8/13/2015

දෙමළ බෙදුම්වාදය සුන් කරමින් ජාතික චින්තකයෝ කොළඹ බලය අල්ලයි

කතෘ:යුතුකම     8/13/2015   No comments



-ධර්මන් වික්‍රමරත්න

ඉංග්‍රීසින්ගෙන් රට දැය සමය නිදහස් කරගැනීම සදහා 1818 සහ 1848 අරගල ඔස්සේ යමින් අනගාරික ධර්මපාල වැනි යුග පුරුෂයින් සැබෑ ලෙසම රට දැය සමයේ නිදහස උදෙසා ජාතික අරගලයන් සිදු කළහ. බටහිර සංස්කෘතිය සහ අධ්‍යාපනය හැදෑරූ ලංකීය ප්‍රභූ පන්තියේ ඇතමුන්ගේ අරමුණ වුයේ ඉංග්‍රීසින්ගේ ආධිපත්‍ය පිළිගනිමින්ම ලංකාවේ පාලන තන්ත්‍රය සියතට ගැනීමය.

වර්තමානයේ දක්නට ලැබෙන වර්ගවාදය සහ ප්‍රචණ්ඩත්වය සිංහල හෝ දෙමළ ජාතික චින්තනය වර්ධනයවීම නිසා සිදුවූවක් නොව නව යටත් විජිතවාදී බලවේග නිසා ඒ ඒ ජාතික චින්තනයන් පිරිහීමෙන් සිදුවූවකි. වසර 2500කටත් වඩා ඉපැරණි සංස්කෘතිය, වර්ගවාදයට සහ ආගමික උන්මාදයට වාහකවී යැයි සිංහලයන්ට ඒත්තු ගැන්වීම යටත් විජිතවාදීන් විසින් මෙහෙයවන ලද දීර්ඝ කාලීන උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස හැදින්විය හැක. එයට වගකිව යුත්තේ මෙරට ඉංග්‍රීසි උගත් මධ්‍යම පාන්තික බුද්ධිමතුන් පමණක් නොව නාමික ප්‍රගතිශීලි බුද්ධිමතුන්ය. සිය නිර්මාණාත්මක ප්‍රබන්ධ වලින් සහ අනිකුත් ලේඛන මගින් සිංහල ජාතික චින්තනයේ ඇතුලාන්තය හෙලිකරන්නට මාර්ටින් වික්‍රමසිංහ මහත් පරිශ්‍රමයක් දැරීය. ජාතික නිදහස් සටනෙහි පුරෝගාමී කාර්යභාරයක් කල හෙළ හවුල මගින් රටේ සිටි ජාතික බුද්ධිමතුන් කිතිකවා ඇවිසවීමෙහි සමත්වූයේ කුමාරතුංග මුණිදාසය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සමාජ විකාශනය හදාරන්නේ ලාංකීයත්වයට නොගැලපෙන සංකල්ප සහ න්‍යාය ඇසුරු කොට ගැනිමෙන් බවද ලාංකිකයනිගේ ලෝක දෘෂ්ඨිය වී ඇත්තේ බටහිර ලෝක දෘෂ්ඨිය යැයිද මතවාදයක් කොළඹ සරසවිය තුළින් 1980 මුල් භාගයේදී මතුවිය. අධිරාජ්‍ය විරෝධි අරගලයේ ප්‍රධානතම කාර්යය වනුයේ එම පරාදීන චින්තනයට එරෙහිව සටන් වැදිම බව එම මතවාදය අවධාරණය කළේය. අපේ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ගත යුත්තේ අපේම වූ චින්තනයකින් යැයි කියා සිටි මෙම මතවාදය ස්ථාපිත කිරිමට පුරෝගාමී උත්සාහයක් ගත්තේ ආචාර්ය නලීන් ද සිල්වාය.

කොළඹ සරසවියට ගණිත කතිකාචාර්ය වරයෙකු වශයෙන් 1979 අප්‍රේල් 4වැනිදා බැදුණු නලීන් ද සිල්වා තාරකා විද්‍යා කේෂේත්‍රයෙන් සිය ආචාර්ය උපාධිය බ්‍රිතාන්‍යයේ සසෙක්ස් සරසවියේදී නිම කළේ මාස 18කිනි. යාන්ත්‍රික විද්‍යාව, කොන්ටම් යාන්ත්‍රණය, සාපේක්ෂතාවාදය වැනි විෂයන් සම්බන්ධයෙන් මෙරට සිටි මුල් පෙළේ විද්වතෙක් වූ ඔහු කොළඹ සරසවියේ සහාය මහාචාරවරයෙකු ලෙස පත්වූයේ 1990 අගෝස්තු 18වැනිදාය. ගණිත අංශයේ මහාචාර්යවරයෙකු වූ නලීන් අසූව දශකයේ මුල් භාගයේ සිට සතියකට දිනක් පැය කිහිපයක් ගවේශකයෝ නම් කවයක් පිහිටුවාගෙන සිසුන් අතර සංවාදයක් පවත්වමින් සිටියේය.

සරසවි ආචාර්යවරුන් විවිධ දේශපාලන මතයන් පිළිබදව සිසුන් සමඟ සංවාද පැවැත්වීම සහ එහි හරයන් ජනගත කිරීම ලාංකීය සමාජයට අහඹු සිදුවීමක් නොවේ. පේරාදෙණිය සරසවියේ ආචාර්ය නිව්ටන් ගුණසිංහ මෙහි ප්‍රමුඛයෙකි. සමාජ අධ්‍යයන කවය හරහා නුවර වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ ජයරත්න මලියගොඩ සමඟ ක්‍රිස්තියන් ඒඩ්, ඔස්ට්‍රේලියානු රෙඩ් බානා වැනි ආයතන වලින් ආධාරද ලබාගෙන ප්‍රකාශන සහ සම්මන්ත්‍රණ, වැඩසටහන් ගණනාවක් නිව්ටන් ගුණසිංහ සංවිධානය කළේය. ආචාර්ය ජයදේව උයන්ගොඩගේද සහාය ඔහුට හිමි විය.

පේරාදෙණිය සරසවියෙන් 1981දී දේශපාලන විද්‍යාව පිළිබදව ප්‍රථම පෙළ සමාර්ථයක් ගත් දයාන් ජයතිලකද කොළඹ සරසවියේ ඉතිහාස පීඨයට 1983 බාහිර කථිකාචාරවරයෙකු වශයෙන් එක්වූ අතර වසර 2ක ආසන්න සේවා කාලය තුළදී ශිෂ්‍යයින්ගේ දේශපාලන විද්‍යා ප්‍රබෝධය තියුණු කිරීමට ඔහු සමත් විය. නිව්යෝක් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකුවූ දයාන් 1984දී රෝහණ රත්නායක ඝාතනය සිදුවූ අවස්ථාවේදී එයට එරෙහිව ශිෂ්‍යයින් උසිගන්වන ලදැයි සේවයෙන් ඉවත් කරන ලදී. බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලැබූ වික්‍රමබාහු කරුණාරත්න පේරාදෙණිය සරසවියේ කථිකාචාරවරයෙකු වශයෙන් 1970 දේශන ආරම්භ කළේය. ජේ.ආර්. ජයවර්ධනගේ 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කළු කොඩි දමා විරෝධතා ව්‍යාපාරයක් කිරීම හේතුකොටගෙන ඔහුගේ වැඩ තහනම් කරන ලදී. එහිදී ඔහුට සහාය දැක්වූ වමේ සටන කණ්ඩායමට අයත් පේරාදෙණිය සරසවියේ ලලිත් අබේසිංහ ඇතුළු කිහිප දෙනෙකුගේද ශිෂ්‍යභාවය අහෝසි විය. අසූව දශකයේ සරසවි සිසුන් අතර දේශපාලන මතවාදයන් බරපතල ලෙස සංවාදයට ලක්කල සිව්දෙනා ලෙස නිව්ටන් ගුණසිංහ, නලීන් ද සිල්වා, වික්‍රමබාහු කරුණාරත්න සහ දයාන් ජයතිලක හැදින්විය හැක.

කොළඹ සරසවියේ විද්‍යා පීඨය තුළින් මතුවූ ජාතික චින්තන ප්‍රවාහය බොහෝ දෙනාගේ කථා බහට ලක්විය. අසූව දශකයේ මුල් භාගය වන විට විද්‍යා පීඨයේ බලය තිබුණේද ජවිපෙටය. කොළඹ සරසවියේ ශිෂ්‍ය සභාවේ බලය 1979 හිමිවන්නේද ජවිපෙටය. විද්‍යා පීඨයේ චන්ද්‍රසිරි එහි නායකයා විය. 1980ද එහි බලය ජවිපෙට හිමිවිය. ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ මහා ශිෂ්‍ය සභාවේ බලය 1981දී ලබා ගත්තේ ඒ වන විට එහි අධ්‍යාපනය ලැබූ ද්‍රවිඩ සිසුන් 400ක පමණ සහායෙනි. යළිත් 1982දී බෙදුම්වාදයට එරෙහි සභාග කණ්ඩායමක් වශයෙන් ශ්‍රිලනිප ශිෂ්‍යයින්ගේද සහාය ඇතිව ජවිපෙ බලය ලබා ගත්තේය. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ 1981 සභාපතිවරයා වූයේ දීප්ති ලමාහේවාය. පසුව එය චම්ලි වර්ණකුලසූරිය අතට පත්විය. දයා පතිරණ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වූයේ 1984දීය.

අසූව දශකයේ මුල් භාගයේ කොළඹ සරසවියේ ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරිකයන් වූයේ විද්‍යා පීඨයේ නාත්තන්ඩියේ චන්ද්‍රසිරි ජයසිංහ, ජයන්ත හේමකුමාර(දැනට කැනඩාවේ පදිංචි), කීර්ති(දැනට කොළඹ ජාතික පාසැලක නියෝජ්‍ය විදුහල්පති), ශ්‍රාස්ත්‍ර පීඨයේ පස්සර මහින්ද, නීති පීඨයේ ප්‍රථම පැවිදි ශිෂ්‍යයාවූ ලංකා හිමි(පළමු වසරින් පසු උපැවිදිවී චරිත ලංකාපුර විය. පසුව නීතිඥයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් 1989 ජුලි 7 පස්වරු 2ට කොම්පඤ්ඤවීදිය ග්ලැඩිවන් ලේන්හි නවාතැනේදී ඝාතනය කරන ලදී.) විද්‍යා පීඨ සිසුවෙකු වූ දයා පතිරණට විද්‍යා පීඨය තුළ බලයක් නොතිබිණි. ජවිපෙ 1983 ජුලි තහනමින් පසු දයා පතිරණ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ බලය කොළඹ සරසවියේ ස්ථාපිත කරගෙන තිබුණේ තග් න්‍යායෙන් නොහොත් මැර බලයෙනි. සරසවි සිසුන්ගේ කැමැත්තකින් තොරව මැර බලයෙන් ඔහු සරසවියේ බලය අල්ලා ගත්තේය.

පේරාදෙණියේ පද්මසිරි අබේසේකර ආණ්ඩුව මගින් 1984 ජුනි 19වැනිදා ඝාතනය කිරීමෙන් පසු එයට එරෙහිව කොළඹ සරසවි සිසුන් විරෝධතා දැක්වූ අතර එහිදී මහා මාර්ගයේ ගිය බස් රථයක් සහ වාහන කිහිපයක්ද ගිනි තබන ලදී. කුරුදුවත්ත පොලිසියේ රථවාහන අංශ ප්‍රධානියා සමඟ ගමන් කරමින් තිබූ වාහනයක්ද ගිනිබත් විය. පසුව එය නීති පීඨයේ ජේෂ්ඨ කථිකාචාරවරියක වන නිර්මලාගේ සැමියාට අයත් බවට හෙළිවිය. එම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ සරසවියේ ජවිපෙට සම්බන්ධ උඩුගොඩ සෝරත හිමි, පොලොන්නරුව නිහාල්, චන්ද්‍රසිරි ජයසිංහ සහ ගීලිමලේ සුමන හිමි(වාණිජ පීඨයට තේරී ආ පළමු පැවිදි ශිෂ්‍යයා) පොලිසිය මගින් පසුව අත්අඩංගුවට ගෙන නඩු පවරන ලදී. මෙම තොරතුරු පොලිසියට ලබාදෙන ලද්දේ දයා පතිරණ විසින් බවට ජවිපෙ චෝදනා කළේය. එම නඩුවෙන් අවසානයේදී 1992දී සියළු චූදිතයින් නිදහස් වූ අතර ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේය. පොලිසිය එම උද්ඝෝෂණයේ තැබූ තවත් වෙඩි පහරකින් 1984 ජුනි 21වැනිදා කොළඹ සරසවියේ සිසු රෝහණ රත්නායකද මිය ගියේය. එහිදී වාණිජ පීඨයේ පුංචි බංඩාරද බරපතල තුවාල සිදුවිය.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මතය වූයේ උතුරේ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් මෙන් දකුණේද සිය මතය බලහත්කාරයෙන් ස්ථාපිත කල යුතු අතර එයට එරෙහි වන්නන් තග් බලයෙන් යටපත් කල යුතු බවය. දයා පතිරණට සහාය දුන් පිරිස අතර මුල් තැන ගත්තේ කේ.එල්. ධර්මසිරි, නිමල්වීර බෝපගේ, ප්‍රදීප් තේනුවර, සෝමසිරි, නිල්මිණී, පරාක්‍රම, තිසරණී ගුණසේකර, චන්ද්‍රප්‍රේම, නිහාල් හපුආරච්චි, ශිරාල් ලක්තිලක, සාලිය කුමාර, චාන්දනී සෙනෙවිරත්න, අසංක කරුණාරත්න, ජෙරා, ධම්මික බණ්ඩාර, උපුල් සන්නස්ගල, ජෝජා, අනෝමා ජනාදරී, සෙනරත් ජයසුන්දර, බර්නාඩ් කාරියවසම්, මහින්ද කිංස්ලි ඇතුළු කිහිප දෙනෙකි. ස්වාධීන ශිෂ්‍ය සංගමයට න්‍යායාත්මක දේශපාලන පසුබිමක් තිබුණද ඒවා පොතට පමණක් සීමා විය. ජිම් කැන්ටිම ඔවුන්ගේ බලකොටුව වූ අතර විද්‍යා පීඨයේ සිසුන් සමඟ නිරතුරුව ගැටුම් ඇති කර ගන්නා ලදී. ප්‍රසංග අවස්ථාවන්හිදි සැරසිලි කඩා දැමීම සහ විරුද්ධ මත දරණ අයට පහරදීම ඔවුන්ගේ විනෝදාංශයක් මෙන් විය.

වසර 1985 අන්තරේ බලය ජවිපෙට අවාසි වුවද එය විශිෂ්ඨ ලෙස කලමණාකරණය කරගැනීමට එහි කැඳවුම්කරු රංජිදන් ගුණරත්නම් සමත් විය. අන්තරයට පැමිණෙන ශිෂ්‍ය නියෝජිතයින් අතරින් පේරාදෙණිය, රුහුණ, ජපුර සහ කැළණිය සරසවි වල අය ජවිපෙට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවූ අය වූහ. මොරටුව සරසවියෙන් පැමිණෙන ඇඩම්ස් සහ කැමිලස්ලා බෙදුම්වාදයට පක්ෂව ලයනල් බෝපගේ ගේ මතයේ සිටියහ. කොළඹ සරසවියෙන් පැමිණි ශිෂ්‍ය නියෝජිතයින් විවිධත්වයකට අයත්වූ හය දෙනෙක් විය. ඔවුහු ස්වාධීන ශිෂ්‍ය සංගමය, ජවිපෙ, ශ්‍රිලනිප, මහජන පක්ෂය, කොමියුනිස් පක්ෂය සහ විද්‍යා පීඨය නියෝජනය කළේය. සාකච්ඡාවන් ඇතැම් අවස්ථාවන්හිදී සවස 6 සිට උදෑසන 6 දක්වා ඇදී ගියේය. අන්තරේ බෙදුම්වාදී මතවාදයට ඇදගෙන යෑමට ගත් උත්සාහය පරාජය විය. ජවිපෙ 1988 දෙසැම්බර් ජනාධිපතිවරණය සහ 1989 මහ මැතිවරණය වර්ජනය කිරීමට ගත් තීරණය අනුව අන්තරේද එයට එකඟවු බැවින් විද්‍යා පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව එයට විරෝධය පළ කරමින් අන්තරේ තුළ සිටිමින්ම ශ්‍රිලනිපයට සිය ක්‍රියාකාරි දායකත්වය ලබා දුන්නේය.

කොළඹ විද්‍යා පීඨයේ බලය රැදී තිබුණේ ජාතික චින්තන කණ්ඩායම මතය. 1984, 85 සහ 86දි පිළිවෙළින් විද්‍යා පීඨයේ නායකයින් වූයේ ගෙවිදු කුමාරතුංග(කුමාරතුංග මුණිදාසගේ මුණුබුරා), පුෂ්ප විතානගේ සහ අනූප පැස්කුවෙල්ය. එහි සෙසු තීරක නායකයින් වූයේ රොෂාන් ගුණවර්ධන සහ මාලක වීරසූරියයි. රොෂාන් සහ මාලක මොරටු සරසවියේ චම්පික රණවකගේ එදා සිට අද දක්වාම සමීප දේශපාලන මිතුරන්ය. විද්‍යා පීඨය නියෝජනය කල ශිෂ්‍ය ක්‍රියාකාරකයෙකු වූ හේමන්ත චන්ද්‍රසිරි කලක් ජවිපෙ නියෝජනය කළේය. ජාතික චින්තනය යනු රටේ ඉතිහාසය පුරා ගොඩනැගී තිබුණු සභ්‍යත්වයේ හරයන් පාදක කර ගනිමින් අනාගත සමාජවාදි සමාජයක් ගොඩනැගීමට කල ප්‍රවිශ්ඨය වේ. ශ්‍රාස්ත්‍ර සහ නීති පීඨයන් මුළුමනින් ස්වාධීන සංගමයේ මැර බලයෙන් යටත් කර ගෙන තිබිණි. එහෙත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැර බලයට එරෙහිව සමස්ථ අති බහුතර සිසුන්ගේ පිළිගැනීම 1986 මැද භාගය වන විට හිමිව තිබුණේ විද්‍යා පීඨයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව වෙතය.

මේවන විට එනම් 1986 වන විට සමාජවාදී ශිෂ්‍ය සංගමය වෙනුවෙන් කොළඹ සරසවිය භාරව සිටියේ ජවිපෙ ලලිත් විජේරත්නය. ජවිපෙ දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය 1986 ජුනි 20 ආරම්භ කල අතර එය කොළඹ සරසවියේත් පිහිටුවීමට 1986 ඔක්තෝබර් 2වැනිදා රැස්වීමක් ජපුර සහ කැළණිය සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවති අවස්ථාවේදී ස්වාධීන ශිෂ්‍ය සංගමය දයා පතිරණගේ නායකත්වයෙන් කොළඹ සරසවියේ සමාජවාදි ශිෂ්‍ය සංගමයේ සරත් එදිරිසූරිය, හේමන්ත, රොෂාන්, සමන්, ජිනානන්ද හිමි, ධම්මික හිමි, චන්ද්‍රරත්න හිමි ඇතුළු පිරිසට ඉතා අමානුෂික ලෙස පහරදුන් අයුරු එම රැස්වීම වාර්තා කිරීමට ගිය ලියුම්කරු දුටුවේය. ජවිපෙ ශිෂ්‍ය සංගමයේ සියළු දෙනාට එදින සිට බල පැවැත්වෙන පරිදි කොළඹ සරසවියට ඇතුල්වීම ස්වාධීන සංගමය විසින් තහනම් කළේය.

මේ අතර තුළ කොළඹ විද්‍යා පීඨයේ ජාතික චින්තන කණ්ඩායම සමාජයේ විවිධ තලයන් තුළ ක්‍රියාත්මක වන්නට විය. එහි ප්‍රතිඵලයක් වූයේ චින්තන පර්ෂදය බිහිවීමය. ආචාර්ය නලීන් ද සිල්වා, වෛද්‍ය රංග වික්‍රමසිංහ, මාදුළුවාවේ සෝභිත හිමි, ගෙවිදු කුමාරතුංග, ජී.අයි.ඩී. ධර්මසේකර, හේ.ආ. සුසිල් පෙරේරා, ආචාර්ය පියසේන දිසානායක එහි අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් විය. චින්තන පර්ෂදයේ ප්‍රකාශනය වූ කාලය මංගල කලාපය 1986 නොවැම්බර් 1වැනිදා නිකුත් විය. කාලය මාසික සඟරාව එම වකවානුවේ අතිශයින් ජනප්‍රිය වූ අතර එය නොකඩවා කලාප 16ක් නිකුත් විය. වරෙක එය පිටපත් 20,000ට ආසන්නව අළෙවි විය.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා ආනන්ද පියසිරි හේවා පතිරණ 1986 දෙසැම්බර් 15වැනිදා පස්වරු 7ට පමණ පැහැරගෙන ගොස් බණ්ඩාරගම හිරණ තොටුපොල අසළදී බෙල්ල කපා ඝාතනය කර තිබිණි. ඔහු සමඟ සිටි පුංචිරාලගේ සෝමසිරි මරණීය තුවාල ලබා බේරිණි. පතිරණ ඝාතනය පිළිබදව ස්වාධීන ශිෂ්‍ය සංගමය චෝදනාව සෘජුවම එල්ල කළේ ජවිපෙටය. පානදුර මහාධිකරණයේ ඒ පිළිබදව ජයතිස්ස, මහීපාල, වැලිසර ප්‍රනාන්දු සහ නිමල් ජයරත්නට නඩු පැවරූ අතර ඒ වන විටද ජිවතුන් අතර නොසිටි පළමු තිදෙනාට දඩුවම් නියම කෙරිණි. ජීවත්ව සිටි එකම විත්තිකරු වූ නිමල් ජයරත්න නිදොස් කොට නිදහස් කරන ලදී. පතිරණගෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා බවට කේ.එල්. ධර්මසිරි පත්වූ අතර ඉන් පසු කොළඹ සරසවිය ඔවුන්ගේ නායකත්වය යටතේ දෙමළ බෙදුම්වාදී සෘජු සහ වක්‍ර කණ්ඩායම් සහ කල්ලිවල බලකොටුවක් බවට පත්කර ගත්තේය. කොළඹ සරසවිය ඇතුළු රටපුරා සරසවිවල ජවිපෙට සම්බන්ධ සහ හිතවාදී සිසුන් ආරක්ෂක අංශවලට හසුකරදීම ධර්මසිරිගේ නායකත්වයෙන් ඇරඹිණි.

ස්වාධීන ශිෂ්‍ය සංගමය මෙම දඩබ්බරකම් කොළඹ සරසවි සිසුන්ට තවදුරටත් දරා ගැනීමට නොහැකි විය. ඒ අනුව විද්‍යා පීඨයේ ගෙවිදු කුමාරතුංගගේ නායකත්වයෙන් පොදු සිසුන් ස්වාධීන ශිෂ්‍ය සංගමයට එරෙහිව එක කඳවුරකට පැමිණියේය. එහෙත් ස්වාධින සිසුන් දිගින් දිගටම පොදු සිසුන්ට ප්‍රහාර එල්ල කළේය. වරෙක ඔවුන්ට පහර දීමට පැමිණි අවස්ථාවක මධ්‍යස්ථ සිසුන් 500කගේ පමණ සහභාගිත්වයෙන් 1987 මාර්තු 24වැනිදා තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කිරීම තුළින් ස්වාධීන ශිෂ්‍ය සංගමය මුළුමනින් පරාජයකර ඔවුන් පලවා හැර කොළඹ සරසවියේ බලය දෙමළ බෙදුම්වාදීන්ට එරෙහිව ස්ථාපිත කිරීමට ගෙවිදු කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් විද්‍යා පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවට හැකිවිය. එම සිද්ධිය සිදුවන අවස්ථාවේදී ලියුම්කරු එය වාර්තා කිරීමට ගොස් සිටි අතර සෙනරත් ජයසුන්දර ඇතුළු ස්වාධීන සිසුන් සිව් දෙනකු ගස් බැද තිබෙනු දක්නට ලැබිණි. තවත් ස්වාධීන සිසුන් පිරිසක් ජිම් කැන්ටිමට දිව ගොස් ඇතුළුවී යකඩ දොරවල්වලට විදුලිය අල්ලාගෙන සිටිමින් රැකවරණය ලබාගත් නමුදු පොදු සිසුහු පිටුපස ලෑලිදොර කඩා ඊට ඇතුළු විය. කිහිප දෙනෙකු වහලයට නැඟ පළා ගියහ. අවසානයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ 100 පමණ පිරිසක් කොළඹ සරසවියට කඩා වැදි ගස් බැදි ස්වාධින ශිෂ්‍ය සංගමයේ සිව් දෙනා බේරා ගත්හ. අනතුරුව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මූලස්ථානය වූයේ ගුණසේන මහානාමගේ රජයේ ලිපිකරු සේවා සංගමයයි.

ජාතික චින්තන කණ්ඩායම සරසවිය තුළ සහ ඉන් පිටත සංවාද සහ සම්මන්ත්‍රණ ගණනවක්ම ජාතික චින්තනය සහ ජාතික විමුක්තිය මැයින් 1987 සිට ආචාර්ය නලින් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කළේය. තිස්ස බාලසූරිය පියතුමාගේ සහභාගිත්වයෙන් 1987 ඔක්තෝබර් 29වැනිදා කොළඹ සරසවියේ පැවති සංවාදයට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ පවා සහභාගි විය. ගෙවිදු කුමාරතුංග ජාතික චින්තන මතවාදය ප්‍රචලිත කිරීමේ පුරෝගාමියාය. ඔහු එයට අත්පොත් තැබුවේ 1984 සිටය. කණ්ඩායම නායකත්වය සැපයූවේ ජාතිකත්ව චින්තන මතවාදය රටතුල ස්ථාපිත කිරීම සදහාය. ඔහුගේ සීයා වූයේ කුමාරතුංග මුණිදාසයන්ය.

එජාප ආණ්ඩුව මගින් 1987 ජුනි 22වැනිදා ගෙවිදු කුමාරතුංග ඇතුළු සරසවි සිසුන් 88 දෙනෙකු රහස් පොලිසිය මගින් රටපුරා විවිධ ස්ථානයන්ගෙන් අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයේ මාස 3කට ආසන්න කාලයක් රඳවා තබා ගන්නා ලදී. එම කාලයේදී කුමාරතුංග මුණිදාස පදනමේ පානදුර පල්ලියමුල්ලේ උත්සවයකට පැමිණි ජනාධිපති ජයවර්ධන ගෙවිදුගේ පියාවු පුනූ කුමාරතුංගට කියා සිටියේ ඉල්ලීමක් කලහොත් අවශ්‍යනම් තමාට ගෙවිදු නිදහස් කලහැකි බවය. ගෙවිදුගේ පියා කාරුණිකව එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අත්අඩංගුවට ගත් සරසවි සිසුන් කණ්ඩායමම නිදහස් නොකරන්නේනම් ඔහු තනිවම නිදහස් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවය.

වසර 1988/89 සහ 90 මුල්භාගයේදී ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෝ ජවිපෙ මර්ධනය කිරීම සදහා පිහිටවූ ප්‍රා සංවිධානයට එක්වී තීරණාත්මක කාර්යභාරයක් කලහ. රටපුරා සරසවි සිසුන් 200කට ආසන්න පිරිසක් මරා දැමුවේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක ධර්මසිරිගේ මැදිහත්වීමෙනි. කොළඹ සරසවියේ නීතිපීඨ වධකාගාරය මේජර් මනතුංග යටතේ පාලනය වූවද ස්වාධීන ශිෂ්‍ය සංගමය තමන්ට අවශ්‍ය පරිදි එම වධකාගාරයේ කටයුතු ගෙන ගියහ. අර්ධ මිල්ටරි කණ්ඩායම් වලින් ඔවුනට වාහන, හැදුනුම්පත්, ආයුධ නොඅඩුව ලැබිණි. නිර්මාල් රංජිත් දේවසිරි සහ බෝපගේ ඇතුළු බොහෝ දෙනා ඝාතන සංස්කෘතියට විරෝධය පා මුලදීම ස්වාධීන ශිෂ්‍ය සංගමයෙන් ඉවත් වූහ.

කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ තෙවන වසරේ හේමන්ත චන්ද්‍රසිරි 1989 ඔක්තෝබර් 13වැනිදා මිනුවන්ගොඩ සිය නිවසින් පැහැරගෙන නීති පීඨ වධකාගාරයට ගෙනවිත් බෙල්ල කපා මරාදමන ලද්දේද අන්තරේ කැඳවුම්කරු සහ නීති පීඨයේ සරත් එදිරිසූරිය 1989 දෙසැම්බර් මස උස්සා පොළොවේ ගසා මරාදැමූවේද එම වධකාගාරයේදී ස්වාධීන ශිෂ්‍ය සංගමය විසිනි. එයට පෙර ඔහුව මේජර් පද්මසිරි උඩුගම්පොල යටතේ ඇති රේස් කෝස් රැඳවුම් කඳවුරටද ගෙන ගොස් තිබිණි. වාණිජ පීඨයේ සමන් කපුගමආරච්චි 1989 ඔක්තෝබර් 19වැනිදා ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ.එල් ධර්මසිරි විසින් තවත් අයෙකු සමඟ යතුරු පැදියකින් පැමිණ පුංචි බොරැල්ලේදී ඔළුවට වෙඩිතබා පිහියෙන් ඇන ඝාතනය කර තිබිණි. මාතර දෙල්ගල්ලේදී නමදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වශයෙන් 1963 අගෝස්තු 26වැනිදා උපන් සමන් කපුගමආරච්චි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් කොළඹ සරසවි වාණිජ පීඨයේ උපුල් සද්ධාසේන, 1989 ඔක්තෝබර් 5වැනිදා කෑගල්ලේදීද, ශ්‍රාස්ත්‍ර පීඨයේ බී.කේ. රොඩ්ගූ 1989 දෙසැම්බර් මසද , අනිල් හෙට්ටිආරච්චි, නාවල චන්ද්‍රකීර්ති හිමි, වාණිජ පීඨයේ එම්. ඒ. දයාරත්න 1990 පෙබරවාරි මසද ඝාතනය කරන ලදී. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ.එල්. ධර්මසිරි 1989 ඔක්තෝබර් 20 වැනිදා ජවිපෙ මගින් කොටහේන කොච්චිකඩේදී වෙඩිතබා ඝාතනය කරන ලදී. ආසියාවක සරසවියක ක්‍රියාත්මක වූ මේලේච්ඡ සහ කූරතම ශිෂ්‍ය සංවිධානය වූ ස්වාධීන ශිෂ්‍ය සංගමය 1989 දෙසැම්බර් 15 වැනිදා නිල වශයෙන් විසුරුවා හැරියද එහි කටයුතු 1990 මාර්තු දක්වා ක්‍රියාත්මක විය.

මහාචාර්ය නලින් ද සිල්වාගේ සේවයද වරෙක කොළඹ සරසවියේ 1992 දෙසැම්බර් 4වැනිදා වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලදී. එයට එරෙහිව ඔහු විසින් පවරන ලද නඩුවකදී කම්කරු විනිශ්ච සභාව මගින් රුපියල් 737,008ක වන්දියක් ගෙවන ලෙස කොළඹ සරසවියට නියෝග කළේය. ගෙවිදු කුමාරතුංගද කොළඹ සරසවියේ ගණිත අංශයේ සහකාර කථිකාචාරවරයෙකු වශයෙන් අනූව දශකයේ මුල් භාගයේදී සේවය කරන අතර පසුව දේශපාලන පළිගැනීමක් මත ඉවත් කරන ලදී. වර්තමානයේ ඔහු විසිදුණු ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයේ ප්‍රධානියාය.

රටේ ඒකීය භාවය අනතුරට ලක්වීමේ සේයාවක් මතුවෙමින් තිබු සෑම අවස්ථාවකදීම ජාතික චින්තන කණ්ඩායම එයට එරෙහිව ක්‍රියාකාරිව මැදිහත් විය. අධිරාජ්‍ය විරෝධි අරගලයේ ප්‍රධානතම කාර්යය වනුවේ පරාධීන චින්තනයට එරෙහිව සටන් වැදීම යනු ඔවුන්ගේ දැක්ම වී තිබේ.

ඡායාරූප විස්තර
1. ජාතිකත්වය මතුකරදුන් ප්‍රාඥයින්(වමේ සිට) අනගාරික ධර්මපාල, කුමාරතුංග මුණිදාස සහ මාටින් වික්‍රමසිංහ.

2. කොළඹ සරසවිය මැර බලයෙන් යටපත් කරගෙන සිටි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ, ප්‍රා සංවිධානයට ජීවය සැපයූ කේ. එල් ධර්මසිරි, ඝාතන වලට එරෙහි වෙමින් අවසානයේදි ස්වාධින ශිෂ්‍ය සංගමයෙන් ඉවත්වූ නිර්මාල් රංජිත්, ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ශිරාල් ලක්තිලක සහ සරසවි සිසුන් 200කට ආසන්න පිරිසක් ඝාතනය කල ප්‍රා සංවිධානයේ නායක හලාවත පොඩි සිල්වා.

3. කොළඹ සරසවියේ දෙමළ බෙදුම්වාදය සහ මැර බලය පරදවා 1987 මාර්තු 24වැනිදා බලය අත්පත් කරගත් ජාතික චින්තන කණ්ඩායමේ නායකයින් වන විද්‍යා පීඨයේ අනූප පැස්කුවල්, පුෂ්ප විතානගේ සහ ගෙවිදු කුමාරතුංග(වමේ සිට) රොෂාන් ගුණවර්ධන සහ මාලක වීරසූරියද මෙහි සෙසු නායකයින්ය. 
 4. එම වකවානුවේ කොළඹ සරසවියේ උපකුලපතිවරුන්ව සිටි මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සහ ජී.එල්. පීරිස්.


5. ජාතික චින්තනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත සහ ප්‍රචලිතකල පුරෝගාමීන් කිහිපදෙනෙක්(වමේ සිට) මහාචාර්ය නලීන් ද සිල්වා, ආචාර්ය ගුණදාස අමරසේකර, ජී.අයි.ඩී. ධර්මසේකර සහ ගෙවිඳු කුමාරතුංග
 6. ජාතික චින්තනය පිළිබද සංවාදයක් පවත්වා ගැනීමට මාසික කලාප 16ක් නිකුත් වූ කාලය සඟරාව.

7. කොළඹ සරසවි උද්ඝෝෂණයක් මර්ධනයට පොලිසිය සමඟ බයිසිකල් චේන් රැගෙන මැරයින් එක්වූ අවස්ථාවක්.


8. ස්වාධින ශිෂ්‍ය සංගමය විසින් කොළඹ සරසවි නීති පීඨ වධකාගාරයේදී බෙල්ල කපා මරාදැමූ එහි විද්‍යා පීඨයේ හේමන්ත අජිත් චන්ද්‍රසිරි, උස්සා පොළොවේ ගසා මරාදැමූ අන්තරේ හිටපු කැඳවුම්කරුවූ නීති පීඨයේ සරත් එදිරිසූරිය, වෙඩිතබා පිහියෙන් ඇන ඝාතනය කල වාණිජ පීඨයේ සමන් කපුගමආරච්චි.

9. ප්‍රා සංවිධානය මගින් මරා දැමූ සිසුන් 200 අතරින් කිහිප දෙනෙක්(වමේ සිට) කැලණිය විශ්ව විද්‍යාලයේ රත්නසිරි, ඊ. එම්. සෝමචන්ද්‍ර, බෝගහකුඹුර, ජයසේන දිසානායක සහ තිලක් ප්‍රසන්න, සනත් හෙට්ටිආරච්චි, ඒ.ඊ. ආරච්චි, දිසානායක

10. විජය කුමාරතුංග අවමඟුලේදී ඊ.පී.ආර්.එල්.එෆ්. නායක වර්ධරාජා පෙරුමාල් ශෝක පණිවිඩය ඉදිරිපත් කරමින්. පසකින් සිටින්නේ එය සිංහලෙන් කියවූ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වූ උපුල් ශාන්ත සන්නස්ගලය. පසුව උතුරු නැගෙනහිර මහ ඇමතිවූ වර්ධරාජා ඊළාම් රාජ්‍යයක් 1990 මාර්තු 1වැනිදා ප්‍රකාශයට පත්කල අතර අනතුරුව ඉන්දියාවට පලා ගියේය.

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions