8/29/2015

ජාතික ආණ්‌ඩුව ගැන බරපතළ විවේචනයක්‌...

කතෘ:යුතුකම     8/29/2015   No comments



-සණස සරසවියේ කළමනාකරණ සහ මූල්‍යනය පීඨයේ පීඨාධිපති 
සුමනසිරි ලියනගේ

රටක්‌ ජාතික ආණ්‌ඩුවක්‌ ඇති කරගන්නේ බොහෝ විට එම රට බරපතළ අර්බුදයකට පත්වූ අවස්‌ථාවකදී ය. නමුත් ශ්‍රීලනිපයත් එජාපයත් පසුගියදා අත්සන් කළ ජාතික ආණ්‌ඩුව සම්බන්ධ අවබෝධතා ගිවිසුම දුර්වල වූ රට ඉන් ගොඩගැනීම සඳහා නොව දුර්වල වූ ආණ්‌ඩුව යළි ගොඩනගාගැනීම සඳහා දියත් කළ උපාය මාර්ගයක්‌ ලෙස හඳුන්වන සණස සරසවියේ කළමනාකරණ සහ මූල්‍යනය පීඨයේ පීඨාධිපති සුමනසිරි ලියනගේ ශ්‍රී ලංකාව අද මුහුණදෙමින් සිටින බරපතළ ගැටලු සඳහා ජාතික ආණ්‌ඩුව විසඳුමක්‌ද යන්න පිළිබඳ  සිදුකළ සාකච්ඡාවකි මේ.

ශ්‍රීලනිපයත් එජාපයත් එක්‌ව පිහිටුවා ගැනීමට යෝජිත මේ ජාතික ආණ්‌ඩුවේ අරමුණ ඔබ දකින්නේ කොහොමද?

ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීම සඳහා අපේ රටේ ප්‍රධාන පක්‌ෂ දෙක අවබෝධතා ගිවිසුමක්‌ ඇතිකරගෙන තිබෙනවා. එම ගිවිසුමට අත්සන් කර තිබෙන්නේ එක්‌සත් ජාතික පෙරමුණ සහ එක්‌සත් ජාතික සන්ධානය නෙමෙයි, ප්‍රධාන පක්‌ෂ දෙකයි. 

එම අවබෝධතා ගිවිසුම අරගෙන බැලුවොත් එහි අඩංගු කරුණු එකක්‌වත් මේ රට විශාල ව්‍යසනයකින් ගොඩගැනීම සඳහා ඉතාමත් හදිසියෙන් ක්‍රියාත්මක කළ යුතු කරුණු නෙමෙයි. ඒවා සාමාන්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයක අඩංගු වන කරුණු. රටක ජාතික ආණ්‌ඩුවක්‌ පිළිබඳ සංකල්පයක්‌ මතුවෙන්නේ යුද්ධයකින් හෝ ස්‌වාභාවික ව්‍යසනයක්‌ වැනි විපතකින් එම රට බැරෑරුම් අවස්‌ථාවකට මුහුණු දී ඇති විටකදීයි. එවැනි අවස්‌ථාවකදියි සමස්‌ත ජාතියම එකතු වී ජාතිය යළි ගොඩනැඟීමේ උත්සාහයක්‌ ගන්නෙ. එනම් පක්‌ෂ විසින් රටක ජාතික ආණ්‌ඩුවක්‌ ගොඩනඟාගන්නෙ රට දුර්වලව තිබෙන අවස්‌ථාවක එම දුර්වල බවෙන් රට ගොඩගන්නයි. නමුත් ශ්‍රීලනිප එජාප මේ ජාතික ආණ්‌ඩුවේ අරමුණ හැටියට මට නම් පෙනෙන්නෙ දුර්වල ආණ්‌ඩුව ගොඩගැනීමේ අරමුණෙන් පිහිටුවා ගත් එකක්‌ හැටියටයි. දේශපාලනඥයන් තම තමන්ගේ උවමනාවන්ට ජාතික ආණ්‌ඩුව කියන වචනය මෙයට පාවිච්චි කළාට මෙය ජාතික ආණ්‌ඩුවක්‌ ලෙස හැඳින්වීමත් නිවැරදි නොවන බව මගේ අදහසයි.

ශ්‍රීලනිප එජාප මේ එකමුතුව ජාතික ආණ්‌ඩුවක්‌ ලෙස හැඳින්වීම නිවැරදි නොවේ යෑයි ඔබ කියන්නේ ඇයි?

දෙමළ ජාතික සන්ධානයත් දකුණේ පක්‌ෂත් අතර ගිවිසුමක්‌ හැටියට එය තිබුණා නම් මෙය යම් ආකාරයකට ජාතික ආණ්‌ඩුවක්‌ වන්නට ඉඩ තිබුණා. වසර පනහක හැටක සිට අපේ රටේ පවතින ප්‍රශ්නයක්‌ විසඳා ගැනීමේ එකඟත්වයකට ඒම මෙහි අරමුණ වුණා නම් එහි කිසියම් තේරුමක්‌ තිබෙනවා. මේ ප්‍රයත්නය තුළ එහෙම දෙයකුත් පෙනෙන්නට නෑ. එමනිසා මෙය ජාතික ආණ්‌ඩුවකට වඩා සභාග ආණ්‌ඩුවක්‌ ලෙස හැඳින්වීම වඩාත් සුදුසුයි.

මේ ජාතික ආණ්‌ඩුව හරහා ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු විය හැක්‌කේ කෙබඳු වැඩපිළිවෙළක්‌ද?

පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට සංවර්ධනය කිරීම සඳහා දිස්‌ත්‍රික්‌ පදනම් වූ සංවර්ධන කොමිටි ගොඩනැඟීමේ අදහසක්‌ ඉදිරිපත් කර තිබුණා. එය යහ පාලනයක්‌ සඳහා වූ එක්‌සත් ජාතික පෙරමුණ මැතිවරණ සමයේ ඉදිරිපත් කර තිබුණු ආර්ථික කලාප පිළිබඳ අදහසට වඩා වෙනස්‌ අදහසක්‌. ඉදිරි දෙවසරක ජාතික ආණ්‌ඩු කාලය තුළ ක්‍රියාත්මක වෙන්නෙ එක්‌සත් ජාතික පෙරමුණේ ආර්ථික කලාප වැඩපිළිවෙළද නොඑසේනම් ශ්‍රීලනිප වැඩ පිළිවෙළද එසේත් නැත්නම් සම්පූර්ණයෙන්ම යළි සකස්‌ කළ වැඩපිළිවෙළක්‌ද කියන ප්‍රශ්නය මතුවෙනව.

ශ්‍රීලනිපයට ජනතාව ලබාදුන් ජනවරම ජාතික ආණ්‌ඩු සංකල්පයට පටහැනි බව මේවන විටත් ඇතැමුන් ප්‍රකාශ කර ඇති මතයක්‌. එසේම පැරදුණු අපේක්‌ෂකයන් ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීම සම්බන්ධයෙනුත් මේ වනවිට බරපතළ විවේචන මතුවී තිබෙනවා?

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට ලක්‌ෂ 50 කට ආසන්න පිරිසක්‌ ඡන්දය ප්‍රකාශ කර තිබෙනව. එනම් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ඉදිරිපත් කළ වැඩපිළිවෙළ වටා ලක්‌ෂ 50 කට ආසන්න ජනතාවක්‌ ඉන්නව. මේ පිරිස එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඈත්කිරීම මේ ජාතික ආණ්‌ඩුව පිහිටුවීමේ එක්‌ මූලෝපායක්‌. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය හා සම්බන්ධ අනෙකුත් පක්‌ෂ දෙසත් බලන විට මේ සන්ධානය දැන් වසර 20 කට ආසන්න කාලයක සිට පැවතිලා තිබෙනව. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය කියන්නෙ දැන් අපේ රටේ ස්‌ථාපිත දේශපාලන ඒකකයක්‌. මේ ජාතික ආණ්‌ඩුව ඒ ස්‌ථාපිත දේශපාලන ඒකකයට ජනතාව ලබාදුන් ජනවරම අහිමි කිරීමේ ප්‍රයත්නයක්‌ හැටියට හඳුන්වන්නත් පුළුවන්. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය මේ අවබෝධතා ගිවිසුමට අත්සන් කළත් එය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නෙමෙයි. මෙතන නෛතික ප්‍රශ්නයක්‌ තිබෙනවා. ඡන්දයට ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන් පෙනී හිටියත් ඡන්දයේ නිල සහභාගිත්වය දැරුවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයයි. එම සන්ධානයේ අදහස්‌ නොවිමසා ජාතික ආණ්‌ඩුවක්‌ පිළිබඳ නිගමනයකට යැම ශ්‍රීලනිපයේ දඩබ්බර තීරණයක්‌.

ඊළඟට මෙම මැතිවරණයේදී පැරදුණු අපේක්‌ෂකයන් ජාතික ලැයිස්‌තුවෙන් යළි පාර්ලිමේන්තුවට ගෙන ඒම තුළත් කිසියම් ආකාරයක ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්‌වභාවයක්‌ තියෙනව. ඊටත් වඩා මේ ක්‍රියාදාමය තුළ අයහපත් පූර්වාදර්ශයක්‌ තිබෙනවා. මෙතෙක්‌ මේ රටේ සිටි සෑම ජනාධිපතිවරයෙක්‌ම පාහේ තමන්ට හිමි විධායක බලතල යොදාගෙන විපක්‌ෂය අවුල් කිරීමට නොයෙක්‌ උපාය මාර්ගයන් යෙදුවා. ආණ්‌ඩු පක්‌ෂයත් විපක්‌ෂයත් යන දෙකම ජනාධිපති යටතේ තිබෙන්නා වූ අවයවයන් හැටියට පත් කරගෙන වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ උපාය මාර්ගවලට අලුත් විචල්‍යයක්‌ එකතු කර තිබෙනවා. මෙයට පෙර අපේ රටේ කිසිදු ජනාධිපතිවරයකු සිදු කර නෑ. මෙය ඉතාමත් අයහපත් පූර්වාදර්ශයක්‌ බවයි, මගේ අදහස.

විදේශ ණය බර සමග උග්‍රවෙමින් එන ආර්ථික ප්‍රශ්නය, ජිනීවා මානව හිමිකම් සමුළුව හරහා මුහුණ දීමට සිදුව ඇති ගැටලුව වැනි අද අපේ රටට මුහුණ දීමට සිදුව ඇති බරපතළ ප්‍රශ්න සඳහා ජාතික ආණ්‌ඩුව තුළින් විසඳුම් මාර්ගයක්‌ තනාගත හැකි වෙයිද?

ජීනීවා ප්‍රශ්නය කවරාකාරයකින් මතුවෙයිද යන්න පිළිබඳ තවමත් නිශ්චිතව යමක්‌ කිව නොහැකි නමුත් එක්‌සත් ජාතික පෙරමුණේ ආණ්‌ඩුවක්‌ බලයට පත්වීමත් සමගම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විශාල තල්ලුවක්‌ දැමීම සඳහා බටහිර රටවල් කිසියම් ආකාරයක දියාරු ක්‍රියාමාර්ගයකට යැමට ඉඩ තියෙනව. ආසියාව සම්බන්ධ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය නීෂා බිස්‌වාල්ගේ පැමිණීම තුළින් පවා පෙනෙන්නේ මේ ප්‍රශ්නය අද බටහිර රටවලට දේශපාලනයක්‌ වී ඇති ආකාරයයි. දෙමළ ජනතාවට සිදුවී ඇතැයි කියන අසාධාරණයක්‌ වෙනුවෙන් පෙනී සිටීමට වඩා බටහිර රටවලට මෙය අද ලෝක දේශපාලනයේ ශ්‍රී ලංකාව සිටින තැන වෙනස්‌ කිරීමේ උපාය මාර්ගයක්‌. දෙමළ ජනතාවට යම් සහන ලබාදීම සඳහා මැදිහත් වෙන සංවිධානත් මේ අතර සිටින බව ඇත්ත. නමුත් ඇමරිකාවටත්, එංගලන්තයටත්, යුරෝපා සංගමයටත් මේ ප්‍රශ්නය අද තමන්ගේ ලෝක දේශපාලනයේ ශ්‍රී ලංකාව කෙසේ හැසිරිය යුතුද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් තිබෙන්නා වූ උත්සාහයක්‌. කිසියම් ප්‍රමාණයකට ඉන්දියාවේත් තත්ත්වය ඒකයි. අපේ රටේ ජාතික ආණ්‌ඩුවක්‌ ඇති කළාට ලෝක දේශපාලනය තුළ ඒ තත්ත්වයේ විශාල වෙනසක්‌ ඇතිවේ යෑයි සිතන්න බෑ.

ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ සහ එජාපයේ වැඩපිළිවෙළ දෙස බලන විට ඒවා ඉතාමත් තද නව ලිබරල්වාදී වැඩසටහන්. දෙපාර්ශවයේම වැඩසටහන් තුළ තිබෙන්නේ වෙළෙඳපොළෙන් සියල්ල කළ හැකිය යන අදහසයි. නව ආණ්‌ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ පසුගිය ආණ්‌ඩුවේ නව ලිබරල්වාදී වැඩපිළිවෙළටත් වඩා එහාට ගිය වැඩපිළිවෙළක්‌. එහිදී ඇතිවන ප්‍රධාන කාරණයක්‌ නම් ජලය වැනි සම්පත් වෙළෙඳපොළට ගෙන ඒම, අධ්‍යාපනය හා සෞඛ්‍යය තවදුරටත් වෙළෙඳපොළකරණය පමණක්‌ නෙමෙයි. ස්‌ථිර රැකියා නමැති සංකල්පය නැතිවීම වැනි දේ. මේ කරුණු මත රැඳෙමින් කිසියම් පුරෝකථනයක්‌ කළහොත් ජාතික ආණ්‌ඩුවක්‌ පත්වීම විශේෂයෙන් සමාජයේ පහළ ස්‌ථරයේ ජනතාවට බරපතළ ආකාරයේ පීඩනයන්ට මුහුණදීමට සිදුවිය හැකි බව පෙනේ. උදාහරණයක්‌ විදිහට අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් එක්‌සත් ජාතික පෙරමුණේ යෝජනාව දෙස බලන විට එහි තිබෙන්නේ අර්ථසාධක අරමුදලේ ඇති සේවකයන්ගේ සියලු මුදල් පුද්ගලික ප්‍රාග්ධනය බවට පත් කිරීමේ උත්සාහයකුයි. එවැනි වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වුණොත් එය සමාජයේ පහළ ස්‌ථරයේ පුද්ගලයින්ට විශාල ප්‍රශ්නයක්‌. එබඳු උත්සාහයන් හරහා රොෂාන් - චානකලා යළි බිහිවීමේ ප්‍රවණතාවක්‌ ඇති වෙන්න පුළුවන්.

-දිවයින
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions