3/18/2015

සංගා, අපේ ක්‍රිකට් සහ සංස්කෘතික අවශෝෂණය

කතෘ:යුතුකම     3/18/2015   No comments

1996 මැදින් මස 17 දින අපි ඕස්ට්‍රේලියාව පරදා එක් දින ලෝක කුසලානය දිනා ගතිමු. 2014 බක් මස 5 වන දින ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා විස්සයි විස්ස ලෝක ලෝක කුසලානය දිනා ගතිමු. එසේම ඒ දෙදින අතර පැවැත් වුනු ලෝක කුසලාන තරගාවලි හතරකින් අපි අනුශූරතාවය දිනා ඇත්තෙමු. ඒ එක් එක්  කේවල තරඟාවලීන්හි ලබන ජයග්‍රහණ පසු පස මහ දැවැන්ත අඬිතාලමක් පසුබිමක්, පදනමක් ඇති බව අප සිහිකැර ගත යුතුය. කුමක් ද මේ පදනම? අඬිතාලම?


96 ලෝක කුසලානයට පදනම වැටෙන්නේ ඊට වසර ගණනාවකට පෙරාතුවය. ඒ පිළිබඳ මහරු අර්ථකතනයක් කුමාර සංගක්කාර විසින් 2011 වසරේදී එම්. සී. සී කව්ඩ්‍රි දේශනයේදී සපයන ලද බව අපගේ තක්සේරුවයි. ද්‍රෝහීන් විසින් ඔහු ගේ කතාවෙන් ද අපටම දමා ගැසීම සදහා කැට කැබිලිති කිහිපයක් සොයා ගනු ලැබුවද ඔහුගේ ඡේතනාව යහපත් වූ බවට අපට සැකයක් නැතිවාක් මෙන්ම එහිදී ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධිතව එහි සාර්ථකත්වයට අඬිතාලම වැටුනු අයුරු පිළිබඳ  කෙරුණු පැහැදිළි කිරීමට සාවදානව ඇහුකම් දීමෙන් ක්‍රිකට් හා සම්බ්න්ධව වැටුන අඬිතාලම අපගේ අනෙකුත් සාමාජ, අධ්‍යාපන හා දේශපාලන යන ක්ෂේත්‍රයන් සඳහාද ඉතා වැදගත් මඟ පෙන්වීමක් කරන බවත් එය හදුනාගෙන එම ක්ෂේත්‍රයන්ටද ගලපා ගැනීමට ජාතියක් ලෙස අපට සමත් විය හැකි බවත් අපි විශ්වාස කරමු. එම දේශනය තුළ ඔහු ගෙනහැර පෑ එම පදනම සැකසුනු ආකාරය එහි කොටස් තුළින් ගෙන පහත උපුටා දක්වන්නේ, ලංකාවේ ක්‍රිකට් අරඹයා වැටුනු ඒ ගැඹුරු පාදම විමංසනය කොට එමඟින් යමක් ලාංකීය සමාජයීය දේහය උදෙසාද උකහා ගෙන එහි ගෞරවය ඔහුට ලැබෙන්නට හැරීමේ අටියෙනි.


දැඩි ලෙස අපගේ උරුමය සහ සංස්කෘතිය පිළිබඳ සාඩම්බර වන්නෙමු...


මාගේ රටේ ඉතිහාසය වසර 2500කට ඈත අතීතකයට උරුමකම් කියන්නකි. ඉන්දියන් සාගරයේ උපායමාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටි ඒ සුන්දර දිවයින ඈත අතිතයේ පටන්ම ලෝකයේ අවදානය දිනා ගැනීමට සමත් වීම ඇගේ වාසියට මෙන්ම අවාසියටද හේතු විය. අපගේ ඉතිහාසය පුරා විශිෂ්ට සෞභාග්‍යයමත් සමඟි සම්පන්න අවදීන් මෙන්ම, යුද්ධයන් හා භීෂණයන්ද අප පසුකර විත් ඇත. ඒ සෑම අත්දැකීමකින්ම සවිමත්වන ලාංකීය සමාජය සිය නොසැලෙන ගුණය නිසා මෙන්ම ජීවිතය සැමවිටම විදීමේ හැකියාවද ප්‍රගුණ කර ඇති සාඩම්බර සමාජයකි.


යටත්විජිතකරණය අපගේ නොබිදෙන අධ්‍යාත්මය සුණූවිසුනු කර දැමීමට හෝ බාල කර දැමීමට හෝ අපොහොසත් විය.


ශ්‍රී ලාංකිකයන් ඉතා තදින් එකට බැඳුනු සමාජයකි. ශක්තිමත්ව බැඳුනු පවුල අප සමාජයේ ජීවගුණයේ කැඩපතයි. අප විචාරාත්මක හා විනෝදකාමී සමාජයකි. දුෂ්කර අවස්ථාවලදී අපහසුවෙන් හෝ සිනාසෙන අපි වාසනාවන්ත අවස්ථාවන් දැඩි ලෙස සමරන්නෙමු. හෙට නොව අද ජීවත්වන ලාංකිකයෝ ජීවිතයේ සෑම හුස්මක්ම ආශ්වාද කරන්නෝය. අපි දැඩි ලෙස අපගේ උරුමය සහ සංස්කෘතිය පිළිබඳ සාඩම්බර වන්නෙමු. ඕනෑම ලාංකිකයෙකු ඒ දැනුම තුළ වැදගත් හා ආරක්ෂිත වන්නේය. වසර හාරසියයකට වඩා පෘතුග්‍රීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් විසින් දියත් කරන ලද යටත්විවිජිතකරණය අපගේ නොබිදෙන අධ්‍යාත්මය සුණූවිසුනු කර දැමීමට හෝ බාල කර දැමීමට හෝ අපොහොසත් විය. මේ සන්දර්භය තුළ ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වාදීම විසින් අපගේ මෑත කාලීන ඉතිහාසයට හා සමාජයට කරන ලද බලපෑම විශ්මය ජනකය.



ශ්‍රී ලාංකීය සමාජය බටහිරකරණයට දැඩි ප්‍රතිරෝධයක් දක්වන්නකි. ඇතැම් විට බටහිර සම්ප්‍රදායන් විනාශකාරි යක්ෂයකු ලෙස සළකා එය නිෂ්ප්‍රභා කරති. කෙසේ නමුත් ක්‍රිකට් බටහිර විරෝධී ආරක්ෂිතයේ සිදුරු තුළින් රිංගා ගන්නට සමත් වුනි. ඇතැම් විට තමන්ට ඇති එකම දේ පවා අමුත්තාට ලබා දෙන අපගේ ආගන්තුක සත්කාරයට ලැදි වූ හැඟීම එයට හේතු වූවා විය හැකිය. ගැමි පළාතක ගෙදරකට ගිය විට ලැබෙන්නේ සීනි වැඩියෙන් දැමූ තේ කෝප්පයකි. මට ඒ හේතුව වැටහුනේ පසුවය. ඔවුහු සෑම දෙයක්ම වැඩිපුර අමුත්තාට ලැබිය යුතු බව සිතති. සීනි සඳහාද එහි වෙනසක් නැත.


ධනවතුන්ට සීමා වූ පාසල් කිහිපයකට පමණක් හිමි වූ ක්‍රිකට් ක්‍රීඩාව අති බහුතරයක් ශ්‍රී ලාංකිකයින් සැළකුවේ තමනගේ සීමාවෙන් පිටත වූ යමක් ලෙසය...


ක්‍රිකට් යනු වියදම් අධික ක්‍රීඩාවකි. ක්‍රීඩා පිටි, උපකරණ, පුහුණුකරුවන් ආදී සියළු පහසුකම් බිර්තාන්‍යය ජාතික මිෂනාරීන් විසින් ඔවුන් බිහි කළ ඉංග්‍රීසි පාසල් පද්ධතිය වෙත ලබා දුනි.



ධනවතුන්ට සීමා වූ පාසල් කිහිපයකට පමණක් හිමි වූ ක්‍රිකට් ක්‍රීඩාව අති බහුතරයක් ශ්‍රී ලාංකිකයින් සැළකුවේ තමනගේ සීමාවෙන් පිටත වූ යමක් ලෙසය.



විසිවන සියවසෙහි මුල මේ ධනවත් පාසල්වලින් පිටවන ක්‍රිකට් ක්‍රීඩකයිනට ක්‍රීඩා කිරීම උදෙසා ක්‍රීඩා සමාජ ඇරඹුනි. ඒවායේ නම් සිංහල ක්‍රීඩා සමාජය, ටැමිල් යූනියන්, බර්ගර් රික්‍රියේෂන් සහ මූවර්ස් යනාදි වශයෙන් වර්ගවාදී ස්වරූපයක් ගත්තද ඒ සියල්ලක්ම එකට ගත් කළ ඉංග්‍රීසි පන්නයේ සංස්කෘතියකට උරුමකම් කීහ. ක්‍රීඩා සමාජ ක්‍රිකට් එම ලාංකිකයන්ට බ්‍රිතාන්‍යන් සමඟ සමාජ‍‍යීය වශයෙන් මුහු වීමට අවස්ථාවක් ලබා දුනි. 1948 දී බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට නිදහස ලබාදෙන විට ක්‍රිකට් ක්‍රීඩාව ලාංකීය ඉහළ පැළැන්තියකට හිමි වූවක් වීම පුදුමයක් නොවීය.



නිදහසින් පසු මුල් අවදිය තුළ ඉංග්‍රීසි පන්නයේ පංතිය කුඩා සුළුතරයක් වුවද, ඔවුන්ගේ දේශපාලන මතවාදය බටහිර ගැති වූ අතර ඔවුහු දේශපාලනිකව බලවත් කොටසක් වූහ.

නිදහසින් පසු පැවති මුල් මැතිවරණවලින් ඉහළ පැළැන්තියට සම්බන්ධ රජයන් තේරී පත්වූ අතර රජයන්ට නායකත්වය දුන් අඟමැතිවරු තිදෙනාම ඉහළ පාසල් නි‍යෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩා කර ඇති අතර ඔවුහූ SSC හි සාමාජිකයින්ද විය.



ඉංග්‍රීසි පන්නයට ලැදි පාලනයෙන් බලය නැගී ආ සමාජවාදී හා ජාතිකවාදී බලවේගයන් අතට පත්වුනු 1960 සිට 1981 දක්වා කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය වර්ධනය වූයේ සෙමිනි.

 දිවංගත ගරු ගාමිනී දිසානායක මහතාට ස්තුතිවන්න 1981 දී ශ්‍රී ලංකාව ටෙස්ට් තත්වය ලබාගන්නා ලදී. ඉංග්‍රීසි පැළැන්තියට සීමා වුනු ක්‍රිකට් ජනතාවගේ ක්‍රීඩාවක් බවට පරිවර්තනය වීමේ ආරම්භය සිදු‍වූයේ ඒ සමඟය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සිය අනන්‍යතාවය සොයා ගැනීමේ අර්බුදයෙන් පෙළෙමින් තිබූ අතර අපි අපේ ක්‍රිකට් ක්‍රීඩා කරපු ආකාරයේ තිබුනේ ඉතා කුඩා ශ්‍රී ලාංකීය ගතියක් පමණි...


1995 ට පෙර යුගයේ ශ්‍රී ලංකාව විසින් ඉතා විශිෂ්ට ක්‍රීඩකයින් බිහි කළද පැරණි යටත්විජිත බලපෑමෙන් ක්‍රීඩා කරන ආකාරය මුදවා ගැනීමට නොහැකි විය. 1981 ටෙස්ට් වරම් ලබා ගත්තද ශ්‍රී ලංකා ක්‍රිකට් සිය අනන්‍යතාවය සොයා ගැනීමේ අර්බුදයෙන් පෙළෙමින් තිබූ අතර අපි අපේ ක්‍රිකට් ක්‍රීඩා කරපු ආකාරයේ තිබුනේ ඉතා කුඩා ශ්‍රී ලාංකීය ගතියක් පමණි.



අපි පොතේ ක්‍රිකට් ගගහ හිටියේ ක්‍රිකට් බලවතුන්ගේ සම්මතයන් හා සම්ප්‍රදායන් අනුකරණය කරමිනි. වර්තමානයේ ජීවත්වීම සහ සතුට හා වාසනාව පිළිබඳ ආකල්පයන්  යන අපගේ අනන්‍යතාව හා බැදුනු දේ අපේ ක්‍රිකට්වල නොවීය.

දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විත හොඳ කණ්ඩායමක් අප සතු වුවත් අප බයාදු, මෘදු හා තනි තනි ක්‍රීඩකයන් වශයෙන් හෝ කණ්ඩායමක් වශයෙන් අපි අපගේ වටිනාකම පිළිබඳ නිසි විශ්වාසයක නොසිටියෙමු.

සමස්ථ පද්ධතියක් වෙනස් කිරීමට එල්ලයක් ඇතිව ඒ වන විට අවාසි සහගත වූ සංස්කෘතියක් හා සම්ප්‍රදායක් වෙනුවෙන් සිට ගැනීමට සහ ඒ විශිෂ්ට අරමුණ වෙනුවෙන් තමාම ඉදිරි වළල්ලට යාමට සූදානම් වූ එඩිතර වූ නායකයෙක්...


ඒ වන විට අපට අවැසි වූයේ නායකයෙකි. පොදු ජනයා තුළින් ආ පෞර්ෂවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්, හැකියාව මෙන්ම සියල්ලටම වඩා ධෛර්යයවන්ත පුද්ගලයෙක්, සමස්ථ පද්ධතියක් වෙනස් කිරීමට එල්ලයක් ඇතිව ඒ වන විට අවාසිසහගත වූ සංස්කෘතියක් හා සම්ප්‍රදායක් වෙනුවෙන් සිට ගැනීමට සහ ඒ විශිෂ්ට අරමුණ වෙනුවෙන් තමාම ඉදිරි වළල්ලට යාමට සූදානම් වූ එඩිතර වූ නායකයෙක්. අප බලා සිටි ගැලවුම් කරුවා යෝධ හැකියාවක් ඇති මදක් තරබාරු අර්ජුන රණතුංග නමින් අප අතරට පැමිණියා. ඔහු පැමිණියේ ලාංකීය ක්‍රිකට් උරුමයේ ඉතිහාසය උඩුයටිකුරු කර ක්‍රීඩාව මිලියන විස්සක් පමණ වන ජනතාවක් මහත් භක්ත්‍යාදරයෙන් වැළඳ ගන්නා පොදු ක්‍රීඩාවක් බවට පත් කිරීමටයි.



අන් කාටත් වඩා අර්ජුනට තමා අවබෝධවුනේ ඇයි යටත්විජත අතීතයේ විලංගු වලින් මිදී අපි අපගේම වූ අනන්‍යතාවක්, ශ්‍රී ලාංකීය හරයන්ගෙන් උකහා ගත් අනන්‍යතාවක්, සාමාන්‍යය ලාංකිකයාගේ රිද්මයට හා  හැඟීමට අනුව සැකසුණු අනන්‍යතාවක් සකසා ගත යුත්තේ කියන කාරණය. අර්ජුන සිය සළකුණ ලාංකීය ක්‍රිකට් මත තැබීමට මුරණ්ඩු වුනු, විදේශීය සම්ප්‍රදායන්ගෙන් මිදී නව ජාතික සන්නාමයක් ක්‍රිකට් මත තැබීමට අදිටන් කරගත් මිනිසෙකි.



ආනන්ද විද්‍යාලයෙන් SSCයට පැමිණීම ඔහුට සංස්කෘතික ගැටුමක් විය. එවක SSC හි ආධිපත්‍යය ඉසිළුවේ ශාන්ත තෝමස් හා රාජකීය විද්‍යාල වලින් පැමිණියවුන්ය. අර්ජුන පවසා තිබෙනවා එහි සංස්කෘතිය ඔහුට කෙතරම් නුහුරු වූවාද සහ ඊට හුරු වීම කෙතරම් අපහසු වූවාද යන්න. වයස අවුරුදු 15 ක ශීෂ්‍යයකු වශයෙන් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් දැලක් තුළ පිතිකරණ පුහුණුවේ යෙදෙන අර්ජුනගෙන් ඔහු පිළිබදව එක් ජේෂ්ටයෙක් විමසා සිටියා. ඔහු ආනන්ද විද්‍යාලයෙන් බව දැන්ගත් කල්හි "අපට මේ ක්ලබ් එකට සරම් ජොනියෝ අවශ්‍යය නැහැ" හි පවසමින් ඔහුගේ නිසඟ හැකියාවන් නිෂ්ප්‍රභා කෙරුනා. 



පසුව අර්ජුන SSC යට වසර ගණනාවක් නායකත්වය සැපවූවා පමණක් නොව, ඉංග්‍රීසි පන්නයේ පාසල්වල ග්‍රහණයෙන් ක්‍රිකට් ක්‍රීඩාව මුදවා ගන්නටත් ඔහු සමත්වුනා. ඔහුගේ එල්ලය වුනේ කණ්ඩායමට ආත්ම විශ්වාසයක් ලබා දී, අපට පිටකොන්දක් සහ තම වටිනාකම පිළිබඳ අගයක් ලබා දී එමගින් ප්‍රතිවාදී කණ්ඩායම හා සමතත්වයෙහි ලා දැකගෙන සැකයෙන් හා බියෙන් තොරව ක්‍රීඩා කරමින් අහිතකර සම්ප්‍රදායන් පසෙකලා අපේම වූ ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් වැළඳ ගැනීමයි. ඒ සඳහා ඔහු නොබියව ප්‍රශ්න කළ නොහැකි බලයක් සහිතව නායකත්වය සැපයූ අතරම ඉතා සංසුන් සහ නොසැලෙන ගුණයෙන්ද යුක්ත වූයේ 'කැප්ටන් කූල්' යන අන්වර්ත නාමයද ලබා ගනිමින්.

මේ තරමක් බර වැඩි වමත හුරු මිනිසා තුළ, ප්‍රථම වතාවට ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සිය බලකාය සඳහා සෙබළුන් සොයන විශිෂ්ට ජෙනරාල්වරයෙක් සිටියා...


1996 ජයග්‍රහණය සඳහා අවැසි ප්‍රථම සහ වඩා වැදගත්ම අඬිතාලම එලෙස සකස් විය. මේ තරමක් බර වැඩි වමත හුරු මිනිසා තුළ, ප්‍රථම වතාවට ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සිය බලකාය සඳහා සෙබළුන් සොයන විශිෂ්ට ජෙනරාල්වරයෙක් සිටියා.



ඒ වන විට අර්ජුන අන් කවරෙකුටත් වඩා වටහාගෙන තිබුනා අපට යම් වාසියක් වුවමනා බව සහ ඒ සඳහා තමාටම අනන්‍යය වූ හැකියාවන් ඇති ඔපමට්ටම් කර ගත් විට ප්‍රතිවාදීන් අන්දමන්ද කර විනාශ කර දැමිය හැකි ක්‍රීඩකයන් ඔහු පිරික්සුවා. ජාතියක් ලෙස අපි මුරලිගේ සහ සනත්ගේ දෙමාපයන්ට ණය ගැති විය යුතුයි මේ විශිෂ්ටයන් දෙදෙනා ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට අවැසිම කලක ජනිත කර තිබීම පිළිබඳව.





සුවිශේෂි ඔපනොදැමුනු අමු හැකියාවන් සමඟ සනත් මාතරින් පැමිණියා. අර්ජුනගේ මඟපෙන්වීම යටතේ වර්ධනය කර ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දුන් එදාමෙදා තුර ක්‍රිකට් ක්‍රීඩාවෙහි වූ ඉතාම විනාශකාරීම පිතිකරණ බලවේගයක්. එය අප කළින් නොදැක තිබුනු හැකියාවක් සහ ඔහුගේ සමුගැනීමෙන් පසු යළි දකින්නට නොලැබෙන දෙයක්. පන්දුව දැඩි ලෙස දඟ කවමින් සිතාගත නොහැකි කෝණයකින් පන්දුව කපන මුරලි නුවරින් පැමිණියා. ඔහු පිට දඟ පන්දුවට අතේ මැණික් කටුව උපයෝගි කරගැනීම හඳූන්වාදුන්නා.

අන්න ඒ අවස්ථාවේදි ලාංකිකයන්ට ජාතික ක්‍රිකට් කණ්ඩායම "අපේ කොල්ලෝ" බවට විය..


 අර්ජුනගේ කණ්ඩායම විශිෂ්ට හැකියාවන් සමඟ දැන් සූදානම්. නමුත් තවමත් එය කණ්ඩායමක් නොවින. එය සිදුවූයේ 1995 දීය. මුරලි පන්දුව දමාගසන බවට චෝදනා ලැබීමේ ප්‍රතිපලය ඉතා දුරකට විහිද යන බව එවේලේ අවබෝධ වුයේ ඉතා ටික දෙනෙකුට පමණි. මේ සිදුවීම සමස්ථ ජාතියේම උදහසට, කම්පාවට හේතුවිය. ඔහු තව දුරටත් තනි නොවීය. ඔහු ගේ කණගාටුව හා වේදනාව සියල්ලෝ විසින්ම බෙදා ගත්තෝය. විචාරකයන් කුමක් පැවසුවද අර්ජුන හා කණ්ඩායම මුරලි පසුපස සිටගත් ආකාරය සමස්ථ ජාතියම සාඩම්බරයට පත් කළේය. අන්න ඒ අවස්ථාවේදි ලාංකිකයන්ට මේ ක්‍රිකට් කණ්ඩායම "අපේ කොල්ලෝ" බවට විය. ඒ අවස්ථාවේදි ක්‍රිකට් ක්‍රීඩාවට මුලින් පැවති දුරස්තභාවය සහමුලින්ම දුරු වී ක්‍රිකට් කණ්ඩායම සිය පුතුන්, සහෝදරයන් බවට පත් විය. මුරලි මෙල්බ'න් හිදි පන්දුව දමා ගසනවා යයි චෝදනා ලැබීම සියළුම ලාංකිකයන්ට කරන ලද ප්‍රතිඋත්තර දිය යුතු අවමානයක් බවට විය. සිතිය නොහැකි දේ කිරීමට ශ්‍රී ලංකාවට ලැබුනු උත්ප්‍රේරකය එය විය. 


ඒ වගේම වැදගත් නිරීක්ෂණයක් වන්නේ 1981 ට පෙර 80% ක්ම ජාතික කණ්ඩායම නියෝජනයේ කළේ ඉංග්‍රීසි පැළැන්තියේ පාසල් වු නමුත් 1996 ලෝක කුසලාන සංචිතයට එම පාසල්වලින් එකඳු ක්‍රීඩකයකු හෝ සිටියේ නැතිවීමයි



කුමාර සන්ගක්කාරගේ ඉහත දේශනයෙන් කියැවුනේ ක්‍රිකට් ලෝකයේ අති ප්‍රබල ස්ථානයකට ශ්‍රී ලංකාව ඔසොවා තැබුම සඳහා අඬිතාලම වැටුනු ආකාරයය. යටත්විජිත උරුමයක් වුවත් එහි අධ්‍යාත්මය යටත්විජිත විලංගු වල ග්‍රහණයෙන් මුදවා එය දේශීයකරණය කළ ආකාරය සහ එයට නායකත්වය සැපයුනු ආකාරයය. අප සාර්ථක වූ පෙදෙස්වලින් අප පාඩම් ඉගෙන ගත යුතුය. මේ පරිවර්තනය අප අපගේ අනිත් ක්ෂේත්‍රයන්හී සිදු කැර ගැනුමට සමත් වී ඇත්තෙමුද? ඒ පරිවර්තනයක අවශ්‍යතාව වටහා ගෙන සිටින්නමුද යන්න පවා ඉතා සැක සහිතය. අපි අපගේ හරයන් මත පිහිටා අධ්‍යාපන ක්‍රමයක් හෝ දේශපාලන ක්‍රමයක් හෝ යටත්විජිත සමයෙන් පසු යළි ස්ථාපිත කිරීමට සමත් වී ඇතැයි සිතීම උගහටය. එසේ කිරීමට අවැසි නම් අපගේ හරයන් මොනවාද, අපගේ චින්ත්නය කුමක්ද යන්න ගැන පැහැඳිළි චිත්‍රයක් අවැසිය. ජාතික චින්තනය පිළිබඳ සංවාදය සමාජගත කෙරෙන්නේ අන්න ඒ පරිවර්තනයට අවැසි වන අපගේ අධ්‍යාත්මය, හරයන් හා හැඟීම් හදූනාගැනීම පිණිසමය.



අනුකරණයක් සමාජයකට අවශෝෂණය කර ගැනුම හෝ නොගැනුම හෝ අරඹයා ගුණදාස අමරසේකරයන් ගේ 'සිංහල කාව්‍යය සම්ප්‍රදාය' නමැති කෘතියෙන් උපුටා ගත් කොටසකින් දැනටමත් දිගු වූ මේ ලිපිය අවසන් කරන්නෙමු.



සැම අනුකරණයක්ම කිසියම් සංස්කෘතියක් තුළ ව්‍යාප්ත වනුයේ ඒ සංස්කෘතිය තුළ හට ගෙන ඇති හිඩසක්, ඌනතාවක් නිසා බව අපි දනිමු. ඒ හිඩැස නිසා ව්‍යාප්තවන අනුකරණය (නැත්නම් නව සංස්කෘතිය) කාලයාගේ ඇවෑමත් සමඟම ඉරණම් දෙකකින් එකකට භාජනය වෙයි. එක්කෝ එය ගසක් වසා පැතිරෙන පරපෝෂිතයකු සේ අර දේශීය සංස්කෘතිය වසා පැතිරගෙන අවසානයේ එය විනාශ කර දමයි. (පසුගිය වකවානුව තුළ තුන්වන ලෝකයේ රටවල මෙය සිදුවී ඇති සැටි අපට හොඳින් දැකගත හැකිය). එසේ නැත්නම් අර දේශීය සංස්කෘතිය විසින් අනුකාරක සංස්කෘතිය රිසි පරිදි දිරවා අවශෝෂණය කරගෙන එය දේශීය සංස්කෘතියේම කොටසක් බවට පත් කරගනු ලැබේ. එසේ පත්කර ගැනුම නිසා අර දේශීය සංස්කෘතිය අත්‍යාවශ්‍යය පරිණාමය ලබා ශක්තිමත් වෙයි. මේ කටයුත්ත සාර්ථක කර ගැනුමට නම් දේශීය සංස්කෘතිය, බමුණු කුලයක - අතළොස්සක සංස්කෘතියක් නොව පොදු ජනතාවගේ සංස්කෘතියක් විය යුතුය. එවැනි පොදු ජන සංස්කෘතියකට පමණි අර අවශෝෂණ කාර්යය සාර්ථකව කරගත හැක්කේ.



-ලසන්ත වික්‍රමසිංහ

යුතුකම සංවාද කවය
www.yuthukama.com

හරවත්ව කියවන්න.යුතුකමට එක්වන්න
යුතුකමට මනාපයක් (Like) දමා මිතුරන්ට ඇරයුම් කරන්න. https://www.facebook.com/yuthuma

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com