3/24/2015

ජාතික ගීය දෙමළෙන්

කතෘ:යුතුකම     3/24/2015   No comments

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ යවන බව මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික විධායක සභාව නමින් හැඳින්වෙන පුද්ගලයන් කිහිප දෙනකුට පවසා ඇත. එහි සාමාජිකයන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන් ම මන්ත්‍රීවරුන් නොවන්නෝ ද වෙති. ඒ ඇතැමුන්ට සම්ම ජාතියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීමට නො හැකි ය.
පළාත් සභා මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත් වී ඇති ඇතැමුනට කේවල ඡන්ද ක්‍රමයක් යටතේ එලෙස පත්වීමට නොහැකි බව වඩාත් ම හොඳින් දන්නෝ ඔවුහු ම වෙති. මනාප ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට ඔවුන් අකමැති වන්නේ ද එබැවිනි.

ඊනියා ජාතික විධායක සභාවට කිසිම නෛතික, ව්‍යවස්ථාදායක, විධායක බලතල නැත. එහි පක්‍ෂ නායකයන් යැයි කියාගන්නා අය සිටිනවා විය හැකි ය. එහෙත් එසේ පත්කිරීම සඳහා කිසිම නිර්ණායකයක් සකස් කර නැත. ඒ හුදෙක් රනිල් - සිරිසේන යුවළ, විශේෂයෙන් ම රනිල් වික්‍රමසිංහ මහතා, විසින් නම් කරන ලද පුද්ගලයන්ගෙන් සමන්විත වෙයි. එහෙත් අද පාර්ලිමේන්තුව අභිබවා මේ ආයතනය ක්‍රියා කරනු පෙනෙන්නට ඇත. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ගැන මගේ විශ්වාසයක් නැත. එංගලන්තයේ මේ ක්‍රමය මූලික වශයෙන් ඇතිවූයේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ඉදිරියට පැමිණි පිරිසකට රජවරුන්ගෙන් හා රදළයන්ගෙන් දේශපාලන බලය ලබා ගැනීම සඳහා ය. ඒ පිරිස එසේ බලය ලබා ගැනීමේ දී ඊනියා ජනතාවකගේ නමින් ඉදිරිපත් වූහ.

අද ලංකාවේ ද ජනතාව නමින් විවිධ පුද්ගලයෝ බලය අත්පත් කර ගනිති. අවුරුදු පහකට වරක් නොව අවුරුදු පතා මැතිවරණ පැවැත්විය හැකි නම් ඒ වැඩදායක ය. එහෙත් එසේ කිරීම ප්‍රායෝගික නො වේ. ඒ කෙසේ වෙතත් අපි බටහිර ප්‍රජාතන්ත්‍රවාදයෙහි හිර වී සිටිමු. ජාතික විධායක සභාව යනු ඒ ප්‍රජාතන්ත්‍රවාදය ද අවලංගු කරන ආයතනයකි. එය උපදේශක සභාවක් ද වෙනත් මණ්ඩලයක් ද යන්න රනිල් වික්‍රමසිංහ මහතා අපට විස්තර කරන්නේ ද?

ජාතික විධායක සභාවෙහි සංයුතිය කුමක් ද? එහි සිංහල විරෝධීන්, සිංහල බෞද්ධ විරෝධීන්, පුහු මාක්ස්වාදීන් ආදීන්ගේ සංඛ්‍යාව කුමක් ද? මේ හැකිනම් 1833 දී ඉංගිරිසින් සිංහලයන්ට එරෙහිව දෙමළ ජාතිවාදය දේශපාලන වශයෙන් බෞතීස්ම කරමින් පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාවට ආපසු යෑමකි. ඒ ව්‍යවස්ථාදායකයෙහි සිටි නිල නොලත් මන්ත්‍රීන් හයදෙනාගෙන් තුන්දෙනෙක් ම යුරෝපීයයෝ වූහ. සිංහලයන් ජනගහනයෙන් 75% ක් පමණ වූ නමුත් ඔවුන්ගේ ලිඛිත ඉතිහාසය අවුරුදු දෙදහස් පන්සියයක පමණ කාලයක් වූ නමුත් මෙරට සංස්කෘතිය ගොඩනැගුවේ ඔවුන් වූ නමුත් ඔවුන් නියෝජනය වූයේ එක් මන්ත්‍රීවරයකුගෙනි. ඔහු ද බෞද්ධයෙක් නො වී ය. දෙමළ ජනයා ද බර්ගර් ජනයා ද වෙනුවෙන් එක් නියෝජිතයකු බැගින් පත් කෙරිණි. එමගින් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන නිල වශයෙන් ම නැති කෙරිණි.

මෛත්‍රිපාල සිරිසේන මහතා සිංහලයන්ට වින කළ ඉංගිරිසි රජවරුන්ගෙන් පැවත එන එලිසබෙත් වින්ඩ්සර් හා දේශපාලක පරපුරේ වත්මන් පුරුක වූ ඩේවිඩ් කැමරන් හමු වී අතට අත දීමෙන් පසු සිංහල ජාතිකවාදීන් කියන්නේ ඉතා ප්‍රාථමික ප්‍රශ්නයක් බව තේරුම් ගෙන ඇත. එහෙත් ඒ මහතා ප්‍රශ්නය කුමක් දැයි දන්නේ ද? ප්‍රශ්නයක් විසඳීමට පෙර ප්‍රශ්නය කුමක් දැයි දැනගත යුතු ය. පදනම් ආයතනයේ ශ්‍රී ල නි ප රැස්වීම් පවත්වන සිරිසේන මහතාට එහි සිටින රෝ ඒජන්තයන්ගෙන්් ප්‍රශ්නය කුමක් දැයි දැනගැනීමට නො හැකි ය. මෙත්‍රිපාල සිරිසේන මහතාට ඇතැම් විට තමන් නූතන කඩහපොළ හිමියන් ලෙස හඳුන්වන අතුරලියේ රතන හිමියන්ගෙන් ඒ අසා දැනගත හැකි ය. එහෙත් උන්වහන්සේ අද දේශනා කරන්නේ කාගේ බණ දැයි අපි නො දනිමු. (ජාතික හෙළ උරුමය ද දෙමළෙන් ජාතික ගීය ගැයීමට තීරණය කළ ඊනියා ජාතික විධායක සභාවේ නියෝජනය වෙයි) හිටපු ජනවේග කල්ලිවල සාමාජිකයන්ගෙන් නම් ඒ දැනගැනීමට සිරිසේන මහතාට ඇත්තේ ශූන්‍යයට ආසන්න සම්භාවිතාවකි. රාජිත සේනාරත්න ඒ සම්බන්ධයෙන් කියන්නේ කුමක් දැයි  මාධ්‍ය ප්‍රකාශකයකු අපට පැහැදිලි කරන්නේ ද?

අද තිබෙන ප්‍රශ්නය එදා 1833 දී ඇති කරන ලද ප්‍රශ්නයේ විකාශයකි. ඒ බව අප කෙතරම් කියා ඇතත් දේශපාලනඥ්‍රන් හා ජනතාව නමින් හඳුන්වන්නන් එය අවබෝධ කරගෙන නැති බව පැහැදිලි ය. 1833 සිට 1931 දක්වා ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධාන ප්‍රශ්නය වූයේ එහි සිංහල නියෝජනය 50%ටත් වඩා අඩුකිරීම ය. එනම් මෙරට සිංහලයන්ට හිමි තැන ලබා නො දීම ය. 1931න් පසුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ද ඒ ප්‍රශ්නය දිගින් දිගට ම කතා විය. ජී ජී පොන්නම්බලම්ගේ පනහට පනහ ඉල්ලීමේ හරය වූයෙ සිංහල මන්ත්‍රී සංඛ්‍යාව 50%ටත් වඩා අඩුකිරීම ය. එහෙත් 1931 දී ලැබුණු සර්වජන ඡන්දය හේතුකොටගෙන එය කළ නොහැකි විය.

හතළිහේ දශකයේ දෙමළ ජාතිවාදය, එනම් සිංහලයන්ට හිමි තැන ලබා නොදීම, දෙමළ බෙදුම්වාදයක් දක්වා විකාශය විය. දෙමල ජනයා සිංහලයන්ගෙන් නිදහස් විය යුතු යැයි නාගනාදන් 1947 දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය 1948 දී බිහිවූයේ වෙන ම රාජ්‍යයක් ගොඩනැගීමට ය. හැත්තෑවේ දශකයේ දෙමළ බෙදුම්වාදය දෙමළ ත්‍රස්තවාදයක් බවට විකාශය විය. අපට තවමත් පරාජය කිරීමට හැකි වූයේ දෙමළ ත්‍රස්තවාදය පමණකි. සිරිසේන මහතා මේ ඉතිහාසය නොදන්නේ නම් ප්‍රභාකරන්, ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොත කියවන්නේ නම් මැනවි. ඇතැම් විට රතන හිමියන් සතුව එහි පිටපතක් තිබිය හැකි ය.

අද ජාතික හෙළ උරුමයේ ද අනුමැතිය ඇතිව ඊනියා විධායක සභාවක් පිහිටුවා ඇත්තේ එදා 1833 දී ව්‍යවස්ථාදායක සභාව පිහිටු වූ ආකාරයට සිංහලයන්ට විරුද්ධව පමණක් නොව ව්‍යවස්ථා විරෝධී ව ය. එහෙත් මේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සත පහකටවත් ගණන් නොගන්නා බව පැහැදිලි ය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූයේ ව්‍යවස්ථාවට පිටින් ය. එබැවින් ඒ පත්වීම ද ඒ සමග කැබිනට් මණ්ඩලයේ පත්වීම ද නීත්‍යානුකූල නො වේ යැයි අපි නිර්භය ව ප්‍රකාශ කරමු. එවැනි ආණ්ඩුවක් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට දක්වන සැලකිල්ල කුමක් ද?  මේ ආණ්ඩුව සිංහලත්වයට විරුද්ධ ය. එබැවින් ඔවුහු ඉන්දියාවේ හා එංගලන්තයේ අවශ්‍යතාව පරිදි සිංහල ජාතිකවාදීන්ට ජාතිවාදීන් යැයි කියමින් දෙමළ ජාතිවාදයට කප්පන් දෙති, සිංහල ජාතිකවාදීන්ට ඊනියා ප්‍රාථමික ප්‍රශ්න කරතබා ගත්තවුන් යැයි චෝදනා කරති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වැනි ව්‍යවස්ථාවට හා තුන්වැනි උපලේඛනයට අනුව පැහැදිලිව ම ජාතික ගීය සිංහලෙන් ගැයිය යුතු නමුත් සිරිසේන මහතා එයට පිටින් කටයුතු කිරීමට ඊනියා විධායක සභාවක් යොදා ගැනීමට උත්සාහ කරයි.

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට චක්‍රලේඛ නිකුත් කිරීමට යන්නේ ද දෙමළ ජාතිවාදයට දෙන කප්පමක් ලෙස ය. දෙමළ ප්‍රභූහු සිංහලයන්ට සිංහල සංස්කෘතියට හිමි තැන ලබා දීමට විරුද්ධ වෙති. එබැවින් ජාතික ගීය සිංහලෙන් පමණක් ගයනු ඇසීම ඔවුන්ගේ කන්වලට යවුල් ඇනීමක් මෙනි. ජාතික ගීය රටක භාවිතා කරන සියළු භාෂාවලින් ගැයිය යුතු නො වේ. එසේ කරන්නේ නම් ඉන්දියාවේ ජාතික ගීය ගැයීමට පැය ගණනක් ගතවනු ඇත.

භාෂා එකකට වඩ කතාකරන රටක ජාතික ගීය ගැයිය යුත්තේ කිනම් භාෂාවකින් ද? අපි මේ ප්‍රාථමික, එනම් මූලික ප්‍රශ්නයට පළමුවෙන් පිළිතුරක් දෙමු. එයට රෝ හා එංගලන්ත ඔත්තු සේවාවල අනුමැතිය නො ලැබෙනු ඇත. එහෙත් ප්‍රාථමික ප්‍රශ්නවලට අවධානය යොමු කිරීම සෑම විටක ම වැදගත් වෙයි. රටක ජාතික ගීය ගැයිය යුත්තේ එරට වැඩිදෙනා කතාකරන භාෂාවෙනි. නැත්නම් එරට සංස්කෘතිය ගොඩනැගූවන්ගේ බසිනි. එසේත් නැතහොත් යටත්විජිතවාදයට පසුව නම් නිදහස දිනාගැනීම සඳහා සුවිසල් මෙහෙවරක් කළ ජනවර්ගයේ භාෂාවෙනි. ඉන්දියාවේ වැඩිදෙනා කතාකරන භාෂාව හින්දි වුවත් එහි ජාතික ගීය ඇත්තේ බෙංගාලි භාෂාවෙනි. එයට හේතුව තාගොර් වැන්නන් හා බටහිර බෙංගාලයේ බ්‍රහ්ම සමාජ් වැනි විවිධ සමිති සමාගම් ඉන්දිය නිදහස් සටනට කරන ලද දායකත්වය ය.

ලංකාවේ වැඩිදෙනා කතාකරන භාෂාව සිංහල වෙයි. මෙරට සංස්කෘතිය ගොඩනගනු ලැබ ඇත්තේ සිංහලයන් විසිනි.  එපමණක් නොව 1815 සිට මෙරට නිදහස වෙනුවෙන් සටන් කර ඇත්තේ සිංහලයන් පමණකි. එබැවින් මෙරට ජාතික ගීය ගැයිය යුත්තේ සිංහලෙන් මිස සිංහලත්වය එරෙහිව ඉංගිරිසින් අනුග්‍රහය දුන් දෙමළ ජාතිවාදයේ  බසින් නො වේ. සිංහලෙන් පමණක් ජාතික ගීය නොගැයීම ම දෙමළ ජාතිවාදය විසින් සිංහලත්වයට හිමි තැන අහිමි කෙරීමකි.

නලින් ද සිල්වා

කාලය
2015 මාර්තු 22

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com