8/25/2015

ස්වර්ණ පුස්තක ඇතුළු සාහිත්‍ය සම්මාන සමීක්ෂණයට පෙරවදනක්

කතෘ:යුතුකම     8/25/2015   No comments

2015 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දෙවන අදියර සඳහා නිර්දේශිත නවකතා දහසයක (16) නම් පසුගියදා පුවත්පත් දැන්වීමක් මගින් අපට දැකගත හැකිවිය. මෙම නවකතා කතුවරයන් සහ කතුවරියන්ගේ නම් ලැයිස්තුව දෙස බලන විට අපූරු සංසිද්ධියක් අප ඉදිරියේ මැවෙයි.

මෙයින් තිදෙනෙකුට පසුගිය අවුරුදු 03කදී ස්වර්ණ පුස්තක සම්මානය හිමිවී තිබේ. එනම් සුමිත‍්‍රා රාහුබද්ධ, රූපා ශ‍්‍රියානි ඒකනායක, සහ කීර්ති වැලිසරගේ යන අයයි. තවත් හය දෙනෙකුගේ නවකතා (අනුර සිරි හෙට්ටිගේ, බටුවංගල රාහුල හිමි, ටෙනිසන් පෙරේරා, නොර්බට් අයගමගේ, කරුණාදාස සූරියආරච්චි, මඩවල,) මීට පෙරදී ස්වර්ණ පුස්තක දෙවන වටයට හෙවත් අවසාන නවකතා 05 අතරට තේරී තිබේ. මෙයින් කරුණාදාස සූරියආරච්චි මහතාට ස්වර්ණ පුස්තක ආරම්භක වසරේ සම සම්මානයක් ප‍්‍රදානය කොට තිබේ. තවත් තිදෙනෙකුගේ නවකතා (සේපාලි, ශමෙල් ජයකොඩි, සුසන්ත මහඋල්පත) පළමු වටයට තේරී ඇත. මෙයින් ටෙනිසන් සහ ශමෙල් ජයකොඩි ගේ නිර්මාණ කිහිප වාරයක්ම මුල් වටයට තේරී තිබේ. මේ සියල්ල එක් කළ විට පෙනී යන කාරණය වන්නේ මෙම නිර්මාණකරුවන් 16 දෙනාගෙන් 12 දෙනෙකුගේම නම් ස්වර්ණ පුස්තක සම්මානය හා බැදී පවතී. අනෙක ඔවුන් වාර්ෂිකව බාරයක් ඔප්පු කරන්නා සේ නවකතාවක් සම්මාන කමිටුවට දමා ඇති බවයි. එබදු පසුබිමක් නොමැත්තේ චම්පා වෛද්‍යතිලක ,සේන තෝරදෙනිය, කෞෂල්‍ය කුමාරසිංහ, කත්‍යනා අමරසිංහ යන සිව් දෙනෙකුට පමණි.

මෙම නවකතා 16 මුල් වටයට තේරීම පිලිබඳ අප මෙම අවස්ථාවේ දී කිසිවක් ප‍්‍රකාශ නොකරන්නේ එවැන්නක් කිරීමට තරම් මෙම නවකතා සියල්ල පිලිබඳ තුලනාත්මක අධ්‍යනයක් අප මෙතෙක් සිදුකර නොමැති බැවිනි. එහෙයින් එය පසුවට කල් තබමු. එමනිසා සමීක්ෂක මණ්ඩලයේ විනිශ්චය හා තීරණ නිරවද්‍ය ද ,දෝෂ සහගත ද, සාධාරණද යන්න පැවසීමට තරම් අප තවමත් ඉක්මන් නොවෙමු. දැනට ස්වර්ණ පුස්තක සඳහා පාදක කොට ගන්නේ මෙම නවකතා 16 නිසා අප දෙවන මණ්ඩලයේ සහ අවසාන මණ්ඩලයේ සමීක්ෂකයින්ගේ අවධානයට කරුණු කීපයක් යොමු කරමු.

මෙම ලේඛක ලේඛිකාවන් තිදෙනෙකු ස්වර්ණ පුස්තක සම්මානය මීට පෙර දිනා සිටීම, නව දෙනෙකුගේ නවකතා ස්වර්ණ පුස්තක මුල් වටයට හෝ අවසාන වටයට තේරී තිබීම, සමහරුන්ගේ කෘති නැවත නැවතත් වසර ගණනාවකදී නිර්දේශ වී තිබීම, මෙවර ස්වර්ණ පුස්තක සම්මානයේ විනිශ්චය කෙරෙහි කිසිදු බලපෑමක් කර නොගත යුතුය. මීට පෙර ස්වර්ණ පුස්තකය ලැබීම හෝ නිර්දේශ වීම මෙවර සම්මාන නොලැබීමට හේතුවක් නොවේ. නිදසුනක් වශයෙන් සුනේත‍්‍රා රාජකරුණා මහත්මිය ගේ පොදු පුරුෂයාට සම්මාන ලැබුණු පසු කවි කඳුරටද සම්මාන ලැබීම දැක්විය හැකිය. නමුත් වසරක් පාසාම නවකතා ලියමින් වසර පුරාම මාධ්‍ය මෙහෙයුම් කරමින් තම කෘතිය සියතින්ම කරු ගසා ඔසවා තැබීමට ගන්නා උපක‍්‍රම වලට සමීක්ෂකයින් හසු නොවිය යුතුය. සමීක්ෂකයින් විනිශ්චය කළ යුත්තේ ඔහු හෝ ඇය මෙවර පළකර තිබෙන කෘතිය මිස මීට පෙර සම්මාන දිනා තිබීම, නිර්දේශ වී තිබීම හෝ ඔවුන් විසින් මාධ්‍ය මෙහෙයුම් මගින් ගොඩනගා තිබෙන ව්‍යාජ ප‍්‍රතිරුපය නොවේ. ඒවා සමීක්ෂණ ක‍්‍රියාවලියේ දී මේ ඔහුගේ හෝ ඇයගේ වාරය යයි අතිරේක සුදුසුකම් ලබා නොදෙයි. නමුත් ලේඛක ලේඛිකාවන් සම්මාන උදෙසා ගෙන යන උපාය මාර්ගික ක‍්‍රම සමීක්ෂකයින්ට දෙන මානසික අල්ලස් වන අවස්ථාද තිබෙන බව අපි දනිමු.

උදාහරණයක් වශයෙන් පසුගිය වසරේ ගොඩගේ සම්මාන උළලේ පුවත්පත් තීරු ලිපිය සඳහා වූ සම්මාන ලාභියා විසින් එම සමීක්ෂක මණ්ඩලයට රිංගා සිටි තීරුලිපි කලාව පිලිබඳ ප‍්‍රමාණික පරිචයක් නැති බාල ලියක් උඩ දමමින් තීරු ලිපි දෙකක්ම සම්මාන උළලෙට පුර්වයෙන් ලියන ලදී. එහි ප‍්‍රතිඵලය වුයේ පාඨකයින්ට කිසිදු අර්ථමය වටිනාකමක් නැති සංස්කෘතික ඕපාදුප ඇතුළත් කෘතියකට වසරේ හොදම තීරුලිපිය සඳහා වන ගොඩගේ සම්මානය හිමිවීමය. ඉන් සිදුවුයේ හෙන්රිවර්ණ කුලසූරියගේ ඊට වඩා වැදගැම්මක් තිබූ නොකී කතා කෘතිය නිර්දේශිත කෘතියට පමණක් සීමා වීමයි. තතුවරුන්ගේ මෙවැනි මානසික අල්ලස් මත සමීක්ෂකයින් තීරණ නොගත යුතුය.

අනෙක් කරුණ මීට පෙර සම්මාන ලබා තිබීම හා විවිධ වටවලදී නිර්දේශ වී තිබීම කිසියම් කතුවරියකට හෝ කතුවරයකුට ස්වර්ණ පුස්තකය පිලිබඳ උරුමයක් ලබා නොදෙන බවද සිහිපත් කළ යුතුය. මීට ඉහත විවිධ වටවලදී තේරී ඇති නිසා ස්වර්ණ පුස්තකය අහිමි විය යුතු යයි මින් අදහස් නොවේ. අප කියන්නේ මේ නවකතා 16 දෙවන වටයට තේරීම සඳහා හා අවසානයේ දී එක් නවකතාවකට ස්වර්ණ පුස්තකය වීමට සාධාරණ වූ සම තැනිතලා භූමියක් සකස් කරන ලෙසයි. එහිදී ප‍්‍රවීණ ආධුනික බව මෙන්ම ඇතැමුන්ගේ මාධ්‍ය මෙහෙයුම් වැනි බාහිර සාධක නොසලකා කෘතිය පමණක් අගයන ලෙසයි.

ඇතැම් නිර්මාණකරුවන් ගිය වසරේ සිට මේ දක්වා විවිධ පුවත්පත් වලට තම කෘතිය ගැන දී තිබෙන මානාධික සම්මුඛ සාකච්ඡුා ප‍්‍රමාණය මෙතකැයි කිව නොහැකිය. ඊට අමතරව මේ ග‍්‍රන්ථ පිලිබඳ අද දක්වා සම්මන්ත‍්‍රණ පැවැත්වේ. සම්මන්ත‍්‍රණ වලදී පළවූ අදහස් නැවත නැවතත් පුවත්පත් වලින් පුනරුච්චාරණය කෙරේ. එක් නවකතාකාරියක විසින් තමාගේ නවකතාවට නම දැමු ආකාරය පවා උජාරුවෙන් පවසා තිබුණි. මේ එක් එක් නවකතාකරුවන් හා නවකතාකාරියන් විසින් ගෙනයන ඇස් නිලංකාර කරන පෞද්ගලික මාධ්‍ය මෙහෙයුම් සම්මාන සදහා කෙරෙන ආයාචනයක මහා හඬ පිපිරුම් බව ඕනෑම කෙනෙකුට පැහැදිලි වේ. එහෙයින් සමීක්ෂකයා මේ මාධ්‍ය මෙහෙයුම්වල ගොදුරක් නොවිය යුතුමය.

ඊළගට මීටත් වඩා වෙනස් කාරණයක් පිලිබඳ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. ඒ අද සාහිත්‍ය ගොදුරු කරගෙන තිබෙන දේශපාලන පැතිමානයයි. මේ නවකතාකරුවන් හා නවකතාකරියන් අතර පසුගිය කාලයේ හා අදත් යහපාලනය වෙනුවෙන් පෙනීසිටිමින් විවිධ ”වේදිකාවල” ”පෙරමුණු වල” ”බලය වල” ”පරපුරවල” ක‍්‍රියාශීලී වැඩ කොටසක් කරමින් රෙජීම් පෙරැළීමට සහභාගී වූවෝද , ඇතිකළා යයි කියන යහපාලනය ආරක්ෂා කරගත යුතුයයි කියා හඬ තලන්නෝද, දක්නට ලැබෙති. යහපාලනය වෙනුවෙන් පෙනී සිටින්නන් සහ රෙජීම් පෙරළීමට සහභාගී වුවන්ගේ කෘතිවල කිසිදු සදාකාලික සාහිත්‍යමය වටිනාකමක් නොමැත්තේ නම් ඒ කෘති කතුවරයාගේ හෝ කතුවරියගේ නම බලා තේරීම සාහසික අපරාධයක් වේ. එමෙන්ම මේ පෙරමුණු, පරපුරු, බලය, හා වේදිකා සමග එක් නොවූ නිර්මාණකරුවන් හා නිර්මාණකාරියන් ගේ කෘති නොසලකා හැරීමද බරපතල අපරාධයකි. අප මේවා මතක් කරන්නේ වර්තමාන සාහිත්‍ය මේ සියල්ලද සමග ගැට ගැසී ඇතිබව අප දන්නා නිසාය.

මේ සමහර නවකතා රෙජීමය පෙරළීමට හේතු වූ බව වක‍්‍රව ඉදිරිපත් කිරීමක්ද දක්ක්නට ලැබේ.දේශපාලකයන් නවකතා විචාරයට පිවිසෙමින් මේ සමහර නවකතා එතනෝල් හා මත්ද්‍රව්‍ය වල ආරම්භය පෙන්වන්නේ යයි කීම අති සාවද්‍ය නිගමනයකි. පානදුරාවාදයෙන් ඇති වූ බෞද්ධ පුනරුදය වූ කලී අධිරාජ්‍ය විරෝධී සටනකි. ඊට මුදල් සැපයුවේ රේන්ද කාරයෝ යන්න පැවසීමද රෙජීම් පෙරළීමට උදව් කළ අයගේ අමන්දානන්දයට හේතු වුවත් එය සාවද්‍ය කියවීමකි.

අප අවබෝධ කරගත යුත්තේ මෙරට දේශීය ධනපති පංතියක් බිහිවීමේදී රේන්ද කර්මාන්තයේ දායකත්වය සහ එය එසේ සිදු වුයේ ඇයිද යන ඓතිහාසික හා පාරිසරික තත්වයන්ය. මෙරට රන් හා තඹ තිබිණි නම් දේශීය ධනපති පන්තිය අත ගසන්නේ ඒවාටය. අනෙක් අතට මෙරට රන් හෝ තඹ නිධි තිබුනේනම් බොහෝවිට ඒවා හෑරීමට යටත්විජිතවාදීන් දේශීය ව්‍යාපාරිකයන්ට ඉඩ නොදෙනු ඇත. එහෙයින් මේ සමහර නවකතා එතනෝල්වල ආරම්භය යයි පවසමින් එය රෙජීම් පෙරළීම් හා ගැටගසමින් කරන මහා ව්‍යාජයෙන්ද සමීක්ෂකයින් ගැලවිය යුතුය.

මායා යථාර්තය බද්ධකළ නවකතා තේරීමට යාම මායා යතාර්ථය තේරුම් නොගැනීමක් මෙන්ම එය නවකතාවට බද්ධ කරන්නේ කෙසේද යන්න නොදැනීමද පෙන්වා දෙයි. සමහරුන්ගේ නවකතා දෙස බැලූවිට පෙනී යන්නේ ඒවා නවකතාවක් නොමැති මායා යථාර්ථ ජලාශයක පාඨකයා ගිල්වාලන බවයි. ඒවායේ දක්ක්නට ඇත්තේ ව්‍යාජ හා විකෘත්ති කරන ලද ඉතිහාසයක් හා සිද්ධිදාමයක් මායා යථාර්ථවාදී සළුවෙන් වසා නවකතා ලෙස ඉදිරිපත් කර ඇති බවකි.

රෙජීම් පෙරලීමේ දී ක‍්‍රියාකාරී වැඩකොටසක් කළ හා යහපාලන ආණ්ඩුව උදෙසා දැනටමත් වැඩකොටසක් කරමින් සිටින සමීක්ෂකයන් මේ මණ්ඩලවල වෙත්නම් ඔවුන්ගේ විනිශ්චයද අගතිගාමී නොවී බාහිර සාධක හෝ ආධුනික බව නොසලකා සාහිත්‍ය කෘතියට පමණක් අපක්ෂපාතී විනිශ්චයක් දීම කළ යුතුය. එවිට මීට පෙර ස්වර්ණ පුස්තක සම්මනය පිලිබඳ වූ විවේචන අවම කරගැනීමට හැකි බව අපගේ විශ්වාසයයි. පසුගිය වසර වල සමීක්ෂකයින් කලේ සාහිත්‍ය ගුණය හා රසය සලකා බැලීම වෙනුවට ඒ හැර හිත මිත‍්‍රකම් හා ඔවුන් එළැඹගත් අධානග‍්‍රාහී දෘෂ්ටිවාදයන්ට එම කෘති කොතෙක් ගැලපේද යන්න සලකා බැලීමයි. එම වැරදි පුර්වාදර්ශය මෙවර සමීක්ෂකයින් ඉදිරියට ගෙන යායුතු නැත.

(2015.අගෝ 11 රිවිර කලස ) 


-රත්තනදෙණියේ මේධානන්ද හිමි
යුතුකම සංවාද කවය
www.yuthukaa.com 

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com