6/03/2015

යස

කතෘ:යුතුකම     6/03/2015   No comments
දිවි ඇතිද මහ බර ඔටුන්නෙහි
හිත නොවේ වැඳ වැටෙන දෙදණෙහි
තෙත නැතේ බලෙන් සිඹි දෙතොළෙහි
හිත මැරේ යළි යළිත් අඳුරෙහි

හිරු මකනු නොහැකිය අහසෙහි
යට නොයෙක් බහුරූ ඇවිදිති
ගිනි අසුන ඔහුට දී නොකැමැති
මම ගිලෙමි සිනහවේ කළුවෙහි

ආරියවංශ රණවීර - රළ සමග කාව්‍ය සංග‍්‍රහයෙනි.
ප‍්‍රවීණ කිවියර ආරියවංශ රණවීරයන් අතින් උක්ත කවිය රචනා වී ඇත්තේ මහාවංශයේ එන යස චරිතය පාදක කොට ගනිමිනි. තමාගේ රුවට සමාන දොරටුපාලයෙකු සිහසුනේ හිදුවා, අන්‍යයන් ඔහු හමුවේ හැසිරෙන ආකාරය දෙස බලා සිනාසීමටත්, ඒ සිනහව නිසාම තම හිස අහිමි කර ගැනීමටත් පෙළඹුණු යසලාලක තිස්ස රජගේ චරිතය කවරාකාරයේ එකක් විය හැකිද? ඔහු උපන්ගෙයි විහිළුකාරයෙකු, විකාරකාරයෙකු, හෝ මානසික රෝගියකු ලෙස නිගමන දීම පහසු නැතත් රණවීර කවියා සිදුකර ඇත්තේ මේ අසාමාන්‍ය චරිතයට බැහැර කළ නොහැකි අර්ථමය ජීවයක් සැපයීමය. ඒ අර්ථකථනය තුළ මට නම් ඇසෙන්නේ මිනිස් පැවැත්ම පිළිබද අධිකාර විරෝධී ප‍්‍රශ්න මතු කරන සාංද්‍රෂ්ටිකවාදී මනුෂ්‍ය කටහඬකි.

රටක මිනිසකුට ලද හැකි ඉහලම බලය වන රජකම යසට හිමිවී ඇතත්, ඔහුට රජ කිරුළ මහත් බරකි. ඒ තුළ ජීවිතය තිබේ දැයි ඔහු ප‍්‍රශ්න කරයි. කෘතිමව අත් විදින ඇතොවුර ස්ත‍්‍රීන්ගේ පහස, යටත් වැසියන්ගේ ව්‍යාජ වන්දනා මාන, නිල චාරිත‍්‍ර වාරිත‍්‍ර ආදිය යසට අපුලය. ඒ තුළ ඇත්තේම පුද්ගලභාවය අභිභවා ගිය සංස්ථාමය පර්ෂදයන්ට එරෙහිව ලතෙත් මිනිසකු තුළ මතුවිය හැකි සානුකම්පිත විරෝධයකි. එහෙත් ඔහුට මේ සංස්ථාමය පර්ෂදය සුනු විසුනු කිරීමට හැකියාවක් නැත. එය අහසේ හිරු මෙන් නොවෙනස්ව ස්ථාපිතව තිබෙන්නකි. ඒ හිරු යට නිල බල නියාමයන්ට අනුව සිදුවන සියල්ල ඔහුට පෙනෙනුයේ බහුරූ කෝලම් ලෙසය. ඒ නිල බල ලෝකය තුළ නිදහස් සිනහවකට පවා ඉඩක් නැත. එහෙත් යස තම ගිනි අසුන හා කඨෝර නිල බල ලෝකයෙන් ඔබ්බෙහි ඇති මිනිස් පැවැත්මක් ගැන සිිහින මවයි. මේ සියල්ල අතහැර නිර්ව්‍යාජ මිනිස් පැවැත්මක් වෙත යළි පොළා පැනීමට ඇති ආශාවත්, එයින් රජකෙනකුගේ ජීවිතයට මතුවිය හැකි අනතුරු නොතැකීමේ සෙල්ලක්කාර ගතියත්, එයින්ම මතුවන ඛේදාන්තයේ ගැඹුරු ශෝකයත්, මේ කවියේ අවසාන වචන හතර තුළ හකුලා දක්වා ඇති ආකාරය විශ්මිතය. ”මම ගිලෙමි සිනහවේ කළුවෙහි” යන්න ඒ හාස්කමක් බදු වචන කීපයයි.

මේ සාංද්‍රෂ්ටික හඬ ලෝක සාහිත්‍යයේ හා දර්ශනයේ බලවත් ප‍්‍රවණතාවකි. සොරේන් කියකිගාඞ්, ෂන් පෝල් සාත‍්‍ර, ඇල්බෙයා කැමූ ආදීන් ඒ හඩ නැගූවන් අතර ප‍්‍රමුඛයන් ලෙස සැලකුවද ඉන් ඔබ්බට ගිය බොහෝ දෙස් විදෙස් සාහිත්‍ය කෘතීන් තුළ අපට සාංද්‍රෂ්ටිකවාදයේ මිනිස් හද ගැස්ම මුණගැසෙයි. මේ කවිය කියවූ සැනින් මගේ මතකයට ආ පුද්ගලයන් දෙදෙනෙක් සිංහල සාහිත්‍ය ලෝකයේ වෙසෙති. ඉන් එකෙක් නම් එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මළ ගිය ඇත්තෝ කෘතියේ එන දෙවොන්දරා සංය. දෙවොන්දරා සං සහ යසලාලක තිස්ස යනු එකිනෙකට බොහෝ වෙනස් චරිත දෙකක් වුවද ඒ චරිත ද්විත්වයේම ඇතුළාන්තයෙන් නැගෙනුයේ මිනිස් පැවැත්ම පිළිබද එකම මහා පොදු කාන්සියේ හඬකි.

මම දුප්පත් හිඟන කෙනෙක්
යන්තමින් දෙවේල යැපෙන
ඒ අය නම් පෝසත් අය
පළඳින හොඳ සිනිදු ඇඳුම්

යනාදී පදවලින් ඇරඹෙන මළගිය ඇත්තෝ කතාවේ තැනක එන ගැමි ගීය මේ හඩේ වඩා ප‍්‍රබල සංධිස්ථානයකැයි මට සිතේ.

මෙහිලා මගේ සිහියට නැගුනු ඊළග පුද්ගලයා වන්නේ ලී ලොං ජි නැමති චීන අධිරාජ්‍යයාය. ඔහු සැබවින්ම කි‍්‍රස්තු වර්ෂ හත්සිය ගනන්වලදී චීනය පාලනය කළ අධිරාජ්‍යයකු වුවද ලී ලොං ජී මට මුණ ගැසෙනුයේ සුනේත‍්‍රා රාජකරුණානායක විසින් රචිත සිංහල නවකතාවක් වූ ”සර්ව කාලත‍්‍ර පේ‍්‍රමය” තුළිනි. ලී ලොං ජි යනු චීනයේ ප‍්‍රථම ජාතික නාට්‍ය පාසැල පටන් ගත් තැනැත්තාය. ඇතොවුර ස්තී‍්‍රන් තුන්දහසක් පසෙක ලා එක බිසවක් කෙරේ පේ‍්‍රමයෙන් උමතු විය හැකි පුදුමාකාර පේ‍්‍රමාතුරයෙක් මේ අධිරාජ්‍යයා තුළ සිටියේය. කුමාර වියේ සිටම නැටුමට ගැයුමට හා සංගීත භාණ්ඩ වාදනයට හපනකු වූ ඔහුට හොද අධිරාජ්‍යයකු වීම ලේසි නොවීය. අධිරාජ්‍ය තනතුර වටා දැඩිව පැනවී ඇති සාටෝපවත් චාරිත‍්‍ර වාරිත‍්‍ර ඔහුට එකම හිසරදයකි. වරෙක ඔහු මහා පෙරහැරකින් තමා වෙත වඩම්මා ගෙන එන ආහාර බදුන් කෝපයෙන් පොළවේ ගසනුයේ ආහාර ගැනීම පවා රජෙකුට යුධ සංග‍්‍රාමයක් වී තිබීම ගැන ඇතිවූ අප‍්‍රසාදය නිසාය. මේ අන්දමට රජ සිරිත් පැහැර හරිමින් කලාවේ සංගීතයේ හා පේ‍්‍රම සුවයේ වෙලී දවස් ගෙවා දැමූ ලි ලොං ජි අධිරාජ්‍යයාට අවසානයේදී ඊට තම රාජ්‍යයෙන් පමණක් නොව ජීවිතයෙන්ද වන්දි ගෙවන්නට සිදුවෙයි. මේ අධිරාජ්‍යයාගේ චරිතය දෙවොන්දරා සංටත් වඩා පහසුවෙන් යසලාලක තිස්ස හා හරයාත්මකව සමපාත කොට ගත හැකිය.

ආරියවංශ රණවීර යනු අපට සිටින විශිෂ්ඨ කවියෙක් පමණක් නොවේ. ගැඹුරු කියවීම අනුන් බියපත් කරවන රකුස් මුහුණක් බවට පමුණුවා නොගත්, නිරාකූල බසක් හා අදීන චින්නත ශක්තියකින් යුත් හෘදයාංගම විචාරකයෙක්ද අපට රණවීර තුළ මුණගැසෙයි. අඩු වචන ප‍්‍රමාණයකින් බොහෝ දිගු පළල් අර්ථ සම්භාරයක් නිදහසේ විදාරණය වන්නට හැරීම රණවීරගේ කවියේ වෙසෙස් අනන්‍යතා ලකුණකි. ඒ අනන්‍යතාව මේ කවියේද එලෙසම සටහන්ව තිබේ. මෙහිදී කවියා රූපක හැසිරවීමේ තම හුරු පුරුදු භාවිතයෙන් තරමක් වෙනස් අතකට ගමන් කොට ඇතත්, ගිනි අසුන, සිනහවේ කළුව ආදී වචන මේ කවිය තුළද අති ප‍්‍රබල රූපකාර්ථ මතුකරයි. රණවීරගේ කවිය මිනිසුන්ගෙන් හා දේශපාලනයෙන් දුරස්ථ එකක්ය යන නිසරු චෝදනාවට යස නැමති ඉහත කවිය ලේසියෙන් දිරවා ගත හැකි පිළිතුරකි. රණවීරගේ කවියේ ඇති වියුක්ත දාර්ශනිකත්වයක් ගැන ඇතැම් විචාරකයන් සදහන් කළද, ”වියුක්ත දාර්ශණිකත්වය” යනු ”අං සහිත හාවා” වැනි ප‍්‍රායෝගික අර්ථයකින් තොර හුදු වාචික යෙදුමකි. තත්‍ය ලෝකයෙන් හෝ සැබෑ මිනිස් පැවැත්මෙන් වියෝවූ දාර්ශනිකත්වයක් තිබිය නොහැකිය. මිනිසුන් පිළිබද, පීඩිතයන් පිළිබද සෘජු ප‍්‍රකාශන පමණක් නොව ගහ කොළ මල් ආදී රූපක ඔස්සේද ගැඹුරු දේශපාලන සත්‍යයන්ට පණ දිය හැකිය.

කාලීනත්වය, ප‍්‍රහාරාත්මක ආවේග, සෘජු අමු ප‍්‍රකාශණ, ඇවිලෙන සටන් පාඨ ආදී දෑ පවා කවිය තුළ අතිශය කාව්‍යාත්මක ලෙස යොදා ගත හැකි බව ඇත්තක් වුවද කවියේ දේශපාලනය ඒ සීමාවන් තුළ පමණක් බල ගැන්වෙන්නක් නොවේ. හුදු අධිකාර විරෝධයෙන් මුසපත් වූ නොමේරූ මනසක බොහෝ විට උත්පාදනය විය නොහැකි දේශපාලන අර්ථ සමුදායක් මේ කවිය තුළ මැනවින් සාන්ද්‍ර වී තිබේ. පීඩනයට, පරාරෝපණයට ඇත්තේ හුදු ආර්ථිකමය, පන්තිමය අරුතක් පමණක් නොවන බව හැඟවීම ඒ අතරේ එන වැදගත් තුරුම්පුවක් බව අවසාන වශයෙන් සටහන් කිරීමට කැමැත්තෙමි.

-ඉසුරු ප‍්‍රසංග
යුතුකම සංවාද කවය
wwww.yuthukama.com

3/31/2015

අඩි සලකුණ

කතෘ:යුතුකම     3/31/2015   No comments

පුතේ උඹ නැතත් මෙහේ අද
පොඩි කාලෙ දිව ඇවිත්
නොවේලූණු සිමෙන්තියෙ තියු අඩිය
තාමත් එහෙමමයි

ටයිල් කරනට නංගි
ගෙනා බඩු ඇත තාම
ඒත් මං කිව්වේම
ඒ අඩිය ඉතිරි කර
බිම ටයිල් කරගන්ඩ

පුතේ උඹෙ ඒ අඩිය
නංගිගේ පොඩි එකා පාගලා
ආච්චියෙ මාමගේ
කකුල දැං මටත් ඇති කියනවා

කකුල කපලා
ඉස්පිරිතාලෙ ඉඳං
කිහිලිකරුවෙන් උඹ ආව දා
බලාගෙන හිටියා උඹ
ඒ අඩි සලකුණ දිහෑ...

මහ රෑ හීනෙන්
අම්මේ යැයි කියන
උඹේ කටහඬ ඇහෙන
සමහර දවස්වල
දුවගෙන ගිහිල්ලා
දොරකඩ බලන විට
උඹේ පොඩි අඩි ලකුණ
දෙදරා ගිය සිමෙන්ති කැලලූත් දරාගෙන
දෙපයින්ම ඉන්නවා
උළුවස්ස ගාව බිම...

නඳුන් යසිත දසනායක - බිම් ගෙයට සඳ ඇවිත් කාව්‍ය සංග‍්‍රහයෙනි.

  අප දකින විඳින සියලූ ලෝක ධාතූන් වෙනස්වන සුලූය. මොහොතක් මොහොතක් පාසා  ඕනෑම දෙයක පෙනෙන හෝ නොපෙනෙන වෙනස්කම් ඇති වීම පොදු ලෝක ධර්මතාවයකි. මේ ධර්මතාව මෙසේ වුවද මිනිසුන්ගේ කෙටි ජීවිත කාලය තුළ පමණක් නොව ඉන් ඔබ්බට යන ලොකු කාල පරාසයන් තුළ පවා පැහැදිලි පෙනෙන වෙනස්වීම් නොපෙන්වා හිඳින දෑ අපට කොතෙකුත් මුණ ගැසෙයි. මීට සියවස් ගණනාවකට පෙර නම නොදන්නා ශිල්පියෙකු අතින් ඉදිවූ අවුකන ප‍්‍රතිමාව තවමත් එලෙසින්ම පාහේ දැකගත හැකිය. ඇතැම් වෘක්ෂයෝ පවා මිනිසුන්ගේ ජීවිත කාලයට වඩා බොහෝ කල් ජීවත් වෙති. පැහැදිලි වෙනස්කකම් නොපෙන්වා දිගු කල් පවතින එවන් වූ ජීව අජීව වස්තු කොතෙකුත් තිබුණද මිනිසුන් එසේ නොවේ. මනුෂ්‍යයෝ ඉතා කෙටි කාලයක් තුළ භෞතික වශයෙන් පමණක් නොව මානසික වශයෙන්ද වෙනස් වෙති. මේ නිසාම එසේ වෙනස් වූ අපගේ ප‍්‍රියයන්ගේ අතීත මතක පිළිබඳ සුඛ දුක්ඛ වේදනා පුබුදුවාලීමට ඔවුන් හා බැදුණු නොයෙකුත් භෞතික වස්තූන් සමත් වෙති. සෝවියට් ලේඛක කොන්ස්තන්තයින් පවුස්තවුස්කි සඳහන් කර ඇති අන්දමට ගහ කොල, ගල් පර්වත, ලී දඩු, තාප්ප කෑලි, ආදී භෞතික වස්තූන්ටද පුද්ගල භාවයක් ආරෝපණය කරමින් ඒවා දෙස හැඟීබරව බැලීමට පෙර කී ආත්මීය කාරණයද ඉවහල් වනු ඇතැයි සිතමි. මිනිස් බැඳීම් සමඟ ඈදී ඇති ගහකොල, මංමාවත්, ගොඩනැගිලි, නගර හා වෙනත් පුංචි පුංචි භෞතික වස්තූන් යනු කලාවේදී නිර්මාණකරුවන්ට සුලබව නිමිති සපයා දී ඇති ක්ෂේත‍්‍රයක් බව කිව මනා නොවේ.

    නඳුන් යසිත දසනායක නම් මගේ මිතුරු කවියාගේ දෙවන කාව්‍ය සංග‍්‍රහයේ එන ”අඩි සලකුණ” නම්වූ ඉහත කවියද මිනිසුන් වෙනස් වන ලෝකයේ කාලයක් නොවෙනස්ව පවත්නා භෞතික සිහිවටන කෙරේ අප තුළ වන ලබැදියාව චිත‍්‍රනය කරයි. තම කුඩා පුතු පැටිවියේදී නොවේලූනු සිමෙන්ති පොළවක තැබූ අඩි සලකුණක් වියපත් මවකගේ භාව ලෝකය අවදි කළ ආකාරය මේ කවිය තුළ දැක්වෙයි. ඒ අඩි සලකුණ තවමත් එලෙසින් පැවතියද අද තම පුතුත් දියණියත් ලොකු මහත් වී, ඔවුන්ගේ ජීවිත කාලයේ වෙනස්කම්වලට හසුවී තිබේ. අද ඒ පැරණි සිමෙන්ති පොළව ටයිල්වලින් වසන්නට උස් මහත් වී මුදල් උපයා ගත් දරුවන්ට හැකි වුවද මවගේ කැමැත්ත වනුයේ තම පුතුගේ පැටිවියේ අඩි සලකුණ ටයිල්වල අලංකාරයෙන් වැසී නොයනු දැකීමය.

    මේ කවිය තුළ එන ඊළඟ උද්වේගකර සිදුවීම වනුයේ එදා ඒ අඩි සලකුණ තැබූ පුතුගේ පාදයක් අද වන විට කපා ඉවත් කරන්නට සිදුව තිබීමය. ඒ විපතට හේතුව කුමක්දැයි කියන්නට කවියා ඉදිරිපත් නොවුනද පාදය අහිමි වූ පුත‍්‍රයා නිතර ගෙදර නොරැදෙන්නකු බවද කවියේ නොයෙක් පදවලින් හැඟවෙයි. නිවස ටයිල් කරන්නට මුදල් ලැබෙන, දුර බැහැර රැකියාවකට මේ පුත‍්‍රයා ගොස් සිටිනවා විය හැකිය. ලංකාවේ මෑත කාලීන සමාජ දේශපාලන පසුබිම තුළ තබා විමසා බලන විට මේ දුර බැහැර  රැකියාව බොහෝවිට යුධ සේවය වැන්නක් වීමට ඉඩ තිබේ. උතුරේ යුද්ධය මෙවන් පුතුන් දහස් ගණනකට අත් පා අහිමි කළේය. සෘජුව සඳහන් කර නොතිබුණද කවිය බිහිවූ සමාජ පසුතලය ගැන අවබෝධයකින් එය කියවන්නකුට පුතුගේ ඉරණම පිළිබඳ එවන් ද්විතීක අර්ථයක් මතු කර ගැනීමට බාධාවක් නැත. එසේ වුවද මේ කවියම වෙනත් බසකට පෙරලා මේ කවියට නිමිති වූ සමාජ පසුතලය ගැන අවබෝධයකින් තොරව මෙය කියවන වෙනත් රටක වැසියෙකුට එකී ද්වීතීක අර්ථය මතු කර ගත හැකි නොවේ. විශ්ව සාධාරණ කවියක් ගැන සුලබව මත පළ වුවද අදාල සමාජ පසුතලය නොතකා විශ්ව සාධාරණත්වය සෙවීම කවිය වැනි මාධ්‍යයකදී සංගීතයට හෝ සිතුවමට වඩා අසීරුය. මේ කවියේ එන මව් සෙනහසට වාර්ගික, ජාතික සීමා අදාල විය නොහැකි වුවද ඒ කවිය සමස්ථයක් ලෙස අපට හොඳින්ම විඳගත හැක්කේ අපගේ පොළව හා කාලීනත්වය මත දෙපා පිහිටුවා ගැනීමෙනි. විශ්ව සාධාරණත්වය හා සර්වකාලීනත්වය මෙන්ම කාලීනත්වය හා අනන්‍ය සාධාරණ ධර්මතාද කවිය කෙරේ වැදගත් බලපෑම් කරන බව වටහා ගැනීමටත්, ඒ දෙපාර්ශවය අතර තිබිය යුතු සමතුලිතභාවයේ වැදගත්කම ගැනත් මේ කවිය අපට අංශුමාත‍්‍ර ඉඟියක් සපයා දෙයි.

 නඳුන් යසිත දසනායක  මේ වනවිට ”බිම් ගෙයට සඳ ඇවිත් ” සහ ”සියුම් අත්තටු නාද” යන කාව්‍ය සංග‍්‍රහයන් දෙකක් පළකළ කොට තිබේ. බොහෝ විට මිනිස් ජීවිතයේ හැල හැප්පීම් අරභයා භාවාත්මක නිරීක්ෂණයක යෙදෙන ඔහු ඒ හැල හැප්පීම් පසුපස එන දේශපාලනය ගැන සෘජු අදහස් හෝ නිගමන දෙන්නට ඉදිරිපත් නොවෙයි. එය ඔහුගේ පොදු මාවත වුවද කවියෙකුට හිමි අන්තර්ඥානය ඔස්සේ ඔහු දකින දේ තුළ ගැඹුරු සාකච්ඡුාවට ගත හැකි දේ ඇතුළත්ව ඇත්තේ අපූර්ව ලෙසය. මේ කවිය ඒ කාරණය වටහා ගැනීම සඳහා ඉවහල් වන එක් උදාහරණයකි.

ඉසුරු ප‍්‍රසංග
ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රකාශයට පත්වන කැඩපත පුවත්පතේ පළවූ ලිපියකි.

3/08/2015

ඇද වැටුණු කස්ත්‍රෝ.....

කතෘ:යුතුකම     3/08/2015   No comments
නිමිත්ත - වේදිකාවකින් බසින ෆිදෙල් කස්ත්‍රෝ පා පැකිලී බිම ඇද වැටෙයි.

වියරු දළ රළ කරින් ගෙන එන
කපටි මදනල තුඩින් බිඳලන
ඝෝර විසකුරු අවල කෙලියට
තුංග පවුරක්ව නැග හිඳ
දැන් ඉතින් වෙහෙසයිද

දුර ගමන් යනු රිසින්
පෙරට ආ ගමන් සගයින්
නැංගුරම්ලන විට
දුටු දුටු සිහින තොටුපල
සාංකාව වත් දැනුනාද

අරා ගුවනත ගිජු ලිහිණි
උලා කන විට සොඳුරු ඉර මල
ඉතිහාසයේ නූසුන් මතක
දැදුරු කර හද ලමැද්දේ සිර වුනිද

මාල බැඳගෙන බාල පරපුර
ලාබ කරදහි පැතුම් පොදි බැඳ
පාව යන විට ළඟම නොරටට
දෙපා අවසඟද
ගවු යොදුන් දුර ගෙව්ව

දඩ බල්ලන්ට මායිම් නැති ලොවක තනිව
දරා උර මත පරපුරක උරුම
වැතිර සිප ගත්තාද
සදා පෙම් බැඳි දෙරන

රෝහණ පොතුලියද්ද   (අහස හැඩිවී ඇත කාව්‍ය සංග‍්‍රහයෙනි)
 
මා වඩාත් කැමති කවිය කුමක්දැයි කිසිවකු ප‍්‍රශ්නයක් මතු කළහොත් ඊට නිශ්චිත පිළිතුරක් දීමට මට හැකියාවක් නැත. සිිත් ගත් කවි විශාල සංඛ්‍යාවක් අතරින් පළමුවැන්නෙකු තේරීම සඳහා නිර්ණායක සැකසීම මට කෙසේවත් කළ හැක්කක් නොවේ. එසේවුවද වඩාත් ඉක්මනින් මා කම්පනයට පත්කළ, වඩාත් ඉක්මනින් මගේ ඇතුලාන්තය වෙනස්කළ කවිය කුමක්දැයි යමකු ඇසුවහොත් මට ඊට පැහැදිලි පිළිතුරක් දිය හැකිය. රෝහණ පොතුලියද්දගේ ඉහත කවිය මුල්වරට පුවත්පතකින් කියවූ මොහොතේ මගේ මනසට පමණක් නොව සිරුරටද ඒ වෙනස දැනිනි. කොහෙන්දෝ ඇදී ආ විදුලි ධාරාවක් මගේ සියොලඟ හරහා යමින් මගේ ඇස් කඳුලින් තෙත් කරන්නට ඒ කවිය සමත් වූයේ පුදුමාකාර ලෙසය.
      
මෙය 2004 වසරේදී රචනා වූ කවියකි. එවකට කියුබානු ජනාධිපතිව සිටි ෆිදෙල් කැස්ත්‍රෝ වේදිකාවකින් බසින විට පා පැකිලී ඇද වැටීමේ සිදුවීමක් මේ කවියට නිමිති වෙයි. එසේ වුවද හුදු ඇද වැටීමෙන් ඔබ්බට පැතිරුණු ලෝක දේශපාලන සිදුවීම් සමුදායක ඡායාවන් මේ කුඩා කවිය ඉතා බුහුටි ලෙස ගැබ්වී ඇත්තේ කවියේ, සංක්ෂිප්ත ස්වභාවය පිළිබඳ තරමක් වෙනස් ආකාරයේ බලගතු උදාහරණයක්ද අප හමුවේ තබමිනි. 1959 දී සිදුවූ කියුබානු විප්ලවය, එදා ලෝකය පුරා නැගී ආ විප්ලව ප‍්‍රබෝධය, 1959 සිට රටේ බලය උසුලමින් වෙනස් මගක යාමට කස්ත්‍රෝ දරන උත්සාහය, ධනවාදී සමාජවාදී කඳවුරු අතර පැවති සීතල යුද්ධය, පසුකාලීනව සමාජවාදී කඳවුරේ සිදුවූ ඇද වැටීම, ඒ ඇද වැටීම් හමුවේ පවා නොවෙනස්ව හිඳීමට කස්ත්‍රෝ ගෙනයන අසීරු අරගලය, අමෙරිකාව ඇතුලූ ලෝක බලවතුන්ගෙන් කියුබාවට එල්ල වන තාඩන පීඩන.... ආදීවූ පැතිරුණු දේශපාලන සිදුවීම් සමුදායක් පසුබිම් කර ගනිමින් කස්ත්‍රෝගේ ඇදවැටීමේ සිදුවීමට කාව්‍යමය අර්ථකතන සැපයීමට කවියා මෙහිදී දක්වන සමත්කම අතිශයින් විශිෂ්ටය. ලමාවියේ සිටම සමාජවාදය ගැන සිහින දුටු අයකු ලෙස ඒ අර්ථකථන ඔස්සේ මා තුළ ඇතිවූ කම්පනය, ඊට වෙනස් දේශපාලන මතයක් ඇත්තකු තුළ එලෙසින්ම ඇති විය නොහැකි වුවද, මේ කවියේ කාව්‍යමය සූක්ෂමතා බැහැර කිරීමට හෝ ඒ හමුවේ සසල නොවී සිටීමට කිසිදු කාව්‍යලෝලියකුට ඔහුගේ දේශපාලන මතය බාධාකාරී විය හැකි නොවේ. තර්ක බුද්ධියෙන් කස්ත්‍රෝ බැහැර කරන්නකු තුළ පවා කස්ත්‍රෝ ගැන හෘද්‍යාංගම හැඟීමක් ඇති කරන්නට මේ කවිය සමත්ය.

   සර්ව සාධාරණ පරමාදර්ශී වීරයන් කිසිවකු ලෝකයේ සිටින්නට හැකියාවක් නැත. ඉම කොන නොදත් මේ අති මහත් ලෝකය තුළ  ඕනෑම වීරයකුගේ වීරත්වය තම තමාට හිමි සන්දර්භමය සීමා මායිම් රැසකින් වටවී පටුවී තිබෙන්නකි. මට මෙන්ම මේ කවිය ඔස්සේම මගේ සමීප මිතුරකු බවට පත්වූ රෝහණටද ළමා වියේ සිටම කස්ත්‍රෝ වීරයකු වුවද, කස්ත්‍රෝගේ වීරත්වයද එවැන්නක් යැයි කීම කස්ත්‍රෝට කරන නිගරුවක් නොවේ. ඒ නිසාම කස්ත්‍රෝගේ වීරත්වය ඉහලින් ඔප නැංවිය හැකි දේ මෙන්ම එය බලවත් ලෙස ප‍්‍රශ්ණ කළ හැකි දේද ඔහුගේ දේශපාලනය තුළින් අපට හමුවෙයි. මෙහිදී රෝහණ විසින් සිදුකර ඇත්තේ කස්ත්‍රෝගේ වීරත්වය ඔප නැංවිය හැකි කාරණා ඉතා කාව්‍යාත්මක ලෙස ගෙන හැර දැක්වීමය. එසේ වුවද මේ කවියේ විශේෂත්වය වන්නේ කස්ත්‍රෝ පේ‍්‍රමියෙකු අතින් සුලබව මතුවිය හැකි කස්ත්‍රෝගේ වීරත්වය ගැන බැතිමත් වර්ණනාවකින් නොනැවතී, ඒ වීරත්වයේ සීමා මායිම් හා අනියත අස්ථිර බවද තම කවිය තුළම අනායාසයෙන් හෝ මතුවන්නට කවියා ඉඩ හැර තිබීමය.
 
විසකුරු අවල කෙලියට එරෙහිව තුංග පවුරක්ව දිගු කල් නැගී සිටි මුත්, මේ වීරයාද වෙහෙස විඩාව දැනෙන මිනිසෙකි. ස්වකීය තුරුණු වියේදී ලෝකය එලිය කරමින් නැගී ආ සමාජවාදයේ රතු ඉර, අද ගිජුලිහිනියන්ගේ උලා කෑමට නතුව ඇති විට, ඒ යටගිය ඉතිහාසයේ ප්‍රෞඩ මතකයන් ස්වකීය දැදුරු වන හද ලමැද්දේ සිර වන වේදනා මේ ශ්‍රේෂ්ඨයාට වුවද උරුමය. දේශපාලනයෙන් මෙන්ම සැබෑ ජීවිතයෙන්ද තමා ජවසම්පන්න යෞවනයකුව සිටියදී තමන් හා දිගු ගමන් යන්නට අත්වැල් පටලා ගත් තෙද බලැති සගයින් දුටු දුටු සිහින තොටුපල හමුවේ ඇද වැටෙන විට කටුක සාංකාවකින් ඔහුගේ සිත ඉරි තැලී යයි. ලාබ සිල්ලර පැතුමන් ඔස්සේ ලඟම නොරටට ඇදී යන බාල පරම්පරාව දකින විට, ගව් යොදුන් දුර ගෙවූ වියපත් ජන නායකයාගේ සවි බලැති දෙපා වුව අවසඟ වන්නේ නිරායාසයෙනි. දඩ බල්ලන්ගේ ලෝක පාලන බලයට එරෙහිව ස්වකීය අරමුණු උර දරා තනිවම නැගී සිටි කෙරුම්කාරයෙකුට වුවද තම ජීවිතාවසානය හමුවේ දැකගන්නට ඉතිරිව ඇත්තේ ස්වකීය ධීර වීර අපේක්ෂාවන් සුන් වී ගිය වියවුල් ලෝකයකි. ඒ අරභයා ඇතිවන මහා ශෝකී සිතිවිලි සමුදාය ඔහුට සමනය කර ගත හැකි වන්නේ තමන් සදා පෙම් බැඳි දෙරණ වැතිර සිප ගැනීමෙන් මිසක ඒ දෙරණ මත තමන් අපේක්ෂා කළ පරමාදර්ශී රාජ්‍යය නැවත ගොඩ නැංවීමෙන් නොවේ. ප‍්‍රායෝගිකව ලඟා වීමට අසීරු උස් මුදුන් පිළිබඳ හිස් තැන් මිනිසා විසින් පුරවා ගනු ලබන්නේ භාවාත්මක කවි කල්පනා මගිනි. දෙරණ සිප ගැනීම යන යෙදුම මේ භාව ලෝකය මූර්තිමත් කරයි. මේ භාව ලෝකයේ පිළිසරණ සඳ දෙස බලා සතුටු වන කුඩා දරුවකුට පමණක් නොව කස්ත්‍රෝ වැනි තෙද බලැති වීරයකුටද එකසේ අදාල වීම මිනිස් ජීවිතයේ හා ලෝකයේ පොදු ස්වභාවයකි. කෙතරම් දැවැන්ත සුවිශේෂී විසල් මිනිසකුට වුවද පොදු මනුෂ්‍යත්වය කෙරේ බලපාන දුක්ඛ සත්‍යයන් සපුරා අභිබවා යාම කිසිසේත්ම කළ හැක්කක් නොවේ.
  
රෝහණගේ කවිය සුවිශේෂී එකක් වන්නේ කස්ත්‍රෝගේ වීරත්වය පමණක් නොව ඒ වීරත්වය ඔස්සේ ආන් බාන් කළ නොහැකි වූ විසල් ලෝකයේ සංකීර්ණත්වය මෙන්ම  ඕනෑම වීර ප‍්‍රතිරූපයක් පසුපස ඇති කුරා කුහුඹු කේවල මිනිසාට අදාල ලෝක ධර්මතාද අපූර්ව ලෙස තම කවිය තුළ නිරූපනය වන්නට ඔහු ඉඩ හැර තිබීම නිසාය.


ඔස්ට්‍රේලියාවේ ප්‍රකාශයට පත්වන කැඩපත පුවත්පතට සම්පාදිත ලිපියකි.


-ඉසුරු ප‍්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com


නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions