8/08/2015

අපි නොදන්න ජවිපෙ"හෘද සාක්‍ෂිය"

කතෘ:යුතුකම     8/08/2015   1 comment


-ධර්මන් වික‍්‍රමරත්න

මාස 60 කින් අලුත් රටක් හදන පංච විධ ක්‍රියාවලිය මැයින් එක්සත් ජාතික පක්ෂයේද, රටට පණ දෙමු අලුතෙන්ම පටන් ගමු අනාගතයට සහතිකයක් මැයින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේද, "හෘද සාක්‍ෂිය" මැයින් ජවිපෙද මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ජනතා හමුවේ තබා ඇත. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාට උගුරේ ආබාධයක් ඇති බව කියන හෙයින් රැස්වීම් ඇමතීම වෙනුවට දැන් කෙරෙන්නේ හඩපටයක් වාදනය බැවින් තවමත් මැතිවරණ ප්‍රකාශයක් දැකගන්නට ලැබුණේ නැත.
වසර 67ක් ශ‍්‍රී ලංකාව පාලනය කල දේශපාලන නායකයින්ට රටේ ප‍්‍රශ්න විසදීමට බැරිවුණු බැවින් අර්බුදයට විසදුම් සෙවීම ජවිපෙ ඉදිරිපත් කල "හෘද සාක්‍ෂිය" මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අරමුණ බව කියති. ජවිපෙ "හෘද සාක්ෂිය" අනුව ධනවාදයේ අනිවාර්ය අංග උපාංගයන් වූ දූෂණය සහ නාස්තිය ඉවත් කිරීමට ඔවුන් ඉල්ලන්නේ බලය නොවේ. ධනපති පක්ෂ හැසිරවිය හැකි දුරස්ථ පාලකයකි. ජනතා විමුක්ති පෙරමුණට දැන් වසර 50කි. රෝහණ විජේවීර ජවිපෙ උපතට පණ දුන්නේ මුට්ට කර ගසමිනි. එහෙත් වර්තමානයේ ජවිපෙට එවැනි කැපකිරීම් අවශ්‍ය නැත. ඒ නවීන ලෝකය විසින් මාක්ස්වාදය උඩු යටිකුරු කර ඇති බැවිනි.

ජවිපෙ ජාතික ලැයිස්තුවට සමාජය පිළිගත් විද්වතුන් කිහිප දෙනෙකුද ඇතුළත් කර තිබේ. කෙටියෙන් පවසතොත් ජවිපෙට ඡන්ද පදනමක් සකසා ගැනීම සදහා එම ජාතික ලැයිස්තුවේ ඇතැම් විද්වතුන් ජවිපෙ සන්නාම තානාපතිවරු ලෙස බ්‍රෑන්ඩ් කර තිබේ. මායාදුන්නේ, මහාචාර්ය රුහුණු හේවා, චාල්ස් දයානන්ද, මහාචාර්ය කපිල පෙරේරා, මහාචාර්ය පියදාස රණසිංහ ඒ අතරින් කිහිප දෙනෙකි. මෙය ඔවුන් ඇන්දවීමක් පමණි.මහ මැතිවරණ සදහා 2000 සිට ජාතික ලැයිස්තුවෙන් ජවිපෙ 7 දෙනෙකු පාර්ලිමේන්තු ගියද ජාතික ලැයිස්තුවට පත්කල විද්වතුන්ට සැලකුවේ කරපිංචා න්‍යායෙනි.

එකොළොස්වන පාර්ලිමේන්තු මැතිවරණය පැවති 2000 ඔක්තෝබර් 10දි ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් අවසානයේ පාර්ලිමේන්තුවට පත්කළේ අනුර කුමාර දිසානායක සහ අන්ජාන් උම්මාය. එම ආසන දෙකත් සමඟ එහිදී ජවිපෙ දිනාගත් මන්ත්‍රීදූර සංඛ්‍යාව 8කි. දොළොස් වන පාර්ලිමේන්තු මැතිවරණය 2001 දෙසැම්බර් 5 වැනිදා පැවති අවස්ථාවේදී ජවිපෙ ආසන 13ක් දිනාගත් අතර ජාතික ලැයිස්තුවෙන් අවසානයේ පත්කළේ අනුර කුමාර දිසානායක, එස්.කේ. සුබසිංහ සහ රාමලිංගම් චන්ද්‍රසේකරය.

දහතුන් වැනි පාර්ලිමේන්තු මැතිවරණය 2004 අප්‍රේල් 2වැනිදා පැවැත්වීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනාගත් ආසන 92න් 39ක් ජවිපෙ විය. ජාතික ලැයිස්තුවෙන් පත්වූ සන්ධානයේ ජවිපෙ මන්ත්‍රී වූයේ රාමලිංගම් චන්ද්‍රසේකරය. දහ හතරවන පාර්ලිමේන්තු මැතිවරණය පැවති 2010 අප්‍රේල් 22වැනිදා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් සරත් ෆොන්සේකා සමඟ එක්ව ජවිපෙ තරඟ කල අතර දිනාගත් ආසන සංඛ්‍යාව 5කි. ජාතික ලැයිස්තුවෙන් එවර පත්වූයේ ජවිපෙ අනුර කුමාර දිසානායක සහ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ටිරාල් අලස් පමණි.

ලක්ෂ 16ක පමණ වටිනාකමක් ඇති ගුවන් කාලය ලක්ෂ 8ක පමණ මුදලක් ගෙවා රාජ්‍ය රූපවාහිනී මාධ්‍යයකද පක්ෂ සමුළුව කඩතුරාවක් කරගනිමින් "හෘද සාක්‍ෂිය" එළිදැක්වීමේ උත්සවය සජීවීව විකාශනය කළේය. සියළු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. තද වර්ණ ලා වේ. රතු පාට රෝස පාට වී අවසානයේදි සුදු පාට වේ. සුදුවූ විට අවශ්‍ය වේලාවට නිල්කර ගැනීමට හෝ කොළ කරගැනීමටද පහසුය. එවිට ඕනෑම සභාග ආණ්ඩුවකට එක් විය හැක. ආචාර්ය එන්. එම්. පෙරේරාලා, කොල්වින්ලා, සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ සාරි පොටේ එල්ලී සභාග හැදුවේනම් ජවිපෙට පමණක් සභාග අකැප වන්නේ නැත.

‘යහපාලන’ ආණ්ඩුව ගෙන ගිය සභාගයේ මල් වට්ටියට ජවිපෙද අත ගැසුවේ එබැවිනි. ජාතික විධායක සභාව ඇත්තේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයටත් ඉහළිනි. ජවිපෙම යෝජනාවක් අනුව ජාතික විධායක සභාව ආණ්ඩුව මගින් ගොඩනැගු යාන්ත‍්‍රණයකි. ජනාධිපති චන්ද්‍රීකා කුමාරතුංගගේ ආණ්ඩුව සමග එක්ව 2001දී ජවිපෙ පරිවාස ආණ්ඩුවක් ගොඩ නැගුවේය. එය 2004දී චන්ද්‍රීකා කුමාරතුංගගේ පොදුජන එක්සත් පෙරමුණ සමග සභාග ආණ්ඩුවක් දක්වා වර්ධනය විය. ජනාධිපතිවරණය පැවති 2005දී මහින්ද රාජපක්ෂ සමගද සභාගයක් ගැසුවේය. සභාග ක‍්‍රියාමාර්ගයේ දිගුවක් ලෙසින් එක්වරම යූ ටන් එකක් ගසා 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා සම`ගද සභාගයකට එක්වී එජාපය සමග එක ගෙයි කෑම සිදු කළේය.

ඉදිරි මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යම් හෙයකින් ආසන 114ක් නොගතහොත් එජාපයට දෙමළ බෙදුම්වාදී සහ මුස්ලීම් අන්තවාදී ස්ථාවරයන් නියෝජනය කරන දේශපාලන පක්ෂ මහජන නියෝජිතයින් එක්කර ගනිමින් සභාග ආණ්ඩුවක් පිහිටුවීම සදහා තල්ලූවක් දීම ජවිපෙ අරමුණු බවට සැක නැත. වර්තමානයේ එජාප ‘යහපාලන’ ආණ්ඩුවට ජාතික විධායක සභාව හරහා ජවිපෙන් ලැබුණේ හොද තල්ලූවකි. බහුතරයක් නොමැති සුළුතර පික්පොකට් ආණ්ඩුවට එමගින් සුජාත භාවයක්ද ලැබිණි.

ජවිපෙ දේශපාලනය වන්නේ සමාජවාදී සමාජයක් ගොඩනැගීමය. ඒ වෙනුවෙන් ජවිපෙ කැරලි දෙකක් ගැසුවේය. ප‍්‍රථම කැරැල්ල වූ 1971 කැරැල්ලේදී ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන වලට අනුව ඝාතනයට ලක්වූ කැරළිකරුවන් ගේ සංඛ්‍යාව 1,200කි. එහෙත් 1971දී මරාදමන ලද කැරළිකරුවන්ගේ සංඛ්‍යාව 5,000කට ආසන්න බව කියති.

ජවිපෙ දෙවන කැරැල්ලද 1986 ආරම්භ වී 1990දී නිමාවට පත්විය. එජාප ආණ්ඩුවේ නිල සහ අතුරු සන්නද්ධ කණ්ඩායම් මගින් එහිදී මරාදැමූ සංඛ්‍යාව 34,014කි. ප‍්‍රා සංවිධානය මගින් මරාදැමූ සංඛ්‍යාව 1,222කි. ජවිපෙ මගින්ම ජවිපෙ විරෝධීන් ලෙස සලකා දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය මගින් මරා දැමූ සංඛ්‍යාව පමණක් 6,577කි. ඒ අනුව දෙවන කැරැුල්ලේදි ඝාතනයට ලක්වූ සහ අතුරුදහන්වූ පිරිස 41,813කි. නිල නොවන වාර්තා සදහන් කරන්නේ 60,000ක පමණ ආසන්න පිරිසක් එහිදී ඝාතනය වූ බවකි. ජවිපෙ ඝාතනය කල 6,577 දෙනා අතර එජාප සාමාජිකයින් 2,645ද සාමාන්‍ය සිවිල් පුරවැසියන් 1,652ද ඔත්තුකරුවන් 702, රජයේ සේවකයින් 487, පොලිස් භටයින් සහ නිළධාරින් 342, හමුදා නිළධාරින් 15 සහ හමුදා භටයින් 202, සරසවි සහ පාසල් සිසුන් 187, මහජන පක්ෂයේ සාමාජිකයින් 117, පොලිස් පවුල් සමාජිකයින් 93, විදුහල්පතිවරුන් 52, භික්ෂූන් 41, වෛද්‍යවරුන් 16, නීතිඥයින් 14, කලාකරුවන් 8, උපකුලපතිවරුන් 2, කතෝලික පූජකවරුන් 2 අයත් විය.
එම දෙවන කැරැල්ල පැවති අසූවේ දශකයේ අවසාන භාගයේදී ජවිපෙ මගින් විනාශ කල රජයේ පොදු දේපලවල වටිනාකම කෝටි 100කට අධිකය. ලංගම බස්රථ 553, ග‍්‍රාම නිළධාරි කාර්යාල 294, තැපැල් කාර්යාල 680, රජයේ නිළධාරින්ගේ නිවාස සහ කාර්යාල, රජයේ කර්මාන්තශාලා, විදුලිය බෙදාහරින ස්ථාන 132, ගොවිජන සේවා කාර්යාල 103 ඇතුළු රජයේ පොදු දේපල රැුසක් ගිනිතබා විනාශ කළේය. දිගන සහ මරඳගහමුල මහජන බැංකු ඇතුළු රජයේ ප‍්‍රධාන සහ ග‍්‍රාමීය බැංකු 40කට කඩා වැදී මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකා තිබිණි. නිවැරදි දැක්මක් හෝ තර්කානුකූල භාවයකින් තොරව ජනතාවට සේවා සපයන ආයතන විනාශ කිරීම මගින් ජවිපෙ විනාශකාරි බලවේගයක් බව ජනතාවට ඒත්තු ගියේය.

රෝහණ විජේවීර විසින්ම පොළොව කොටා, පස පෙරළා, බිජු වපුරා අරඹණු ලැබූ ජනතා විමුක්ති පෙරමුණ ගමන් කළේ විජේවිරගේ දෘෂ්ඨිය සහ දේශපාලනය තුළය. බලය ලබාගැනීමට ජවිපෙ යෙදූ උපක‍්‍රම සහ එල්බගත් උපායන්ගේ ප‍්‍රශස්ථ භාවය පිළිබදව විවිධාකාර මතභේද තිබුණද විප්ලවීය ජිව ගුණයෙන් ජීවිත පරිත්‍යාග කල දස දහස් ගණනක් ජවිපෙ තුළ සිටි බව පිළිගත යුතුය.

අනුර කුමාර දිසානායක ජවිපෙ නායකයා වශයෙන් පත්වූයේ 2014 පෙබරවාරි 2වැනිදාය. එයට පෙර ආරම්භයේ සිට ඒ දක්වා ජවිපෙ නායකයින් වූයේ රෝහණ විජේවීර, සමන් පියසිරි ප‍්‍රනාන්දු, ලලිත් විජේරත්න සහ සෝමවංශ අමරසිංහය. ඉකුත් අපේ‍්‍රල් මස ජවිපෙ සාමාජිකත්වයෙන් ඉවත්වූ පසු සෝමවංශ අමරසිංහ බරපතල චෝදනා ජවිපෙට එල්ල කළේය. එමෙන්ම අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂද ජවිපෙට රුපියල් ලක්ෂ 25ක් දුන්බව වරෙක කියා සිටියේය. මෙවැනි කරුණු කාරනා රැසක් නිසා ජවිපෙ නායකත්වය සහ එජාපය අතර ඇති ආලයේ තරම රටට නොතේරෙනවා නොවේ.

ජවිපෙ නායක රෝහණ විජේවීර මරා දමන තුරුම විවෘතව සභාග දේශපාලනය තුළ ආත්මය ජරාජීරණය කර නොගත්තද එජාප ආණ්ඩු සමග හොර රහසේ දීගකෑ බවටද චෝදනා විය. ශ‍්‍රිලනිප ගමනක අවසානය මැයින් රෝහණ විජේවීර විසින් රටපුරා දේශන මාලාවක්ද පවත්වන ලදී. එමෙන්ම 1988 දෙසැම්බර් 19 පැවති ජනාධිපතිවරණය අවි බලයෙන් වර්ජනය කිරීමේ අවසාන ප‍්‍රතිඵලය වූයේ ශ‍්‍රිලනිප නායිකා සිරිමා බණ්ඩාරනායක පරාජයට පත්වී එජාප නායක රණසිංහ පේ‍්‍රමදාස මහතා ජනාධිපති වශයෙන් පත්වීමට පාර කැපිණි. එය උපාය මාර්ගයන් අනුව එයට අනුරූපීව කරන ලද උපක‍්‍රමික ක‍්‍රියාවක් බව කීවද අවසානයේ සිදුවූයේ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා 1989 ජනවාරි 2වැනිදා දිවුරුම්දී වසරක් යන්නට මත්තෙන් ජවිපෙ නායකත්වය සමගින්ම මහා බිහිසුණු තරුණ සංහාරයක් සිදුවීමය.

ජවිපෙ හිටපු නායක සෝමවංශ පවසන පරිදි අලියාගේ බෙල්ලේ දැන් සීනුව ගැටගසා ඇත. එබැවින් යළි රනිල් වික‍්‍රමසිංහ අගමැති කිරීමට එජාපයට පාර කැපීමට ජවිපෙ මෙවර මහා මැතිවරණය කැපකර ඇත. එය 1988 දෙසැම්බර් ශ‍්‍රිලනිප සංවිධායකවරුන් සහ ආධාරකරුවන් සිය ගණනක් මරා දමමින් එජාපයේ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපති කලා හා සමානය. එදා 1988 ජනපතිවරණ මැතිවරණයේදී දේශපාලන ඝාතන පමණක් 681ක් සිදුවී තිබිණි. මෙදා මහ මැතිවරණයේදී සන්ධානයේ මෙහෙයුම් නායක මහින්ද රාජපක්ෂ ඇතුළු සන්ධාන මැතිවරණ අපේක්ෂකයින් රැසකට හොරා හොරා යැයි චෝදනා නගමින් ජවිපෙ සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ලබයි.

ජවිපෙ අපේක්ෂකයින් බහුතරයක්ම වාගේ උපාධිධාරින් වන අතර ඔවුන් අතර හොරුන් නැතැයි ජවිපෙ පෙන්වා දේ. ජවිපෙ අපේක්ෂකයින් අතර ගස් බදින අයද, එතනෝල් ආනයනය කරන අයද හොරකම් කරන අයද නැති බව සත්‍යයක් වන්නට ඇත. එහෙත් අත්පා කපා පුද්ගලයින් ඝාතනය කල අය, සිරකඳවරු වලින් පැනගිය අය, බැංකුවලට ප‍්‍රහාර එල්ලකර රත්තරන් පැහැරගත් අය, බෝම්බ ගැසීමෙන් ඇගිලි අහිමිවූ අය, ගෝනි බිල්ලන් බවට පත්වී කැරළිකරුවන් ආරක්ෂක අංශවලට පාවාදුන් අය ඇති බවට ජනතාව චෝදනා කරන්නේ නිස්කාරනේ නොවේ.

ජවිපෙ එදා චන්ද්‍රීකා ආණ්ඩුවේ ඇමතිකම් 2004 අපේ‍්‍රල් සිට දැරුවේ වසර 2කට ආසන්න කාලයකි. අනුර කුමාර, ලාල් කාන්ත, විජිත හේරත්, චන්ද්‍රසේන එදා චන්ද්‍රීකා ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු විය. හදුන්නෙත්ති, විද්‍යාරත්න, නිහාල් ගලප්පත්ති, බිමල් රත්නායක එම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරුන් විය. පාර්ලිමේන්තුවට ජවිපෙ මන්ත‍්‍රීවරුන් 39 දෙනෙක් පත්වී සිටියේය. රටේ වැදගත්ම කෘෂිකර්ම, සංස්කෘතික, කුඩා කර්මාන්ත, ධීවර ඇමතිකම් ජවිපෙට ලැබුණද ඔවුනට ආකාර්ෂණීය සටන් පාඨ වෙනුවට ප‍්‍රායෝගික වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම, හැකියාව සහ නිපුණත්වය තිබුණේ නැත. ඒවා ක‍්‍රියාත්මක කිරීමට ජීව ගුණයක්ද නොවීය. අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමතිවරයා ආරම්භකල වැවි දස දහසක් රොන්මඩ ඉවත්කර ප‍්‍රතිසංස්කරණය කරනවායි කීවද අවසානයේ එසේ කල කිසිම වැවක් මිහිපිට දැක ගැනීමට නොහැකි විය. ලාල් කාන්ත කුඩා කර්මාන්ත ඇමතිවරයා ඇරඹූ ගුරු පැහැයෙන් රත් පැහැයට පාරම්පරික ස්වයංරැකියා ප‍්‍රවර්ධන වැඩ පිළිවෙල යටතේ ඇරඹූ සම්ප‍්‍රදායික ව්‍යාපාරයක් සෙවීම කළුනික සොයන්නා වැනිය. සුනිල් හදුන්නෙත්ති නියෝජ්‍ය ඇමතිවරයා පමණක් අමාත්‍යාංශයේ කැන්ටිමෙන් බත් එකක් මිලදී ගෙන එහිම සේවකයින් සමග පොදු ආපන ශාලාවේ වාඩි වී එකට අනුභව කිරීමෙන් මාධ්‍ය ප‍්‍රචාරයක් ලබා ලබාගැනීමට සමත් විය.

ධනපති ක‍්‍රමය යටතේ ආර්ථික අර්බුදයට විසදුම් නැතැයි ඇමතිකම් 4ක් සහ ඒවායේම නියෝජ්‍ය ඇමතිකම් 4ක් ලබාගත් ජවිපෙ රටට කියා සිටියේය. ජවිපෙ ඇමතිකම් ලබාගත්තද ජනතාවට වගකීමේ සහ වගවීමේ ඔවුන්ගේ නොහැකියාව මොනවට පැහැදිලි විය. අභියෝග වලට මුහුණ දීමට නොහැකිව ජවිපෙ සිටියදි ඔවුන්ගේ වාසනාවට සුනාමි සහන මණ්ඩල පනත 2005 ජුලි මස පාර්ලිමේන්තුවට ආවේය. ජවිපෙ ඇමතිවරු 4 සහ නියෝජ්‍ය ඇමතිවරු 4 එයට විරෝධය පා ඇමතිකම්වලින් අස්වී යන්තම් පක්ෂයේ ජාම බේරා ගත්තේය.
වසර 2000 ජවිපෙ පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කළේය. ජාතික ප‍්‍රශ්න විසදීමේ ප‍්‍රකාශනයක් 2013දී නිකුත් කළේය. ඉකුත් පළාත් සභා මැතිවරණය පැවති 2014දී අපේ දැක්ම මැයින් සම්මුතියක් එළි දැකීය. මෙවර 2015 අගෝස්තු 17 මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති හෘද සාක්ෂියේ සම්මුතියද අළුත් බෝතලයක පරණ වයින් දැමීමක් පමණි. කාලයෙන් කාලයට තාලේ වෙනස්ය. ජවිපෙ මැතිවරණ වලට ඉදිරිපත් කරන සම්මුති ඕනෑම තැනකට සරිලන සේ ඇඹිය හැකි මැටි ගුලියකි. වසර 1988 දෙසැම්බර් ජනාධිපතිවරණයේදී සහ 1989 පෙබරවාරි මස මහා මැතිවරණයේදී ජවිපෙ සිදුකළේ ශ‍්‍රීලනිපයට ප‍්‍රහාර එල්ල කර එජාපය බලයට පත්කිරීමය. ඉකුත් ජනවාරි 8වැනිදා සිදුකළේද අගෝස්තු 17වැනිදා සිදුකරන්නට යන්නේද එම ක‍්‍රියාවලියේම දිගුවක්ය. ජාතික විමුක්ති අරගලය හරහා මෙවර ජවිපෙ සමාජවාදයට යන්නට හදන්නේ මීලග අගමැති ලෙස රනිල් වික‍්‍රමසිංහ පත්කර ගැනීමෙනි. එජාපය බුදුකර සෝවාන්වීම ජවිපෙ අරමුණ බව පැහැදිලිය. මහින්ද සුළඟ හමුවේ ජවිපෙ"හෘද සාක්‍ෂියේ"අඩහැරය හිරු දුටු පිනි මෙන් වියැකී යනු ඇත.

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. බල්ල මැරෙන්න යනකොට මැක්කන්ට අප්සට් ගිහින් මේ වගේ ලිපි ලියන එක සාමාන්‍යයයි...

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions