8/01/2015

යුධ ජයග‍්‍රහණයට එරෙහිව හෘද සාක්ෂිකාරයෝ එදා කළ කී දේවලින් ටිකක්

කතෘ:යුතුකම     8/01/2015   1 comment

යුධ ජයග‍්‍රහණයට එරෙහිව හෘද සාක්ෂිකාරයෝ එදා කළ කී දේවලින් ටිකක්

මේ ලිපියෙහි දක්වා ඇත්තේ යුධ ජයග‍්‍රහණයේ තීරණාත්මක කාලවකවානුවලදී ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව කටයුතු කළ ආකාරය පිළිබඳ උදාහරණ කීපයකි. මේ පිරිස අද හෘද සාක්ෂියක් ගැන කියමින් නැවතත් මැතිවරණයකට ප‍්‍රවේශ වී තිබේ. පසුගිය වසර කීපය තුළ තමන්ගේම ස්වයං විනාශකාරී තීන්දු තීරණ හරහා බරපතල කඩා වැටීමකට ලක්වී තිබූ එම පක්ෂය අද නැවත ජනපි‍්‍රය වීමට උත්සාහ ගනිමින් සිටින්නේ මහින්දගේ ආණ්ඩුවේ පැවති වැරදි අඩුපාඩු අතිශෝක්තියට නංවමිනි. ඒ හරහා ඔවුන් පසුගිය මැතිවරණයට වඩා වැඩි ඡුන්ද ප‍්‍රමාණයක් මෙවර ලබා ගැනීමට ඉඩ ඇතත් එහි තේරුම ඔවුන් තම උපායමාර්ගිය වරද්දා ගැනීම නිවැරදි කරගත් බව නොවේ. කෙටියෙන් කිවතොත් යුධ ජයග‍්‍රහණය අවස්ථාවේ මෙන්ම මේ මොහොතේද ජවිපෙ මේ රටට එරෙහි දේශපාලන බල කඳවුර නියෝජනය කරන පක්ෂයකි. එය එසේ වන්නේ මන්දැයි පෙන්වා දීම මෙම ලිපියේ අරමුණ නොවන මුත් මේ ලිපියෙන් මා අපේක්ෂා කළේ ඔවුන්ගේ එම මග වරද්දා ගැනීමේ ඉතාම තීරණාත්මක තැනක් වන යුධ ජයග‍්‍රහණයට එරෙහි වීම පිළිබඳ බොහෝ අයට අමතක වෙමින් තිබෙන කාරණා කීපයක් පාඨක අවධානයට ලක්කිරීමටය. එය මේ මොහොතේ ජවිපෙ වැරදි දේශපාලන ස්ථානගත වීම වටහාගැනීම සඳහාද කිසියම් අනුබලයක් සපයන්නක් වෙයි.

ජවිපෙ එක්තරා කාලයකදී බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පැරදවීම සඳහා මේ රට පෙළගැස්වූ ප‍්‍රබලතම බලවේගය ලෙස කටයුතු කළේය. එසේ වුවද ඔවුන් තම මග වරද්දා ගැනීමෙන් අනතුරුව ඉතා වේගයෙන් ඒ කි‍්‍රයාකාරීත්වය සපුරා කණපිට හැරුණු අතර යුද්ධයේ ඉතා තීරණාත්මක අවස්ථාවලදී ජවිපෙ කටයුතු කරන ලද්දේ ඊට දිරිදෙන බලවේගයක් ලෙස නොව යුධ ජයග‍්‍රහණයට වල කපන බලවේගයක් ලෙසය. ඔවුන්ගේ මේ කි‍්‍රයාකලාපය එම පක්ෂය බලවත් ලෙස ජනතාව අතරින් ප‍්‍රතික්ෂේප වීමට හේතුවූ අතර ඔවුන් අද දක්වාම ඒ වැරදි දේශපාලන ස්ථානගතවීම නිවැරදි කොට ගෙන නොමැති බවද කිවයුතුය. ඔවුන් අද මහින්ද දෙස පමණක් බලා සියලූ තීන්දු තීරණ ගනිමින්, මහින්දගේ වැරදි අතිශෝක්තියට නංවා රනිල් බලයට ගෙන ඒමේ නිවට ප‍්‍රයත්නයක් වෙනුවෙන් තම හෘද සාක්ෂිය කැපකොට ඇත්තේ ඒ නිසාය. වත්මන් ජනතා විමුක්ති පෙරමුණ මහින්දගේ රජයට එරෙහිව මතු කරන ඇතැම් සටන් පාඨ සාධාරණ ඒවා විය හැකි වුවත් ඔවුන්ට සැබෑ ප‍්‍රශ්නය ඇත්තේ මහින්දගේ වැරදි සමග නොවන බව මෙහිදී අප විසින් ගැඹුරින් වටහා ගත යුතුය. මහින්දගේ වැරදිවලදී පමණක් නොව මහින්ද මේ රටට ඓතිහාසික ජයග‍්‍රහණයක් අත් කර දෙන මොහොතේදී පවා හෘද සාක්ෂි කාරයන් ඊට එරෙහිව කටයුතු කළ ආකාරය අප විසින් කිසිවිටෙකත් අමතක කළ යුතු නැත. එහෙත් අද මේවා අමතකව යාම නිසා හෝ් නොදැනුවත් කම නිසා නැවතත් අනුර දිසානායකගේ ව්‍යාජ වංචා විරෝධී කතාවලට ආසක්ත වී සිටින යම් පිරිසක් රටේ සිටින බව සැබෑය. ඔවුන් විසින් අවසාන තීන්දුවට පෙර මේ බරපතල කාරණා දැඩිව අවධානයට ගතයුතුය.

මුලාවේ පියසටහන්

2002 -2004 යුගයේදී රනිල්ගේ සාම ප්‍රෝඩාව පැරදවීම සඳහා ජවිපෙ නියමු කාර්යය භාරයක් ඉටු කළේය. අනතුරුව 2005 මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් අනතුරුව ත‍්‍රස්තවාදය පැරදවීම සඳහා එතුමාගේ රජයට විශාල බලපෑමක් කිරීමටද ජවිපෙ ප‍්‍රමුඛ දේශහිතෛෂී බලවේග සමත්විය. එසේ වුවද 2006 -2007 වසරවල යුධ මෙහෙයුම් ආරම්භ වන කාලය වන විට ජවිපෙ ක‍්‍රමයෙන් බාල ආණ්ඩු විරෝධී භූමිකාවකට අවතීර්ණ වෙමින් සිටියේය. මෙය ඔවුන්ගේ උපාය මාර්ගික ගමන් මග පිළිබඳ පක්ෂ අභ්‍යන්තරයේ විවිධ ගැටුම් ඇතිවූ කාලයක්ද වූ අතර එහි ප‍්‍රතිපලයක් ලෙස 2008 වසරේදී විමල් ඇතුළු ජාතික මතවාදය නියෝජනය කළ පිරිසක් ජවිපෙන් බි`දී ගියේය. මේ අනුව 2007න් පමණ පසු කාලය වනවිට ජවිපෙ මුළුමනින්ම තමන්ගේ අතීතයට පටහැනි දේශපාලන ගමනක් කරා පල්ලම් බසින්නට පටන්ගෙන තිබිණි. මුලදී ත‍්‍රස්තවාදය පැරදවීමට පක්ෂව දැවැන්ත කාර්යය භාරයක් ඉටු කළද, යුධ මෙහෙයුම් තීරණාත්මක ලෙස ඉදිරියට යන අවස්ථාවේ ඊට එරෙහිව කටයුතු කිරීමට ජවිපෙ යොමු වූයේ එසේය.

ආණ්ඩු පෙරලීම

ජවිපෙ සෘජුවම යුද්ධය ප‍්‍රතික්ෂේප කළේ නැත. එසේ වුවද කතාවෙන් බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට එරෙහිවන අතරේම කි‍්‍රයාවෙන් ඊට උපරිම වශයෙන් පක්ෂ වීම ජවිපෙ නිත්‍ය පිළිවෙත බවට පත්ව තිබිණි. ඔවුන් එක් අතකින් ත‍්‍රස්තවාදය පැරදවිය යුතු බව පවසන අතරේම අනෙක් අතින් ත‍්‍රස්තවාදය පරදවන ආණ්ඩුව තමන්ගේ අංක එකේ සතුරා බවට පත් කර ගත්තේය. ඉතාම සරල කාරණා පවා අල්ලා ගනිමින් ආණ්ඩුව පෙරලා දැමීමට ඔවුන් ඝෝෂා න`ගන ලද්දේ අලූත් ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ කිසිදු විකල්පයක් තමන් සතුව නොමැති තත්ත්වයක්ද යටතේය. ඔවුන් අද පමණක් නොව යුධ ජයග‍්‍රහණය අතරතුරදී පවා අනියමින් එජාපයේ හා අන්තර්ජාතික බලවේගවල වුවමනාව ඉටු කරන ලද්දේ ඒ අන්දමිනි.
උදාහරණ -
”මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් බල කඳවුරක් අපි ගොඩනැංවිය යුතුයි. ඒ බලවේගය හදන්නේ යූඇන්පීයත් එක්ක නෙමෙයි. ඒ බලවේගය හදන්නේ මේ රට පාලනය කරන කා එක්කවත් නෙමෙයි. ඒක ගොඩනැගෙන්නේ මේ රට හදන්න පුළුවන් හැකියාව තිබෙන ජනතා බලවේග එක්කයි.”
ටිල්වින් සිල්වා සම්මුඛ සාකච්ඡුාවකදී
2008 ජුනි 15 ඉරිදා ලංකාදීප

2008 අයවැය
 
මේ මෝඩ හා රටේ පැවැත්මට එරෙහි ආණ්ඩු විරෝධය නිසාම ජවිපෙ කෙරේ වූ ජන ප‍්‍රසාදය වේගයෙන් පහත වැටිණි. යුධ ජයග‍්‍රහණයට අදාල අතිශය තීරණාත්මක කාලවකවානුවක් වූ 2008 වසරේ නොවැම්බර් මස පැවති අයවැය ඡුන්ද විමසීමේදී ජවිපෙ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ඡුන්දය භාවිත කළේය. ඒ උත්සාහය පරාජය කළ හැකි වූයේ එවකට විපක්ෂයේ සිටි විමල් වීරවංශ ඇතුළු ජානිපෙ මන්තී‍්‍රවරුන් 12 දෙනා ආණ්ඩුවට එක් වීම නිසාය.

සටන් පාඨ අහේනිය

යුද්ධයේ ඉතා තීරණාත්මක අවස්ථාවලදී ජවිපෙ සටන් පාඨ හා කොටි හිතවාදී බලවේගවල සටන් පාඨ අතර කිසිදු වෙනසක් නොවූ තරම්ය. එහිදී එජාපය, කොටි සංවිධානය, එන්ජී ඕ ජාලය, හා බටහිර ප‍්‍රජාව මහින්දගේ රජයට එරෙහිව පෙරට ගත් සියලූ සටන්පාඨ ජවිපෙ සටන් පාඨ බවටද පත්ව තිබිණි. ඔවුන් එවැනි සටන් පාඨ මත පදනම්ව ආණ්ඩුවට එරෙහිව ගතහැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම නොපිරිහෙලා අත්හදා බැලූහ. මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස, බඩුමිල ආදී මතුපිටින් සාධාරණ ලෙස පෙනෙන සටන් පාඨවලින් වසාගත් අසාධාරණ දේශපාලන මෙහෙයුමට ජනතා විමුක්ති පෙරමුණද දායක වූයේ එසේය.

බොරු වැපිරීම


මීළ`ගට මහින්දගේ ආණ්ඩුව කිසිදා යුද්ධය නිමා නොකරන බව සහ නිමා කළත් එය හුදු නිශ්පල දෙයක් බවට බලවත් මතයක් පතුරුවා හැරීමද මේ කාලය තුළ ජවිපෙ අංක එකේ රාජකාරියක් බවට පත්ව තිබිණි. සැබවින්ම මහින්දගේ ආණ්ඩුව යුද්ධය වරද්දා ගන්නේ නම් ජවිපෙ පිළිවෙත විය යුත්තේ එය හරි මගට ගැනීම සඳහා අවශ්‍ය බලපෑම එල්ල කරමින් ඊට දිරි දීමය. එසේ වුවද ජවිපෙ පිළිවෙත වූයේ ආණ්ඩුව යුද්ධය නොකරන බව ඉතා ආශ්වාදයෙන් යුතුව නැවත නැවත අවධාරණය කරමින් ත‍්‍රස්තවාදයට එරෙහිව පෙළගැසී තිබූ ජනමතය ව්‍යාකූල කිරීම සහ යුද්ධයට පෙර ආණ්ඩුව පෙරළා දැමීමට දිගින් දිගටම උත්සාහ දැරීමය. ජවිපෙ නොනිල පුවත්පත වූ ලංකා තුළින් මේ සඳහා බොහෝ උදාහරණ සපයා ගත හැකිය. ඒ දුෂ්ඨ මෙහෙයුම සඳහා විශාල වශයෙන් බොරුව භාවිතා කිරීමද ජවිපෙ නිත්‍ය පිළිවෙතක් බවට පත්ව තිබිණි. ඒ බොරු මොනවාදැයි මේ සටහන් කීපය දෙස බැලීමේදී පැහැදිලි වන අතර ප‍්‍රභාකරන්ගේ මරණය දක්වාම ඔවුහු ඒ කටයුත්ත නොපිරිහෙලා ඉටු කළෝය.
උදාහරණ
  • ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා විසින් ගෙන යන මෙහෙයුම අතරමග නවතා දමා කොටි සංවිධානය සම`ග සටන් විරාමයක් සඳහා වන යෝජනාවකට එකග වීම පිළිබඳව ආණ්ඩුව සලකා බලමින් සිටින බව විශ්වාස කටයුතු මූලාශයකින් වාර්තා වේ.
(ප‍්‍රධාන පුවත) ලංකා 2009 පෙබරවාරි 08
  • ඇමරිකා එක්සත් ජනපද හමුදාවක් ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීම ඉදිරියේදී විය හැකි තවත් හානියකි. ඉන්දියානු සාගර කලාපයේ සිය බල අරමුණු ඉටු කරගැනීමට සුරතලෙකු ලෙස භාවිතා කළ හැකි කොටි සංවිධානය පරාජය වීමත් සමග සිය හමුදා මෙහි ගෙන්වා ගැනීමට එක්සත් ජනපද පාලකයන්ට අවශ්‍ය වී තිබේ.
(දේශපාලන සටහන) ලංකා 2009 මාර්තු 29
  • කුමාර් රූපසිංහ ආණ්ඩුවේ ඇමතිවරු සමග එක්වී බලය බෙදන යෝජනාව සකස් කරන අතරේම ශී‍්‍ර ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සමග එක්වී විවිධ කටයුතුවල නිරතවෙයි.
....... මේ සඳහා පුළුල් බලය බෙදීමකුත් උතුරු නැගෙනහිර පළාත්වල සිය රූකඩ පාලනයකුත් ඔවුන්ට අවශ්‍යය. අද ඔවුන් කි‍්‍රයාත්මක වන්නේ ඒ වෙනුවෙනි. ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ ඊනියා දේශපේ‍්‍රමී ආණ්ඩුව සහ අධිරාජ්‍යවාදීන් අතර රහසිගත ගිවිසුමක්ද ඇත.
(දේශපාලන ලිපියකින්) 2009 මාර්තු 15 ලංකා
  • යුද්ධය අවසන් යැයි ආණ්ඩුව කරන ප‍්‍රකාශවලින් හැ`ගී යන්නේ ආණ්ඩුව කොටි සංවිධානයේ ඉහල පෙළේ නායකත්වය අත්අඩංගුවට ගැනීම හෝ විනාශ කිරීම අතහැර දමා භූමිය අල්ලා ගැනීමට පමණක් සීමාවී සිටින බවය.
(දේශපාලන සටහන) 2009 මැයි 03 ලංකා


බොරු සිරස්තල
 
සතිපතා පළකෙරුණු ව්‍යාජ දේශපාලන විග‍්‍රහයන් හා ගල් පැලෙන බොරු ප‍්‍රවෘත්තිවලට අමතරව ලංකා පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලයද අවසාන මොහොත දක්වාම සකස් වූයේ යුධ ජයග‍්‍රහණය සිහිනයක් හෝ පල රහිත එකක් බව හැ`ගී යන ආකාරයෙනි.
උදාහරණ
1. ඇමරිකානු මිසයිල පද්ධතියක් තී‍්‍රමලේට (2009 ජනවාරි 18 ලංකා)
2. බලය බෙදීමට ජනපති එක`ග වේ. (2009 පෙබරවාරි 1 ලංකා)
3. සටන් විරාමයකට ආණ්ඩුව සූදානම්. (2009 පෙබරවාරි 8 ලංකා)
4. යුද්ධය නිමාවීමට පෙර ශී‍්‍ර ලංකාවට සාමසාධක හමුදාවක්. (2009 පෙබරවාරි 22 ලංකා)
5. බි‍්‍රතාන්‍ය විශේෂ නියෝජිතයන්ට ආණ්ඩුව අනුමැතිය දුන් බව හෙළිවේ. (2009 මාර්තු 8 ලංකා)
6. ශී‍්‍ර ලංකාවේ මුහුදත් තෙල් නිධිත් ඉන්දියාවට (2009 අපේ‍්‍රල් 12 ලංකා)
7. ප‍්‍රභාකරන් ගලවා ගැනීමට ඇමරිකානු මෙහෙයුමක් (2009 මැයි 3 ලංකා)
8. තෙවැනි පාර්ශවයක ආධාරයෙන් ප‍්‍රභා, පොට්ටු, සුසෙයි ඇමරිකාවට (2009 මැයි 10 ලංකා)

ටිල්වින්ගේ ආගිය කතා

ජවිපෙ මූනිච්චාවට ඉතාම ව්‍යාජ ලෙස යුද ජයග‍්‍රහණයට පක්ෂ බව පෙන්වුවද අවසාන මොහොත දක්වාම ඔවුන්ගේ පරම බලාපොරොත්තුව වූයේ මහින්ද යුද්ධය ඇනගන්නා ආකාරය දැකීමය. යුධ ජයග‍්‍රහණයෙන් දින කීපයකට පෙර ටිල්වින් සිල්වා මහතා සිදුකළ පහත එන විකට ප‍්‍රකාශය ඒ සඳහා කදිම නිදසුනකි. සිවිල් වැසියන්ට සිදුවන හානි වැලැක්වීම සඳහා බර අවි ප‍්‍රහාර නතර කිරීම පවා ටිල්වින්ට එදා පෙනුනේ යුද්ධය නතර කිරීමක් ලෙසය.

”ආණ්ඩුව නිකුත් කරපු නිවේදනේ ඉතා පැහැදිලිව තිබෙනවා සංග‍්‍රාමික මෙහෙයුම් නවත්තන්න ආණ්ඩුව කටයුතු කළා කියලා. ඒ අතරේම බර අවි පාවිච්චි කරන්නේ නෑ කියලත් තියනවා. ඒ නිවේදනයේ තව තැනක තියනවා ආරක්ෂක හමුදාව සිවිල් වැසියන් මුදා ගැනීමට පමණක් සීමා කරනවා කියලා. ඉතාම පැහැදිලියි මේ කියන්නේ ත‍්‍රස්තවාදීන් මර්දනය කිරීමේ කටයුතු ආණ්ඩුව අතහැරියා කියලා.”
ටිල්වින් සිල්වා සම්මුඛ සාකච්ඡුාවකදී
-ලංකා 2009 මැයි 3

මෙහි දක්වා ඇත්තේ පක්ෂ, පාට, ජාති, ආගම්, භේදයකින් තොරව මේ රටේ සහ මනුෂ්‍යත්වයේ ජයග‍්‍රහණයක් වන ත‍්‍රස්තවාදය පැරදවීමේ තීරණාත්මක ප‍්‍රශ්නය හමුවේ ඊනියා හෘද සාක්ෂි කාරයන් පෙන්වූ තුච්ජ හැසිරීම පිළිබඳ උදාහරණ කීපයකි. මහින්දගේ වැරදි හමුවේ පමණක් නොව මහින්දගේ අතිශය නිවැරදි කටයුතු හමුවේ පවා ජවිපෙට මහින්ද සමග පැවතියේ එකම පරිමාණයේ විරෝධයකි. එය හුදු මහින්දගේ වැරදි නිසා ඇතිවන විරෝධයක් නොව පරගැතිකම හා එජාප හිතවාදය ඔස්සේ මහින්ද ගැන ඇතිවන මාරාන්තික වෛරයකි. දින කීපයකට පෙරද ලාල්කාන්ත ප‍්‍රකාශකළේ තමන්ට රනිල් සමග ගනුදෙනු කළ හැකි වුවත් මහින්ද සමග කිසිදු ගනුදෙනුවක් කතාවක් නැති බවය. අද අනුරලාගේ උකස් තැබූ හෘද සාක්ෂිය ගැන බලාපොරොත්තුවෙන් පසුවන පිරිස් මැතිවරණයට පෙර මේ කාරණා තරයේ අවධානයට ගත යුතුව තිබේ.

-ඉසුරු ප‍්‍රසංග
මූලාශ්‍ර - (බිදුණු වම් අත - ජවිපෙ නිරවි මර්දනයට පසුවදනක් කෘතිය- ඉසුරු ප‍්‍රසංග)

යුතුකම සංවාද කවය
www.yuthukama.com

7/29/2015

ත‍්‍රස්ත බලය ඉදිරියේ මිනිස්කම දණ ගැස්වූ දෙවසරක මතකය

කතෘ:යුතුකම     7/29/2015   No comments
රනිල්ගේ සාමය මෙහෙම නම් යහපාලනය කොහොම වෙයිද?

යහපාලනය නම්වූ මූලික සටන් පාඨයක් පෙරදැරි කරගත් වත්මන් ආණ්ඩුව බලයට පත්ව මාස හයක කාලයක් ගෙවී ගොස් තිබේ. එතරම් කෙටි කාලයක් තුළම ඔවුන් පසුගිය රජයට එරෙහිව පෙරට ගත් සියලූ සටන් පාඨ විහිළු බවට පත්ව ඇත්තේ කිසිවකු නොසිතන තරමේ වේගයකිනි. මේ තත්ත්වය තුළ යහපාලනයෙන් වෙනසක් අපේක්ෂා කළ බලවේග පවා අද අපේක්ෂා භංගත්වයට පත්ව තිබේ. එසේ වුවද මේ සියල්ලටම වඩා බරපතල කාරණය වන්නේ උතුරේ ප‍්‍රශ්නය ආශි‍්‍රතව රටේ පැවැත්ම පිළිබඳ බෙහෙවින් අහිතකර තීන්දු ගන්නා තැනකට වත්මන් ආණ්ඩුව මේ කෙටි කාලය තුළම පැමිණ සිටීමය. එය යහපාලන ආණ්ඩුව බිහිවූ දා සිටම පෙළ ගැසුනු උදාහරණ ඔස්සේ මනාව පැහැදිලි වන්නකි. මේ ගමන 2002 - 2004 යුගය නැවත සිහිගන්වන්නකි. ලේ ගංගාවකින් එතෙර වී අද පවතින සාමකාමී තත්ත්වයට පැමිණ තිබෙන මේ රට නැවත කොතනට ගෙනයාමට වත්මන් පාලකයන් සැරසේද යන ප‍්‍රශ්නය මෙහිදී පක්ෂ පාට හෝ ජාති භේදයකින් තොර ඕනෑම මනුෂ්‍යයෙක් තුළ මතුවිය යුත්තකි.

2001 වසර අවසානයේ එජාප ආණ්ඩුවක් බලයට පත්වීමෙන් අනතුරුව රනිල් වික‍්‍රමසිංහ මහතා 2002 පෙබරවාරි 22 වැනිදා කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට අත්සන් තබන ලද්දේය. ඒ මෙරට පාර්ලිමේන්තුවට පවා එකී ගිවිසුම පිළිබඳ ඇත්ත කරුණු වසන් කරමිනි. බල තුලනයේ උපරිම වාසිය කොටි සංවිධානයට හිමිකර දුන් මේ වංචාකාරී සාම ගිවිසුම ත‍්‍රස්තවාදීන් අත විනාශකාරී යුධ මෙවලමක් බවට පත් වීමට වැඩි කළක් ගත නොවීය. රටේ සවෛරීභාවයට අවමන් කරමින්, සටන් විරාමයේ අවම කොන්දේසි පවා අමු අමුවේ උල්ලංඝනය කරමින් කෙරෙන සාපරාධි කි‍්‍රයා රැුසකට කොටි ත‍්‍රස්තයෝ මේ කාලය තුළ දායක වූහ. රනිල් වික‍්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ මේ රටේ ඒකීයභාවය, ජාතික ආරක්ෂාව හා මනුෂ්‍යත්වයේ සියලූ වටිනාකම් බෙදුම්වාදී ත‍්‍රස්ත කල්ලියක් ඉදිරියේ පරදුවට තැබුණේ ඒ ආකාරයෙනි.
අද යහපාලනය නැමති විශාල බොරුවකට මුවා වී පස් මසක් තුළ රට විශාල අවුලකට ඇද දමා ඇති වත්මන් අගමැතිවරයා එදා තම දෙවසරක කෙටි පාලන කාලය තුළ රට මේසා බලවත් මානුෂීය අර්බුදයකට ඇද දමන ලද්දේ සාමය නැමති අති විශාල බොරුවකට මුවා වෙමිනි. අද යහපාලනය ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන බොහෝ ඊනියා සිවිල් සමාජ බුද්ධිමතුන් ආදී බොහෝ දෙනා එදා මේ සාම ව්‍යසනයට අනුබල සැපයූ සාහසිකයන් බව සිහි නගා ගැනීමද වැදගත්ය.

එසේ වුවද වාසනාවකට මෙන් රනිල් වික‍්‍රමසිංහගේ සාම මුලාවෙන් රට මුදාගෙන ඒ ගමන නතර කරන්නට එදා මෙරට ජාතික බලවේග සමත් විය. ඉන් වසර කීපයකට පසු ත‍්‍රස්තවාදයෙන් රට මුදාගෙන සැබෑ සාමයක් කරා ඒමට මේ රටට හැකි වන්නේ එහි ප‍්‍රතිපලයක් වශයෙනි. නමුත් ඉතා වැදගත් දේ පවා බොහෝ ඉක්මනින් අමතක කර දමන ජාතියක් ලෙස අපේ නූතන හැසිරිම බෙහෙවින් ඛේදජනකය. එදා එකී ජාතික බලවේග අතර මුල් තැන ගත් ජවිපෙ වැනි ව්‍යාපාර අද එජාපයේ ශාඛා සමිති බවට පත්ව තිබේ. රටේ මෑත ඉතිහාසය ගැනවත් නොදැන ෆේස්බුක් දේශපාලනයේ නියැලෙන ගැටවුන්ගේ භූමිකාව සහ ජවිපෙ වත්මන් භූමිකාව අතර අද වැඩි වෙනසක් නැත. අමතක වූ අතීතයට අයත් මේ වැදගත් කාරණා නැවත සිහිපත් කරගැනීමට අද අපට සිදුව ඇත්තේ ඒ නිසාය. සාම ව්‍යසනය පැරදවූ අපි යහපාලන ව්‍යසනය ඔස්සේ රට ලේ විලක් කර ගන්නට පෙර මේ කාරණා ගැඹුරින් අවධානයට ගත යුතුව තිබේ. මෙහි සැකෙවින් දක්වා ඇත්තේ සටන් විරාම ගිවිසුමෙන් පසු රටේ පෙළගැසුනු මූලික සිදුවීම්වල සාරාංශයකි.

  • -සන්නද්ධ කල්ලියක් ලෙස පැවති කොටි සංවිධානයට වෙනම භූමියක්, හමුදාවක්, පොලිසි බැංකු උසාවි ආදිය සහිත පරිපාලන යාන්ත‍්‍රණයක් සහිත වෙනම රාජ්‍යයක තත්ත්වයට ඔසවා තැබීමට සටන් විරාමය විශාල පිටුබලයක් විය. බැංකු, පොලීසි, උසාවි, මෙන්ම නව කොටි කඳවුරු, බංකර, ගුවන් පථ, සන්නිවේදන මධ්‍යස්ථාන ආදිය සටන් විරාමය යටතේ කඩිනමින් ස්ථාපිත කෙරිණි.
  • -කොටි තහනම, හදිසි නීතිය සහ ත‍්‍රස්ත මර්දන පනත් ඉවත් කරගැනීමට සාමය ඉවහල් වූ අතර අත්අඩංගුවේ පසුවූ ත‍්‍රස්තවාදීන් රැුසකට නිදහස ලැබිණි.
  • -කොටින්ගේ ශක්තිය තර වීමට සමගාමීව හමුදා ශක්තිය හකුළුවනු ලැබීය. හමුදාවට නව සෙබළුන් බඳවා ගැනීම සීමා කළ අතර 2002 මැයි මාසයේ සිට ගිවිසුමට අනුව උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ආරම්භ කෙරිණි. ඒ වනවිට කොටි සංවිධානය විසින් සටන් විරාම නිරීක්ෂණ කමිටුවට යෝජනා කළ ආකාරයට ඉවත් කිරීමට නියමිත කඳවුරු සංඛ්‍යාව 288ක් වූ අතර ඉන් 81ක් රජයේ ගොඩනැගිලිවල පිහිටුවා තිබිණි.
  •  -2002 මාර්තු 19 වැනිදා පළමු ”පොංගු තමිල්” උත්සවය වව්නියාවේදී පැවැත්වූ අතර අනතුරුව එවැනි උත්සව උතුරු නැගෙනහිර දෙපළාත තුළ සුලබ දසුනක් බවට පත්විය. පාසැල් සිසුන් ඇතුළු පිරිස් මේවාට බලාත්කාරයෙන් සහභාගී කරවූ අතර කොටි සංවිධානය පාසැල්වලට කඩා වැදී දේශන පැවැත්වීම් වීඩියෝ දර්ශන ප‍්‍රදර්ශනය කරවීම් ආදියද බහුලව වාර්තා විය.
  • -2002 අගෝස්තු 20 වැනිදා කොටි ”දේදුන්න” නමින් සිංහල පුවත්පතක් ආරම්භ කළේය.
  • -2003 වසරේ කොටි විසින් අන්තර් වාර පාලනයක් ඉල්ලා සිටිනු ලැබීය. රටේ මුළු භූමියෙන් තුනෙන් එකක්, මුහුදෙන් තුනෙන් දෙකක් ඔවුන් විසින් යෝජනා කරන ලද අන්තර් වාර ස්වයං පාලන අධිකාරියට අයත් විය.
  • -දේශපාලන කටයුතුවල නාමයෙන් රජයේ පාලන ප‍්‍රදේශවල පවා කොටි කාර්යාල විවෘත කෙරුණු අතර ඒ හරහා රජයේ බල ප‍්‍රදේශවලට පවා නිදහසේ ඇතුල්ව සාහසික කි‍්‍රයාවල නිරත වීමට ත‍්‍රස්තවාදීන්ට නිදහස ලැබිණි. කොළඹ ඇතුළු රටේ විවිධ ප‍්‍රදේශ කරා කොටි චරපුරුෂ ජාලය, ඝාතන කල්ලි සහ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ව්‍යාප්ත කෙරිණි. මේ හරහා රටේ ජාතික ආරක්ෂාවට අදාල වැදගත් තොරතුරු බොහොමයක් අනාවරණය කර ගැනීමට ත‍්‍රස්තවාදීන්ට හැකියාව ලැබිණි.
  • -සාමයට මුවාවෙමින් තම මිල්ටරි බලය උපරිම වශයෙන් වර්ධනය කර ගැනීමට කොටි සංවිධානය සූක්ෂම විය. එකොලොස් වතාවක් නවීන අවි ආයුධ ගෙන්වා තිබූ අතර සටන් විරාම සමයේදී කොටි සාමාජික සංඛ්‍යාව දසදහසකින් පමණ ඉහල ගිය බව ජනාධිපතිනියගේ මාධ්‍ය ප‍්‍රකාශක හරීම් පීරිස් මහතා පුවත්පතකට(2003.1.23 දිවයින) ප‍්‍රකාශ කර තිබිණි. කොටි සංවිධානය මේ ආකාරයට බලවත් වූයේ සටන් විරාම ගිවිසුමේ කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය කරමින් වීමද විශේෂ කාරණයකි. 2003 වසර වනවිට පමණක් කොටි විසින් සටන් විරාමය කඩ කළ අවස්ථා 1955ක් වාර්තා වූ අතර මේ කාලය තුළ 3500 වතාවක් ඔවුන් ගිවිසුම කඩ කොට තිබිණි.
  • -කොටින්ගේ ප‍්‍රධාන ආදායම් මාර්ග වූයේ කප්පම් ගැනීම, කොල්ලකෑම් හා බදු එකතු කිරීම්ය. කොළඹ සහ වෙනත් රජයේ පාලනය පැවති ප‍්‍රදේශවල පවා කප්පම් ගැනීම සිදු කෙරුණු අතර 2002 ජුනි 25 වැනිදා සුදර්ඔලි පුවත්පතේ පළ කළ දැන්වීමක් ම`ගින් ඔවුන් සිය බදු ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශයට පත්කර තිබිණි. 2001 අගභාගයේ සිට 2004 අගෝස්තු දක්වා කාලය තුළ රුපියල් කෝටි 113ක පමණ මුදලක් කප්පම් සහ බදු ලෙස අය කර ගැනීමටත්, වාහන 89ක් කොල්ලකෑමටත් කොටි සංවිධානය සමත්ව තිබූ බව 2004.9.4 වැනිදා දිවයින පුවත්පත වාර්තා කළේය.
  • -2004 වසරේ මැද භාගය වනවිට කොටි පොලීසි 26ක් බැංකු 8ක් උතුරු නැගෙනහිර ප‍්‍රදේශ තුළ පිහිටුවා තිබිණි.
  • -වඩා අවධානයට ලක් කාරණයක් වූයේ කුඩා දරුවන් පැහැරගෙන යාමය. සෑම දෙමළ පවුලකින්ම එක් දරුවෙක් කොටි සංවිධානයට ලබා දිය යුතු බවට දැඩි නීතියක් පනවා තිබූ අතර එය කඩ කරන්නන්ට බරපතල ද`ඩුවම් ලැබිණි. ලමුන් භාරදිය නොහැකි නම් ඒ වෙනුවට දේපල, නිවාස හෝ මුදල් ලබාදිය යුතුවූ අතර මේ හේතුව නිසා දෙමළ පවුල් විශාල වශයෙන් කොටි ප‍්‍රදේශ අතහැර පලායන්නට වූහ. හමුදා පාලන ප‍්‍රදේශවලට පවා ඇතුල් වී එසේ අතහැර ගිය පිරිස්වලට ද`ඩුවම් පැමිණවීමට කොටි කටයුතු කළ අතර මේ ගැහැට ඉවසා ගත නොහැකි වූ දෙමාපියෝ සිය දිවි නසා ගත්හ. කොටි විසින් ලමුන් 5000ක් පමණ පැහැරගෙන ඇති බව යාපනයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 2002 වසරේ නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
  • -හමුදා පාලන ප‍්‍රදේශ තුළ 120 වතාවක් බලාත්කාරයෙන් ඊළාම් කොඩිය එසවීමට එල්ටීටීඊය කටයුතු කර තිබූ අතර හමුදා පාලන ප‍්‍රදේශ තුළද ජාතික කොඩිය එසවීම හා ජාතික ගීය ගායනා කිරීම තහනම් කෙරිණි. සිංහල ප‍්‍රදේශවල පවා දෙමළ බසින් වැඩ කිරීමට නියෝග පනවන ලදී.
  • -කොටින්ට විශාල තර්ජනයක් වී තිබූ දෙමළ ඔත්තුකරුවන් සහිත දිගු දුර මෙහෙයුම් බලකායේ සාමාජිකයන් 28දෙනාම සටන් විරාම සමය තුළ ඝාතනයට ලක්විය. මිලේනියම් සිටි පාවාදීම නිසා හෙළිවූ තොරතුරු මත පදනම්ව මෙවන් බොහෝ ඝාතන සිදුකරන ලදී.
  • -මේ සියල්ල අතරේ කොටි විසින් විරුද්ධ දේශපාලන කි‍්‍රයාධරයන්, හමුදා ඔත්තුකරුවන්, හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් ඝාතනය කරනු ලැබීය. කොටි පිස්තෝල කල්ලිය සහ මරාගෙන මැරෙන ප‍්‍රහාරකයන් අගනුවර ඇතුළු ප‍්‍රදේශ ගණනාවක ව්‍යාප්ත විය. 2004 සැප්තැම්බර් විසි වැනිදා වනවිට ඊපීඞීපී සාමාජිකයන් 157ක්, හමුදා නිළධාරීන් 59ක් ඇතුළු පුද්ගල ඝාතන 350ක් සිදු කිරීමට ත‍්‍රස්තවාදීන් සමත්ව තිබිණි.

මෙහි දක්වා ඇත්තේ මූලික කාරණාවල සාරාංශයකි. බරපතලම කාරණය වන්නේ මේ සියල්ල සිදුවූයේ ඊනියා සාම වැඩපිළිවෙලක, පූර්ණ රාජ්‍ය රැුකවරණය යටතේ වීමය. රටේ අද සිදුවෙමින් පවතින බොහෝ දේ වටහා ගැනීමට මේ අතීතය අපට සපයා දෙන පිටුබලය අති මහත්ය. අද රනිල්ගේ යහපාලනය වෙනුවෙන් මහින්දට එරෙහි වන සිවල් සමාජ උගතුන් එදා මේ අපරාධ සාධාරණීකරණය කළේ මනුෂ්‍යත්වයේ අවම වටිනාකම් පවා ඩොලර් කුට්ටි හමුවේ නිර්දය ලෙස උගසට තබමිනි. රනිල්ගේ සාම වෙස් මුහුණ මෙවැන්නක් නම් රනිල්ගේ යහපාලන වෙස්මුහුණ කෙබන්දක්දැයි වටහා ගැනීමට තවත් අමුතු උදාහරණ වුවමනා නොවේ.

-ඉසුරු ප‍්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com

7/15/2015

කෙම්මුර වදන 2015 ජූලි 15

කතෘ:යුතුකම     7/15/2015   No comments
ජූලි 15 ජූලි 15 වැනිදාට පෙර විධායකය අහෝසි කරන බවට චන්ද්‍රිකා රටට පොරොන්දු වී වසර විස්සකි. තවමත් විධායක විහිළුව මැතිවරණවලදී නැතිවම බැරිය. වසර විස්සකට පසුව පික් පොකට් අගමැතිවරයා අගමැතිකම පික් පොකට් ගසන ලද්දේද විධායක විහිළුවට මුවා වෙමිනි.

බිත්තියක හර්ද සාක්ෂිය

දේශයේ හෘද සාක්ෂිය යනුවෙන් ජවිපෙ රට පුරා පෝස්ටර් අලවා තිබේ. එහෙත් ඔවුන්ට දේශයේ හෘද සාක්ෂිය වීමට ඇති එක් බාධාවක් වන්නේ හෘද සාක්ෂියක් නොමැති තමන්ගේම නායකත්වයය. වසර ගනනාවක් පුරා ජවිපෙ පෝස්ටර් උසුලා සිටි බිත්තිවලට අත් පා ලැබුණේ නම් ඔවුන් ජවිපෙ සාමාජිකයන් සමග පැමිණ ඇවිදින බිත්ති වැනි එහි නායකයන්ට හදවත් ලබා දීමට පෙරමුණ ගනු නොඅනුමානය.

ජවිපෙ කැපකිරීම්

ජවිපෙ යනු නිතර කැපකිරීම් ගැන කතා කරන පක්ෂයකි. එහෙත් ඔවුන් කිසිදු කැපවීමක් නොකරන එකම කටයුත්ත වන්නේ තමන්ට වැරදී ඇත්තේ කොතනද? තමන් හැමදාම එකම තැන සිටින්නේ කුමක් නිසාද? යන කාරණා සිහි බුද්ධියෙන් විමසා බැලීමය. කවදා හෝ ඒ කැපකිරීම කළ නොහැකි නම් කැපකිරීම් පරිත්‍යාග ගැන කරන කෙළවරක් නැති නන් දෙඩවීම් බීරි අලියාට යහපාලන වීණා වැයීම බදු කටයුත්තක් වන බව නොකිව මනාය.

චම්පිකගේ අමුඩය

රනිල්ගේ නවලිබරල් අතීසාරයට ජාතිකවාදී අමුඩයක් ගැසීමට පාඨලී චම්පික රණවක ඉදිරිපත්ව තිබේ. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී චම්පිකගේ ජාතිකවාදී අමුඩය කීතු කීතු වී ගිය බැවින් මේ දිනවල රනිල් වෙනුවෙන් ජාතිකවාදී පොල් මුඞ්ඩක් හෝ සොයා ගැනීමට චම්පික දිවා ? වෙහෙසෙමින් සිටින බව හෙළ උරුමයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

බලය සහ බලය

රට හැදීම සඳහා බලය අවශ්‍ය බව ඇත්තක් වුවද බලය හැදීම සඳහා රට අවශ්‍ය යැයි කල්පනා කිරීම විනාශයට හේතුවකි. රට උගසට තබා බලය උපයා ගත හැකි වුවද එසේ උපයා ගන්නා බලය ඉතා ඉක්මනින් නැති නාස්ති වී යයි. අවාසනාවට කාරණය වන්නේ මහින්ද ඇතුළු අපේ බොහෝ දේශපාලන නායකයන් මේ කාරණය වටහාගැනීමට අසමත් වීමය.

විවා කියුබා… විවා පිදෙල්

පිදෙල් කස්ත්‍රෝ යනු යම් අධිකාරීවාදීත්වයක්ද සහිතව දිගටම බලයේ රැදී සිටි නායකයකු වුවද ඔහු ඒ බලය භාවිතා කළේ තමා උදෙසා නොව රටේ සුභ සිද්ධිය උදෙසාය. ඇමරිකාව සිය දහස් වතාවක් ඔහුව ශාරීරිකව මෙන්ම දේශපාලනිකවද ඝාතනය කිරීමට උත්සාහ කළේය. කස්ත්‍රෝගේ පාලනය පෙරළා දැමීම සඳහා නොයෙක් උපක්‍රම අත්හදා බැලූවේය. 1959 සිට මේ දක්වාම ඇමරිකාව ඒ සඳහා වසරකට විශාල මුදලක් විය පැහැදම් කරන්නේ මයාමිවල වෙසෙන කියුබානු ඩයස්පෝරාවේද නොමද සහාය ඇතිවය. ඒ අතින් කියුබාව අපට වඩා බොහෝ බලවත් ලෙස බටහිර විජාතික කුමන්ත්‍රණවලට මුහුණ දෙන රාජ්‍යයකි. එහෙත් කස්ත්‍රෝගේ අභිමානවත් දේශය තවමත් නොනැසී පැවතීමට එක් හේතුවක් වන්නේ කස්ත්‍රෝ බලයේ ස්වභාවය හො`දින් දන්නා මුත්, එහි නොඇලූනු සරල අල්පේච්ඡ නායකයෙක් වීමය.
 

චේ සහ මහින්ද

චේ ගුවේරාගේ ඡායාරූපයක් බිත්තියේ අලවාගෙන සිටින ඔබ මහින්ද වෙනුවෙන් පෙනී සිටින්නේ මන්දැයි මිත්‍රයෙක් මගෙන් විමසා සිටියේය. මට පිළිතුරු තුනක් තිබිණි. එකක් වන්නේ චේ ගුවේරා වැනි නායකයකු ලංකාවේ නොසිටීමය. අනෙක චේ ගුවේරාගේ පොටෝ අලවා ගනිමින් රනිල් දිනවීම කළ නොහැක්කක් නිසාය. චේ ගුවේරා ලංකාවේ ජීවත් වූයේ නම් තමන්ට තීරණාත්මක දෙයක් කළ නොහැකි මොහොතක චේ ගුවේරාගේ සහයෝගයද මහින්දට මිස මෛත්‍රී වෙස්ගත් රනිල්ට හිමි නොවන බව මා දන්නා නිසාය.

නිදහසද? කෙවිටද?

ලාංකේය පන්නයේ යූඇන්පී වාමාංශිකයන් කියුබාවේ ජීවත් වුයේ නම් ඔවුන් ඒකාධිපති කස්ත්‍රෝ රෙජීමයට එරෙහිව ඇමරිකාව සහ එන්ජී ඕ කාරයන් සමග එක්වී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, නිදහස් සාධාරණ ඡන්ද ආදිය ඉල්ලා උද්ඝෝෂණ අරඹනු ඇත. ඇමරිකාවෙන් කියුබාවට කිසිදු තර්ජනයක් නැති බවත් එය ක්‍රස්තෝ විසින් මවා ඇති බොරු බිල්ලෙක් බවත් කියුබානු ජනතාවට පැහැදිලි කර දෙනු ඇත. වාමාංශිකයන් අරගල කළ යුත්තේ සමාජවාදය උදෙසා වුවද ලංකාවේ සමාජවාදීන් අරගල කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදෙසාය. නිකම්ම ප්‍රජාතන්ත්‍රවාදයද නොව ඕනෑම ගොනෙකුට ඕනෑම ගොන් වැඩක් කිරීමට නිදහස දෙන ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසාය. ඒ නිසාම ඒ වර්ගයේ ගොනුන් පාලනය කිරීම සඳහා බලය නැමති කෙවිට නිසි පරිදි හසුරුවන නායකයෙක් අපට අවශ්‍ය වෙයි. නිදහස පමණක් නොව කෙවිටද වැදගත්ය. ලංකාව වැනි රටක් ගොඩනැගීමට නම් නිදහසට වඩා කෙවිට අවශ්‍ය වන බව දින දින පෙළගැසෙන සිදුවීම් විසින් අපට පැහැදිලි කර දෙයි.
 

-ඉසුරු ප්‍රසංග 
උපුටා ගැනීම Lanka Lead News වෙබ්අඩවියෙන්

7/08/2015

කෙම්මුර වදන – 2015 ජූලි 8

කතෘ:යුතුකම     7/08/2015   No comments
උපමා කතා

සෑම සාහිත්‍ය සංස්කෘතියකම පාහේ උපමා සහ උපමා කතාවලට වැදගත් තැනක් හිමිව තිබේ. උපමාවක් යනු කිසියම් සිද්ධි දාමයක් සහ ඊට සෘජු සම්බන්ධයක් නැති තවත් සිද්ධි දාමයක් අතර අනුරූපීතා මතු කර පෙන්වන ප්‍රබල සාහිත්‍යමය ව්‍යවහාරයකි. බැලූ බැල්මට එකිනෙකට අසම්බන්ධිත විවිධ විශම වස්තු හා සිද්ධි අතර පුදුමාකාර අනුරූපීතාවක්, ඒකත්වයක් පැවතීම අප වෙසෙන ලෝකයේ නිසඟ ස්වභාවයකි. මේ ස්වභාවය නිසාම යම් සංකීර්ණ හා පැටලිලි සහගත අදහසක් නිරවුල්ව, සංක්ෂිප්තව, ප්‍රබලව හා සිත් කාවදින ලෙස ඉදිරිපත් කිරීම සඳහා උපමා සහ උපමා කතා බහුලව යොදා ගැනේ. උපමාවක අර්ථයටද පූර්ව නිශ්චිත සීමාවක් නොපවතින අතර එය සන්දර්භය අනුව බහු අරුත් මතුකරමින් බස් වහර තුළ සජීවීව ක්‍රියාකාරී වන්නකි. උපමා කතාවලට ඉතා දිගු ආයු කාලයක් හා උත්තර් ඓතිහාසික අර්ථමය ගාම්භීරත්වයක් හිමිව ඇත්තේද මේ නිසාය. ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන්නා සේ යන පිරුළ වර්තමාන සන්දර්භය තුළ රනිල්ගෙන් යහපාලනය ඉල්ලන්නා සේ වැනි අරුතක් සහිතව භාවිත කළ හැකිවීම ඒ පිළිබඳ එක් සරල උදාහරණයකි.

ඊසොප්

ඊසොප් යනු අප අසා ඇති ජනප්‍රියම හා පැරණිම උපමා කතා කාරයෙකි. ඊසොප් ගැන කිසිවක් නොදන්නා අය පවා ඔහුගේ කතා අසා ඇතුවාට සැක නැත. නරියා සහ කේජු කෑල්ල, හාවා සහ ඉබ්බාගේ ධාවන තරගය, බඳුනකට ගල් කැට පුරවා කපුටෙක් දිය පවස නිවාගත් ආකාරය, මගේ මතකයට එන ඊසොප්ගේ උපමා කතා කීපයකි. ළමා කාලයේදී මේ කතා අසන විට ඒවා අපේ රටේ කතාන්දර වන්නට ඇතැයි මා සිතා සිටියද ඒවායේ ඉතිහාසය මට සිතාගත නොහැකි තරම් පැරණිය. ඊසොප් යනු ක්‍රිස්තු පූර්ව 620 සහ 560 අතර කාලය තුළ පුරාණ ග්‍රීසියේ ජීවත් වූ වහලෙක් බව කියැවේ. ඔහු සහ ඔහුගේ බව සැලකෙන කතා ගැන මති මතාන්තර රාශියකි.

කොටි ආ කථාව

කොටි ආවෝ… යැයි නිකරුණේ කෑ මොර දෙමින් ගම්මුන් සමග විහිළුවට ගිය ගොපල්ලාගේ කතාව කවුරුත් අසා ඇති එකකි. ඔහුගේ විහිළුවට දින කීපයක් රැවටුනු ගම්මු කොටියෙක් නැති බව දැන කෝපයෙන් ආපසු ගියෝය. එහෙත් ඇත්තටම කොටියකු ආ දිනයේ ගොපල්ලාගේ පිළිසරණට කිසිවෙකු නාවේ ගොපල්ලාගේ බොරු විහිළුව ගම්මුන්ට තිත්ත වී තිබූ බැවිනි. එහි ප්‍රතිපලය වූයේ බාධාවකින් තොරව ගොපල්ලාවත් ගව රැලත් විනාශ කරන්නට කොටියාට හැකියාව ලැබීමය.

කොටියා සහ විජාතික කුමන්ත්‍රණ

ගොපල්ලා කොටි ගැන කියමින් කෑ ගැසුවාක් මෙන් මහින්දගේ ආණ්ඩුව නිතර කෑ කෝ ගසන ලද්දේ විජාතික බලවේග ගැන කියමිනි. ආණ්ඩුව දිවා රෑ විජාතික කුමන්ත්‍රණ ගැන කියමින් ජනතාව සමඟ විහිළුවට යාමේ ප්‍රතිපලය වුයේ ඇත්තටම විජාතික කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන අවස්ථාවලදී මහින්ද බේරා ගැනීමට ජනතාව නිසි අයුරින් මැදිහත් නොවීමය.
කොටි එන බව කියමින් ගොපල්ලා බොරුවට කෑ මොර දුන් බව ඇත්තකි. එහෙත් එහි තේරුම කොටියාගෙන් ගොපල්ලාට තර්ජනයක් නොමැති බව නොවේ. විජාතික බලවේග ගැන කියමින් ආණ්ඩුවද බාල සෝබනකාර ඝෝෂා නැගූ බව ඇත්තකි. එහෙත් එහි තේරුම මේ රටට විජාතික බලවේගවල තර්ජනයක් නොපවතින බවද නොවේ.

කොන්ත්‍රාත් කාරයන්ගේ උපමා

කොටියා යනුවෙන් භයානක සතෙක් ලෝකයේ නැත. හිටියත් ඌ කියන තරම් නපුරු නැත. ඉඳහිට හෝ ඌ නපුරු වන්නේ හේතු ඇතිවය. විශේෂයෙන් අප වැනි කැහැටු ගොපල්ලන් ගවයින් භක්ෂණය කිරීමට කොටියාට කිසිදු වුවමනාවක්ද නැත. කොටියා ගවයන්ට ආදරය කරයි. කොටියාගේ හිත දිනාගෙන ඌ සමග සාමයෙන් විසීම අපේ වගකීමකි. කොටියා නපුරු සතෙක්ය යන්න විගඩම්කාරී ගොපල්ලන්ගේ අධිපති දෘෂ්ටිවාදයකි. කථිකාමය හෙජමොනික ගොඩනැංවීමකි. ගොපල්ලා තමන්ගේ කුරිරුකම් සඟවා ගන්නේ කොටියෙක් පිළිබඳ බොරු බිල්ලෙක් මවා පෙන්වීමෙනි.
මා ඉහත සඳහන් කරන ලද්දේ මෙරට ඊනියා විකල්ප පණ්ඩිතයන් විජාතික බලවේග ගැන දරන මතය කොටියාගේ උපමා කතාවට ආදේශ කළහොත් කීමට සිදුවන දෑය. මෙරට ඊනියා විකල්ප උගතුන්ගේ ලොකුම කොන්ත්‍රාත්තුව වී ඇත්තේ ලංකාව වැනි කුඩා කාලකන්නි රටකට විජාතික අධිරාජ්‍යවාදී බලවේගවල කිසිදු තර්ජනයක් නොමැති බව දිවා රෑ අපට අවධාරණය කිරීමය. එදා මෙදා තුර මේ පිරිස මේ රට තුළ ඉටුකරමින් සිටින එකම මූලික කාර්යයභාරය වන්නේ කොටියාගේ තර්ජනයක් නැතැයි අපට පවසමින් කොටියාගේ ගොදුරුකරණ ක්‍රියාවලියට මතවාදී පහසුකම් සපයාදීමය. මහින්දගේ දේශපාලන විගඩම්වලට වඩා පරගැති උගතුන්ගේ ප්‍රබුද්ධ මැදිහත්වීම් රටට හානිකර වන්නේ ඒ නිසාය. උපමා කතාවල මා මුලින් කී අර්ථමය ගාම්භීරත්වයට මෙයම අපූරු උදාහරණයක් නොවේද?

අවසානය

උපමාවකින්ම අවසාන කරන්නේ නම් රටට හා මනුෂ්‍යත්වයට ආදරය කරන මිනිසුන්ගේ වගකීම වන්නේ ගොපල්ලන්ගේ මෝඩකම් මෙන්ම කොටියාගේ නපුරුකම්ද මැදහත්ව වටහා ගැනීමය.

ඉසුරු ප්‍රසංග

[මුල් සටහන www.lankaleadnews.com වෙබ් අඩවියෙන් }

3/20/2015

දෙවියන් නැති ලොවකින් ගොඩබට ආගන්තුකයා - පීකේ

කතෘ:යුතුකම     3/20/2015   No comments
පීකේ යනු මේ දිනවල ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක ආදායම් වාර්තා බිද හෙලමින් තිරගත වන අපූරු හින්දි චිත‍්‍රපටයකි. අමීර් ඛාන් ප‍්‍රධාන චරිතයට පණ පොවන මේ චිත‍්‍රපටය රාජ් කුමාර් හිරානිගේ අධ්‍යක්ෂණයකි. රාජ් කුමාර් හිරානි යනු චිත‍්‍රපට හතරක් නිමවා අති විශාල පේ‍්‍රක්ෂක අවධානයක් හා සම්මාන විශාල ප‍්‍රමාණයක් හිමි කරගත් නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකි. සාටෝපය උතුරන බොලිවුඞ් සිනමා ශරීරයට හිසක් ලබාදීමේ උත්සාහය ඔහුගේ සිනමාවේ වෙසෙස් ලකුණක් වෙයි. මේ බව වඩා හොඳින්ම දැකගත හැකි වන්නේ පීකේට පෙර ඔහු අතින් නිර්මාණය වූ තී‍්‍ර ඉඩියට්ස් නම් අපූරු චිත‍්‍රපටය තුළිනි. මේ සටහනේ අරමුණ වන්නේ පීකේ පිළිබඳ දෘෂ්ටිමය ප‍්‍රශ්න මතුකරන අතරේම එහි සන්දර්භයමය විශේෂතා පිළිබඳ මති මාත‍්‍රයක් ඉදිරිපත් කිරීමය.

නග්න බේබද්දාගේ වික‍්‍රම

අහිංසක මිනිසුන්ගේ දෛනික දුක් ගැනවිලි විකුණා කමින් මුදල් උපයන දේව තැරැව්කරුවන් දරුණු උපහාසයකට ලක් කිරීම මේ චිත‍්‍රපටයේ පළමු මතවාදීමය අභිලාෂය වෙයි. ඊට අමතරව ආගමික  සංස්කෘතික හා වාර්ගික ආදී වශයෙන් මිනිසා තුළ ඇති බෙදීම් ප‍්‍රශ්න කරන මේ සිනමා කෘතිය තුළ ඇත්තේ ඉන් ඔබ්බෙහි පවතින උත්තර මනුෂ්‍යත්වයක් ගැන සිහිනයකි.

මේ අදහස රසවත් ලෙස ඉදිරිපත් කෙරනුයේ පිටසක්වල ජීවියකු මුල් කරගත් අපූරු කතාවක් ඔස්සේය.පෘථිවියට ගොඩබසින මේ පිටස්තරයා (අමීර් ඛාන්) රූපයෙන් මෙලොව වැසියන්ට සමානය. එහෙත් ඔහු සිටින්නේ නිරුවතිනි. තමන්ගේ ලෝකය හා පණිවිඩ හුවමාරුවට භාවිත කරන දුරස්ථ පාලකය ඔහු සතු එකම වස්තුව වන අතර ඔහු පොළවට පා තැබූ පළමු මොහොතේම එය කිසිවෙකු විසින් පැහැර ගනු ලබයි. අනතුරුව මේ පිටස්තරයා මෙලොව ජීවිතයට දුකසේ හැඩගැහෙමින් තම දුරස්ථ පාලකය සොයාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරයි. ඔහුට දෙවි පිහිට පැතීමට සිදුවන්නේද තම දුරස්ථ පාලකය සොයා ගැනීම සඳහාය. මේ දෙවියන් සොයා යන ගමනේදී ඔහු නොයෙක් වංචාකරුවන්ට හසුවී අකරතැබ්බ රාශියකට මුහුණදෙයි. චිත‍්‍රපටයේ මුළු කතාවම අතිශය හාස්‍යෝත්පාදක ලෙසගෙතී ඇත්තේ මෙකී මූලික ප‍්‍රස්තූසය වටාය. ඔහු දෙවියන් රහිත ලෝකයකින් ගොඩබට ආගන්තුකයෙකි. මිනිස් ලෝකයේ ඇති දෘෂ්ටිවාදී බලපෑම්වලට හසු නොවූ ආගන්තුකයාට මේ ලොවට ගොඩබැසීමෙන් පසු මුහුණ පාන්නට සිදුවන අතෝරයන් ආශ‍්‍රයෙන් මෙලොව පවතින දෙවියන්, ආගම් හා සංස්කෘතික නිර්මිතයන් ප‍්‍රශ්න කිරීම සිනමාකරුවාගේ අභිලාෂය වී තිබේ. පිටසක්වල වැසියාගේ අසාමාන්‍ය හැසිරීම් නිසා මෙලොව වැසියන්ට ඔහු පෙනෙන්නේ බීමතකු ලෙසය. පීකේ යනු බීමත්ව සිටින බව (බීලා ඉන්නේ) හැඟවීම සඳහා හින්දියේ එන කෙටි වහරකි.

පීකේ චිත‍්‍රපටයේ එන මෙකී අන්තර්ගතයට අනුව එය මෙරට ඊනියා ලිබරල් මානවවාදීන්ගේ, මාක්ස්වාදීන්ගේ, හේතුවාදීන්ගේ නිසැක අමන්දානන්දයට හේතු විය හැක්කකි. මා මෙහිදී හේතුවාදය යන පදය වහරනුයේ ලංකාවේ එය භාවිතයට ගැනෙන කොවුර්වාදී අර්ථයෙන් බවද කිව යුතුය. හේතුවාදය යනු කොවුර්වාදයම (ඒබ‍්‍රහම් ටී. කොවුර් විසින් ඉදිරිපත් කරන ලද අදේවවාදී මතවාදය) නොවෙතත් තවමත් මෙරට බොහෝ මාක්ස්වාදීන්, වාම දේශපාලන කි‍්‍රයාධරයන්, සාහිත්‍ය කලා විචාරකයන් ආදී බොහෝ දෙනා කොවුර්වාදී හේතුවාදීහු වෙති. අනෙක් අතින් පීකේ චිත‍්‍රපටය බටහිර විද්‍යාව, හේතුවාදය පරම සත්‍යය ලෙස නොගන්නා,  සංස්කෘතික සාපේක්ෂතාවාදීන්ගේ විවේචනයට හේතු විය හැක්කකි. නමුත් මට සිතෙන්නේ මේ දෘෂ්ටීන් දෙකෙන්ම හා ඒකමානීය අන්තවලින් බැහැරව මේ චිත‍්‍රපටය දෙස නිරවුල්ව බැලීමෙන් එහි වැදගත්කම් මෙන්ම සීමාකම්ද වටහා ගැනීම වඩා පහසු වන බවය. මේ සටහන ඒ සඳහා කිසියම් ප‍්‍රවේශයකි.

පිවිසුම් ප‍්‍රශ්න කීපයක්...

කියන විට බෙහෙවින් ලස්සන වුවද ප‍්‍රායෝගිකව බෙහෙවින් ප‍්‍රශ්නකාරී විය හැකි අදහස් අප අතර කොතෙකුත් තිබේ. ආගම, දෙවියන්, ඇදහිලි, භක්තිය, හා සංස්කෘතික නිර්මිතයන් යනාදිය සපුරා බැහැර කරමින් මේ සිනමාකරුවා ගෙන එන මතවාදයද එවැන්නකි. එය එසේ වන්නේ කුමක් නිසාද?

බොහෝවිට දෙවියන්ගේ ප‍්‍රතිපක්ෂය ලෙස විද්‍යාව තාක්ෂණය ඔසවා තැබුණද, විද්‍යාවේ අධි ජයග‍්‍රහණ, දෙවියන්ගේ අවසානයට හේතුවී නැත්තේ මන්ද යන කාරණය ගැඹුරින් සැලකිය යුත්තකි. බුදුසමය සර්ව බලධාරී දෙවියකු පිළි නොගත්තද, නූතන නිල විද්‍යාවේ තිඹිරි ගෙය වූ බටහිර ලෝකයෙන් බිහිවූ බොහෝ දාර්ශනිකයන්, විද්‍යාඥයන්, වැඩිදෙනා දෙවියන්ගේ පැවැත්ම බැහැර නොකිරීමද බෙහෙවින් උත්ප‍්‍රාසවත් කාරණයකි. මාක්ස්, එංගල්ස්, ඩෙරීඩා, නීට්ෂේ වැනි අතලොස්සක් හැර බොහෝ බටහිර දාර්ශනිකයෝ තම සර්ව බලධාරියාගේ පැවැත්මට හිස නමති. අනෙක් අතින් ආගම්, ඇදහිලි, විශ්වාස හා සංස්කෘතික නිර්මිතයන් මුළුමනින්ම ගසා පලවා හැර ඊනියා තර්ක බුද්ධියක අණසකට සපුරා යටත් කරන ලද ලෝකයක් තිබිය හැකිද? එහි හැඩ රුව කෙසේ වේද? යන ප‍්‍රශ්නයම දෛනික මිනිස් පැවැත්මට දරා ගත නොහැකි තරම් දුරින් තිබෙන්නකි. විශේෂයෙන් භක්තිය යන සාධකය මිනිසා තුළ උද්ගතව පවතින්නේ පාරභෞතික යැයි සැලකෙන දේවල් සම්බන්ධව පමණක් නොවේ. බොහෝ අචල මාක්ස්වාදීන් තුළ මාක්ස්වාදය ගැන ඇත්තේද තාර්කික එකඟත්වයකට වඩා භක්තියකි. තවද තේරුමක් නැති, අතාර්කික දේවල් පවතින්නේ ආගම් ඇදහිලි හෝ චිරාගත සංස්කෘතීන් තුළ පමණක් නොවේ. මේ සා විද්‍යාත්මක, තාර්කික, හේතුවාදී, නූතනවාදී හෝ පශ්චාත් නූතනවාදී ලෙස හැඳින්වෙන මිනිස් ලෝකය වැඩි වශයෙන් පිරී ඇත්තේද තේරුමක් නැති අතාර්කික දේවලිනි. විශේෂයෙන්ම නූතන පාරිභෝජනවාදී සංස්කෘතිය විසින් එවැනි තේරුමක් නැති දේවල් දරාගත නොහැකි පරිමාණයෙන් නිපදවා ඒ ඔස්සේ මිනිසා ඇතුළු සමස්ථ සොබාදහමේ පැවැත්ම මරණීය තර්ජනයකට නතු කර තිබේ. මේ කාරණා දීර්ඝව සාකච්ඡුා කිරීමට මේ ලිපියේ සීමාව තුළ ඉඩ නැතත්, ඒ වනාහී බලයලත් විද්‍යාව, හේතුවාදය, භෞතිකවාදය, ආදිය පරමය ලෙස සලකා දේවල් තේරුම් ගන්නට යාමේදී මතුවන සංකීර්ණතා කීපයකි.

කෙසේ වුවද මගේ අවධාරණය ඇදහිලි, විශ්වාස, හෝ සංස්කෘතික නිර්මිතයන් එලෙසින්ම හිස මත තබා ගත යුතු බව නොවේ. නමුත් වඩා යථාර්තවාදීව දේවල් තේරුම් ගන්නා, අන්‍ය සංස්කෘතීන් ඉවසන, ආගම්, ජාති, කුල ආදී බෙදීම් ඔස්සේ කෙරෙන ගහමරා ගැනීම් අවම කෙරෙන ලෝකයක් කවදා හෝ බිහිකළ හැකි නම් අපට එය කළ හැකි වන්නේද සංස්කෘතීන් මත පදනම්ව විනා ඒ සියල්ල ගසා පලවා හැරීමෙන් නොවේ. එවැනි ඉදිරි ගමනක් සඳහා අන් බොහෝ තැන්වල නොමැති තරමේ සාධනීය ශක්තීන් ප‍්‍රමාණයක් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ඇතැයි මම විශ්වාස කරමි. මා එය අවධාරණයෙන් පවසන්නේ සැබෑ තත්ත්වය එසේ වන හෙයින් මිස මා උපතින් සිංහල බෞද්ධයකු වීම නිසා ඇතිවූ මමත්ව අභිමානයකින් නොවේ. එසේ වුවද පීකේ වැනි චිත‍්‍රපටයක් ලංකාවේ කොළඹ කේන්ද්‍රීය ඊනියා  විචාර කථිකාවන් තුළ පළමුකොටම ඉහලට එසවීමට ඉඩ ඇත්තේ සිංහල බෞද්ධ විරෝධයේ ආයුධයක් වශයෙනි.

දෙවියනි ඔබ කොහිද ?

මීළඟට මා අපේක්ෂා කරන්නේ දෙවියන් පිළිබඳ කාරණය සලකා බැලීමටය. මීට වසර කීපයකට ඉහත දී මමද කොවුර්ගේ තර්ක තදින් වැළඳි අදේවවාදියකු වුණෙමි. වාමාංශික අදහස්ද ඊට බලපෑවේය. එසේ වුවද මේ පිළිබඳ කාලයක් තිස්සේ සිදුකල ප‍්‍රායෝගික විමසා බැලීම්වලදී මට පෙනී ගියේ කොවුර් පොත්වල ලියා ඇති දේ සහ සැබෑ ලෝකය අතර විශාල පරතරයක් තිබෙන බවය. කොවුර්ට අත්භූත බල ඇති මිනිසුන් කිසි තැනෙක හමුවී නැතත් මට එවැනි පුද්ගලයන් බොහෝ සෙයින් මුණ ගැසී තිබේ. අත්භූත බලවේග ඇසුරෙන් බැහැර කළ නොහැකි යම් යම් දෑ කිරීමට ඔවුන්ට සැබෑ හැකියාවක් ඇත. නමුත් ඒ හැකියාවන් ඉතා සීමා සහිත ඒවා බවද කිව යුත්තකි. ඔවුන් කිසි ලෙසකින්වත් කයිවාරු ගසන තරමේ කෙරුම්කාරයන් නොවේ. පුවත්පත් දැන්වීම්වල පලකරන දේවල්වලින් සීයට එකක්වත් ඔවුන්ට කළ හැකි යැයි සිතීම අසීරුය. යම් යම් දේවල් කළ හැකි බව සැබෑවක් වුවද බොහෝ තැන්වල ඇත්තේ සීමිත හැකියාවන් පෙන්වා අසීමිත ලෙස මුදල් ඉපයීමේ ජාවාරම් බව කිව මනා නොවේ.

මේ තත්ත්වයට බලපෑ හේතු කාරණාද මෙහිදී අමතක කළ යුතු නැත. පිළිගත් විද්‍යාවට ගෝචර නොවන  පාරම්පරික දැනුම් සම්භාරයක් අපට තිබුණද අද ඒවා බොහෝ සෙයින් අභාවයට ගොස් තිබේ. යන්ත‍්‍ර මන්ත‍්‍ර ආදී ගුප්ත ශාස්ත‍්‍රයන්ටද මේ දැනුම තුළ යම් ඉඩකඩක් පැවති අතර, වාණිජකරණයට කෙසේවත් ඔරොත්තු නොදෙන මේ ගුප්ත ශාස්ත‍්‍රයන්ගේ ඉතුරු බිතුරු අද වනවිට සීග‍්‍රයෙන් වාණිජකරණයට ලක්වී තිබේ. පවත්නා වියවුල් ආර්ථික සමාජ රටාව තුළ හෙම්බත් වන මිනිසුන්ද වේගයෙන් මේ වෙළඳුන් කරා ඇදී යති. තමන්ගේ ප‍්‍රශ්නවලට භෞතික ලෝකයේ විසඳුම් විරල වනවිට දෙවියන් භූතයන් කරා මිනිසුන් ඇදී යාමද පුදුමයක් නොවේ. එයින් ඔවුන්ට කියන තරමේ සහනයක් නොලැබුණද පවතිනා සමාජ වටපිටාව තුළ එවැනි දේව ජාවාරම්වලට ඇත්තේ විශාල ඉල්ලූමකි. නමුත් එහි අර්ථය ඒ ඔස්සේ පටු කොවුර්වාදයට වලංගුභාවයක් හිමිවන බවද නොවේ. එසේ නම් මේ ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා කොවුර්වාදය හා අන්ධ දේව භක්තිය අතර අතරමැදි නැවතුමක් අපට වුවමනා වෙයි.

මට දැනෙන ආකාරයට නම් සියල්ලට ඉහලින් සිටින සර්ව බලධාරී දෙවියකු ලෝකයේ නැතත් දෙවිවරුන්ගේ පැවැත්ම සපුරා බැහැර කළ හැක්කක් නොවේ. පසිදුරන්ට, හෝ පිළිගත් නිල විද්‍යාවේ ක‍්‍රමවේදයන්ට ගෝචර නොවූ පමණින් එවැනි බලවේග නැතැයි තර්ක කිරීමද බුද්ධි ගෝචර නොවේ. වෙනත් මතවාද, දැනුම් පද්ධති, හා ප‍්‍රායෝගිකත්වය ඔස්සේ සනාථ වන ආකාරයට දෙවියන්, භූතයන්, අමනුෂ්‍යයන් යනුද ගහකොල, සතුන්, ක්ෂුද්‍ර ප‍්‍රාණීන් සේම මේ විශ්වයේ වෙසෙන තවත් ජීව කොට්ඨාසයකි. එහෙත් ඔවුන් කිසි විටකත් අද්විතීය ලෝක පාලන බල ඇත්තෝ නොවේ. ඔවුහුද මේ ලෝක නියාම ධර්මයන්ට දුකට, පැවැත්මට, විනාශයට මුහුණ දෙති. මිනිසුන්ට කළ නොහැකි යම් යම් දේ කිරීමට සතුන්ට හැකිවාක් මෙන්ම, මිනිසුන්ට කළ නොහැකි යම් යම් දේවල් කිරීමේ ශක්තියක් දෙවියන්ට, භූතයන්ටද තිබේ. එසේම දෙවියන්ට භූතයන්ට කළ නොහැකි බොහෝ දේවල් කිරීමේ පුදුමාකාර ශක්තියක් මිනිසුන්ටද තිබේ. මේ සියල්ලෝ තම තමන්ට ආවේණික ප‍්‍රබලතා දුබලතා සහිත සත්ව කොට්ඨාසයෝ වෙති. ඒ නිසා දෙවියන් යනු සියල්ලට ඉහලින් තැබිය හැකි කොට්ඨාසයක් නොවේ. මිනිසුන්ට දෙවියන්ගෙන් යම් යම් ප‍්‍රයෝජන ලද හැකි බව සැබෑවක් වුවද තමන්ගේ සියලූ දෛනික අර්බුදවලට විසඳුම් සොයා දෙවියන් යැදීම මෝඩකමක් වන්නේ ඒ නිසාය. එය දේවතැරුව්කාරයන්ගේ සුබ සිද්ධියට පමණක් හේතුවිය හැකි අපූරු පුන්‍යකර්මයකි.

මා දන්නා තරමට බුදුසමයේ දෙවියන් ගැන එන විග‍්‍රහයද මීට බොහෝ සෙයින් සමානය. සර්ව බලධාරී දෙවියෙකු බැහැර කරන බුදු සමය දෙවිවරුන්ගේ පැවැත්ම පිළිගනී. නමුත් ඒ තවත් සත්ව කොට්ඨාසයක් ලෙස සලකමින් මිස මිනිසාගේ සියලූ ප‍්‍රශ්නවලට විසඳුම් දිය හැකි ලෝක පාලන බලවේගයක් ලෙස සලකා නොවේ.

ඉනික්බිති...

අවසාන වශයෙන් ඉහත කාරණා ඔස්සේ පීකේ චිත‍්‍රපටය දෙස බැලීමේදී ඒ තුළ හදුනාගත හැකි ප‍්‍රබලතා දුබලතා ඊට බලපෑ සන්දර්භමය විශේෂතා  කවරාකාර වේද?

දේව රාජ්‍යය පිහිටුවීම සඳහා අමු අමුවේ මිනී මරා ගන්නා මිලේච්ජයන් හා ඔවුන් පෝෂණය කරන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවතුන් සහිත ඊනියා ගෝලීයකරණ සන්දර්භය තුළ රාජ් කුමාර් හිරානි මතු කරන සරල සිනහව, ආදරය, හා උත්තර මනුෂ්‍යත්වයේ හඬ අපට දිව මතුරක් වැනිය. එසේම සංස්කෘතික විරෝධය, කුරිරු සංස්කෘතික ආක‍්‍රමණයේම අවියක් ලෙස ගන්නා අධිපති දේශපාලනයේ දෘෂ්ටිවාදී තැරැව්කරුවන් අත මේ චිත‍්‍රපටය අනිසි ආයුධයක් වීමටද ඉඩ තිබේ. එසේම දෙවියන් පසුපස අඳ බැතියෙන් හඹා යමින්, වංචාකාරයන්ගේ ගොදුරු බවට පත්වන මිලියන ගනනක් මිනිසුන් තවමත් සිටින ලෝකයකට හෙළුවැලි ආගන්තුකයාගේ ප‍්‍රවේශය සිහි බුද්ධියේ ආශිර්වාදයක් බඳුය. එහෙත් නිල විද්‍යාව, හේතුවාදය ඔස්සේ පමණක් අපරිමිත ලෝකයේ පිරිවිතර ගන්නට යන අල්පතර දාර්ශනික ඝෝෂාවට මේ චිත‍්‍රපටය පිටුබලයක් වී තිබීම කණගාටුවට කරුණකි.

මේ අනුව විද්‍යාව, යථාර්තය, දැනුම, සංස්කෘතිය පිළිබඳ පුළුල් දාර්ශනික සන්දර්භයක් තුළ, මේ චිත‍්‍රපටය බොහෝ සීමා මායිම් හා නොවැදගත්කම් රාශියකින් යුත්තකි. එසේ වුවද ප‍්‍රායෝගික ජීවිතයේ හා ලෝක දේශපාලනයේ ඇතැම් සන්දර්භයන් තුළ මේ චිත‍්‍රපටයට විශාල අගයක් වටිනාකමක් හිමිවෙයි. ඒ පිළිබඳ සාධාරණ කිරා මැන බැලීමකින් තොර පැතලි නිගමනවලට එළඹීම නිර්මාණශීලීත්වයේ අති මහත් ශ‍්‍රමයක් සහිත මේ සිනමා කෘතියට කරන බලවත් අසාධාරණයකි.

ජගත් ජනනී

අවසාන වශයෙන් මේ සියලූ හිස කකියවන බුද්ධි ගෝචර කාරණාවලට වඩා පීකේ නැරඹීමේදී මගේ හදවතට බලපෑම් කළේ ඈය. දිගු වරලසක් හිමි ලලනාවන් පිළිබඳ මානව ඉතිහාසයේ සියලූ කාව්‍යමය වර්ණනා මේ කෙටි හිසකේ ඇති හුරුබුහුටි යෞවනිය විසින් අභියෝගයට ලක් කරයි. ඈ චිත‍්‍රපටයේ ප‍්‍රධාන කාන්තා චරිතය වන ජග්ගු නොහොත් ජගත් ජනනීය. එම චරිතයට පණ පොවන අනුෂ්කා ෂර්මාට පවා කිසි ලෙසකින්වත් ලඟාවිය නොහැකි ජග්ගුගේ වළාකුළු සුන්දරත්වය අති දක්ෂ වේශ නිරූපණ ශිල්පීන්ගේ නිර්මාණයක් වී තිබීම බෙහෙවින් සාංකාව දනවන කරුණකි. ඒ අනුව අද මට හද පාරවා ගැනීමට සිදුවී ඇත්තේ මිහිපිට කොහේ හෝ සැබවින්ම දැකගත නොහැකි ලලනා රූපයක් නිසාය. පීකේ චිත‍්‍රපටය අවසාන භාගයේදී පිටස්තර වැසියා දෙනෙතේ වැගිරෙන කඳුළු සඟවා ගනිමින් ජග්ගුගෙන් සමුගෙන තම ග‍්‍රහලෝකය බලා පිටත්ව යයි. මමද මේ දිනවල ජග්ගුගේ රොමාන්තික් පේ‍්‍රම ආක‍්‍රමණයෙන් මිදී සැබෑ ලෝකය වෙත ලඟාවීමට  උත්සාහ ගනිමින් සිටිමි.


- ඉසුරු ප‍්‍රසංග
 

බුකියේ වෙනස යුතුකමට මනාපයක් (Like) දමා මිතුරන්ට ඇරයුම් කරන්න. https://www.facebook.com/yuthukama

ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රකාශිත කැඩපත පුවත්පතේ පළවූ ලිපියකි.

12/07/2014

ජනාධිපතිවරණ තීන්දුව හා ජාතික බලවේගයන්ගේ අනාගතය

කතෘ:යුතුකම     12/07/2014   3 comments
ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණය සමග අද වනවිට රට අතිශයින් සංකීර්ණ දේශපාලන අවස්ථාවකට මුහුණ දී තිබේ. පසුගිය කාලය පුරාම දේශපාලන කරළිය උනුසුම් වූයේ මේ ජනාධිපතිවරණය හමුවේ විවිධ පාර්ශවයන් විසින් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ පුදුම සහගත පුවත් හා වහ වහා වෙනස් වන සුළු සිද්ධි මාලාවන් ඔස්සේය. විපක්ෂය තම අපූරු පොදු අපේක්ෂකයා තෝරාගත් ආකාරයම මේ අතරින් වඩා බලවත් නාට්‍යෝචිත අවස්තාවක් වෙයි. ඇත්තෙන්ම මෙවර ජනාධිපතිවරණය මීට පෙර පැවති ජනාධිපතිවරණවලට වඩා සංකීර්ණ එකක් වීමට බලපෑ හේතු රාශියක් තිබේ. මේ සටහනේ අරමුණ වනුයේ මෙවන් පසුබිමක් හමුවේ මෙරට ජාතික බලවේග මුහුණ පා ඇති අභියෝග කවරාකාර වේදැයි විමසා බැලීමය. එය සැලකිය හැක්කේ ජාතික බලවේග මේ මොහොතේ ගත යුතු තීරණය ගැන නිගමන දීමකට වඩා ඔවුන්ට පසුකර යාමට සිදුවී ඇති සංකීර්ණ දේශපාලන මොහොත හා එය ජාතික ව්‍යාපාරයේ අනාගතය කෙරේ බලපෑ හැකි ආකාරය පිළිබඳ කරුණු සලකා බැලීමක් ලෙසය.

2005 සහ 2015

2005 ජනාධිපතිවරණයේදී ජවිපෙද ඇතුළත් ජාතික බලවේගයන්ගේ සහයෝගය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය. ඒ සහයෝගය රටට ඉතා වැඩදායක එකක් බවට පත්වූයේ 2009 වනවිට කොටි ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමට රාජපක්ෂ ආණ්ඩුව සමත්වීම නිසාය. මීළඟට 2010 වනවිට හදිසියේ දේශපේ‍්‍රමී රෙදි පොරවා ගත්තවුන්ද ඇතුළුව සියලූ ජාතික බලවේග ජනාධිපතිවරයා සමග එක පෙලට සිට ගනු ලැබුවේ 2005ටත් වඩා වැඩි සුබවාදී බලාපොරොත්තු රාශියක්ද සහිතවය.ත‍්‍රස්තවාදය පිළිබඳ අතිශය තීරණාත්මක ප‍්‍රශ්නයෙන් පසු රටේ ඉදිරි ගමන යහපත් අතට වෙනස් කිරීමට රාජපක්ෂ ආණ්ඩුව සමත්වනු ඇතැයි එදා රටේ බලවත් විශ්වාසයක් පැවති අතර 2005 ටත් වඩා අතිශයින් ශක්තිමත් හා ආස්වාදනීය ජනවරමක් 2010දී මහින්ද රාජපක්ෂට හිමිවනුයේද ඒ අනුවය. මේ රටේ තීරණාත්මක වෙනසක් සඳහා නිදහසින් පසු මෙරට ජනනායකයකුට හිමිවූ හොඳම සහ වටිනාම අවස්තාව 2010 මෙකී ජනවරම බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එසේ වුවද ඒ ජනවරමින් වසර හතරහමාරකට පසු අද අපට දක්නට ලැබෙන්නේ ඒ මහා අපේක්ෂා අතිශය ඛේදජනක ලෙස සුන්වී යමින් තිබෙන තත්ත්වයකි.

    මේ ආණ්ඩුව ජාතික බලවේගවල ආණ්ඩුවක් බව එහි සතුරු මිතුරු දෙපාර්ශවය විසින්ම හැඳින්වුවද උතුරේ යුද්ධය හැර අන් කිසිදු වැදගත් ප‍්‍රශ්නයක් සම්බන්ධව ආණ්ඩුව පුළුල් ජාතික දැක්මකින් තියා අවම මිනිස් සිහිබුද්ධියකින් හෝ කටයුතු කර නැත. උතුරේ ප‍්‍රශ්නයේදී පවා යුද්ධය අවසන් කළා විනා ඒ පසුපස තවමත් නොනිමී ඇවිලෙන ජාත්‍යන්තර දේශපාලන යුද්ධය හමුවේ ආණ්ඩුව පෙන්වන හැසිරීමද අතිශයින් ලාමකය. අද වනවිට නැගී එමින් පවතින මුස්ලිම් අන්තවාදයේ බියකරු තර්ජනය හමුවේද ඒ හැසිරීම එසේමය. උතුරා හැලෙන සංවර්ධන මෙහෙයුම් ගැන පුරසාරම් නිතර අසන්නට ලැබුණද රටේ ඉදිරි ගමන පිළිබඳ නිසි උපායමාර්ගික දැක්මක් ආණ්ඩුව සතුව නොමැති බවට ඒ සංවර්ධන මෙහෙයුම් තුළින්ම කදිම උදාහරණ සපයා ගත හැකිය. ආර්ථික අතින් පමණක් නොව අධ්‍යාත්මික අතින්ද අද රටේ ජනතාව ඇද වැටී ඇති දරිද්‍රතාවයේ තරම මනාව පැහැදිලි වන්නේ වේගයෙන් ඉහල යමින් තිබෙන අපරාධ, ප‍්‍රචණ්ඩත්වය, මත් උවදුර, ස්තී‍්‍ර  දූෂණ, ලමා අපචාර ආදිය ඔස්සේය. අද මේ සියල්ල සිදුවන්නේ දේශපේ‍්‍රමය පිළිබඳ විශාල ඝෝෂාවක් යටතේද වීම අතිශයින් ඛේදජනක තත්ත්වයකි. විජාතික සතුරන්ට එරෙහිව නඟන සෝබනකාරී ඝෝෂාවන් යටතේ ජාතික සතුරන් තොග ගනනේ බහුඛණ්ඩනය කෙරෙන රටක ජීවත් වීමට අද අපට සිදුවී තිබේ. අද මේ රටේ කෙරුම්කාරයන් වී ඇත්තේ බාල විජාතික විරෝධය තවරා ගත් ජාතික පාදඩයන් රංචුවකි. ඉතිහාසයේ කවරදාකවත් නැති අන්දමින් බලය අතිශය නිර්ලජ්ජිත ලෙස අවභාවිතයේ යොදවන, සෙල්ලම් පිස්තෝල ඔසවා ගත් මැරයන් අතින් මහ දවාලේ නීතිය  දූෂණයට ලක්වන, සංවේදී කලාකරුවන්ගේ සිට පහලම දේශපාලන හෙංචයියා දක්වා වූ සියලූ චෞරයන් මහජන දේපල වනසමින් අසීමිත ලෙස මුදල් හම්බකරන, ස්තී‍්‍ර  දූෂකයන්, කුඩු කාරයන්, මිනීමරුවන්, කැසිනෝ කාරයන්, රාජ්‍ය බලතල හොබවන, බාල සිල්ලර දේවලින් කෙලවරක් නැතිව සමාජ මනස හා රටේ අධ්‍යාත්මික හරය  දූෂණය කරන, මුළු රටම පාදඩයන්ගේ විගඩම්කාරයන්ගේ අවල කෙලි බිමක් බවට පත් කර ඇති මේ දහදුරා දේශපාලනය හමුවේ අද වඩාත්ම අනාතභාවයට පත්ව ඇත්තේ මේ ආණ්ඩුවට දේශපේ‍්‍රමීත්වය තැවරූ ජාතික බලවේග බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. අද ආණ්ඩුවෙන් ඉවත් වී සිටින හෙළ උරුමයේ ප‍්‍රවේශය අවංක එකක් වන්නේ නම් එම පක්ෂයට ඇති සාධාරණ ගැටලූවද මෙයම විය හැකිය. සාධාරණ විවේචනයක් සහිතව අසාධාරණ කඳවුරකට එක් වේ නම් එය හෙළ උරුමයේ දේශපාලන සිය දිවි නසා ගැනීම විය හැකිවුවද ඒ කාරණය මත ඔවුන් මතුකරන විවේචනය කිසිසේත්ම නිශේධනීය එකක් බවට පත් නොවේ.

ආණ්ඩු විරෝධී ව්‍යාපාරය

වත්මන් ආණ්ඩුවේ කෙතරම් වැරදි පැවතියද ආණ්ඩුව පෙරලා දමා බලයට ගෙන ආ හැකි අවම හෝ සාධනීය ව්‍යාපාරයක් තවමත් මේ රට තුළ නිර්මාණය වී නැත. ජාත්‍යන්තර බලවතුන්ගේද සහය ලබන ඝෝෂාකාරී ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් කලක සිට මෙරට ක‍්‍රියාත්මකව තිබුණද ඒ ව්‍යාපාරය ප‍්‍රායෝගික ශක්තිය අතින් බංකොලොත් ව්‍යාපාරයක් වනවා පමණක් නොව රටට අහිතකර අභිලාෂයන් හා අරමුණු පෙරදැරි කරගත් ව්‍යාපාරයක්ද වන්නේය. ඔවුන් තම සටන සඳහා තෝරාගත් පොදු ඊනියා පොදු අපේක්ෂකයාගේ ස්වභාවයම මේ ව්‍යාපාරයේ බංකොලොත් ස්වභාවය ගැන ඉතා තාර්කික ප‍්‍රශ්න මතු කරන්නකි. මෛතී‍්‍රපාල යනු ශි‍්‍රලනිපයේ මහ ලේකම්වරයා ලෙස වත්මන් ආණ්ඩුවේ වැරදි පිළිබඳ වගකීමෙන් කෙසේවත් නිදහස් කළ නොහැකි පුද්ගලයෙකි. ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ සියලූ චෝදනාවලට මෛත‍්‍රීපාල මහතාද සෘජුව හා වක‍්‍රව වගඋත්තර කාරයෙකි. අද විපක්ෂයට තම යහපාලනයේ සටන සඳහා දූෂිත යැයි කියන රෙජීමයේම ඉහල පුටුවක් බිලී බා ගැනීමට සිදුවීම සරදම්කාරී දේශපාලන විහිළුවක් වන්නේ ඒ නිසාය. අඩුම තරමේ මෛතී‍්‍ර ආණ්ඩුවේ වැරදිවලට එරෙහිව බාහිර හෝ අභ්‍යන්තර අරගලයක නිරත වූ අයකු හෝ වේ නම් මේ ප‍්‍රවේශය යම් පමණකින්වත් සාධාරණ විය හැකි වුවද මෛත‍්‍රී යනු අවසාන මොහොත දක්වා ආණ්ඩුව සමග කටයුතු කොට හිටි අඩියේ කඳුලූ සලමින් යහපාලන සටනකට අවතීර්ණ වූ දේශපාලන කවටයෙකි. අව්‍යාජව පැන නැගිය යුතු සටනක් වෙනුවට යටි කූට්ටු දේශපාලන කුමන්ත‍්‍රණයක ස්වභාවය රැස් විදා ප‍්‍රකට කරන මෛතී‍්‍රගේ මෝඩ ප‍්‍රවේශයම ඔහුගේ නිසැක පරාජය තහවුරු කරවන එක් හේතුවකි.  අද රටට විශාල වෙනසක් අවශ්‍ය බව පැහැදිලි වුවද ඒ වෙනස කළ යුතු වන්නේ බලය උසුලන පිරිසට වඩා දශමයකින් හෝ සාධණීය ව්‍යාපාරයක් ඔස්සේ මෝඩ දේශපාලන සූදුකාරයන්ගෙන් සමන්විත වත්මන් ආණ්ඩු විරෝධී බලවේගය ඔස්සේ නොවේ.  රට ලබාගත් ඓතිහාසික ජයග‍්‍රහණ සමග පවා වෛරයකින් පසුවන ඒ ජයග‍්‍රහණ ආපසු හැරවීම සඳහා කි‍්‍රයාකළ හා කි‍්‍රයාත්මක වෙමින් සිටින මේ විෂම බලවේගය නැවත ඔසවා තැබීමෙන් රට මුහුණ පා සිටින අර්බුදය කිසිදු ආකාරයකින් නැවත පිළිසකර කළ හැකි නොවේ. යම් හෙයකින් මේ බලවේගය ජයග‍්‍රහණය කළහොත් රට මේ දක්වා ලැබූ ජයග‍්‍රහණ පවා නැවත පාවා දෙමින්, රටේ අද පවතින ස්ථාවරබව පවා බිදී විසිරෙමින් රට නැවත ඇද වැටෙනු ඇත්තේ බෙහෙවින් අරාජික හා අස්ථාවර අඩියකටය. අද චම්පික රණවක වැනි අය පවා මේ පිරිස සමග එක්වී ජාතික බලවේග සහිත යහපාලනයක් ගොඩනැගීම ගැන නන් දොඩවමින් සිටීම කනගාටුව දනවන විහිළුවකි. මහින්දගේ ආණ්ඩුව තුළවත් කළ නොහැකි වූ විප්ලවයක් කිරීමට රනිල්ගේ බලවේගය තුළින් හැකිවෙතැයි චම්පික විස්වාස කරන්නේ නම් හෙළ උරුමය තම ඉතිහාසයේ ගනු ලබන මෝඩම දේශපාලන තීරණය එය වන බව කිව මනා නොවේ.අද පොදු අපේක්ෂක ව්‍යාපාරයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇදුරන් ප‍්‍රසිද්ධියේම දෙසන නරිවාදම් වලට අනුව ඔවුන්ගේ ප‍්‍රධාන අභිලාෂය වන්නේ සිංහල බෞද්ධ ජාතිකත්වයෙන් තොරවූ ආණ්ඩුවක් තැනීමය. එවැනි දවල් සිහින දකින්නන් පරාජය කිරීම මර්වින් වර්ගයේ ඇමතිවරුන් පරාජය කිරීමටත් වඩා වැදගත් දේශපාලන අවශ්‍යතාවයකි.

අර්බුදයේ පසුබිම

මෙවර ජනාධිපතිවරණයේදී ජාතික බලවේග මහත් අසීරුතාවකට ඇද දමන මූලික පසුබිම සකස් වන්නේ ඉහත මතුවන කාරණා අනුව බව ඉතා පැහැදිලිය. දූෂිත ආණ්ඩුවක අත්තනෝමතිකකම් සහ දූෂිත ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක දුෂ්ඨ බලවේග අතර පැත්තක් නොගෙන බැරි තත්ත්වයක් මේ වනවිට උද්ගතව තිබේ. මේ ජනාධිපතිවරණය යනු කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් එක පැත්තක් තෝරාගැනීමට සිදුවන තරඟයකි. මේ දෙකෙන් එකක් තෝරාගනු විනා ඒ දෙකටම අයත් නොවන හා තමන්ගේ අභිමානයට කැලැලක් නොවන තරමේ වෙනත් විකල්ප තීරණයකට යාමේ හැකියාවක් මේ නිශ්චිත මොහොතේ ජාතික බලවේග සතුව නැත. තම මතවාදී පෞර්ෂය භාවිතා කරමින් රජුන් තැනීම විනා තමන්ගේම වූ ස්වාධීන ජනතා බලයක් ගොඩනංවා ගැනීමට එම ව්‍යාපාර අසමත් වී තිබීමද මේ තත්ත්වයට හේතුවකි. අද ජාතික බලවේගවලට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මහින්ද දිනවීමේ තීරණය ගැනීමට සිදුවන දේශපාලන සන්දර්භය මෙවැන්නක් බව පැහැදිලිය.අපට කී‍්‍රඩා කිරීමට සිදුවන්නේ පිටියේ පවත්නා තත්ත්වයන්ට අනුව මිස හිතින් මවා ගත් ලෝකයක පය තබාගනිමින් නොවේ.අද හෙළ උරුමය හැර අනෙක් සියලූ ජාතික හා බෞද්ධ සංවිධාන ඒ සන්දර්භය තුළ සාපේක්ෂව අඩු නපුර සහිත තීරණය වෙත එළැඹී ඇත්තේ ඒ අනුවය.

ජාතික බලවේග අද මුහුණ දී සිටින මේ උහතෝකෝටිකය දිගු දේශපාලන පසුබිමක්ද සහිත එකක් වෙයි. මෑත අතීතයේදී මෙරට ජාතික මතවාදයේ ලොකුම ද්‍රව්‍යමය බලවේගය වූ ජනතා විමුක්ති පෙරමුණ තම නිසි මාවතින් හා ආණ්ඩුවෙන්  බැහැරව නන්නත්තාර වූයේ ජනපතිගේ පළමු පදවි ප‍්‍රාප්තිය අවධියේදීමය. ඔවුන් විසින් මහපොළවේ තරයේ පිහිටවූ මතවාදයේ ශක්තියද සහිතව ඒ වෙනුවෙන් පෙනී සිටි ජාතිමාමක බුද්ධිමතුන්, ජානිපෙ, හෙළ උරුමය, වැනි පක්ෂ කණ්ඩායම් ආදිය ආණ්ඩුව හා අඛණ්ඩව රැු`දී සිටියද ආණ්ඩුවට තල්ලූවක් දීමට විනා, එහි සුක්කානම නිසි පරිදි හැසිරවීමට අවශ්‍ය පාර්ලිමේන්තු බලයක් හෝ  තීරණාත්මක බහුජන ශක්තියක් එම පාර්ශවයන් සතු නොවීය. එම ශක්තිය පැවතියේ ජාතික චින්තනයක් තියා අබැටක තරමේ සිහිබුද්ධියක් හෝ නොමැති මජර ශි‍්‍රලනිප දේශපාලඥයන් අතය. එහි ප‍්‍රතිපලය වූයේ දේශපේ‍්‍රමී සායමින් හැඩවූ  දූෂිතයන්ගේ දින දින තරවන අත්තනෝමතික බලය හමුවේ සියලූ ජාතික බලවේග නොසිතූ විරූ තරමේ අනාත නන්නත්තාර භාවයකට ඇද වැටීමය. මෙහිදී ජාතික බලවේගවලට ආණ්ඩුව වෙනස් කිරීමට නොහැකි වූවා පමණක් නොව ඒ සඳහා තීරණාත්මක බලපෑමක් ඔවුන්ගෙන් සිදුවූ බවක්ද පෙනෙන්නට නැත. ඔවුන්ගේ අවම බලපෑම් හෝ සැලකීමේ වුවමනාවක් ආණ්ඩුවටද නොතිබූ අතර පහුගිය කාලය පුරාම දක්නට ලැබුණේ විවේචනාත්මකව බලපෑම් කිරීමට වඩා ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා පමණක් කැපවූ ජාතික ව්‍යාපාරයක් බව ඉතා කනගාටුවෙන් වුවද සඳහන් කිරීමට සිදුව ඇත. අද පවා රටේ සියලූ ප‍්‍රශ්න අමතක කොට වත්මන් ආණ්ඩුවේ ඇතැයි කියන කෙහෙල්මල් ජාතිකත්වයක් ගැන නන් දොඩවමින්, තම බුද්ධිමය පෞර්ෂය විහින් නැති නාස්ති කරගන්නා මහඇදුරන් දකිනවිට ඇතිවන්නේ ජුගුප්සාජනක කලකිරීමකි. මෙය සියලූ ජාතිකවාදී චින්තකයන්, බුද්ධිමතුන්, දේශපාලන නායකයන් හා භික්ෂු සංවිධාන ආදී සියලූ දෙනා තමන් කෙරේම වූ බලවත් විවේචනයක් සහිතව ආපසු හැරී බැලිය යුතු තත්ත්වයක් බව කිවමනා නොවේ.

අද වනවිට අමරසේකර ලංකාවේ දෘෂ්ටිවාදී ජනාධිපති බවට ෆුල්බ‍්‍රයිට් පඬියන් අතින් සරදම් සහගත ප‍්‍රවාද ගොඩනැගෙන දේශපාලන සන්දර්භය මෙය බව අප විසින් අමතක කළ යුතු නැත. රටේ සැබෑ ජයග‍්‍රහණ සඳහා අතිශය තීරණාත්මක මැදිහත් වීම් සිදුකළ විමල් වීරවංශ වැනි අද්විතීය දේශපාලන පෞර්ෂයන් රජවාසල කවටයන් ලෙස නාමකරණය කෙරෙන හා ඔවුන්ගේ අනාගත භූමිකාවද විනාශ කරදමන  දේශපාලන සන්දර්භය මෙය බව අප විසින් අමතක කළ යුතු නැත. එහිදී විවේචකයන්ගේ අභිලාෂය කුමක් වුවත් තර්කානුකූල හා සාධාරණ ලෙස එම විවේචන මතු කළ හැකි තත්ත්වයක් මේ දේශපාලනය විසින්  ඕනෑවටත් වඩා හොඳින් නිර්මාණය කර තිබේ. ඉදිරි කාලය සඳහා මේ අර්බුදය පෙරටත් වඩා වලංගු විය හැකි බව ජාතික බලවේග තරයේ සිහි තබාගත යුතුය.

කාලීන අභියෝගයෙන් ඔබ්බට

ජාතික බලවේග සතු සැබෑ විකල්පය වනුයේ රජුන් තැනීම නොව රටට ගැලපෙන තමන්ගේම වූ දැක්මක් සහිත ජාතිකත්වය යනු කුමක්දැයි ගැඹූරින් වටහා ගත් දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමය. අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ අඩමානයට හෝ මේ කාර්යය සඳහා මැදිහත් වුවද යළි කිසිදා ඔවුන්ගෙන් එවැනි මැදිහත් වීමක් අපේක්ෂා කළහැකි වන්නේ නැත. ඒ නිසාම කා අතින් හෝ එවන් ව්‍යාපාරයක් නිර්මාණය විය යුතු වන අතර එවැන්නකින් තොරව මේ රටට හෝ ජාතික බලවේගවලට යහපතක් සිදුවන්නේ නැත. රජුන් තැනීම පිළිබඳ කාලීන අභියෝග අමතක කළ නොහැකි වුවත් ජාතික බලවේග එවන් කාලීන අරමුණු තුළ පටුවෙමින් තමන්ගේ අනාගතය විනාස කරගත යුතු නැත.

පසුගිය වතාවේ මහින්ද දිනවීමෙන් ජාතික බලවේගවලට අත්වූ අපකීර්තියේ තරම ඔවුන් මනාව තක්සේරු කරගත යුතුය. ඉදිරියටත් අත්විය හැකි අපකීර්තියේ තරම හා නැවත වරක් වත්මන් ආණ්ඩුවට දේශපේ‍්‍රමය තැවරීමෙන් රටට සිදුවීමට නියමිත අන්තරායන් පිළිබඳවද ඔවුන් මීට වඩා බරපතල වගකීමකින් සිතා බලන තැනකට ආ යුතුය. රටේ අනාගතය වෙනුවෙන් තීරණාත්මක මැදිහත් වීම් කළ හැකි විමල් වැනි දේශපාලන නායකයින් හුදු රජුන් තැනීමේ සරල තැනකින් තම ඓතිහාසික භූමිකාව අවසාන කරගත යුතු නැත. ජාතික බලවේග වෙතින් ආණ්ඩුව කෙරේ බලවත් විවේචන එල්ල විය යුතුවා පමණක් නොව ඒ විවේචන ප‍්‍රායෝගිකව බලපෑම් සහගත ආවුද බවට පත්කර ගැනීමේ උපක‍්‍රම වෙතද ඔවුන්ගේ අවධානය යොමුවිය යුතුය. ජාතික බලවේග මේ මොහොතේ තමන් අභිමුව ඇති අභියෝගය මෙන්ම ඔවුන් මුහුණ පා සිටින අසීරුතාවය පිළිබඳවද පුළුල් සංවාදයක් ඇති කළ යුතුය. එවැනි ප‍්‍රවේශයකින් තොරව කොන්දේසි විරහිත සහයක් මහින්දට ලබාදේ නම් එය ජාතික බලවේග විසින් සියතින්ම තම පෞර්ෂය හා දේශපාලන අනාගතය විනාස කරගන්නා තීරණයක් බව අකමැත්තෙන් හෝ අවධාරණය කළ යුතුව ඇත.ජනාධිපතිවරණය පිළිබඳ කාලීන ප‍්‍රශ්නයේ සන්දර්භමය සීමාවෙන් ඔබ්බට ගොස් මේ ප‍්‍රශ්නය දෙස බලන අයකුට මේ ලිපියේ අවධාරණය වටහා ගැනීම අසීරු නොවේ යැයි සිතමි.

-ඉසුරු ප‍්‍රසංග  :මුරගල 
යුතුකම සංවාද කවය
www.yuthukama.com

10/17/2014

අමරසේකරගේ බලාත්කාරය සහ මර්වින් හෙට්ටිගේලාගේ ලෝකය

කතෘ:යුතුකම     10/17/2014   1 comment

පූර්විකාව:

මෙය අනුරසිරි හෙට්ටිගේ මහතා විසින් මව්බිම පුවත්පතට ලියූ ලිපියකට අදාල ප‍්‍රතිචාරයකි. මා විසින් මෙය රචනාකළේ මව්බිම සාහිත්‍ය සංස්කාරකවරයා වන සුසිල් සුරවීර මහතාගේ පූර්ණ අනුදැනුම මතය. ලිපිය කියවා බැලීමෙන් පසුවද සුසිල් මහතා ප‍්‍රකාශ කළේ එය මෙවර මව්බිමේ පලකෙරන බවය. එසේ වුවද අවසාන මොහොතේ කුමක්දෝ අත්භූත හේතුවක් මත මෙම ලිපිය ඉවත් කර ගැනීමට සංස්කාරකවරයාට සිදුවී තිබේ. ප‍්‍රකාශන නිදහස ගැන මතවාදී අභිමුඛ වීම් ගැන නිතර කතා කරන විකල්ප යථාර්තවාදීන්ගේ ලෝකය තුළ මෙවැනි අත්භූත ඉන්ද්‍රජාලික සිදුවීම් බෙහෙවින්ම බහුලය. අදාල සම්පූර්ණ ලිපිය පහත දැක්වෙන අතර මෙවැනි හාස්‍යජනක ඉන්ද්‍රජාලිකයන් අපට හමුවූ පළමු අවස්ථාව මෙය නොවේ.

අමරසේකරගේ බලාත්කාරය සහ මර්වින් හෙට්ටිගේලාගේ ලෝකය

මා මිත‍්‍ර අනුරසිරි හෙට්ටිගේ යනු අප අතර සිටින දක්ෂ හා සම්මානනීය ප‍්‍රබන්ධකතා කරුවෙකි. නිර්මාණකරණයට මිස සෘජු මත සම්පාදනයට ඔහු වැඩි දායකත්වයක් නොදක්වන්නකු වුවද, ඔහු පසුගිය ඔක්තෝබර් පස්වැනිදා මව්බිම ස`දහසට ලිපියක් ලියමින් මතවාදී රාජකාරියකට දායක වී තිබේ. එම ලිපියේ නිමිත්ත පසුගිය සාහිත්‍ය සම්මාන උත්සව අරභයා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකි. අනුරසිරි එම ප‍්‍රකාශය පදනම් කර ගනිමින් උත්ප‍්‍රාසවත් බස් වහරින් යුත් ලිපියක් සම්පාදනය කරයි. අනුරසිරිට ප‍්‍රතිචාර දක්වමින් මා ලියන මේ සටහන සැලකිය හැක්කේ ඔහුට පිළිතුරු දීමකට වඩා අනුරසිරිට මෙවන් ලිපියක් ලිවීමට හේතුවූ සැබෑ කාරණා වෙත පාඨක අවධානය යොමු කිරීමේ උත්සාහයක් වශයෙනි. 

විරෝධයේ අහේතුව 

අනුරසිරි තම ලිපිය ආරම්භ කරනුයේ සම්මාන උළෙලවල ජුගුප්සාජනක කා කොටා ගැනීම් ගැන ස`දහන් කරමිනි. එහෙත් ඔහු පෙලන සැබෑ ප‍්‍රශ්නය මෙකී කා කොටා ගැනීම් නොවේ. මූලික ප‍්‍රශ්නය එය නම් අමරසේකරට පෙර පහරදිය යුතු පුද්ගලයෝ ඇති තරම් සිටිති. මෙවර හා පූර්ව සම්මාන උත්සව සියල්ලේ තත්ත්වය සාමාන්‍යයෙන් එසේය.  ඒ සියල්ල අතහැර අමරසේකර වෙත ප‍්‍රවේශවන අනුරසිරිගේ සැබෑ ප‍්‍රශ්නය හුදු සම්මාන ආරවුල් පිළිබ`ද ප‍්‍රශ්නයක් විය හැකි නොවේ. 

අනුරසිරි මේ ලිපිය හරහා අමරසේකර මහතාට එල්ල කරන මූලික චෝදනාව වන්නේ සම්මාන භාර ගනිමින් සම්මාන ක‍්‍රියාවලියට දොස් නැඟීමය. එයින් අමරසේකරට සිදුවූ අවමානය ගැනද අනුරසිරි කම්පාවට පත්වෙයි. ඇත්ත. මා හිතන ආකාරයට අනුවද අමරසේකර තම ප‍්‍රකාශය කළ යුතුව තිබුනේ කිසිදු සම්මානයක් බාර නොගනිමිනි. එසේ වුවද භාර ගනිමින් කළ පළියට ඒ ප‍්‍රකාශයේ අන්තර්ගතයට එයින්  හානියක් සිදුනොවේ. එයින් අමරසේකරට අවමානයක් සිදුවිය හැකි වුවත්,  එය අනුරසිරිගේ කම්පාවට නොව සතුටට හේතු වන්නක් බව ඔහුගේ ලිපියේ ස්වරය හ`දුනන   ඕනෑම අයෙකුට වැටහෙයි. එහෙයින් අනුරසිරිට ඇත්තේ අමරසේකරගේ අවමානය ගැන ප‍්‍රශ්නයක්ද නොවේ. 

මීළඟට සම්මාන සම්බන්ධව අමරසේකර මහතාගේ පිළිවෙත හෙලිකරන අතීත සිදුවීම් දෙකක්ද අනුරසිරි ගෙන හැර දක්වයි. ඒ සිදුවීම් ගැන යමක් කීමට මට හැකියාවක් නැතත්, ඒවා අනුරසිරිගේ විරෝධයට අදාල ප‍්‍රධාන හේතු කාරණාද නොවේ. තවද අමරසේකර යනු සම්මාන උත්සවවලට බැට දුන් ඉතිහාසයේ පළමු මිනිසා ද නොවේ. අනෙක් අතින් හරි වුවද වැරදි වුවද අමරසේකරගේ ප‍්‍රකාශය කිසියම් කාරණයක් සම්බන්ධව කිසියම් පුද්ගලයකුගේ පෞද්ගලික ස්ථාවරයකි. ඒ ප‍්‍රකාශය හුදු අදහසක් විනා රාජ ආඥාවක් හෝ කැබිනට් තීරණයක්  නොවේ. අඩු තරමේ එය කිසිදු සංගමයක, බලාධිකාරියක, සංවිධානාත්මක ආයතනයක නිල තීන්දුවක් හෝ නොවේ. අමරසේකර බලපෑම් සහගත පුද්ගලයකු වූ පලියට ඔහුගේ ප‍්‍රකාශය අසා කිසිවකු සම්මාන දීම නතර නොකරන බවද අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එහෙයින් එවන් තනි පුද්ගල ප‍්‍රකාශයක් පිළිබ`ද අනුරසිරි මේසා කලබල වීමද එතරම් තර්කානුකූල නොවේ. 

මීළඟට අමරසේකරගේ ප‍්‍රකාශයේ එන ඇතැම් කාරණා සලකා බලතොත් ඒවා මෙවර අමරසේකරටත් පෙර හඬ නගා කියා සිටියේ අනුරසිරිගේම දෘෂ්ටිවාදී මිතුරකු වන ප‍්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා විසිනි. සිළුමිණ පුවත්පතට අදහස් දක්වන ඒ මහතා සම්මාන මණ්ඩලවල සිටින එන්.ජී. ඕ කාරයන්ට, ඔවුන්ගේ අරමුණුවලට, මංජුලගේ යක්ෂණීට, අමරකීර්තිගේ කුරුලූ හදවතට හොඳ හැටි දෙහි කපා තිබුණද අනුරසිරිට ඒ වග මෙහිදී නිකමටවත් සිහිපත් නොවේ. එන්.ජී. ඕ වලට දොස් කීමෙන් සිංහල සාහිත්‍යයේ ප‍්‍රගමනයට දැරිය නොහැකි හානියක් සිදුවේ යැයි අනුරසිරි කල්පනා කරන්නේ නම් ඔහු පළමුව කළ යුතුව තිබුණේ සම්මාන නොලැබීමත් සමඟ අවදි වූ තම දෘෂ්ටිවාදී මිත‍්‍රයා සන්සුන් කිරීමය. එසේ වුවද ඒ සියල්ල පසෙක තබා අමරසේකර වෙත හදිසියේ කඩා පනින්නට අනුරසිරිට සිදුවී ඇත්තේ කුමක් නිසාද? මේ කාරණා දෙස විමසිල්ලෙන් බැලීමේදී අමරසේකරගේ ප‍්‍රකාශය ඉක්මවන විරෝධයක් අනුරසිරිගේ ලිපිය තුළ ගැබ්වී ඇති බව පැහැදිලිව පෙනෙයි. වැදගත් වන්නේ ඒ පමණ ඉක්මවන විරෝධයේ පදනම කුමක්දැයි දේශපාලනිකව තේරුම් ගැනීමය.

අනුරසිරි විසින් තම ලිපිය තුළ අමරසේකරගේ ප‍්‍රකාශය බිද හෙලීමට කරුණු දක්වා නැති බවද මෙහිදී සිහිපත් කළ යුත්තකි. ඒ වෙනුවට ඔහු විසින් කර ඇත්තේ අමරසේකර මහතා කියන දේම උත්ප‍්‍රාසවත් බසින් ලිපිය පුරා පුනරුච්චාරණය කිරීමය. කෙසේ හෝ වේවා අනුරසිරිට සැබෑ ප‍්‍රශ්නය ඇත්තේ අමරසේකර මහතාගේ  දේශපාලන භූමිකාව සම`ගිනි. වෙන කුමන වැල්වටාරම් දෙඩවුවද අවසානයේ සියල්ල ඒ වටා කේන්ද්‍රගත වෙයි. ඔහුගේම වදනින් කිවතොත් අනුරසිරිගේ අභිලාෂය වන්නේ ජාතිකවාදී දේශපාලන කුලකයක ප‍්‍රචණ්ඩකාරී මතවාදීමය බලපෑමෙන් පිරිසිදු සාහිත්‍ය ක්ෂේත‍්‍රය මුදවා ගැනීමය. මැදහත් සාධාරණ පුද්ගලයකු වන අනුරසිරි මහතා අමරසේකරගේ දේශපාලන අන්තවාදයට එරෙහි වන්නේ ඒ පදනමිනි. දැන් අපි මේ අපූරු ප‍්‍රවේශය කුමක්දැයි ම`දකට විමසා බලමු. 

යක්ෂයාගේ ආදර්ශය

පළමුකොටම දේශපාලන මතවාදයන්ගේ බලපෑමින් වියෝවූ සාහිත්‍යයක් කොහේ තිබෙන්නේදැ යන ප‍්‍රශ්නය අනුරසිරි ලවාම විස`දාගත යුත්තකි. සාහිත්‍යය කිසිදා ගැලවිය නොහැකි තරමට දේශපාලනය හා වෙලී පවතින්නක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එහෙත් ඒ සාමාන්‍ය පැවැත්මට ඔරොත්තු නොදෙන තරමේ සංවිධානාත්මක මතවාදී බලපෑම් විටෙක ගැටලූ සහගත විය හැකි බව මමද පිළිගනිමි. එසේ වුවද එහි තේරුම සාහිත්‍යය, සංවිධානාත්මක මතවාදී බැ`දීම්වලින් සපුරා නිදහස් විය යුතු බවද නොවේ. දේශපාලන සත්වයන් වශයෙන් එවන් පූර්ණ නිදහසක් ඉල්ලා සිටීමට අපට හැකියාවක් නැත. එය එසේ තිබියදී හෝ වේවා සාහිත්‍ය කෙරේ වූ පමණ ඉක්මවන දේශපාලන බලපෑම්වලට එරෙහිවීම සාධාරණ යැයි ම`දකට සිතමු.  එහෙත් එසේ එරෙහිවන්නෙකට අමරසේකරට පෙර එරෙහිවිය යුතු කොතෙකුත් දේ ඇති බව මෙහිදී කිසිවකුට අමතක කළ හැකි නොවේ. අමරසේකරද අහිංසක පුද්ගලයකු නොව දේශපාලන ප‍්‍රවාහයක නියෝජිතයෙකි. එහෙයින් ඔහු සම්බන්ධව යමකුට විවේචනයක් තිබීම ප‍්‍රශ්නයක් නොවේ. එහෙත් ඒ විවේචනය පොදු සමාජීය අර්ථයෙන් සාධාරණ එකක් වන්නේ රටේ සැබෑ සමාජ දේශපාලන පසුබිම තුළ ඊට වලංගුභාවයක් ලබාදිය හැක්කේ නම් පමණි. අනුරසිරිගේ විවේචනය එවැන්නක්ද?

අමරසේකර යනු බලයක් සහිත වුවද තනි පුද්ගලයෙකි. එසේ වුවද එදා මෙදා තුර මෙරට කි‍්‍රයාත්මක වූ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රමාණය දසදහස් ගණනකි. ඒ වටා සෘජුව හා වක‍්‍රව ඒකරාශී වී සිටි ශාස්ත‍්‍රීය බුද්ධිමතුන්, සාහිත්‍යවේදීන්, කවියන්, කලාකරුවන් සංඛ්‍යාවද අති විශාලය. ඔවුන් කටයුතු කරන ලද්දේද කලාවේ ප‍්‍රගමනයකට වඩා තමන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍ර මත පිහිටා බව අමුතුවෙන් ස`දහන් කළ යුත්තක් නොවේ. එන්ජී ඕ සහිතව හෝ රහිතවද එහෙත් ඔවුන්ගේ මහා පොදු න්‍යාය පත‍්‍රයක් වෙනුවෙන් පෙල ගැසුනු සංවිධානාත්මක ප‍්‍රයත්නයන් රාශියක් මෙරට ක‍්‍රියාත්මකව තිබිණි. විවිධාකාර වෙබ් අඩවි, පත්තර, ස`ගරා, කොළඹ කේන්ද්‍රීය කව, සංසද, කේන්ද්‍ර, ආදී එවන් නහුතයක් විකල්ප ආයතන මෙරට තුළ කි‍්‍රයාත්මක වූයේ අන්ත පක්ෂග‍්‍රාහී දේශපාලන න්‍යාය පත‍්‍ර මත පිහිටා මිසක සාහිත්‍යයේ හෝ රටේ යහපත පිළිබ`ද අවංක කල්පනා සහිතව නොවේ. අද මෙරට සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ ආධිපත්‍ය හිමිකරගෙන ඇත්තේද මේ පිරිස විසිනි. තම තමන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සාහිත්‍ය කලාව හා ශාස්ත‍්‍රීය විශයන් වඩාත්ම දරුණු ලෙස දූෂණයට ලක්කළ බුද්ධිමය අපරාධකරුවන් රටට බිහිකර ඇත්තේ මේ ගෝත‍්‍රය විසිනි. එහෙයින් දේශපාලන බලාත්කාරයෙන් සාහිත්‍ය මුදවාගන්නට දිවි දෙන්නෙකු පළමුව එරෙහි විය යුත්තේද මේ පරගැති බල අධිරාජ්‍යයට මිස ගුණදාස අමරසේකරට නොවේ.

එහෙත් අද අනුරසිරිගේ ප‍්‍රවේශය වී ඇත්තේ කුමක්ද? ඒ තුළ අපට හමුවන්නේ එන්.ජී. ඕ සංවිධාන, කොටි හිතවාදීන්, බටහිර බලපෑම්, ආදී සියල්ල විහිලූවට හා සැහැල්ලූවට ලක් කරමින්, අමරසේකරගේ මතවාදී බලාත්කාරයක් ගැන පමණක් ගැඹුරින් සලකා බලන අනුරසිරි කෙනෙකි. අමරසේකරගේ සාහිත්‍ය බලාත්කාරය ගැන කම්පා වන මේ පුද්ගලයා මංජුල වෙඩිවර්ධන ගැනද සාඩම්බරයෙන් ස`දහන් කරයි. අද අන්ත පක්ෂග‍්‍රාහී පුවත්පත් කඩමාලූ සමඟ එක්වී මිලේච්ඡ මුස්ලිම් අන්තවාදය සාධාරණීකරණය කරන නිවේදනවලට තම නම යොදමින්  සිටින්නේද මේ අනුරසිරි හෙට්ටිගේම මිස අන් කවරකුවත් නොවේ. එවැනි පුද්ගලයකු සාහිත්‍යයට එරෙහි දේශපාලන බලාත්කාරයන් ගැන කතා කිරීම අනුරසිරිගේ ගෙල කැපූ මර්වින් ඇමතිවරයා මැරකමට එරෙහිව හඬ නැඟීම පන්නයේ ලෝක විහිළුවකි. දිගු විශ්ලේෂණ සියල්ල පසෙක තබා පෙර කී වෙඩිවර්ධන පිළිබද කාරණය පමණක් සලකා බැලූවද අනුරසිරි කුමන ආකාරයේ හෙට්ටිගේ කෙනෙක්දැයි වටහා ගැනීමට එයම  ඕනෑවටත් වඩා ප‍්‍රමාණවත්ය. අද අනුරසිරි විසින් අමරසේකර බිම හෙලා ඔසවා තබන්නට යන ඔහුගේ ආදර්ශමත් යක්ෂයා කවරෙක්ද? 

ඒ යක්ෂයාට හොඳ කවිකමක් ඇති බව සැබෑවක් වුවද ඔහු ඒ කවිකම තම දූෂිත දේශපාලනය වෙනුවෙන් කාටත් වඩා නරක ලෙස අවභාවිතයේ යෙදවූ සාහිත්‍යමය අපරාධකාරයෙකි. මංජුලගේ ජීවිත කතාව හෝ යක්ෂණීගේ කතාව පසෙක තබා ඔහු ලියූ මාතෘකාවක් නැති මාතෘභූමිය වැනි කවිපොතක් පමණක් සලකා බැලූවද මේ අවභාවිතයේ තරම මනාව වටහා ගත හැක්කකි. උතුරේ ප‍්‍රශ්නය පිළිබඳ කවි බසින් ලස්සන බොරු ලියූ ව්‍යාජ කවියන් අතර මංජුල පෙරමුණේ සිටින්නෙකි. ඔහු ඒ ප‍්‍රශ්නය දෙස බලන ලද්දේ කවියකුගේ මානුෂික ඇසකින් නොව අන්ත පක්ෂග‍්‍රාහී කොටි සාමාජිකයකුගේ ඇසකිනි. දෙමළකම පිළිබඳ අතිශෝක්තියට නැංවූ ගැටලූ මිස මනුෂ්‍යත්වය පිළිබඳ සැබෑ ගැටලූවක් කිසිදා මංජුලට නොතිබූ අතරම ඔහුගේ එකී ආස්තානය සේවය කළේද ඊනියා දෙමල හෝ සිංහල විමුක්තියක් වෙනුවෙන් නොව මිලේච්ඡ කොටි ත‍්‍රස්තවාදය වෙනුවෙනි. යුද්ධයක් වැනි සංකීර්ණ ප‍්‍රශ්නයක් විසදීමට ගන්නා කිසිදු ක‍්‍රියාමාර්ගයක් සර්ව සාධාරණ විය නොහැකි වුවත්, මංජුලලාගේ ප‍්‍රවේශය සැලකිය හැක්කේ ඒ ප‍්‍රශ්නය හමුවේ ගත හැකිව තිබූ අසාධාරණම ප‍්‍රවේශය වශයෙනි. ඒ ප‍්‍රවේශය අසාධාරණ වන්නේ හුදු සිංහල, බෞද්ධ හෝ ලාංකීය අර්ථයකින් නොව පොදු මහත් මනුෂ්‍යත්වයේ අර්ථයෙනි. එසේ වුවද මනුෂ්‍යත්වය ගැන වැඩියෙන්ම නන් දොඩවන ඇතැම් සාහිත්‍යකරුවෝ මේ නරුම මතවාදයේ නිත්‍ය කොටස්කරුවන් වූහ. එය ඔවුන්ගේ මෝඩකම හෝ තක්කඩිකම පමණක් නොව ඔවුන් වටා පැවති විශාල මතවාදීමය හා සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරයකද ප‍්‍රතිපලයක් වූ අතර උතුරේ ප‍්‍රශ්නය සම්බන්ධව වඩාත් මිලේච්ඡතම හා වඩාත්ම මානව විරෝධී ආස්තාන වෙනුවෙන් පෙනී සිටි මංජුලලා වැනි අත් කපා ගත යුතු කවියන් නිර්මාණය කරන ලද්දේ එම ව්‍යාපාරය විසිනි. 

එසේ නම් එවන් වූ ව්‍යාපාරයක් වෙනුවෙන් පෙනී සිටින අනුරසිරි හෙට්ටිගේ වැන්නකු අමරසේකරගේ බලාත්කාරයක් ගැන කම්පා වීම බුද්ධිමත් පාඨකයන් විසින් එතරම් බැරෑරුම් ලෙස ගත යුත්තක් නොවේ. මන්ද යත් අමරසේකරගේ දේශපාලන ප‍්‍රවේශය කිසි ලෙසකින්වත් වෙඩිවර්ධනගේ තරම් ආත්ම මූලික, ව්‍යාජ හා මානව විරෝධී ප‍්‍රවේශයක් නොවන බැවිනි. 

විකල්ප භූමියේ අස්වැන්න

අනුරසිරි වනාහී හොඳ නිර්මාණ ශක්තියකින් යුත් කතාකාරයකු වුවද නිරවුල්ව ප‍්‍රශ්න දෙස බැලීමට ඔහුගේ දේශපාලන මතවාදය ඔහුට බාධා පමුණුවයි. මගේ මිතුරා ඇද වැටී සිටින මතවාදී ලිංපතුලෙන් ගොඩඒම සඳහා තම නිර්මාණ බුද්ධිය ඔහුට තවමත් මහෝපකාරී වී නොතිබීම කනගාටුවට කරුණකි. එය සැලකිය හැක්කේ හුදු ඔහුගේම වරදකටත් වඩා ඔහු පය ගසා සිටින විකල්ප භූමි භාගයම වසා ගත් අර්බුදයක් වශයෙනි. මා විසින් නොයෙක් තැන්වලදී ගෝස්තරවාදී විකල්ප ගෝත‍්‍රය ලෙස හඳුන්වා ඇති මේ දූෂිත බලවේගයේ ග‍්‍රහණයට නතුවූ පළමුවැනියා අනුරසිරි නොවේ. 

අද ප‍්‍රභාකරන්ට හෝ බොකෝ හරාම් කල්ලියට ජාතිවාදී යැයි කීමට නොඇරෙන කටවල් වලින් අමරසේකර ජාතිවාදී යැයි කෑගසන මන්ද මානසික දරුවන් උත්පාදනය වී ඇත්තේ මේ ගෝත‍්‍රය තුළිනි. ෆුල්බ‍්‍රයිට් වට්ටෝරුවලට අනුව රටේ ඉතිහාසය කනපිට හරවා කතන්දර ලිවීමෙන් සමාජ විප්ලවයක් සිදුකළ හැකි යැයි සිතන අඳ බාලයන් නිර්මාණය වන්නේ මේ ගෝත‍්‍රය තුළිනි. මහපොළවේ ශක්තිමත්ව තිබූ සමාජ දේශපාලන ව්‍යාපාර කොළඹ සම්මන්ත‍්‍රණ ශාලා තුළ කොටු කිරීමට අවශ්‍ය ඔල්මොරොන්දම්  මතවාද සකසන ලද්දේද මේ ගෝත‍්‍රය විසිනි. සියලූ සමාජ සම්මුතීන් අධිපති දෘෂ්ටිවාද ලෙස සලකමින් තිරිසන්කම කුළුගන්වන සාහිත්‍යයක් සඳහා පශ්චාත් නූතන අටුවා සැපයීමද මේ ගෝත‍්‍රයේ අවශ්‍යතා අනුවම සිදුවන්නකි. අද බාල සිල්ලර විද්යුත් මාධ්‍ය විසින් සිදුකරමින් තිබෙන සමාජ පාදඩකරණ කි‍්‍රයාවලියේ ශාස්තී‍්‍රය වැඩ කොටස ඉටු කරමින් සිටින්නේද මේ ගෝත‍්‍රය විසින් මිසක අන් කවරකු විසින්වත් නොවේ. අවසාන වශයෙන් ගත්කළ පදනමකින් තොරව අමරසේකරට බැටදෙන අනුරසිරිලාගේ මනසද මේ ගෝත‍්‍රයේම සාමූහික නිර්මාණයකි. නිර්මාණකරණය කුමක් වෙතත් මතධාරියකු ලෙස අනුරසිරි පෝශණය ලබන්නේද අමරසේකරගේ විවේචනයට නතුවන දූෂිත දේශපාලන පරිසරය තුළිනි. කුමන පරිසරයෙන් හෝ පෝශණය ලැබීමේ වරදක් නැතත් අව්‍යාජ බුද්ධියකින් යුත් ලේඛකයා තමන්ගේ පරිසරය ඉක්මවා සිතීමට කවදා හෝ සමත් විය යුතුය. නිර්මාණකරුවා කෙසේවෙතත් අනුරසිරි හෙට්ටිගේ නම් වන දේශපාලන මතධාරියා තවමත් සැලකිය හැක්කේ තමන්ගේ චූල පරිසරය ඉක්මවා සිතීමේ හැකියාව අත්කර නොගත් නොමේරූ ලදරුවෙකු වශයෙනි. එය ඔහුගේ පටු මතවාදී ලෝකය දෙස බලා එළඹීමට සිදුවන සැබෑ නිගමනයක් මිස ඔහුට අවමන් කිරීම සඳහා කරන ප‍්‍රකාශයක් නොවේ. අවංක උත්සාහයක් තිබේ නම් තමාගේ ගෝත‍්‍රයට වඩා සැබෑ ලෝකය විශාල බව වටහා ගැනීමට අනුරසිරිගේ නිර්මාණ බුද්ධිය  ඕනෑවටත් වඩා ප‍්‍රමාණවත් යැයි මම විශ්වාස කරමි. 

බෞද්ධ කෝකටත් තෛලය

අනුරසිරි තම ලිපිය අවසාන කරනුයේ සිංහල බෞද්ධ සමාජයේ අතාර්කික ආගමික බලාත්කාරයක් ගැනද සඳහන් කරමිනි. ඔහු පසුගිය දිනවල ආගමික සහජීවනයේ උසස්ම පලය වන ඉස්ලාම් අන්තවාදයට පක්ෂපාතී නිවේදන ස`දහා නම ඇතුලත් කරන ලද්දේද එකී බෞද්ධ බලාත්කාරයෙන් ලෝකය බේරාගැනීමට විය යුතුය. අනුරසිරිගේ දෘෂ්ටිවාදී මිතුරන් පවසන ආකාරයට ශී‍්‍ර ලංකාව කුඩා පස් ගොඩකි. එහෙත් තව රටවල් දෙසිය ගණනක් හා සංස්කෘතීන් ඊටත් වැඩි ප‍්‍රමාණයක් මේ විශාල ලෝකය තුළ තිබේ. මේ අනෙක් රටවල් ගැන, අනෙක් සංස්කෘතීන් ගැන, ලෝක දේශපාලනය ගැන, ඉතිහාස හා වර්තමාන සිදුවීම් ගැන ඉතාම මූලික අවබෝධයක් හෝ අනුරසිරි ලැබ තිබුණේ නම් යහපත්ය. එවිට ඔහුට සිංහල බෞද්ධ සමාජයේ ප‍්‍රබලතා පමණක් නොව දුබලතා දෙසද මැදහත්ව බැලීමට හැකි වනු ඇත. එහෙත් මෙතැන ඇත්තේද අනුරසිරිගේ සාමාන්‍ය දැනීම ගැන ගැටලූවකට වඩා ඔහුට වැළ`දී ඇති පරපුරේ ව්‍යාධිය සම්බන්ධ ගැටලූවකි. සිංහල බෞද්ධකමට පහරදීමෙන් තොරව අධෝවාතයක්වත් පිට කළ නොහැකි වීමේ ප‍්‍රශ්නයද විකල්ප පරම්පරාවෙන්ම ඔහුට උරුම වූ ප‍්‍රවේණික රෝගයකි. ඒ රෝගයේ නිධානය කුමක්දැයි වටහා ගැනීමේ අභ්‍යාසය ස`දහා තම නිර්මාණ බුද්ධිය ම`දකට මෙහෙයවන ලෙස මම අනුරසිරිගෙන් ඉල්ලීමක් කිරීමට කැමතිය. ඒ ඉල්ලීම කිසිදු අමනාපයක් නිසා නොව එවන් ප‍්‍රවේශයක් ඔහුට මෙන්ම රටටද වඩා පලදායක වනු ඇතැයි මා අවංකවම විශ්වාස කරන නිසාය.

ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com

8/12/2014

මුස්ලිම් අන්තවාදය හමුවේ යළි යළිත් ගැලවී යන විකල්ප ගෝත්‍රයේ විශ්ව සාධාරණ වෙස් මුහුණු.

කතෘ:යුතුකම     8/12/2014   9 comments
මුස්ලිම් ප‍්‍රශ්නයක් පිළිබඳ පෙර නුවූ අන්දමේ දේශපාලන කැළඹීමක් මේ වනවිට රට තුළ ඉස්මතු වෙමින් තිබෙන්නේ කාලයක සිටය. අලූත්ගම ප‍්‍රදේශයේ පසුගිය දා ඇතිවූ අවාසනාවන්ත ජාතිවාදී ගැටුමද ඒ කැළඹීමේ නරක ප‍්‍රකාශනයක් වන අතර මේ වන විට එය විවිධ තලයේ සමාජ දේශපාලන සංවාදයන්ට නිමිති වී තිබෙන්නකි. මෙරට සාහිත්‍ය, ශාස්තී‍්‍රය, ඇකඩමික් සමාජයද මේ ගැටුම හා මුස්ලිම් ප‍්‍රශ්නය ගැන නොයෙක් ක‍්‍රම ඔස්සේ ප‍්‍රතිචාර රැසක් මුදා හැර තිබිණි. අලූත්ගම ගැටුම හෝ මුස්ලිම් ප‍්‍රශ්නය සෘජුවම ඇකඩමික් ලෝකයට අදාල මාතෘකාවක් නොවුනද මෙරට විකල්ප ඇකඩමියාව මත කලක සිට බලපවත්වමින් තිබෙන ප‍්‍රශ්නයක් අලූත් ප‍්‍රවේශයක් ඔස්සේ තේරුම් ගැනීම සඳහා ඉහත සිදුවීම දැන් අවස්ථාවක් සපයා දී තිබේ. මේ රචනයේ අභිලාෂය වනුයේ මුස්ලිම් ප‍්‍රශ්නය ගැන කතා කිරීම නොව ඒ ප‍්‍රශ්නය කෙරේ වූ ඇතැම් ප‍්‍රතිචාර පාදක කරගනිමින් මෙරට විකල්ප ඇකඩමික් සමාජය තුළ කලක සිට ඔඩු දුවමින් පවතින චින්තනමය ව්‍යාධියක බරපතලකම කෙරේ පාඨක අවධානය මඳකට යොමු කිරීමය.

අර්බුදයේ පසුබිම

ආගමික ජාතික සීමා පසෙක තබා පොදුවේ මනුෂ්‍යයකු ලෙස කරුණු විමසා බැලූවද බෞද්ධ සංස්කෘතිය, ඉස්ලාම් සංස්කෘතියට සාපේක්ෂව ලෝකයට බෙහෙවින් හිතකර හා සහනශීලී එකකි. එය දිදුලමින් පෙනෙන ඇත්තක් මිසක අන් සංස්කෘතියක් කෙරේ හෙලන ද්වේශ සහගත බැල්මක් නොවේ. ඉස්ලාමය යනු ස්වභාවයෙන්ම මූලධර්මවලට විශාල බරක් තබා කටයුතු කරන, නිදහස් චින්තනයට ඉතා අල්ප ඉඩක් සහිත, වෙනස්වීම්වලට ලේසියෙන් අනුගත නොවන, ආක‍්‍රමණශීලී දෘඩ ආගමික ප‍්‍රවණතාවකි. එහෙත් එය එසේවූ පමණින් මෙරට ප‍්‍රධාන සංස්කෘතිය තුළ වසර සිය ගණනක් සමගියෙන් ජීවත් වූ සහෝදර මුස්ලිම් ජනයාට එරෙහි වීම කිසිවකුට කළ හැක්කක් නොවේ. ඔවුන්ගේ නිදහස් පැවැත්ම කා විසිනුත් පිළිගත යුත්තකි. එසේ වුවද බහුවිධ ලෝකයක ජීවත් වීමේදී පොදු යහපතට සරිලන ලෙස තමන්ගේ දැඩි සංස්කෘතික ඇබ්බැහිකම් සුඛනම්‍ය කර ගැනීම  ඕනෑම ජාතියක ආගමක වගකීම බවද අමතක කළ හැකි නොවේ. හරි නම් ඉස්ලාම් බුද්ධිමතුන් විසින් කළ යුතු වන්නේ තම ආගමික ඉගැන්වීම්වලට ඔවුන්ගේ ආගමික පදනම තුළම නව කියවීම් ලබාදෙමින් තම දහම හා සංස්කෘතිය නූතන ලෝකයට ගැලපෙන සේ යාවත්කාලීන කිරීමය.  කාගේත් යහපතට හේතුවන හා ප‍්‍රතිවිරෝධතා සමනය කර ගත හැකි එවන් ප‍්‍රවේශයක් ඉස්ලාමයට වෙසෙසින්ම වැදගත් වෙයි.
 
එසේවුවද වත්මන් ලෝකය තුළ අපට හමුවන්නේ යාවත්කාලීන වීම වෙනුවට තවදුරටත් බියකරු මූලධර්මවල ගිලීයමින්, ත‍්‍රස්ත බලය ඔස්සේ ආගම පතුරුවන, මිලේච්ඡ ආක‍්‍රමණකාරීත්වයකට මාරුවූ ඉස්ලාමයකි. සාම්ප‍්‍රදායික මුසල්මානුවන් පවා බියෙන් සලිත කරමින් තිබෙන මේ ජිහාඞ් අන්තවාදය අද ලෝකයම ගිනි අවුලූවමින් තිබෙන බිහිසුණු ප‍්‍රශ්නයකි. අනෙක් අතට බටහිර රටවල් විසින්ද මේ අන්තවාදී ප‍්‍රවණතා තමන්ගේ උපායමාර්ගයන්ට අනුකූලව හසුරුවමින් සිටිති. තමන්ගේ රටවල් තුළ සහජීවනයකින් තොරව අන්තවාදයට බැටදෙන ඔවුහු, තම සතුරු රටවල් සම්බන්ධ කාරණාවලදී අන්තවාදයට අත්වැල් සපයති. තවද විවිධාකාර සංකීර්ණ ඉසව් රැසක් කරා මේ අර්බුදයේ අක්මුල් පැතිරී ඇති අතර ලංකාව තුළ මෑතක සිට ඉස්මතු පවතින සිංහල මුස්ලිම් ප‍්‍රශ්නය තේරුම් ගත යුත්තේද මේ සමස්තයේ කොටසක් ලෙස මිසක අලූත්ගම සිදුවීමකට හෝ භික්ෂුවකගේ සැර කතාවකට සීමා වෙමින් නොවේ.

සිංහලයා තුළද ජාතිවාදය තිබිය හැකිය. කල්ලි වශයෙන් බෙදී කෙරෙන ආවේගශීලී හැසිරීම් වෙත මිනිසා පොළඹවාලීමද ඉතා පහසුය. ජාතිවාදී ගැටුමකදී කිසිදු පාර්ශවයක් සපුරා නිදොස් වීමට ඇති ඉඩකඩද ඉතාම අල්පය. එසේ වුවද මේ සමස්ත චිත‍්‍රය අපක්ෂපාතීව සලකා බැලීමේදී සිංහල ජාතිවාදය යනු මීනී මෝරුන් අහිනක් හමුවේ සිටින හාල්මැස්සෙකුට වඩා වැඩි යමක් නොවන බව වටහා ගැනීමට විශේෂ බුද්ධියක් වුවමනා නොවේ. එහෙත් අද මේ සැබෑ ප‍්‍රශ්නය හමුවේ ඇතැම් අමු කෑ උගතුන් හැසිරෙමින් සිටින්නේ කෙසේද?

උත්ප‍්‍රාසවත් නිරීක්ෂණ කීපයක්
 
අලූත්ගම ගැටුම සිදුවූ වහාම මෙරට සංවේදී කවීහු රැුසක් ඊට ප‍්‍රතිචාර දක්වා තිබිණි. එන්ජී ඕ  විප්ලවවාදිනියන්ගේ කලා සංස්කෘතික වෙබ් අඩවි හරහා මේ කවි ප‍්‍රචාරය වී තිබිණි. ජාතිවාදයට එරෙහි උත්තර මනුෂ්‍යත්වයක් ගැන කතා කරන කවියන් අතින් මෙවැනි කවි ලියැවීමේ කිසිදු වරදක් නැතත් ජාතිවාදයට එරෙහි කවි වෙනුවට සිංහල විරෝධී කවි ලිවීමට මේ කවීන් සියල්ලෝම පාහේ උත්සුක වී තිබුණේ පුදුමාකාර ලෙසය. ඔවුන්ගේ කවිවල මහා පොදු අර්ථය අපට කියාසිටින්නේ මුස්ලිම් පාර්ශවය සර්ව සාධාරණ අහිංසකයන් වනවිට අතර සිංහලයා වනාහී අහේතුකව සුලූ ජාතීන්ට පහර දෙන ලේ තැවරුනු මිලේච්ඡුයන් කොටසක් බවය. පුද්ගල දෙපිරිසක් අතර ඇතිවන ගමේ ගොඬේ පුංචි රණ්ඩුවකදී පවා මේසා සරල ලෙස හරි වැරදිකරුවන් වෙන්කළ නොහැකි වුවද බොහෝ දේ පළල්ව දකින බව කියන කවි කාරයන්ට අලූත්ගම සිදුවීම පෙනී තිබුණේ එසේය.
 
මීලඟට ඇතැම් මාධ්‍ය මේ සිදුවීම හඳුන්වා තිබුණේ ”කළු ජූනියක්” වශයෙනි. දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් සිංහලයා විසින් සුළු ජාතියකට එල්ල කල විධිමත් ප‍්‍රහාරයක් ලෙස අර්ථ ගැන්වීමටත්, එය සංඛ්‍යාත්මකව අසූ තුනේ කළු ජූලිය තරම් විශාල බව හැඟවීමටත්  මේ තක්කඩි යෙදුම දැනුවත්ව භාවිතා කොට තිබිණි. මීට සමගාමීව කලාකාමී විකල්ප විගඩම්කාරයන් පිරිසක් එක්ව ”තවත් කළු ජූලියක් එපා” යැයි මොරදෙමින් කේක් කපා, නටා ගයා ”කළු ජූලි” සාදයක්ද පවත්වන ලද්දේ ”කළු ජූලි” බහුල ශී‍්‍ර ලංකාවකට ඔවුන්ගේ ඇති ආශාව අනියමින් ප‍්‍රකට කරමිනි. ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාවේ ආශාවන් සමගද මනාසේ සමපාත වන මේ ජූලි වන්නම්  හරහා ඇත්ත සිදුවීමට වන විකෘතියේ තරම හෝ ඒවා රටක් වශයෙන් අපට බලපෑ හැකි ආකාරය ගැන සිතීමට වඩා මොවුන්ට තම ¥ෂිත දේශපාලන ව්‍යාපෘතීන් ප‍්‍රමුඛ වී තිබිණි.
 
මීළඟට තවත් කළු ජූලියකට එරෙහි පුවත්පත් දැන්වීමකටද මේ විකල්ප වීරයන් හා කලා සාහිත්‍යවේදීන් පිරිසක් තම නම් ඇතුළත් කර තිබිණි. කිසිදු මුස්ලිම් ජාතිවාදයක් මේ රටේ නැති ආකාරයට, මැර සිංහල බෞද්ධ ජාතිවාදයකට පමණක් එරෙහිව මොවුන්ගේ අපූරු නිවේදනය නිකුත් වී තිබිණි. එන්.ජී. ඕ මානවවාදීන් බහුතරයකට අමතරව මැදහත් පුද්ගලයන් අතලොස්සක්ද මීට දායක වී තිබුණද මේ පසුපස වූ කූට මෙහෙයුම වටහා ගැනීමට ඒ මැදහත් පිරිසට පවා නොහැකිවීම ඛේදජනකය. අඩුම තරමේ උපක‍්‍රමයක් ලෙස හෝ තම නිවේදනය සිංහල ජාතිවාදයට පමණක් එරෙහි තැනකට සීමා නොකිරීමට මොවුන් ප‍්‍රවේශම් වූයේ නම් ඔවුන්ට තම රෙදි ගලවා ගැනීමෙන් තොරව මේ නිවේදනය මුදා හරින්නට හැකියාව තිබිණි. එසේ වුවද කලක් නිරාහාරව සිටි සතකුට ලැබුණු ආහාරයක් සේ අලූත්ගම සිදුවීම ඩැහැගත් මේ පිරිසට උපක‍්‍රමශීලී වීමට හෝ ඉස්පාසුවක් නොතිබූ බව මෙයින් පැහැදිලි වෙයි.
 
රම්බෝගෙන් වෙඩි කා ලංකාවට පැමිණි එක්තරා ආචාර්යවරයෙක්ද (රම්බෝ යනු ඇමෙරිකානු පෞඩත්වය වෙනුවෙන් නිපදවා ගත් කසිකබල් සිනමා වීරයෙකි.) මුස්ලිම් ප‍්‍රශ්නයට අදාල අපූරු ලිපියක් ලියා තිබිණි. මුස්ලිම් ප‍්‍රජාව සමස්තයක් ලෙස නරක නැති වුවත් අද මධ්‍යස්ත සිංහලයා තුළ පවා මුසල්මානුවා ගැන වැරදි ආකල්ප පවතින බැවින් මුස්ලිම් බුද්ධිමතුන් වහා පෙරට පැමිණ තමන්ගේ යහපත්කම ගැන හ`ඩ ගා කියන ලෙස ඔහු මේ ලිපියෙන් යෝජනා කරයි.  ඔහුට අනුව එසේ කළ යුත්තේ ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව තම පැවැත්ම පිළිබඳ තර්ජනයකට මුහුණ පා ඇති නිසාය. වියුක්තව ගත්කළ කිසිදු වරදක් නොමැති මේ අහිංසක සාධාරණ යෝජනාව පසුපස ඇති දේශපාලන අන්‍යාලාපය කුමක්ද? තමන්ගේ යහපත්කම රටට කියන්නැයි මුස්ලිම් බුද්ධිමතුන්ට පවසන මේ ඇදුරා ලෝකයම ගිනි අවුලූවමින් තිබෙන මුස්ලිම් අන්තවාදයට එරෙහි වන ලෙස ඔවුන්ට යෝජනා නොකරයි. ලංකාවේ ක‍්‍රියාත්මක අන්තවාදී ප‍්‍රවණතා ගැන එම බුද්ධිමතුන්ගේ අදහස කුමක්දැයි ඔහු ප‍්‍රශ්න නොකරයි. ඒ වෙනුවට ඔහු නොකියා කියන්නේ ජාතිවාදී සිංහලයා නිසා අසරණ මුසල්මානුවා නිකරුනේ තර්ජනයට ලක්ව ඇති බව පමණි.
 
අනික ඔහු පෙරලා මේ ලස්සන යෝජනාව සිංහල ප‍්‍රජාව වෙත ඉදිරිපත් නොකරන්නේ කුමක් නිසාද? මුස්ලිම් ප‍්‍රජාවේ කෑ ගසා කිව යුතු යහපත්කම් ඇතත්, ඉතිහාසය පුරා සිංහලයාගේ කිසිදු යහපතක් සහජීවනයක් නොතිබුණා යැයි මේ ආචාර්යවරයා සිතනවාවත්ද? අනික ජාතිවාදී ගැටුම් නිසා පැවැත්ම තර්ජනයට ලක්ව ඇත්තේ මුසල්මානුවාට පමණද? අද සිංහලයාට පමණක් නොව පොදුවේ මේ රටටද ජාතිවාදී ගැටුම් අහිතකර ලෙස බලපාමින් තිබේ. මානව හිමිකම් තොන්ඩුව අතැතිව සිටින ලෝක බලවතුන්ටද මේ සිදුවීම් ආස්වාදජනකය. අලූත්ගම ගැටුම ගැන වැඩිපුර කළබල වූයේද මුස්ලිම් රටවල් නොව බටහිර රටවල්ය. සිංහල බෞද්ධයන්ට හා භික්ෂූන් වහන්සේලාට අද දෙස් විදෙස් විවිධ මාධ්‍ය ඔස්සේ දස අතින් කර්කශ මතවාදී සරදම් එල්ල වෙමින් තිබේ. සිංහලයන් ලෝකයේ මිලේච්ඡුතම ජාතියක් බව ඇමරිකානු තානාපතිනියද පසුගිය දා ප‍්‍රකාශ කර තිබිණි. ඔලූව ගල්වල හප්පා ගත් කවියෝද ඒ කතාව එලෙසින්ම තම කවිවල ලියමින් සිටිති. එවන් තත්ත්වයක් තුළ සිංහලයාගේ යහපත්කම් ගැන ලෝකයට කිසිවක් කීමට මෙවන් ඇදුරන්ට කල්පනා නොවන්නේ කුමක් නිසාද? අන්තවාදයේ පැතිරුනු හෙළුව වසා ගැනීම සඳහා වහ වහා තම අල්ල දික් කරන්නැයි මුස්ලිම් බුද්ධිමතුන්ට යෝජනා කරන මේ සිංහල බුද්ධිමතා, සිංහලයකු තම යහපත්කම් ගැන කතා කළහොත් ඔහු වර්ගෝත්තමවාදියකු ලෙස හැඳින්වීමට නියමිතය. ලංකාවේ වෙරළ තීරවල ගැහැනුන් නිරුවතින් නොසිටීම පවා ජාතික ප‍්‍රශ්නයක් ලෙස සලකන මේ බුද්ධිමතාට බුර්කාවේ කාන්තා හිංසනය ගැන වගක් නැත. සිංහල සංස්කෘතිය සංස්කරණය කිරීමට දිවා ? වෙහෙසෙන මේ මහදැනමුත්තා මුස්ලිම් සංස්කෘතිය සංස්කරණ කිරීමට කිසිවක් නොකරන්නේ එය පෙරටුගාමී පක්ෂයේ සමාජවාදයට වඩාත් ආසන්න සංස්කෘතියක් වන නිසාද?
 
තවත් ෆුටා ආචාර්යවරයෙකු පවසා තිබුණේ චම්පික රණවකට ජාතික ඇඳුම අඳින්නට නිදහස තිබේ නම් මුස්ලිම් ගැහැනුන්ටද කැමති ඇඳුමක් ඇඳිය හැකි බවය. එවන් අපූරු අදහස් රාශියක් සහිත විනෝද සමය බදු වීඩියෝවක් මේ ඇදුරා අන්තර්ජාලයට මුදා හැර ඇති අතර ”බොකෝ හරාම්” යන්නේ අර්ථය ”බටහිර දේ හරාම්” බව සොයාගෙන ඇත්තේද මේ අව්‍යාජ බුද්ධිමතා විසිනි. බොකෝ හරාම් යනු ආගම වෙනුවෙන් මිනීමරන මිලේච්ඡු මුස්ලිම් ත‍්‍රස්ත සංවිධානයකි. මෑතකදී නයිජීරියාවේ කතෝලිකයන් පණ පිටින් පුළුස්සා මැරීම ඇතුළු සාහසික කි‍්‍රයා රැුසකට ඔවුන් දායක වී තිබේ. එසේවුවද ලංකාවේ අමරසේකරලාට බටහිර විරෝධී සංවිධාන හදන්නට හොඳ නම් නයිජීරියාවට නරක මන්දැයි මේ ආචර්යවරයා ඉතා බුද්ධිමත්  ප‍්‍රශ්නයක් මතු කරයි. ලෝකයේ ඇති අනෙකුත් සිය ගණනක් මුස්ලිම් ත‍්‍රස්ත කල්ලි ගැනද ඔහුගේ ආකල්පය මීට සමාන නිසාදෝ ඔහු ඒ ගැන වැඩිදුර සඳහන් නොකරයි.
 
”බල්ලාට පියාපත් ඇත” ”සිංහයා පළතුරු කයි” වැනි කතා කිසිවකු කිවතොත් සාමාන්‍ය ජීවිතයේදී එවැන්නකු සැලකෙන්නේ ඔල්මාදකාරයෙකු ලෙසය. එසේවුවද එවැනිම කතා කියන නිවට ඇදුරන්ව විකල්ප ඇකඩමියාව තුළ බුද්ධිමතුන් ලෙස සැලකෙයි. ඇතැම් පසුගිය සාහිත්‍ය සම්මාන උළෙලවල විනිශ්ව මණ්ඩල පවා පිරී තිබුණේ මෙවන් පුද්ගලයන්ගෙනි. රට, ජාතිය ගැන කතා කරන්නා සාහිත්‍යකරුවකු නොවේ යැයි ඒ ඇතැමුන් පැවසුවද සුළු ජාතීන් සම්බන්ධ කාරණා සියවරක් අතිශෝක්තියට නංවා වර නැගීම ඒ බොහෝ දෙනාගේ ජීවන වෘත්තිය වෙයි.

හන්දියක බුදු පිිළිමයක් හදන විට ”හේතුවාදය” ගැන ”අනාගමික රාජ්‍යය” ගැන නන් දොඩවන මේ පිරිසට අකුරන වැනි ප‍්‍රදේශවල අඩියෙන් අඩියට පල්ලි ඉදිවන විට ආගමික සහජීවනය සිහිපත් වෙයි. එදා ආරක්ෂක අංශ විසින් කොටි ත‍්‍රස්තවාදය මැඩලන විට දෙමළාගේ විමුක්ති අරගලය ධනේශ්වර මර්දන යන්ත‍්‍රයට බිලිවෙන බව කියමින් ලතෝනි දුන් මේ පිරිසම, අද බෞද්ධ සංවිධාන මැඩලීම සඳහා ධනේශ්වර මර්දන යන්ත‍්‍රයේ පිහිට අයදිති. කොටින්ට හෝ බොකෝ හරාම් කල්ලියට ත‍්‍රස්තවාදීන් යැයි කීමට දිව නොනැමෙන මේ දැනමුත්තෝ්, අද කිසිදු අපරාධයක් සිදු නොකළ භික්ෂූන් වහන්සේලාට ත‍්‍රස්තවාදී ලේබල් අලවති. සැබවින්ම එවන් ත‍්‍රස්තවාදයක් තිබුණේ නම් කටක් සෙලවීමට ඉදිරිපත් නොවන මේ බියසුල්ලන් අද නැති ත‍්‍රස්තවාදයකට එරෙහි වීම හරහා වීරයන් වීමටද කෙටි මගක් පාදාගෙන තිබේ. හලාල් ප‍්‍රශ්නයේදී සමස්ත ආහාර නිශ්පාදනයම ඉස්ලාම්කරණය කිරීම තුළ කිසිදු ජාතිවාදයක් නුදුටු මේ පිරිසට, හලාල් අධිපතිවාදයට එරෙහි වූ බලවේග පෙනුනේ පරම ජාතිවාදීන් වශයෙනි. ඉස්ලාම් භක්තිකයන්ට හලාල් ආහාර ගැනීමට ඇති අයිතියට කිසිදු බෞද්ධ සංවිධානයක් එරෙහි නොවුනද එකී සාධාරණ ප‍්‍රවේශය පවා මේ පිරිසට දරා ගත හැකි නොවීය. යම් හෙයකින් බෞද්ධ පිලිවෙත් අනුව ආහාර නිශ්පාදනය කිරීමේ ක‍්‍රමවේදයක් රටට පැමිණියහොත් මොවුන් හැසිරෙනු ඇත්තේ කෙසේද? එසේනම් රෙදි ඔසවා ගනිමින් බෞද්ධ අධිපතිවාදයට එරෙහිව නැගී සිටීමට නියමිත මේ පරපුටුවන් රොත්ත, අනාගමික ආහාර සඳහා වූ විද්වත් සංසද, ජනතා ව්‍යාපාර, ගෘහනි එකමුතු ආදිය පිහිටුවමින් තොවිල් නටන ආකාරය රටටම දැකගත හැකි වනු ඇත.  අවශ්‍ය නම් තව උදාහරණ ඇති තරම් දක්වමින් පහදා දිය හැකි විකල්ප ගෝත‍්‍රයේ මේ නාටකීය හැසිරීම අවසානයේදී අප විසින් වටහා ගත යුත්තේ කෙසේද?

එකම කඳවුරක පුරුදු හඬ

ඉතා පැහැදිලි ලෙසම එදා කොටි ත‍්‍රස්තවාදය වෙනුවෙන් ප‍්‍රශස්ති ගැයූ මේ පිරිසම අද ජිහාඞ් අන්තවාදයට ආවඩමින් සිටිති. එදා කොටින්ට විමුක්ති කවි ලියූ අත් කපා ගත යුතු කවියෝද අද ජිහාඞ් ත‍්‍රස්තවාදයට කවි මල් පලඳවමින් සිටිති. ලිබරල්වාදීන්, මාක්ස්වාදීන්, පශ්චාත් නූතනවාදීන්, ස්ත‍්‍රීවාදීන්, වනචාරී ධනවාදීන් ඇතුළු සියලූ වර්ගවල ගෝත‍්‍රවාදීහු අද මුස්ලිම් ප‍්‍රශ්නය හමුවේ එකම කඳවුරකට ගාල්වී සිටිති. නිතරම ජාතිවාදයට එරෙහිව ඝෝෂා නගන මේ පිරිස සිංහල ජාතිවාදය නැමති හාල්මැස්සාට පමණක් පහරදෙමින්, මුස්ලිම් අන්තවාදයේ මිනීමෝරුන් සුරකිති. මේ කාරණා හමුවේ එදා මෙදා තුර මොවුන් වර නැගූ ජාතිවාද විරෝධය වනාහී ගණිකාවකගේ පතිවත වැන්නක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

කෙසේ හෝ වේවා ඔවුන් මේ අත තබා ඇත්තේ එසේ මෙසේ පුහුලකට නොවන බව අද ඔවුන්ටම තේරුම් ගොස් ඇති සැටියකි. කොටි හිතවාදය හරහා එදා තම ව්‍යාජ මානවවාදී ප‍්‍රබුද්ධත්වය සීයට පනහකින් හානි කර ගැනීමට ඔවුන්ට සිදුවූයේ නම්, අද ජිහාඞ් හිතවාදය හරහා ඔවුන්ට ඒ හානිය සිදුවනු ඇත්තේ සීයට හාර පන්සීයක අනුපාතයකිනි. ඒසා මිලේච්ඡ එකක් වූ මුස්ලිම් අන්තවාදය කිසිදු ඊනියා ප‍්‍රවාදයකින් සාධාරණීකරණය කළ හැකි ප‍්‍රවණතාවක් නොවේ.
  
මේ සංවාදයේ වැදගත්ම තුරුම්පුවට අනුව මේ පිරිස තුළ ඇත්තේ කෙහෙල්මල් ජාතිවාද විරෝධයක් නොව සදාතනික සිංහල බෞද්ධ විරෝධයකි. ඒ නිසාම මිනීමෝරුන් පසෙක සිටියදී සිංහල ජාතිවාදය නැමති හාල්මැස්සාට පමණක් වටකොට පහරදෙන මේ පිරිස සිංහල ජාතිවාදයෙන්ද නොනැවතී සිංහල බෞද්ධ සංස්කෘතියටද පොදුවේ පහර ගසමින් සිටිති. මේ සිංහල බෞද්ධ විරෝධය වනාහී බටහිර යටත්විජිතවාදයේ දෘෂ්ටිමය වහල්භාවය තුළින්ම උද්ගත වූවකි. කාලයක් තිස්සේ විවිධාකාර විකල්ප ගෝත‍්‍ර අභ්‍යාස ඔස්සේ වගා දිගා කරගත් සිංහල විරෝධයෙන් අත්මිදීම මේ පිරිස අතර සිටින මැදහත්ම පුද්ගලයාට පවා ලෙහෙසි නොවේ. දැන හා නොදැන සිංහල බෞද්ධ විරෝධය ඔවුන්ගේ ශරීර තුළ පත්තියම් වී ඇත්තේ ප‍්‍රවේණික උරුමයක් පරිද්දෙනි. ගෝස්තරවාදී විකල්ප ගෝත‍්‍රය ලෙස අප විසින් නොයෙක් තැන්වල හඳුන්වා දී ඇති මේ පිරිසට සාහිත්‍ය ලෝකය තුළද සැලකිය යුතු බලයක් හිමිවී තිබීම අවධානයට ගත යුතු ගැටලූවකි.

මේ සියලූ දෙනා අද හති හලාගෙන දඟලමින් සිටින්නේ තමන්ද ජීවත් වන නිවසේ අත්තිවාරම කඩා බිඳ දමා ගැනීම සඳහාය. එය කිසිදු ජාතියකට ආගමකට අයත් කිසිදු මනුෂ්‍යයෙකුට කිසිදු සාධාරණයක් ඉටු කළ හැකි ප‍්‍රවේශයක් නොවේ.  අවසාන වශයෙන් ගත් කල මොවුන්ගේ මේ ප‍්‍රවේශය සිංහලයාට බෞද්ධයාට හෝ රටට එරෙහි ප‍්‍රවේශයක් පමණක් නොව පොදුවේ මනුෂ්‍යත්වයටද එරෙහි ප‍්‍රවේශයකි. ඔවුන් මේ සූදු කෙලිමින් සිටින්නේ සිංහල බෞද්ධකමක් සමග නොව මිනිස් වටිනාකම් සමගිනි. අද මුස්ලිම් ප‍්‍රශ්නය හමුවේ මොවුන් කවුදැයි නැවත නැවතත් රටට හෙලි වෙමින් තිබෙන මේ අවස්තාව පියවි සිහියක් ඇති සියලූ ලක් වැසියන්ගේ අවධානයට ලක්විය යුතු යැයි සිතමි.  
 -ඉසුරු ප‍්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com







[ඡායාරූපය අන්තර්ජාලය ඇසුරෙන්]

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions