පුතේ උඹ නැතත් මෙහේ අද
පොඩි කාලෙ දිව ඇවිත්
නොවේලූණු සිමෙන්තියෙ තියු අඩිය
තාමත් එහෙමමයි
ටයිල් කරනට නංගි
ගෙනා බඩු ඇත තාම
ඒත් මං කිව්වේම
ඒ අඩිය ඉතිරි කර
බිම ටයිල් කරගන්ඩ
පුතේ උඹෙ ඒ අඩිය
නංගිගේ පොඩි එකා පාගලා
ආච්චියෙ මාමගේ
කකුල දැං මටත් ඇති කියනවා
කකුල කපලා
ඉස්පිරිතාලෙ ඉඳං
කිහිලිකරුවෙන් උඹ ආව දා
බලාගෙන හිටියා උඹ
ඒ අඩි සලකුණ දිහෑ...
මහ රෑ හීනෙන්
අම්මේ යැයි කියන
උඹේ කටහඬ ඇහෙන
සමහර දවස්වල
දුවගෙන ගිහිල්ලා
දොරකඩ බලන විට
උඹේ පොඩි අඩි ලකුණ
දෙදරා ගිය සිමෙන්ති කැලලූත් දරාගෙන
දෙපයින්ම ඉන්නවා
උළුවස්ස ගාව බිම...
නඳුන් යසිත දසනායක - බිම් ගෙයට සඳ ඇවිත් කාව්‍ය සංග‍්‍රහයෙනි.
අප දකින විඳින සියලූ ලෝක ධාතූන් වෙනස්වන සුලූය. මොහොතක් මොහොතක් පාසා ඕනෑම දෙයක පෙනෙන හෝ නොපෙනෙන වෙනස්කම් ඇති වීම පොදු ලෝක ධර්මතාවයකි. මේ ධර්මතාව මෙසේ වුවද මිනිසුන්ගේ කෙටි ජීවිත කාලය තුළ පමණක් නොව ඉන් ඔබ්බට යන ලොකු කාල පරාසයන් තුළ පවා පැහැදිලි පෙනෙන වෙනස්වීම් නොපෙන්වා හිඳින දෑ අපට කොතෙකුත් මුණ ගැසෙයි. මීට සියවස් ගණනාවකට පෙර නම නොදන්නා ශිල්පියෙකු අතින් ඉදිවූ අවුකන ප‍්‍රතිමාව තවමත් එලෙසින්ම පාහේ දැකගත හැකිය. ඇතැම් වෘක්ෂයෝ පවා මිනිසුන්ගේ ජීවිත කාලයට වඩා බොහෝ කල් ජීවත් වෙති. පැහැදිලි වෙනස්කකම් නොපෙන්වා දිගු කල් පවතින එවන් වූ ජීව අජීව වස්තු කොතෙකුත් තිබුණද මිනිසුන් එසේ නොවේ. මනුෂ්‍යයෝ ඉතා කෙටි කාලයක් තුළ භෞතික වශයෙන් පමණක් නොව මානසික වශයෙන්ද වෙනස් වෙති. මේ නිසාම එසේ වෙනස් වූ අපගේ ප‍්‍රියයන්ගේ අතීත මතක පිළිබඳ සුඛ දුක්ඛ වේදනා පුබුදුවාලීමට ඔවුන් හා බැදුණු නොයෙකුත් භෞතික වස්තූන් සමත් වෙති. සෝවියට් ලේඛක කොන්ස්තන්තයින් පවුස්තවුස්කි සඳහන් කර ඇති අන්දමට ගහ කොල, ගල් පර්වත, ලී දඩු, තාප්ප කෑලි, ආදී භෞතික වස්තූන්ටද පුද්ගල භාවයක් ආරෝපණය කරමින් ඒවා දෙස හැඟීබරව බැලීමට පෙර කී ආත්මීය කාරණයද ඉවහල් වනු ඇතැයි සිතමි. මිනිස් බැඳීම් සමඟ ඈදී ඇති ගහකොල, මංමාවත්, ගොඩනැගිලි, නගර හා වෙනත් පුංචි පුංචි භෞතික වස්තූන් යනු කලාවේදී නිර්මාණකරුවන්ට සුලබව නිමිති සපයා දී ඇති ක්ෂේත‍්‍රයක් බව කිව මනා නොවේ.
නඳුන් යසිත දසනායක නම් මගේ මිතුරු කවියාගේ දෙවන කාව්‍ය සංග‍්‍රහයේ එන ”අඩි සලකුණ” නම්වූ ඉහත කවියද මිනිසුන් වෙනස් වන ලෝකයේ කාලයක් නොවෙනස්ව පවත්නා භෞතික සිහිවටන කෙරේ අප තුළ වන ලබැදියාව චිත‍්‍රනය කරයි. තම කුඩා පුතු පැටිවියේදී නොවේලූනු සිමෙන්ති පොළවක තැබූ අඩි සලකුණක් වියපත් මවකගේ භාව ලෝකය අවදි කළ ආකාරය මේ කවිය තුළ දැක්වෙයි. ඒ අඩි සලකුණ තවමත් එලෙසින් පැවතියද අද තම පුතුත් දියණියත් ලොකු මහත් වී, ඔවුන්ගේ ජීවිත කාලයේ වෙනස්කම්වලට හසුවී තිබේ. අද ඒ පැරණි සිමෙන්ති පොළව ටයිල්වලින් වසන්නට උස් මහත් වී මුදල් උපයා ගත් දරුවන්ට හැකි වුවද මවගේ කැමැත්ත වනුයේ තම පුතුගේ පැටිවියේ අඩි සලකුණ ටයිල්වල අලංකාරයෙන් වැසී නොයනු දැකීමය.
මේ කවිය තුළ එන ඊළඟ උද්වේගකර සිදුවීම වනුයේ එදා ඒ අඩි සලකුණ තැබූ පුතුගේ පාදයක් අද වන විට කපා ඉවත් කරන්නට සිදුව තිබීමය. ඒ විපතට හේතුව කුමක්දැයි කියන්නට කවියා ඉදිරිපත් නොවුනද පාදය අහිමි වූ පුත‍්‍රයා නිතර ගෙදර නොරැදෙන්නකු බවද කවියේ නොයෙක් පදවලින් හැඟවෙයි. නිවස ටයිල් කරන්නට මුදල් ලැබෙන, දුර බැහැර රැකියාවකට මේ පුත‍්‍රයා ගොස් සිටිනවා විය හැකිය. ලංකාවේ මෑත කාලීන සමාජ දේශපාලන පසුබිම තුළ තබා විමසා බලන විට මේ දුර බැහැර රැකියාව බොහෝවිට යුධ සේවය වැන්නක් වීමට ඉඩ තිබේ. උතුරේ යුද්ධය මෙවන් පුතුන් දහස් ගණනකට අත් පා අහිමි කළේය. සෘජුව සඳහන් කර නොතිබුණද කවිය බිහිවූ සමාජ පසුතලය ගැන අවබෝධයකින් එය කියවන්නකුට පුතුගේ ඉරණම පිළිබඳ එවන් ද්විතීක අර්ථයක් මතු කර ගැනීමට බාධාවක් නැත. එසේ වුවද මේ කවියම වෙනත් බසකට පෙරලා මේ කවියට නිමිති වූ සමාජ පසුතලය ගැන අවබෝධයකින් තොරව මෙය කියවන වෙනත් රටක වැසියෙකුට එකී ද්වීතීක අර්ථය මතු කර ගත හැකි නොවේ. විශ්ව සාධාරණ කවියක් ගැන සුලබව මත පළ වුවද අදාල සමාජ පසුතලය නොතකා විශ්ව සාධාරණත්වය සෙවීම කවිය වැනි මාධ්‍යයකදී සංගීතයට හෝ සිතුවමට වඩා අසීරුය. මේ කවියේ එන මව් සෙනහසට වාර්ගික, ජාතික සීමා අදාල විය නොහැකි වුවද ඒ කවිය සමස්ථයක් ලෙස අපට හොඳින්ම විඳගත හැක්කේ අපගේ පොළව හා කාලීනත්වය මත දෙපා පිහිටුවා ගැනීමෙනි. විශ්ව සාධාරණත්වය හා සර්වකාලීනත්වය මෙන්ම කාලීනත්වය හා අනන්‍ය සාධාරණ ධර්මතාද කවිය කෙරේ වැදගත් බලපෑම් කරන බව වටහා ගැනීමටත්, ඒ දෙපාර්ශවය අතර තිබිය යුතු සමතුලිතභාවයේ වැදගත්කම ගැනත් මේ කවිය අපට අංශුමාත‍්‍ර ඉඟියක් සපයා දෙයි.
නඳුන් යසිත දසනායක මේ වනවිට ”බිම් ගෙයට සඳ ඇවිත් ” සහ ”සියුම් අත්තටු නාද” යන කාව්‍ය සංග‍්‍රහයන් දෙකක් පළකළ කොට තිබේ. බොහෝ විට මිනිස් ජීවිතයේ හැල හැප්පීම් අරභයා භාවාත්මක නිරීක්ෂණයක යෙදෙන ඔහු ඒ හැල හැප්පීම් පසුපස එන දේශපාලනය ගැන සෘජු අදහස් හෝ නිගමන දෙන්නට ඉදිරිපත් නොවෙයි. එය ඔහුගේ පොදු මාවත වුවද කවියෙකුට හිමි අන්තර්ඥානය ඔස්සේ ඔහු දකින දේ තුළ ගැඹුරු සාකච්ඡුාවට ගත හැකි දේ ඇතුළත්ව ඇත්තේ අපූර්ව ලෙසය. මේ කවිය ඒ කාරණය වටහා ගැනීම සඳහා ඉවහල් වන එක් උදාහරණයකි.
ඉසුරු ප‍්‍රසංග
ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රකාශයට පත්වන කැඩපත පුවත්පතේ පළවූ ලිපියකි.
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .