5/23/2015

මේ මොහොතේ පෙඩරල් බලපෑම ඉතා ප්‍රබලයි

කතෘ:යුතුකම     5/23/2015   No comments

- ආචාර්ය දයාන් ජයතිලක
ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනයේ පවතින අවිනිශ්චිත, අවුල් සහගත තත්ත්වයත්, දේශීය හා විදේශීය වශයෙන් මෙරටට එල්ල වී තිබෙන අභියෝග හා කුමන්ත්‍රණ පිළිබඳවත් විස්‌තර කරන ප්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා ශ්‍රී ලංකාවේ පෙඩරල් පාලන ක්‍රමයක්‌ ඇති කිරීමේ සැලැස්‌මක්‌ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද කියා සිටී.

'දිවයින' සමග සාකච්ඡාවකට එක්‌වෙමින් ඔහු ඒ පිළිබඳව විස්‌තර කෙළේ මෙසේය.

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වයේ අවුල් සහගත බවක්‌ පේනවා. ඔබ මෙය දකින්නේ කොහොමද?

වර්තමාන දේශපාලන තත්ත්වය මෙතෙක්‌ පැවති වකවානුවලට වඩා වෙනස්‌ වෙන්නේ මෙහි තිබෙන සංක්‍රාන්තික බව සහ අසම්මත බව නමැති කාරණා දෙක නිසයි. සංක්‍රාන්තික බව යනුවෙන් මා අදහස්‌ කරන්නේ ජනාධිපතිවරණයකින් පසු සහ පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර තිබෙන අතරමැදි කාලය සලකායි. නමුත් එපමණක්‌ නොවෙයි මෙය සංක්‍රාන්තික වීමට තවත් හේතු දෙකක්‌ තිබෙනවා. එකක්‌ 1978 ඡේ. ආර්. ජයවර්ධන ව්‍යවස්‌ථාවේ හෙවත් දෙවැනි ජනරජ ව්‍යවස්‌ථාවේ වැදගත් අංග කිහිපයක්‌ 19 වැනි සංශෝධනයෙන් ඉවත් වී තිබීම.

අනික දේශපාලනයේත් යම්කිසි සංක්‍රමණයක්‌ සිද්ධවෙලා තිබීම. අගමැති තනතුරට 1978 කාලයේ තිබූ තත්ත්වයට වඩා වැදගත් තැනක්‌ හිමි වී තිබෙන බව පෙනෙනවා. නමුත් සමහර විට පෙනෙනවාට වඩා වැදගත්කමක්‌ හිමිවී තිබෙනවා වෙන්නත් පුළුවන්.

එක්‌සත් ජාතික පක්‍ෂය පවසන ආකාරයට ඔවුන් මහජන ඡන්දයෙන් ආණ්‌ඩු බලයට පත් වුණොත් පවතින ව්‍යවස්‌ථාව සහමුලින්ම වෙනස්‌ කර අලුත්ම ව්‍යවස්‌ථාවක්‌ ගෙන එනවා. ඒ ව්‍යවස්‌ථාවේ පෙඩරල් ගුණාංග ලක්‍ෂණ තිබෙන බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ ප්‍රකාශයක්‌ තුළිනුත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉකුත් අප්‍රේල් 25 දා එස්‌. ඡේ. වී. චෙල්වනායගම් අනුස්‌මරණ දේශනයේදී කළ සඳහනකිනුත්, නව ඇමරිකානු තානාපති අතුල් කෙෂප් මහතාගේ ප්‍රකාශවලිනුත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පසුගියදා කළ පෙඩරල් ක්‍රමය ගැන සාකච්ඡා වලිනුත් අපට පෙනී යනවා. ඉතින් ඒ ආකාරයට ලංකාව ඒකීය රාජ්‍යයෙන් පිට පෙඩරල් රාජ්‍යයක්‌ කරා සංක්‍රමණය වීමේ කාලපරිච්ඡේදයකට නොදැනුවත්ව හෝ එළැඹී සිටිනවා වෙන්නත් පුළුවනි.

අවසන් වශයෙන් ලෝකය හා ලංකාව අතර තිබෙන සම්බන්ධකමත් සුවිශාල වෙනසකටත් පාත්‍රවීමේ ඉඩකඩක්‌ තිබෙනවා. ඒ මන්දයත් මංගල සමරවීර සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග පවසා තිබෙන ආකාරයට යුද්ධය අවසන් කාලයේ සිදුවුණා යෑයි කියන ඊනියා යුද අපරාධ පිළිබඳ පරීක්‍ෂණ සිදු කිරීමට දේශීය පරීක්‍ෂණයක්‌ ජුලි මාසයේ ආරම්භ කිරීමට යන අතර ඒ දේශීය යෑයි කියන පරීක්‍ෂණය තුළ ජාත්‍යන්තර සංඝටකයක්‌ හා සහයෝගයක්‌ තිබෙන බවත් ඔවුන් පවසනවා. වෙනත් ආකාරයකට කියනවා නම් දේශීය වෙස්‌මුහුණක්‌ සහිත ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ලංකා පොළොවේම පවත්වන අතර, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් කෙරුණු ජාත්‍යන්තර පරීක්‍ෂණයේ වාර්තාව අගෝස්‌තු, සැප්තැම්බර් මාසවල ඉදිරිපත් කෙරෙනවා. ඒ ජාත්‍යන්තර වාර්තාවට රජය හිස නමයිද, දණ නමයිද එසේත් නැත්නම් අදීනව හා ප්‍රඥගෝචරව එයට එරෙහිව ජාත්‍යන්තර සභාගයක්‌ ගොඩනැඟීමට කටයුතු කරයි ද යන ප්‍රශ්නත් අප හමුවේ තිබෙනවා. ඒ නිසා අතිශය වැදගත් සංක්‍රාන්තික කාලපරිච්ඡේදයක අප දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ මාස කිහිපය ගත වන බව සඳහන් කළ යුතුමයි.

එයින් පැහැදිලි වන්නේ මේ සියල්ල පසුබිමේ නිශ්චිත විදේශ බලපෑම් පවත්නා බවයි...

ඒක මා අවිවාදයෙන්ම පිළිගන්නවා. දැන් ලංකා ආණ්‌ඩුවට ඇමරිකානු තානාපති හැටියට පත්වෙලා තියෙන්නේ අතුල් කෙෂොප් මහතාය. ඔහු ඉන්දීය සම්භවයක්‌ සහිත ඇමරිකානු ජාතිකයෙක්‌. ඔහු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක්‌. ඒ මහතා ගියවර ලංකාවට පැමිණි අවස්‌ථාවේදී "ඩේලි මිරර්" පුවත්පත සමග (2014 ජුනි මාසයේදී) සම්මුඛ සාකච්ඡාවක්‌ කළා. ඒ සම්මුඛ සාකච්ඡාවේදී ලංකාව ගැන සඳහන් කරමින් ඔහු පෙඩරල් ව්‍යවස්‌ථාව කියන යෙදුම තුන් සැරයක්‌ම පාවිච්චි කර තිබුණා. ඔහු පවසා සිටියේ යුද්ධය අවසන් වී අවුරුදු 5 ක්‌ ගත වී ඇතත් රාජපක්‍ෂ ආණ්‌ඩුව ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක්‌ පිළිබඳව එක්‌සත් ජනපදය සමග සාකච්ඡා කිරීමේදී පෙඩරල් ප්‍රඥප්තියක්‌ ගැන කිසිම ඉඟියක්‌ පළ නොකළ බවයි. ලංකාවේ ජනවාර්ගික ගැටලුවට පෙඩරල් විසඳුමක්‌ අවශ්‍ය බවත් ඒ සඳහා තල්ලුවක්‌ දීම ඇමරිකා එක්‌සත් ජනපදයේ අභිලාෂය බවත් ඔහු එම සාකච්ඡාවේදී පවසා තිබුණා එම පුද්ගලයා අද ලංකාවේ ඇමරිකානු තානාපති ලෙස පත්වී සිටිනවා.

ඊටත් වඩා වැදගත් වන්නේ අපේ අසල්වැසියා වූ ඉන්දියාවේ අගමැති වන නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට පැමිණ මෙරට පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට යා යුතු බවත් පෙඩරල් ක්‍රමය ගැන තමන්ගේ විශ්වාසය තිබෙන බවත් මේ පිළිබඳව ඉන්දියාවේ පාලක පක්‍ෂය වන බී. ඡේ. පී. පක්‍ෂය තම වාර්ෂික සම්මේලනය පවත්වද්දී විදේශ ප්‍රතිපත්තිය ගැන සම්මත කරගනු ලැබූ යෝජනාවේ සඳහන් වී තිබෙන්නේ පළමුවැනි වතාවට ඉන්දීය අගමැතිවරයෙක්‌ යාපනයට ගොස්‌ 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට පෙඩරල් ක්‍රමයක්‌ ගැන ප්‍රකාශ කළ බවයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනවාර්ගික සංහිඳියාව සම්බන්ධයෙන් වර්තමාන ආණ්‌ඩුවේ මගපෙන්වන්නා හැටියට නිල වශයෙන් පත්කොට තිබේ. එස්‌. ඡේ. වී. චෙල්වනායගම් අනුස්‌මරණ දේශනයේදී එතුමිය පවසා සිටියේ ලංකාවේ ඇතිවූ ගැටලුවලට ප්‍රධාන හේතුව වන්නේ සිංහල බහුතරය ආණ්‌ඩුවේ, ආර්ථිකයේ සමාජයේ සහ නීතියේ ඒකාධිකාරයක්‌ හොබවමින් සුළුතර කණ්‌ඩායම් කොණකට තල්ලු කළ බවයි. එතුමිය එහිදී ප්‍රකාශ කළේ ඒ තත්ත්වය සහමුලින්ම වෙනස්‌ කළ යුතු බවයි.

ඉන්දියානු පුවත්පතක්‌ වන 'නිව් ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌' පුවත්පතේ කොළඹ වාර්තාකරු වන පී. කේ. බාලචන්ද්‍රන් මහතා සිය වාර්තාවේ ඒ දේශනයට දුන් සිරස්‌තලය වූයේ "සිංහල ඒකාධිකාරය හමාර කළ යුතු බව කුමාරතුංග කියයි' යන්නයි. එතුමිය ඒ කතාවේදී පැහැදිලිවම පෙඩරල් ව්‍යවස්‌ථාව යන යෙදුම භාවිත කළා. මේ සියල්ලෙන්ම අපට පෙනී යන්නේ කුමක්‌ද? ලංකාවේ පෙඩරල් ක්‍රමයක්‌ ඇති කිරීම සඳහා ඉතා පැහැදිලි බාහිර බලපෑමක්‌ සහ ඒ බාහිර කණ්‌ඩායම්වල මතය නියෝජනය කරන ප්‍රබල විදේශීය හා දේශීය දේශපාලන චරිත සිටින බවයි.

මේ බාහිර බලපෑම් සිද්ධ වන්නේ පෙඩරල් ක්‍රමයක්‌ සඳහාම නොවෙයි. ඊනියා යුද අපරාධවලට අදාළ වගකීම පිළිබඳ ප්‍රශ්නයේදී ද මෙවැනි බාහිර බලපෑම් තිබෙනවා. ඇමරිකා එක්‌සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයකු වන මැරිඩොවුස්‌කි මහතා ලංකාවට පැමිණ උතුරේ මුල්ලිවයික්‌කාල්වලට ගොස්‌ වැල්ලේ දණ ගසා මල්වඩමක්‌ තැබුවා. එය ඇමරිකානු ජනමාධ්‍යවලත් පළවුණා. නමුත් ලංකාවේ ජනමාධ්‍යවල එය පළවුණේ නැහැ. ඔහු ප්‍රකාශ කළේ යුද්ධයෙන් මියගිය සියලු දෙනා සඳහා ඇමරිකා එක්‌සත් ජනපදයේ නිල සංවේගය පළකරමින් එම මල්වඩම තැන්පත් කළ බවයි.

ඉතින් මේ බාහිර බලපෑම් වලින් ප්‍රකාශයට පත් කෙරෙන්නේ ඊනියා යුද අපරාධකරුවන් දේශීය උසාවි මගින් කෙරෙන ස්‌වීය පරීක්‍ෂණයකට නොව දේශීය මුහුණුවරක්‌ ගන්නා ජාත්‍යන්තර පරීක්‍ෂණයකට හසුකෙරෙන බවයි.

මහා ඉන්දීය පඬිවරයෙක්‌ වූ කෞටිල්‍ය හෙවත් චානක්‍යගේ අර්ථ ශාස්‌ත්‍රය නමැති පොතේ වසර දහස්‌ ගණනකට කලින් සඳහන් කර තිබුණේ ඕනෑම රටකට ප්‍රධාන අභියෝගය අනිවාර්යයෙන්ම එල්ල වන්නේ එහි දේශසීමාව අසල ඇති අසල්වැසි ප්‍රදේශයෙන් බවයි. ලංකාව සම්බන්ධයෙන් ගත්විට අනිවාර්යයෙන්ම තමිල්නාඩුව අභියෝගයක්‌ වෙයි. එය අනිවාර්යයෙන්ම ලංකා ඉතිහාසයෙන් ඔප්පු වන දෙයකි.

කෞටිල්‍ය සිය අර්ථ ශාස්‌ත්‍රය ග්‍රන්ථයේ පවසා තිබුණේ ඕනෑම රටක සැබෑ මිත්‍රයා වන්නේ තමාගේ අසල්වැසියා නොව අසල්වැසියාගේ අසල්වැසියා බවයි. ලංකාව සම්බන්ධයෙන් මෙය තහවුරු වෙනවා. ඒ චීනයයි. චීනය සමග අපට සමීප මිත්‍රත්වයක්‌ ඇතිකර ගැනීමට තවත් හේතුවක්‌ වන්නේ ලෝක ආර්ථිකයේ නැගීගෙන එන බලවතා චීනය වීමයි. අභාවයට යන බලවතා ඇමරිකා එක්‌සත් ජනපදය ඇතුළු බටහිර රටවල්ය. ඉතින් චීන සහයෝගය සහිතව ලංකා ආර්ථිකය ශක්‌තිමත් තත්ත්වයට පත්කර ගැනීම ජාතියක්‌ වශයෙන් අපට ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඒ වෙනුවට චීනය සමග සම්බන්ධකම් දුර්වල කොට ඉන්දියානු ආයෝජනය රිංගවීමට ඉඩ දීමෙන් සිද්ධ වන්නේ තමිල්නාඩුව නමැති සාධකය සහිත රටක්‌ රාජ්‍යයක්‌ වන ඉන්දියාවට වුවමනාවට වඩා ආර්ථික අවකාශයක්‌ ලංකාවේ ලබාදීමයි. 

එක්‌සත් ජාතික පක්‍ෂය පවසනවා ජුලි මාසයේ මහ මැතිවරණයක්‌ පැවැත්විය යුතු බව. මංගල සමරවීර මහතාත් පසුගිය කැබිනට්‌ රැස්‌වීමේදී මේ බව පැවසී යෑයි මාධ්‍යවල වාර්තා වුණා. ඒ ගැන ඔබේ අදහස කුමක්‌ද?

එජාපය ඉදිරිපත් කරන මත සමග සාමාන්‍යයෙන් මගේ එකඟත්වක්‌ නැහැ. නමුත් වෙනත් හේතුවක්‌ නිසා මෙතනදී ඒ මතය සමග එකඟවෙන්නට සිදුවෙනවා. මතුපිටින් බලන කොට එජාපය තවදුරටත් ආණ්‌ඩු බලයේ සිටීම එජාප විරෝධී කඳවුරට වාසියක්‌. මොකද ඉදිරියේදී ඇතිවන ආර්ථික අර්බුදයත් ජාත්‍යන්තර අපකීර්තියත් බලපාන්නේ එම පක්‍ෂයටයි. එහෙත් මෙතැනදී අප මේ ප්‍රශ්නය බැලිය යුත්තේ ඉහත කී ආකාරයෙන් නොවෙයි. ජාතික අවශ්‍යතාව පැත්තෙන් බලන විට එජාප කළමනාකරණයේ දුර්වලකම සහ චීනය සමග පවතින සම්බන්ධතා වලින් ඈත්වීම නිසා ඇති වන අර්බුදයට මුහුණදිය හැක්‌කේ සැබවින්ම මහජන ඡන්දයෙන් පත්වන අලුත් ආණ්‌ඩුවකටයි. ඒ ආණ්‌ඩුව එජාප ආණ්‌ඩුවක්‌ වෙන්නත් පුළුවන්. නැතිනම් එජාප විරෝධී සභාග ආණ්‌ඩුවක්‌ වෙන්නත් පුළුවන්.

නමුත් වඩාත් වැදගත් වන්නේ ජාත්‍යන්තර සාධකයයි. මංගල සමරවීර මහතා පවසා සිටින්නේ අගෝස්‌තුවේදී එක්‌සත් ජාතීන්ගේ යුද අපරාධ පිළිබඳ වාර්තාව ඉදිරිපත් වන බවත්, සැප්තැම්බර් මාසයේ ජිනීවා සමුළුවේදී එය සාකච්ඡා කෙරෙනු ඇති බවයි. එතැනදී ඔහු නිවැරැදියි. මන්ද ඒ ජාත්‍යන්තර පරීක්‍ෂණය හමුවේ කුමන ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කළත් ඒ ක්‍රියාමාර්ගයට මුහුණ දීමට රටේ ජනවරමක්‌ සහිත ආණ්‌ඩුවක්‌ තිබිය යුතුයි. එවැනි ආණ්‌ඩුවක්‌ ඇත්තේ නැහැ. ඉතින් මේ මහා අභියෝගවලට මුහුණ දීම සඳහා ඡන්දයෙන් තේරී පත්වූ ආණ්‌ඩුවක්‌ තිබිය යුතුමයි. ශ්‍රී ලනිපයේ සමහරු කියන්නේ වර්තමාන පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් දක්‌වා පවත්වාගෙන යැමට ජනවරමක්‌ තිබෙන බවයි. එජාපය ආණ්‌ඩු බලය හැර යන්නේ නම් ශ්‍රීලනිපය එම රික්‌තය පිරවීමට සූදානම් බවත් ඔවුන් කියනවා. නමුත් ඒක අදූරදර්ශී කතාවක්‌. මන්ද එජාපය විසින් හාරා තිබෙන වළට ශ්‍රීලනිපය පැමිණීමෙන් සිද්ධ වන්නේ, මේ වසර අග හෝ ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් ශ්‍රීලනිපය අන්ත පරාජයකට ලක්‌වීමයි. එයට වඩා හොඳ විසඳුම නම් මහ මැතිවරණයයි.

දූෂණ, වංචා ආදිය සම්බන්ධයෙන් පසුගිය ආණ්‌ඩුවේ අය අත්අඩංගුවට ගනිමින් පවතිනවා. මෙය ඔබ දකින්නේ කොහොමද?

මෙවැනි දේශපාලන දඩයම් නීතියට මුවාවී සිදු කිරීම මේ රටේ අලුත් දෙයක්‌ නොවෙයි. 1970 සමඟි පෙරමුණු ආණ්‌ඩු සමය මතක්‌ කළොත් ෆීලික්‌ස්‌ ඩයස්‌ ඇමැතිවරයා මේ නීත්‍යනුකූල දඩයම් සම්බන්ධයෙන් නම දැරූ දඩයක්‌කාරයකු වුණා. ඔහුගේ කාලයේදී අල්ලස්‌ කොමසාරිස්‌වරයා ද කඩාපැනීම් කරගෙන ගියා. විදේශ විනිමය වංචා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කිහිප දෙනකු පැජට්‌ පාරේ ස්‌ථානයක රඳවා තිබුණා. ඒ සියලු දේ වලින් එම ආණ්‌ඩුවට කිසිදු වාසියක්‌ සිදු වුණේ නැහැ. ඒ කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් පසු කලෙක ගාමිණී ෆොන්න්සේකා මහතා 'සාගරයක්‌ මැද' නමින් චිත්‍රපටයක්‌ ද නිෂ්පාදනය කළා. අන්තිමට ෆීලික්‌ස්‌ගේ ප්‍රජා අයිතිවාසිකම් පවා අහෝසි වුණා.

ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව කාලෙදිත් එවැනි දේ සිදු වුණා. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, 82 ජනමත විචාරණයට කලින් ශ්‍රීලනිපයේ නියෝජ්‍ය ලේකම් හා ප්‍රකට තරුවක්‌ වූ විජය කුමාරතුංග අත්අඩංගුවට ගැනීමත් ඒ කාලේ සිදුවීම් කිහිපයක්‌. විජය අත්අඩංගුවට ගත්තේ නැක්‌සලයිට්‌ කුමන්ත්‍රණයක්‌ පිළිබඳ බොරු චෝදනාවකටයි. මහ මැතිවරණයක්‌ පැවැත් වුවහොත් විජය ඇතුළු රැඩිකල්වාදී මන්ත්‍රීවරුන් 60 ක්‌ පමණ පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇතැයි ඡේ. ආර්. බය වුණා. ඒ නිසා ඔහු කළේ විජය අත්අඩංගුවට ගෙන ශ්‍රීලනිපයේ අනුර ප්‍රමුඛ දක්‍ෂිණාංශික කොටස්‌ බලවත් කිරීමට කටයුතු කිරීමයි.

අද මේ රටේ දේශපාලනයේ සිද්ධ වන්නේද එවැනි දෙයකි. මහින්ද රාජපක්‍ෂවාදීන් මීළඟ පාර්ලිමේන්තුවට විශාල ප්‍රමාණයකින් පැමිණීම වැළැක්‌වීම සඳහා නීත්‍යනුකූල මර්දනයක්‌ තමයි මේ සිදුකරගෙන යන්නේ. නීත්‍යනුකූල අයුරින් ඔවුන් දේශපාලනයෙන් ඉවත් කිරීම හෙවත් හිස ගසා දැමීම කරගෙන යනවා. අද මෙවැනි දේවල් කරන්නේ මහජන ඡන්දෙකින් පත් නොවූ සුළුතර ආණ්‌ඩුවකින්. ඒ නිසා එවැනි ක්‍රියාමාර්ගවල ප්‍රතිවිපාක ඊට වඩා අස්‌ථායීකරණයකට හේතු වෙනවා ඇති. එවැනි ක්‍රියාමාර්ගවලට සමාජ යුක්‌ති යුක්‌තභාවයක්‌ තිබේ යෑයි සිතාගත නොහැකියි.

නිදසුන් වශයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රශ්නය දෙස බලමු. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධව ගෙන එන්නට සූදානම් වන චෝදනා වන්නේ 'මිග් 27 යුද ගුවන් යානා 4 ක්‌ ගෙන්වා ගැනීමයි. ඒ මිග් 27 යුද ගුවන් යානා 4 කෙසේ ගෙන්වා ගත්තත් ඒවා පාවිච්චි වූයේ සංචාරක ව්‍යාපාරය සඳහා නොවෙයි. ලංකා හමුදාවලට මහෝපකාරී සේවයක්‌ වන පරිදි සතුරාට ගුවනින් පහර දීමටයි.

මීට පෙර බටහිර රටවල් අපට යුද ගුවන් යානා තබා කිසිම යුද අවියක්‌ දුන්නේ නැහැ. එයට හේතු වූයේ ඊනියා මානව හිමිකම් ප්‍රශ්නයයි. ඉතින් කොතනකින් හෝ යුද ගුවන් යානා ගෙන්වාගෙන සතුරා ඝාතනය කිරීමට ඒවා පාවිච්චි කිරීම හා අපේ හමුදාවේ ජීවිත බේරා දීමට එම ප්‍රහාරක යානා පාවිච්චි කිරීම ඇත්ත වශයෙන්ම අගය කළ යුතු දෙයක්‌ මිස හිරේ යෑවීමට හේතුවක්‌ නොවෙයි.

ජාතියක්‌ යුද්ධයකට මුහුණ දෙන විට හැකි හැම ආකාරයකින්ම ඕනෑම රටකින් යුද අවි ගෙන්වා ගැනීම සාමාන්‍ය සිරිතක්‌. මේවා පෞද්ගලික පරිහරණයට ගෙනා ගුවන් යානා නොවෙයි.

-දිවයින

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions