7/13/2015

'ප්‍ර' යන්න කියන්න එන්න එපා මල්ලි.

කතෘ:යුතුකම     7/13/2015   No comments

ප්‍රජාතන්ත්‍රවාදය තරම් පහුගිය කාලයේ වෙනත් කිසිම 'ප්‍ර ' යන්නක් ගැන කතා නොවිණි. අප මෙහිදී උත්සහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යන්න පහුගිය රජයට හා මෙවර රජයට වලංගු වන අයුරු කතා කිරීමට ය. ඒ ගමන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන බෙරිහන් දෙන උගතුන් ගැන කතා කල යුත්තේ ඔවුන්ගේ නිරුවත පහුගිය මාස කිහිපයේ නොබියව එළිදක්වන ලද නිසා ය. මේ උගතුන්ට 'ප්‍ර ' යන්න උච්චාරණය කිරීමට වත් අයිතියක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් හැදින්වෙන්නේ හුදු බහුතර මතයට ඉඩ දීම පමණක් නොව දේශපාලන මතවාද ආදියට සමාන ඉඩක් දීම ආදියයි. එහෙත් එහි ප්‍රයෝගිකව ක්‍රියාත්මක කල හැක්කේ බහුතර මතය ක්‍රියාත්මක කිරීම පමණි. නිදහස් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තුල දේශපාලන අදහස් ප්‍රචාරණය යනු අවසානයේ බල අරගලයක් පමණි. නියෝජනය සුළු වීම නිසා, ධනය බලය අහිමි කොටසකගේ මතය වීම නිසා, යටපත් වන මතවාද වලට සාකච්චාව සඳහා ඉඩ දීම හදවතින් කල යුත්තකි. පුහු නිදහස් ප්‍රජතන්ත්‍රවාදයේදී කෙරෙන්නේ අවසානයේදී ධනය බලය සහිත කොටස්වලට තමන්ගේ තීරණ ක්‍රියාත්මක කිරීමටත් ප්‍රචාරණය හරහා තමන්ගේ නියෝජනය වැඩි කිරීමටත් ඉඩ දෙන අතරේ ධනය බලය අහිමි අයට දේශපාලන අයිතිය මහා අකුරින් ලබා දී දේශපාලනය කිරීමට 'ඉඩ' නොදී සිටීම ය. මේ නිසා අප මෙහිදී කතාකරන්නේ පුහු නිදහස් ඊනියා ප්‍රජාතන්ට්‍රවාදයක් ගැන නොව අනෙකාට දේශපාලනය කිරීමට ඇති අයිතිය පිළිගන්නා වූ සහ ධනය බලය අහිමි වීම නිසා දේශපාලනය කිරීමට නොහැකි ව සිටින අනෙකාට (තම විරුද්ධ මතධරයාට ) ඉඩ - එනම් ධනය බලය හා අවස්තාව - ද හදවතින් ලබාදෙන දේශපාලනයක් පිළිගනිමින් ඒ මත පදනම් වෙමිනි. පහුගිය රජයේ අඩුපාඩු හා මෙම රජයේ නිර්ලජ්ජිත පිළිවෙත අප එසේ දකින්නේ මේ පදනම මත මිස ඊනියා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය මත සිටගෙන නොවන බව නැවතත් පැහැදිලි ව කිව යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට 'ප්‍රජා මතයට ගරු කිරීම' යන්න යොදාගමු.

පහුගිය රජය ප්‍රජා මතයට ගරු කලේ ද ?

මුලින්ම පහුගිය රජය කාලයේ ප්‍රජා මතය වුයේ කුමක් ද ? ප්‍රභාකරන් පැරදවීම එකකි. එය වුව ද මුළු ප්‍රජාවගේ මතය නොවී ය. කොටින් යනු විමුක්තිදායකයන් ලෙස සලකු ප්‍රජාවක් ද ලංකාවේ සිටියේ ය. පැහැදිලිව ම එහිදී අතිබහුතරය තම මතය ක්‍රියාත්මක කලේ ය. ඊළගට රට සංවර්ධනය කිරීමට අවශ්‍ය ව තිබිණි. ජාතික චින්තනවාදියකු ලෙස මහින්දගේ සංවර්ධනය ට මෙය ලියන මට එකඟ විය නොහැක. එහෙත් 77 දක්වා සෙමෙන් ද 77 න පසු සිග්‍රව ද මිනිසුන් මෙවන් සංවර්ධනයක් ඉල්ලමින් මරහඬ දෙමින් සිටියහ. ඒ අතින් එහිදී ද පහුගිය රජය ජනමතයට අනුව ක්‍රියා කලේ ය. ඇත්තෙන්ම මේ කරුණු දෙකේදී ම පහුගිය රජයේ මතය ජනමතයට සමපාත වීය . ඒ හැරෙන්නට තවත් අමිහිරි කරුණකට ද රටේ ජනමතය සමපාත ව තිබිණි. ඒ පාතාලය මර්දනය කිරීමේදී යොදාගත් 'ආයුධ පෙන්වීමේ' කලාවට ය. ත්‍රස්තවාදයට එරෙහිව වත් එතරම් රජය සමග නොසිටි පිරිසක් පාතාලය අහවර කිරීමේදී රජය සමග සිටි බව සත්‍ය කරුණකි. මේ පිරිසගෙන් ද සැලකිය යුතු පිරිසක් මහින්දට එරෙහිව චන්දය දුනි. මේ නිසා මේ කරුණු සිදුවුයේ ජනමතයට එකඟ ව ය. මෙහි එන එක එක කරුණ ගැන වෙන වෙන ම ලිපි ලියමින් කතා කිරීමට වටින නමුත් ඒවා පසුවට තබමු.

ජනමතයට ප්‍රශ්න ඇතිවුයේ එක ම එක කරුණක් සම්බන්ධයෙනි. ඒ මහින්ද කරන්නේ යයි කියූ මෙගා දුෂණ ගැන ය. (මේවා ගැන යහපාලන ආණ්ඩුව කිසිත් නීතිමය ලෙස නොකියයි. ඒ වෙනුවට ඒවා ලජ්ජා නැතිව නැවත චන්ද වේදිකා වල කියවයි ) ඒ සමග ම විශේෂයෙන් වැටුපෙන් ජිවත් වන මැද පන්තිය තුල අසහනයක් සකස් වී තිබිණි. ඒ රට තමන්ට වඩා වේගයෙන් සංවර්ධනය වීම ය. ඒ සංවර්ධනය භුක්ති විඳිය හැකි වුයේ බිස්නස්කාරයන්ට ය. කුප්ප සමාජවාදී උගතුන් වැටුප් අනුපාතය 4:1 සිට 12: 1 තෙක් කරන ලෙස ඉල්ලා කරන සටන් වලදී යොදාගැනුනේ ඉහල මැදපන්තියේ මේ අපේක්ෂා භංගත්වයයි. මේ කාටවත් රටේ කන්න බොන්න නැති මිනිසුන් ගැන වගක් නැත. මහින්දට වැඩියෙන් ම සහය ලැබෙන්නේ අඩුවෙන් ම ආදායම් ලබන මිනිසුන්ගෙන් ය. මේ මිනිසුන් ව 'නුගතුන්' , 'බත්කන හරකුන්' ලෙස ලේබල් ගසා දැමීම සාමාන්‍ය සිරිතයි. එහෙත් තම එදාවේල දිනෙන් දින කඩාවැටේ නම් දුප්පතුන් මහින්දට සහය දෙවි ද ? එය උගත් නගත්කම නොව බඩක් ඇති නැතිකම ගැන ප්‍රශ්නයකි. දුප්පතුන් මහින්ද යටතේ වැටුනේ නැත. එහෙත් දුප්පතුන් දුෂණයට ලක්විය. හිඟනකම හොඳ රස්සාවක් විය. දුප්පතුන්ට සල්ලි හම්බකිරීමේ මං සැදිණි. සත්‍ය එයයි. මැද පන්තියට පොහොසතුන්ගේ දුෂණය හා දුප්පතුන්ගේ දුෂණය මැද හිරවීමට විය. මහින්ද පැරදුනේ ප්‍රජාව සම්බන්ධයෙන් ගත්කල හුදෙක් ම මේ කරුණ නිසා ය. (ඊට අමතර ව මුස්ලිම් ප්‍රශ්නය නිසා )ඒ මිසක ජනමතයට ගරු නොකිරීම නිසා නොවේ.

මහින්ද උතුර සම්බන්ධයෙන් ක්‍රියා කලේ කෙසේ ද ? ඔහු උතුරේ පරිපාලනය ආරක්ෂාව දැඩි ව පවත්වාගෙන ගියේ ය. එයින් උතුරේ ජනතාවට සාමජිය ප්‍රශ්න ඇතිවන්නේ විය හැක. එහෙත් එය ත්‍රස්තවාදය පිලිබඳ ප්‍රශ්නයකි. එහෙත් මහින්ද උතුරේ දේශපාලනයට ඉඩ නොදුන්නේ ද ? ප්‍රභාකරන් පැරදුනු පසු ව මහින්ද දෙමල දේශපාලනය බලහත්කාරයෙන් පුනුරුත්තාපනය කිරීමට උත්සහ කලේ ද ? ඒ අතින් මහින්ද උතුරේ ජනමතයට හිස නමා නැත්තේ ආරක්ෂක හේතුන් නිසා පමණි.

නැවතත් කතා කලොත් මහින්ද බහුතර මතයට අනුව දේශපාලනය කලේ ය. එක ම ප්‍රශ්නය වන්නේ බහුතර මතය යහපත් ද අයහපත් ද යන්නයි. සංවර්ධනය පාතාල මර්ධන ක්‍රමය වැනි ඒවායේදී බහුතර මතය අයහපත් බවත් හා වැටුප් අනුපාතය වැඩි කිරීම වැනි මහින්ද විරෝධී ව්‍යාපාර වලදී පෙන්නුම් කල මැද පන්තියේ සුළුතර මතය අයහපත් බවත් මගේ මතයයි.

මෛත්‍රිපාල හා උගතුන්

මෛත්‍රිපාල දිනු පසු සන්ධාන හිතවාදී 'බයියන්' යු එන පි ටොයි නළුවන්ට වඩා ඇත්තෙන්ම ජනමතයට ගරුකරන බව හොදින් ම පෙනිණි. බත්කන හරකුන් ගැන අපට ඇහුනේ අඩුවෙනි. වැඩ පටන්ගත්තේ මහින්ද රැල්ල පටන් ගැනීම සමග ය. මහින්ද සමග ඉතිරි වූ හතර පස් දෙනා ට නුගේගොඩට අතිවිශාල සෙනගක් ගෙන ඒමට හැකිවිය. එවිට මේ උගතුන් මේ දේශපාලකයන හතර පස් දෙනාට කිවේ 'දේශාපලන අනාථයන්' කියා ය. ඉන් වැදගත් දෙයක් පැහැදිලි විය. මේ උගතුන් 'දේශපාලන අනාථයන් ' ලෙස හදුනාගන්නේ ඉහල දේශපාලන බල දරන්නන්ගේ තීරණයන් අනුව ඉහල දේශපාලනයේ නියැලීමට ඉඩ නොලැබෙන පිරිස් වලට බව ය. ලක්ෂ ගණන් ජනතාව රැස්කිරීමේ හැකියාවක් තිබීම සතපහකට සලකා නොබැලේ !! ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද පල්ලෙන් බේරුණු පළමු අවස්තාව එයයි. මට මතක හැටියට කුමාරතුංග මහතා කියා ඇති කරුණක් මදක් වෙනස් කර කියන්නේ නම් අද කාලයේ සුද්දන් ගේ ආණ්ඩුක්‍රම වයන පිරිස් යම් හෙයකින් එකල රජකාලයේ සිටියේ නම් අපේ හිස් ගසා දැමීමට රජුට කේලම් කියන්නේ මෙවැනි උන් බවට සැකයක් නැත.

මහින්ද ගේ සභාපතිකම යම් ලෙසකින් මෛත්‍රිපාල විසින් ලබාගන්නා ලදී. උගතුන් සද්ද නැත. උගතුන් සද්ද නැති වුව ද ජනතාව සද්ද කළහ. ජනතාව සද්දය වැඩි කරමින් යනවිට උගතුන්ගේ සද්දය ද පටන් ගැනිණි. විප්ලවය ආපසු නොහරවන ලෙස උගතුන් බෙරිහන් දෙනු අපට පෙනුනි. පැරදුනු පිලේ නායකත්වය ජයග්‍රාහකයා භාරගැනීම නුතන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ අංගයක් බව ද එම පරාජිතයන් පුනුරුත්තාපනය කිරීම උගතුන්ගේ කාර්යභාරයක් බව ද අපි එවෙලෙහි දැනගතිමු. ප්‍රභාකරන් පැරදුනු විගස මේ කාර්යය උතුරේදී අප කළා නම් කොපමණ පහසු වනවා ද ? මේ උගතුන් මෙන් අපට ප්‍රජාතන්ත්‍රවාදී ව සිතීමට නොහැකි ඇයි ?

ඊළඟට නාමයෝජනා ප්‍රශ්නය පැනනැගුණි. උගත් සංගම් විසින් මාධ්‍යහමු තබමින් මහින්දට නාමයෝජනා තබමින් මෛත්‍රී විප්ලවය පාවා දුන් බව කීමට පටන් ගැනුනි. එතකොට සන්ධානය මෛත්රිපාලගේ බුදලයක් ද ? උගතුන් තම හෙළුව මෙතරම් හොඳින් පෙන්නු අවස්තාවක් නැත. එක්තරා පක්ෂයක ජනතාව ලක්ෂ ගණනින් පාරට බැස ඉල්ලන නායකයා ට අඩු ගන්නේ නමයෝජනාවත් නොදීමට තරම් ඒකාධිපති වන ලෙස මේ උගතුන් මෛත්‍රීපාලට අණ කරයි. මේ එක කරුණ නිසා වුව ද මේ උගතුන් මින් පසු 'ප්‍ර ' යන්න කියන්න ආ විගස හොඳ ම කුණුහරුප වලින් සංග්‍රහ කිරීමට අපට අයිතිය ඇත.

මේ සියල්ලෙන් පෙනෙන තවත් දෙයක් ඇත. උගතුන් වැඩ කරවාගැනීමට අදහස් කරන්නේ ජනයාට ආමන්ත්‍රණය කිරීමෙන් නොව දේශපාලන කුමන්ත්‍රණ මගින් බව ය. මෛත්‍රිපාල ලවා මහින්ද ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරවීම මිස ජනතාව ලවා මහින්ද පරාජය කරවීම ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට අයත් නොවේ. උගතුන් ද උත්සහ කරන්නේ රාජ්‍ය බලය 'අල්ලා ගැනීමට' ය. අප ප්‍රජාතන්ත්‍රවාදීන් නොවීම ගැන සතුටු විය යුතු ය.

ශිරන්ත චාමර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com