මාධ්‍ය ආයතන යම් දේශපාලනයක නිරත වෙයි.
මාධ්‍යවේදියෝ ද දේශපාලනයක නිරත වෙති. එහි වරදක් නැත. බටහිර උගතුන් කුමක්
කීවත් එක් ක්ෂෙත්රයක් අනෙක් ක්ෂෙත්රයකින් සම්පූර්ණයෙන් වෙන්කළ හැකි නො
වේ. මාධ්‍යවේදීහු බොහෝ විට විවිධ ආයතන දේශපාලනීකරණයට ලක් වැ ඇතැයි අපට
කියති. එහෙත් ඔවුන් නොකියන කරුණ නම් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ද
දේශපාලනයට ලක්කෙරී ඇති බව ය.
රාජ්‍ය ආයතන පමණක්
නොව පෞද්ගලික ජනමාධ්‍ය ආයතන ද අවසාන වශයෙන් ගත්කල දේශපාලනීකරණයට ලක්කෙරී
ඇත. ජනමාධ්‍යවේදය හා දේශපාලනය තරම් එකිනෙකට සමීප ක්ෂෙත්ර දෙකක් තවත්
නැතැයි කිවහැකි ය.
ඊනියා සමබරතාව ව්‍යාජයක් පමණකි. ඒ ඒ
මාධ්‍ය ආයතනයට හිමි දර්ශනයක් වෙයි. ඒ යම්කිසි චින්තනයක් මත පදනම් වෙයි.
මාධ්‍ය ආයතන ප්රවෘත්ති ද ඇතුළු වැඩසටහන් ප්‍රචාරණය කරන්නේ යම් සංස්කෘතියක
ය. ඊනියා අපක්ෂපාත මාධ්‍ය ආයතන හෝ මාධ්‍යවේදීන් හෝ ලෝකයේ නැත. කාලය වෙබ්
අඩවිය ද පක්ෂපාති ය. අපි අපට තේරුම් යන ආකාරයට, අප අරුත් ගන්වන ආකාරයකට
සිංහල බෞද්ධ චින්තනයක පදනම් වෙමු. එමෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතියකට
සාපේක්ෂ වෙමු.
ඕනෑම මාධ්‍යජාලයක් පළකරන්නේ ඔවුන්ට
අනුව තෝරාගත් කරුණු ය. ප්‍රව්ෘත්ති ද එසේ ම ය. අද තොරතුරු සුනාමියකින් අපි
වැසී සිටිමු. මාධ්‍ය ආයතන එයින් තමන්ට අවශ්‍ය කිහිපයක් පමණක් ප්‍රචාරය
කරයි. සෑම කල්හි ම සෑම ආයතනයක ම පූවත් වාරණ ඇත. පුවත් තෝරාගැනීමෙහි දී යම්
වාරණයක් සිදුවෙයි. යම් සිද්ධියක් වාර්තා කිරීමට යන ජනමාධ්‍යවේදියා
තෝරාගන්නේ තමාගේව ඇසට ලක්වෙන කරුණ ය. එය ඔහුගේ මාධ්‍ය සංස්කෘතිය මත පදනම්
වෙයි. අප රැස්වීම්වල දී මාධ්‍ය සාකච්ඡාවල දී කියන බොහෝ දේ ජනමාධ්‍යවේදියා සටහන් කර නො ගනියි. කැමරාවෙහි සටහන් වුව ද ඔහු අවසන් වශයෙන් තෝරාගන්නේ ඔහුට අවශ්‍ය දේ ය.
ඉන්පසු ප්රවෘත්ති කතෘගේ වාරණය වෙයි.
ප්රවෘත්ති සම්බන්ධයෙන් පමණක් නොව විශේෂාංග සම්බන්ධයෙන් ද තත්වය එසේ ම ය.
ප්රවෘත්ති කතෘන්, විශේෂාංග කතෘන් ඇත්තේ යම්කිසි ආකාරයක වාරණයක් සඳහා ය.
එහි දී මාධ්‍ය ආයතනයේ ප්‍රතිපත්තිය මෙන් ම මාධ්‍යවේදියාගේ පෞද්ගලික රුචි
අරුචිකම් ද බලපායි. මාධ්‍යවේදීන් බොහෝ විට කියන කරුණක් නම් තමන්
ප්‍රසිද්ධිය දෙන්නේ ඊනියා අළෙවිකළ (මාකට් කළ) හැකි ප්‍රවෘත්තිවලට හා
විශේෂාංගවලට බව ය. එහි බාග ඇත්තක් ඇත. තමන්ගේ හා ආයතනයේ රුචි අරුචිකම් එහි
දී වඩාත් බලපායි. අද මාධ්‍ය ලෝකයේ හා ඊනියා විද්වත් ලෝකයේ භාවිතාවන වචනයක්
යොදා ගන්නේ නම් ඊනියා පාඨක, ප්‍රේක්ෂක රුචිය දැනගැනීම සඳහා කරන ලද ඊනියා
විද්‍යත්මක සමීක්ෂණ නැත. විද්‍යාත්මක සම්ක්ෂණ තබා සමීක්ෂණවත් නැත. සමස්ත
ජනගහණයක් කිසි දිනෙක නියැදි ගහණයකින් විනිශ්චය කළ නො හැකි ය. ජනමාධ්‍යයේ වඩාත් වැදගත් වන්නේ ආයතනයේ චින්තනය හා සංස්කෘතිය ය. දෙවනුව ජනමාධ්‍යවේදියාගේ චින්තනය හා සංස්කෘතිය ය.
සිරස ආයතනයට හිමි චින්තනයක් හා
සංස්කෘතියක් වෙයි. එහි මාධ්‍යවේදීන් සියළු දෙනා ම ඒ චින්තනයෙහි හා
සංස්කෘතියෙහි යැයි අපි නො කියමු. එහෙත් මාධ්‍යවේදීන්ට පැවැත්ම සඳහා යම්
ප්‍රමාණයකට වුවත් ආයතනයේ සංස්කෘතියට හා චින්තනයට යටවීමට සිදුවෙයි. සිරස
පොදුවේ ගත්කල මෙරට ජාතිකත්වයට විරුද්ධ ය. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි
චින්තනයක හා සංස්කෘතියක වෙයි. පඬියකුට සිංහල බෞද්ධ චින්තනය හා සංස්කෘතිය
කුමක් දැයි ප්‍රශ්නයක් වනු ඇත. මේ පඬියෝ බටහිර ග්‍රීක යුදෙවු
ක්‍රිස්තියානි චින්තනයෙහි හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි දැනුම
කටගාගත්තෝ වෙති. ඒ බොහෝ දෙනා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කී විට උරණ
වෙති.
පසුගිය මානුෂික මෙයෙහුම්වල දී සිරස
අනුගමනය කළ ප්‍රතිපත්තිය අපි දනිමු. සිංහලත්වයට විරුද්ධ සිරස වැඩසටහන්
ප්‍රචාරය කරන්නේ සිංහලත්වය අකා මකා දැමීමට ය. මම සිරස වැඩසටහන්වලට සහභාගි
නො වෙමි. ඔවුන් ඉඳහිට මට ඒ සඳහා ආරාධනය කළ ද මම ඒ ප්රතික්ෂෙප කරමි.
මහාරාජාලාගේ පමණක් නොව විජේවර්ධනලාගේ ජනමාධ්‍ය ආයතනවලින් ද මම වෙන් ව ජීවත්වෙමි. සිංහල විරෝධී ඊනියා විකල්ප ජනමාධ්‍ය ගැන කතාකිරීමට අවශ්‍ය නැත.
සිරස මාධ්‍යවේදීන් පිරිසක් අද (2015
මාර්තු 24) දෙරණ ආයතනයට පැමිණ තම බලය ප්‍රදර්ශනය කර ඇත. දෙරණින් සිරසට යම්
අසාධාරණයක් වුවත් නැතත් එසේ වෙනත් ආයතනයකට කඩා වැදීම වුවත් නීතිය අතට
ගැනීමක් මිස අනෙකක් නො වේ. ඊනියා මාධ්‍ය නිදහස ගැන මගේ අබමල් රේණුවක
විශ්වාසයක් නැත. ඒ කෙසේ වෙතත් මාධ්‍ය
නිදහස යනු අනෙක් මාධ්‍ය ආයතනවලට කඩා වැදීම නො වේ. මම දෙරණ වෙනුවෙන් පෙනී
නො සිටිමි. ඔවුහු මගේ අදහස්වලට නිසි ප්‍රචාරය ලබා නො දෙති. එහෙත් සිරස
මාධ්‍යවේදීන් දෙරණට කඩා වැදීම හෙළා දැකීමට මට එය බාධාවක් නො වේ.
නලින් ද සිල්වා
කාලය
කාලය
2015 මාර්තු 24