8/21/2015

කුමන්ත්‍රණයට එරෙහිව සන්ධානයේ ප්‍රතිචාරය සහ ඒකීය රට සුරැකීමේ වගකීම

කතෘ:යුතුකම     8/21/2015   1 comment

මැතිවරණය නිමාවී ඇත. ඒකීය රටක් සුරැකීම වෙනුවෙන් මහින්ද ඇතුළු සන්ධානය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් දිවා රෑ වෙහෙසුන සියලුම දෙනාට පළමුව කෘතඥ තාවය පලකරනු කැමැත්තෙමි. විරුද්ධවාදී පෙරමුණු ගණනාවකින් කෙරුණු පහරදීම් හමුවේ ඔබ සියලු දෙනා එක පෙරමුණක එකට එක්වී ඒ අභියෝගය ජයගන්නට දියත්කල සටන අතිශයින්ම ප්‍රසංශා කටයුතුය. මහපොළවේ යතාර්ථයක් වූ පසුගිය නොවැම්බරයේ සිට සිදුවන කුමන්ත්‍රණය පිලිබඳ එතරම් දැඩිව සැලකීමක් නොදැක්වුවන් තමන්ගේ අභිප්‍රාය වූ ජයකණුව වෙත ළඟා නොවිම කෙරෙහි තරමක අප්‍රසාදයක් හෝ අතෘප්තිකර තත්වයකට පත්ව ඇති බව දකිමි. සියලු කරුණු කාරණා සලකා බැලීමේදී සන්ධානය මේ ලද ජයග්‍රහණයේ ධනාත්මක පැතිකඩයන් ගැන සිතා බලනු වටී.

මහින්ද රාජපක්ෂ දේශපාලන කරලියෙන් ඉවත්කිරීමේ බටහිර කුමන්ත්‍රණය ආරම්භවන්නේ ඔහු 2005දි ජනාධිපතිවිමටත් පෙර සිටය. මේ සම්බන්ධව පසුගිය කාලය පුරාම විස්තරාත්මකව සාකච්ඡා කර තිබේ. ඔහු නැවත දේශපාලනයට ඒම වලකාලීමට මේ සියලු බලවේග ක්‍රියාත්මක වූ බව නොරහසකි. මහින්ද නොමැති දුර්වල සන්ධානය හමුවේ විශාල ජයග්‍රහණයක් බලාපොරොත්තු වූ එජාපයටත් සන්ධානයෙන් ගිලිහෙන ඡන්ද එකතුකර තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට මාන බැලු ජවිපෙටත් ෆීල්ඩ් මාෂල්ගේ පක්ෂයටත් මහින්දගේ නැවත පැමිණීම අභියෝගයක්ම විය.

මෙය වලකාලීමට කුමන්ත්‍රණකරුවන් නොගත් උත්සාහයක් නැත. එක අතකින් ජනාධිපති විධායක බලයද, අනෙක් පසින් කොල්ලකෑ සන්ධාන හා ශ්‍රීලනිප සභාපතිත්වයද, තව අතකින් මුල්‍ය අපරාධ කොට්ඨාශය හරහා කෙරුණු බොරුචෝදනා හා පලි ගැනිම්ද, විදේශ බලපෑම්ද යන සියල්ල එකවිට ක්‍රියාත්මක කෙරිණ. මේ සියලු අභියෝග පරදා මහින්දට සන්ධානයෙන් නාම යෝජනා ලබාගැනීමට හැකිවීම මහින්ද හිතවාදී සන්ධාන කණ්ඩායමේ පළමු ජයග්‍රහණයයි. මෙයින් කුපිතවූ එජාපය සහ සමහර බටහිර තානාපති කාර්යාලද සිරිසේන ජනාධිපතිවරයා ලවා සන්ධානයේ ජයග්‍රහණයට එරෙහිව ප්‍රකාශයක් නිකුත්කරවා ගැනීමට සමත්විය. එමෙන්ම ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව රැස්වීම අවහිර කරමින් ජනාධිපති හෙන්චයියෙකු ලවා අධිකරණ නියෝගයක්ද ලබා ගන්නා ලදී. මේ ද්වේශ සහගත, නිර්ලජ්ජිත සහ අශිලාචාර යහපාලන විරෝධී ක්‍රියා හමුවේ පසු නොබා ජයග්‍රහණය මහපොළවේ යතාර්ථයක් කරන්නට මැතිවරණ ව්‍යාපාරය තුලදී සන්ධානයට හැකියාව ලැබුණි.

මෙයින් වියරු වැටුණු සිරිසේන ජනාධිපතිවරයා සන්ධානයේ අනිවාර්ය ජයග්‍රහණ දකිමින් පිටු පහක චරිත ඝාතන ලිපියක් මගින් වෙනත් කෙනෙකුට අගමැතිකම දිම සඳහා මහින්දගේ සහාය ඉල්ලිය. මැතිවරණ ව්‍යාපාරය අවසන්වන්නට දින දෙකක් තිබියදී එල්ලවුණු මේ ප්‍රහාරය යම් තරමකට හෝ මර්ධනය කරගැනීමට සන්ධානය සමත් වුවත්, මහින්දට අගමැතිකම නොදීමේ තර්ජනය සහ එය වෙනත් අයෙකුට දීමේ අවදානම මත ඡන්ද දායකයා වික්ෂිප්ත බවට හා ව්‍යාකුලත්වයට පත්වීම සමනය කරගැනීමට අවශ්‍ය කාලය සන්ධාන ක්‍රියාකාරීනට ඉතිරි නොවිය. මේ නිසා පාර්ලිමේන්තු බහුතරයක් දක්වා යාහැකිවූ ජයග්‍රහණය යම් පසුබෑමකට ලක්විය. එතකුදු නොනැවතී සිරිසේන ජනාධිපතිවරයා මැතිවරණ ව්‍යාපාරය අවසන්වන හෝරාවේ සදාහාර විරෝධී ලෙස සන්ධාන සහ ශ්‍රීලනිප ලේකම්වරුන්

ඉවත්කරමින් අධිකරණ නියෝගයක් ද ලබා ගත්තේ කලින් සැලසුම්කරණ ලද ආකාරයකට බව සිතිය හැක. අධිකරණ නිවාඩු සමය ආරම්භවීමට පෙර අවසාන දවසේ අවසාන හෝරාවේ මෙය සිදුකිරීම මැතිවරණ දිනය නිර්ණය කිරිමේදී අපොස උසස්පෙළ විභාගයට වඩා සැලකිල්ලට ගත් කාරණයක් බව දැන් පැහැදිලිව පෙනේ. මේ මගින් ජාතික ලැයිස්තුව ඔහුගේ පාලනයට ලක් කර ගැනීම ඔහුගේ කෙසේවෙතත් ඔහු හසුරුවන්නන්ගේ අභිප්‍රාය වූ බව නිසැකය. මෙය එසේම සිදුවන බව පෙනෙන්නට තිබෙන අතර අධිකරණයේ ස්වාධිනත්වය හා අපක්ෂපාතිත්වය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුවීම නොවැලැක්විය හැකිය. මේ ක්‍රියාවන් තුලින් සන්ධාන ඡන්ද දායකයන් ඡන්දය දීමෙන් වලකාලීමට ගත් උත්සාහය සර්ථකවී ඇතිබව මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලිවේ. සිරිසේන ජනාධිපතිවරයා ජනවාරියේදී ගත් ඡන්ද එලෙසම ප්‍රකාශ තිබියදී සන්ධානයේ ඡන්ද ප්‍රමාණය දස ලක්ෂයකට වඩා අඩුවූයේ කෙසේදැයි තවදුරටත් විශ්ලේෂණය කලයුතු අතර, ඡන්ද දුෂණ හා මගඩි පිළිබඳව මතුවන වාර්තාද නොසලකා හැරිය නොහැක්කේමය.

සන්ධානය සහ ශ්‍රීලනිපය ජනාධිපතිවරයාට බාර දෙනවිට මෙවන් ද්වේශසහගත හතුරුකමක් තම පක්ෂයට කරතියි සන්ධානයේ බොහෝදෙනා නොසිතන්නට ඇත. තම පක්ෂය හැරදා විපක්ෂ අපේක්ෂකයාවිමෙන් තමාලද කොන්තරාත්තුව වෙනුවෙන් තමාගේ වගකීම එජාපය බලයට ගෙන ඒමයි. ජනාධිපතිධුරයේ වැඩ බාරගත් පසු මෙය ඉටුකිරීමේ අවශ්‍යතාවය විදේශ බලවේග මගින්ද තවදුරටත් බලකළ බව විශ්වාස කල හැක්කේ ජනාධිපතිවරණයත් සමග මෙරටට ආ ගිය විදේශික දේශපාලනඥයින් ගැන කලපනා කරන විටය. එය පසුගිය කාලයේ ඔහුගේ ක්‍රියාකාරිත්වය තුලින්ද මනාව පැහැදිලිවිය. මෙය මොහු විසින් කෙසේ හෝ නොකරතියි යම් කෙනෙක් සිතුවානම් ඒ වැරදි නිගමනයක්ය. එම නිසා තම පක්ෂයට එරෙහිව ක්‍රියාකිරීම කෙතරම් ද්වේශ සහගත හෝ සදාචාර විරෝධී වුවත්, එසේ කිරීම ගැන විශ්මයට පත්විය යුතුද නැත. ප්‍රශ්නය ඇත්තේ ඒකාධිපතියෙකුට එරෙහිව යහපාලනය ගෙනෙනවායයි බලයට අවුත් අමු අමුවේ කරන යහපාලන උල්ලංඝනයන්ය.

තත්වය මෙසේ තිබියදී යථාර්තය විය හැකිව තිබුනේ මෙයයි. එනම් සන්ධානය බහුතරයකින් ජයග්‍රහණය කලා වුවද සිරිසේන ජනාධිපතිවරයාට පක්ෂපාති කොටස් ඔහුගේ බලපෑම මත එජාපය හා හවුල් ආණ්ඩුවකට එකතුවීමයි. ඉන්පසු තවත් කොටසක් රජයට එකතුවිම මගින් සන්ධානය නිසැකවම සුළුතරය වන්නට හොඳටෝම ඉඩකඩ තිබුණි. කෙසේ නමුත් ජයග්‍රහණයකින් පසුව එවැනි තත්වයක් මතුවිනිනම් එම ජයග්‍රහණයේ වෙනත් ධනාත්මක පැතිකඩයන් සන්ධානයේ ඉදිරිගමනට අනිවාර්ය ශක්තිමත් සාධකයන් සපයනු නොඅනුමානය. කෙසේ නමුත් මේ ලබා ඇති ජයග්‍රහණය, ශ්‍රීලනිපය තුලින්ම පැන නැගුණු ද්වේශසහගත කුමන්ත්‍රණයන් හමුවේ ඊටත් වඩා ප්‍රභල වුවක් බව සැලකිය හැකිය.

මේ අනුව බලන කල ලැබූ ජයග්‍රහණය ගැන සෑහීමකට පත්වන්නට බොහෝ කරුණු කාරණා තිබේ.

1.මහින්ද නොමැති සන්ධානය දුර්වලවී එජාපයට අති බහුතරයක් සහිත ජයග්‍රහණයකට යාමට තිබු හැකියාව වළකාලීම. මෙයින් එජාපයට අත්තනෝමතික තීරණ ගැනීම පිළිබඳව දෙවරක් සිතීමට සිදුවනු ඇත.

2.තම පක්ෂ නායකයාත් අනුශාසකවරියකුත් ඉතිහාසයේ කවරදාකවත් නොවූ අයුරින් ද්වේශ සහගත ලෙස තම පක්ෂය පරාජය කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගනිද්දීත් එජාපයට සාමාන්‍ය බහුතරයක් ලබාගැනිමට ඉඩ නොදී විශාල ආසන ප්‍රමාණයක් රැක ගැනීමට හැකිවීම. මේ හේතුවෙන් මොවුන් දෙදෙනාම නියෝජනය කරන දිස්ත්‍රික්ක දෙකම සන්ධානයට අහිමිවිය. ජනාධිපතිවරයා පක්ෂයේ නායකයා ලෙස නියෝජනය කල ආසනය අහිමි වුවද අනුශාසකවරිය ඇගේ වෛරය කොතරම් මුදාහලද ඇයගේ බලප්‍රදේශය වූ ආසනය සන්ධානයට දිනාගැනීමට හැකිවීම විශේෂත්වයකි.

3.පිටුගනන් වූ චරිත ඝාතන ලියුම් , මළමිනී ගොඩ ගැනීම්, මඩ ගැසීම් මැතිවරණ ව්‍යාපාරය දුර්වල කිරීමේ අධිකරණ ක්‍රියාකාරකම්, පදනම් විරහිත අසත්‍ය දුෂණ වංචා චෝදනා වලින් සාමාජිකයන් දුර්මුඛ කිරීම් ආදී නොයෙක් කුමන්ත්‍රණ මගින් ඡන්දදායකයා උදාසීන කිරීම, කළකිරවිම, ව්‍යාකුලත්වයට හා වික්ෂිප්ත භාවයට පත් කිරීම මගින් අත්වන්නට තිබු අන්ත පරාජයක් මේ තත්වයට ඔසවා තැබීමට හැකිවීම.

4.සන්ධානය දුර්වල කරමින් එජාපයේ වලිගයක් බවට පත්වී සභාග ආණ්ඩුවට හවුල් වූ වැඩි පිරිසක් (අප්පච්චි මලෝ කණ්ඩායම) පරාජය කිරිමෙන් ජනතා පරමාධිපත්‍ය පාවාදෙන්නන් පිලිබඳ ජනතා අප්‍රසාදය පළකිරීම. මෙයින් ජයග්‍රහණය කල අපේක්ෂකයින්ටද යම්කිසි අනතුරු ඇඟවීමක් ප්‍රකාශ වෙයි. මේ අනුව ජාතික ලැයිස්තුවෙන් පත්විය හැකි සිරිසේන ජනාධිපතිවරයාගේ අනුගාමිකයින් එජාපයට එකතු වුවද ඉතිරිය වැඩිපිරිසක් එජාපයට එකතු නොවීම තුලින් ශක්තිමත් විපක්ෂයක් නියෝජනය කරමින් එජාපයේ අත්තනෝමතික ක්‍රියාවන්, විශේෂයෙන් එජාප බෙදුම්වාදී න්‍යාය පත්‍රයට දැඩි විරෝධයක් එල්ල කල හැකිවනු ඇත. එජාපයෙන් තරඟකල, දේශයට වෛර කරන කාලකණ්නි ටියුෂන් ගුරුවරයෙක් සහ මහලු රූ රැජිනක්ද මෙලෙසින් පරාජය වි තිබීම සතුටුවිය හැකි කරුණකි.

5.යහපාලනය වෙනුවෙන් ප්‍රධානත්වය ගෙන පදනම් විරහිත දුෂණ වංචා චෝදනා ගැන කෑමොර දීමෙන් අන් කවර පක්ෂයකටවත් වඩා නිර්දය ලෙස සන්ධානයට පහර දුන් ජවිපෙය ඉතිහාසයේ අත්දුටු අන්ත පරාජයකට පත්වීම. ජවිපෙ ඉතිහාසයේ වාර්තාගත අඩුම ඡන්ද ප්‍රතිශතය වර්තමාන නායකයාගේ නමට එක්වේ. අපේ මිනිසුන්ට සමාජවාදය ඇති කිරීමට බිහිවූ, නිර්ධන පන්තියේ කැට සල්ලි වලින් හා ලෙයින් දහඩියෙන් පෝෂණය වූ පක්ෂයක්, මව්බිම නැත්නම් මරණය නම් සටන් පාඨය ඔසවා ගත් පක්ෂයක්, අධිරාජ්‍යවදි හා බෙදුම්වාදීන්ගේ ඩොලර් කුට්ටි වලට පාවාදෙමින් රට සුරැකි මිනිසුන්ට නිර්දය ලෙස නිර්ලජ්ජිත ලෙස බොරුචෝදනා වලින් පහරගසමින්, බැඳුම්කර වංචාවන් කල උන්ට එසේ පහර නොගසමින්, නලවමින්, ඔවුන් සමග සන්ධාන ගත වී සීනුව අලියාගේ වල්ගයේ එල්ලා විපක්ෂනායකයා වීමටත් 2020දී ජනාධිපති හෝ අගමැතිවීමටත් සිහින මැවු නායකයෙක් බිහිකළ, අවුරුදු 50ක් වයස් ගත පක්ෂයක් වුවත් ජනතාව දිනාගැනීමේ නිවැරදි වැඩපිළිවෙලක් තවමත් නැති ජවිපෙයට ජනතාව සාධාරණය ඉෂ්ඨ කර තිබේ. නව ලිබරල් ආර්ථික ක්‍රමයක් ඇතිකිරීමට ජවිපෙය අවශ්‍ය නැති බවත් එජාපයට එය හොඳින් කලහැකිබවත්, සන්ධානයට මඩ ගැසීමෙන් සන්ධානයෙන් ඡන්ද කඩා ගැනීමේ ප්‍රතිපත්තියට වඩා ජනතාවාදී ප්‍රතිපත්තියක් ඔවුන්ට තිබියයුතු බවත් ජනතාව විසින් ජවිපෙට අවධාරණය කර පෙන්වා දී තිබේ. මහපොළවේ යථාර්ථය හඳුනාගත නොහැකිවීම ජවිපෙ ඉතිහාසය පුරාම පෙන්නුම් කල ලක්ෂණයකි.

6.ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ පරාජය මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතු ජයග්‍රහණයකි. මහින්ද රාජපක්ෂ ඉවත්කිරීමේ කුමන්ත්‍රණයේදී යුධ ජයග්‍රහණයේ ගෞරවය ඔහු කෙරෙන් ඈත් කිරීමේ පළමු ප්‍රයත්නය ලෙස බටහිර කුමන්ත්‍රණ කරුවන් විසින් යුධ සමයේ පාබල සේනා හමුදාපති වූ සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණ විපක්ෂ පොදු අපේක්ෂකයා වශයෙන් ගෙන එන ලදී. මෙහිදී ඔහු පරාජයට පත්වුවද, එම කුමන්ත්‍රණයේ අභිලාශය යම්තරමකට ඉෂ්ඨ වූ බව පෙනෙන්නට තිබේ. එය පසුගිය මැතිවරණ දෙකෙහිදීම විද්‍යාමාන විය. කෙසේ නමුත් යතාර්ථවාදී නොවූ මෙම සංකල්පයේ මෙම හිටපු හමුදාපති තමා විසින්ම කෙතරම් ගිලි සිටියාද යන්න දැන් පැහැදිලිය. ජවිපෙ ඇතුළු අනේකවිධ මහින්ද විරෝධී කණ්ඩායම් ඔහු මේ තත්වයට පත්කිරීමේ වගකීමේ භාරකරුවෝය. මෙවර තනිව තරඟ කිරීමෙන් මහින්ද ඇතුළු සන්ධානයට මඩ ගැසීමේ ව්‍යාපාරයේ තවත් පෙරමුණක් ලෙස පෙනිසිටියද, ඔහු ගිලිසිටි සංකල්පයේ යතාර්ථය ඔහුටම අවබෝධවීමට සැලැස්වීමෙන් ජනතාව විසින් ජවිපෙට මෙන්ම මහපොළවේ යතාර්ථය ඔහුට පෙන්වා දී ඇත.

7.බොදුබලසේනා පරාජය තවත් වැදගත් ප්‍රතිඵලයකි. මහින්ද ඉවත් කිරීමේ තවත් පෙරමුණක් ලෙස බොදුබලසේනාවේ ක්‍රියාකාරිත්වය දිස්විය. මෙය ද්විත්ව පෙරමුණකි. යුධ ජයග්‍රහණයේ ගෞරවය හීන කිරීමෙන් පසු සිංහල බෞද්ධ හා සුළු ජාතික ඡන්ද මහින්දගෙන් ඉවත්කර ඔහු පරාජය කිරීම කුමන්ත්‍රණ කරුවන්ගේ ඊළඟ අරමුණ විය. මේ ක්‍රියාන්විතය ඉතාමත්ම සාර්ථක විය. බොදු බල සේනා මුස්ලිම් විරෝධය අවශ්‍ය ලෙස පාලනය කිරීමට නොහැකිවීමෙන් මුස්ලිම් ජනයා මහින්දගෙන් ඈත්කිරීමට සමත්විය. මෙය දැඩි ක්‍රියාමාර්ග මගින් පාලනය කලේ නම් සිංහල බෞද්ධ කොටස් ඊට එරෙහි වනු අත. මෙය ද්විත්ව පෙරමුණක් වුයේ එලෙසිනි. මේ ව්‍යාපාරය ජනතාව විසින් දැඩිලෙස ප්‍රතික්ෂේප කීරිම ඉතාම සුභවාදී ප්‍රවණතාවයකි. මේ ව්‍යාපාරයට උඩගෙඩි දෙමින් එය මර්ධනයට විරුද්ධව ආණ්ඩුව තුල හිඳිමින් ක්‍රියාකළ හෙළ කරුම නායකයින් දැන් එජාපයට එක්වී ඊනියා යහපාලනය දෙසයි. අප්පච්චි මලෝ කණ්ඩායම ලෙසම සන්ධානය අතහැර මෙලෙස එජාපයට එක්වූ අවස්ථාවාදීන් සියලුදෙනාටම නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිඵල භුක්තිවිඳීමට සිදුවනු ඇත.

තත්වය මෙසේ තිබියදී සන්ධානය වෙනුවෙන් වෙහෙස මහන්සි වූ ඔබ අධෛර්ය විය යුතු නැත. මේ පටන් ගත් කාර්‍යභාරය ඉදිරියටත් මෙලෙස ඉටුකිරීමට එක්වී කටයුතුකළ යුතුව ඇත. එජාපය 1977 ජයග්‍රහණයෙන් පසු, ශ්‍රීලනිපය දුර්වලකිරීමට ක්‍රියා කල අයුරින් මෙවරද ක්‍රියාත්මකවී සන්ධානය දුර්වල කර දේශපාලන වශයෙන් අක්‍රිය කිරීමට විවිධ උපක්‍රම යොදනු ඇත. විදේශ බලවේග වල ආශිර්වාදයද ඒ සඳහා හිමිවනු නොඅනුමානය. එය ඔවුන්ගේ බෙදුම් වාදී න්‍යාය පත්‍රය, ඊනියා යුධ අපරාධ විමර්ශනය ඇතුළු අනේකවිධ අභිප්‍රායයන් ඉෂ්ඨසිද්ධ කර මස්තකප්‍රාප්ත කරගැනීමේ නොපසුබස්නා අභිලාෂයයි. දැන් ජනතා පරමාධිපත්‍ය පාවාදෙන්නන් ඔවුන්ගේ පුද්ගලික අභිමතාර්තයන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා නැවත පිල් මාරුකිරීම අරඹනු දැකිය හැකිය. මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් රටටවන අනර්ථය මහපොළවේ යතාර්ථයක් වෙන්නට යම්කිසි කාලයක් ගතවේ. කෙටිකාලීනව යම්යම් දේ දැකිය හැකිවුවත් දරුණුම දේ සිදුවන්නේ දීර්ඝ කාලිනවය. ජනතාවට මෙය දැනෙන විට කල් ගත වුව වැඩි වියහැක. එනිසා මේ වෙනදාටත් වඩා අවදියෙන් සිටිය යුතු කාලයයි. අවදියෙන් සිටින්න. ඔබේ ඇස් වසා තිරය පිටුපස බොහෝ දේ සිදුවිය හැක.

- ප්‍රකාශ වැල්හේන 
19 අගෝස්තු 2015

යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. සීණු හඬ මකා ගිණි පන්දම නිවා දැමීම ජනතාවගේ හෘද ශාක්ෂියට අනුකූලවම සිදුවීම රටේ ඉදිරි ගමනට යම් තරමකට හෝ සහනයකි.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions