9/15/2015

මහනගර සැලසුම් හරහා රට ඩැහැ ගන්න සියල්ල සූදානම්

කතෘ:යුතුකම     9/15/2015   No comments


යහපාලන රජයේ ඇමතිපට්ටම් අතර අමුතුම මාදිලියේ ඇමතිකම් කීපයක් දක්නට ඇත. ඉන් එකක් නම් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමතිකමය. යහපාලන ආණ්ඩුව ස්ථාපිත කරන්නට වෙහෙසුණු මධ්‍යම පාන්තික ජනතාව බෙහෙවින්ම ජීවත් වන කොළඹ ගම්පහ ආදී නගර වැසියන්ට නම් මෙය ප්‍රීතිදායක ආරංචියකි. පසුගිය රජයේ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් කොළඹ නගරය විධිමත් කරලීම පිණිස විශේෂ වැඩසටහනක් ඇති කරලීමට පියවර ගත් බැවින් මේ නව නාගරික සංවර්ධනය ගැන ඉවක් ඔවුන් තුළ ඇති වීම මේ ප්‍රීතියට හේතුවයි. ඒ ක්‍රියාකාරකම් තුළින් ලැබූ දැනුම මිසක් ඉන් එපිට මහනගර සැලසුම ගැන දන්නා අයෙක් ඇතැයි සිතිය නොහැකිය.

සැබවින්ම මහනගර නොහාත් අධිනගර සැලැස්මට ඉතිහාසයක් ඇත. කොළඹ නගරය විධිමත්ව සැලසුම් කරලීම පිණිස මුල් කොට ගත් ක්‍රියාමාර්ගයන් මෙහි අන්තර්ගතය. 1949 දී පමණ පැට්රික් ඇඹකොම්බේ විසින් කොළඹ නගරය සංවර්ධනය පිණිස සැලසුමක් සකස් කර තිබුණි. එම සැලසුමෙන් බලාපොරොත්තු වූයේ කොළඹ වරාය ආශ්‍රිතව වර්ග සැතපුම් 14 ක ප්‍රමාණයක් සංවර්ධනය කිරීමයි. ඉන්පසුව 1978 වර්ෂයේ දී ක්‍රියාත්මක කරන්නට උත්සාහ දැරු කොළඹ මහා සැලැස්ම(Colombo Master Plan ) මගින් කොළඹ පරිපාලන දිස්ත්‍රක්ක හඳුනාගෙන සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට සැලසුම් සකස් කරන ලදී. ජයවර්ධනපුරය,කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය මෙන්ම පරිපාලන ගොඩනැගිලි ජයවර්ධන පුරයට සංක්‍රමණය කිරීමද මෙහිදී සිදු විය. ඉන්පසුව 1985 දී මෙම සැලැස්ම මගින් ඇති වූ අහිතකර ප්‍රතිඵල නැවත සමාලෝචනය කොට සකස් කිරීමක් සිදු කළද දේශපාලන වශයෙන් ඇති වූ කලබගෑනි නිසා අපේක්ෂිත ඉලක්කයන්ට යෑමට නොහැකි විය. ඒ තත්ත්වය තුළ 1996 දී සියළු අත්දැකීම් පදනම් කර ගෙන කොළඹ අධිනගර ව්‍යුහාත්මක සැලැස්මක්(Colombo Metropolitan Regional Structure Plan ) සකස් කර ගන්නා ලද්දේය. මෙම සැලසුම පිළිබඳව නිළධාරීන් දැනුවත්කිරීමේ වැඩමුලුවක් 1996 අගෝස්තු 23 දින බේරුවල ඊඩන් හෝටලයේදී පවත්වා ඇත. ලෝක බැංකුවට සම්බන්ධ වූ ලාංකිකයන් හා ජගත් ආයතනයන්හි නිළධාරීන් ගේ උපදෙස් පිට සකස් කරන ලද මේ ව්‍යාපෘතිය පසුව 2002 වර්ෂයේ දී යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩ සටහනට ද ඇතුලත් කරන ලදී.පස්දුන් කෝරළය ගොඩකර නගර සෑදීමට යන බව රනිල් වික්‍රමසිංහ මහතා අගලවත්තේදී මීට කලකට ඉහත කළ ප්‍රකාශය මේ සැලසුමට අදාලය. ඊට සමගාමීව බෙන්තර ගඟ ආසන්නයේ මීගමදී ගුවන් තොටුපළක් ඇති කිරීමටස සැලසුමක් විය. නමුත් එය පසුව හම්බන්තොටට ගෙන යන ලදී.

කොළඹ අධිනගර සැලැස්ම යටතේ වර්ධක මධ්‍යස්ථාන 06 ක් තෝරා ගැනීමට නියමිතව ඇත. කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කයන්ට අදාලව මීගමුව, ගම්පහ ,බියගම, හෝමාගම,හොරණ සහ මතුගම යන කලාප ඊට අයත්ය. එහිදී නේවාසික, කර්මාන්ත ,වෙළෙඳ ,ආයතනික,විනෝදාංශ කටයුතු සහ මාර්ග පද්ධති වලට ඉඩම් වෙන් කරලීමට සැලසුම් සකස්කර ඇත. 1949 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ මුල් සැලසුම් වලදී නේවාසික ස්ථානයන්ට වැඩි අවධානයක් යොමු නොකරන ලද අතර මේ සැලැස්මේ දී එයට දැඩි අවධානයක් යොදවා තිබේ. නමුත් මේ නේවාසික ස්ථානයන් සාම්ප්‍රදායික කුටුම්භයන්ට වෙනස් වේ. සිමිත ඉඩ කඩම් වල මහල් නිවාස වලට ජනතාව ගාල් කිරීම එහි අරමුණයි. ජයවර්ධන පුරය මේ අධිනගරයේ පරිපාලන පෙදෙස වශයෙන් සැලකෙන අතර මීගමුවේ සිට මතුගම දක්වා ම බස්නාහිර මහනගරය නොහොත් අධිනගරය ක්‍රියාත්මක වේ.

යෝජිත වර්ධක ප්‍රදේශ මූලික කරගත් ව්‍යුහාත්මක සැලැස්ම අදියර හතකින් ක්‍රියාත්මක වේ. ඉන් පළමුවැන්න නම් ඉඩම් පරිභෝජන පිළිවෙලට අදාලව කලාප සැලසුම් සකස් කිරීමයි. ඉන් අනතුරුව විස්තීරණ සැලසුම් සකස් කරලීම සිදු වේ. තෙවැන්න නම් හඳුනාගත් ස්ථාන සඳහා තිරස් හා සිරස් නාගරික හැඩයද ස්වරූපයද සමග ගොඩනැගිලි ඝනත්වය දක්වාලීම සිදු කෙරේ. සිවුවැන්න නම් අපේක්ෂිත සැලසුම් සඳහා අවශ්‍ය නීතිමය රාමුව සැකසීම වේ.දැනට 1978 අංක 41 ,1978 අංක 04 ,1979 අංක 17, ආදී පණත් කීපයකින් මෙන්ම බස්නාහිර පළාත් පණත නගර සභා පණත ආදී තවත් නීතිමය රාමු තුළ නගර සංවර්ධනය ක්‍රියාත්මක වන අතර මෙහිදී ඒවා සම්පිණ්ඩනය කොටබස්නාහිර පළාත් සංවර්ධන අධිකාරියක් යටතේ යළි පණ ගැන්වීම අරමුණයි. අනතුරුව පාරිසරික වැදගත් කමින් යුතු ජලජ ප්‍රදේශ හඳුනා ගැනීම වැදගත්කමක් ලෙසට සැලකේ. ඉන්පුසව විනෝදාත්මක අංශයන්ට අදාල ස්ථාන වෙන් කිරීමද ජලය විදිලිය ප්‍රවාහන ඇතුළු යටිතල පහසු කම් දියුණ කිරීම ද සිදු කෙරේ.

මේ අතින් බලන කල්හි බස්නාහිර අධිනගර සැලස්ම වූ කලි ලෙහෙසි පහසු ක්‍රියාවලියක් නොවේ. ජාත්‍යන්තර උපදෙසින් පිළියෙල කෙරුණ එය වාස්තු විද්‍යඥයාගේ සිට මහා යන්ත්‍රෝකරණ ආනයනය කරන්නා දක්වා සේවා දායකයන් එකට එක් කරන මහා සංවර්ධන සැලැස්මකි. ඒ මගින් ඇති වන රැකියා, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය, රටට ගලාඑන විදේශ මුදල් දෙස බැලුවහොත් මහවැලිය ක්‍රියාත්මක වූවාටත් වඩා දැවැන්ත බවක් ප්‍රදර්ශනය කෙරේ. එහෙත් මේ මගින් ලබා ගන්නා ප්‍රතිඵලය කුමක් විය හැකිද.පසුගිය රජයේ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කිරීමට ආරම්භ කරන ලද්දේ සැබවින්ම මේ ව්‍යාපෘතියේ කොටසකි. අවිධිමත්ව තිබූ කොළඹ නගරය විධිමත් කොට පැරණි යටත් විජිත ගොඩනැගිලි යලි පිළිසකර කොට නාගරික ජනතාව සාම්ප්‍රදායික නිවාස වලින් ඉවත් කොට තට්ටු නිවාස වලට ගාල් කිරීම දක්නට හැකිවුණි.. සාම්ප්‍රදායික ගොවිබම් හාරා පොකුණු ඇති කර තෝරා ගත් ප්‍රදේශ වල පමණක් ගොවිබිම් ඇති කර විනෝදාස්වාදය සඳහා පදික තීරු සහ විවේකස්ථාන ඇති කිරීම ක්‍රමයෙන් සිදු විය.මේ මගින් අපේක්ෂා කරන ලද්දේ සංචාරකයන් පිනවීම පිණිස කොළඹ හා තදාසන්න ප්‍රදේශ විනෝදාත්මක කලාප බවට පත් කිරීමයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රශංසාවටද ලක් විය.කොළඹ ජීවත් වන ඇතැමුන් ගේ සිහින ලෝකය මෙයින් තහවුරු වූ බව කියනු දක්නට ලැබුණි.

එහෙත් අප තේරුම් ගෙන සිටින බොහෝ දේ මේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට හා සැලසුම් සකස් කරන්නන්ට අමතක වී ඇති බව කිව යුතුය. බස්නාහිර පළාතේ බොහෝ ගම්මාන තවමත් හද්දා පිටිසර පරිසරයක පිහිටා තිබේ. නිවාස මහාමාර්ග විදිලිය ආදිය නවීන පන්නයට ඇති නමුත් ගැමියන් භුක්ති විඳින නිදහස සාම්ප්‍රදායික සංස්කෘතියට සමීපය. කුඹුරු වතුපිටි සොබාදහමට අනුකූලව හැඩ ගැසෙන අතර දෛනික ආහාර වේලට එකතු වන වනපලා සහ ගඩාගොඩි වර්ගයන් බහුලය. රෝහල් ළඟ පාතක නැතද ගමේ වෛද්‍යවරයාගෙන් ගන්නා ප්‍රතිකාර ක්‍රමයෙන් සහ උපදෙසින් සෞඛ්‍ය ආරක්ෂා වේ. ග්‍රාමීය කර්මාන්ත ස්වයං රැකියා තවමත් සුළු වශයෙන් පවතින නමුත් එම නිෂ්පාදනයන් ට වෙළෙඳ පළ සපයන සුපිරි වෙළෙඳ සල් විසින් සූරා කෑමකට ලක් කිරීම නිසා පාරිභෝගිකයාද පීඩාවට පත්ව සිටී.මෙවැනි තත්ත්වයක් තුළ ග්‍රාමීය ප්‍රදේශ අනවශ්‍ය පරිදි නාගරීකරණයට ලක් කළහොත් ස්වයංපෝෂිත සමාජය අතරුදහන් වේ. දැනටමත් ග්‍රාමීය රැකියා අතහැර නගරයට සේන්දු වී රස්තියාදු වන තරුණ තරුණියන් බොහෝය. එයින් සිදුව තිබෙන්නේ කුඹුර සහ කොරටුව මුඩුබිම් බවට පත් වීමයි. නාගරීකරණය දැඩි කිරීම නිවාස පිළිබඳ නිදහස අවම කරමින් වර්ග අඩි කීපයක්ට සීමා කිරීම ආදී කටයුතු මානසික වශයෙන් කෙතරම් බලපාන්නට ඇත්දැයි සමීක්ෂණයක් කර නැත. කෙසේ වෙතත් කොළඹ නගරය ආශ්‍රිත කැසිනෝ ශාලා සහිත මහ සංචාරක හෝටල් දෙකක් ඇති කිරීමේ යෝජනාවලියද මෙම සැලසුමට අයත්ය. එය යලි පුබුදමු ශ්‍රීලංකා වැඩසටහනේද විශේෂ යෝජනාවක් විය. නාගරික සංවර්ධන අමාත්‍යංශ විසින් එය ක්‍රියත්මක කිරිමට උත්සාහ ගෙන ඇත්තේ ආයෝජන ප්‍රවර්ධන ව්‍යපෘතියක් විලසය. චීන වරයා නගර ව්‍යපෘතිය මෙයට සමගාමී වැඩ සටහනක් නොවුවද කොළඹ අධිනගර සැලැස්මට මෙය ඇතුළත් කරගැනිමට බාධාවක් නැත.

වර්තමාන යහපාලන රජය මේ ඉදිරිපත් කරන්නේ අළුත් සැලැස්මක් නොවන බව මේ කරුණු වලින් සනාථ වේ. රජයයන් වෙනස් වුවද ලංකාව පාලනය කරන අදිසි හස්තයන් වන බටහිරයන් අඛණ්ඩව තම සැලසුම් ඉදිරියට ගෙන යන බව මෙය හොඳම සාක්ෂියෙකි.එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ දිගු කාලීනව ලංකාව ණය ගැතිභාවයෙන් තබා ගෙන සිය යටත් විජිත වුවමනාවන් ඉෂ්ඨ කර ගැනීමයි. ඉන්දියාවද නුදුරුවම සීපා ගිවිසුම ක්‍රියාත්මක කරලීම පිණිස බල කරනු ලබන අතර තලෙයි මන්නාරම හරහා සේතුව නොහොත් පාළම තැනීමටද බල කරනු ඇත. එවිට අධිවේග මාර්ග හරහා මෙරටට එන ඉන්දියානු ශ්‍රමිකයන් හා බල පුළුවන්කාර සමාගම් විසින් ලංකාවේ ආර්ථිකය දැඩි ලෙසට අල්ලා ගනු නිසැකය.බස්නාහිර සංවර්ධනය මගින් මෙම ප්‍රදේශයන් හි පිහිටා තිබූ සාම්ප්‍රදායික ජන ජීවිතය ක්‍රමයෙන් බිඳ වැටෙනු ඇත. පුරන් වී මුඩුබිම් බවට පත් වන ඉඩම් සමාගම් මගින් අත්පත් කර ගැනීමට උත්සාහ දරනු ඇත. විදේශිකයන්ට ඉඩම් අත්පත් කරගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දැනටමත් සකස් වී අවසන්ය.කර්මාන්ත පුර කීපයක් දැනටමත් කටුනායක බියගම හොරණ සහ මතුගම ප්‍රදේශ වල ආරම්භ කර ඇත. ඒවායින් නිකුත් කරන විෂ වායු දැවි තෙල් විසින් ගහකොළ ඇතුළ පරිසරයම ආතුර කරනු ඇත. පිරිසිදු ජලය බීමටලැබෙන ගංගා ඇළ දොළ පමණක් නොව ළිං ජලයද දූෂණය වනු ඇත. එවිට ජලය විකිණීමේ ප්‍රතිපත්තිය නීතිමය තලයට ගෙනඒම වේගවත් කෙරෙණු ඇත. සොබාදහමෙන් වෙන් කරනු ලැබූ කල්හි සිංහලත්වය ජාතිකත්වය ගිලිහී යෑම වේගවත් වේ. ජාතිකවාදියෙකු ලෙසට පෙනී සිටි චම්පික රණවක මහතා පිට මෙම බස්නාහිර සංවර්ධන ඇමතිකම පැටවීම පිළිබඳව අප දෙවරක් කල්පනා කළ යුත්තේ මේ නිසාය. රනිල් වික්‍රමසිංහයන්ගේ සට කපට උපායන් මගින් අරමුණු කීපයක් ඉටු කර ගැනීමට මාන බලන බව මෙයින් පෙනේ. දක්ෂ ඇමතිවරයෙකු වන චම්පික රණවක මහතා සිය වපසරිය තුළ කාර්යක්ෂමව ක්‍රියාත්මක වුවත් ඔහුව දිගේලි කිරීමකට ලක්ව ඇති බව තේරුම් ගන්නා විට කල් පසුවී අවසන් වනු ඇත. සිංහල ජාතිකත්වය මෙන්ම තම නිජබිමට ඇති අයිතිය අහිමි කරහැරීමේ අවසන් අදියර මෙය වන්නේය.

-මතුගම සෙනවිරුවන්
යුතුකම සංවාද කවය
www.yuthukama.com ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com