3/30/2015

රටට වැරැද්දක් වුණොත් මං වළෙන් නැගිටිනවා

කතෘ:යුතුකම     3/30/2015   1 comment

“මා කවදා හෝ ලෙඩ ඇ‍ඳේ සිටිය ද එසේ නොමැතිනම් ඔබ මා මිනී වළට බාමින් සිටිය ද කිසිවක් හෝ වැරැදී ඇතැයි මට හැඟී යන්නේ නම් මා වළෙන් නැගිටිනවා” යනුවෙන් සිංගප්පූරුවේ ජාතික දින රැළියකදී පැවසුවේ ලී ක්වාන් යූ ය. මදුරු රජ දහනක් හා මඩ වගුරක් ලෙසින් පැවැති රටක් ලොව වැඩිම ඒක පුද්ගල ආදායමක් සහිත රටක් බවට පත්කරමින් රට ලෝකයේ ආර්ථික සුරපුරයක් බවට පත්කළ නූතන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ඔහුය.

සිංගප්පූරු ඉතිහාසයටම සිටි හොඳම හා දක්ෂතම කථිකයා ලෙසින් විරුදාවලි ලත් ලී ක්වාන් යූ ට සම කළ හැකි කිසිම සිංගප්පූරු ජාතිකයකු නොමැති බව සඳහන්ය. මේ යුග පුරුෂයා පසුගියදා ජාතියෙන් සමු ගත්තේය.

සිංගප්පූරුවේ පළමු අගමැති මෙන්ම වැඩිම කලක් අගමැති ධුරය හෙබවූ පුද්ගලයා වශයෙන් සිංගප්පූරු ඉතිහාසයට එක්වූ ඔහු එකල ලොව වැඩිම කාලයක් අගමැති ධුරය දරු පුද්ගලයා ද ලෙස ලෝක ඉතිහාසයට එක්විය.

මධ්‍යම පන්තික චීන ‘හක්කා’ පවුලකින් පැවත එන ඔහුගේ මුතුන් මිත්තෝ 19 වැනි ශතවර්ෂය මැද දී සිංගප්පූරුවට සංක්‍රමණය වූවෝ වෙති. ඔහු එම පරපුරේ සිවුවැනි පරම්පරාවේ දරුවෙකි. පාසල් අවදියේ සිටම ඉතා දක්ෂ සිසුවකු වූ ලී කුඩා කල දැක්වූ දස්කම් නිසාම ඔහුගේ ගුරුවරයකු ඔහු ගැන අදහස් පළ කර තිබිණ.

“අසාමාන්‍ය විදිහට හොඳින් වැඩ කරන්න. කවදා හෝ ජීවිතයේ ඉහළම තලයකට යා හැකියි.”

ඒ දක්ෂතා නිසාම වැඩිදුර ඉගෙනීම සඳහා එංගලන්තයේ ජ්‍යෙෂ්ඨ කේම්බ්‍රිජ් විභාගයට පෙනී සිටීමට ඔහුට වරම් ලැබිණ. ඉන් ඔහු ඉහළම ලකුණු ගත් සිසුවා ලෙස වාර්තාවක් තැබීය. එහෙත් ලෝකය පුරා දෙවැනි ලෝක මහා යුද්ධය පැතිරිමත් සමඟ එංගලන්තයේ ඉගෙනුම ලැබීමේ අපේක්ෂා සුන්වී ඔහු ආපසු සිංගප්පූරුවටම පැමිණියේය.

සිංගප්පූරුවේ රැෆ්ල්ස් විද්‍යාලයේ දක්ෂතම සිසුවකු ලෙස ඉගෙනුම ලබන ලී ට සිය අනාගත බිරිය හමුවන්නේ ද එම විද්‍යාලයේදීය. ඇය ක්වා ගියොක් චූ ය. ජපනුන් 1942 වසරේදී සිංගප්පූරුව අල්ලා ගනිද්දී ලී ට යන්තම් වයස අවුරුදු 19 කි. තම රට ජපන් ආධිපත්‍යයට නතුවීම ලී ට විශාල බලපෑමක් ගෙන දුන්නේය. ඉගෙනීම නතර කළ ඔහු ජපන් භාෂාව ඉගෙන ගෙන මාධ්‍ය ආයතනයක ජපන් භාෂා පරිවර්තකයෙක් වූයේය.

ජපනුන්ට මෙන්ම ඉංග්‍රීසිනට ද තම රට පාලනය කිරීමට අයිතියක් නොමැත්තේ ය යන අදහස තරුණ ලී ගේ සිතට පිවිසියේ මේ අවදියේදීය. එතැන් පටන් ඔහු සිංගප්පූරුව විදේශ ආධිපත්‍යයෙන් මුදාගෙන නිදහස් හා ස්වාධීන රාජ්‍යයක් බවට පත් කිරිමට අදිටන් කර ගන්නේය.

“මා දේශපාලනයට පිවිසුණේ නෑ. ජපනුන් දේශපාලනය මා කරා රැගෙන ආවා. ඔවුන් මා මෙන්ම මා වැනි වූ මුළු පරම්පරාවම නිදහස වෙනුවෙන් වැඩ කිරීම සඳහා යොමු කළා” යැයි 1968 දී ලී පවසා තිබිණ.

1959 වසරේදී සිංගප්පූරුවේ අගමැතිවරයා ලෙස පත්වෙද්දී ඔහුගේ වයස අවුරුදු 35 ක් විය. ඔහුගේ පාලන කාලයේදී එරට ආර්ථික දියුණුව අහම්බෙන් සිදු නොවූවකි. ඒ සඳහා මුළුමනින්ම හේතු වූයේ ලී ක්වාන් යූ අගමැතිවරයාගේ වේගවත් හා ක්‍රියාශීලී නායකත්වයත් ඵලදායි ප්‍රතිපත්ති මාලාවත් ය. ඔහුට ඒ සඳහා උදව් දුන්නෝ ද පොදු ජනතාව ය. පීඩිත පන්තිය මෙන්ම කුලී රථ රියැදුරෝ ද දාමරිකයෝ ද රට පුරා විශාල වෙනසක් ඇති කිරීම සඳහා ඔහුට සහාය දැක්වූවෝ අතර වෙති. 1959 වසරේදී ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට පත්වූ ලී ඇතුළු සගයන් මුහුණ දුන් ගැටලු රාශියක් විය. දැඩි විරැකියාව, නිවාස ප්‍රශ්නය සහ ඉහවහා ගිය දූෂණය ඉන් ප්‍රධාන ය.

ලී ගේ රජය සිංගප්පූරු ජනතාවට කාර්මීකරණ වැඩ සටහන් හා අඩු වියදම් නිවාස යෝජනා ක්‍රම හඳුන්වා දුන්නේය. ඉහවහා ගිය දූෂණයට විසඳුම් ලෙස පෘථුල දූෂණ විරෝධී ක්‍රමවේද හඳුන්වා දුන් අතර ඒවා අති සාර්ථක විය. මේ වැඩ පිළිවෙළේ සාර්ථකත්වය කෙතරම් ද යත් 1960 සිට 1980 මැද දක්වා කාලයේදී සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම පහළොස් වතාවක් ඉහළ ගියේය. විරැකියාව එරටට තවදුරටත් ප්‍රශ්නයක් නොවීය.

ඉතාම දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරමින් රටපුරා දැඩි විනයක් ක්‍රියාත්මක කළ හෙතෙම රටේ ආර්ථිකය ගොඩ නැංවීම සඳහා එරට වරාය හා ගුවන් තොටුපොළ නවීකරණය කරමින් වැඩි දියුණු කළේය. සිංගප්පූරුව දියුණු වීමට නම් ලෝක භාෂාව හා එක්විය යුතු බව ඇදහූ හෙතෙම සිය රට වැසියාට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ වැදගත්කම අවධාරණය කළේය. ඒ වෙනුවෙන් ක්‍රමවේද සැකසුවේය.

ලී ක්වාන් යූ ප්‍රසිද්ධව ඇත්තේ දැඩි විනයක් සහිතව රට පාලනය කළ නායකයකු ලෙසය. ලෝකයේ ඉහළම ප්‍රමිතියෙන් යුතු කුලී රථ සේවයක් පවත්වාගෙන යන රට ලෙස ප්‍රසිද්ධ එරටෙහි කවරකු හෝ මාර්ග නීති කඩකරන්නේ ද ‘දඩ කොළය’ පැය ගණනක් ගතවීමට මත්තෙන් නිවෙසටම ලැබේ. එපමණක් නොව එරට මහමඟ දුම්පානය ද තහනම්ය.

දූෂණයෙන් තොර සිංගප්පූරුවක් සඳහා දැඩි අණපනත් පැනවූ මේ නායකයා එම ආයතනයන්හි නායකයන් කෙළින්ම තමාට වගකිවයුතු තත්ත්වයට පත් කළේය.

1984 දී ලී ක්වාන් යූ තමන් 1988 දී අගමැති ධුරයෙන් විශ්‍රාම යන බව ප්‍රකාශ කරමින් 1990 දී ධුරයෙන් විශ්‍රාම ගත්තේය. එවිට ඔහුගේ වයස අවුරුදු 65 කි.

ලී ක්වාන් යූ විශ්‍රාම ගත් පසු මෙසේ පවසා තිබිණ.

“මා මේ රජයේ අගමැති ධුරයෙන් සමුගත්ත ද මා සදාකාලිකව විශ්‍රාම ගත්තේ යැයි කවුරුන් හෝ සිතන්නේ නම් ඔවුන් නිසැකවම තම ඔළුගෙඩි පරීක්ෂා කරගත යුතුයි.”

1990 දී ඔහු රට පාලනය එරට තරුණ පරම්පරාවට පවරමින් අගමැති ධුරයෙන් ඉවත් විය. ඇතැම් රටවල රාජ්‍ය නායකයන් ලී ක්වාන් යූ විවේචනය කළත් බොහෝ බලවත් රටවල රාජ්‍ය නායකයෝ ඔහු ඉතා ඉහළින් අගය කළහ. රුසියාවේ ව්ලැද්මිර් පුටින් ද එංගලන්තයේ එකල අගමැතිනී මාග්‍රට් තැචර් හා වත්මන් අගමැති ඩේවිඩ් කැමරන් ද එවැන්නෝය.

රුසියානු නායක පුටින් වරක් ලී ක්වාන් යූ ඉතා ඉහළින් අගය කරමින් රුසියාවේ ඉහළම සම්මානයෙන් පිදුවේය. ලී ක්වාන් යූ ජාතියෙන් සමුගත් දා ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඔහු හැඳින්වූයේ ‘ඉතිහාසගත සැබෑම යෝධයකු’ ලෙසය.

ලී ක්වාන් යූ රට ගොඩනැඟුවා සේම සිය බිරියට ද බොහෝ ආදරය කළේය. පාසල් වියේ දී බැඳි ප්‍රේමය මල්ඵල ගන්වමින් විවාහ වූ ඔව්හු සාර්ථක යුග දිවියක් ගත කළහ. ඔවුන් දෙදෙනා නිතරම කල්ගත කළේ එක්වය. ඔහු සාමාන්‍යයෙන් සිය හැඟීම් ප්‍රසිද්ධියේ පළ කරන්නකු නොවේ. එහෙත් 1999 වසරේදී ඔහු සිය හැඟීම් එළි දක්වමින් ඔහුගේ මතක සටහන් ග්‍රන්ථයක් ලෙසින් ප්‍රකාශයට පත් කළේය. එහි ඔහු සිය සදාතනික ප්‍රේමය පිළිබඳව ද ලියා ඇත්තේය.

ඔහු සිය බිරිය ගැන සඳහන් කර ඇත්තේ ‘මගේ ශක්තිය ඇයයි. ඇය සිටියේ නැත්නම් මා වෙනස්ම මිනිසකු විය හැකියි’ යනුවෙනි. ‘One man's view of the world’ නමින් ඔහු ලියු ග්‍රන්ථය ලී පිළිගැන්වූයේ බිරියටය. 2010 වසරේදී බිරියගේ වියොව ඔහු දරා ගත්තේ මහත් අපහසුවෙනි.

මේ දෙපළට දරුවෝ තිදෙනෙකි. වැඩිමල් පුතු ලී සින් ලූංග් සිංගප්පූරුවේ වත්මන් අගමැතිවරයාය. දෙවැනි පුතු ලී සින් යෑංග් එරට සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයාය. බාල දියණිය ස්නායු විශේෂඥ වෛද්‍යවරියකි. ඇය ජාතික ස්නායු විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂවරියයි.

අප්‍රතිහත ධෛර්යකින් හා ඒකාග්‍ර අරමුණකින් යුතු වූ මේ නායකයා කලක් අධික ලෙස දුම් හා මත්පැන් පානයට ඇබ්බැහිව සිටියේය. දැඩි ආත්ම සංයමයකින් යුතු ඔහු වහාම ඒ පුරුදු දෙකෙන් මිදුණේය. බියර් පානය නිසා ඔහුගේ උදරය මහත් වීමත් දුම්පානය නිසා කටහඬ වෙනස්වීමත් සිදුවිය. රටේ නායකයා ලෙස ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කළ ද දිනපතා ව්‍යායාම කළේය. නිතර පයින් ගමන් කළේය.

ලී ක්වාන් යූ නම් වූ මේ මහා යුග පුරුෂයාගේ දේශපාලන උරුමයට කාර්යක්ෂම රට පාලනයත්, අවම දූෂණයත් අඩු බදු බර නිසා විදේශ ආයෝජන ඇදි ඒමත් ඇතුළත්ය. ඔහු රටපුරා විශිෂ්ට පාසල් ගොන්නක් බිහි කළේය. පිරිසුදු හා ආරක්ෂාකාරී මාර්ග පද්ධතියක් රටපුරා ඇති කළේය.

අවසන් දින කීපයේ දැඩි සේ රෝගාතුර වූ මේ නායකයා මිය යෑමට දින කීපයකට පෙර සිටම ලොව පුරා ඔහු මියගිය බවට සාවද්‍ය වාර්තා පළ විය. දැන් ඔහු සැබැවින්ම මිය ගොස්ය. මුළු ලෝකයම අද ඔහු ගැන කතාබහ කරති. එහෙත්, ඒ කතාබහ මෙතැනින් නොනවතිනු ඇත. සිංගප්පූරුවේ පමණක් නොව ලොවටම ආදර්ශයක් සැපයූ නායකයකු ලෙස පරම්පරා ගණනක්ම ඔහු සිහිපත් කරනු ඇත්තේය.

මේ නායකයා පිළිබඳ තවත් බොහෝ දෙනකු නොදන්නා දෙයක් වන්නේ ඔහු ‘හැරී’ නමින් ද හඳුන්වනු ලැබීමය. ඔහුගේ මුල් නම හැරීය.

සේමාලි කැල්ලපත
සිළුමිණ

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. දුණුමන්ත3/30/2015 4:36 PM

    පවුල් පාලනයක්

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions