1/16/2016

පොලිස් කෝලම

කතෘ:යුතුකම     1/16/2016   No comments
-ධර්මන් වික‍්‍රමරත්න
මූලික මිනිස් අයිතීන් සුරකිමට ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පොලිසියට දැන් වසර 150 සපිරෙන්නේ ලබන සැප්තැම්බර් 5වැනිදාය. පොලිසිය යන ඉංග්‍රීසි නම හැදී ඇත්තේ ආචාරශීලි, යටහත්, පක්ෂපාතී, බුද්ධිමත්, ධෛර්යවන්ත සහ කාර්යශූර යන වචනවල ඉංග්‍රීසි මුල් අකුරු වලිනි.

අතීතයේ කෝලම් නැටුම් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලා අංගයකි. කෝලම් නැටුම්වල ප්‍රථමයෙන් කෝලමේ වේදිකාවේ නට නටා යයි. ඉන් පසු පුස්කොල පොතක් අතැතිව පොතේ ගුරා වේදිකාවට එයි. ඉනික්බිතිව එන්නේ ප්‍රධාන නළුවාය. අණබෙර, නොන්චි, ආරච්චි, පොලිස්, හේවා කෝලම පසුව රඟ දැක්වේ. අනතුරුව පෙන්වනු ලබන්නේ සිංහ, බඩදරු, පරංගි, කාපිරි, කරපට, ගොන්, කොටි කෝලම්ය. අද පොලිසිය සහ පොලිස් කොමිසම මගින් රඟදක්වනු ලබන්නේ එම අතීතය සිහිපත් කරමින් පොලිස් කෝලමකි. එහි කෝලමාද පොතේගුරාද, ප්‍රධාන නළුවාද එකවිට රඟනු දක්නට ලැබේ.

ගම්පහ රතුපස්වල උද්ඝෝෂණයේදී වෙඩිවැදී මියගිය අය පිළිබදව අවසානයේ පරික්ෂණ කොමිසමක් පවා පත්කළේය. එදා රතුපස්වලට, හලාවතට, කටුනායක පොලිස් ප්‍රහාරවලට හඬනැගූ 'යහපාලන' පිරිස් ඇඹිලිපිටිය ඇතුළු පොලිස් පහරදීම් පිළිබදව දැන් පූස් පැටියන් මෙන් මුනිවත රකී. එදා ඔවුන් විසින් හැදින්වූ යුධ විරුවා පසුව වෙල් විදානේ බවට අභිෂේකකර වර්තමානයේ මන්ද බුද්ධිකයෙක් බවට අවසානයේ පත්කර තිබේ. කාලය මැවූ වෙනසක අරුමය මෙයයි.

එදා මොරටු පොලිසියේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් රජය වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් වූයේ නැත. අවසානයේදී පොලිස් නිලධාරින් වරදකරුවන්වී පෝරකයටද නියම විය. එදා පොලිසියේ එකෙක් මැරුණොත් ඕඩර් එක දුන්නේ මහින්ද බවට බෙරිහන් දුන් පිරිස් අද ඇටි කෙසෙල් කෑ උගුඩුවන් සේය.

වරෙක රත්නපුරදී රූ මනමාලියෙකුවූ 'බට්ටි'ට කොටන්න ගොස් වැරදුන විට අම්බානක ප්‍රසිද්ධියේ නෙලුවේය. පොලිස් නිලධාරියා අවිස්සාවේල්ලට මාරු කළේය. පසුව යළි වැඩට පැමිණියේය. මැදවච්චියේදී ආබාධිතයෙකුට පහරදී අත පයේ හිරිඇර ගත්තේය. කොටදෙනියාවේදී සේයා දැරිය අපහරණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අහිංසක පාසැල් සිසුවෙකුට සම්බුව දුන්නේය. අනුරාධපුර මහසෙන් විදුහලේ 5 ශ්‍රේණියේ ගුරුවරියකගේ ස්ථාන මාරුවකට එරෙහිව සාමකාමී උද්ඝෝෂණයක නිරතවූ දෙමාපියන් කිහිප දෙනෙකු පොලිසියට කුදලා ගෙන ගියේය. මේ කිසිවකට එරෙහිව පොලිස් කොමිසම ගත් නිසි ක්‍රියාමාර්ගයක් නැත. දෙමාපියන් දරුවන් නලවන්නාක් මෙන් වැරදිකල බවට චෝදනා ලත් පොලිස් නිලධාරින්ට නුඹ නාඩන්, නුඹ නාඩන් නුඹට ඕවා හොද පාඩම් කියා රටට පෙනෙන්නට පොඩි කෙනිත්තිල්ලක් දැම්මාට වැඩක් නැත.

රන්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඉකුත් ජනාධිපතිවරණයේ පුද්ගලයෙකුට වෙඩි තැබූ බවට චෝදනා කරමින් ඇප ලබාගත නොහැකිව වසරකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවිය. බස්නාහිර පළාත් හිටපු ඇමති උපාලි කොඩිකාර රිමාන්ඩ් කළේ බණ්ඩාරනායක ශාලාවේ පැවැත්වෙන කොමිසමට සාක්ෂි දීමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට පැමිණ සිටියදී පොලිස් නිලධාරියෙකු සමඟ ආරෝවක් ඇති කරගත් බවට වූ චෝදනාවකිනි. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ඉන්දික පොලිසියට දෝෂාරෝපනය කල බවට පැමිණිල්ලක් හේතුවෙන් රිමාන්ඩ් ගත විය.

ආචාර්ය නාලක ගොඩහේවා යනු උගතෙකි. රටට හිතැති බුද්ධිමතෙකි. ඔහු සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයාය. ඔහු යහපාලන ආණ්ඩුවෙන් බස්නාහිර සංචාරක මණ්ඩලයේ සභාපති තනතුරට පත්කල අටපාස් 'වාලම්පුරි මහාචාර්යවරයා' මෙන් පොරක් නොවේ. ලක්ෂ 50ක ආධාර මුදලක් අධ්‍යක්ෂක මණ්ඩල තීරණයක් අනුව ප්‍රධානයක් කිරීම වෙනුවෙන් 2015 දෙසැම්බර් 7වැනිදා අත්අඩංගුවට ගත් අතර අද වන විට දින 39ක් තිස්සේ තවමත් ඇප නැතිව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේය. පොලිසිය පොදු දේපල පනත යටතේ එය පවරා ඇත්තේ චිරාත් කාලයක් තබා ගැනීමේ බලය එයට ඇති නිසාය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් වීසා නොමැතිව ලංකාවේ රැදී සිටීම නිසා 2015 නොවැම්බර් 4වැනිදා අත්අඩංගුවට ගත් අතර ඇප නැතිව අදට දින 72ක් කෑගලු රිමාන්ඩ් බන්ධනාගාරයේය. ශ්‍රී ලංකාවේ පුරවැසියන්වු මව්පිය දෙපලකට දාව ලංකාවේ ඉපිද ලංකාවේ සරසවි අධ්‍යාපනය ලැබූ කුමාර් විසා නැති චෝදනාව යටතේ රඳවාගෙන සිටියදී රජය විදේශිකයන්ට ශ්‍රී ලාංකිකයන්ට ද්විත්ව පුරවැසි ප්‍රදානය කරන්නේ උත්සවශ්‍රීයෙනි. පුද්ගලයෙකු බලයෙන් පැහැරගැනීම, අයුතු ලෙස රඳවා තැබීම, තර්ජනය කිරීම වැනි රටවැසියෝ ඇස් පනාපිට රූපවාහිනියෙන් දුටු චෝදනා ලැබූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැය 2කින් ඇපමත නිදහස්ය. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය.

හිරුණිකා දැරවි වැරදි වැඩ කල බවට චෝදනාවකි. මෙයට පෙරද එවැනි වැරදි වැඩ සම්බන්ධයෙන් ඇයට චෝදනා එමට ඇත. මෙවර ඇය පොලිසියෙන් ඇරෙස්ට් කරනවාය. ඒ සෙනසුරාදා දිනයකි. 2016 ජනවාරි 9 උදැසන 7.59ට එස්.එම්.එස්. පණිවිඩයක් ආවේ හිරුණිකා අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ලැබුණු බවය. හරියටම උදේ 9.10ට හිරුණිකා අත්අඩංගුවට ගත් බවට තවත් පණිවිඩයක් ලැබුණේය. හිරුණිකා කොටුව අධිකරණයට ගෙන යන බවට පණිවිඩය ලැබුණේ උදෑසන 10.59ටය. වරුවක් යන්නට පෙර හිරුණිකා ක්ෂණික ශරීර ඇප මත නිදහස් විය. 'යහපාලන' දෙවන වසර සුභ මොහොතින් ආරම්භ විය. උදෑසන ආහාර ගෙන නිවසින් පිටත්වූ හිරුණිකා දිවා භෝජනයට යළි නිවසට පැමිණීමට සමත්වූවාය. ශ්‍රී ලංකාවේ පොලිසිය ඇමරිකාවේ පොලිසියටත් වඩා ටිප් ටොප්ය. පොලිසියේ එම ක්ෂණික නූඩ්ලස් ක්‍රියාමාර්ගයට අපේ හිතේ කහටක් නැත. ශ්‍රී ලංකාවේ පොලීසිය කාර්යක්ෂම නැතැයි කියූ සැමට එය හොද අතුල් පහරකි. එහෙත් එය කුමාර් ගුණරත්නම්ලාටද, නාලක ගොඩහේවාලටද, අප්පුහාමිලා සහ රන්මැණිකේලාටද එකම හැන්දෙන් විය යුතුය. පොලිසිය නීතිය පිළිපැදිය යුත්තේ හිරු අමාවකට ගිය දිනයකදී පමණක් නොවේ. ස්වාධීන පොලිස් කොමිසමක් යටතේ සැමට එක හා සමානව නීතිය ක්‍රියාත්මක විය යුතුය. රටට දුක පොලිසියටත් වඩා 'යහපාලන' ආණ්ඩුවේ ස්වාධීන පොලිස් කොමිසම ගැනය.

කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඒ අතින් හරිම වාසනාවන්තය. උසාවියද නිවාඩු කාලයක පසුවිය. ඇය ආවා ගියෝය. මාර්ටින් වික්‍රමසිංහ ශූරින්ගේ කථාවක කියූ පරිදි හරියට 'මෙරු' මෙනි. අධිකරණයේ වරදක් නොපෙනේ. වරද ඇත්තේ පොලිස් පැමිණිලි ගොනු කිරීම තුළය. ස්වාධීන පොලිස් කොමිසම සිදුකල යුත්තේ මෙවැනි මතභේදකාරි සිද්ධීන් පිළිබඳව අපක්ෂපාති පරික්ෂණ ඉක්මනින් පවත්වා ඒවායේ පසු විපරමක් සිදුකිරීමය. නැතිනම් පොලිස් කොමිසම පිළිබදව පොලිසියේ ආකල්පය වනු ඇත්තේ බඩුත් අපේ, නඩුත් අපේ වැනි අදහසකි. කැස්බෑව මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි එදා මේවාට කීවේ මයි කාර්, මයි පැට්‍රෝල් කියාය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය පියාගේ චර්යාත්මක රටාව අනුගමනය කරන්නේද යන්න වෙනම සාකච්ඡා කල යුත්තකි. මනෝ ප්‍රවේණි විද්‍යාව මගින් ප්‍රචණ්ඩත්වය පරම්පරාවට සම්ප්‍රේෂණය වීමද මෙහිදී අවධානයට ලක්විය යුතුය. එය අපට නොව වෛද්‍ය පර්යේෂකයින්ට අයත් රාජකාරියකි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේද පොලිසිය සුනඛ විවාහයක්ද මහනුවරදි උත්සවශ්‍රීයෙන් කළේය. 'යහපාලන' නිර්මාතෘ මාදුළුවාවේ සෝභිත හිමියන් ඒ පිළිබදව ප්‍රසිද්ධියේ කියා සිටියේ බල්ලෝ උත්සවශ්‍රීයෙන් හනිමුන් යැවීමට තරම් පොලිසිය ක්‍රියා කිරීම තුළින් පෙන්නුම් කරන්නේ රාජ්‍ය සේවය බල්ලට ගොස් ඇති බව කියාය. පොලිසියේ බලු විවාහයෙන් අම්බානට බැනුම් ඇසුවේ එදා සන්ධාන ආණ්ඩුවය. පොලිසියේ වර්තමාන ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කොමිසමේ අදහස වී ඇත්තේ 'පොලිසිය මගෙ සකි, යහපත් ළමයෙකි, නුවණත් ඇත්තෙකි, වැඩටත් සමතෙකි' යන සිරිමත්ගේ තියරිය දැයි සැක සිතේ. ඇඳ ගැනීම සහ ඇන්ඳවීම මල් හතය.

පනහේ දශකයේදී සර් ජෝන් අගමැතිධූරය දරණ වකවානුවේ පොලිසියේ සහ හමුදාවේ අමානුෂික පහරදීම් වලට එරෙහිව නැගුණ විරෝධතාව කොතෙක්ද යත් ඒ පිළිබදව එච්.ඒ.ද සිල්වාගේ සභාපතිත්වයෙන් කොමිසමක්ද පත්කරන ලදී. ඉන්පසු 1978 එජාප ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු නීතිය සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකාරකම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා විවේචනයට ලක්විය. සමසමාජයේ විවියන් ගුණවර්ධන ඇතුළු පිරිසකට 1983 මාර්තු 8වැනිදා පහර දුන්නේ කොල්ලුපිටිය පොලිසිය තුළදීමය. පහරදුන් අය වැරදිකරුවන්වූ විට ශ්‍රේෂ්ඨාධිකරණය නියමකල රුපියල් 2,500 වන්දි මුදල රජයෙන් ගෙවා චූදිත පොලිස් නිලධාරියාට උසස් වීමක්ද ලබාදෙන ලදී. තීන්දුන් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට එරෙහිව මැරයින් පිරිසක් ඔවුන්ගේ නිවෙස් ඉදිරිපිට උද්ඝෝෂණද කලහ. එයට නායකත්වය දුන්නේ ගෝනවල සුනිල්ගේ මිත්‍රයකු සහ 71 කැරැල්ලේ 29වැනි විත්තිකරුවූ ඇඹුල්දෙණියේ ලක්ෂ්මන් චන්ද්‍රසේන ප්‍රනාන්දු නොහොත් කළු ලකීය.

ජනපතිවරණය පැවති 1982දී පැවිදි හඬ සංවිධානය ආචාර්ය දරමිටිපොල රතනසාර හිමිගේ නායකත්වයෙන් ගම්පහ සිනමා ශාලාවක රැස්විමක් පැවැත්වීමට තිබියදී එය විසුරුවා හැරි පොලිසිය පත්‍රිකා පැහැර ගෙන ගියහ. එය මූලික අයිතින් උල්ලංඝනයක් කළේයැයි තීරණය කල ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් 12,500ක් ගෙවන ලෙස පොලිස් අධිකාරිවරයාට නියම කළේය. එම මුදල් රජයෙන් ගෙවා අදාළ පොලිස් නිලධාරියාට උසස් වීමක්ද පිරිනැමුවේය.

බලවත් දූෂිත පුද්ගලයන් ඉදිරියේ පොලිසිය ක්‍රියා කල අයුරු රටට රහසක් නොවේ. බලයක් සහ හඬක් නොමැති මිනිසුන්ට එළව එළවා ගුටි බැට දීම දැන් එන්ට එන්ටම වැඩිය. මෙවැනි පොලිස් මර්ධනකාරි තත්ත්වයක් 70 දශකයේ අග භාගයේදී විද්‍යාමාන වූ අතර අවසානයේදී එය 80 දශකය ආරම්භයේදී අභිෂේක ලැබීය. ඩිමොක්‍රසි, හියුමන් රයිට්ස්, ගුඩ් ගවනන්ස් එන්.ජී.ඕවලට නම් මේවා හොද ඩොලර්, පවුම් ඇදෙන ප්‍රොජෙක්ට්ස්ය.

ඇඹිලිපිටියේ එදා තිබුණේ වැඩිවියට පත් ගැහැණු ලමයෙකු පිළිබඳව සාදයකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථ දැක්වීම අනුව එය අයුතු ජන රාශියකි. කොටහලු මගුලටත් ඒ අනුව අවසර ගත යුතුය. මේවා අන්දරේගේ ෆැට් න්‍යායෙන් පිළිතුරු දෙන කොමඩි කථාය. ඇත්ත පත්තරේ කතුවරයාව සිටි ප්‍රවීණ දෙටු පුවත්පත් කලාවේදී බී.ඒ සිරිවර්ධනයන් අද සිටියේ නම් මේවාට හෙඩිමක් දමනු ඇත්තේ එදා මෙන් 'ගොනා උනාට උම්බෑ නොකියනු' කියාය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන අපට දුකක් නැත. එය ඇමතිවරයෙකුගේ ප්‍රෙස් ඔෆිසර් වාගේ කලාවට සහ ලතාවට කෙප්ප ගැසීමේ තනතුරකි. එවැනි තනතුරකදී ගල් පැලෙන බොරුද, අතේ පැලවන බොරුද, කැටයම් දැමූ බොරුද කීවාට 'පව්' නැත. එය කුණු රෙදි හෝදන චොෂින් මැෂිමක් වාගේ වැඩකි. මන්ද තනතුර දරන්නේ රුකියාවට පින්සිදු වන්නටය. රුකියාව කරන්නේ අඹු දරුවන් ජීවත් කරන්නටය. සකල ලෝක වැසියෝ මේවා දන්නා බව සත්‍යයකි. නොබෙල් සම්මානය වෙනුවෙන් ලොක්කා රඟන රැඟිල්ල සොක්කෝ කලොත් සිදුවනු ඇත්තේ නෝ බෙල්ලය. එබැවින් කලින් සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මෙන් පොත පෙරලා සිනාසී කෙප්ප කෙලීමේ කලාව හැදෑරිම කල යුතුය. අජිත් රෝහණ සමුගන්නා විට බුකියේ ටොයියෝ සහ බයියෝ තරඟයට දුක්වූවෝය. අසූව දශකයේ මුල් භාගයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකයෙකු නොසිටියද ජේෂ්ඨ පොලිස් අධිකාරි එස්. ඩී. සේනාරත්න එම කාරිය හොදින් සිදු කළේය.

පොලිසිය ජනතාවගේ උපහාසයට හෝ සමච්චලයට ලක්විය යුතු නැත. එදා වෝඩ් පෙදෙසේදී බිම ඇද වැටුණු සිසුවියට බැටන් පොල්ලෙන් පොලිස් නිලධාරියා පහර දුන්නා නොව නැගිටීමට අත දුන් බව පොලිසිය ප්‍රකාශ කළේය. අවසානයේදී පොලිස් කොමිසම කියා සිටියේ සිදුවූ පහරදීමට සිසුවියට වන්දියක් ගෙවිය යුතු බවය. පොලිස් නිළධාරියාට මාරුවක් දුන්නේය. ඔහු දැන් ඇතැම් විට පරණ තැනම වැඩ ඇත. වන්දිය ආණ්ඩුවේ මුදලින් ගෙවනු ඇත. නීතිය රකින්නට සුද්දාගේ පොලිසිය ගෙනත් දැමීමෙන් සිදුවූ දෙය උපහාසයට ලක්කරමින් පොලිස් කෝලම එදා රඟ දැක්විණි. එය වර්තමානයේ පොලිසිය සහ පොලිස් කොමිසම විසින්ම රඟදැක්වීම හාස්‍යයට කරුණකි. තමන් බක බ්‍රහ්මයාටත් වඩා කෙරුමෙකැයි කිසිවෙකු සිතිය යුතු නොවේ. පොලිසිය ඇත්තේ පාලකයාගේ බොඩිය සහ චැසිය ආරක්ෂා කිරීමට නොව මහජනයා රකින්නටය. එසේ නොවුනහොත් මහජනතාවගේ ආරක්ෂාවට ඇත්තේ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් පමණි.

-ධර්මන් වික්‍රමරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/03/2015

'ඔන්න බබෝ වෙනස ..'

කතෘ:යුතුකම     12/03/2015   No comments
- ධර්මන් වික‍්‍රමරත්න
ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය සේවයට හානිකර අයවැය යෝජනා වලට එරෙහිව රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරින්ගේ වෘත්තීය සමිති 19කින් සමන්විත දීප ව්‍යාප්ත සේවාවල විධායක නිළධාරින්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් සාමාජිකයින් 35,000ක් දෙනා දෙසැම්බර් 3 සංකේත වැඩ වර්ජනයක් සිදු කළෝය. තවත් වාර්තාවක් තබමින් ඉතිහාසයේ ප්‍රථමවරට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකයින් 2,323ක් අකුරට වැඩ ව්‍යාපාරයක්ද එදිනම පැවැත්විණි. දිවා විවේකයේදී පරිපාලන නිලධාරින්ගේ විරෝධතා ව්‍යාපාර අනුරාධපුර, රත්නපුර, බදුල්ල, ගාල්ල, මොණරාගල, ත්‍රිකුණාමලය ඇතුළු නගර රැසකම පැවැත්වූහ. අමාත්‍යාංශ රැසක් ඉදිරිපිටද පරිපාලන නිලධාරිහු උද්ඝෝෂණය කරනු දක්නට ලැබිණි. අනුරාධපුරයේ වීදි පෙලපාලියක්ද විය. රජය ඊයේ දහවල් ප්‍රකාශයට පත්කළේ වසර 10කට වතාවක් බැගින් තීරු බදු රහිත වාහන බලපත්‍ර දෙකක් උපරිම වශ‍යෙන් පමණක් රජයේ විධායක නිළධාරින්ට ලබාදෙන බවය.

මේ අනුව වසර 30දී යමෙකු රාජ්‍ය විධායක නිලධාරියෙක්ව සිට වසර 60දී විශ්‍රාම යන විට හිමිවන්නේ තිරු බදු රහිත වාහන බලපත්‍ර දෙකකි. කලින් එවැනි වසර 30ක සේවයේ යෙදී සිටි රාජ්‍ය නිලධාරියෙකුට තීරු බදු රහිත වාහන බලපත්‍ර 6ක් හිමිවිය. රාජ්‍ය නිලධාරින් ගේ මෙම වර්තමාන අරගලය තීරු බදු රහිත වාහන පර්මිට් එකකට යැයි ලඝුකර කිසිවෙකු අවලාද නැගිය යුතු නොවේ. රාජ්‍ය නිලධාරින්ගේ වර්තමාන අරගලය අයවැය යෝජනා හරහා රාජ්‍ය සේවය විනාශ කිරීමේ ආණ්ඩුවේ උපාය මාර්ගික සැලසුමට එරෙහිව රාජ්‍ය සේවය සුරැකිනු සඳහාය. ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයින්ගේ අයිතීන් පමණක් නොව 2016 සිට රාජ්‍ය සේවයට ඇතුළු වන රාජ්‍ය සේවකයින්ගේ අයිතීන් කප්පාදුවටද එරෙහිවය. එමෙන්ම එය රාජ්‍ය සේවය දියකර හැරීමේ නව ලිබරල්වාදී වැඩපිළිවෙලට එරෙහි සටනකි.

මෙම විරෝධතාවය මෙහෙයවන දීපව්‍යාප්ත සේවාවල විධායක නිළධාරින්ගේ ඒකාබද්ධ කමිටුවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, රජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ක්‍රම සම්පාදක සේවා සංගමය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමය, ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවා සංගමය ඇතුළු සංගම් 19ක් අයත් වේ. හුදකලාවේ සටන් කිරීමෙන් වැඩක් ‍ නොවන නිසා ඔවුහු එක්ව සටන් කරති. සතුරා පැහැදිලිය. අරගලයද පැහැදිලිය.

වෛද්‍යවරුන්ද ඒ අනුව දෙසැම්බර් 3 සංකේත වැඩවර්ජනයයට එක්විය. නිදහස් අධ්‍යාපනයෙන් උපන් වෛද්‍යවරුන් රටේ මුදල් කාබාසිනියා කරන පිරිසක් ලෙසට සෞඛ්‍ය සේවය සුරකීමේ ජාතික ව්‍යාපාරය ලෙසින් අමුතුම මාදිලියේ සංවිධානයක් හඬ නගති. ශ්‍රී ලංකාවේ බදු ගෙවන පුරවැසියෙකු වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ අධ්‍යාපනයකට වසරකට ගෙවන බදු මුදල ශත 2කි. එක් වෛද්‍යවරයෙක් බිහිකිරීමට එක් පුරවැසියෙකු වසර 6කට ගෙවන මුළු බදු මුදල ශත 12කි. වෛද්‍යවරුන් එදා අරගල කළේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව නිදහස් අධ්‍යාපනය සුරකීමටය. වෛද්‍යවරු මෙදා අරගල කරන්නේද කාර් පර්මිට් එකකට නොව රාජ්‍ය සේවය සුරකීමටය.

යෝජිත දායක විශ්‍රාම වැටුප 2001/2004 සමය පැවති රජය මගින් ඉදිරිපත් කලද බලවත් විරෝධය මත ඉන්පසු බලයට පත්වූ රජය මගින් අහෝසි කරන ලද්දකි. සහනදායි වාහන ආනයන බලපත්‍රය රජයේ විධායක නිලධාරින්ට සෑම වසර 5කට වරක් දෙනු ලබන්නකි. බුද්ධිගලනය නතර කිරීම සඳහා රාජ්‍ය සේවයට බුද්ධිමතුන් ආකර්ශනය කිරීම පිණිස සහන පොලියට වාහන සහ නිවාස ණය ලබාදීම ආදී වරප්‍රසාද රැසක් මෙයට කලින් ක්‍රමයෙන් අහිමි කරනු ලැබීය. උපාධිධාරින් වශයෙන් තරඟකාරි විභාගයට මුහුණ දෙමින් ඉන් සමත්ව රාජ්‍ය සේවයට ඇතුල්වන්නේ රුපියල් 25,000කට අඩු මූලික වැටුපකටය. පුරවැසියාගේ උපතේ සිට මරණය දක්වා සියළු සේවාවන් ඉටුකරනු ලබන්නේ ඔවුන් විසිනි. මෙවර අයවැය මගින් රාජ්‍ය සේවය උඩුකුරුඤ්ඤංය.

සත්‍ය වශයෙන්ම වාහන බලපත්‍ර අහෝසි කිරීමට තීරණය කරන්නේ රාජ්‍ය ආදායමේ ගැටළුවකට විසඳුමක් ලෙස නොවේ. මෙය ගෙවුම් ශේෂය හා බැදුනු ප්‍රශ්නයකි. එනම් මේ රට තුළින් පිටට ඇදීයන මුදල සහ පිටරටින් මෙරටට ඇදී එන මුදල අතර වෙනස වැඩිවීමේ ගැටලුවය. ප්‍රශ්නය වන්නේ පසුගිය රජයට මෙය ගැටළුවක් නොවූයේද යන්නයි. සැබවින්ම එවැනි අර්බුදයක් ඔවුනට නොතිබිණි. එකල රට තුළ විසල් ව්‍යාපෘති ක්‍රියාත්මක විය. එම ව්‍යාපෘති සඳහා ණය සහ ප්‍රාග්ධනය වශයෙන් විදෙස් මුදල් රට තුළට පැමිණියේය. එනිසා ගෙවුම් ශේෂය පාලනය කරගත හැකි මට්ටමක පැවතීය. වත්මන් රජය පත්වූ විගස හොරු අල්ලා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යාපෘති නතර කළේය. ආයෝජකයන් හා චීනය වැනි රාජ්‍යයන් අධෛර්යමත් කරමින් ඔවුන් මින් පිටමංවන තැනට කටයුතු කළේය. රටට විදේශ විනිමය ගෙනා ඇවන්ට්ගාඩ් වැනි ආයතන රණවිරුවන් හොරුන් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් බිලි දුන්නේය. ආර්ථිකය මතක් වූයේ අය වැය එන විටය.

ප්‍රකට දේශපාලන ක්‍රියාධරයෙකු වූ යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග ඉකුත් නොවැම්බර් 27වන සිකුරාදා නව නගර ශාලාවේදී ඩී.ඒ. රාජපක‍්ෂ 48වැනි ගුණානුස්මරණ උත්සවයේදී ප්‍රධාන දේශනය පවත්වමින් කාල බෝම්බයක් අත හැරියේය. එහිදී 21වැනි සියවසේ ස්වාධීන රාජ්‍යයන්‍‍ගේ පැවැත්ම සහ ශ්‍රී ලංකාව මුහුණ දෙන වර්තමාන අභියෝග මැ‍යින් පැවති දේශනයේදී ඔහු දුන් පණිවිඩය ඉතාම පැහැදිලිය. එදා හඬක් නොමැති ජනතාවට නායකත්වය දුන් අධිරාජ්‍යවාදී බටහිරට ගැති එජාපයට එරෙහිව ශ්‍රිලනිපය ගොඩනැගීමට සහායවූ ඩී.ඒ රාජපක්ෂයන්ට තිබූ එඩිතරභාවය ආදර්ශයට ගනිමින් රටේ හඬක් නැති ජනතාවට හඬක් වීමට ඔවුන් වෙනුවෙන් සටන් වැදීමට මවිබිමේ නාමයෙන් ශ්‍රිලනිපයේ සිටින එජාප විරෝධීන්ට ඔහු ආරාධනය කළේය.

ගෙවිදු කුමාරතුංග යනු මහින්ද රාජපක්ෂ ජනපතිවරණයෙන් පැරදුනු පසු හඬක් නැති මිනිසුන්ගේ හඬ සමාජගතකල පුරෝගාමියාය. දෙමළ බෙදුම්වාදීන්ගේ ග්‍රහණයෙන් කොළඹ සරසවිය 1987 මාර්තු 24 මුදාගත් සරසවි සිසු නායකයාය. ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරු දේශනයේදී ඔහු ඉඟි කළේ එජාපයට සහ එජාප ගැති පිරිස් විසින් වර්තමානයේ ප්‍රාණඇපයට ගෙන සිටින ශ්‍රිලනිපයට විකල්පයක් ලෙස තෙවන බලවේගයක් ගොඩනැගෙනු ඇත යන්නය. ලබන වසරේ ජුලි මස පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී නව උපතකට විදුලන නැකත එලඹෙනු ඇතැයි සිතිය හැක.

කුමාරතුංග මුණිදාස සූරින් හීන් සැරය කථා පෙළ ප්‍රථමයෙන් ලීවේ 1935 ලක්මිණි පහන පුවත්පතටය. පසුව හීන් සැරය කථාව අතිශයින් ජනප්‍රියට පත්විය. ගෙවිදුගේ සීයාවූ කුමාරතුංගයෝ හීන් සැරය මගින් කියා සිටියේ කුඩා අය එක්වූ විට ශක්තිය විශාල බැවින් දැවැන්තයින් පැරදවීමේ ක්‍රම සහ විධිය. කැලේ විශාලතමයා අලියාය. ප්‍රබලයා කොටියාය. කපටියා නරියාය. අලියාගේ හොඬවැලේ රිංගා ගත් කටුස්සා අලි හෙම්බිරිස්සාවක් සාදමින් අලියා පැරදුවේය. කොටියා පසු බැස්සුවේය. නරියා ෂේප් න්‍යායේ තියරියට තල්ලු කළේය.

ගෙවිදු සිය දේශනයේදී වැඩිදුරටත් කියාසිටියේ ශ්‍රිලනිප වර්තමාන නායකත්වය පළමුව ව්‍යවස්ථා විරෝධීවද දෙවනුව ශ්‍රිලනිප අගමැති අපේක්ෂකයා සදාචාර විරෝධීවද පරාජය කරමින් එජාප අගමැතිවරයෙක් පත්කරගත් බවය. ඔහු සදහන් කල පරිදි දෙමල සන්ධානය නියෝජනය කරන විපක්ෂ නායකද ඔවුන් වෙනුවෙන් දරදිය ඇද්දෙකි. ජවිපෙ නියෝජනය කරන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද එම සියළු දේශපාලන උපාය උපක්‍රම වෙනුවෙන් පෙනී සිටි අයෙකි. මේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍ර විරෝධී හවුලට එරෙහිව යළි 56ක් බිහිවිය යුතු බව ගෙවිදු එහිදී අවධාරණය කළේය.

වෙනස මාරය. අයවැය දෙවනවර ඡන්ද විමසීමද හමාරය. පක්ෂව 159කි. විපක්ෂව 52කි. වැඩි ඡන්ද 107කින් අයවැය සම්මතය. තාන්න මාන්න වරදාන අබියසදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද දායකයින්ගේ ජනමතය හෑල්ලු නොකරමින් සභාග ආණ්ඩුවේ අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කල මන්ත්‍රීවරුන් 52න් 6 දෙනෙකු ජවිපෙය. ඉතිරි මන්ත්‍රීවරුන් 46දෙනා ඒකාබද්ධ විපක්ෂයේය. එම 46දෙනා ශ්‍රිලනිප(එජාප විරෝධී කණ්ඩායම), විමල්ගේ ජාතික නිදහස් පෙරමුණ, දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, වාසුගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ගම්මන්පිල‍ගේ පිවිතුරු හෙළ උරුමය ඇතුළු සන්ධානයේ මන්ත්‍රීවරුන්ය.

විපක්ෂ නායක ධූරයද දරණ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉතිහාසයේ ප්‍රථම වරට අයවැයට පක්ෂව එජාප ආණ්ඩුව සමඟ එක්විය. බිංකුන්ඩෝ බොල තෝත් නටාපිය මාත් නටන්නන් කියා, ආණ්ඩුව සමඟ එකගෙයි කන මෙවැනි විපක්ෂ වාහෙලා ලෝකයේ මොනම රටකවත් සිටිනවාදැයි සැකයකි. 'පොඩි මල්ලියි - චූටි මල්ලියි' ලවා කථානායක පිළිගත් විපක්ෂයේ අයට වෙනස කොහොමද කියා මොවුන්ට ටියුෂන් පන්තියක්වත් දැමිය යුතුය.

මෙවර අයවැය කීමෙන් පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂය බව තහවුරු වුයේ සන්ධානයේ විපක්ෂ මන්ත්‍රීවරුන් 54ක් නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයයි. ඉන් 46 දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ අයවැය කියවීමට එරෙහිව එළිපිටම ඡන්දය ප්‍රකාශ කලහ. කථානායක විසින් පිළිගත් විපක්ෂයට සිටිනුයේ ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු සහ ජවිපෙ 6 දෙනෙක්ද ඇතුලත්ව මන්ත්‍රීවරුන් 22ක් පමණි. කථානායකගේ විපක්ෂය මන්ත්‍රීවරුන් 22කගේ සුළුතර කණ්ඩායමක් බවද ඒකාබද්ධ විපක්ෂය මන්ත්‍රීවරුන් 56ක් නියෝජනය කරන බව මේ අනුව සක්සුදක් සේ පැහැදිලි විය. යහපාලනය යනු මන්ත්‍රීවරුන් 22ක් සිටින සුළුතරය විපක්ෂයක් ලෙස පිළිගන්නා රටකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු මෙයද? සන්ධානයේ ඡන්දයෙන් පත්වූයේ මන්ත්‍රීවරුන් 83 දෙනෙකි. එයට බාහිරව ජාතික ලැයිස්තුවෙන් 12කි. සන්ධානයේ ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන් 83 දෙනාගෙන් 21ක් එජාප රජයේ ඇමතිවරුන්ය. ඉතිරිවන්නේ ඡන්දයෙන් පත්වූ සන්ධාන මන්ත්‍රීවරුන් 62කි. ඉන් සන්ධාන මන්ත්‍රීවරුන් 54ක් පෙනී සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙනි.

මාතර දිස්ත්‍රික්කයේ සන්ධානයට ඡන්දය දුන් ජනතාවගේ අභිමානය සුරකීමට මාතරින් පාර්ලිමේන්තුවට ගිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 5දෙනා වන ඩලස්, මහින්ද යාපා, ගජධීර, නිරෝෂණ සහ කාංචන එජාප ආණ්ඩුවට මුක්කු නොගසා එක රෑනක් සේ කටයුතු කිරීම මාතරට අභිමානයකි. අක්මීමන වෛද්‍ය රමේෂ් පතිරණ සිය පියාවන උග්‍ර එජාප විරෝධියෙකුවු රිචඩ් පතිරණ පියමං ඔස්සේම යෑම පුදුමයක් නොවේ. ගාල්ලේ මනූෂ නානායක්කාරට පාර්ලිමේන්තුවට එන්නට එදා ‍‍නොහැකි වූයේ 1980 ජුලි වැඩවර්ජක නායකයින් පස්ස දොරෙන් යළි රැකියා ලබාගත් අන්දමට සර්පයෙකු කාලා දැයි සැකයකි. බෙන්තර-ඇල්පිටිය ගීතා කුමාරසිංහ නෝනාටනම් ඡන්දය දීමට නොපැමිණීම පිළිබදව සමාවදිය යුත්තේ අයවැයට එරෙහිව ඇය කථාකල නිසා නොව ගෙදර ගියොත් 'අරයා' නසී, මඟ හිටියොත් ඇය නසී න්‍යාය නිසාය. ආචාර්ය සරත් අමුණුගම කතන්තේ සංස්කෘතිය කීවේ මේවාටදැයි සැකයකි. ප්‍රේමලාල් ජයසේකරනම් තවමත් බන්ධනාගාරයේය.

බුද්ධික පතිරණනම් නාවේ ඇමතිකමක් නොලැබුණ නිසා නොව පොඩි කෙනිත්තිල්ලක් කිරීමටය. අතුරලියේ රතන හිමියෝ අයවැය කියවීමට පක්ෂව ඡන්දය දුන්නේනම් මාධ්‍යවල ප්‍රචාරයක් නොලැබෙන බව නොදන්නවා නොවේ. සිරිපාල ගම්ලත්ට උනේ උණු නිසා බොන්නත් බෑ කිරි නිසා අහක දමන්නටත් බැරි වාගේ වැඩකි. කනක හේරත් සභාගැබේ සිටියානම් සබරගමු මහඇමති මහීපාල හේරත්ගේ ඇපත් නැතිවීමට ඉඩ තිබිණි. ජනක බණ්ඩාර තෙන්නකෝන් ආවානම් සිදුවන්නේ මහඋළුගෙදර තපින්නටය. රොහාන් රත්වත්තගේ නොපැමිණීම ‍සිදුවන්නට ඇත්තේ සිය මලයාවූ මහේන්ද්‍ර, මහනුවර ශ්‍රී විශ්ණු දේවාලයේ සහ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ 19 වන බස්නායක නිළමේ ලෙස අභිනවයෙන් කලින් දවසේ තේරී පත්වීමේ සතුට වැඩිවීම නිසා විය හැකිය. නායකයෝ යනු උපාය උපක්‍රම අනුගමනය කරන්නෝය. මහින්දගේ නොපැමිණීම සලකා බැලිය යුත්තේ ඒ තියරිය අනුවය.

මහින්ද රාජපක්ෂගේ ආගමනයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද විශාල සංඛ්‍යාවක් හිමිවීමෙන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 12ක් හිමිවිය. එය ශ්‍රිලනිප නායකත්වය පක්ෂ ව්‍යවස්ථාව කඩතුරාවක් කරගනිමින් කොල්ලකා ගත් අතර ඉන් පත්කල 12 දෙනාගෙන් 6 දෙනෙකු වූයේ සන්ධානයේ ඡන්දදායකයින් ප්‍රතික්ෂේප කර පරාජිත අපේක්ෂකයින්වූ එස්.බී. දිසානායක, මහින්ද සමරසිංහ, විජිත් විජයමුණි, ලක්ෂ්මන් යාපා, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, තිලංග සුමතිපාලය. ජාතික ලැයිස්තුවේ අනෙක් මන්ත්‍රීවරුන් 6 දෙනා වූයේ සන්ධානයේ කිසිදු ඡන්ද පදනමකින් තොරව පත්වූ සරත් අමුණුගම, ඒ.එච්.එම්. ෆවුසි, ඩිලාන් පෙරේරා, ෆයිසර් මුස්තාෆා, මලිත් ජයතිලක සහ අංගජන් රාමනාදන්ය. සන්ධාන පාක්ෂිකයින්ගේ ඡන්දය නැතිවූවාට ඔවුන්ගෙන් සියයට 90ක්ම ඇමතිලාය. මෙම ජාති(ක) ලැයිස්තුවෙන් පත්වූ මෙම ‍12 දෙනා ශ්‍රිලනිප නායකයාගේ මතයට ගරු කරමින් එජාප ආණ්ඩුවේ අයවැයට පක්ෂ නොවූවහොත් දෙයියෝ සාක්කිය.

ශ්‍රී ලංකාව ඇතැම් වකවානුවල හැර අවුරුදු 67ක් එකම තැන පල්වූ රටකි. ඇල්පෙනිත්තද පිටරටින් ආනයනය කරන රටකි. ගැහැණු මැදපෙරදිග යවා වි‍දේශ විනිමය ඉහළින්ම හම්බකලද ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටින රටකි. මහදවල් සරසවි සිසුවියන්‍‍ගේ ඔළුවට ‍බැටන් පොල්ලෙන් හොදින් 'සංග්‍රහකල' පොලිසිය පසුව වැටුනු සිසුවිය උස්සන්නට එම ප්‍රයත්න දැරූ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා අර්ථ නිරූපනය කරන රටකි. කේන්ද්‍රකාරයෝ සහ ෆෙංසුයිකාරයෝ පොරවල් වන රටකි. වැස්සට තෙමෙන නිසා යතුරු පැදිය විකුණා කාරයක් ගැනීමට ගිය ටොයි නංගියා කාරයේ බදු වැඩිකල විටද අයවැය වෙනුවෙන් පෙනී සිටි සිටින රටකි. අගනුවර පාර මැද්දේ අමුඩ යුද්දේ කරමින් ගොවියෝ වාර්ෂිකව පාරට බැස්සවූ විප්ලවවාදීහු පොහොර සහනාධාරයට කෙළවන විටද ඇවන්ගාඩ් ගැන වමාරමින් සිටින රටකි. ශ්‍රී ලංකික ගෘහ සේවිකාවක් අරාබියේදී ගල්ගසා මැරීමට සිටියදී ඒ වෙනුවෙන් හඬක් නොනඟන හැටහුට හමාරක් ස්ත්‍රී එන්.ජී.ඕ. සංවිධාන තිබෙන රටකි. ජාතික සමගිය සහ සංහිඳියාව ගැන පම්පෝරි ගැසුවද පාසැල් නිල ඇදුමට ජාතිවාදී පදනමක් මත වවුචර් දෙන රටකි.

තිබුණායැයි කියූ ලැම්බෝගිනි නැත. බකින්හැම් මාලිගයෙන් ගෙනාආ කියන රත්තරන් අශ්වයින්ද නැත. ‍නාරහේන්පිට මැනින් මාර්කට් එකේ තිබූ ප්‍රයිවට් පේන් එකද නැත. ස්විස් හෝ ඩුබායි එකවුන්ට්ද නැත. ඩුබායි මැරියට් හෝටලයේ අයිතියද නැත. තජුදීන්ගේ ‍ගොඩගත් මළසිරුරේ වාර්තාවට සිදුවූ දෙයක්ද නැත. කොටි නිදහස්වී ඇත. බුද්ධි අංශ හිරේ ඇත. සංවර්ධනය අඩාලවී ඇත. පාරිභෝගික ද්‍රව්‍ය සහ එළවළු මිල වැඩිවී ඇත. ශ්‍රී ලංකාව දැන් කොමඩිලන්තයක් බවට පත්වෙමින් ඇත. එදා තිරගත වූ 'කොළඹ සන්නිය - කමින් ස්වීට්' වෙනුවට 'මහින්ද කොටියාට සල්ලි දීපු හැටි' කියා රූපවාහිනී මාධ්‍ය සංදර්ශනයක්ද ඉදිරියේදී තිරගත වූවහොත් එහි පුදුමයක්ද නැත. ‍'වෙනස' ලැබී ඇත. 'යහපාලනයේ' අසිරිය කියා වැඩක් නැත.

- ධර්මන් වික‍්‍රමරත්න : මුරගල තීරු ලිපිය

කාටූනය : අද පුවත්පතෙන් උපුටා ගත්තකි

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
 (Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/27/2015

යස-පාලන කැලෑසිය

කතෘ:යුතුකම     10/27/2015   No comments
-ධර්මන් වික‍්‍රමරත්න

දෙමුහුන් ආණ්ඩුවට අදට දින 290කි. දින 100ක් ඇතුළත ගෙනෙන බවට පොරොන්දුවූ තොරතුරු දැනගැනීමේ පනත තවමත් හමස් පෙට්ටියේය. හිටපු ත්‍රිවිධ හමුදාපතිවරන් ප්‍රශ්ණ කිරීම සදහා එෆ්.සී.අයි.ඩීයට කැදවා ඇති බව ජනාධිපති දැකගන්නේ පත්තරයෙනි. ඩුබායි බැංකුවල සල්ලි සැඟවීම තවත් දිය කිඳුරි කථාවකි. රුපියල් ලක්ෂ 30ක් වැයකර වැලිඅමුණ සකස්කල එයාර් ලංකා සමාගමේ දූෂණ වාර්තාවෙන් හඬ ඇත. නඩුද නැත. ඖෂධ මාෆියාවේ කතාව දැන් වාදනයකර තැටියද පළුදුවී ඇත. රාජපක්ෂ රෙජිමයේ බේබිලා ලඟ තිබුණායැයි කියූ හෙලිකොප්ටර් නැත. රත්තරන් අස්පයින්ද හමු නොවීය. ලැම්බෝගිනි වාෂ්ප වී ගොසිනි. රගර් හාදයාගේ මෘත දේහය ගොඩ ගැනීමට තිබූ හදිසිය පරික්ෂණ වලට නැත. වැරදිකර ඇති සියල්ලන්ටම දඬුවම් ලැබිය යුතුය. ඒ පළිගැනීමක් ලෙස නොවේ. කර ඇති වරදට දඬුවමක් වශයෙනි. එවිට පසුවට රටේ වැරදි සිදුවීම අවම වනු ඇත.

බලය ලැබීමට පෙර දේශප්‍රේමය වෙනුවෙන් පෙනි සිටි වරාය ඇමති අර්ජුන රණතුංග බලය ලැබුණාට පසු දැන් පෙනී සිටින්නේ සහෝදර ප්‍රේමය වෙනුවෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක වශයෙන් සිටියදී තීරුබදු රහිත මෝටර් රථයක හුටපටයකට ඉවත්වීමට සිදුවූ ඇමති අර්ජුනගේ සහෝදරයාවන ධම්මික රණතුංග දැන් වරාය අධිකාරියේ සභාපතිය. "අයියණ්ඩි, මම උ‍ඹේ මලයණ්ඩි... රටෙන් නෝණ්ඩි වූවාට කම් නැත. පවුලට සලකන විදිය මම පෙන්වන්නම්" කියා ඇමති අර්ජුන කීවාද දන්නේ නැත. හෙඩ් වැටුනත් ටේල් වැටුනත් අලුත් ආණ්ඩුවේ දසත ඔඩුදුවා ගිය අපූරු සහෝදර ප්‍රේමය ඉදිරිපිට 'යහපාලන' ටොයියන්ට ඇපත් නැත. ගරු සරු දේශපාලනයකට මහත් හොරුන්ට එරෙහිව ගම්ප‍හින් පැමිණි කැප්ටන් කූල් දැන් හිට් විකට්ය. වරායේ හොරු ඇල්ලීමට පත්කල කමිටුවේ වාර්තාව අයියාට දැන් ඇමති මලයා විසින් කියා දිය හැකිය. ඇමති අර්ජුනගේ අමාතාංශයේ තවත් තනතුරු දුසිම් දෙකකට ආසන්න ගණනක් පත්කර ඇත්තේ ඥාතීන් සහ හිතවතුන්ය.

නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු‍ගේ බෑනාද ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයේ කොන්සල්වරයෙකු ලෙස සේවයට අද හෙටම ගියහොත් එයද පුදුමයක් නොවේ. පවුලට සැලකීම ආසියානු රටවල සම්ප්‍රදායකි. ඉන්දික කරුණාජීව, චමින්ද කුලරත්න සහ සේපාල රත්නායක එම තනතුරේ සිටියානම් ආණ්ඩුකාරයාගේ බෑනාටද එය අකැප නැත. ජනතාවට දුක රෙජිම් චේන්ජ් කියා කීවාට යන්නේ කකුළුවා ගිය පාරේම වීමය.

මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැන් ඇත්තේ එකටය. නමටම ගැලෙපෙන පරිදි සරසවි සිසුන් දැන් මහපාරේය. ඒ අන්තරේ විරෝධතා පා ගමන් හරහාය. රුහුණේ සිට මාතරටය. සෞන්දර්යයයේ සිට කොටුවටය. කැළණියේ සිට කිරිබත්ගොඩටය. රජරට කෘෂි පීඨයේ සිට අනුරාධපුරටය. පේරාදෙණිය සරසවියේ සිට මහනුවරටය. ඒ මාළඹේ පෞද්ගලික සරසවිය අහෝසි කරන ලෙස ඉල්ලමිනි. ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලට දැන් වැඩ වැඩිය. කොළඹ හතේ වෛද්‍ය ශිවා සින්නතම්බි සරසවි සිසු කාන්තා නේවාසිකාගාරයක් සදහා රජයට පැවරූ දේපල සාප්පු සංකීර්ණයකට බදුදී ඇත. එහි තිබූ වටිනා දේපොලද අතුරුදහන්ය. චූදිත 'යහපාලන' ඇමතිවරයා සිටින්නේ සීට් 5ක් අතේ දුරිනි. උසස් අධ්‍යාපන ඇමති කිරිඇල්ල ඒ පිළිබදව උඩින් නෝ කථාය. යටින් මෝ සිනාය. ගෙදර ගියොත් අඹු නසීය. මඟ සිටියොත් තෝ නසීය කියන්නේ ඒවාය.

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත්කර මාස 2ක් ගියද ඉන් සමහරකට තවමත් තමන්ට අයත් කාර්යභාරයන් සහ විෂය පථය මෙන්ම ප්‍රතිපාදනද නැත. අමාත්‍යාංශයට පැමිණ වැඩකිරීමට කාර්යාලයක්ද නැති බැවින් නිකරුණේ කාලය ගත කරති. තමාට සහ කාර්ය මණ්ඩලයට වාහන, වැටුප සහ දීමනා ලබාගැනීමට අවශ්‍ය හෙයින් අමාත්‍යාංශ ලේකම් වෙත ගොස් ලිඛිතව පත්වීම් පමණක් භාරගෙන තිබේ. සෙත්සිරිපායේ පමණක් එක් රාජ්‍ය අමාත්‍යාංශයක කාර්යාල කුලිය පමණක් මාසිකව රුපියල් ලක්ෂ හතළිහකි. නිකරුණේ කාලය ගත කරන ඇමතිවරයෙකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට මාසිකව වැය වන මුදලද ලක්ෂ 15කට අධිකය. කැබිනට් ඇමති මහින්ද සමරසිංහගේ විෂය පථයට යටත්ව තිබූ මාළඹේ සිලිට් ආයතනයද අහිමිවී ඇත. විදේශ කටයුතු අමාතාංශයේ ඉහළ නිලධාරින් 8ක් ඇතුළු 13 දෙනෙකු ලබන සතියේ එම තනතුරුවලින් ඉවතට විසිවනු ඇත. විදේශ අමාතාංශයේ ඇතැම් කටයුතු ඇමති මලික් යටතට පවරා ඇත. ඇමති මංගල සමරවීර තවමත් සීරුවෙන්ය.

සංචාරක ඇමතිගේ කාර්යාලයට සංචාරක අමාතාංශය තුළ ඉඩකඩ ප්‍රමාණවත් වූවද දැන් එය පාර්ක් ස්ට්‍රීට් ගොඩනැගිල්ලකට ගෙන යෑමට සැරසේ. වර්ග අඩි 20,000කට මාසික කුලිය රුපියල් ලක්ෂ 200කි. රටට විදේශ විනිමය උපයන ප්‍රධානම කර්මාන්තය වන සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ලොකු මෙහෙයුමක් අවශ්‍යය. එහිදී මහා පරිමාණ හෝටල් හිමියන්ගේ සිට විදෙස් සංචාරකයා ගෙන යන ත්‍රීරෝද රථ රියදුරා මෙන්ම සංචාරකයාට තැඹිලි විකුණන තැඹිලි වෙලෙන්දාද එකලෙසම වැදගත්ය.ඒ පිළිබදව ආණ්ඩුවේ දැක්ම සහ මෙහෙය තවමත් අපැහැදිලිය.

ඛණිජතෙල් හ ස්වභාවික වායු නියෝජ්‍ය ඇමතිනි සහ ජාතික ලැයිස්තුවෙන් පත්කල මන්ත්‍රීනි අනෝමා ගමගේ විසින් සිය අමාතාංශයට කෝටි 6ක සුඛෝකභෝගි බී.එම්. ඩබ්ලිව් වාහන දෙකක් මිලදී ගැනීමට අනුමැතිය ගෙන තිබේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවක ප්‍රශ්න, බවුසර් ප්‍රශ්න, ඉන්ධන මිල අඩුකිරීමෙන් උද්ගත ප්‍රශ්න රැසක් තිබියදී කලින් ඇමතිවරුන් පරිහරණය කල මොන්ටේරෝ රථ හතරක් සහ බී.එම්.ඩබ්ලිව් රථයක් තිබියදී සැප වාහන යළි මිලදී ගැනීම යහපාලනයට කැපද? ප්‍රවාහන ඇමති නිමල් සිරිපාලට අනුව මත්තල වී ගබඩා කිරීමෙන් සිදුව ඇති හානිය විශාලය. එහි ගබඩා වලට කෘමි සතුන්ගෙන් හා පරවියන් ඇතුළු කුරුල්ලන්ගෙන් සිදුවී ඇත්තේ දැඩි හානියකි. මේවා ලඟ එන පළාත් පාලන මැතිවරණය බලා කියන කථාය.

මරේ මරුය. යස-පාලන ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දු පො‍තේ නැති ඉල්ලීම්ද දැන් ඉදිරියට පැමිණ ඇත. සමලිංගික සේවනය සහ ගණිකා වෘත්තීය නීතිගත කරන ලෙසට ස්ත්‍රී සහ පුරුෂ ලිංගික සේවක සේවිකාවන්ගේ ඉල්ලීමකි. මාධ්‍ය සාකච්ඡා පැවැත්වුණේ නාමික නායිකාවන් වන අතර සැබෑ නායිකාවන් තිරයෙන් පිටුපසය. මෙම අම්බපාලි ව්‍යාපෘතින් නෙදර්ලන්ත‍ය සහ නෝර්වේ රටවලින් ඩොලර් ලක්ෂ ගණනක් ලබාගෙන කරන එන්.ජී.ඕ ගේමේ ස්ත්‍රීවාදී නායිකාවන් සියළු දෙනාම දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින්නන්ය. ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කිරීම සදහා කළෙක සිට පෙනී සිටින්නේ "ගමන් මගේ සහකරුවෝ" නැමති සංවිධානය නමිනි. ලංකාව ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 24ට සමලිංගික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 24ක් ඇරඹීම ඔවුන්ගේ අරමුණය. සමලිංගික ඇසුර ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ සිර දඬුවම් ලැබිය හැකි වරදක් වූවද එම නීතියට ප්‍රසිද්ධියේ අභියෝග කරමින් මෙය සිදු කරන්නේ ලංකීය සංස්කෘතිය වැනසීමේ ඒකායන අරමුණෙනි.

මානව හිමිකම් ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාවට පමණක්දැයි දැන් ප්‍රශ්ණයක් නැගේ. කැබිතිගොල්ලෑවේදී, අරන්තලාවේදී, ගෝණගලදී, වැලිඔයදි, නුවර දළදා මාලිගය, කාත්තන්කුඩි පල්ලිය, පොලොන්නරුවේ පල්ලියගොඩැල්ල, දෙහිවල සහ කොටුව දුම්රියපොල, මරදාන හන්දිය, දිගන්පතන, මහ බැංකු සංකීර්ණයේ කොටි ප්‍රහාර වලින් කැබලිවූ මිනිසුන්ට මානව හිමිකම් නැතිදැයි සැකයකි. ජවිපෙ දෙවන කැරැල්ලේදී 1986 සිට 1990 දක්වා මරදැමූ 60,000කට ආසන්න තරුණ තරුණියන්ගේ මානව හිමිකම් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණද නිහඬව සිටීම මහා ඛේදවාචකයකි.

ඉකුත් වසරේ රුපියල් 84ට තිබූ අමු තේ දළු කිලෝව දැන් රුපියල් 40කි. එමෙන්ම ඉකුත් වසරේ රුපියල් 500කට අළෙවි වූ රබර් ‍‍ෆීට් කිලෝව දැන් රුපියල් 200කි. ආණ්ඩුවේ දින 100 වැඩසටහනේ තේ දළු සහ රබර් සදහා සහතික මිලක් නියම කලද දැන් එය ක්‍රියාත්මක නොවේ. අමු තේ දළු කිලෝවක් නිෂ්පාදනය සඳහා රුපියල් 40 පමණ මුදලක් වැයවේ. රබර් ෆීට් කිලෝවක් සකස් කිරීම සදහා රුපියල් 168ක් වැයවේ. සුළු තේවතු හිමියන් සහ කුඩා රබර් වතු හිමියන් අසාමාන්‍ය ලෙස මිල පහළ වැටීම නිසා යන එනමං නැතිව හාන්සිය. කුමාරතුංග මුණිදාස සූරින්ගේ හත්පණේ කිරිහාමිලා මෙන් 'යහපාලන' ආණ්ඩුව පිළිබදව අන්ධ විශ්වාස වල එල්බගෙන සිටි ජනයාට එම සිතුවිලි බීජය එතැනම මිය නොඇදී දලුලන්න පොලඹවීමට හෝ පැන් ටිකක් ලබාදීම ආණ්ඩුවේ යුතුකමකි.

යස-පාලන දෙමුහුන් ආණ්ඩුවේ චීන විරෝධය හරියට මහා පත්‍තර කලාවේදී ඩී.බී. ධනපාලගේ චීන විරෝධය මෙන් සංවිධානාත්මක රෝලකි. එදා රාජපක්ෂ රෙජිමය ගොඩනැගීමට චීන්නු ගේම ගැසූ බවට චෝදනා කළේය. චීන කොලනියක් බවට ශ්‍රී ලංකාව පත්වීමට ඉඩඇති බව කීවේය. මුහුදේ ඉදිකරන පෝට් සිටියෙන් රටේ පරිසරය කාබාසිනියා කරන බව පැවසීය. දැන් චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය වැඩිදියුණු වූවාලු. අධිවේගී පාරවල් සැදීමට මෙගා ඩීල් නැතිලු. දැන් සමුද්‍ර පරිසරය වනසනවායැයි කියූ චීන වරාය නිසි පරිසර තක්සේරුවකින් තොරව ඉදිකිරීමේ වැඩකටයුතු යළිත් අරඹා ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ඊයේ නිවේදනය කළේය.

විමධ්‍යගත මුදල් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසරකට සන්ධාන රජය මගින් ලක්ෂ 50ක මුදලක් ලබාදෙන ලදී. සභාග ආණ්ඩුව එය ලක්ෂ 100 දක්වා වැඩි ක‍ළ බව ජනවාරි 17වැනිදා අතුරු අයවැය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළහ. එහෙත් මාස 10ක් තිස්සේ කිසිවක් ලැබී නැත. වසර 44ක් පුරා එම ප්‍රතිපාදන සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොකඩවා හිමිවූයේය. එමෙන්ම කිසිදු ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම් 2015දී පවත්වා නැත.

හිට්ලර් ගියාය. චැප්ලින් ආවේය. ලංකාවට ඇඩ්රස් නෑ කියන්නේ පනාපුත්‍රයින්ය. කලක් ජනමූල නායකයා කියා ලොක්කාව අන්දවා සංචාරක සංවර්ධන අධිකාරියෙන් කුට්ටියක්ද හම්බන්තොට වරාය සමාරම්භක උත්සවයේ අඩව් කස්තිරම් අංගයන් සදහා වැයකල කෝටි එක හමාරකින් පළුවක්ද, රන්මිණිතැන්න ඇතුළු මෙකී නොකී වැඩවලින් දොල පිදේනිද ලබාගත්තේද මේ ගොටුකාරයන්ය. සයිමන් නවගත්තේගමගේලා ජනාධිපති ප්‍රේමදාසගේ සට්ටැඹියෙකු වුවද මෙවැනි නීලකාසයන් නොවේ. දොන් නම් දොංය. සිමං නම් සිමංය. දෙකක් එකවර බැරිය.

කැපුවත් මහින්ද යැයි කියා සන්ධානයෙන් තරඟකර ආණ්ඩුවේ වරදාන සහ වරප්‍රසාද ලබාගත් ‍දේශපාලනඥයින් ප්ලග් ගලවා උතුර දකුණ මාරුකර ගත්තද ඒ වෙනුවෙන් ඡන්දය දුන් ජනයා එම සූදුවට මනාප නැත. මහ ඡන්දයට තව කලක් තිබුණද පුංචි ඡන්දය එන්නේ ලබන වසරේ මැදය. මෙම ගන්ධබ්බ කාලයෙන් ගැලවීමට හැක්කේ එයට එරෙහිව සැබෑ ලෙසට නායකත්වය දිය හැකි ව්‍යාපාරයකට පමණි. අනාගතය තීරණය කරන සාධකය එයයි. ඉකුත් ඔක්තෝබර් 19වැනි සඳුදා කොළඹදී මුළු දුන් ඒකාබද්ධ විපක්ෂයේ ජනහමුව ඒ වෙනුවෙන් සුභ ආරම්භයකි. ශ්‍රිලනිපයේ විපක්ෂ මන්ත්‍රීවරුන් 42කගේ සහායද එයට හිමිවී තිබිණි.

විපක්ෂය එදා කීවේ ඉවසුවා.. ඉවසුවා.. මෙච්චර ඉවසුවා.. තව ඉවසන්න බැරි බවය. එබැවින් රාජපක්ෂ රෙජිමය පන්නන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියහ. ජනතාව එය ඉෂ්ඨ කළෝය. චීනා සහ ජපනා ගෝරි දමාවි යැයි කීවද එයද ෂේප් විය. ව්‍යවස්ථාව හරි නැති නිසා එයද වෙනස් කර දුන්නේය. රටකට ඕනෑ අපමණ අගයක්ය. එහෙත් 'යහපාලන' ආණ්ඩුවේ යස-පාලන කැලෑසියද හරියට මෙම දිනවල මුහුණු පොතේ ජනප්‍රිය රුවන්ගි‍ රත්නායකගේ ඇදුම වාගේය. ඇය ඉල්ලං කෑවේ එය ඉන්දියාවේ නිළි ප්‍රියංකා චොප්රාගේ ඇදුම වාගේ ඇදන් ගිය නිසාය. අපේ වාහේලාත් එහෙමය. යමං බණ්ඩෝ වෙසක් බලන්න කියනවා වෙනුවට දැන් කීමට සිදුවන්නේ යමං බණ්ඩෝ යස-පාලන කැලෑසිය බලන්න කියාය.
 
[මුරගල තීරු ලිපිය - 126]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/26/2015

අසත්‍යයේ අසනි වරුසාව

කතෘ:යුතුකම     10/26/2015   No comments
-ධර්මන් වික‍්‍රමරත්න

හිටපු ඇමති සහ දඹුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ජනක තෙන්නකෝන් දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. බොහෝ දේශපාලඥයින් මෙන් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහුද සිටියේ අසනීපව රෝහලේය. වසර 16කට එපිට මිනී මැරීමක් සම්බන්ධයෙන් චෝදනා තිබීම අත්අඩංගුවට ගැනීමට හේතුව බව කියති. නීති අකුරට පිලිපදිනවාට අපිද ෆුල් සපෝට්ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව 'යහපාලනය' වෙනුවෙන් ඔහු එදා පෙරළි පෙරළි ඇඬුවේය. සම්මත කවි සමඟ කුකවිද කීවේය. පසුව ‘යහපාලනයට' එරෙහිව මහින්ද රාජපක්ෂ ඉදිරියේ බිම දණගසා ඇඬුවේය. ඒ අනුහසින් පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් මාතලේ දිස්ත්‍රික්කයෙන්ද ජය ගත්තේය.

සිංහල සිනමාවේ එදා දුෂ්ඨයා අද වීරයාය. එදා වීරයා අද දුෂ්ඨයාය. ජනක බණ්ඩාරගේ ද්විත්ව චරිත නිරූපන රංගනය සිනමා තරු අභිබවා ගියේය. එය පත්‍රිකා හෝ රූපවාහිනී දැන්විම් දස දහසකට වඩා ප්‍රාණවත්ය. පසුව සිය ඡන්දදායකයින්ට ගරු කරමින් ජනක බණ්ඩාර අළුයම ලූ කෙල පිඩක් සේ ඇමතිකමක් භාර නොගත්තේය. කුම්බලා මාළු කෑවානම් විදෝපන් බළලෝ කීවාසේ දැන් දඬුකදකට හසුවී තිබේ.

ජනකගේ පියා ටී.බී. තෙන්නකෝන්ය. මහනුවර නගර සභාවට 1946දී පත්වූ සාමාන්‍ය ජනතාවගේ එකම නියෝජිතයා විය. පසුව එහි උප නගරාධිපති විය. අළුවිහාරේලා සහ තැන්නෙලා ශ්‍රිලනිප හැර යාමෙන් පසු ශ්‍රිලනිපයට දඹුල්ල සහ මාතලේ දිනා දුන්නේ ටී.බී තෙන්නකෝන් සහ නිමල් කරුණාතිලකලාය. දඹුල්ලෙන් අවාහ වී ශ්‍රිලනිප මන්ත්‍රීවරයෙකු වශයෙන් 1956 සිට 1977 දක්වා වසර 21ක් ටී.බී පාර්ලිමේන්තුවේ කටයුතු කළේය. එහෙව් ටී.බී ලාගේ ජනක පුතා අඬන විට රටට දුකය.

අතීතයේ බොරුවට අඬන අයද සිටියහ. ඇඩුවේ කුලියටය. හැත්තෑව දශකය අගභාගය දක්වා කුලියට අඬන ගෑණු සිටියේ පුත්තලමේ මුන්නක්කරේ, මීගමුවේ පිටිපන, වැල්ලවීදිය, මහවීදිය වැනි ප්‍රදේශවලය. මරණ තිබෙන ඉලව් ගෙවල්වලට යන ඔවුන් මරණ ගෙදරින්ම හොදට කාබී දෛනික කුලියක්ද ගෙන ඊරියන් මෙන් හඬා වැලපෙති. වර්තමානයේ මීගමුව ඉස්සෝ, කකුළුවෝ සහ අළුවා වලට ප්‍රසිද්ධ වූවද එදා ප්‍රසිද්ධ වූයේ කුලියට අඬන ගැහැණුන් හේතුවෙනි. මීගමුවේ එජාප මන්ත්‍රී ලෙස 1970 සිට කටයුතුකල ඩෙන්සිල් ප්‍රනාන්දු 1977 නියෝජ්‍ය ඇමතිවරයෙකු වූ පසු මීගමුවේ කුලියට අඬන ගැහැණුන්ට මැදපෙරදිග රටවල ගෘහසේවිකාවන් ලෙස යෑමට පාර විවර කළේය.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් සිය ධර්මිෂ්ඨ සමාජය නම් විවරණයේදී පෙන්වා දුන්නේ මැදපෙරදිග සේවයට යන කතුන් ගෘහ සේවිකාවන් ලෙස නොව මිටි මෙහෙවර කරන්නන් ලෙසය. එය කුලියක් මලියක් සඳහා කරන සේවයක් බැවිනි. ජිනීවා සමුළුවට එදා ගොස් පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂත් මෙදා ගොස් පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් කටුනායක ගුවන්තොටුපොලේදී පිළිගන්නේ මීගමුවේ මිටි මෙහෙවර කරන එකම කතුන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස්ය. ඔවුනට පක්ෂ පාට භේදයක් නැත. ඇන්දවීමට රැසියන්ය. ඇදගැනීම සහ නාගැනීම වෙනම වැඩකි. මහ ඡන්දයෙන් පැරදී ජාතික ලැයිස්තුව හයිජැක්කර ඇමතිවරුන් බවට පත්වූ පිරිස් විසින් එල්ලන ලද පොස්ටර් සහ බැනර් රාජපක්ෂ පාලනයකදී මෙන් රටපුරා හැම තාප්පයක සහ ගසක් ගලක් උඩය. 'යහපාලන' යනුවෙන් සිදුකරන්නේද රාජපක්ෂ කරලියේ එම නාටකයම රඟ දැක්වීමය. නඩුයි බඩුයි ඔක්කොම එක පැත්තේය. රජගෙදර සිට විශ්‍රාමගිය සාත්තර කියන පිස්සු පූසාත් දැන් කරලියට පැමිණි සක්කයක් ගසා ඇත. ඒකත් හරිය. දැන් අඩුවට ඇත්තේ කුරහන් සාටකය සහ උඩු රැවුල පමණි.

අසූවේ ජුලි වර්ජකයින් 40,356ක් සඳහටම එළියට ඇද දමා ලක්ෂයට ආසන්න සංඛ්‍යාවකට තහංචි පණවමින් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1980 ජුලි 21 මරදාන ටවර් රඟහල ඉදිරිපිටදී කියා සිටියේ "රටේ දැන් පවත්නා නීතියෙන් ගැහැණියෙකු මිනිසෙකු කිරීම හැර වෙන ‍ඕනෑම දෙයක් කිරීමට විධායක ජනාධිපතිවරයා වශයෙන් තමාට බලය ඇතැයි" කියාය. අවසානයේදී ජනාධිපති ජයවර්ධනගේ එජාප ආණ්ඩුවට සිදුවූයේ කුඤ්ඤේ ගලවපු රිළවාට වූ වැඩේය. නපුරු පාලකයෝ ඉක්මනින් ජය ලබති. එහෙත් ඉන් ලැබෙන සතුට තාවකාලිකය. මව්බිමට අදරැති මිනිසුන් පවාවී හෝ ජය ලබති. නමුත් ඉන් ලැබෙන සතුට සදාකාලිකය.

සේයා දැරියගේ තිරස්චින ඝාතනය සම්බන්ධයෙන් මුලින් නොන්ඩියෝ දෙදෙනෙක් අල්ලා ගත්තෝය. එක් අයෙක් 17 හැවිරිදි පාසැල් සිසුවෙකි. අනිකා එක්දරු පියෙකි. පසුව කොණ්ඩයා අල්ලා ගත්තේය. එල්ලමුයි කීවේය. කොණ්ඩයාගේ ජාන බකල්ය. දැන් අයියා වරද පිළිගෙනලු. "එහෙනම් මක්කටැයි සේයාගේ තාත්තාගේ ඩී.එන්.ඒ. රිපෝට් ගන්නේ" කියා දැන් කඩපිලේ පවා කථා කරනු ඇසේ.

අගමැති රනිල් වික්‍රමසිංහ ජපානයට ගියේය. ජපාන පාර්ලිමේන්තුවේ දේශන ශාලාවකදි ජපන් මන්ත්‍රීවරුන් පිරිසක්ද ඇමතීය. ඒ අතරතුර ජපානයේ සිටම ජපන් වාහනවලට රජය මගින් අපමන අගයක්ද දුන්නේය. දැන් හයිඩ්බ්‍රිඩ් ඇතුළු ජපන් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 6 සිට 11 දක්වා මිල ඉහළ යනු ඇත. හයිඩ්බ්‍රිඩ් වාහනයක් වෙනත් වාහනවලට සාපෙක්ෂව ඉන්ධන දහනය සියයට 30ක් අඩුය. එබැවින් හයිඩ්බ්‍රිඩ් වාහන ඉකුත් කාලයේ සීඝ්‍රයෙන් අළෙවි විය. නව තීරණය නිසා හයිඩ්බ්‍රිඩ් වාහන අළෙවිය අඩුවී මාර්ග තදබදය අඩුවනවාලු.

ඉන්දියාවෙන් ආනයනය කරන සීනි, ලුණු, පරිප්පු වැනිදෑට බදු වැඩිකලේ ඇයිදැයි යමෙකු සිතනු ඇත. ඒ කළේ ජනතාවගේ යහපත තකාලු. බඩු මිල නැංවීමේ සුත්‍රය මිල වැඩිකිරීමට නියමිත සියලු බඩු ශරීර සෞඛ්‍යයට අහිතකර යැයි නම් කිරීමය. තෙල් ශරීර සෞඛ්‍යයට අහිතකර බැවින් තෙල් පරිභෝජනය අඩු කිරීම ඉලක්ක කරමින් නොබෝ දිනකින් තෙල් මිල ද ඉහල නැංවූවද පුදුමයක් නැත. රජය විසින් බේකරි නිෂ්පාදනයට පැනවූ සියයට දෙකේ අගය එකතුකල බදු නිසා තම ව්‍යාපාර දුෂ්කරතාවයකට පත්වී ඇතැයි බේකරි හිමියෝ පවසති. විදේශයන්ගෙන් ගෙන්වන මාගරින්, පාන්පිටි, යිස්ට් සහ ෆාම් ඔයිල් ආදියෙහි මිල ඉහළ යෑම නිසා ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 50-60ත් අතර අළෙවිවන පාන්ගෙඩියක් රුපියල් 2-3කින්ද ළඟදීම ඉහළ යනු ඇත. ජනතාව ඇර-පාන් කියන්නට පෙර රාජපක්ෂ ආණ්ඩුවෙන් ණයට ගත් සටන් පාඨයක්වූ “ පිටි නොකමු - තුන්වේලටම බත්කමු" කියා තාප්ප බිත්තිවල ලොකු අකුරෙන් සටන් වැකි ඉදිරියේදී දැකිය හැකිවනු ඇත.

රජයේ යෝජනාව මත තලෙයිමන්නාරමේ සිට රාමේෂ්වරන් දක්වා හනුමා පාලම දැම්මාට පසු පාලමෙන් ඉන්දියාවේ තවත් කොලනියක් බවට ශ්‍රී ලංකාව පත්විමේ අනතුරක් ඇත. විහිලුව යනු හයිවේ කන්නදැයි එදා ඇසූ අය ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයට ගත් ඩොලර් බිලියන 5කට වැඩි මුදලකින් හනුමා පාලමක් සෑදීමය. එම පාලම සහ බිංගෙය පිළිබදව සැලසුම් ඉන්දු ලංකා ඉකොනොමික්ස් ඇන්ඩ් ටෙක්නොලජි කෝපරේෂන් ගිවිසුමට අයත්ය. යෝජිත හනුමා පාලම සීපා ගිවිසුමට පාවඩයක් වනු ඇත. පාලම් හැදිය යුත්තේ රටවල් හරහා නොව මව්බිමේ උතුරු දකුණු ජනතාවගේ සිත් යා කරන මිත්‍රත්වය මතය. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන පන්ති පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණ පවා ඉන්දියාවේ රෝ සංවිධානය හමුවේ තාපසයෝ මෙන් බවුන් වඩනු පෙනේ. සීපා ගිවිසුම හමුවේ ජවිපෙ කටයුතු කරන්නේ එපා වාහෙට හොදි බෙදන්නාක් මෙනි.

ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී බලවේගයන්ද ශ්‍රී ලංකාව වැනි රටවල් හමුවේ කටයුතු කරන්නේ ධනේශ්වර ෆැන්ටසියක් ලෙසිනි. යුද්ධය හදන්නේද ආයුධ සහ පුහුණුව දෙන්නේද හමුදා දෙන්නේද ඔවුහුය. ගෝරිබෝරි ඇතිවන තෙක් සීරු මාරුවෙන් බලා සිටී. පසුව මානව හිමිකම් වලට කිඹුල් කඳුළු හලන්නේද ඔවුන්ය. දේශීය යාන්ත්‍රණයකින් ඇමරිකානු යෝජනා අඩංගු කරුණු කාරනා ගැන සොයා බැලුවාට වරදක් නැත. එම යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් ශ්‍රී ලංකාව කළේ ඉල්ලන් කෑමකි. අවසානයේදී සියල්ල සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බවට වගන්තියක් අනුමතකර තිබීම ඇන්දවීමක් පමණි. ජිනිවා යෝජනාව 1815 උඩරට පාවාදීමේ ගිවිසුම පරදවන එකඟතාවක් බව ගෙවිදු කුමාරතුංගද නායකත්වය දරණ ජාතික එකමුතුව කියන්නේ එබැවිනි. එදා මව්බිම සුරකීමේ ව්‍යාපාරය වෙනුවට එම රික්තය පිරවීමට මෙදා සිටින්නේ ජාතික එකමුතුවය.

ජේ.ආර්. හිටියේය. හමුදාවක් හිටියේය. ප්‍රේමදාස හිටියේය. හමුදාවක්ද හිටියේය. ඩී.බී. විජේතුංග මෙන්ම චන්ද්‍රිකාද සිටියෝය. හමුදාවක්ද තිබිණි. සැමටම අවැසිවූයේ යුද්ධය වවාගෙන කෑමකි. එහෙත් හමුදාව සමඟින් දෙමළ බෙදුම්වාදි තස්ත්‍රවාදීන්ට එරෙහි යුද්ධ කොට ජයගැනීම ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත් විය. ශ්‍රී ලංකාව පළාත් 5කට කඩා ෆෙඩරල් රාජ්‍යයක්ද අනතුරුව වෙනම රටක්ද බිහිවීමේ අනතුර ඉන් පහවිය. ඇමරිකාව ඇතුළු රටවල කෝපයට, විරෝධයට සහ වෛරයට හේතුවි ඇත්තේ එයයි. මෙම තත්ත්වය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බටහිරට ගැතිකම් නොකිරීම නිසා ඇතිවූ ප්‍රශ්ණයකි.

එදා රුපියල් 78 තිබූ අමුතේ දළු කිලෝ එකක මිල අද රුපියල් 38කි. සහනාධාරයද හකුලාගෙනය. රබර් මිලට හතේ හතය. වී කිලෝ එකේ සහතික මිල රුපියල් 50ක් වූයේ ගොවියාගෙන් තොග වෙළෙන්දා කොල්ල කන්නේ රුපියල් 30ටය. රාජපක්ෂ ආණ්ඩුවේ තිබූ සියයට 8ක ආර්ථික වර්ධන වේගය අද 4.5 දක්වා අඩුවී ඇත. රුපියල අව ප්‍රමාණය වෙමින් ඩොලරයට රුපියල් 150 දක්වා හීයක වේගයෙන් ඇදී යයි. විදෙස් සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 9සිට 6 දක්වා අඩුවි ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා, මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු රාජ්‍ය නිළධාරින් දඩයම හීන් නූලටම සිදුවේ. කොළඹ නගරයේ අයට පමණක් ඇග රත්කර ගැනීමට රා තැබෑරුමකට යෑමේ ඉල්ලම පාදාදී ඇත. ඒ ඉකුත් සැප්තැම්බර් 18වැනිදා අංක 1933 දරණ ගැසට් නිවේදනයෙන් කොළඹ නගරයේ රා තැබෑරුම් ඇරඹීමට අවසරදීමත් සමඟය.

දෙමළ බෙදුම්වාදය පෝෂණය කරමින් ජාතිවාදය වැපුරූ පිරිස් අද සංහිදියාවේ සළුපිළිවලින් සැරසි ඇත. ජාතික ලැයිස්තුවෙන් පරාජිත අය පත්කිරීමට එරෙහිව කොමියුනිස්ට් පක්ෂ නායකයාගේ පෙත්සමද ශ්‍රේෂ්ඨාධිකරණයද ඊයේ ඉවත දැමීය. ජාතික ලැයිස්තුවෙන් පමණක් නොව ඇමති දොළ පිදේනියට ගිජු මන්ත්‍රීවරුන්ද තෝන් ලනුව දමා විපක්ෂයේ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක්ද විධායකය විසින් සියතට ගැනිමෙන් ජනමතය උඩු යටිකුරු වී ඇත. එසේ ජනමතය වලලමින් යුරෝපීය රටවල න්‍යාය පත්‍රයට පහසුකම් සැලසීමේ දේශීය භූමිකාව දැන් රඟ දක්වමින් පවතී. සර්ව පාක්ෂික සමුළු කෝකටත් තෛලයකි. ජනාධිපතිවරුන් වන ජයවර්ධන මෙන්ම ප්‍රේමදාසද සර්ව පාක්ෂික සූදුව අපූරුවට සිදු කළේය. දැනුවත්ව හෝ නොදනුවත්ම එම සර්ව පාක්ෂික සමුළු මගින් අධිරාජ්‍යවාදයට අවැසි පරිදි රට අනතුරට පත්විය. රටට අලුත් ගමනක් අවශ්‍ය යුගය උදාවෙමින් පවතී. සුදානම් විය යුත්තේ ජාත්‍යන්තරයෙන් සහ ඔවුන්ගේ දේශීය ඒජන්තවරුන් ගෙන් රට බේරා ගැනීමය. ශබ්දකෝෂයටද දැන් අලුත් අර්ථකථන ලැබෙන අපූරු යුගයකි. පරාජයට කියන්නේ ජයග්‍රහණය කියාය. නිවටකමට කියන්නේ වීරකම කියාය. පාවාදීම ආඩම්බරයකි. යටත්වීම ජයග්‍රහණයකි. යුතුකම සංවාද කේන්ද්‍රය මහජන පුස්තකාලයේදී ඊයේ ප්‍රකාශ කල පරිදි දැන් බිල්ලෝ ඇවිත්ය. පුදුම විය යුතු නැත. මහා ආකාස ගංගාව ගොඩගලා අසනි වරුසාව වැටෙනු කිසිවෙකුට වැලකිය නොහැකි දිනයක්ද උදාවනු ඇත.

[මුරගල තීරු ලිපිය - 124]
 

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/22/2015

ෆීනික්ස් කුරුල්ලෝ

කතෘ:යුතුකම     10/22/2015   No comments
-ධර්මන් වික‍්‍රමරත්න
සමාජ විද්‍යාත්මක හරයෙන් ගත්විට දැන් පිවිසෙමින් සිටින්නේ නිදහසට වැට බඳින සමයකටය. ලාංකීය ඉතිහාසය පුරාම මෙවැනි අරාජික සමයන් පසුකර ඇත. එහෙත් වෙනස ඇත්තේ මේ දුගඳ හමන සමාජ රටාව අතික්‍රමණය කිරීමට පසුබටවන මිනිසුන් ගේ වර්ධනයක් වර්තමානයේ බිහිවීම පමණි. නමුත් යුගය ඉල්ලා සිටින වෙනස එය නොවේ. එදා අසූව දශකය මැදභාගයේද එයට එරෙහිව මහා හඬක් නැගුනේය. එම සියලු උත්සාහයන් තුල ජනමතය අවුළුවාලීමට සමත් වූයේ ඒකාබද්ධ විපක්ෂය සහ මව්බිම සුරකීමේ ව්‍යාපාරයයි.

ඉකුත් ජනවාරි 8වැනිදා ජනාධිපතිවරණයද අගෝස්තු 17 මහ මැතිවරණයෙන්ද පසු ආණ්ඩුව සිය පාක්ෂිකයින් පිනවීමට භාවිතා කල තේමා පාඨය වූයේ “දැන් ශ්‍රිලනිප පළුවකුත් අපේ අතේ බැවින්ද, සම්බන්ධන්ට විපක්ෂ නායකකම සහ ජවිපෙට විපක්ෂයේ ජාතික සංවිධායකකම දීමෙන් සියළු දෙනාම කීකරු වී ඇති බැවින්ද, විපක්ෂයක් නොමැති බවය. ඇත්තේ සම්මුති ආණ්ඩුවක් බවය. ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ගේ කශේරුකාවද කඩා දැමීමට මාන බලන බැවින් ජනතාව අතරද ආණ්ඩුවේ තේමා පාඨය කා වැදි තිබිණි. එහෙත් දැන් තත්ත්වය වෙනස්ය. එය හරියටම අළු මතින් නැගි සිටින ෆීනික්ස් නම් කුරුල්ලාගේ නැගී සිටීමේ කථාව ලෙසින්ම ඒකාබද්ධ විපක්ෂයක් ලෙස සංවිධානය වී නව යුගයකට මඟ හෙළි පෙහෙළි කිරීමට ඉදිරියට පැමිණ තිබේ.

ලබන 19 වැනි සදුදා පස්වරු 3ට විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙන රණවිරුවන් සුරකින ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය එහි පෙර ගමන් කරුවෙකු බවට පත්ව ඇත. දැන් විපක්ෂ දෙකකි. එකක් දියවන්නාවේ සිටින ආණ්ඩුවට හිතැති අධිරාජ්‍යවාදී වුවමනාවන්ට සමාන්තරව ගමන් කරන ඩුප්ලිකේට් විපක්ෂය වේ. අනෙක ජිනීවා යෝජනා හරහා රට පවාදීමට එරෙහි රට මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරතවන ආණ්ඩු විරෝධි අරගලයේ නිරතවන අධිරාජ්‍යවාදී බලපෑම්වලට එරෙහි සැබෑ විපක්ෂයයි.

එමෙන්ම මෙම ඒකාබද්ධ විපක්‍ෂ සන්ධානයට පරිබාහිරව මව්බිම සුරකීමේ ජාතික ව්‍යාපාරයද බිහිවී ඇත. නිද්‍රාශීලිත්වයට සහ අක්‍රීය කොට තිබූ ජාතිකවාදී කොටස් අවදි කිරීමේ ගාමක බලවේගය ලෙස එය ක්‍රියාකරනු ඇත. ඒකාබද්ධ විපක්ෂ සන්ධානයේ නායකයින්ට බාහිරව මව්බිම සුරකීමේ ජාතික ව්‍යාපාරයේ නියමුවෙකු වන්නේ ජාතික එකමුතුවේද නායකයෙකු වන යුතුකම සංවාද කවයේ ගෙවිදු කුමාරතුංගය. එම කවය මගින් ඉකුත් බ්‍රහස්පතින්දා මහජන පුස්තකාලයේ පැවැත්වූ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයට විශාල ජන සහභාගිත්වයක් දක්නට ලැබීණි. ලාංකීය ජාතිකවාදී ව්‍යාපාරය අසූව දශකයේදී අනුගමනය කරන ලද උපක්‍රමික ප්‍රවේශයන් හදුනාගෙන ඉතිහාසය කියවීම වැදගත් වන අතර ජාතික බලවේගයන් හමුවේ තම දේශපාලන පැවැත්ම අනතුරට ලක්වන බවට කිසිවෙකු නොසිතිය යුතුය.

ජනවාරි 8 වැනිදා ජනපතිවරණයේ ජයග්‍රහණයෙන් පසු කිසිදු ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් නොමැතිව ජාතික විධායක සභාව හරහා දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ සහායද ලබාගෙන එජාපය රට පාලනය කළේය. පසුව මහ මැතිවරණයේදී ප්‍රධාන විරුද්ධ පක්ෂයවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට විවිධ බලපෑම් කරමින් මන්ත්‍රීවරුන් යටපත්කර විධායක බලය හරහා ඔවුන්ව පාලනය කරමින් ලක්ෂ 47ක ජනමතය උඩු යටිකුරු කරන ලදී. හැමදා නියං එකදා වැහි වළාවේ කීවා සේ ඒකාබද්ධ විපක්ෂය නිසා ආණ්ඩුවට දැන් සිදුවී ඇත්තේ අබග්ගයක්ය.

වර්තමාන දේශපාලන තත්ත්වය කිසිවෙකු සරළව සිතිය යුතු නොවේ. ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව 80 දශකය අවසාන භාගයේ විශාල කැපකිරීමක් කිරීමට සිදුවිය. ජිනීවා සම්මුතිය හරහා රටේ ඉතිහාසය බරපතල සරදමකට ගොදුරු වෙමින් පවතී. ජිනීවා යෝජනා පිළිගැනීම තුළින් අනාරක්ෂිත හෙට දිනක් නිර්මාණය වීමේ අනතුරක් පවතී. එම වැඩපිළිවෙල යළි ආපසු හැරවීම ඒකාබද්ධ විපක්ෂය හමුවේ ඇති යුගයේ කාර්යභාරය වේ.

ජනාධිපති කොමිසම නීති විරෝධි යැයි කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මූලික විරෝධයක් මතු කළේය. ඔහු කොමිසමට කැඳවූයේ ස්වාධීන රූපවාහිනියේ දැන්වීම්වලට මුදල් නොගෙවීම සම්බන්ධයෙනි. එය බටහිර හාම්පුතුන් තෘප්තිමත් කිරීමේ වැඩපිළිවෙලේ තවත් කොටසක්ද විය හැකිය. අවසානයේ මෙම ක්‍රියාන්විතයේදී වන්දි ගෙවීමට සිදුවන්නේ මව්බිමටය. රුසියානු නායක පූටීන් ප්‍රකාශකර පරිදි ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිදුකරන මැදිහත්වීම් අවසානයේදී එම රටවලට ඉතිරිවනු ඇත්තේ දේශපාලන අස්ථාවරත්වය, සංවර්ධනය කඩාකප්පල්වීම් සහ පශ්චාත් පසුතැවීම් පමණි.

මහින්ද රාජපක්ෂට එරෙහිව ආණ්ඩුවේ සාක්කිකාරයෙක් බවට සජින්වාස් ගුණවර්ධන පත්වනු ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. එය අබරා සිල් ගත්තා වාගේ වැඩකි. ලොව බොහෝ දේශපාලඥයන් දේශපාලනිකව ඝාතනය කරන්නටත් ඔවුන්ගේ ආත්මය කෙලෙසා දමන්නටත් මූලිකවූයේ ඔවුනට වඩාත් සමීපවූ මිතුරන්ය. එය එසේ වූයේ සැබෑ මිතුරන් හදුනා ගැනීමට එම දේශපාලඥයන්ට නොහැකි නිසා නොව සියළු මිතුරන් සැක කරන්නට ඔවුනට නොහැකිවූ නිසාය.

දැන් ඇත්තේ පොරයකි. ඒ 2016 වසර සඳහා වූ නොබෙල් සම්මානය ලබාගැනීමටදැයි සැකයෙකි. මෙවර නොබෙල් සාම සම්මානය හිමිවූයේ 2011 ඇරඹුණු අරාබි වසන්ත උද්ඝෝෂණය හරහා අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් සදහා පෙනී සිටි ටියුනිසියාවේ ජාතික සංවාදශීලි පෙරමුණටය. ඒ බෙන් අලිගේ පාලනය පෙරළා දැමීම වෙනුවෙනි. ඉදිරියේදී සාධාරණ සමාජයක් වෙනුවෙන් රොටි පිච්චූ අයටද නොබෙල් සම්මානය ලැබුණහොත් එය පුදුමයට කරුණක් නොවේ. දී කිරට බළලුත් සාක්කිලු. කවුරුත් වාසි පැත්තට හෝයියාය.

බීමට පිරිසිදු වතුර ඉල්ලූ හම්බන්තොට බදගිරියේ ජනතාවට ප්‍රහාරයක් එල්ල විය. 14ක් තවමත් අත්අඩංගුවේය. එහි ප්‍රජා ජල ව්‍යපෘතියද දූෂණයකි. රුහුණුපුර ජල යෝජනා ක්‍රමය සකස්කර තිබුණද තවමත් විවෘත කර නොමැත. බන්ධනාගාර 14ක නඩු නොපැවරූ දේශපාලන සිරකුරුවන් 217 දෙනෙකු නිදහස් කරන මෙන් උද්ඝෝෂණයකි. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තිබෙනවාදැයි කීවද ඒවා කථා පමණි. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැත්වීමට යෝජිතව තිබූ රැස්වීමක් දේශපාලන රැස්වීමක්යැයි කියමින් ඉකුත් සතියේ ප්‍රතික්ෂේප කෙරිණි. කැළණි සරසවිය අරඹා ඇති වයිෆයි පහසුකම්වලට මාසිකව දැන් වැයකරන මුදල රුපියල් ලක්ෂ 27කි. වාර්ෂිකව ලක්ෂ 324කි. මෙම මුදලින් සරසවි නේවාසිකාගාර හිමිනොවූ සිසු සිසුවියන් 1,000කට මාසිකව රුපියල් 2,700 බැගින් වසරක් මුළුල්ලේ ලබාදිය හැකිය. එසේ නොමැතිනම් පරිඝනක 1,000ක් මිලදී ගෙන පුහුණුව ලබාදිය හැකිය. කල යුතු බොහෝ වැඩ තිබියදී සරසවි බලධාරින් වයිෆයි සැපයිමට ප්‍රමුඛත්වයදීම අතීසාරෙට අමුඩේ ගසනවා වාගේ වැඩකි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 2014 ඔක්තෝබර් සිට අධ්‍යක්ෂක ජනරාල්වරයා ටී.ඩී.කේ ජයන්තය. ඔහු වසර 30ක් පුරා දක්ෂ නිවේදකයෙකි. අධ්‍යක්ෂක ජනරාල් ජයන්තට එරෙහිව අසත්‍ය චෝදනා ගොඩනගා බලතලවල තටු කපා දමා තිබිණි. ජනාධිපති සිරිසේන එය දැනගෙන ඔහුට හිමි බලතල යළි ලබාදීමට මුල්වූවද ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක තවමත් එයට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. ඉකුත් ආණ්ඩුව කාලයේ එහි සභාපති හඩ්සන් සමරසිංහගේ මාධ්‍ය භාවිතය පිළිබදව බරපතල ගැටළු තිබුණද එජාප සාමාජිකයන්ගෙන් පළි නොගත්තේය. ඒරානන්ද හෙට්ටිආරච්චි අතිරේක අධ්‍යක්ෂක ජනරාල්වරයා වශයෙන්ද ලලිත් හෙට්ටිගේ මුදල් අධ්‍යක්ෂකවරයා වශයෙන්ද කටයුතු කිරීම එයට නිදසුන් කිහිපයක් පමණි. ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ටද ජය මඟුල්ය.

වර්තමානයේ විශාල සංස්කෘතික ආක්‍රමණයක්ද සිදුවෙමින් පවතී. චින්තනය විනාශ කර දේශපාලන ආර්ථිකය සනාථ කිරීම සදහා එය අතවශ්‍ය සාධකයකි. එම උඩුගම්බලා යාමට එරෙහිව පිරිසක්ද බිහිවීම වාසනාවකි. ඔවුනට එය වෙනස් කල හැක. අවැසි ප්‍රධාන කරුණ බුද්ධිමත් සමාජයක් ගොඩනැගීමය. හරවත් සාහිත්‍යයක් කරා යා හැක්කේ ඒ තුළිනි. පුරවැසියාගේ බලය මාර්කට් කරන එන්.ජී.ඕ. සංවිධානවලට හෝ බුද්ධිමය ශ්‍රමය උලාකන උගතුන්ට තවදුරටත් මුලාවිය යුතු නොවේ.

ලාංකීය ජනයා එදා සිට අද දක්වා පාලකයින් පත්කර ඇත්තේ ප්‍රසාදය නොව අප්‍රසාදය පදනම් කරගෙනය. බොහෝ විට සිදුවූයේ පාලනයට එරෙහිවීම පමණි. ජනවාරි 8 සහ අගෝස්තු 17 ජයග්‍රහණයෙන් පසු එජාප ආණ්ඩුව සිදුකරනුයේ ඔවුන් බලාපොරොත්තුවූ දේය. වැරදි බස්රථයකට නගින ලද මගියෙකුගේ අතරමංවිම හැර වෙන යමක් සිදුවි නැත. යහපාලන බස්රථයට ගොඩවී අතරමංවූ මගීන්ගේ විරෝධය සමනය කිරීම සදහා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සිය බුකිය හරහා රෙජිම් චේන්ජ් කල ටොයියන්ට අමුතු කිචියක් සහ උත්තේජනයක් සපයනු ලබයි. දැන් අනාවැකි දැනගන්නටනම් ජ්‍යෝතිෂ්‍ය චක්‍රවර්තී ඉන්දික තොටවත්ත හමුවිය යුතුය. දේශපාලන විද්‍යාව ඉගෙන ගැනීමට නම් මහාචාර්ය සරත් විජේසූරියගේ දේශනවලට සවන්දිය යුතුය. රූකඩ කලාව අධ්‍යයනයට නම් රූපවාහිනියෙන් සමන් රත්නප්‍රිය හැදෑරිය යුතුය. අනේ කාලේ වනේ වාසේය.

වගවීම, සත්‍ය සෙවීම ආපදාවන්ට ලක්වූවන්ට සහන ලබාදීම, ජාතික සංහිදියාව ඇති කිරීම, නැවත මානව අයිතින් උල්ලංඝනය වීමක් සිදුනොවීමක් කටයුතු කිරීම යන අරමුණ ගැබ්වී ඇති ජිනීවා යෝජනා ආකර්ෂණීය වචන පෙළකට ගොනු කර තිබුණද එය විෂ සහිත කේක් ගෙඩියකි. ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයට, භෞමික අඛණ්‌ඩතාවයට සහ ස්‌වාධීනත්වයට විශාල තර්ජනයකි. ගොම් බෙටි ගදයි කියා යමෙක් කියනවිට "ඒකනෙ අපි කලින්ම කිව්වේ" කියලා කිසිවෙකුට ඇග බේරා ගැනීමට නොහැකිය.

[මුරගල තීරු ලිපිය]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/02/2015

ජිනීවා... මරේ... හායි

කතෘ:යුතුකම     10/02/2015   No comments
-ධර්මන් වික‍්‍රමරත්න

සහශ්‍ර සංවර්ධන ඉලක්ක ප්‍රගතිය දැක්වෙන එක්සත් ජාතීන්ගේ වාර්තාව පෙරේදා නිකුත්වූ අතර එහි සදහන් වන්නේ දුප්පත්කමේ සීමාවට පහලින් ජීවත්වන ජනතාව අර්ධයකින් අඩු කිරීමේ ඉලක්කය ශ්‍රීලංකාව ගිවිසගත් කාලයට වසර 7කට කලින් සපුරාගත් බවය. මෙය ඉකුත් සන්ධාන ආණ්ඩුව පිළිබදව හොද සහතික‍යකි.

ශ්‍රී ලංකාවේ වර්තමාන ජාතික ආණ්ඩු සංකල්පය ඉදිරියට ගෙන එන්නේ දශක 6ක් පුරා විසම්මුතිවාදී දේශපාලනය වෙනුවට සම්මුතිකවාදී රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීමට ක්‍රියාකරන බවට හුවා දක්වමිනි. මේ මොහොතේ එය ගෙනවිත් තිබෙන්නේ ඒ සඳහා නොව එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල අවශ්‍යතාවය වෙනුවෙන් ජිනීවා හයිබ්‍රිඩ් යාන්ත්‍රණය ගෙනඒම සඳහා ජනමතය යටපත් කිරීමටය. අධිරාජ්‍යවාදීන්ගේ මෙම ක්‍රියාවලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ සම්භාව්‍ය දැති රෝදයක් වන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ග්‍රාම්‍ය දැති රෝදයක් වේ. රනිල් වික්‍රමසිංහට මෙන්ම මෛත්‍රීපාල සිරිසේනටද මෙම උවමනාවන් ජයග්‍රහණය කරගැනීමෙහිලා උවමනාවන් ඇත.

මෙතෙක් අධිරාජ්‍යවාදී රටවලට බාධාවක් වූයේ ජාතික ආණ්ඩුවක් පිහිටුවිමෙන් මතුවන නව දේශපාලන රාමුව තුළ පක්ෂ දෙකෙන්ම බැහැරවන බලවේග පන්තිමය වශයෙන් ධනේෂ්වරයට සතුරු දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ වටා එක්විමේ තර්ජනයක් පැවතීමය. වර්තමානයේ ජවිපෙද ජාතික ආණ්ඩුව හමුවේ කටයුතු කරන්නේ එකගෙයි කෑමේ ප්‍රතිපත්තිය නිසා එම තර්ජනය දැන් නැත. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එම රික්තය පිරවීමට තවමත් අපහසුය. එහෙත් නව තර්ජනයක් මතුවෙමින් පවතී. ඒ අධිරාජ්‍ය විරෝධී ජාතිකවාදී ‍කොටස් එක ජාතික පෙරමුණක් වශයෙන් අත්වැල් බැදගෙන පෙරට ඒමේ හැකියාව වැඩිවීමය. වර්තමාන දේශපාලන වාතාවරණය උඩ විපක්ෂයේ සිටින සියළුම මන්ත්‍රීන් වෙනුවෙන් හඬක් නැති ජනතාවගේ හඩ වී ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උ‍රුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිලය. ඔවුහු ගැරහුම් විවේචන හමුවේ නොසැලවිය යුතුය. මක් නිසාද යත් තැලෙන යකඩය මුවහත්වන අතර තලන එකා හෙම්බත්වන බැවිනි.

ජනාධිපති පුත් දහම් සිරිසේන ජිනීවා සමුළුවට සහභාගිවූ ජිනීවා නියෝජිත පිරිස අතර සිටීම ප්‍රශ්ණයක් බවට පත්කළේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල ඡායාරූප සහ වීඩියෝ දර්ශන මගිනි. තම පිරිවර සමඟ ඕනෑම අයෙක් ගෙන යෑමේ අයිතිය විධායක ජනාධිපතිවරයා සතුය. එය යහපාලන සදාචාරයට නොගැලපීම වෙනම අවුලකි. වරෙක ජනාධිපති මාධ්‍ය අංශය මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී හාන්සි පුටුවකට බරදී නව කථාවක් කියවන අයුරින් උගත් පාඩම් කොමිෂන් වාර්තාව කියවනු ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කළේය. රට දිනවූ යුද්ධයෙන් පසු පුරවැසියන්ගේද අදහස් සැලකිල්ලට ගනිමින් විද්‍වතුන් විසින් සාක්ෂි ලබාගෙන සකස්කල වාර්තාව සැහැල්ලුවෙන් අවධානයට ගතයුතු වාර්තාවක් බවට එම ඡායාරූපය විදහා පෑවේය. පසු කලෙක උඩුදුවන තුවාලයක් බවට එය පත්වූයේ උගත් පාඩම් කොමිෂන් වාර්තාව සැහැල්ලුවෙන් ආණ්ඩුව සලකන බවට ජනමතයක් ලොව පුරා ඇති කරමිනි.

තාත්තයි පුතයි සම්බන්ධය කිසිවෙකුට අකාමකා දැමිය නොහැක. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වූවද තාත්තා කෙනෙකුගේ වගකීම අහිමි කල නොහැක. නාමල් රාජපක්ෂ කලද දහම් සිරිසේන කලද එහි වරදක් නැත. ජනාධිපතිකම තවමත් විධායක හෙයින් පියාගේ අධිකාරි බලය පාවිච්චි කරමින් ඔක්කොම කකුළුවෝ යන්නේ ඇදේටය. ජනාධිපති මෛත්‍රීපාලට සිය පුත්‍රයා නිල පරිවාරක දූත පිරිසට එක්කර ගැනීමට අවශ්‍යනම් කල යුත්තේ සුළු දෙයකි. එනම් දහම් සිරිසේන ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු කිරීම පමණි. එය වැටුපක් නොගෙන ගරු සේවයක් ලෙසද කල හැකිය. ඇතැම් බයියන් සහ ටොයියන් මෙයට ‍එරෙහිවී කොහොල්ලෑ බබාගේ සටන් පාඨය පෙරට ගැනීමෙන් ජිනීවා සම්මුතියට එරෙහි හඬ වෙනත් දිසාවකට යොමුවීමේ ප්‍රවණතාවයක් දිස්විය.

ජනාධිපති සිරිසේනද තමා සිතන ලෝකය නිර්මාණය කිරීම පිළිබදව සිහින දකින්නෙකි. සාමය, ආරක්ෂාව, මානව හිමිකම් සුරකීමේ වැඩපිළිවෙලක් සුරකීමට රජය කැපවී සිටින බව ඔහු පවසන්නේය. ඉදිරි වසර 5 සදහා රජයේ සංවර්ධන දැක්ම වන්නේ බහුවිවිධත්වය, සංහිදියාව සහ තිරසාර සංවර්ධනය බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. එවැනි නිර්මාණාත්මක මිනිසුන් නොමැති සමාජයක් පැවතිය නොහැකි බව සත්‍යයක් වූවද සැබෑ ලෝකය විනාශකර එය ගොඩනැගීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සදහා රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුය. අනුන් හදාදෙන පාරක යන විට ඊළගට හමුවන්නේ වංගුවක්ද පල්ලමක්ද යනු කිසිවෙකු නොදනී. ඒත් තමන්ම පාර කපාගෙන යන විටදී ඕනෑම තැනකින් පාර හදා ගැනීම පහසුය. එසේ නොවුනහොත් සිදුවන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මුහුදේ වරාය නගර හදන විට සභාග ආණ්ඩුවට ආණ්ඩුවට රේක්කයෙන් මුහුදු වෙරළේ කුණු එකතු කිරීමය.

ජිනීවා යෝජනා සිංහලට පරිවර්තනය කර ඇත්තේද විකෘති කරමිනි. විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි පළකර තිබූ ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පතෙහි සිංහල පරිවර්තනයේ ලොකු වැරදි දෙකක් තිබිණි. මෙම වැරදි දෙකම ඇත්තේ කෙටුම්පත් යෝජනාවේ ඉතාම වැදගත් ජේදයක් වන අන්තර් ජාතික විනිසුරන් ශ්‍රී ලංකාවේ වගවීමේ යාන්ත්‍රණයට සම්බන්ද කර ගැනීම පිලිබඳ ජේදයේ ය. මෙම වැරදි පරිවර්තනය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් සේ හුවා දැක්වීම පටන් ගනු ලැබීය. වෙස් මුහුණු බැදන් කුමන නාඩගම් නැටුවද ජනතාව රැවටීම ලෙහෙසි පහසු නැත.

එදා ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව 1978දී නව ව්‍යවස්ථාවක් සෑදීම, 1982 ලාම්පු කලගෙඩි ජනමත විචාරණ සෙල්ලම පැවැත්වීම, 1987 ඉන්දු ලංකා ගිවිසුම බලහත්කාරයෙන් පැටවීම වැනි දෑ අවසානයේ පරා වලල්ලක් බවට පත්විය. බලහත්කාරයෙන් කිසිදු යෝජනාවක් ජනතාව පිට පැටවුවහොත් එහි ප්‍රතිවිපාක කෙදිනක හෝ මතුවන බව ඉතිහාසය රටට කියාදෙන පාඩමයි.

ලෝක මතයට වඩා රටක් ගරු කල යුත්තේ තම රටේ ජනතාවගේ මතයටය. ඊජිප්තුවේ කයිරෝ නුවර විශ්ව විද්‍යාලය සිය කාන්තා අධ්‍යයන මණ්ඩල සාමාජිකාවන් ඔවුන්ගේ මුහුණ ආවරණය කරන නිකාබ් පැළදීම ඉකුත්දා තහනම් කළේය. නිකාබ් යනු මුස්ලීම් කාන්තාවන් සිය දෙඇස පමණක් ඉතිරි කරමින් සිය මුහුණ සහ හිස සහමුලින්ම වැසෙන පරිදි අදින ශීර්ෂාවරනයයි. බහුතරයක් හින්දු භක්තිකයින් සිටින ඉන්දියාවේ ප්‍රාන්ත බොහෝමයකම ගව ඝාතනය රජයේ නීතියෙන්ම තහනම්ය. ගවයා දේවත්වයේලා හින්දු ජාතිකයින් සලකන බැවින් ගව ඝාතනය, වෙළදාම සහ පරිභෝජනය සම්බන්ධයෙන් පවතින නීති රිති දැඩි කිරීමටද ඉන්දිය ආණ්ඩුව කටයුතු කළේය. මෙවැනි දේවලින් අප උකහා ගත යුතු දෑ බොහෝය.

ජිනීවා ‍යෝජනාවලින් අවසානයේ සිදුවන්නේ 30 වසරක යුද්ධය පරාජය කර රට රැකගත් රණ විරුවන්ගේ ආත්මය බිලිදීම පමණි. රට සහ මිනිසුන් රැකගත් රණවිරුවන් සුරකීමට බැරිනම් එය ජාතියක් වශයෙන් කරන ලොකුම පාපය වේ. සාක්ෂි රහිත සාවද්‍ය චෝදනා මගින් මේ සිදුකරන්නේ අවසානයේදී ශ්‍රී ලංකාව දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමට අනුව රට කලාප 5කට බෙදීමටය. කලාප දෙකකට වෙනම පාලනයක් එවිට ලැබෙනු ඇත. ඉඩම් සහ පොලිස් බලතල සමගින් එම කලාප ශක්තිමත් වී අවසානයේදී අසාධාරණයට ලක්වූවායැයි කියමින් වෙනම රටක් වුවද ලබාගැනීමට හැකියාවක් ඇත. අන්තර් ජාතික නීතිය යට‍තේ එය සාධාරණීයකරණය කිරීමට යෝජනාවක් සම්මතවූවහොත් කිසිවෙකුට වැලකිය හැකි නොවේ. මේ පාර කපන්නේ එයටද? ගොනා හැරෙන්නේ පොල් පැළය කන්නට බවට කියමනකි.

ජාතික ආණ්ඩුවකට ශ්‍රිලනිප බලහත්කාරයෙන් ‍නිල වශයෙන් එකතු කර ගැනීමෙන් ඇමති තනතුරු ගත් සන්ධාන මන්ත්‍රීවරුන්ට සතුටු විය හැක්කේ එමගින් තම ආධාරකරුවන්ට සැලකිය හැකි බැවිනි. මිනිසුන් ජීවමාන ප්‍රපංචයකට ආදරය කරන විට ඉන්ද පෙරළා ප්‍රතිලාභ බලාපොරොත්තු වේ. වර්තමාන සමාජක්‍රමය තුළ දක්ෂ දේශපාලඥයෙකු යනු කිසිදු හිරිකිතයකින් තොරව ප්‍රතිපත්ති පාවා දෙන, වෙනස් කරන පුද්ගලයන්ය. මේ ක්‍රමය ඇතුලේ බොහෝවිට සාර්ථක විය හැක්කේ එබදු පුද්ගලයින්ටය. ඔවුන‍්ගේ පැවැත්මේ ප්‍රධාන කොන්දේසිය වන්නේ හෘද සාක්ෂිය වලලා දැමීමය.

යහපාලන පොලිසියද අයාලේ යන සෙයක් පෙනේ. කුඩු චෝදනා තිබෙන ඇමතිවරුන් සිටිනාවා කීවද මේදක්වා චෝදනා ගොනුකොට නැත. තාජුඩීන්ගේ සිරුර යළි ගොඩ ගත්තද සැකකරුවෝ තවමත් නැත. ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගත් සැකකරුවෝ රඳවා තබා ප්‍රශ්ණ කරනවා කීවද පරික්ෂණ තවමත් ඉබි ගමනේය. වෙලේ සුදාගේ දුරකථනයේ තිබූ නම් ලැයිස්තුව වාෂ්ප වී ගොසිනි. සේයා දැරිය දූෂණය කල බවට සැක කරමින් වයස 17 පාසැල් සිසුවෙක් අත්අඩංගුවට ගෙන ජාන පරික්ෂණයකින් නිදොස් කිරීමකින් පසු නිදහස් කලේ එම සිසුවාගේ ජීවිතයම විනාශකර දමමින් සහ එම දෙමාපියන්ගේද ආත්ම ගෞරවයද විනාශ කිරීමෙනි. පොලිස් ප්‍රකාශකගේ ඇති තතු හා ප්‍රබන්ධ අතරත් සත්‍ය හා අසත්‍ය අතරත් වෙනසක් නැතැයි සාමාන්‍ය ජනතාවට මෙසේ ගියොත් ඉදිරියේදී පසක් වනු ඇත.

ඉකුත් ආණ්ඩුව කාලේ සුදුවෑන්, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, දාමරික ක්‍රියා රැසක් තිබූ බවට හඬ නැගිණි. එවැනි චෝදනාවලට ලක්වූ අයගෙන් බහුතරයම වාගේ දැන් සිටින්නේ සම්මුතිවාදී ආණ්ඩුවේය. එසේත් නැත්නම් රජයේ සාක්කිකරුවන් ලෙස එක්වී හමාරය. ඉකුත් මාස 9 තුළදී සමාජ සාරධර්මයන් උඩු යටිකුරු වී තිබෙනු දක්නට ලැබේ. ‍එයට හේතුවී ඇත්තේ මිනිස් සිත් සතන් තුළ අකුසල් ජනිත කරවන වර්තමාන සමාජ වටපිටාවය. එක් පසකින් අවශ්‍යතා වර්ධනය කරවන වෙ‍ළඳපොල ආර්ථික ක්‍රමය වන අතර අනෙක් පසින් මිනිස් සිත්තුළ අකුසල් සිත් ජනිත කරවන ක්‍රියාපිලිවෙත්ය. සන්ඩේ සිල්ය. මන්ඩේ කිල්ය.

යාපනයේ විද්‍යා සමූහ දූෂණයට ලක්කලේය. සේයා දැරිය දූෂණය කර මරා දමනු ලැබීය. වැල්ලව දැරියක් පැහැර ගත්තේය. අතුරුගිරියේ දරුවෙක් කපා කොටා මරා දමාය. කඩුවෙල උසාවිය තුළදීම සැකකරුවෙකුට වෙඩි තබනු ලබයි. කොටකෙතන තවත් ස්ත්‍රී ඝාතනයකි. සිව් හැවිරිදි දැරියක් පනපිටින් ලිදට දමා ත්‍රිත්ව ඝාතනයක් සිදුවේ. සැමියා බිරිඳ සහ දරුවා මුහුදට තල්ලු කරයි. කහටගස්දිගිලියේදී පොලිසිය ආබාධිතයෙකුට බිම පෙරළා පහර දෙයි. දියවන්නාව ඇතුලු ස්ථාන කිහිපයකින් නාදුනන මල සිරුරු හමුවේ. පාතාල කල්ලි එකිනෙකා අතර යුද්ධයකි. මාර්ග නීති ‍නොපිලිපැදීම නිසා අනතුරු රැසකි.

"අයි හැව් අ ගන්. අයි විල් ෂූට් යූ. ගිව් ‍ඕල්ද මනී" යැයි චිට් එකක් අයකැමිට කියමින් 24 හැවිරිදි ‍වෛද්‍ය සිසුවෙකු බැංකුවකින් සල්ලි කොල්ලකති. තනි මිනිසෙකු අගනුවර බැංකුවකට කඩා වැදී ලක්ෂ 50ක් පැහැරගෙන යති. මේ පිළිබදව කිසිවෙකු නෝ කථාය. පෙම්වතියට තෑග්ගක් ගන්නට රුපියල් 1500ක් නොදීම නිසා සිය මව ඝාතනය කල පුතෙකු සිටින රටක කිඹුලෙකු සමඟ පොරබැද සිය මවගේ ජීවිතය බේරාගත් වීර පුතුන්ද නොසිටිනවා ‍නොවේ.

සන්ධානයට ඡන්දය ලබාදුන් ලක්‍ෂ 47කට පමණ ආණ්ඩු පක්‍ෂයේ වරප්‍රසාදය ද විපක්‍ෂයේ වරප්‍රසාදයද යන දෙකම අහිමිකොට තිබීම මහා ඛේදවාචකයෙකි. ඔවුන්ට තමා සිටින්නේ කොතනැද, නියෝජනය කරන්නේ කුමන දේද යන දේ ගැන පවා ව්‍යාකූලතාවක් ඇතිකොට තිබේ. තම දේශපාලන නියෝජිතයින් හරහා තම ගැටළු පාර්ලීමේන්තුවේ දී කීමට ඇති ජනතා අයිතිය මර්දනය කොට තිබේ. මෙය බරපතල තත්වයකි. මූලික මිනිස් අයිතිවාසිම් පමණක් ‍නොව, මානව නිදහසද දැඩිව තලාපෙළා දමන තත්වයකි. එය ජයවර්ධන ආණ්ඩුව මුල්කාලයේ එල්ලකල පීඩනය හා සමානය. එය නුදුරේම පුපුරා ගියහොත් පුදුමයට කරුණක් නොවේ. සෙස්ස පස්සටය.

දැන් ඉතිරිව ඇත්තේ සුදු නෙළුම රැගෙන නැවතත් තවලම දැක්කීම පමණි. එය කලින් ආචාර්ය වික්‍රමබාහු කලාක් මෙන් අතමිට සරුවන සාම එන්.ජී.ඕ. ව්‍යාපෘතියකි. සාමයේ නාමයෙන් මේ මොහොතේ කරන ඕනෑම ව්‍යාපාරයකට අතදිගහැර සපෝට් කරන්‍නට විදේශ බලවේග සූදානම්ය. බිංකුණ්ඩෝ බොල තෝත් නටාපිය මාත් නටන්නම් කියා දෙපිරිසටම එක්ව කා බී ගී ගයමින් සතුටු විය හැක.

ඇතැමුන් පවසන පරිදි ආණ්ඩුව හයිබ්‍රිඩ්ය. ජනතාව හයිජැක්ය. ජිනීවා... මරේ... හායි නොවේ. එය මර උගුලකි. ජනතාව සිරුවෙන්ය. ඒ හයිබ්‍රිඩ් යාන්ත්‍රණය ට්‍රෝජන් අශ්‍වයෙක් බැවිනි. සැබෑ ජනහඩ ඇසෙන්නේ අද නොව හෙටය.

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/22/2015

ටොයියාගේ තියරිය

කතෘ:යුතුකම     9/22/2015   No comments

-ධර්මන් වික‍්‍රමරත්න

ඉකුත් ජනවාරි 8 දින ආරම්භවී අගොස්තු 17වැනිදා විකසිතවූ දේශපාලන විප්ලවයප‍්‍රතිවිප්ලවකාරී බලවේගයන්ගෙන් රැක ගනිමින් ඉදිරියට ගෙනයා යුතු යැයි එම ජයග‍්‍රහණයට දායකවූ පක්ෂ නායකයෝ, එන්.ජී.ඕ සිවිල් සංවිධාන නිරතුරුව පවසති. එම විප්ලවය වනාහි පරාජයට පත් රාජපක්ෂ ආණ්ඩුවට ආවේනිකව පැවැතිනියැයි කියන දූෂණය, ප‍්‍රචණ්ඩත්වය, ඒකාධිපතිත්වයට එරෙහිව උද්ගත වූ ජනතා ප‍්‍රවාහයක ප‍්‍රතිඵලයක් සේ ඔවුන් විසින් හුවා දක්වති. ටොයියාගේ තියරිය එය වේ. එයට එරෙහි වන්නෝ බයියෝය.


වෙලේ මාළු ඇලට ඇවිත් ඇලේ මාළුන්ට කියන්නේ අපි හිටියේ වැවේ කියලාය. කැපුවත් අපි මහින්ද‍ගේ මිනිස්සු යැයි කිවූ අය ෆුල්, ස්ටේට් හෝ හාෆ් ඇමතිකම් ගන්නේ ඒ අනුවය. රාජපක්ෂ ආණ්ඩුවේ සිටියේ එවැනි ඇමතිවරු 91කි. මේ ආණ්ඩුවේ 93කි. තවත් කැබිනට් ඇමතිවරයෙකු සහ නියෝජ්‍ය ඇමතිවරු  4 දෙනෙක් ඉදිරියේදී පත්කරනු ඇතැයි කියති. එවිට 98කි.  ජනතා විමුක්ති පෙරමුණේම යෝජනාවක් අනුව පාර්ලිමේන්තුවේදී ලබාගත් විවාදයකදී වැඩි ඡන්ද 61කින් සම්මතවූ යෝජනාවකි. මාදුළුවාවේ සෝභිත නාහිමිගේ රොටිය පිච්චීමට තැටිය තවමත් රත් නොවීම නිසා එහි වරදක්ද නැත. මාර්තු 12 ව්‍යාපාරයට අනුව පිරිසිදු දේශාපලනයක් දැන් ඡන්දයට නියම වටිනාකමක් ලැබී ඇත්දැයි ඔවුන්ම කිව යුතුය.


රාජපක්ෂ ආණ්ඩු‍වේ ජම්බෝ කැබිනට් මණ්ඩලය වෙනුවට විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව පත්කරන බව කියූ කැබිනට් මණ්ඩලය මෙගා ජම්බෝ කැබිනට්ටුවකි. කොහොම ගසට කරවිල වැල ගියා වගේ වැඩකි. කැබිනට්ටුවේ 32ක් එජාපයේය. 16 ශ්‍රිලනිපයේය. ඒ අනුව ජනපතිවරණයේදී ලංගම බස් ගැනීමෙන් සිදුවූයේ යැයි කියන රුපියල් කෝට් 14 මුදල් ගෙවීම් පැහැරහැරීමට උත්තර බැදිය යුත්තේ ශ්‍රිලනිප ජේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලද සිල්වා ප්‍රවාහන ඇමතිවරයාය. කැබිනට්ටුවේ තනතුරු අවශ්‍යනම් පෙම් හසුනක් මෙන් හුවමාරු කරගතද හැක.


අමුතුම මාදිලියේ ඇමතිකම් කීපයක් දක්නට ඇත. ඉන් එකක් නම් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමතිකමය. යහපාලන ආණ්ඩුව ස්ථාපිත කරන්නට වෙහෙසුණු මධ්‍යම පාන්තික ජනතාව බෙහෙවින්ම ජීවත් වන කොළඹ ගම්පහ ආදී නගර වැසියන්ට නම් මෙය සුභාරංචියකි. මුස්ලීම් කටයුතු නියෝජ්‍ය ඇමති තනතුර ගම්පහ ඩුලිප් විජේසේකරට දීම පංකාදුය. විද්‍යාත්මක ක්‍රමවේදය අනුව එයදී ඇත්තේ මල්වාන සහ තිහාරියේ ජාතික සමගිය වැඩිදියුණු කිරීමට විය හැකිය. බියගමින් දැන් රටටම ආදර්ශයක් දිය හැකිය.


හවුල අවුල්ද? නැත. වෙනස සැපද? ඔව්ය. ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල්ය. යහපාලන මාරය. රට හමාර නැත. විපක්ෂයේද කශේරුකාවක් ඇති මන්ත්‍රී පිරිසක්ද සිටින බව රට දැන ගත්තේය. මාතෘකාව විපක්ෂය නම් තහනම් වචනය විපක්ෂ නායකකමය. සන්ධානයේ ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීව‍රයෙක් එහි ප්‍රතිපත්තිවලට එරෙහිව කථා කලහොත් ආසන සංවිධායකකම අහෝසිවීමට ඉඩ ඇත. වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින සන්ධානයේ විපක්ෂ මන්ත්‍රීවරුන් දැන් දළඹුවන් බව සැබෑය. දැක්කම කැතය. ගෑවුනාම කසනවාය. එහෙත් ඔවුන් කවදා හෝ සමනල්ලු වී ඉගිලෙන දිනයක්ද උදාවනු ඇත.


පක්ෂයක සාමාජිකත්වය ගෙන එහි ක්‍රියාකාරිකයෙකුවීම ප්‍රේම කිරීම වැනිය. එය බසයක යනවා වැනි වැඩකි. අකමැති නම් ඕනෑම මොහොතක බසයෙන් බැස යා හැකිය. එහෙත් ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව අනුව හෝ 19වැනි සංශෝධනය යටතේ වුවද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුවීම විවාහය හා සමානය. එය ගුවන්යානයක යනවා වැනි වැඩක්ය. එහිදී අකමැති වුවද බැස යා නොහැක. හදිසි අනතුරකදී බසින්නේනම් එයද පැරෂුට්ටුවකින් පමණක් බව සන්ධානයේ මන්ත්‍රීවරුන් දැනගත යුතුය. වවුලාගේ මඟුල් ගෙදර ගියානම් පුටු බලාපොරොත්තු විය නොහැකි සේම කොකාගේ ඇට්හෝම් ගෙදර ගියානම් පිඟන්ද බලාපොරොත්තු විය නොහැක. වර්තමානයේ සිදුවන්නේ අසත්‍ය සිය වංචනික බව සඟවා ගැනීමට හඬ නැගීමය. සත්‍ය නිහඬව ඒ දෙස බලා සිටී.


රෝයල් ගියත් ඉබ්බාගමුවේ සෙන්ටල් ගියත් ලයිසියම් ගියත් ජපුර හෝ පේරා ගියත් කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් ගියත් ඔවුන්ට මෙන්ම අටපාස් සෑම පුරවැසියෙකුටම ලංකාව අයත්ය. සන්ධානයේ මන්ත්‍රීවරුන්ට පාඩම් උගත හැකි ආකාර දෙකකි. එකක් ඉතිහාසය හැදෑරීමෙනි.අනෙක අත්ඇකීමට බෙල්ල දීමෙනි. දැන් සිදුවන්නේ දෙවැන්නය. පණිවිඩය පමණක් නොව පණිවිඩකරුවා හා ඔහුගේ අරමුණු පිළිබඳවද ඉදිරියේදී කල්පනාකාරී විය යුතුය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවුල ඉඩම් ආරවුලක් මෙනි. ඔප්පුවේ අයිතිය ඇත්තේ ශ්‍රිලනිප නායකයාටය. භුක්තිය ඇත්තේ සන්ධානයේ මන්ත්‍රීවරුන්ටය. භුක්තිය අයිතිය දක්වා පෙරළා ගන්නා තෙක් විසදුමක් නැත. ලබන මාර්තු මස පැමිණෙන පළාත් පාලන ඡන්දයේදී තෙවන විනිසුරු  එනතෙක් සීරු මාරුවෙන් සිටිය යුතුය. සන්ධානයේ ඡන්ද දෙකට කැඩුන විට එහි වාසියද එජාපයටය.


යුක්තිය පසඳලීමට තජුඩීන්ගේ සිරුර ගොඩ ගත්තේය. එහෙත් සරසවි සිසුන් වන ජනක සහ සිසිරට තවම යුක්තිය ඉටුවූයේ නැත. ඊයේ යාපනයේ විද්‍යාය. අද මිනුවන්ගොඩ සේයාය. ගම්පහ රතුපස්වල ජලය ඉල්ලූ මිනිසුන්ට වෙඩි තැබීමට අණදුන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන තුර්කියේ සිට ඉකුත් 15වැනිදා ආවේය. රතුපස්වල තෙරිපැහැ සිරිධම්ම හිමියෝ මාධ්‍ය සංදර්ශනයකට මගී පර්යන්තය ඉදිරිපිට වැඩ සිටියහ. විශ්‍රාමික බ්‍රිගේඩියර් ප්‍රභූ පර්යන්තය ඔස්සේ නිවස බලා පිටව ගියේය. තමන් කළ වරදට දෙව්දත් අපායේ දුක්විඳින බවනම් බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය.


එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් වාර්තාව අනුව 2002 සිට 2012 දක්වා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබදව ජත්‍යන්තර 'හයිබ්‍රිඩ්' අධිකරණයක් අවශ්‍ය බව නිර්දේශ කර ඇත. එය ශ්‍රී ලංකා‍ව විසින්ම ඉල්ලාගෙන කෑමකි. අනුන්ගේ පිහියකින් අපේ බඩ කපා ගැනීමකි. වසර 2002 කඩඉමක් වන්නේ අගමැති රනිල් සහ බෙදුම්වාදී නායක ප්‍රභාකරන් අතර අත්සන් කල ගිවිසුම නිසාය. එම වාර්තාවට අනුව දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සටන්කරුවන්ය. ශ්‍රී ලංකාවේ සහ දකුණු අප්‍රිකාවේ අරගල එකිනෙකට වෙනස්ය. මේ අනුව ඉදිරියේදි සිදුවනු ඇත්තේ ශ්‍රී ලංකාව දංගෙඩියට යෑවීමය.


සීපා අත්සන් කළොත් රටත් ජනතාවත් බංකොලොත්ය. 1815 ගිවිසුම සහ 2002 සටන් විරාම ගිවිසුම කාලයේ වැලිතලාවට අහෝසිවී ගියද 1987 ජුලි අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුම අවලංගු කිරීමට ප්‍රායෝගිකව නොහැක. සීපා ගිවිසුමෙන් ලාංකීය ඉතිහාසයේ අත්සන් කිරීමට යන භයානකම ගිවිසුම වේ. ඉන්දීය ආර්ථිකයට වාසිවන අන්දමට වසර 15කට පෙර සකස්කල එම ගිවිසුම කලින් කිසිම ආණ්ඩුවක් ක්‍රියාත්මක නොකළේය. ඉකුත් කාලය තුළ ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් අපනයනය කර ඇත්තේ ඩොලර් දසලක්ෂ 580ක වටිනාකමක් ඇති භාණ්ඩ ප්‍රමාණයක් පමණි. නමුත් ඉන්දියාවෙන් ආනයනය කල ප්‍රමාණය ඩොලර් දසලක්ෂ 600 සිට ඩොලර් දසලක්ෂ 3,730 දක්වා වැඩිවී තිබිණි. ඉන්දියාවට ගිය රනිල් වික්‍රමසිංහ ඉන්දීය රාජ්‍ය නායකයින් සමඟ කල සාකච්ඡාවට ශ්‍රි ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ නිලධාරින් සහභාගිකර නොගත්තේය. ඒ ඉකුත් මහ මැතිවරණයේදී පොරොන්දුවූ ගෞරවනීය රාජ්‍ය සේවයක් සඳහා වන්නටද බැරි නැත.


ජයග්‍රහණය වෙත යාමටනම් ජනයා කන්දිය යුත්තේ අතීතය ගැන කතාකරන අයට නොව අනාගතය ගැන කතා කරන අයටයැයි කියමනක් ඇත. ඒ අනුව බස්නාහිර මහ ඇමතිකමට පත්වූයේ කලින් වසර 25ක් තුළ දේශපාලනය කළද පළාත් ඇමතිකමක්වත් නොදැරූ ඉසුරු දේවප්‍රියය. ඔහු කාගේ කාගේත් හිත දිනාගත් හොද දේශපාලන මහත්තයෙකි. මහරගම ශ්‍රිලනිප සංවිධායකකමට පවා ඔහු සුදුස්සෙකි. හිටපු පළාත් ඇමති කොඩිකාරගේ නෝනාත් නගරාධිපතිව සිටියේය. උඩහමුල්ල ඩිපෝව ඉදිරිපිට ලොකු කටවුට් එකකින් ඉකුත් වසර 10 තිස්සේම කොඩිකාර යුවල සිනා සෙමින් සිටියහ. ඉහළ සහ පහළ මධ්‍යම පාන්තිකයන් බහුතරයක් සිටින මහරගම ඡන්දදායකයෝ මේවාට සිනාසුනේ පශ්චාත් භාගයෙනි. මහරගම සහ ඒ අවට ජනයාගේ විරෝධතා පිටාර ගැලුවේය. මහින්ද රාජපක්ෂ පැරදීමට එවැනි කරුණුද ඉවහල් විය. බස්නාහිර නව මහඇමති ඉසුරු දේවප්‍රිය පිළිගැනීමේ කටවුට් විශාල ප්‍රමාණයක් දැන් ගජරාමෙටය. මේවා මසකට පසුව හෝ ගලවා දැමීමට මහඇමති ඉසුරු කටයුතු නොකල‍හොත් ඔහුද වැටෙන්නේ කොඩිකාර වලේමය.


ඌවේ මහඇමතිකමට පත්කළේ සැබෑ ජනතා පුත්‍රයකි. ඔහු‍ම ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් ප්‍රකාශ කර තිබූ පරිදි ‍කුඩා කල කෝච්චියේ වඩේ විකුණූ කොල්ලෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඡන්දයෙන් දිනුවද ඔහු දිවුරුම් දි සිටියේ නැත. අවම වශයෙන් දිවුරුම් දී එක් දිනක් හෝ මන්ත්‍රී මායාදුන්නේ මෙන් සිටියානම් මියගිය පසු පාර්ලිමේන්තුවේ ශෝක ප්‍රකාශයක් සම්මත කර ගැනීම හෝ සිදුවනු ඇත. ලලිත් සහ ගාමිණී සමඟ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක් ගෙනආ මහියංගනයේ ලක්ෂ්මන් සෙනෙවිරත්නට පාර්ලිමේන්තුවට යාමට දැන් හැකිවී ඇත.එය ඔහුට මෙන්ම රටටද සතුටකි. කැප්ටන් සෙනෙවිරත්නගේ පුතාවූ ලක්ෂ්මන් කලින් කැබිනට් සීනි ඇමතිය. එහෙත් රටට දුක යහපාලන ආණ්ඩුවට තවත් නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ බර දැරීමට සිදුවීමය.


මෙරට ආර්ථිකය මුහුණ දී සිටින ඉතිහාසයේ බරපතලම විදේශ විනිමය හුවමාරුවේදී රුපියලේ අගය බිඳ වැටීම මේ වනවිට සති දෙකක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.දැන් ඇමෙරිකානු ඩොලර් එකක් සඳහා විකිණුම් මිල රුපියල් 142.15 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.ආණ්ඩුව පසුගියදා සඳහන් කර තිබුණේ රුපියලේ අගය පාවීමට ඉඩ හැරිය බවය. එනම් ඉල්ලුම සහ සැපයුම අනුව එය තීරණය වීමය. එජාපය මැතිවරණයට පෙර සඳහන් කර තිබුණේ ඔවුන්ගේ ආර්ථික කළමණාකරන උපාය මාර්ග අනුව රටේ ආර්ථිකය ශක්තිමත් කරන බවය. මහ බැංකුවේ අධිපතිවරයා ඉවත් කරන ලෙස බයියන් කොතෙක් උඩුබිරුවද තවලම ඉදිරියට යනු ඇත. රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ඝාතකයා වෙනුවට දැන් වෙනත් චරිත ආදේශ වෙමින් පවතී.


ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කාලානාරූපීව අභියෝගවලට එරෙහිව සටන් වැදුනු ජාතික ව්‍යාපාරයකි. ඒඒ අවස්ථාවල විවිධ නායකයන් යටතේ එය මෙහෙයැවිණි. බටහිර අධිරාජ්‍යවාද හමුවේ වුවද එය එසේම විය. මේ නිසා ජාතික ව්‍යාපාරය යනු තමන්ට ඇති ප්‍රධානතම අභියෝගය බවද බටහිර අධිරාජ්‍යවාදීහු අවබෝධකරගෙන සිටියහ. දැන් සන්ධානයේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට සහ ජාතිමාමකයින්ට කීමට සිදුවී ඇත්තේ චිකාගෝ බන්ධනාගාරයේ එල්ලා මරා දැමීමට මොහොතකට පෙර ඇමරිකානු කම්කරු නායක ඕගස්ට් ස්පයිස් විසින් ජාත්‍යන්තර විප්ලවවාදීන්ගේ ගීතය වන මාසෙල්ස් ගීතය ගයමින් පොරක භූමියට පැමිණ කියා සිටි මෙම ප්‍රකාශය වේ. "අපේ නිශ්ශබ්දතාවය, අද ගෙල හිරකොට මරා දමන අපගේ කටහඩවල් අභිබවා බලගතුව නැගෙන කාලය ඉදිරියේදී එ‍ළඹෙනු ඇත".

බයියෝ කැමති වුවද අකමැති වූවද දැන් ටොයියෝ සමඟ එක්වී ගී ගයමු. ඒ "මේ දූපත අපගේ රටයි.... අප ඉපදෙන මැරෙන රටයි.... මුළු ලොව මේ රටට යටයි." කියමිනි. එයට පසුව අවශ්‍යනම් ආගමික සමගිය උදෙසා බුදු දහම අනුව සාදු කියා හෝ කිතු දහම අනුව ආමේන් කියා හෝ ඉස්ලාම් දහම අනුව ආමීන් කියා කීවාටද වරදක් නැත.  ටොයියාගේ තියරිය කියන්නේ මේවාටය. යුතුකම සංවාද කවය

 [මුරගල තීරු ලිපිය -2015 සැප්තැම්බර් 18]

-www.yuthukama.com ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

8/08/2015

අපි නොදන්න ජවිපෙ"හෘද සාක්‍ෂිය"

කතෘ:යුතුකම     8/08/2015   1 comment

-ධර්මන් වික‍්‍රමරත්න

මාස 60 කින් අලුත් රටක් හදන පංච විධ ක්‍රියාවලිය මැයින් එක්සත් ජාතික පක්ෂයේද, රටට පණ දෙමු අලුතෙන්ම පටන් ගමු අනාගතයට සහතිකයක් මැයින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේද, "හෘද සාක්‍ෂිය" මැයින් ජවිපෙද මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ජනතා හමුවේ තබා ඇත. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාට උගුරේ ආබාධයක් ඇති බව කියන හෙයින් රැස්වීම් ඇමතීම වෙනුවට දැන් කෙරෙන්නේ හඩපටයක් වාදනය බැවින් තවමත් මැතිවරණ ප්‍රකාශයක් දැකගන්නට ලැබුණේ නැත.
වසර 67ක් ශ‍්‍රී ලංකාව පාලනය කල දේශපාලන නායකයින්ට රටේ ප‍්‍රශ්න විසදීමට බැරිවුණු බැවින් අර්බුදයට විසදුම් සෙවීම ජවිපෙ ඉදිරිපත් කල "හෘද සාක්‍ෂිය" මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අරමුණ බව කියති. ජවිපෙ "හෘද සාක්ෂිය" අනුව ධනවාදයේ අනිවාර්ය අංග උපාංගයන් වූ දූෂණය සහ නාස්තිය ඉවත් කිරීමට ඔවුන් ඉල්ලන්නේ බලය නොවේ. ධනපති පක්ෂ හැසිරවිය හැකි දුරස්ථ පාලකයකි. ජනතා විමුක්ති පෙරමුණට දැන් වසර 50කි. රෝහණ විජේවීර ජවිපෙ උපතට පණ දුන්නේ මුට්ට කර ගසමිනි. එහෙත් වර්තමානයේ ජවිපෙට එවැනි කැපකිරීම් අවශ්‍ය නැත. ඒ නවීන ලෝකය විසින් මාක්ස්වාදය උඩු යටිකුරු කර ඇති බැවිනි.

ජවිපෙ ජාතික ලැයිස්තුවට සමාජය පිළිගත් විද්වතුන් කිහිප දෙනෙකුද ඇතුළත් කර තිබේ. කෙටියෙන් පවසතොත් ජවිපෙට ඡන්ද පදනමක් සකසා ගැනීම සදහා එම ජාතික ලැයිස්තුවේ ඇතැම් විද්වතුන් ජවිපෙ සන්නාම තානාපතිවරු ලෙස බ්‍රෑන්ඩ් කර තිබේ. මායාදුන්නේ, මහාචාර්ය රුහුණු හේවා, චාල්ස් දයානන්ද, මහාචාර්ය කපිල පෙරේරා, මහාචාර්ය පියදාස රණසිංහ ඒ අතරින් කිහිප දෙනෙකි. මෙය ඔවුන් ඇන්දවීමක් පමණි.මහ මැතිවරණ සදහා 2000 සිට ජාතික ලැයිස්තුවෙන් ජවිපෙ 7 දෙනෙකු පාර්ලිමේන්තු ගියද ජාතික ලැයිස්තුවට පත්කල විද්වතුන්ට සැලකුවේ කරපිංචා න්‍යායෙනි.

එකොළොස්වන පාර්ලිමේන්තු මැතිවරණය පැවති 2000 ඔක්තෝබර් 10දි ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් අවසානයේ පාර්ලිමේන්තුවට පත්කළේ අනුර කුමාර දිසානායක සහ අන්ජාන් උම්මාය. එම ආසන දෙකත් සමඟ එහිදී ජවිපෙ දිනාගත් මන්ත්‍රීදූර සංඛ්‍යාව 8කි. දොළොස් වන පාර්ලිමේන්තු මැතිවරණය 2001 දෙසැම්බර් 5 වැනිදා පැවති අවස්ථාවේදී ජවිපෙ ආසන 13ක් දිනාගත් අතර ජාතික ලැයිස්තුවෙන් අවසානයේ පත්කළේ අනුර කුමාර දිසානායක, එස්.කේ. සුබසිංහ සහ රාමලිංගම් චන්ද්‍රසේකරය.

දහතුන් වැනි පාර්ලිමේන්තු මැතිවරණය 2004 අප්‍රේල් 2වැනිදා පැවැත්වීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනාගත් ආසන 92න් 39ක් ජවිපෙ විය. ජාතික ලැයිස්තුවෙන් පත්වූ සන්ධානයේ ජවිපෙ මන්ත්‍රී වූයේ රාමලිංගම් චන්ද්‍රසේකරය. දහ හතරවන පාර්ලිමේන්තු මැතිවරණය පැවති 2010 අප්‍රේල් 22වැනිදා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් සරත් ෆොන්සේකා සමඟ එක්ව ජවිපෙ තරඟ කල අතර දිනාගත් ආසන සංඛ්‍යාව 5කි. ජාතික ලැයිස්තුවෙන් එවර පත්වූයේ ජවිපෙ අනුර කුමාර දිසානායක සහ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ටිරාල් අලස් පමණි.

ලක්ෂ 16ක පමණ වටිනාකමක් ඇති ගුවන් කාලය ලක්ෂ 8ක පමණ මුදලක් ගෙවා රාජ්‍ය රූපවාහිනී මාධ්‍යයකද පක්ෂ සමුළුව කඩතුරාවක් කරගනිමින් "හෘද සාක්‍ෂිය" එළිදැක්වීමේ උත්සවය සජීවීව විකාශනය කළේය. සියළු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. තද වර්ණ ලා වේ. රතු පාට රෝස පාට වී අවසානයේදි සුදු පාට වේ. සුදුවූ විට අවශ්‍ය වේලාවට නිල්කර ගැනීමට හෝ කොළ කරගැනීමටද පහසුය. එවිට ඕනෑම සභාග ආණ්ඩුවකට එක් විය හැක. ආචාර්ය එන්. එම්. පෙරේරාලා, කොල්වින්ලා, සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ සාරි පොටේ එල්ලී සභාග හැදුවේනම් ජවිපෙට පමණක් සභාග අකැප වන්නේ නැත.

‘යහපාලන’ ආණ්ඩුව ගෙන ගිය සභාගයේ මල් වට්ටියට ජවිපෙද අත ගැසුවේ එබැවිනි. ජාතික විධායක සභාව ඇත්තේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයටත් ඉහළිනි. ජවිපෙම යෝජනාවක් අනුව ජාතික විධායක සභාව ආණ්ඩුව මගින් ගොඩනැගු යාන්ත‍්‍රණයකි. ජනාධිපති චන්ද්‍රීකා කුමාරතුංගගේ ආණ්ඩුව සමග එක්ව 2001දී ජවිපෙ පරිවාස ආණ්ඩුවක් ගොඩ නැගුවේය. එය 2004දී චන්ද්‍රීකා කුමාරතුංගගේ පොදුජන එක්සත් පෙරමුණ සමග සභාග ආණ්ඩුවක් දක්වා වර්ධනය විය. ජනාධිපතිවරණය පැවති 2005දී මහින්ද රාජපක්ෂ සමගද සභාගයක් ගැසුවේය. සභාග ක‍්‍රියාමාර්ගයේ දිගුවක් ලෙසින් එක්වරම යූ ටන් එකක් ගසා 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා සම`ගද සභාගයකට එක්වී එජාපය සමග එක ගෙයි කෑම සිදු කළේය.

ඉදිරි මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යම් හෙයකින් ආසන 114ක් නොගතහොත් එජාපයට දෙමළ බෙදුම්වාදී සහ මුස්ලීම් අන්තවාදී ස්ථාවරයන් නියෝජනය කරන දේශපාලන පක්ෂ මහජන නියෝජිතයින් එක්කර ගනිමින් සභාග ආණ්ඩුවක් පිහිටුවීම සදහා තල්ලූවක් දීම ජවිපෙ අරමුණු බවට සැක නැත. වර්තමානයේ එජාප ‘යහපාලන’ ආණ්ඩුවට ජාතික විධායක සභාව හරහා ජවිපෙන් ලැබුණේ හොද තල්ලූවකි. බහුතරයක් නොමැති සුළුතර පික්පොකට් ආණ්ඩුවට එමගින් සුජාත භාවයක්ද ලැබිණි.

ජවිපෙ දේශපාලනය වන්නේ සමාජවාදී සමාජයක් ගොඩනැගීමය. ඒ වෙනුවෙන් ජවිපෙ කැරලි දෙකක් ගැසුවේය. ප‍්‍රථම කැරැල්ල වූ 1971 කැරැල්ලේදී ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන වලට අනුව ඝාතනයට ලක්වූ කැරළිකරුවන් ගේ සංඛ්‍යාව 1,200කි. එහෙත් 1971දී මරාදමන ලද කැරළිකරුවන්ගේ සංඛ්‍යාව 5,000කට ආසන්න බව කියති.

ජවිපෙ දෙවන කැරැල්ලද 1986 ආරම්භ වී 1990දී නිමාවට පත්විය. එජාප ආණ්ඩුවේ නිල සහ අතුරු සන්නද්ධ කණ්ඩායම් මගින් එහිදී මරාදැමූ සංඛ්‍යාව 34,014කි. ප‍්‍රා සංවිධානය මගින් මරාදැමූ සංඛ්‍යාව 1,222කි. ජවිපෙ මගින්ම ජවිපෙ විරෝධීන් ලෙස සලකා දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය මගින් මරා දැමූ සංඛ්‍යාව පමණක් 6,577කි. ඒ අනුව දෙවන කැරැුල්ලේදි ඝාතනයට ලක්වූ සහ අතුරුදහන්වූ පිරිස 41,813කි. නිල නොවන වාර්තා සදහන් කරන්නේ 60,000ක පමණ ආසන්න පිරිසක් එහිදී ඝාතනය වූ බවකි. ජවිපෙ ඝාතනය කල 6,577 දෙනා අතර එජාප සාමාජිකයින් 2,645ද සාමාන්‍ය සිවිල් පුරවැසියන් 1,652ද ඔත්තුකරුවන් 702, රජයේ සේවකයින් 487, පොලිස් භටයින් සහ නිළධාරින් 342, හමුදා නිළධාරින් 15 සහ හමුදා භටයින් 202, සරසවි සහ පාසල් සිසුන් 187, මහජන පක්ෂයේ සාමාජිකයින් 117, පොලිස් පවුල් සමාජිකයින් 93, විදුහල්පතිවරුන් 52, භික්ෂූන් 41, වෛද්‍යවරුන් 16, නීතිඥයින් 14, කලාකරුවන් 8, උපකුලපතිවරුන් 2, කතෝලික පූජකවරුන් 2 අයත් විය.
එම දෙවන කැරැල්ල පැවති අසූවේ දශකයේ අවසාන භාගයේදී ජවිපෙ මගින් විනාශ කල රජයේ පොදු දේපලවල වටිනාකම කෝටි 100කට අධිකය. ලංගම බස්රථ 553, ග‍්‍රාම නිළධාරි කාර්යාල 294, තැපැල් කාර්යාල 680, රජයේ නිළධාරින්ගේ නිවාස සහ කාර්යාල, රජයේ කර්මාන්තශාලා, විදුලිය බෙදාහරින ස්ථාන 132, ගොවිජන සේවා කාර්යාල 103 ඇතුළු රජයේ පොදු දේපල රැුසක් ගිනිතබා විනාශ කළේය. දිගන සහ මරඳගහමුල මහජන බැංකු ඇතුළු රජයේ ප‍්‍රධාන සහ ග‍්‍රාමීය බැංකු 40කට කඩා වැදී මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකා තිබිණි. නිවැරදි දැක්මක් හෝ තර්කානුකූල භාවයකින් තොරව ජනතාවට සේවා සපයන ආයතන විනාශ කිරීම මගින් ජවිපෙ විනාශකාරි බලවේගයක් බව ජනතාවට ඒත්තු ගියේය.

රෝහණ විජේවීර විසින්ම පොළොව කොටා, පස පෙරළා, බිජු වපුරා අරඹණු ලැබූ ජනතා විමුක්ති පෙරමුණ ගමන් කළේ විජේවිරගේ දෘෂ්ඨිය සහ දේශපාලනය තුළය. බලය ලබාගැනීමට ජවිපෙ යෙදූ උපක‍්‍රම සහ එල්බගත් උපායන්ගේ ප‍්‍රශස්ථ භාවය පිළිබදව විවිධාකාර මතභේද තිබුණද විප්ලවීය ජිව ගුණයෙන් ජීවිත පරිත්‍යාග කල දස දහස් ගණනක් ජවිපෙ තුළ සිටි බව පිළිගත යුතුය.

අනුර කුමාර දිසානායක ජවිපෙ නායකයා වශයෙන් පත්වූයේ 2014 පෙබරවාරි 2වැනිදාය. එයට පෙර ආරම්භයේ සිට ඒ දක්වා ජවිපෙ නායකයින් වූයේ රෝහණ විජේවීර, සමන් පියසිරි ප‍්‍රනාන්දු, ලලිත් විජේරත්න සහ සෝමවංශ අමරසිංහය. ඉකුත් අපේ‍්‍රල් මස ජවිපෙ සාමාජිකත්වයෙන් ඉවත්වූ පසු සෝමවංශ අමරසිංහ බරපතල චෝදනා ජවිපෙට එල්ල කළේය. එමෙන්ම අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂද ජවිපෙට රුපියල් ලක්ෂ 25ක් දුන්බව වරෙක කියා සිටියේය. මෙවැනි කරුණු කාරනා රැසක් නිසා ජවිපෙ නායකත්වය සහ එජාපය අතර ඇති ආලයේ තරම රටට නොතේරෙනවා නොවේ.

ජවිපෙ නායක රෝහණ විජේවීර මරා දමන තුරුම විවෘතව සභාග දේශපාලනය තුළ ආත්මය ජරාජීරණය කර නොගත්තද එජාප ආණ්ඩු සමග හොර රහසේ දීගකෑ බවටද චෝදනා විය. ශ‍්‍රිලනිප ගමනක අවසානය මැයින් රෝහණ විජේවීර විසින් රටපුරා දේශන මාලාවක්ද පවත්වන ලදී. එමෙන්ම 1988 දෙසැම්බර් 19 පැවති ජනාධිපතිවරණය අවි බලයෙන් වර්ජනය කිරීමේ අවසාන ප‍්‍රතිඵලය වූයේ ශ‍්‍රිලනිප නායිකා සිරිමා බණ්ඩාරනායක පරාජයට පත්වී එජාප නායක රණසිංහ පේ‍්‍රමදාස මහතා ජනාධිපති වශයෙන් පත්වීමට පාර කැපිණි. එය උපාය මාර්ගයන් අනුව එයට අනුරූපීව කරන ලද උපක‍්‍රමික ක‍්‍රියාවක් බව කීවද අවසානයේ සිදුවූයේ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා 1989 ජනවාරි 2වැනිදා දිවුරුම්දී වසරක් යන්නට මත්තෙන් ජවිපෙ නායකත්වය සමගින්ම මහා බිහිසුණු තරුණ සංහාරයක් සිදුවීමය.

ජවිපෙ හිටපු නායක සෝමවංශ පවසන පරිදි අලියාගේ බෙල්ලේ දැන් සීනුව ගැටගසා ඇත. එබැවින් යළි රනිල් වික‍්‍රමසිංහ අගමැති කිරීමට එජාපයට පාර කැපීමට ජවිපෙ මෙවර මහා මැතිවරණය කැපකර ඇත. එය 1988 දෙසැම්බර් ශ‍්‍රිලනිප සංවිධායකවරුන් සහ ආධාරකරුවන් සිය ගණනක් මරා දමමින් එජාපයේ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපති කලා හා සමානය. එදා 1988 ජනපතිවරණ මැතිවරණයේදී දේශපාලන ඝාතන පමණක් 681ක් සිදුවී තිබිණි. මෙදා මහ මැතිවරණයේදී සන්ධානයේ මෙහෙයුම් නායක මහින්ද රාජපක්ෂ ඇතුළු සන්ධාන මැතිවරණ අපේක්ෂකයින් රැසකට හොරා හොරා යැයි චෝදනා නගමින් ජවිපෙ සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ලබයි.

ජවිපෙ අපේක්ෂකයින් බහුතරයක්ම වාගේ උපාධිධාරින් වන අතර ඔවුන් අතර හොරුන් නැතැයි ජවිපෙ පෙන්වා දේ. ජවිපෙ අපේක්ෂකයින් අතර ගස් බදින අයද, එතනෝල් ආනයනය කරන අයද හොරකම් කරන අයද නැති බව සත්‍යයක් වන්නට ඇත. එහෙත් අත්පා කපා පුද්ගලයින් ඝාතනය කල අය, සිරකඳවරු වලින් පැනගිය අය, බැංකුවලට ප‍්‍රහාර එල්ලකර රත්තරන් පැහැරගත් අය, බෝම්බ ගැසීමෙන් ඇගිලි අහිමිවූ අය, ගෝනි බිල්ලන් බවට පත්වී කැරළිකරුවන් ආරක්ෂක අංශවලට පාවාදුන් අය ඇති බවට ජනතාව චෝදනා කරන්නේ නිස්කාරනේ නොවේ.

ජවිපෙ එදා චන්ද්‍රීකා ආණ්ඩුවේ ඇමතිකම් 2004 අපේ‍්‍රල් සිට දැරුවේ වසර 2කට ආසන්න කාලයකි. අනුර කුමාර, ලාල් කාන්ත, විජිත හේරත්, චන්ද්‍රසේන එදා චන්ද්‍රීකා ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු විය. හදුන්නෙත්ති, විද්‍යාරත්න, නිහාල් ගලප්පත්ති, බිමල් රත්නායක එම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරුන් විය. පාර්ලිමේන්තුවට ජවිපෙ මන්ත‍්‍රීවරුන් 39 දෙනෙක් පත්වී සිටියේය. රටේ වැදගත්ම කෘෂිකර්ම, සංස්කෘතික, කුඩා කර්මාන්ත, ධීවර ඇමතිකම් ජවිපෙට ලැබුණද ඔවුනට ආකාර්ෂණීය සටන් පාඨ වෙනුවට ප‍්‍රායෝගික වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම, හැකියාව සහ නිපුණත්වය තිබුණේ නැත. ඒවා ක‍්‍රියාත්මක කිරීමට ජීව ගුණයක්ද නොවීය. අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමතිවරයා ආරම්භකල වැවි දස දහසක් රොන්මඩ ඉවත්කර ප‍්‍රතිසංස්කරණය කරනවායි කීවද අවසානයේ එසේ කල කිසිම වැවක් මිහිපිට දැක ගැනීමට නොහැකි විය. ලාල් කාන්ත කුඩා කර්මාන්ත ඇමතිවරයා ඇරඹූ ගුරු පැහැයෙන් රත් පැහැයට පාරම්පරික ස්වයංරැකියා ප‍්‍රවර්ධන වැඩ පිළිවෙල යටතේ ඇරඹූ සම්ප‍්‍රදායික ව්‍යාපාරයක් සෙවීම කළුනික සොයන්නා වැනිය. සුනිල් හදුන්නෙත්ති නියෝජ්‍ය ඇමතිවරයා පමණක් අමාත්‍යාංශයේ කැන්ටිමෙන් බත් එකක් මිලදී ගෙන එහිම සේවකයින් සමග පොදු ආපන ශාලාවේ වාඩි වී එකට අනුභව කිරීමෙන් මාධ්‍ය ප‍්‍රචාරයක් ලබා ලබාගැනීමට සමත් විය.

ධනපති ක‍්‍රමය යටතේ ආර්ථික අර්බුදයට විසදුම් නැතැයි ඇමතිකම් 4ක් සහ ඒවායේම නියෝජ්‍ය ඇමතිකම් 4ක් ලබාගත් ජවිපෙ රටට කියා සිටියේය. ජවිපෙ ඇමතිකම් ලබාගත්තද ජනතාවට වගකීමේ සහ වගවීමේ ඔවුන්ගේ නොහැකියාව මොනවට පැහැදිලි විය. අභියෝග වලට මුහුණ දීමට නොහැකිව ජවිපෙ සිටියදි ඔවුන්ගේ වාසනාවට සුනාමි සහන මණ්ඩල පනත 2005 ජුලි මස පාර්ලිමේන්තුවට ආවේය. ජවිපෙ ඇමතිවරු 4 සහ නියෝජ්‍ය ඇමතිවරු 4 එයට විරෝධය පා ඇමතිකම්වලින් අස්වී යන්තම් පක්ෂයේ ජාම බේරා ගත්තේය.
වසර 2000 ජවිපෙ පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කළේය. ජාතික ප‍්‍රශ්න විසදීමේ ප‍්‍රකාශනයක් 2013දී නිකුත් කළේය. ඉකුත් පළාත් සභා මැතිවරණය පැවති 2014දී අපේ දැක්ම මැයින් සම්මුතියක් එළි දැකීය. මෙවර 2015 අගෝස්තු 17 මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති හෘද සාක්ෂියේ සම්මුතියද අළුත් බෝතලයක පරණ වයින් දැමීමක් පමණි. කාලයෙන් කාලයට තාලේ වෙනස්ය. ජවිපෙ මැතිවරණ වලට ඉදිරිපත් කරන සම්මුති ඕනෑම තැනකට සරිලන සේ ඇඹිය හැකි මැටි ගුලියකි. වසර 1988 දෙසැම්බර් ජනාධිපතිවරණයේදී සහ 1989 පෙබරවාරි මස මහා මැතිවරණයේදී ජවිපෙ සිදුකළේ ශ‍්‍රීලනිපයට ප‍්‍රහාර එල්ල කර එජාපය බලයට පත්කිරීමය. ඉකුත් ජනවාරි 8වැනිදා සිදුකළේද අගෝස්තු 17වැනිදා සිදුකරන්නට යන්නේද එම ක‍්‍රියාවලියේම දිගුවක්ය. ජාතික විමුක්ති අරගලය හරහා මෙවර ජවිපෙ සමාජවාදයට යන්නට හදන්නේ මීලග අගමැති ලෙස රනිල් වික‍්‍රමසිංහ පත්කර ගැනීමෙනි. එජාපය බුදුකර සෝවාන්වීම ජවිපෙ අරමුණ බව පැහැදිලිය. මහින්ද සුළඟ හමුවේ ජවිපෙ"හෘද සාක්‍ෂියේ"අඩහැරය හිරු දුටු පිනි මෙන් වියැකී යනු ඇත.

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions