අන්තවාදය දෙසින් පැමිනෙන අභියෝගයක් ඇති බව සැබෑවකි. එමෙන්ම එයට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගැනීමටනම් පසුගිය රජය සමය එයට ඉතා සුදුසුය යන හැඟීමද සිංහලයන් තුළ විය. බොදු බල සේනාහි නායකයන් කිහිපදෙනෙකු තුළ වූ එම අවංක උවමනාව තම දේශපාලන අවස්ථාවදය වෙනුවෙන් හැසිරවීමට පාඨලීගේ කූට බුද්ධිය සමත් වෙයි. ව්‍යාජ ජාතිකවාදීන්, අවස්ථාවාදීන් මත පදනම් වන ජාතික සංවිධාන අවසානයේ අපට එරෙහි අන්තවාදයට, ජාතිවාදයටම ජයග්‍රහනය අත් පත් කර දෙන බවට සජීවී උදාහරනයක් සපයමින් බොදු බල සේනා ව්‍යාපෘතිය නිමාවට පත් විය.

විමුක්ති වනිගසේකර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

බුකියේ වෙනස යුතුකමට මනාපයක් (Like) දමා මිතුරන්ට ඇරයුම් කරන්න.

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. I am sure BBS is another mob funded by Indian merchants of Colombo, Indian Empire and Socialists of the West like Solheim of Norway.

    ReplyDelete
  2. Indian Imperialists know how to divide and rule. For the Indian colonial parasites we all are untouchables. Mahatma Gangdhi refused to travel with blacks in trains. He was another colonial parasite who made his fortunes from black Africa. Colombo Indian Merchants no longer give funds to Bodu Balu Senu.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com