3/29/2015

"මහරජ ගැමුණු" නොබැලූ දෑස කුමටද?"

කතෘ:යුතුකම     3/29/2015   1 comment

මම වෘත්තීය චිත්‍රපට විචාරකයකු නොවෙමි. එබැවින් මා ඔබ හමුවේ මෙම සටහන තබනුයේ හුදු කලා රසිකයකු හා දේශප්‍රේමියකු වශයෙන් එය නැරැඹීමෙන් ලත් ආශ්වාදය ඔබ ඉදිරියේ දිගහැරීම සඳහා ය. 

1956 න් පසු පසුගිය දශකයේ යළිත් මේ රට තුළ ඇති වූ ජාතිකත්වය, දේශමාමකත්වය හා ආගමික පුනරුද ප්‍රබෝධයේ එක්‌ වැදගත් පැතිකඩක්‌ වශයෙන්ද, සිංහල සිනමා කලාවේ එක්‌තරා කූඨ ප්‍රාප්තියක්‌ වශයෙන්ද මම මෙය දකිමි. සිංහල දේශයේ අභිමානවත් හා සාඩම්බර ඉතිහාස කතාවේ හර පද්ධතීන් ආරක්‍ෂා කරමින්, ප්‍රබලව උලුප්පා දක්‌වමින් නූතන සිනමාවේ සියලු මහිමයන් කලාත්මකව භාවිතා කරමින් දුටුගැමුණු වත මෙවැනි විචිත්‍රවත් සිනමා සිත්තමකට නැගීම පිළිබඳව පළමුව ජයන්ත චන්ද්‍රසිරියන්ටත්, දෙවනුව නිෂ්පාදක ගුණපාල රත්නසේකරයන්ටත් එම ප්‍රාතිහාර්යට සම්බන්ධ වූ සියලු දෙනාටත් සමස්‌ත ජාතියේම නොමඳ උපහාරය හිමිවිය යුතු යෑයි මම සිතමි. 

අසීමිත කුසලතා ඇති ප්‍රතිභාපූර්ණ, නිර්මාණශීලී ජයන්ත චන්ද්‍රසිරි නමැති මේ කලාකරුවා මා පළමුවරට දුටුවේ මීට දශක කීපයකට පෙර රූපවාහිනි තිරය මත දිගහැරුණු, තවත් විශිෂ්ට කලාකරුවකු වූ බුද්ධදාස විතානාරච්චිගේ විශිෂ්ට රංගනයෙන් ඔපවත් වූ "දඬුබස්‌නාමානය" ටෙලිනාට්‍ය තුළිනි. මා පාසල් යන අවධියේ ශ්‍රී ලංකා මාසික සඟරාවේ පළවූ පුරාවිදු දැරණියගලයන්ගේ පුරාණ සිංහල සටන් කලාව පිළිබඳ රූ සටහන් හැරුණුකොට දඬුබස්‌නාමානයේ දුටු පරිදි රංගනයක්‌ වැනි දෙයක්‌ ඊට පෙර කිසිදාක මා දැක නැත. දඬුබස්‌නාමානය කොතරම් මා සිත් ගත්තේ දැයි කිවහොත් එම වසරේ ටෙලි නාට්‍යයන්ට ලැබෙන සම්මානයන් සියල්ල එයට ලැබිය යුතු බව මගේ බිරිඳටද කීවෙමි. මගේ නිගමනය සනාථ කරමින් මට මතක හැටියට එම වසරේ සම්මාන සියල්ලම මෙන් එයට ලැබිණ. "දඬුබස්‌නාමානය" සහ පසු කලෙක "අකාල සන්ධ්‍යා" තුළින් දුටු එම අපූරු අංකුර කලාකරුවා කවදා හෝ මේ රටේ සිනමා ක්‌ෂේත්‍රයේ විප්ලවයක්‌ කරන අයකු වන බවට එදා මා තුළ ඇතිවූ විශ්වාසය "මහරජ ගැමුණු" හරහා අද ඉටුවී තිබීම ගැන බෙහෙවින් ප්‍රීති වෙමි. 

"මහරජ ගැමුණු" සිනමා කාව්‍යයට පදනම් වී ඇත්තේ එළාර දුටුගැමුණු සටනයි. ඒ වූ කලී, ඉරහඳ පෑයූ දා සිටම ස්‌වභාව සෞන්දර්යෙන් හා ආර්ථික සමෘද්ධියෙන් ආඪ්‍ය වූ මේ රම්‍ය දිවයින අත්පත්කොට ගැනීම සඳහා කෞටිල්‍යවාදී ඉන්දියානු ආක්‍රමණිකයන් විසින් නොනවතින මුහුදු රළ මෙන් දියත් කෙරෙන ආක්‍රමණාවලියේ එක්‌ සිද්ධියකට විරුද්ධව තම මව්බිම රැකගැනීම සඳහා දුටුගැමුණු රජතුමාගේ නායකත්වයෙන් දියත් කරනා ලද ආහ්ලාදජනක, වීරෝදාර සංග්‍රාමයයි. සිනමාව තුළින් දුටුගැමුණු වත ජාතියට කීමේදී ඓතිහාසික උරුමයද මනා සේ රකිමින් මේ සිංහල දේශයේ රජුගේ මෙන්ම බෞද්ධ භික්‍ෂුවගේද කාර්යභාරය සහ උරුමය විශිෂ්ට අන්දමින් නිරූපණය කොට ඇත. 

කිසි දිනක සුව නොවන කෞටිල්‍යවාදී නිධන්ගත රෝගයකින් පෙළෙන දුෂ්ට ඉන්දියානු ව්‍යාප්තවාදයේ සනාතනික ආක්‍රමණවලින් රට රැක ගැනීමේ සිංහලයාගේ ආත්ම ආරක්‌ෂණවාදී වීරෝදාර සටන් පිළිබඳ සනාතනික ශෝක ගීතය වශයෙන් මා විසින් හඳුන්වනු ලබන ලංකා ඉතිහාස කතාවේ වැදගත්ම සංසිද්ධියක්‌ නිදාගෙන සිටින ජාතියක්‌ අවදි කිරීම සඳහා මේ අන්දමින් ප්‍රබලව සිනමාවට නැංවීමෙන් ජයන්ත චන්ද්‍රසිරි සිදුකොට ඇති මෙහෙය ප්‍රශංසනීයය.

රජුන්, රැජිනියන් හා කුමාරවරුන් තම රටවැසියා වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් රන් හුයක්‌ සේ කතාන්තරය පුරාම ගලා යයි. ඒ අතරම ගැමුණු කුමරු මාගමට කැටිව යැමට පැමිණි නන්දිමිත්‍ර යෝධයා සමග කෙරෙන කතාබහේදී "කුමාරවරුන් බොරු කීවත් ගොවියන් බොරු නොකියන බව නඟාලීමෙන් වර්තමානයේ සිටින දේශපාලන කුමාරවරුන්ටද සියුම් උපහාසයක්‌ කිරීමට ජයන්ත අමතක නොකරන බව පෙනේ. අව්‍යාජ සිංහල ගැමියාගේ නියම ප්‍රතිරූපයද ඉන් විදහා දැක්‌වෙයි. 

කොත්මලේ සිට මාගමට යන විට ගැමුණු කුමරු සමගින් සාලිය කුමරකුද එසේම බිසවක්‌ද යෑවීමෙන් මහාවංශ කතුවරයා අපට නොවිස¹ ඉතිරිකොට ගිය ගැටලුවක්‌ද ජයන්ත නිරාකරණය කොට ඇත. ඒ සමග ධර්මසේන හිමියන්ද අභිබවා මානව චර්යා ධර්මතාව පිළිබඳ යථාර්ථයද ඔහු පෙන්වාදී ඇතැයි සිතමි. මේ නිර්මාණය තුළින් මනමේ නාට්‍යයේ මනමේ කුමරිය නින්දාවෙන් නිදොස්‌ කරවා ගැනීම සඳහා එදිරිවීර සරච්චන්ද්‍රයන් යොදාගත් උපාය ජයන්ත විසින්ද මෙහිදී යොදාගෙන තිබීම ප්‍රශංසනීයය.

අනෙක්‌ අතින් සිංහල බෞද්ධ රාජ්‍යයේ භික්‍ෂුවගේ කාර්යභාරය සහ උරුමය මෙන්ම වගකීමද කතාව පුරාම ගලායන අන්දමින් හසුරුවා ඇත. විශේෂයෙන්ම ගැමුණු කුමරු හා තිස්‌ස කුමරුන්ගේ පිරිස්‌ අතර සිදුවීමට යන සටනේදී දෙපාර්ශ්වයේ අවි ගැටීමෙන් මතුවන ගිනිපුළිඟු මෙන්ම, මැරී වැටෙන සිය දහස්‌ ගණනක්‌ දැන් දැන් දක්‌නට ලැබේ යයි නරඹන්නන් විසින්ම ත්‍රාසයෙන් බලා සිටිද්දී යුද පෙරමුණු දෙක මැදින් ආකස්‌මිකව මතුවී ඉදිරියට ඇදෙන බැබළෙන කසාවතින්, එක්‌ වචනයකුදු නොබැණ යුද්ධය වැළැක්‌වූ අයුරුද විශිෂ්ට සිනමා අවස්‌ථාවකි. මෙවැනි දර්ශන තුළින් ශේ්‍රෂ්ඨ ජාතියක්‌ සතු සමාජ හරයන් ඉස්‌මතුකොට දක්‌වා තිබීමද අපූරුය. එළාර, කාවන්තිස්‌ස, විහාරමහා දේවි සහ ගැමුණු කුමරුගේ චරිතද ඉතා විශිෂ්ට අන්දමින් හසුරුවා ඇත. මෙහිලා ජැක්‌සන් ඇන්තනී (එළාර), ශ්‍රියන්ත මෙන්ඩිස්‌ (කාවන්තිස්‌ස), කුසුම් රේණු (විහාරමහා දේවි) සහ උද්ධික ප්‍රේමරත්න (ගැමුණු) යන නම්ද කිසි විටෙකත් අමතක කළ නොහැක.

දුටුගැමුණු - එළාර පුවතේ වැදගත්ම කොටස යුද්ධය වුවද විශේෂයෙන්ම මහියංගණයේ සිට රජරට දක්‌වාත්, එතැන් සිට විජිතපුරය දක්‌වාත් බලකොටු පිට බලකොටු විනාශ කරමින් කෙරුණු යුද්ධය මෙන්ම විජිතපුර සටනද ලුහුඬින් සටහන් වීම මා සිතට ප්‍රහේළිකාවකි. එසේම එළාර රජු මියයැමෙන් පසු සිද්ධීන් අතර සතුරාට පවා ගෞරව කිරීමේ සිංහල රාජ නීතිය උලුප්පා දක්‌වන අවස්‌ථාව එළාර සිහිවටන ස්‌තූපය නිර්මාණය ආදිය මෙන්ම දුටුගැමුණු රජුගේ පශ්චාත් යුද ආශ්චර්යන් වන රුවන්වැලිසෑය, ලෝවාමහාපාය ආදී ශාසනික සේවාවන් මෙන්ම ඒ සියල්ලටමත් වඩා තුන්හෙළය එක්‌සේසත් කිරීමේ පුවත උලුප්පා නොදැක්‌වීම සිංහලයේ අසහාය මහා නරපතියාට සිදු කෙරුණු අසාධාරණයක්‌ දෝයි මට සිතිනි. එසේම සිවුරු හැර යුද්ධයට පැමිණි ථෙරපුත්තාභය යුද්ධයෙන් පසු කෙළෙස්‌ සොරුන් සමග යුද්ධයට නික්‌ම ගිය පරමාදර්ශනද සඳහන් වූයේ නම් වර්තමානයේ සිටින දේශපාලන හා ව්‍යාපාරික භික්‍ෂූන්ට පණිවුඩයක්‌ දීමට හැකිව තිබිණැයිද මට සිතුණි. 

කෙසේ වුවද තිර රචනය මත රූප රාමු දිගහැරෙන විට මගේ රට හා සම්ප්‍රදායන් පිළිබඳ මහත් ආඩම්බර බවක්‌ මට දැනුණාක්‌ මෙන්ම මා සරසවි සිසුවකුව සිටියදී දුටු ඔeබ ඤපප්බාපැබඑs සහ ඵඑ ඵදබඑe Caරකද වැනි චිත්‍රපට මා සිහියට නැගුණේ නිතැතිනි. එසේම තවමත් තරුණ ජයන්ත චන්ද්‍රසිරි කලාකරුවා මා දකිනුයේ සිංහල නාට්‍ය වංශ කතාවේ අනාගත සරච්චන්ද්‍ර කෙනෙක්‌ වශයෙනි. ගායන ක්‌ෂේත්‍රයේ අමරදේව සහ නන්දා මාලිනී වැනි චරිතයකි. එසේම සංගීත ලෝකයේ කේමදාස කෙනෙකි. තමන් සතු අසීමිත සුරුවිරුකම් යොදා හෙට දිනයේ මහා පරාක්‍රමබාහු වත සහ සිංහලේ උඩරට රාජධානියට සහ එහි වැසියන්ට බ්‍රිතාන්‍ය යටත්විජිතවාදී ආක්‍රමණිකයන් විසින් සිදු කරන ලද විනාශයන් අලලා විශ්ව සිනමාකරණයකට සුදුසු නිර්මාණ දෙකක්‌ කිරීමටද ජයන්ත චන්ද්‍රසිරියන්ට ශක්‌තිය, ධෛර්ය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනය කරමි.

අවසාන වශයෙන් මේ රටේ ඉතිහාසය, සම්ප්‍රදායන් සහ ජාතික උරුමයන් පිළිබඳ මෙලෝ අවබෝධයක්‌ හෝ හැඟීමක්‌ නැති වල්මත්ව පිස්‌සු කෙළිමින් නයිට්‌ ක්‌ලබ්වල කුණුවෙමින් අයාලේ යන තරුණ තරුණියන්ට සහ රටේ අනාගතය භාර ගැනීමට සිටින සියලුම පාසල් සිසුන්ටද "මහරජ ගැමුණු" වැනි චිත්‍රපට බැලීමට අවස්‌ථාව ලබාදෙන මෙන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලීමටද මම මෙය අවස්‌ථාවක්‌ කර ගනිමි.

ආචාර්ය සුදත් ගුණසේකර

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. විමලසේන3/30/2015 9:07 AM

    සතුරා සුළඟක් සේ පැමිණෙන්නේ නම් අපද සුළඟක් වන ආකාරය උගත් යුතුය.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com