3/08/2015

ෆේස්බුක් - ප‍්‍රතිරූප ගොඩනැගීමේ හා බිඳහෙලීමේ නවතම මාධ්‍යක් ලෙස

කතෘ:යුතුකම     3/08/2015   No comments

විද්‍යාවේ හා තාක්ෂණයේ වර්ධනයත් සමග බිහිවන යන්ත‍්‍ර සූත‍්‍ර, අලූත් අලූත් මෙවලම් අංගෝපාංග ආදිය මිනිසුන්ගේ ඇවතුම් පැවතුම්වල විශාල වෙනස්කම් ඇති කිරීමට හේතුවෙයි. 1950 දශකයෙන් පසු සිදුවූ ක්ෂුද්‍ර තාක්ෂනයේ මහා පෙරළිය විසින් ලෝක පරිමාණව මානව සංහතියේ පැවැත්ම අලූතින් හැඩගස්වමින් තිබේ. නූතනත්වයට පසු බිහිවූ නව සමාජ තත්ත්වයක් පිළිබඳ මතුවූ යම් යම් කතිකාවන්ට එක් හේතුවක් වන්නේද මේ ක්ෂුද්‍ර තාක්ෂණය හරහා ලෝකය තුළ ඇතිවූ මහා විපර්යාසයයි.

 අලූත් උපකරණ හමුවේ මිනිස් ඇවතුම් පැවතුම් කෙතරම් වෙනස්කම්වලට ලක්විය හැකිද යන්න පිලිබඳ ශී‍්‍ර ලාංකිකයන්ට මෑතකදී හොඳින්ම තේරුම්ගත හැකිවූයේ ජංගම දුරකථනයේ ආගමනය හරහාය. 90 දශකයේ මුල් භාගයේ ඉතා විරල මිල අධික භාණ්ඩයක් ලෙස පැවති ජංගම දුරකතනය පොදු ජනයා අතර සුලභව භාවිත වන භාණ්ඩයක් ලෙස ව්‍යාප්ත වීම ආරම්භ වූයේ වර්ෂ දෙදාහෙන්ද තරමක් පසු කාලය තුළය. අනතුරුව වසර කීපයක් තුළ එය අතිශය සුලබ භාණ්ඩයක් බවට පත්වූ අතර එයින් මෙරට ජන ජීවිතයේ ඇතිවූ වෙනස්කම් ප‍්‍රමාණයද අති මහත්ය.

ජංගම දුරකථනයෙන් පසුව ඒ අන්දමේ සමාජ විපර්යාසයක් සිදුකල තාක්ෂණ මාදිලිය ලෙස ගත හැක්කේ මුහුණූ පොතය. එනම් ෆේස්බුක් සමාජ ජාලයය. ජංගම දුරකතනය යනු හුදු කඩිනම් පනිවිඩ හුවමාරු මාධ්‍යක් පමණක් වුවද ෆේස්බුක් යනු ඊට වඩා බොහෝ පුලූල් පරාසයකට අයත් දේවල් එකවර විශාල පිරිසක් අතර බෙදා හදා ගැනීමට ඉවහල් වන සංකීර්ණ මාධ්‍යයකි. මුලදී ෆේස්බුක් ව්‍යාප්ත වූයේ පරිඝනක භාවිත කරන්නන් අතර පමණක් වුවද පසුව ජංගම දුරකතනය හා ෆේස්බුක් ඒකාබද්ධ වීම නිසා මේ තත්ත්වය වඩාත් සංකීර්ණ අතට හැරිණි. අද  පුරුද්දක් වශයෙන් පරිඝනක භාවිතා නොකරන විශාල පිරිසක්ද ජංගම දුරකතන හරහා ෆේස්බුක් පරිශීලනය කරති. මේ නිසා ලංකාව තුළ ෆේස්බුක් භාවිතය අද වන විට විශාල වශයෙන් පුළුල් වී තිබේ. ෆේස්බුක් මගින් අපේ දෛනික කටයුතු, වෘත්තීය කටයුතු, මිනිස් සම්බන්ධතා, සමාජීය ගනුදෙනු, දේශපාලනය, ආගම, සාහිත්‍ය කලාව, ආදී සෑම ක්ෂේත‍්‍රයකටම සිදුකර ඇති හොඳ හා නරක බලපෑම් අති මහත්ය. ඒ ගැන කතා කළ හැකි බොහෝ දේ තිබේ. මේ ලිපියේ අභිලාෂය වන්නේ ඒ අතරින් එකක් වන පුද්ගල ප‍්‍රතිරූප ගොඩනැගීම හා බිඳවැටීම කෙරේ සමාජ ජාල විසින් අලූතින් ඇති කර තිබෙන බලපෑම ගැන සැකෙවින් සාකච්ඡා කිරීමය.

පුංචි සිද්ධියක්....

 
මා මුලින්ම කියන්නට යන්නේ පෙර සඳහන් කළ මූලික ප‍්‍රශ්නය වඩාත් නිරවුල් කර ගැනීම සඳහා ඉවහල් වන සිදුවීමක් ගැනය. මෙය කිසියම් කාරණා ප‍්‍රමාණයක් මත ශී‍්‍ර ලංකාව තුළ යම් ප‍්‍රසිද්ධියක් ලබා සිටි එක්තරා පුද්ගලයෙකු ගැන කතාවකි. ෆේස්බුක් යුගයට පෙර මේ පුද්ගලයා ගැන මා අසා කියවා තිබූ තොරතුරු වලට අනුව මට ඔහු ගැන තිබුණේ ඉතා ප‍්‍රසාදජනක හා ගෞරවනීය හැඟීමකි. ෆේස්බුක් යුගයට පෙර මා ඔහු සමග කීප වරක් දුරකතනයෙන් කතාබහ කොට තිබූ අතර ඒ කතාබහද හේතුවූයේද ඔහු කෙරේ මා තුළ තිබූ ප‍්‍රසාදජනක හැඟීම වැඩි දියුණු කිරීමටය. පසු කලෙක ඔහුට ෆේස්බුක් ගිනුමක් තිබෙනු දැකීමෙන් අනතුරුව ඔහු මගේ ෆේස්බුක් මිත‍්‍රයකු බවටද පත්විය. මම ඒ ගැන බෙහෙවින් සතුටු වුණෙමි. මා සිතා සිටියේ ඔහු මට වඩා බෙහෙවින් විශාල පුද්ගලයෙකු බවය. එහෙත් ෆේස්බුක් නිසා සිදුවූයේ ඔහු කෙරේ මා තුළ පැවති මේ ගෞරවනීය හැඟීම ඉතා වේගයෙන් කඩා වැටීමය. එය එසේ වූයේ කුමක් නිසාද?

දවස පුරා වෙන වැඩක් නැද්දැයි කාටත් සිතෙන තරමට උදේ සිට ? වන තුරු ඔහු දවසේ වැඩි හරියක් ගෙවා දැම්මේ මූණු පොතේය. ඔහු දිනපතා ඊට ඇතුළත් කරන ඡායාරූප ප‍්‍රමාණයද සුළුපටු නොවීය. පොදු වැදගත්කමක් ඇති දේට වඩා තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ඉතා පුංචි පුංචි සිදුවීම්වලට අදාල ඡායාරූප පවා ඔහු නොකඩවා ප‍්‍රචාරය කළ අතර, ඒ ඡායාරූපවලට ඔහු විසින්ම නොයෙක් භාවාතිශය හැඳින්වීම්ද යොදාතිබිණි. එසේම ඔහු විවිධ අදහස්ද නිතර මුහුණු පොතේ ලියූ අතර අන් අයගේ දේවල් සඳහා නිතර කොමෙන්ටුද ඉදිරිපත් කළේය. ඒවායින් මතුවී ආවේම ඉතා ආයාසයෙන් මවා පෙන්වන්නට උත්සාහ කරන ප‍්‍රබුද්ධත්වයක, මානව හිතවාදයක බොල් හඬකි. ඔහුගේ ලිවීම්වල තිබූ ඇතැම් දීන වාක්‍ය ඛණ්ඩ සහ ඒවායේ ව්‍යාජත්වය දකින විට එම පුද්ගලයා කෙරේ මා තුළ පෙර පැවති ගෞරවනීය හැඟීම මුලූමනින්ම පාහේ විනාශ වී ගියේය. අන් බොහෝ දෙනෙක් හමුවේද  මගේ වීරයා විහිලූකාරයෙකු වී ඇති බව මට තේරුම් ගියේ තවත් ෆේස්බුක් මිතුරන් ඔහු ගැන කියන්නට වූ උපහාස කතා නිසාය. මෙහි ඇති අතිශයින්ම උත්ප‍්‍රාසවත් කාරණය වන්නේ මේ කියන පුද්ගලයා භාවනාවටද විශාල වශයෙන් නැඹුරු වූ අයකු වීමය. එසේ වුවද කිසිදු භාවනාවක් නොකරන අයට වඩා ඔහුගේ මමත්වය විශාල වීම නිසාම ඔහුගේ භාවනාවේ ඇති ව්‍යාජත්වයද කාටත් පැහැදිලිව පෙනිනි.

සයුරු තරණය කරන විට

 
ඉහත කී සිදුවීම පසුබිමේ තබා ගනිමින් අපේ මූලික ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීමට දැන් උත්සාහ කරමු. අප ඉහත සිදුවීම තේරුම් ගත යුත්තේ කෙසේද? සයුරුවල පවා නොගැඹුරු තැන් මොනවාදැයි අපට වැටහෙන්නේ සයුරු තරණය කරන විට බව කියැවෙන කුඩා කවියක් මෙහිදී මගේ සිහියට නැගේ.  එකී සිදුවීමේ සඳහන් පුද්ගලයා පිළිබඳ මා තුළ වූ යහපත් හැඟීම බිඳියාමට බලපෑ මුලික හේතු දෙකකි. එකක් නම් එතෙක් දුරින් සිටි එම පුද්ගලයා වෙත ලංවී බැලීම සඳහා මුහුනු පොත හරහා මා ඇතුලූ බොහෝ දෙනකුට අවස්ථා ලැබීමය. දෙවනි කාරණය වන්නේ ඒ වේදිකාව තුළ කිිසිදු ප‍්‍රමිතියකින්, විනයකින් යුක්තව හැසිරීමට අදාල පුද්ගලයා සුපරික්ෂාකාරී නොවීමය.
 
මින් පළමු කාරණය සලකා බලමු. අප වැඩි වශයෙන් ආසා කරන්නේ ලඟාවීමට අසීරු දේවල්වලටය. බොහෝ දේවල්වල අගය වටිනාකම වැඩිවන්නේ ඒ දේවල් අපට දුරින් හෝ ඉහලින් ඇති විටය. ලංවීමේදී වටිනා දේවල් සාමාන්‍යකරණය වනවා පමණක් නොව දුරින් සිටියදී නොපෙනුන ඇද පළුදු, අඩුපාඩු ආදිය පෙනෙන්නට ගන්නේද ලංවී බලන විටය.  ඉතා වටිනා දේ පවා ලංවන විට හෝ  අත්කරගන්නා විට කෙමෙන් නොවටිනා තත්ත්වයට පත්වීම සාමාන්‍ය ධර්මතාවයකි. ලංවීමෙන් අගය වැඩි වීමටද ඉඩ ඇතත් එය සිදුවන්නේ සාපේක්ෂ සීමාවක් දක්වා පමණි. අද ෆේස්බුක් පෙරළිය හරහා සිදුවී ඇත්තේ අතීතයේදී දුරින් තිබූ වීර ප‍්‍රතිරූප වෙත සමීප වීම සඳහා විශාල පිරිසකට අවස්තාව ලැබීමය. අතීතයේදී කලාව සාහිත්‍යය, දේශපාලනය, හෝ වෙනත්  ඕනෑම ක්ෂේත‍්‍රයක හමුවන අපගේ සිත් ගත් වීරයන් සමග අපට පැවතියේ බොහෝ දුරස්ථ සම්බන්ධයකි. එකල අපට ඔවුන් තේරුම් ගන්නට ඉඩ ලැබුනේ ජනමාධ්‍ය හරහා සැපයෙන විරල අවස්තා ආදිය ඔස්සේය. නමුත් මුහුණු පොත නිසා ඔවුන්ගේ හැසිරීම් සමීපව නිරීක්ෂණය කරන්නට, ඔවුන්ගේ සිතුම් පැතුම්, ආකල්ප ආදිය තේරුම් ගන්නට, ඔවුන් හා අදහස් උදහස් හුවමාරු කර ගන්නට විශාල ඉඩකඩක් බොහෝ පිරිසකට එකවර හිමිවෙයි. එහිදී පුද්ගල ප‍්‍රතිරූපවල අගය යම් තරමකින් හෝ පහත වැටීම ඉබේම මෙන් සිදුවන්නකි.  එය ප‍්‍රතිරූපධාරීන්ගේ වරදක් නිසාම සිදුවන දෙයක් නොවේ.

එසේ වුවද මෙකී විශාල පිරිසක් තමන් වෙත සමීපවන වේදිකාව තුළ අදාල පුද්ගලයන්ද අපරික්ෂාකාරී ලෙස හැසිරේ නම් ප‍්‍රශ්නය වඩ වඩාත් බරපතල අතට හැරෙයි.  එය ප‍්‍රතිරූපධාරීන්ගේ ගැටළුවක් වන අතරම ඔවුන්ගේ ප‍්‍රතිරූප වැඩි වශයෙන් හානි වන්නේද එවන් හැසිරීම් හරහාය. මා මුලින් සඳහන් කළ පුද්ගලයාට සිදුවූ නස්පැත්තිය වන්නේද එයමය. තමාගේ අනන්‍යතාවය අන් අය අතර ඔසවා තැබීම සඳහා අන්තර් ජාල අවකාශය ශිෂ්ට ලෙස භාවිතයට ගත යුතු ආකාරය ගැන ඔහුට එතරම් හැඟීමක් නොවීය. ඔහු එවැනි හැඟීමකින් තොරව සිතූ සිතූ සේ එම අවකාශය පුරා දුව ඇවිදින්නට වූ අතර අනන්‍යතාවය ඔසවා පෙන්වීම සඳහා ලැබුනු මේ ඉඩකඩ ඔහු කිසිදු විනයකින් තොරව භාවිතයට ගත්තේය. එයින් කිසිවකුට විශේෂ කරදරයක් අනතුරක් නොවුනද, එය තමා කෙරේම අහිතකර ලෙස බලපාන බව ඔහුට තේරුම් ගොස් තිබුණේ නැත. ඒ වරද ඔහු අතින් පමණක් නොව අපි කා අතිනුත් අඩුවැඩි වශයෙන් සිදුවිය හැක්කකි.

 අවසානයේදී ඔහුගේ සමාජ ජීවිතය නිසා ඔහු කෙරේ මා තුළ ඇතිවී තිබූ ප‍්‍රසාදජනක හැඟීම ඔහුගේ ෆේස්බුක් ජීවිතය නිසා මුලූමනින්ම පාහේ විනාශ වී ගියේය. අඩු වැඩි වශයෙන් ඒ ඉරණමට ලක්වූ තවත් බොහෝ අය සිටිය හැකිය. මෙම සමාජ ජාල අවකාශය කල්පනාවෙන් භාවිතා කිරීමට අසමත් වන  ඕනෑම අයකු අතින් එම අඩුපාඩුව සිදුවිය හැකි බව අප විසින් මෙහිදී අමතක කළ යුතු නැත. මේ කාරණය වැඩි වශයෙන් අදාල වන්නේ යම් යම් ක්ෂේත‍්‍ර තුළ කටයුතු කිරීම හරහා රටේ නමක් දිනා සිටි පුද්ගලයන්ටය. ඊට අමතරව ෆේස්බුක් වැනි සමාජ ජාල හරහාම තම අනන්‍යතා ගොඩනගා ගත් විශාල පිරිසක්ද සිටිති. ඔවුන්ට වුවද මේ හැසිරීම පිළිබඳ ප‍්‍රශ්නය යම් තරමකට හෝ අදාලය. ෆේස්බුක් යනු මිනිසුන් ලෙස අපගේ ප‍්‍රබලතා පමණක් නොව දුබලතාද බොහෝ දෙනකුට නිරාවරණය කළ හැකි මාධ්‍යයකි. එය ප‍්‍රතිරූප ගොඩනැගීමට මෙන්ම බිඳ හෙලීමටද එකසේ ඉවහල් වන්නක් බව සිහි තබා ගැනීම අතිශයින් වැදගත්ය.
 
මගේ ලෝකය
 
අපට ෆේස්බුක් අවශ්‍ය වන්නේ කුමක් සඳහාද? මේ සටහන ලියන මටද ෆේස්බුක් ගිනුමක් තිබේ. එයට මගේ නිර්මාන, ලිපි, කවි ආදිය පමණක් නොව ජායාරූපද ඇතුලත් කර ඇත. ඒවාට අනෙක් අය වැඩි වැඩියෙන් යහපත් ප‍්‍රතිචාර දක්වනවාට මා කැමතිය. වැඩිපුර ලයික් හෝ සුබවාදී කොමෙන්ට් වැටෙන විට එය මගේ ප‍්‍රීතියට හේතුවකි. ඇතැම් විට මුහුණු පොත තුළ මගේ හැසිරීම් ගැනද තවත් අයකුට යම් යම් විවේචන තිබිය හැකිය. කවුරු මොනවා කීවත් මා වැනි සරල ජීවියකුට ලෝකයේ මධ්‍ය ලක්ෂය වන්නේ මමය. මා මේ ගිනුම සකසා ගෙන ඇත්තේ මා තුළ ඇති මමංකාරය නිසාය. මා එහි මගේ සමාජ දේශපාලන ලිපි ආදිය පල කල පලියට මා ඒ ගිනුම සකසා ගෙන ඇත්තේ මගේ අදහස් හා නිර්මාණ වැඩි වැඩියෙන් ජනතාව අතරට ගෙන යමින් සමාජ සේවයක් කිරීමට යැයි මා කිවතොත් එය බොරුවකි. අවංක සමාජ අරමුණුද මා තුළ ඇතත් ඒවා මගේ මමත්වයේ ආශාවන්ගෙන් සපුරා වියෝ වූ දේවල් නොවේ. ආත්මාර්ථයෙන් සපුරා වෙන්කළ හැකි පරාර්ථයක් තිබිය හැකි යැයි මා සිතන්නේ නැත.

මට පමණක් නොව අන් අයටද ෆේස්බුක් ගිනුම් අවශ්‍ය වන්නේ ඉහත කී මූලික හරයාත්මක කාරණා නිසාය. තමන්ගේ අනන්‍යතාවය හෙලි නොකරන ෆේස්බුක් ගිනුම් විශාල ප‍්‍රමාණයක් ඇතත් ඒ ව්‍යාජ නාම හා රූපවලට මුවාවී සිටින්නේද අනන්‍යතා පිළිබඳ කිසියම් වේදනාවකින් පෙලෙන මනුෂ්‍යයන්ම මිස දෙවි දේවතාවුන් වහන්සේලා නොවේ.
ඇත්තෙන්ම  ඕනෑම මිනිසකුට තමන්ගේ දේවල් අන් අය අතර බෙදා හදා ගැනීමට, තමන්ගේ අනන්‍යතාවය අනුන් අතරේ ඔසවා තැබීමට ඇති ආශාව අස්වාභාවික එකක් නොවේ. මිනිසා තුළ පවතින ඒ ආශාවට ජෛවමය පදනමක් මෙන්ම සමාජ සංස්කෘතික පදනමක්ද ඇත. මමත්වයෙන් මැඩුනු පෘතග්ජන මිනිසුන් ලෙස අපි කා තුළත් ඒ ආශාව අඩු වැඩි වශයෙන් තිබේ. ෆේස්බුක් මේ සා ජනපි‍්‍රය මාධ්‍යක් වීමේ මූල හේතුව ඇත්තේද ඒ ආශාව තුළය. එය අපට අපේ අනන්‍යතා විශාල සමූහයක් ඉදිරියේ දිගේලි කර තබන්නට මහඟු අවස්තාවක් පාදා දී තිබේ. ෆේස්බුක් යුගයට පෙර අපට මේ සඳහා ලැබුනු අවස්තා ස්වභාවයෙන්ම සීමා සහිත ඒවාය. එවිට අපට ඒ අවස්තා ලැබුණේ ගම, පාසැල, සරසවිය, රැකියා ස්ථානය, සමිති සමාගම්, විවිධ උත්සව, මළ ගෙවල්, මගුල් ගෙවල් ආදී සාමුහිකත්වය ගොඩනැගෙන ආයතන හා ක‍්‍රියාකාරකම් ඔස්සේය. ඒ ඔස්සේ අපට ඇසුරු කරන්නට ලැබෙන මිනිසුන් ප‍්‍රමාණය, ඒ සඳහා ලැබෙන කාලය, මෙන්ම ලැබෙන අවස්තා ප‍්‍රමාණයද සීමිතය. වත්මන් කාර්යබහුල ජීවන රටාව තුළ ඒ අවුල තවදුරටත් වැඩි වර්ධනය වෙයි. නමුත් අද වන විට ෆේස්බුක් හරහා මේ ගැටලූවට අපූරු විසදුමක් ලැබී තිබේ. ඒ හරහා එකවර විශාල පිරිසකට නිරාවරණය වන්නට අපට වේදිකාවක් ලැබී ඇතුවා පමණක් නොව, ඒ වේදිකාවට ගොඩවන්නට ලැබෙන අවස්ථාද බෙහෙවින් වැඩි වී තිබේ. අතීතයේදී මෙන් වෙනම කාලයක් වැය කර මිතුරන් ඇසුරු කිරීම වෙනුවට අද නිවසේ හෝ කාර්යාලයේ සිටින ගමන්, වැඩ කරන ගමන්, බස් එකේ යන ගමන්, හෝ බැංකු රෝහල් වැනි තැන්වල පෝලිම්වල රස්තියාදු වන අතරේ අපට ලෝකය පුරා විසිරී සිටින මහා පිරිසක් සමග ගනුදෙනු කිරීමට හැකිය. අපේ දෛනික ජීවිතයේ, දේවල් පමණක් නොව මතවාද, නිර්මාණ, ලිපි ලේඛන, අදහස් උදහස් ආදී කැමති  ඕනෑම දෙයක් විශාල පිරිසක් සමග බෙදා ගත හැකිය. ඉතින් අපේ අනන්‍යතාවය දිගේලි කර තැබීම සඳහා ලැබෙන මේ විශාල අවකාශය තුළ හැසිරීමේදී අප අතින් විවිධ අඩුපාඩු සිදුවීමද පුදුමයක් නොවේ.

එසේ නම් අප මේ කතා කරමින් සිටින ගැටලූවට විසදුම කුමක්ද? විසදුම වන්නේ අන් කිසිවක් නොව තව බොහෝ දෙනා අප දෙස බලා සිටින බව සිහි තබා ගනිමින් ඒ අනුව අපේ හැසිරීම් පාලනය කර ගැනීමය. ආශාවන් තිබූ පමණින් ඒ අනුව කටයුතු නොකොට බුද්ධියට තරමක් හෝ කීකරු වීමය.
 
අප කවුරුත් රස ආහාරවලට කැමතිය. එහෙත් මේ කැමැත්ත හමුවේ අප හැසිරෙන ආකාරය අවුල් සහගත වුවහොත් අප අන් අයගේ සරදමට පාත‍්‍රවෙයි. අප කවුරුත් අනන්‍යතා ගොඩනගා ගැනීමට කැමැත්තෙමු. එහෙත් ඒ කැමැත්ත හමුවේ අප හැසිරෙන ආකාරය අවුල් සහගත වුවහොත් අප අන් අයගේ සරදමට පාත‍්‍රවෙයි. අන් සංස්කෘතීන් තුළ කෙසේ වෙතත් ශී‍්‍ර ලාංකීය අපගේ සංස්කෘතික වටපිටාව තුළ දැඩි පුද්ගලවාදී හැසිරීම් සැලකෙන්නේ ලැජ්ජාවට හේතුවන කාරණා ලෙසය. ඒ නිසා ෆේසුබුක් හරහා මතුවන ප‍්‍රතිරූප ප‍්‍රශ්නටයට විසදුම ඇත්තේ අන් කොතැනවත් නොව අපේ හැසිරීම් තුළම බව අවසාන වශයෙන් තේරුම් ගත යුතුව තිබේ. 

[ඔස්ට්‍රේලියාවේ ප්‍රකාශයට පත්වන කැඩපත  පුවත්පතට සම්පාදිත ලිපියකි.]
 
-ඉසුරු ප‍්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com

නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions