3/27/2015

වේයන්ගොඩ රෙදි මෝල

කතෘ:යුතුකම     3/27/2015   5 comments

දේශපාලකයන්ගේ ප්‍රහාර හමුවේ, ජනතාව ඉවසති. තව දුරටත් ඉවසති; තවත් දුරටත් ඉවසති. එහෙත් රතු කට්ට පැන්න කල ජනතාව තවදුරටත් ඉවසන්නේ නැත. එබඳු ජනතාවක් වෙත වෙඩි බෙහෙත් ළං කිරීම අතිශය භයානක ය.










රෙදි මෝලෙ හන්දියයි
පාරෙ තැනකට නමකි.
ඒ වුණත් රෙදි මෝල
අද එතැන ඇත්තෙ නෑ
සළුපිළිත්
පිටරටින්
ආනයන කළ නිසා
රෙදි මෝල
මියැදුණා
බැන්ද වෙස්මුහුණු නෙක්
මැති ඇමැති සියල්ලන්
දොරටුවට පිට දෙමින්
ජනතාව අමතමින්
ඇස් වසා කිය කියා
බස් මුසා
අරින්නට පිළිණ දුන්
රෙදි මෝල දැන් එතන ඇත්තෙ නෑ
බොයිලේරු හා මැෂින්
යකඩ ගණනට හනික විකුණන්න
බලවතුන්
ඇන කොටාගෙන මැරුණු
රෙදි මෝල
දැන් එතන ඇත්තෙ නෑ
ඒ හිලව්වට අලුත්
කම්හලක්, රෝහලක් දෙන්නෙමැ'යි
කී මුසා බස් අසා
සිටි නිසා සැම දෙනා
රෙදි මෝල දැන් එතන
ඇත්තෙ නෑ
තිබෙන්නේ
හමුදාවෙ
වෙඩි බෙහෙත් ගබඩාව

පුරා විද්‍යාඥයකු හා එකී විෂයට අදාළ ගුරුවරයකු ද වන සිරිනිමල් ලක්දුසිංහ මහතාගේ අභිනව කාව්‍ය සංග්‍රහය වූ “හැන්දෑ යාමය” කෘතියෙන් ඉහත පද්‍යය උපුටා ගැනිණි. කවියේ සිරස්තලය හැටියට යොදා තිබුණේ “රෙදි මෝල” යන්න ය. රෙදි මෝල කියු කල එය පොදු අර්ථයක් හා පොදු තත්ත්වයක් හඟවයි. රෙදිමෝල් බොහෝ තැන්වල තිබිණි. ඒවායින් බොහොමයක් වැසී ගියේ ය. එහෙත් විශාල බලපෑමක් ඇති වූයේ නැත. මේ රෙදි මෝලටත් කාව්‍යානුභූතියටත් ඊට වඩා වෙනසක් හා විශේෂයක් තිබේ. වැසී ගියේ මෝල පමණක් නොවේ. පරපුරක අනාගතය ද මේ ඔස්සේ වැසී ඇත. කවියා හන්දියක් ගැන ද කියයි. හන්දිය හැරවුම් ලක්ෂයක් සේ ගත හැකි ය. ඒ අනුව මෝලෙ හන්දිය ලෙස හෙඩිම වෙනස් කළෙමි. එහි ද අමුත්තක් නැත මෝලෙ හන්දි හැමතැන ම තිබේ. එක් හන්දියක ඇත්තේ මිරිස් අඹරන මෝලකි. තව හන්දියක ඇත්තේ තෙල් සිඳින මෝලකි. ඒවායින් සමාජයට විශාල බලපෑමක් නැත.

කවියා සඳහන් කරන රෙදි මෝල විශාල ව්‍යාපෘතියකි. එය එක්තරා ප්‍රදේශයක සමාජ - ආර්ථික පරිවර්තනයකට හේතු විය. ජාතික ආර්ථිකයට සැලැකිය යුතු දායකත්වයක් ද ඒ ඔස්සේ ලැබිණි. හාර දහසකට ආසන්න ප්‍රමාණයකට ඍජු රැකියා සැපයීමට ද තවත් සිය ගණනකට අතුරු රැකියා සැපයීමට ද මේ මෝල සමත් විය. තවත් අතෙකින් මේ ස්ථානය සාංස්කෘතික කේන්ද්‍රයක් ලෙස ද භාවිත විය. සම්මන්ත්‍රණ, නාට්‍ය දර්ශන, සංගීත ප්‍රසංග, ක්‍රීඩා තරග ආදිය පවත්වන හා මිනිසුන් සම්මුඛ වන වැදගත් ස්ථානයක් ලෙස එය පැවැතිණි. යම් දේශපාලන ක්‍රියාවලියක් නිසා කවියා ඇතුළු ඔහුගේ සමාජයට මේ පොදු ස්ථානය අහිමි විය. රෙදි මෝල වැසිණි. අද එතැන ඇත්තේ වෙඩි බෙහෙත් ගබඩාවකි. වෙඩි බෙහෙත් යනු ආහාර නොවේ. සාමාන්‍ය ජනයාට ඉන් ඇති පලප්‍රයෝජනයක් නැත.

මේ රෙදි මෝල තුළ සංකීර්ණ කතාන්දරයක් තිබේ. එය සිහිපත් කළ හැක්කේ මෝල ස්ථාපනය කළ ප්‍රදේශයෙහි නියම නම ද පාවිච්චි කිරීමෙන් ය. එබැවින් “වේයන්ගොඩ රෙදි‍ මෝල” යන සිරස්තලය ඊට කදිමෙට ගැළපෙයි. එය විවිධාර්ථ සහිත යෙදුමක් ලෙස ද සැලැකිය හැකි ය.

ඇතැම් දේශපාලකයෝ රටවල් හදති. තවත් දේශපාලකයෝ රටවල් නසති. මහතීර් මොහොමඩ් මැලේසියාව දියුණු කළේ ය. ලී ක්වාන් යූ සිංගප්පූරුව සංවර්ධනය කළේ ය. තෙන්ෂියාඕපෙන් නූතන චීනය නිර්මාණය කළේ ය. එලෙස ම මාකෝස් පිලිපීනය නැති කළේ ය. රොබට් මුගාබේ සිම්බාබ්වේ රාජ්‍යය කාලකණ්ණි කළේ ය. ගොර්බචෝව් සෝවියට් දේශය බින්දුවට බැස්සුවේ ය. අපේ රට ගැන විමසන විට ශ්‍රී ලංකාව නැති කළ අය වැඩි ය. රටට යමක් කළ අය ඉතා අඩු ය. නයිජීරියාවේ මහා ලේඛක චිනුවා අචෙබෙ වරක් කියා සිටියේ තම දේශයෙහි ජනතාවගේ හෝ සම්පත්වල හෝ කිසිදු අඩුවක් නැති බව ය. අඩුව ඇත්තේ දේශපාලකයන්ගේ ය.

ලක්දුසිංහ මහතා මේ නිර්මාණය ඔස්සේ කතාන්දර දෙකක් කියයි. එක කතාවක් දේශපාලනික ය. අනෙක් කතාව මානුෂික ය. දේශපාලන පරිච්ඡේද හතරක කෙරුවාව සංක්ෂිප්ත හා විවේචනාත්මක ව කියන්නට කවියා සමත් වෙයි. පරම්පරා කිහිපයක ඛේදවාචකය දෙස සානුකම්පිත ව බලන්නටත් ඔහු සමත් වෙයි.

කවියා පෙන්වා දෙන දේශපාලන පරිච්ඡේද හතර කුමක් ද?

(I) සංවෘත ආර්ථික අවධිය

(සිරිමාවෝ පාලන සමය සමගි පෙරමුණ ආණ්ඩුව)

(II) විවෘත ආර්ථික අවධිය

(ජේ.ආර්. පාලන සමය ධර්මිෂ්ඨ රාජ්‍යය)

(III) විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දුන් අවධිය

(චන්ද්‍රිකා පාලන සමය පොදු පෙරමුණු ආණ්ඩුව)

(IV) මහින්ද චින්තන අවධිය

(මහින්ද රාජපක්ෂ පාලන සමය)

කවියාගේ විවේචනයට ලක් නොවන්නේ මැතිනියගේ ආණ්ඩු සමය පමණි. එයින් හැ‍ඟෙන්නේ කවියා ඒ ක්‍රමය මුළුමනින් ම අනුමත කරන බවක් නොවේ. වේයන්ගොඩ පෙහෙකම්හල, තුල්හිරිය පෙහෙකම්හල, පූගොඩ පෙහෙකම්හල ඇතුළු දේශීය නිෂ්පාදන කර්මාන්ත‍ ඒ කාලය තුළ සාර්ථකව පැවැතිණි. රාජ්‍ය අංශයෙහි යම් ඒකාධිකාරී බවක් ද දක්නට ලැබිණි. සමුපකාර ක්‍රමය හොඳ ම බෙදාහැරීමේ ජාලය බවට ද, පාරිභෝගි සේවා ජාලය බවට ද පත්ව තිබිණි. සංවෘත ආර්ථික රටාව දේශීය කර්මාන්ත සම්බන්ධයෙන් හොඳ කාලයක් උදා කළ බව සත්‍යයක් වන්නේ වුව ලෝක රටාව සමඟ එය ගැළපුණේ නැත. වේගවත් සංවර්ධනයක් ද ඒ මගින් අපේක්ෂා කළ නොහැකි ය. කෙසේ වුව කවියාට නිමිත්ත පහළ වන්නේ ඒ සමයත් සමඟ ය.

ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ පුරවැසියාගේ අතට මුදල් ලබා දෙන ක්‍රමයක් ලෙස සලකාගෙන ය. එහෙත් සාමාන්‍ය ජනතාව කබලෙන් ළිපට වැටිණි. කඩ - සාප්පු පමණක් නොව; පදික වේදිකාව පුරා ද අරුමෝසම් පිටරට භාණ්ඩ පිරී - ඉතිරී ගියේ ය. සුපිරි ධනපතියන් අතට සල්ලි වැසි වැස්සේ ය. සුළු ව්‍යාපාරිකයා මධ්‍යම පන්තික ව්‍යාපාරිකයා හා රාජ්‍ය නිෂ්පාදන ආයතන හාන්සි විය. වේයන්ගොඩ පෙහෙකම්හල ද ඒ අයුරින් වැසී ගියේ ය.

1984 වන විට සමූපකාර සිල්ලර කඩ 7690 ක් වැසී ගියේ ය. සේවකයෝ 15,000 ක් අතරමං වූහ. එදා ආණ්ඩුව කියා සිටියේ රාජ්‍ය අංශය අකාර්යක්ෂම බව ය. රාජ්‍ය අංශයට වෙළෙඳාම බැරි බව ය. පාඩු ලබන ආයතන වසා දැමීමට හෝ පෞද්ගලික අංශයට විකිණීමට හෝ තීන්දු කැරිණි. වේයන්ගොඩ පෙහෙකම්හල ඇතුළු තවත් කර්මාන්ත ගණනාවක් එම ඉරණමට ගොදුරු විය. සේවක මණ්ඩලවලට වන්දි ගෙවීම අවුල් සහගත විය. නැවත රැකියා ලබාදීමත් සිදු නො විණි.

“සළුපිළිත්
පිටරටින්
ආනයන කළ නිසා
රෙදි මෝල
මියැදුණා”

කවියා ඉතා සැකෙවින් හඟවන්නේ එම කතාවයි. චන්ද්‍රිකා පාලන සමය ආරම්භ වන්නේ විවෘත ආර්ථිකයන්ට මානුෂීය මුහුණුවරක් ලබාදීමේ පොරොන්දුව පිට ය. එහි එක් වැදගත් කොන්දේසියක් වූයේ රාජ්‍යායතන අලෙවි නොකිරීම ය. එහෙත් වැඩිකල් නොයාම ප්‍රතිපත්ති වෙනස් විය. පෙරටත් වඩා හොඳින් ආයතන අලෙවි කැරිණි. පෙරටත් වඩා හොඳින් ආර්ථිකය බිඳ වැටිණි. රාජ්‍ය බැංකුවලින් ණය ලබගත් කූට ව්‍යාපාරිකයෝ ඒ මුදලින් ආයතන මිලට ගත්හ. ඔවුහු බැංකු ණය ‍නො ගෙවූ අතර කම්හල් බිමට සමතලා කොට ඒවායෙහි යන්ත්‍ර - සූත්‍ර හා යකඩත් විකුණන්නට පටන් ගත්හ. අන්තිෙම් මහජන‍ දේපොළ බැංකුවට පවරාගෙන ඒවාට ආරක්ෂාව සපයන්නට ද සිදු විය.

මේ අතර ප්‍රාදේශීය දේශපාලකයෝ කම්හල්වල වස්තුව කොල්ලකන්නට වූහ. වේයන්ගොඩ රෙදි මෝල ආශ්‍රිතව මිනීමැරුමක් ද සිදු විය. ඒ යකඩ ගොඩවල් බෙදාගන්නට ගිය ආරවුලක දී ය.

“බොයිලේරු හා මැෂින්
යකඩ ගණනට හනික විකුණන්න
බලවතුන්
ඇන කොටාගෙන මැරුණු
රෙදිමෝල
දැන් එතන ඇත්තෙ නෑ”

දේශපාලකයෝ බොරුකාරයෝ ය. ඔවුන් දෙන පොරොන්දු කිසිකලෙක ඉටු වන්නේ නැත. ගිය ආණ්ඩුවේ තවත් කෙරුමෙක් වේයන්ගොඩට පැමිණ අලුත් අදහසක් ඉදිරිපත් කළේ ය.

“ඒ හිලව්වට
අලුත් කම්හලක්, රෝහලක් දෙන්නෙමැ'යි
කී මුසා බස් අසා
සිටි නිසා සැම දෙනා
රෙදි මෝල දැන් එතන
ඇත්තෙ නෑ
තිබෙන්නේ
හමුදාවෙ
වෙඩි බෙහෙත් ගබඩාව”

අලුත් කම්හලක්, අලුත් රැකියා, ඒ හැරෙන්නට පළාතට අලුත් රෝහලක් ද ඇති කරන බව ඔහු කියා සිටියේ ය. ඔහුට ඕනෑ තරම් බලය තිබිණි; ඕනෑතරම් ධනය තිබිණි. එහෙත් කිසිවක් ඉටු වූයේ නැත. අද ඔහු රටෙත් නැත. කවියාට අනුව ජනතාව යනු දේශපාලකයන්ගේ මුසා බස් අසන මෝඩයෝ පිරිසකි. රැවටිල්ල දිගින් - දිගටම සිදු වී ඇත. එක අතෙකින් බලන විට මෙය කම්හලක කතාවකට වඩා මිනිසුන් පිළිබඳ කතාවකි. “සිමොන් ආමිටේජ්” නම් කවියාගේ “zoom” නම් කවිය සිහියට නැ‍ඟේ. එහි එන නගරය සැලැසුමකට අනුව සංවර්ධනය වෙයි. ඊට අලුත් පුවත්පතක් හා පාපන්දු කණ්ඩායමක් පවා අයත් ය. එහෙත් මේ කිසිවක් පැරණි නගරවාසියාට අයත් නො වේ. (........ before we know it. It is out of our hands; City nation) සංවර්ධනය හා ජනතාව අතර ඇති අලුත් සම්බන්ධය එසේ විය හැකි ය.

මෙහි එන මානුෂික කතාන්දරයට කථකයා කෙළින් ම සම්බන්ධ ය. ඔහු මෝල ගැන උනන්දු වූ මිනිසෙකි. රෙදි මෝලේ සශ්‍රීකත්වය තරුණ කාලයේ දී ඔහු විසින් විඳිනු ලැබේ. ඔහු මැදිවියට එන කල එහි පරිහානිය විඳ ගනී. ඔහු වයස්ගත වන කල දේශපාලකයන්ගේ බොරු පොරොන්දු දෙස උපේක්ෂාවෙන් බලයි. අවසන් ලෙස අපට මුණ ගැසෙන්නේ පරිණත මිනිසෙකි. ඔහු විමසන්නේ ජනතාව මේවාට එරෙහි නොවන්නේ මන් ද? යන්න ය. හැමදා ම මුළාවට පත්වන ජනතාව ගැන කම්පාවක් ද කවියා තුළ තිබේ.

කවියේ අපූරු යෙදුම “රෙදි මෝල අද එතැන ඇත්තෙ නෑ” යන්න ය. කවියා රිද්මය වෙනස් කරමින් එය ම නැවත යොදයි. රෙදි මෝල එතැන නැතත් ඒ වෙනුවට වෙනත් දෙයක් ඇත. ඒ වෙඩි බෙහෙත් ගබඩාව ය. එය වහා ගිනි ඇවිලෙන සුලු ය. කවදා හෝ පුපුරා යන්නටත් පුළුවන.

රන්ජන් අමරරත්න
සිළුමිණ

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

5 comments :

  1. මහත්තයෝ බල්ලෙක්වත් එන්නේ නෑ නේද ප්‍රතිචාර දක්වන්න. ඒ නිසා තමයි මම ඊයේ කුනුහරපෙන්ම බැනලා ගීයේ. එක ඇහැකින් බලාගෙන තමන්ගේම මතය හරි කියන්න කරුණු කියන තමුසෙලාගේ මේ වගේ පඩංගු බලන්න බල්ලෙක්වත් එන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ එක බල්ලෙක් ඇවිත් :)
      අනික මේක බල්ලොන්ට නෙවෙයි අපි වගේ මනුස්සයොන්ට කියවන්න තියෙන එකක්...

      ඔයා බුරන්නේ නැතිව යන්න.
      අපි හෙමින් මේවා කියවගන්නම්...

      Delete
    2. බල්ලො නම් එන්නෙ නෑ තමා,වැදගත් මිනිස්සු ඇවිත් කියවල බලල යනව.තමුසෙල වගේ බල්ලො ආපුවහම තමා ගද ඉවසන්න බැරි,මොකද අපු තැන කාල රීල කැත කරල ගද ගස්සල යන්නේ.හැබැයි පටල ගන්න එපා,තමුසෙල වගේ බල්ලො බිරුවට කදු පාත් වෙන්නේ නෑ.තමුසෙලට බල්ලො කියන්නත් බෑ ඒක බල්ලන්ටත් හරි මදි,ලොල්ලො කියල තමා කියන්න වෙන්නෙ.

      Delete
    3. හයියු පොඩ්ඩයිනේ ඇවිස්සිලා තියෙන්නේ. තව ටිකක් කියන්නකෝ අයියේ. ඔය තියෙන්නේ ඔයාලගේ නියම ගතිය පෙන්නලා. හා ඔහොම යන් ඔහොම යන් මම මාසයක් බලනවා අඩුගානේ මම වගේ බල්ලෙක්වත් මේ පඩන්ගුවට එයිද කියලා.

      බල්ලා

      Delete
    4. තැන්පත් "බල්ලා" මහතානෙනි. ඔබලා වන් බලු මහතුන් මේ රට වෙඩි වශයෙන් සිටින නිසාමයි මෙම රට මේ අයුරින් හිගන තත්වයකට පත් වී තිබෙන්නෙ. ඔබලා වන් බලු මහත්වරුන්ටත් ජීවත් වීමට මෙම රට ආරක්ශා කර දීමට අප සූදානමින් සිටිමු. පෙර රජ කල පටන් ඔබලා වන් හිගන බලු මහතුන් සිටියද ඔවුන් පරදා රට රැක ගන්නට පෙරට ආ සිංහයන් සිටි බව මතක තබා ගනු. සිංහයන් බලු මසට ලොල් නැත.

      --සිංහයා

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com