3/11/2015

නව ඖෂධ පනතේ මෝරුන් රිංගන හිල්

කතෘ:යුතුකම     3/11/2015   No comments

වෘතීය සමිති නායකයෙකු ලෙස සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තියට පක්‍ෂව ප‍්‍රබල හඬක් නැගූ පුද්ගලයෙකු අද සෞඛ්‍ය ඇමතිවරයා බවට පත්වී ඇත. එය ඉතා සතුටුදායක තත්වයකි. එහෙත් එතුමා අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගන්නේ ඒ වන විටත් ඉදිරිපත්ව තිබූ පනත් කෙටුම්පතටම බව වාර්තාවේ. එදා 2005 වසරේ දී ජාතික ඖෂධ ප‍්‍රත්පත්තිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී ඒ තුළින් සේනක බිබිලේ ප‍්‍රතිපත්ති පිළිබිඹු නොවන බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල විය. නමුත් එම ප‍්‍රතිපත්තිය පිළිබඳව පලදායී හා විවෘත සංවාදයක් ඇති කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකළේය. එපමණක් නොව විරෝධතා නොසලකා එම ප‍්‍රතිපත්තිය මත පදනම්ව පනතක් ඉදිරිපත් කිරීමට 2007 වසරේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනුණි.

ඉන් පසුව එම ප‍්‍රතිපත්ති සංශෝධනය කෙරුන බව කියවුණත් එම සංශෝධිත ප‍්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලයට, පාර්ලිමේන්තුවට හෝ මහජනයාට ඉදිරිපත් කෙරුනේ නැත. එය ජනාධිපතිවරයාට පමණක් ඉදිරිපත් කෙරුනු බව වාර්තා විය. ඒ අතර ඉතා රහසිගතව කිසිදු විද්වත් සංවාදයක් හෝ මහජන සහභාගීත්වයෙන් තොරව සකස්වූ පනත් කෙටුම්පත 2014 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි. ඒ අතරතුර කාලයේදී එම කෙටුම්පත නීති සම්පාදක දෙපාර්තමේන්තුවේ දී අතුරුදහන් වී නැවත සොයාගත් බවට ද චෝදනා එල්ල විය. කිසිම අවස්ථාවක එම කෙටුම්පතේ සිංහල පිටපතක් අමාත්‍ය මණ්ඩලයට හෝ මහජනයාට ඉදිරිපත් නොවීය. එම පනත් කෙටුම්පත බිබිලේ ප‍්‍රතිපත්ති මත පදනම් නොවන බවට සහ ඊට ඖෂධ සමාගම් අත් දෙකම ඔසවා සහාය පලකරනු ඇති බවට චෝදනා එල්ල විය. ඒ අනුව ඊට ප‍්‍රතිචාර ලෙස විද්වත් කමිටුවකින් නැවත නිර්දේශ ලබා ගන්නා බවට වාර්තා පල විය. නමුත් එම සංශෝධන මොනවාද යන්න මහජනයා නොදන්නා අතර ඒවා නීති කෙටුම්පත් අංශවලට හෝ නැවත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්වූ බවක් වාර්තා වී නැත. ඒ අනුව පාර්ලිමේන්තුවේ දී යම් සංශෝධන ඉදිරිපත් කිරීමේ අරමුණින් ඒ වන විට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව තිබූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව පිළිගත හැක. ගරු රාජිත සේනාරත්න මහතා සද්භාවයෙන් යම් සංශෝධන ගෙන එන බවට සැකයක් නැතත් එම පනත් කෙටුම්පතේ පවතින ප‍්‍රධාන ප‍්‍රතිපත්තිමය දුර්වලතා එවැනි සුළු සංශෝධනවලින් නිවැරැුදි කළ හැකි යයි කල්පනා කිරීම මුලාවකි. එම නිසා දින 100 අවසන් වීමට පෙර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අරමුණ සහිතව අදාල සංශෝධන පිළිබඳව හදිසි සමාජ කථිකාවක් ඇතිකිරීම රාජිත සේනාරත්න අමාත්‍යතුමාගේ යුතුකමකි. නමුත් පනත සකස් කිරීමට මුල්වූ ඉහළ නිලධාරීන් අතලොස්ස සහ ඔවුන් පිටුපස සිටියා යයි කියනු ලබන ඖෂධ සමාගම්වල නියෝජිතයින් ඊට ඉඩ ලබාදෙනු ඇත්ද යන්න පැහැදිලි නැත. එම නිසා පනත පිළිබඳ නව වටයකින් මහජන සංවාදයක් ඇතිකිරීම ජනමාධ්‍යවල යුතුකමකි.

සේනක බිබිලේ ප‍්‍රතිපත්තිවලට අනුව පනත තුළ වැඩි අවධානයක් යොමු විය යුත්තේ ඖෂධවල ගුණාත්මක භාවය තහවුරු කිරීමට අදාළ ප‍්‍රතිපාදනවලටය. එහිදී ලියාපදිංචිය ලබා දීමේ දී සැලකිල්ලට ගන්නා කරුණු සහ පටිපාටිය මෙන්ම භාවිතා වන ඖෂධයක ගුණාත්මක භාවය බිඳ වැටුණු අවස්ථාවල ගනු ලබන ක‍්‍රියා මාර්ග ඉතා වැදගත්වේ. එම නිසාම ඖෂධ සමාගම් සෑම විටම උත්සාහ කරන්නේ එම නීතිමය ප‍්‍රතිපාදන දුර්වල තත්වයක තබා ගැනීමටය. පැරණි පනත යටතේ ඖෂධ දස දහස් ගණනක් ලියාපදිංචි කිරීමට සමාගම්වලට හැකි වන්නේ සහ ගුණාත්මක තත්වයන් බිඳ වැටීම් බහුලව සිදුවෙද්දී ලියාපදිංචිය ආරක්‍ෂාකර ගැනීමට හැකිවන්නේත් එම දුර්වලතා නිසාය. එම දුර්වලතා නිසා අද වෛද්‍ය සැපයුම් අංශවලට සිදුව ඇත්තේ කසල ගොඩකට අත දමා ඉදිකටුවක් සොයන්නාසේ විශාල ඖෂධ ලයිස්තුවකින් තත්වයෙන් ඉහළ ඖෂධ සොයා ගැනීමටය. එම තත්වය වැලැක්වීම සඳහා ඖෂධ ලියාපදිංචි කිරීමේ දී ලියාපදිංචිය ලබා දිය යුතු උපරිම කාල සීමාව, අන්තර් කාලීන ලියාපදිංචිය අනිවාර්ය කිරීම, ගුණාත්මක තත්වය බිඳවැටීම්වල ඉතිහාසය දැඩි ලෙස සැලකිල්ලට ගැනීම, තත්වය බිඳ වැටීම් අසාදු ලේඛනගත කිරීම සහ එම තොරතුරු මහජනතාවට දැනගැනීමට සැලැස්්වීම ආදී ප‍්‍රතිපාදන පනතට ඇතුළත් කළ යුතුය. නමුත් පවතින පනතේ එම ප‍්‍රතිපාදන පැහැදිලිව ඇතුළ්කොට නැත. ඒවා රෙගුලාසි මගින් පනවන බවට තර්ක කළ හැකි වුවත් එවැනි වැදගත් දේ පනත මගින්ම නියම කළ යුතුවේ. එයට හේතුව පසු කලෙක රෙගුලාසි හදන අවස්ථාවල අදාළ පාර්ශව එම සිදුරුවලින් රිංගා යාමට ඉඩ ඇති බැවිනි.

පනතේ 37 වන වගන්තිය මගින් ගුණාත්මක තත්වය බිඳ වැටීමක් සිදු වූ විට අදාළ ඖෂධ පිළිබඳව එම අවස්ථාවේ ගත යුතු පියවර සඳහන් වී ඇත. නමුත් එම බිඳවැටීම් අසාදු ලේඛන ගත කිරීමට හෝ ඒ මගින් ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලියට සිදුවිය යුතු බලපෑම ට අදාළ ප‍්‍රතිපාදන සලසා නැත. යම් ඖෂධයක් භාවිතයෙන් ඉවත් කළ විට ඒ පිළිබඳව මහජනයා දැනුම්වත් කළ යුතු වූවත් බිඳවැටීම්වල ඉතිහාසය හෝ සමස්ථ අසාදු ලේඛනය පවත්වා ගැනීම හෝ එය ජනතාවට දැක බලා ගත හැකි ආකාරය පිළිබඳව පනතේ ප‍්‍රතිපාදන සලසා නැත. පනතේ 51 වන වගන්තියෙන් ෙඖෂධයක ලියාපදිංචිය අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට ප‍්‍රතිපාදන සපයා ඇතත් එහිදී ගුණාත්මක තත්වය බිඳවැටීම් සැලකිල්ලට ගත යුතු ආකාරය සඳහන් වන්නේ නැත. එවැනි විශාල සිදුරු දෙස ඖෂධ සමාගම් ඉතා සතුටින් බලා සිටින බවට සැකයක් නැත. එම ගැටලූව විසඳීම සඳහා ඖෂධයක තත්වය බිඳවැටුණු විට ගත යුතු පියවර සහ එම තොරතුරු මහජනතාවට දැනගැනීමට සැලැස්වීම, ඊට අදාළ පැමිණිලි ලබා ගැනීම සහ එම බිඳවැටීම්වල ඉතිහාසය ලියාපදිංචියේදී සැලකිල්ලට ගත යුතු ආකාරයට අදාලව සුවිශේෂී ප‍්‍රධාන වගන්තියක් පනතට ඇතුළත් කළ යුතුය. ඊට අමතරව නව පනත ක‍්‍රියාත්්මක වීමේදී පැරණි පනත යටතේ ලියාපදිංචිවූ ඖෂධ නව නිර්නායක යටතේ නැවත ලියාපදිංචි කළ යතු බවටද ප‍්‍රතිපාදනයක් ඇතුළත් කළ යුතුය. එසේ නොවන්නේ නම් පැරණි කසල ගොඩ නව පනත යටතේත් ඇවිස්සීමට සිදුවනු ඇත.

සේනක බිබිලේ ප‍්‍රතිපත්ති අනුව ඖෂධයක ගුණාත්මක තත්වයකට ලබා දෙන වැදගත්කමට සමාන වැදගත්කමක් සබුද්ධික භාවිතයට ද ලබාදිය යුතුය. ඊට වෛද්‍යවරුන් සබුද්ධික ලෙස නිර්දේශ කිරීම, සබුද්ධික මිල දී ගැනීම සහ සබුද්ධික පරිභෝජනය යන සියල්ල අයත් වේ. නමුත් ‘‘සබුද්ධික භාවිතය’’ යන වචන දෙක ඖෂධ සමාගම් විසින් ‘‘නයාට අඳුකොළ’’ මෙන් බැහැර කරන සංකල්පයකි.  එයට හේතුව ඖෂධ ව්‍යාපාරයේ් වර්ධනය සඳහා ‘‘සබුද්ධික භාවිතය’’ භාවිතයෙන් ඉවත් කිරීම මූලික කොන්දේසියක් බවට පත්වීමය. එසේ වුවත් නව ඖෂධ පනත මගින් ඊට අදාළ ශක්තිමත් ප‍්‍රතිපාදන සලසා නැත. පනතේ 38 වන වගන්තිය මගින් ඖෂධයක් නිර්දේශ කිරීමේ දී වෛද්‍යවරුන් ඖෂධ නාමය, වෙළෙඳ නාමය යන නාම දෙකම සඳහන් කළ යුතු බව පමණක් දක්වා ඇත. නමුත් එම වගන්තිය මගින් වෛද්‍යවරුන්ට නිශ්චිත ම`ගපෙන්වීමක් ලබාදීම අවශ්‍යවේ. ඒ අනුව ඖෂධ නාමය පළමුවෙන්ද දෙවනුව වරහන් තුළ වෙළෙඳ නාමය අවශ්‍ය නම් පමණක් නිර්දේශ කළ හැකි බවට සෘජු ප‍්‍රතිපාදනයක් පැනවිය යුතුය. ඊට අමතරව ලෝකයේ දියුණු රටවල මෙන් රෝගියා සතු තමා ලබාගන්නා ඖෂධයේ තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරමින් ඖෂධ නාම සහ වෙළෙඳ නාම ඉංග‍්‍රීසි කැපිටල් අකුරින් ලිවීම හෝ කොම්පියුටරය මගින් මුද්‍රණය කිරීම අනිවාර්ය කළ යුතුය.

එසේම රෝගියා ඖෂධ නාමයෙන්ම ඖෂධ ඉල්ලා සිටි විට වෙළෙඳ නාම මිළදී ගැනීම සඳහා බලපෑම් කිරීම, ඖෂධ නාමයෙන් ඖෂධ නොමැති බව ව්‍යාජ ලෙස පැවසීම ආදීය පනත යටතේ වරදක් බවට පත් කළ යුතුය. එසේ නොමැති නම් වෛද්‍යවරයාගේ අපේක්‍ෂාව ඖෂධ අලෙවිකරු විසින් නිශේධනය කිරීමට ඉඩ සැළසෙනු ඇත. සබුද්ධික ඖෂධ භාවිතය  ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීම සඳහා වෛද්‍යවරුන්ට සහ
රෝගීන්ට ඊට අදාළ අධ්‍යාපනය අඛණ්ඩව ලබා දිය යුතුයි. නමුත් නව පනත මගින් එම වැදගත් වගකීම ඖෂධ අධිකාරියට පැවරෙන වගන්තියක් ඇතුළ් කොට නොමැත. එය පැහැදිලිවම බිබිලේ ප‍්‍රතිපත්ති පාවා දීමකි. ෙඖෂධ සමාගම්වල සහ ඖෂධ සිල්ලර වෙළෙදුන්ගේ ආක‍්‍රමණශීලී වාණිජ ක‍්‍රියාකාරකම්වලට එරෙහි ප‍්‍රතිමෙහෙයුම් ශක්තිමත් කළ හැක්කේ එම වගකීමට විශාල බරක් තැබීමෙන් පමණි.
සේනක බිබිලේ මහාචාර්යවරයා රෝගීන් වෙත සාධාරණ මිලකට ඖෂධ ලබා දීම කෙරෙහි විශාල ප‍්‍රතිපත්තිමය අවධානයක් යොමු කළ බව රහසක් නොවේ. අනාගතයේ පැන නැ`ගිය හැකි වෙළෙඳපළ යතාර්ථයන් ඔහු දැන සිටියත් ඒවා නොසලකමින් ඖෂධ තොග වෙළඳාම රජයේ ඒකාධිකාරයක් බවට පත් කළ යුතු බවට ඔහු බලපෑම් කරන්නේ එම නිසාය. ඒ අනුව නව පනත මගින් ඖෂධ මිල නියම කිරීමේ වගකීම පාරිභෝගික අධිකාරියට පවරා ඇග බේරා ගැනීම ඉතා කණගාටුදායක තත්වයකි. එම තත්වය නිවැරැුදි කිරීම සඳහා පනත යටතේ මිල උපදේශන කමිටුවක් පත් කිරීමට සහ එහි ක‍්‍රියාකාරීත්වයට අදාළ ක‍්‍රියා පටිපාටි දක්වමින් ප‍්‍රතිපාදනයක් ඇතුළත් කළ යුතුය. ඒ මගින් තෝරා ගත් බහුලව භාවිතා වන ඖෂධ ලයිස්තුවක මිල දර්ශනය ප‍්‍රදර්ශනය කිරීම අනිවාර්ය කළ යුතු අතර ඖෂධ ලියාපදිංචි කිරීමේ දී මිල සාධකය ද සැලකිල්ලට ගත යුතු බවට ප‍්‍රතිපාදන පැනවිය යුතුය.

කෙසේ වෙතත් අවසාන වශයෙන් ඖෂධ සඳහා රජයට මෙන්ම මහජනයා ට දරන්නට සිදුවන පිරිවැය පාලනය වන්නේ ලියාපදිංචියට සහ ආනයනයට මෙන්ම මිල නියම කිරීමට ද අවශ්‍ය පූර්ව කොන්දේසියක් සපුරා ගැනීමෙනි. එනම් ශී‍්‍ර ලංකා ජාතික ඖෂධ සංග‍්‍රහය සහ අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුව සකස් කිරීමේ සහ යාවත්කාලීන කිරීමේ වගකීම ඖෂධ අධිකාරියට පැවරීමෙනි. නමුත් ඒ පිළිබඳව පනතේ වචනයක්වත් සඳහන් නොවන්නේ අහම්බයකින් යයි සිතිය හැකිද? මෙම පනත ඖෂධ සමාගම් විසින් අත් දෙකම ඔසවා අනුමත කරන බවට චෝදනා එල්ල වන්නේ මෙවැනි මහා පරිමාන සිදුරු නිසා නොවේද? නව ඖෂධ පනතට සේනක බිබිලේ ලේබලය ඇලවීමට බලධාරීන් උත්සාහ කළත් තවත් වැදගත්ම ප‍්‍රතිපත්තියක් ද ඒ තුළ නොසලකා හැර ඇත. ඒ දේශීයව ඖෂධ නිපදවීම දිරිමත් කිරීම සඳහා වන රජය මැදිහත් වීමය. මෙම පනතේ මූලික කාර්යභාරය නියාමනය වූවත් ඊට උපදේශනයද ඇතුළ් විය යුතුයි.  එම නිසා දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා උපදේශන ප‍්‍රතිපාදන පනතට ඇතුළත් කිරීම ඉතා වැදගත්වේ. ඒ සඳහා  යහපත් කර්මාන්ත පුරුදු, පොදු තත්වපාලන යාන්ත‍්‍රණ හඳුන්වාදීම සහ තත්ව බිඳවැටීම් කළමණාකරනය ආදියට අදාළ කර්මාන්ත කරුවන්ට උපදේශනය ලබාදීම සඳහා නව පනත යටතේ කාර්යාංශයක් ස්ථාපිත කළ යුතුය. ඊට අවශ්‍ය සම්පත්  තුන්වන පාර්ශවයකින් කුලී පදනම මගින් ලබාගැනීම සහ එම පිරිවැයෙන් කොටසක් අදාල ප‍්‍රතිලාභීන්ගෙන් ලබා ගැනීම සඳහා පනතින් ප‍්‍රතිපාදන සැලසිය යුතුය.

ඖෂධ සමාගම් පැත්තෙන් ගත්විට ඔවුනට අවශ්‍ය වන්නේ නව පනත සම්මත වුවත් එහි තිබෙන සාධනීය ප‍්‍රතිපාදන පවා නොසළකා පරණ පනත යටතේ පවතින තත්වයන් පවත්වාගෙන යාමය. ඒ සඳහා නව පනත් සාධනීය ප‍්‍රතිපාදන ප‍්‍රායෝගිව ක‍්‍රියාත්මක කළ නොහැකි තත්වයක් ඇති කළ යුතුවේ. එම අරමුණු ඉටු කර ගත හැකි ආකාරයේ තාක්‍ෂණික දුර්වලතා රාශියක් දැනුවත්ව හෝ නොදැනුවත්ව පනතට ඇතුළත්ව ඇත. උදාහරණයක් ලෙස පනත යටතේ වරදක් සඳහා නීතිමය ක‍්‍රියාමාර්ග ආරම්භ කිරීම සඳහා මාස 3ක කාල සීමාවක් පනවා ඇති අතර එම කාලය රසායනාගාර පරීක්‍ෂණ ලැබී මාසයක කාලයක් ලෙස තවදුරටත් සීමාකොට ඇත. ඒ අනුව අප රටේ පවතින පරිපාලන සංස්කෘතිය සහ ක‍්‍රමවේද තුළ කිසිදු වැරැුද්දකට විරුද්ධව නඩු පැවරීම යනු සිහිනයක් පමණක් වනු ඇත. ඒ අනුව වරද කරුවන්ට රිංගා යාමට ඉඩ සලසන එම වගන්තිය සංශෝධනය කොට එම කාල පරාසයන් පිළිවෙළින් වසරක් සහ මාස 3ක් ලෙස සංශෝධනය විය යුතුයි. ඊට අමතරව වෙනත් කිසිදු පනතක නොමැති ආකාරයට කරුණු 28 ක් සඳහා වෙන් වෙන්ව රෙගුලාසි පැනවීම අනිවාර්ය කරන ප‍්‍රතිපාදනයක් පනතට ඇතුළත්කර ඇත. නමුත් රෙගුලාසි පැනවීම අවශ්‍යවන වගන්ති ආශ‍්‍රිතවද ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන සලසා ඇත. සාමාන්‍ය ක‍්‍රමය වන්නේද එයයි. එසේම රෙගුලාසි සෑදීමේ අවශ්‍යතාවය අවම වන ආකාරයට පනත මගින්ම ප‍්‍රතිපාදන සැලසීම හා කාර්ය පටිපාටි සඳහා රෙගුලාසි පැනවීම වෙනුවට අධිකාරිය මගින්ම රීති සෑදීම සඳහා පනතින් ප‍්‍රතිපාදන සැලසිය හැකිය. එය වැදගත් වන්නේ  පනතේ මූලික දේශපාලන උවමනාව නොසලකා පසුකාලීනව දුර්වල රෙගුලාසි පැනවීම අවම කිරීම සඳහාය. සිගරට් පැකට්ටුවේ සෞඛ්‍ය අවවාද මුද්‍රණය කිරීමට අදාළ රෙගුලාසිවලට විරුද්ධව සමාගම්වලට උසාවි මගින් නියෝග ලබා ගැනීමට ඉඩ සැලසෙන්නේ එම ආකාරයට පනතේ තිබූ දුර්වලතා නිසාය.

ඒ ආකාරයට විශේෂිතව රෙගුලාසි රාශියක් පැනවීමට ප‍්‍රතිපාදන සැලසීම තුළ පනත ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීම අපහසුවේ. පවතින පුද්ගලික වෛද්‍ය ආයතන නියාමන පනත ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේද සියල්ල සඳහා රෙගුලාසි පැනවීමට සිදුවී තිබීම නිසාය. එම වගන්තිය මගින් කරුණු 28කට අදාළව සුවිශේෂී  ලෙස නිශ්චිතව කරුණු දක්වා රෙගුලාසි පැනවීමට නියම කරන බැවින් තවත් ප‍්‍රධාන ගැටලූ දෙකක් පැන න`ගියි. පළමුවැන්න යම් වරදකට එරෙහිව යම් සමාගමක් නීතිය ඉදිරියට ගෙන ගිය විටෙක රෙගුලාසිවල බල පරාසය දක්වා ඊට අදාළව රෙගුලාසි පනවා නොමැති බව තහවුරු කොට නීතියෙන් ගැලවීමට ඉඩ ලැබීමය. දෙවැන්න පැරණි පනත යටතේ පවතින රෙගුලාසි මුල් කාලයේදී අදාළ කර ගැනීමේ ගැටලූ මතුවීමය. ඊට අමතරව රෙගුලාසියක් මාස 3ක කෙටි කාලයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සීමා පැනවීම මගින් තවත් ගැටලූවක් ඇති කොට ඇත. ඒ අනුව එම කාලය වසරක් දක්වා දීර්ඝ කළ යුතු අතර සුවිශේෂී බල පරාස සඳහා රෙගුලාසි පැනවීම සඳහා වන වගන්තිය ඉවත් කළ යුතුය. ඒ වෙනුවට අදාළ ප‍්‍රමිතීන් සහ පටිපාටි ආවරණය වන ලෙස පොදු ප‍්‍රමිති සංග‍්‍රහයක් සහ රීති අධිකාරිය මගින් ගැසට් කළ හැක.

ඊට අමතරව විවිධ ක‍්‍රමවේද හරහා ව්‍යාජ ලෙස වෙළෙඳ නාම යටතේ නීත්‍යානුකූල නොවන ආකාරයට රට තුළට හොර රහසේ ඖෂධ ගෙන ඒම අද පවතින ප‍්‍රධාන ගැටලූවකි. එය ඉතා ලාභදායී ව්‍යාපරයක් බව වෙළෙඳපළ තොරතුරු දන්නා අය ඉතා හොඳින් දනිති. නමුත් එම වරද සඳහා සුවිශේෂී දඬුවම් පමුණුවන වගන්තියක් පනතට ඇතුළ්වී නැත. එය නිවැරැුදි කිරීම සඳහා එම වරදට අඩුතරමින් රුපියල් මිලියනයක දඩයක් සහ වසර 5ක සිර දඬුවම් පමුණුවන ප‍්‍රතිපාදනයක් පනතට ඇතුළත් කළ යුතුය. ඖෂධ මාෆියාව එය වැලැක්වීම සඳහා බරපතල මැදිහත්වීමක් සිදුකරන බවට සැකයක් නැතත් රාජිත සේනාරත්න ගරු ඇමතිතුමා ඊට යට නොවන බවටද සැකයක් නැත.

ඊට අමතරව පනතේ තවත් මූලික ප‍්‍රතිපත්තිමය වැරදි කිහිපයක් නිවැරැුදි කිරීමද ඉතා වැදගත් වේ. පළමුවැන්න රේගු කාර්යය භාරය සහ ඖෂධ අධිකාරියේ් කාර්යය භාරය පටලවා ගැනීම නිවරැුදි කිරීමය. ඒ අනුව වැරදිකරුවන්ට පනවන දඩ මුදල්වලින් ප‍්‍රතිශතයක් වැටලීම් කරන නිලධාරීන්ට ගෙවීමේ ප‍්‍රතිපාදනය ඉවත් කළ යුතුය. ඒ මගින් විශේෂයෙන්ම සිල්ලර ඖෂධ වෙළෙඳුන් පීඩාවට පත්වීම සහ වෙළෙඳපළට අනවශ්‍ය ලෙස පීඩාකාරී බලපෑම් සිදු කිරීමට ද ඉඩ සැලසේ. එම නිලධාරීන්ට අවශ්‍ය සම්පත් සහ වෙනත් දිරිගැන්වීම් ලබාදීමේ වරදක් නැත. දෙවන වරද අධිකාරියේ අරමුදලට විවිධ ආයතනවලින් තෑගි ලෙස තිළිණ ප‍්‍රධානයන් ලබාගැනීමට ඉඩ සැලසීමය. එසේ ඉඩ සලසනවා නම් ඖෂධ සමාගම් හා ඔවුන් සමග ව්‍යාපාරික සහයෝගිතා ගිවිසුම්වලට එළඹි සංවිධාන හෝ ආයතන, විශේෂයෙන්ම ඖෂධවල සායනික අත්හදා බැලීම සඳහා ඉදිරිපත් වන රාජ්‍ය නොවන සංවිධාන සඳහා ඊට ඉඩ ලබා නොදිය යුතුය. තුන්වනුව ඖෂධයක් ලියාපදිංචිය සඳහා ඉල්ලූම් කිරීමෙන් පසුව එම ක‍්‍රියාවලිය අතරමැදදී ඉල්ලූම් පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට ඉඩදීමද බරපතල වරදකි. ඒ මගින් ඖෂධයක තත්ව පරීක්‍ෂාවට අදාළ බිඳවැටීමක් තිබෙන බව ආයතන අභ්‍යන්තරයෙන් දැන ගැනීම මගින් ඉල්ලූම්පත‍්‍රය ඉවත්කර ගැනීමට ඉඩ සැලසේ. ඒ මගින් සමාගම්වලට තම ඖෂධ ලියාපදිංචියට පෙර අසාදු ලේඛන ගත වීම වලක්වා ගැනීමට ඉඩ සැලසේ.

ඊට අමතරව ඖෂධ වෙළෙඳපළ තුළ සිදුවන ප‍්‍රබල ආචාර ධර්ම විරෝධී ප‍්‍රචාරණ ක‍්‍රමවේදයක් වැලැක්වීම සඳහා ප‍්‍රතිපාදන සැලසීම  රාජිත සේනාරත්න ගරු අමාත්‍යවරයා මුහුණ දෙන ප‍්‍රබල අභියෝගයක් වනු ඇත. එනම් ඖෂධ සමාගම්වල අළෙවි සහකරුවන් වෛද්‍යවරුන් පසුපස හඹා යමින් වක‍්‍ර අල්ලස් දීම හරහා ඖෂධ ප‍්‍රචාරනය කිරීම වැලැක්වීමය. නිමල් සිරිපාලද සිල්වා හිටපු අමාත්‍යවරයා පනතේ ප‍්‍රතිපාදනයක් නොමැතිව එම තත්වය වැලැක්වීම සඳහා උත්සාහයක් ගත්තද එය ව්‍යර්ථ විය. ඒ අනුව රාජිත සේනාරත්න මැතිතුමාගේ අභියෝගය වන්නේ වෛද්‍යවරුන් සහ රෝගීන් හමුවන කිසිදු ස්ථානයක එසේ ඖෂධ ප‍්‍රචාරණය කිරීම පනත යටතේ වරදක් බවට පත් කිරීමය. ඊට හිලව්වක් ලෙස නව ඖෂධ පිළිබඳව තොරතුරු වෛද්‍යවරුන්ට ලබාදීම සඳහා වෙනත් ක‍්‍රමවේද හදුන්වාදීමේ වගකීම ඖෂධ අධිකාරියට පැවරිය හැක. නමුත් එය සබුද්ධික ඖෂධ භාවිතයට අදාළ අධ්‍යාපනික වගකීමක් මිස සමාගම්වල ප‍්‍රචාරණ කටයුත්තක් නොවිය යුතුය. ඖෂධ අධිකාරියේ අනුමැතියට යටත්ව සමාගම විසින් පොදුවේ කරනු ලබන විද්වත් දැනුවත් කිරීම්වලට වෛද්‍යවරු සහභාගී වීමේ වරදක් නැත.

මෙම බරපතල වැරදි නිවැරැුදි කිරීමෙන් තොරව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මගින් පියා හරියට ම නොදන්නා දරුවෙකුට නීත්‍යානුකූල පීතෘත්වය ලබාදීමේ වගකීම පමණක් රාජිත සේනාරත්න ගරු අමාත්‍යතුමාට බාර ගැනීමට සිදුවනු ඇත. එසේම මහමෙරක් සේ විළිලා මී පැටවෙකු වැඳීමට වින්නඹුකම් කිරීම පිළිබඳව සමස්ත වෛද්‍ය පරපුරම මහජනයාගේ අප‍්‍රසාදයට පත්වනු ඇත. එසේ වුවහොත් සේනක බිබිලේ නම් වූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාගේ නම විකුණමින් රෝගීන් පමණක් නොව සමස්ථ සෞඛ්‍ය සේවාවම අත් අඩංගුවේ තබා ගැනීමට මහා ඖෂධ සමාගම්වලට ඉඩ සැළසෙනු ඇත. ඒ සියල්ලට අමතරව ජාතික ඖෂධ අධිකාරිය නමින් ඉදිවන දැවැන්ත ආයතනයකට පත්වන නිලධාරීන් අතලොස්සකගේ නඩත්තු වියදම් වැඩිවීමේ බරද මහජනයා පිට පැවරෙනු ඇත.

-වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්,
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය


www.yuthukama.com
යුතුකම සංවාද කවය

බුකියේ වෙනස යුතුකමට මනාපයක් (Like) දමා මිතුරන්ට ඇරයුම් කරන්න.
 https://www.facebook.com/yuthuma

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions