
රුහුණු දනව්වේ ගිරුවාපත්තුව ජාතියට පිංවත් දරුවන් දායාද කළ පෙදෙසෙකි. එහි ඕමාරේ නම් වූ සොඳුරු ගම්පියසෙහි ජනිත වූ ඕමාරේ කස්‌සප හිමි දශක හතරකට ආසන්න කාලයක් තිස්‌සේ සම්බුදු සසුනත් සිංහල රට හා සිංහල ජාතියත් වෙනුවෙන් ශ්‍රද්ධා භක්‌තියෙන් හා දේශ ප්‍රේමීත්වයෙන් යුතුව කැප වී ක්‍රියා කළ බුද්ධ පුත්‍රයාණන් කෙනෙකි. දුටුගැමුණු යන නම ප්‍රසිද්ධියේ කීමට පවා තහංචි පැනවුණු 77-94 වකවානුවෙහි ආරම්භයේදීම එංගලන්තයේ සිට මව් බිමට පැමිණ සිංහල බලවේගය හා සිංහල බල මණ්‌ඩලය පිsහිටුවා ජාතියට පණ පෙවූ ගාමිණී කීර්තිචන්ද්‍රයන් සමග එක්‌වී ක්‍රියා කළ භික්‍ෂූන් වහන්සේ අතර කස්‌සප හිමියන්ද එක් නමකි. දේශපාලනමය හා වෙනත් අභියෝගයන් හමුවෙහි උන්වහන්සේ අභීතව ක්‍රියාත්මක වුණේ සම්බුදු සසුනත් සිංහල ජාතිය හා මව්බිමත් පිළිබඳ වූ උදාර හැඟීමෙන් යුතුවයි. භික්‍ෂූන් වහන්සේට ජාතිය විසින්ම ජාතියේ මුරදෙවි යන නම පිරිනමනු ලැබුවේ මෙවන් හිමිවරුන් නිසාම යෑයි අපට සිතාගත හැකිය.
එවන් මගකට පිවිසීමට උන්වහන්සේට ප්‍රතිෂ්ඨාධාර වූයේ පෙර පින් මහිමය, මව්පිය උරුමය මෙන්ම සිය ගුරුවරයාණන් වූ ගතාරේ ශ්‍රී සුගතපාලාභිධාන නාහිමිපාණන් බව පැහැදිළි කරුණකි. පිරිවෙන් අධ්‍යාපනය නිමකර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද ලබා ශාස්‌ත්‍රවේදී ශාස්‌ත්‍රපති උපාධි ද ලැබූ උන්වහන්සේ අසාධාරණය හමුවෙහි කේශර සිංහ රාජයකු මෙන් ක්‍රියා කළද අවැසි තැන වෙඬරු පිඬක් මෙන් උණුවන හදවතක් හිමි තෙරනමක් වෙති. ගතාරේ ශ්‍රී සුගතපාලාභිධාන නාහිමිපාණන්ගේ මහා ශක්‌තියෙන් බැබලුණු කඹුරුපිටියේ විද්‍යානිකේත පිරිවෙන මෙන්ම එම විද්‍යාලය ද වඩාත් ප්‍රභාමත් වූයේ කස්‌සප හිමිපාණන් නිසාය. එවන් මහඟු කාර්යයකට අවශ්‍ය දැනුම කුසලතාව මෙන්ම කළමනාකාරීත්වයද උන්වහන්සේ තුළ මැනවින් පිහිටා ඇත. තමන් වහන්සේගේ පිරිවෙන පමණක් නොව ශ්‍රී ලංකාවේ සියලුම පිරිවෙන් මැනවින් පවත්වා ගෙන යැමෙහිලා සමස්‌ත ලංකා පිරිවෙන් ගුරු සංගමයේ ලේකම් ධුරය දරමින් උන්වහන්සේ කළ මෙහෙවර අතිශයින්ම අගය කළ යුතුය.
ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වය ඇරඹීමේ පටන් ඒ වෙනුවෙන් වැඩිපුරම කැපවී ක්‍රියා කළේ ඕමාරේ කස්‌සප හිමියන් යෑයි කිවහොත් එය අතිශයෝක්‌තියක් නොවේ. එම පාර්ශ්වයේ කාරක සභිකයකු වශයෙන්ද පසුව මහ ලේඛකාධිකාරි වශයෙන් ද ක්‍රියාකළ උන්වහන්සේට අනුනායක පදවිය පිරිනැමුණේද ඒ මහා කැපවීම නිසාමය. ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපසම්පදාව ලබන තරුණ භික්‍ෂූන් වහන්සේලා තුළ සැදැහැබැතිය මෙන්ම ධර්ම විනය දැනුමද වර්ධනය කෙරෙන ලෙසින් උපසම්පදාවට පෙර පුහුණු සැසි පවත්වා තමන් වහන්සේගේ සංඝ සභාවට අයත් භික්‍ෂූන් වහන්සේලා සංඝ සෝභන ගුණයෙන් යුතු අය බවට පත්කිරීමට කස්‌සප හිමියෝ මහත් වැර වෑයමක් දැරූහ. උන්වහන්සේ පිරිවෙනේ හෝ පාසලේ ඉගැන්නුවද උත්සව සභාවක දේශනයක් කළද ධර්ම දේශනයක් කළද ඒ හැම විටෙකම අසා සිටින අයට වැදගත්ම පණිවුඩයක් ලබාදීමට සමත් වූහ. සිල්වත් ගුණවත් මෙන්ම හරවත් පැවිදි ගිහි පිරිසක් බිහිකරලීම උන්වහන්සේගේ අභිප්‍රායයි.
ආධ්‍යාත්මික දියුණුව සලසා ගනිමින්ම රට දැය සමය ගැනද සිතා ක්‍රියාකිරීම අතීතයේ සිටම සිංහල භික්‍ෂූන් වහන්සේගේ පිළිවෙත විය. ඉංග්‍රීසීන්ගේ කූට උපක්‍රම නිසා ඇතැම් භික්‍ෂූන් පන්සලේ හෝ පිරිවෙනේ මුරකරුවන් සේ ක්‍රියාකළද එසේ නොවන සෑබෑ ජාතියේ මුර දේවතාවුන් ලෙස ක්‍රියාකරන භික්‍ෂූන්ගෙන් අදත් සඟ සසුන හිස්‌වී නැත. කස්‌සප හිමියන්ගේ සුවිශේෂී ලක්‍ෂණය වනුයේ තමනුත් ඒ තැන සිටිමින් තවත් විශාල පිරිසක් ඒ තැනට යොමු කිරීමට ක්‍රියා කිරීමයි. උන්වහන්සේ ජාතික ව්‍යාපාරයේ පෙරමුණේ මිස පිටුපස සිටියේ නැත. ජාතියට රටට, සසුනට අනතුරක් වේයෑයි සිතුණු හැම විටකම ඒ අනතුර වළකාලීමට උන්වහන්සේ නොබියව ඉදිරිපත් වූහ.
1985 ඇරඹි දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ආරම්භක සාමාජිකයකු වූ උන්වහන්සේ පසුව රුහුණුරට භික්‍ෂු පෙරමුණ පිහිටුවා එහි ලේකම් වශයෙන්ද සභාපති වශයෙන්ද ක්‍රියාකරමින් භික්‍ෂූවකගෙන් රටට දැයට ඉටුවිය යුතු යුතුකම් නොවළහා ඉටුකිරීමට ක්‍රියා කළහ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන සමයෙහි රට බෙදීමට ගෙනා අණපනත් පරාජය කිරීමට උන්වහන්සේ පෙරමුණ ගත්හ. දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ හා අනෙකුත් ජාතික සංවිධානවලද සහයෝගය ලබාගෙන ඕමාරේ කස්‌සප හිමියන් මූලික වී දියත් කළ වැඩපිළිවෙළ මෙරට ජාතික ව්‍යාපාරයට මහා ශක්‌තියක් විය. කළුතර සිට කතරගම දක්‌වා පා ගමනක්‌ද කැලණියේ සිට කිරින්ද දක්‌වා ගොඩබිමින් වාහනවලින් සහ මුහුදේ බෝට්‌ටුවලින්ද මග දෙපස ජනතාව ද දැනුවත් කරමින් දියත් කළ මහා චාරිකා දෙකම රටත් ජාතියත් වෙනුවෙන් අතිශයින්ම වැදගත් වූ සංසිද්ධීන් ලෙස ඉතිහාසයේ සටහන් වී හමාරය. මෙම ගමන්වල ප්‍රතිඵලය වූයේ කොටින්ට වාසි වන ලෙසින් හා රට බෙදීයන ලෙසින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගෙන ඒමට උත්සාහ කළ පැකේජය ඇතුළු බෙදුම්වාදී වැඩපිළිවෙළවල් පරාජය වීමයි. මෙවන් ජාතික ව්‍යාපාරවලට නායකත්වය දීමට උන්වහන්සේට සිත් පහළ වූයේ මෙරට සිංහල භික්‍ෂුවගේ කාර්යභාරය කුමක්‌දැයි හොඳින් දැන සිටි නිසයි.
මෙරට ඉතිහාසය නිවැරැදිව ලියතොත් කෝට්‌ටේ යුගයේ හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව රට එක්‌සේසත් කළ නායකයා ලෙස සටහන් කළ යුත්තේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාය. එතුමාට වෙන කවරදාටත් වඩා ප්‍රබල අභියෝග රාශියකට මුහුණදීමට සිදුවිය. කොටි ත්‍රස්‌තවාදයට පක්‍ෂපාතී වූවා සේම ඊට සහාය දුන් බොහෝ රටවල් හා ඉන්දියාවද බෙදුම්වාදයට පක්‍ෂව ක්‍රියාකළ දැනුදු ක්‍රියාකරන මෙරට දේශපාලකයන් හා රාජ්‍ය නොවන සංවිධාන ද ත්‍රස්‌තවාදය මර්දනය කර රට රැක ගැනීමට බාධා පමුණුවද්දී ඒ සියල්ලන්ට මුහුණ දී ත්‍රස්‌තවාදය නිමා කරලීමට එතුමන්ට සහාය වූ භික්‍ෂූන් වහන්සේ අතර ඕමාරේ කස්‌සප හිමියන් ප්‍රමුඛ පෙළේ කෙනෙකි. 2005 ජනාධිපතිවරණය හා 2010 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට මෙන්ම උතුර හා නැගෙනහිර සටන්වැදුණු රණවිරුවන් හා අසරණ ගම්වැසියන් දිරිමත් කිරීමටද උන්වහන්සේ නොබියව ඉදිරිපත්ව ක්‍රියාකළහ.
ඒ සියලු දුෂ්කරතාවන් පසුකොට පැමිණි උන්වහන්සේ දැන් ශ්‍රී රෝහණ සංඝ සභාවේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ මහතෙර නමකි. එම නායක පදවිය සංඝ සභාවට ආලෝකයක් වනු මිස උන්වහන්සේට එම පදවිය ආලෝකයක් හෝ ආභරණයක් ද නොවන බව අපේ හැඟීමයි. සැබවින්ම උන්වහන්සේ අතිශය දුෂ්කර මගක් ගෙවා මෙතැනට පැමිණි කෙනෙකි. ඇස්. මහින්ද හිමියන් පහත සඳහන් කවිය රචනා කළේ මෙවැනි අය සඳහා විය යුතුය.
වනමල් පියලි විල්ලුද බුමු තුරුණු උඩ
යන මිනිහෙකුගෙ ගමනක් නැහැ ලොවට වැඩ
ඇණ උල් තියුණු ගල් මුල්වල මුණත මැඩ
පැන යන ගමන හිතවත කොපමණද හැඩ
කස්‌සප හිමිපාණෝ මහණකම ඉතා හොඳින් සැදැහැ බැතියෙන්ම කරන කෙනෙකි. ඊට අදාළ දැනුම හා සංවරයද උන්වහන්සේ සතුව තිබේ. එහෙත් සිංහල භික්‍ෂු වංශයේ කාර්යභාරය වන රට දැය සමය සුරැකීමද උන්වහන්සේගේ මනසින් කිසි ලෙසකිනුත් බැහැර වී නොමැත.
සහන ලැබෙනතුරු ලංකා දීපයට
ගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරියට
මහණ කමත් බණ දහමත් එයයි මට
යන පැදිය තුළ ඕමාරේ කස්‌සප හිමිපාණන්ගේ ප්‍රතිරූපය මැනවින් මැවී පෙනේ. මතු මතුද ලෝ සසුනේ වැඩි වැඩියෙන් උන්වහන්සේට නිරෝගී සුව පතමි.
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
Mu pakshikayekda e kiyanne?
ReplyDelete