නග්න බේබද්දාගේ වික‍්‍රම
අහිංසක මිනිසුන්ගේ දෛනික දුක් ගැනවිලි විකුණා කමින් මුදල් උපයන දේව තැරැව්කරුවන් දරුණු උපහාසයකට ලක් කිරීම මේ චිත‍්‍රපටයේ පළමු මතවාදීමය අභිලාෂය වෙයි. ඊට අමතරව ආගමික සංස්කෘතික හා වාර්ගික ආදී වශයෙන් මිනිසා තුළ ඇති බෙදීම් ප‍්‍රශ්න කරන මේ සිනමා කෘතිය තුළ ඇත්තේ ඉන් ඔබ්බෙහි පවතින උත්තර මනුෂ්‍යත්වයක් ගැන සිහිනයකි.මේ අදහස රසවත් ලෙස ඉදිරිපත් කෙරනුයේ පිටසක්වල ජීවියකු මුල් කරගත් අපූරු කතාවක් ඔස්සේය.පෘථිවියට ගොඩබසින මේ පිටස්තරයා (අමීර් ඛාන්) රූපයෙන් මෙලොව වැසියන්ට සමානය. එහෙත් ඔහු සිටින්නේ නිරුවතිනි. තමන්ගේ ලෝකය හා පණිවිඩ හුවමාරුවට භාවිත කරන දුරස්ථ පාලකය ඔහු සතු එකම වස්තුව වන අතර ඔහු පොළවට පා තැබූ පළමු මොහොතේම එය කිසිවෙකු විසින් පැහැර ගනු ලබයි. අනතුරුව මේ පිටස්තරයා මෙලොව ජීවිතයට දුකසේ හැඩගැහෙමින් තම දුරස්ථ පාලකය සොයාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරයි. ඔහුට දෙවි පිහිට පැතීමට සිදුවන්නේද තම දුරස්ථ පාලකය සොයා ගැනීම සඳහාය. මේ දෙවියන් සොයා යන ගමනේදී ඔහු නොයෙක් වංචාකරුවන්ට හසුවී අකරතැබ්බ රාශියකට මුහුණදෙයි. චිත‍්‍රපටයේ මුළු කතාවම අතිශය හාස්‍යෝත්පාදක ලෙසගෙතී ඇත්තේ මෙකී මූලික ප‍්‍රස්තූසය වටාය. ඔහු දෙවියන් රහිත ලෝකයකින් ගොඩබට ආගන්තුකයෙකි. මිනිස් ලෝකයේ ඇති දෘෂ්ටිවාදී බලපෑම්වලට හසු නොවූ ආගන්තුකයාට මේ ලොවට ගොඩබැසීමෙන් පසු මුහුණ පාන්නට සිදුවන අතෝරයන් ආශ‍්‍රයෙන් මෙලොව පවතින දෙවියන්, ආගම් හා සංස්කෘතික නිර්මිතයන් ප‍්‍රශ්න කිරීම සිනමාකරුවාගේ අභිලාෂය වී තිබේ. පිටසක්වල වැසියාගේ අසාමාන්‍ය හැසිරීම් නිසා මෙලොව වැසියන්ට ඔහු පෙනෙන්නේ බීමතකු ලෙසය. පීකේ යනු බීමත්ව සිටින බව (බීලා ඉන්නේ) හැඟවීම සඳහා හින්දියේ එන කෙටි වහරකි.
පිවිසුම් ප‍්‍රශ්න කීපයක්...
කියන විට බෙහෙවින් ලස්සන වුවද ප‍්‍රායෝගිකව බෙහෙවින් ප‍්‍රශ්නකාරී විය හැකි අදහස් අප අතර කොතෙකුත් තිබේ. ආගම, දෙවියන්, ඇදහිලි, භක්තිය, හා සංස්කෘතික නිර්මිතයන් යනාදිය සපුරා බැහැර කරමින් මේ සිනමාකරුවා ගෙන එන මතවාදයද එවැන්නකි. එය එසේ වන්නේ කුමක් නිසාද?බොහෝවිට දෙවියන්ගේ ප‍්‍රතිපක්ෂය ලෙස විද්‍යාව තාක්ෂණය ඔසවා තැබුණද, විද්‍යාවේ අධි ජයග‍්‍රහණ, දෙවියන්ගේ අවසානයට හේතුවී නැත්තේ මන්ද යන කාරණය ගැඹුරින් සැලකිය යුත්තකි. බුදුසමය සර්ව බලධාරී දෙවියකු පිළි නොගත්තද, නූතන නිල විද්‍යාවේ තිඹිරි ගෙය වූ බටහිර ලෝකයෙන් බිහිවූ බොහෝ දාර්ශනිකයන්, විද්‍යාඥයන්, වැඩිදෙනා දෙවියන්ගේ පැවැත්ම බැහැර නොකිරීමද බෙහෙවින් උත්ප‍්‍රාසවත් කාරණයකි. මාක්ස්, එංගල්ස්, ඩෙරීඩා, නීට්ෂේ වැනි අතලොස්සක් හැර බොහෝ බටහිර දාර්ශනිකයෝ තම සර්ව බලධාරියාගේ පැවැත්මට හිස නමති. අනෙක් අතින් ආගම්, ඇදහිලි, විශ්වාස හා සංස්කෘතික නිර්මිතයන් මුළුමනින්ම ගසා පලවා හැර ඊනියා තර්ක බුද්ධියක අණසකට සපුරා යටත් කරන ලද ලෝකයක් තිබිය හැකිද? එහි හැඩ රුව කෙසේ වේද? යන ප‍්‍රශ්නයම දෛනික මිනිස් පැවැත්මට දරා ගත නොහැකි තරම් දුරින් තිබෙන්නකි. විශේෂයෙන් භක්තිය යන සාධකය මිනිසා තුළ උද්ගතව පවතින්නේ පාරභෞතික යැයි සැලකෙන දේවල් සම්බන්ධව පමණක් නොවේ. බොහෝ අචල මාක්ස්වාදීන් තුළ මාක්ස්වාදය ගැන ඇත්තේද තාර්කික එකඟත්වයකට වඩා භක්තියකි. තවද තේරුමක් නැති, අතාර්කික දේවල් පවතින්නේ ආගම් ඇදහිලි හෝ චිරාගත සංස්කෘතීන් තුළ පමණක් නොවේ. මේ සා විද්‍යාත්මක, තාර්කික, හේතුවාදී, නූතනවාදී හෝ පශ්චාත් නූතනවාදී ලෙස හැඳින්වෙන මිනිස් ලෝකය වැඩි වශයෙන් පිරී ඇත්තේද තේරුමක් නැති අතාර්කික දේවලිනි. විශේෂයෙන්ම නූතන පාරිභෝජනවාදී සංස්කෘතිය විසින් එවැනි තේරුමක් නැති දේවල් දරාගත නොහැකි පරිමාණයෙන් නිපදවා ඒ ඔස්සේ මිනිසා ඇතුළු සමස්ථ සොබාදහමේ පැවැත්ම මරණීය තර්ජනයකට නතු කර තිබේ. මේ කාරණා දීර්ඝව සාකච්ඡුා කිරීමට මේ ලිපියේ සීමාව තුළ ඉඩ නැතත්, ඒ වනාහී බලයලත් විද්‍යාව, හේතුවාදය, භෞතිකවාදය, ආදිය පරමය ලෙස සලකා දේවල් තේරුම් ගන්නට යාමේදී මතුවන සංකීර්ණතා කීපයකි.
කෙසේ වුවද මගේ අවධාරණය ඇදහිලි, විශ්වාස, හෝ සංස්කෘතික නිර්මිතයන් එලෙසින්ම හිස මත තබා ගත යුතු බව නොවේ. නමුත් වඩා යථාර්තවාදීව දේවල් තේරුම් ගන්නා, අන්‍ය සංස්කෘතීන් ඉවසන, ආගම්, ජාති, කුල ආදී බෙදීම් ඔස්සේ කෙරෙන ගහමරා ගැනීම් අවම කෙරෙන ලෝකයක් කවදා හෝ බිහිකළ හැකි නම් අපට එය කළ හැකි වන්නේද සංස්කෘතීන් මත පදනම්ව විනා ඒ සියල්ල ගසා පලවා හැරීමෙන් නොවේ. එවැනි ඉදිරි ගමනක් සඳහා අන් බොහෝ තැන්වල නොමැති තරමේ සාධනීය ශක්තීන් ප‍්‍රමාණයක් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ඇතැයි මම විශ්වාස කරමි. මා එය අවධාරණයෙන් පවසන්නේ සැබෑ තත්ත්වය එසේ වන හෙයින් මිස මා උපතින් සිංහල බෞද්ධයකු වීම නිසා ඇතිවූ මමත්ව අභිමානයකින් නොවේ. එසේ වුවද පීකේ වැනි චිත‍්‍රපටයක් ලංකාවේ කොළඹ කේන්ද්‍රීය ඊනියා විචාර කථිකාවන් තුළ පළමුකොටම ඉහලට එසවීමට ඉඩ ඇත්තේ සිංහල බෞද්ධ විරෝධයේ ආයුධයක් වශයෙනි.
දෙවියනි ඔබ කොහිද ?
මීළඟට මා අපේක්ෂා කරන්නේ දෙවියන් පිළිබඳ කාරණය සලකා බැලීමටය. මීට වසර කීපයකට ඉහත දී මමද කොවුර්ගේ තර්ක තදින් වැළඳි අදේවවාදියකු වුණෙමි. වාමාංශික අදහස්ද ඊට බලපෑවේය. එසේ වුවද මේ පිළිබඳ කාලයක් තිස්සේ සිදුකල ප‍්‍රායෝගික විමසා බැලීම්වලදී මට පෙනී ගියේ කොවුර් පොත්වල ලියා ඇති දේ සහ සැබෑ ලෝකය අතර විශාල පරතරයක් තිබෙන බවය. කොවුර්ට අත්භූත බල ඇති මිනිසුන් කිසි තැනෙක හමුවී නැතත් මට එවැනි පුද්ගලයන් බොහෝ සෙයින් මුණ ගැසී තිබේ. අත්භූත බලවේග ඇසුරෙන් බැහැර කළ නොහැකි යම් යම් දෑ කිරීමට ඔවුන්ට සැබෑ හැකියාවක් ඇත. නමුත් ඒ හැකියාවන් ඉතා සීමා සහිත ඒවා බවද කිව යුත්තකි. ඔවුන් කිසි ලෙසකින්වත් කයිවාරු ගසන තරමේ කෙරුම්කාරයන් නොවේ. පුවත්පත් දැන්වීම්වල පලකරන දේවල්වලින් සීයට එකක්වත් ඔවුන්ට කළ හැකි යැයි සිතීම අසීරුය. යම් යම් දේවල් කළ හැකි බව සැබෑවක් වුවද බොහෝ තැන්වල ඇත්තේ සීමිත හැකියාවන් පෙන්වා අසීමිත ලෙස මුදල් ඉපයීමේ ජාවාරම් බව කිව මනා නොවේ.මේ තත්ත්වයට බලපෑ හේතු කාරණාද මෙහිදී අමතක කළ යුතු නැත. පිළිගත් විද්‍යාවට ගෝචර නොවන පාරම්පරික දැනුම් සම්භාරයක් අපට තිබුණද අද ඒවා බොහෝ සෙයින් අභාවයට ගොස් තිබේ. යන්ත‍්‍ර මන්ත‍්‍ර ආදී ගුප්ත ශාස්ත‍්‍රයන්ටද මේ දැනුම තුළ යම් ඉඩකඩක් පැවති අතර, වාණිජකරණයට කෙසේවත් ඔරොත්තු නොදෙන මේ ගුප්ත ශාස්ත‍්‍රයන්ගේ ඉතුරු බිතුරු අද වනවිට සීග‍්‍රයෙන් වාණිජකරණයට ලක්වී තිබේ. පවත්නා වියවුල් ආර්ථික සමාජ රටාව තුළ හෙම්බත් වන මිනිසුන්ද වේගයෙන් මේ වෙළඳුන් කරා ඇදී යති. තමන්ගේ ප‍්‍රශ්නවලට භෞතික ලෝකයේ විසඳුම් විරල වනවිට දෙවියන් භූතයන් කරා මිනිසුන් ඇදී යාමද පුදුමයක් නොවේ. එයින් ඔවුන්ට කියන තරමේ සහනයක් නොලැබුණද පවතිනා සමාජ වටපිටාව තුළ එවැනි දේව ජාවාරම්වලට ඇත්තේ විශාල ඉල්ලූමකි. නමුත් එහි අර්ථය ඒ ඔස්සේ පටු කොවුර්වාදයට වලංගුභාවයක් හිමිවන බවද නොවේ. එසේ නම් මේ ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා කොවුර්වාදය හා අන්ධ දේව භක්තිය අතර අතරමැදි නැවතුමක් අපට වුවමනා වෙයි.
මට දැනෙන ආකාරයට නම් සියල්ලට ඉහලින් සිටින සර්ව බලධාරී දෙවියකු ලෝකයේ නැතත් දෙවිවරුන්ගේ පැවැත්ම සපුරා බැහැර කළ හැක්කක් නොවේ. පසිදුරන්ට, හෝ පිළිගත් නිල විද්‍යාවේ ක‍්‍රමවේදයන්ට ගෝචර නොවූ පමණින් එවැනි බලවේග නැතැයි තර්ක කිරීමද බුද්ධි ගෝචර නොවේ. වෙනත් මතවාද, දැනුම් පද්ධති, හා ප‍්‍රායෝගිකත්වය ඔස්සේ සනාථ වන ආකාරයට දෙවියන්, භූතයන්, අමනුෂ්‍යයන් යනුද ගහකොල, සතුන්, ක්ෂුද්‍ර ප‍්‍රාණීන් සේම මේ විශ්වයේ වෙසෙන තවත් ජීව කොට්ඨාසයකි. එහෙත් ඔවුන් කිසි විටකත් අද්විතීය ලෝක පාලන බල ඇත්තෝ නොවේ. ඔවුහුද මේ ලෝක නියාම ධර්මයන්ට දුකට, පැවැත්මට, විනාශයට මුහුණ දෙති. මිනිසුන්ට කළ නොහැකි යම් යම් දේ කිරීමට සතුන්ට හැකිවාක් මෙන්ම, මිනිසුන්ට කළ නොහැකි යම් යම් දේවල් කිරීමේ ශක්තියක් දෙවියන්ට, භූතයන්ටද තිබේ. එසේම දෙවියන්ට භූතයන්ට කළ නොහැකි බොහෝ දේවල් කිරීමේ පුදුමාකාර ශක්තියක් මිනිසුන්ටද තිබේ. මේ සියල්ලෝ තම තමන්ට ආවේණික ප‍්‍රබලතා දුබලතා සහිත සත්ව කොට්ඨාසයෝ වෙති. ඒ නිසා දෙවියන් යනු සියල්ලට ඉහලින් තැබිය හැකි කොට්ඨාසයක් නොවේ. මිනිසුන්ට දෙවියන්ගෙන් යම් යම් ප‍්‍රයෝජන ලද හැකි බව සැබෑවක් වුවද තමන්ගේ සියලූ දෛනික අර්බුදවලට විසඳුම් සොයා දෙවියන් යැදීම මෝඩකමක් වන්නේ ඒ නිසාය. එය දේවතැරුව්කාරයන්ගේ සුබ සිද්ධියට පමණක් හේතුවිය හැකි අපූරු පුන්‍යකර්මයකි.
මා දන්නා තරමට බුදුසමයේ දෙවියන් ගැන එන විග‍්‍රහයද මීට බොහෝ සෙයින් සමානය. සර්ව බලධාරී දෙවියෙකු බැහැර කරන බුදු සමය දෙවිවරුන්ගේ පැවැත්ම පිළිගනී. නමුත් ඒ තවත් සත්ව කොට්ඨාසයක් ලෙස සලකමින් මිස මිනිසාගේ සියලූ ප‍්‍රශ්නවලට විසඳුම් දිය හැකි ලෝක පාලන බලවේගයක් ලෙස සලකා නොවේ.
ඉනික්බිති...
අවසාන වශයෙන් ඉහත කාරණා ඔස්සේ පීකේ චිත‍්‍රපටය දෙස බැලීමේදී ඒ තුළ හදුනාගත හැකි ප‍්‍රබලතා දුබලතා ඊට බලපෑ සන්දර්භමය විශේෂතා කවරාකාර වේද?දේව රාජ්‍යය පිහිටුවීම සඳහා අමු අමුවේ මිනී මරා ගන්නා මිලේච්ජයන් හා ඔවුන් පෝෂණය කරන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවතුන් සහිත ඊනියා ගෝලීයකරණ සන්දර්භය තුළ රාජ් කුමාර් හිරානි මතු කරන සරල සිනහව, ආදරය, හා උත්තර මනුෂ්‍යත්වයේ හඬ අපට දිව මතුරක් වැනිය. එසේම සංස්කෘතික විරෝධය, කුරිරු සංස්කෘතික ආක‍්‍රමණයේම අවියක් ලෙස ගන්නා අධිපති දේශපාලනයේ දෘෂ්ටිවාදී තැරැව්කරුවන් අත මේ චිත‍්‍රපටය අනිසි ආයුධයක් වීමටද ඉඩ තිබේ. එසේම දෙවියන් පසුපස අඳ බැතියෙන් හඹා යමින්, වංචාකාරයන්ගේ ගොදුරු බවට පත්වන මිලියන ගනනක් මිනිසුන් තවමත් සිටින ලෝකයකට හෙළුවැලි ආගන්තුකයාගේ ප‍්‍රවේශය සිහි බුද්ධියේ ආශිර්වාදයක් බඳුය. එහෙත් නිල විද්‍යාව, හේතුවාදය ඔස්සේ පමණක් අපරිමිත ලෝකයේ පිරිවිතර ගන්නට යන අල්පතර දාර්ශනික ඝෝෂාවට මේ චිත‍්‍රපටය පිටුබලයක් වී තිබීම කණගාටුවට කරුණකි.
මේ අනුව විද්‍යාව, යථාර්තය, දැනුම, සංස්කෘතිය පිළිබඳ පුළුල් දාර්ශනික සන්දර්භයක් තුළ, මේ චිත‍්‍රපටය බොහෝ සීමා මායිම් හා නොවැදගත්කම් රාශියකින් යුත්තකි. එසේ වුවද ප‍්‍රායෝගික ජීවිතයේ හා ලෝක දේශපාලනයේ ඇතැම් සන්දර්භයන් තුළ මේ චිත‍්‍රපටයට විශාල අගයක් වටිනාකමක් හිමිවෙයි. ඒ පිළිබඳ සාධාරණ කිරා මැන බැලීමකින් තොර පැතලි නිගමනවලට එළඹීම නිර්මාණශීලීත්වයේ අති මහත් ශ‍්‍රමයක් සහිත මේ සිනමා කෘතියට කරන බලවත් අසාධාරණයකි.
ජගත් ජනනී
අවසාන වශයෙන් මේ සියලූ හිස කකියවන බුද්ධි ගෝචර කාරණාවලට වඩා පීකේ නැරඹීමේදී මගේ හදවතට බලපෑම් කළේ ඈය. දිගු වරලසක් හිමි ලලනාවන් පිළිබඳ මානව ඉතිහාසයේ සියලූ කාව්‍යමය වර්ණනා මේ කෙටි හිසකේ ඇති හුරුබුහුටි යෞවනිය විසින් අභියෝගයට ලක් කරයි. ඈ චිත‍්‍රපටයේ ප‍්‍රධාන කාන්තා චරිතය වන ජග්ගු නොහොත් ජගත් ජනනීය. එම චරිතයට පණ පොවන අනුෂ්කා ෂර්මාට පවා කිසි ලෙසකින්වත් ලඟාවිය නොහැකි ජග්ගුගේ වළාකුළු සුන්දරත්වය අති දක්ෂ වේශ නිරූපණ ශිල්පීන්ගේ නිර්මාණයක් වී තිබීම බෙහෙවින් සාංකාව දනවන කරුණකි. ඒ අනුව අද මට හද පාරවා ගැනීමට සිදුවී ඇත්තේ මිහිපිට කොහේ හෝ සැබවින්ම දැකගත නොහැකි ලලනා රූපයක් නිසාය. පීකේ චිත‍්‍රපටය අවසාන භාගයේදී පිටස්තර වැසියා දෙනෙතේ වැගිරෙන කඳුළු සඟවා ගනිමින් ජග්ගුගෙන් සමුගෙන තම ග‍්‍රහලෝකය බලා පිටත්ව යයි. මමද මේ දිනවල ජග්ගුගේ රොමාන්තික් පේ‍්‍රම ආක‍්‍රමණයෙන් මිදී සැබෑ ලෝකය වෙත ලඟාවීමට උත්සාහ ගනිමින් සිටිමි.- ඉසුරු ප‍්‍රසංග
බුකියේ වෙනස යුතුකමට මනාපයක් (Like) දමා මිතුරන්ට ඇරයුම් කරන්න. https://www.facebook.com/yuthukama
ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රකාශිත කැඩපත පුවත්පතේ පළවූ ලිපියකි.
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .