දිවුලපිටිය කොටදෙනියාවේ සේයා සදෙව්මි දියණියගේ අමානුෂික ඝාතනයෙන් පසුව එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කිරීම ගැන කතිකාවක් මෙරට සමාජය තුළ යළිත් මතුව ඇත. මෙම ඝාතනයට එරෙහිව රට පුරා පැවතී උද්ඝෝෂණ වලදී ද රජයෙන් කරන ලද මූලික ම ඉල්ලීම වූයේ මෙවැනි අපරාධ යළි සිදු නොවීමට නම් අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙස ය. දැනට ක්‍රියාවට නැංවෙන දඬුවම් ප්‍රමාණවත් නොවන බැවින් මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කරවන ලෙස ඔවුහු ජනාධිපති තුමාගෙන් ද රජයෙන් ඉල්ලා සිටියහ. මේ සම්බන්ධව විවිධ ජන මාධ්‍ය මගින් සිදු කරන ලද මහජන අදහස් විමසීම් වල දී ද මේ හා සමාන අදහස් මතු විය. එසේ ම පසුගිය දා එක්තරා රැස්වීමක් අමතමින් ජනාධිපති තුමා ද ප්‍රකාශ කළේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නොමැති බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ මතය විමසීමට තමන් අදහස් කරන බවත් ය. තව ද ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මෙවැනි අපරාධකරුවන්ට "රජ කාලේ දඬුවම්" ලබා දිය යුතු බවකි. එහෙත්, ජනාධිපති තුමා ද සිය කතාවේ දී ප්‍රකාශ කළේ මෙරට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ බාධකය වන්නේ මානව හිමිකම් සංවිධානවලින් එල්ල වන විරෝධය බව යි. තවත් සමහරෙකු ප්‍රකාශ කරන්නේ මරණ දඬුවම ලබා දීම බෞද්ධ රටකට කිසිසේත් ම නොගැලපෙන බවකි. කෙසේ වෙතත්, මෙරට ජනතාවගෙන් බහුතරයක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂ බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.
මරණීය දණ්ඩනයේ ඉතිහාසය
මරණීය දණ්ඩනයේ ඉතිහාසය
මරණ දඬුවම ලබා දීම සඳහා ලංකාවේ මෙන් ම ලෝකයේ වෙනත් රටවල ද විවිධ ක්‍රම භාවිත වී ඇත. දං ගෙඩිය මත තබා ගෙල සිඳ ලීම, උල හිඳුවීම, ඇතුන් ලවා පෑගවීම වැනි ක්‍රම මෙරට, විශේෂයෙන් මහනුවර යුගයේ දී අපරාධ කරුවන්ට මරණ දඬුවම ලබා දීම සඳහා යොදාගෙන ඇත. කුරුසියේ ඇණ ගසා මරා දැමීම වඩාත් ප්‍රකට වන්නේ ජේසුස් වහන්සේට ලබා දුන් මරණ දඬුවම නිසා ය. විෂ ශරීර ගත කර මරා දැමීම විවිධ රටවල අතීතයේ සිට ක්‍රියාත්මක වූ ක්‍රමයකි. ප්‍රංශයේ භාවිත වූ ගිලටීනය ලෝකයේ ප්‍රසිද්ධ වූ මරණය ලබා දීමේ ක්‍රමයකි. ගෑස් කුටීරයක් තුළ දී මරණයට පත් කිරීම දෙවන බටහිර යුධ සමයේ (ඊනියා දෙවන ලෝක යුද්ධය) දී ප්‍රසිද්ධියට පත් විය. විද්‍යුත් විතක්ෂය මගින් මරණයට පත් කිරීම හෙවත් විදුලි පුටුව ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භ වුනු ක්‍රමයකි. වෙඩි තබා මරා දැමීම, ගල් ගසා මරා දැමීම වැනි දෑ ද ඇතැම් රටවල ක්‍රියාත්මක වන මරණ දඬුවම ලබා දීමේ ක්‍රම වේ. දිවි තොර වන තුරු එල්ලා තැබීම හෙවත් එල්ලුම් ගස බ්‍රිතාන්‍ය පාලන සමය තුළ මෙරටට හඳුන්වා දෙන ලද දඬුවම් ක්‍රමයකි. මෙම දඬුවම 1948 ඊනියා නිදහසින් පසුව ද වරින් වර ක්‍රියාත්මක වූ නිසා ම, මෙරට බොහෝ දෙනෙකුට මරණ දඬුවම කියූ සැනින් මතකයට නැඟෙන්නේ එල්ලුම් ගස යි. කෙසේ වෙතත් 1956 දී බලයට පත් බණ්ඩාරනායක රජය මගින් මරණීය දණ්ඩනය ලබා දීම නවතා දැමුණ ද, බණ්ඩාරනායක මහතාගේ ම ඝාතකයාට නැවත මරණ දඬුවම ලබා දෙන්නේ දෛවයේ සරදමක් ලෙස ය. එතැන් පටන් යළි ක්‍රියාත්මක වූ මරණ දඬුවම නැවත නවතා දැමෙන්නේ 1977න් පසුව ජේ.ආර්. ජයවර්ධන රජය මගිනි.
රටේ අපරාධ රැල්ල සහ මරණ දඬුවම
වර්තමානයේ එල්ලුම් ගස ගැන නැවත කතා කිරීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙරට පසුගිය දශක කිහිපය පුරා වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ල බව කිව හැකි ය. අපරාධකරුවෙකුට මරණ දඬුවම ලබා දීමෙන් බලාපොරොත්තු වන ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. සිදු කළ අපරාධයට හිලව් වන ලෙස අපරාධකරුට දඬුවමක් ලබා දීම, නැවත එවන් හානියක් සමාජයට නොවීමට එකී අපරාධකරුවා සමාජයෙන් තුරන් කිරීම සහ එවන් අපරාධ කිරීම කෙරෙහි සමාජයේ සෙසු පුද්ගලයින් තුළ බියක් ඇති කිරීම එම කරුණු අතර වෙයි. ජේ.ආර්. ජයවර්ධන රජය මගින් මරණ දඬුවම ලබා දීම නැවත්වීම සහ රටේ අපරාධ රැල්ලක් ලෙස ඉස්මතු වීම යන සංසිද්ධීන් දෙකම සමගාමීව සිදු වීම නිසා ම, මේ දෙක අතර සහසම්බන්ධයක් ඇතැ යි සිතීමට බොහෝ දෙනෙක් අද වන විට පෙළඹී සිටිති. මරණ දඬුවම සැබවින් ම අපරාධ අඩු කිරීමට හේතුවක් වේ ද? නැතහොත් මරණීය දණ්ඩනය ලබා නොදීම අපරාධ වැඩි වීමට හේතුවක් වේ ද? අනෙක් අතට මරණ දඬුවම ලබා දීම බෞද්ධ රටකට ගැලපේ ද? එසේ නොගැලපේ නම් මරණ දඬුවම ලබා නොදී රටේ අපරාධ මැඩ පැවැත්වීමට ක්‍රමයක් තිබේ ද? මෙම ප්‍රශ්න මරණ දඬුවම ගැන කතා කිරීමේ දී අත්‍යවශ්‍යයෙන් ම කතා කළ යුතු ඒවා වෙයි.
මරණ දඬුවම දෙස බෞද්ධ ඇසකින් බලමු
අපගේ පිළිගැනීම අනුව ශ්‍රී ලංකාව යනු බෞද්ධ රටකි; සිංහල බෞද්ධ රටකි. එබැවින් මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ වන්නේ අපරාධකරුවෙකුට මරණ දඬුවම ලබා දීම දෙස බෞද්ධ දෘෂ්ඨි කෝණයකින් බැලීම ය. එල්ලුම් ගස හෝ වෙනත් ක්‍රමයකින් හෝ ලබා දෙන මරණ දඬුවම ප්‍රාණ ඝාත අකුසලයට අයත් වේ. මේ අනුව බලන කළ අපරාධයක් සිදු කළ තැනැත්තෙක් මරණයට පත් කිරීම බුදු දහමට පටහැනි බව අපට කිව හැකි ය. අනෙක් අතට අපරාධකරුවෙකු කෙරෙහි ද්වේශයෙන් මරණය නියම කිරීම ද බුදු දහමට එකඟ නොවේ. මෙය බුදු දහම ඇසුරින් මරණ දඬුවම ගැන දිය හැකි සරල ම විග්‍රහයකි. අපට තව දුරටත් මෙසේ ද සිතිය හැකි ය. බෞද්ධයෝ උච්ඡේදවාදීහු නොවෙති. එසේ නම් යමෙකු හට මරණ දඬුවම ලබා දුන් පසුව ඔහුට හෝ ඇයට හෝ කුමක් සිදු වෙයි ද? මරණයෙන් පසුව කවරාකාරයේ උප්පත්තියක් ලබණු ඇත් ද? මෙම මරණ දඬුවම අදාළ පුද්ගලයාගේ ඉදිරි සසර ගමන කෙරෙහි කෙසේ බලපානු ඇත් ද?
බෞද්ධයාගේ කාර්ය භාරය විය යුත්තේ තමන් නිවන් මාර්ගයේ ගමන් කරන අතරම සෙසු පුද්ගලයින් ද නිවන් මාර්ගයේ ගමන් කරවීමට හැකි පමණ උත්සාහ දැරීම ය. එසේ ම බෞද්ධ නීති සම්පාදකයින්ගේ වගකීම විය යුත්තේ අපරාධකරුවන් ද ඇතුළු රටේ ජනතාව හැකි තාක් නිවන් මාර්ගයට යොමුවන පරිදි නීති සම්පාදනය සිදු කිරීම ය. සසර සැරිසරන සත්ත්වයින් වන අප වැඩි නැඹුරුතාවක් දක්වන්නේ ලෝබ ද්වෙශාදී අකුසල් කෙරෙහි බව යි බුද්ධ දේශනාවෙහි සඳහන් වන්නේ. මේ නිසා ම දැඩි වීර්යයෙන් තුන් දොර සංවර කර නොගත හොත් මිය යන මොහොතේ ද අකුසල් සිතක් පහල වීමේ ඉතා ඉහල සම්භාවිතාවක් ඇත. බොහෝ විට අපරාධ සිදු වන්නේ දුර්වල සිත් ඇත්තන් අතිනි. මේ නිසා ම මෙම පුද්ගලයින්ගේ සිත් ද බොහෝ විට අකුසල් සිතුවිලි වලින් පිරී පවතී. මෙවැනි පුද්ගලයෙකු මරණයට පත් කළ හොත් එම පුද්ගලයා මිය යන මොහොතේ පහළ වන චුති චිත්තය ද, අකුසල් සිතක් ම වීමේ ඉතා ඉහල හැකියාවක් ඇත. මරණයේ දී ඇති වන වේදනාව ඒ සඳහා මහත් අනුබලයක් ද ලබා දෙයි. මේ නිසා එම පුද්ගලයා ප්‍රේත ලෝකයක, සතර අපායක වැනි දුගතියක උප්පත්තියක් ලබනු ඇත. බෞද්ධ ඉතිහාසයේ සඳහන් ආකාරයට බන්ධුල මල්ලිකාව වැනි සැදැහැවතුන් පවා මරණින් ඉක්බිති අපා ගත වූයේ නම් මෙවැනි පුද්ගලයින් ගැන කවර කතා ද?
මෙවැනි පුද්ගලයින් සිදු කළ අපරාධයන්ට වන්දි ගෙවීම පිණිස එවැනි උපතක් ලැබීමේ ගැටළුවක් නොමැති බව අයෙකු පවසනු ඇත. එහෙත් එවැන්නන් දෙස අප බැලිය යුත්තේ එවැනි ද්වේශ සිතකින් ද? මෙවන් දුගතියක උපත ලැබීමෙන් ඔවුහු නිවන් මගෙන් තව තවත් ඈත් වීම සිදු වෙයි; අකුසලය වෙත නැඹුරු වී තව තවත් එවැනි ම වැරදි වෙත යොමු වීම සිදු වෙයි. මිනිසුන් 999ක් ඝාතනය කළ අංගුලිමාලට බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා නොදී මරණ දඬුවම ලබා දුන්නේ නම් කුමක් සිදු වනු ඇත් ද? අද මරණ දඬුවමට නියම වන පුද්ගලයෙකුට අනාගතයේ නිවන් මගෙහි ගමන් කිරීමට තරම් පිනක් තිබිය නොහැකි ද? එම නිසා මරණ දඬුවම හරහා එවැනි පුද්ගලයෙකුට සිදු වන්නේ යහපතක් නම් නොවන බව පැහැදිලි ය.
විකල්පය
මරණීය දණ්ඩනය නුසුදුසු නම් රටක අපරාධ අඩු කිරීම සිදු කළ හැක්කේ කෙසේ ද? මරණීය දණ්ඩනය නිසා පුද්ගලයෝ අපරාධ සිදු කිරීමට බිය නොවෙත් ද? මෙය මිත්‍යා මතයක් බව පෙනී යන්නේ, මරණ දඬුවම ක්‍රියාත්මක වන ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල පවා අපරාධ සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින නිසා ය. අනෙක් අතට කෙතරම් දරුණු දඬුවම් ක්‍රියාත්මක වුව ද අපරාධ සිදු කරන බොහෝ පුද්ගලයින් සිතන්නේ තමන් එය කළ බව හෙළි නොවනු ඇති බව යි. තවත් අයෙක් ක්ෂණිකව ඇති වන රාග හෝ ද්වේශ හෝ සිතුවිලි නිසා අපරාධ සිදු කරති. රටකට නීති පද්ධතියක් අනවශ්‍ය බව අපි මින් අදහස් නොකරමු. නුවණැත්තන් අකුසලයට බිය වුව ද නුවණ නැත්තන් තුළ වරදට බිය ඇති කිරීම සඳහා සිර දඬුවම් වැනි දෑ අවශ්‍ය ය. අප යෝජනා කරන්නේ අපරාධයන්ට සම්බන්ධ වී සිර ගතවන පුද්ගලයින් තුළ කුසල් සිතුවිලි වර්ධනය කර පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් තිබිය යුතු බව යි.
අප දකින ආකාරයට රටේ දක්නට ඇති අපරාධ රැල්ලට හේතුව වී ඇත්තේ මිනිස් සිත් සතන් තුළ අකුසල් ජනිත කරවන වර්තමාන සමාජ වටපිටාව ය. එක් පසකින් අවශ්‍යතා වර්ධනය කරවන වෙළඳපොල ආර්ථික ක්‍රමය ය. අනෙක් පසින් රාගය, ද්වේශය වර්ධනය කරවන මාධ්‍යයන් ය. මෙකී විෂම සමාජය අප පිටු දැකිය යුතු ය. වහා සිදු කළ යුත්තේ මිනිස් සිත් තුළ අකුසල් සිතුවිලි ජනිත නොවන, කුසල් සිතුවිලි ජනිත වන බෞද්ධ සමාජයක් යළි බිහි කර ගැනීම යි.
-නාරද බලගොල්ල
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
වටිනා අදහස්.
ReplyDeleteමෙම ලිපියට එකගිවිය නොහැකි තැන් බොහෝයි. නාරද තමගේ හිතළු බෞද්ධ මතයක් ලෙස පෙන්වීමට යාම නොකල යුත්තක්. බුදුන් ජීබමාන කාලයේදී පවා සිටිය රජවරුන් විවිධ අවස්ථාවලදී මරණ දන්ඩනය ක්‍රියාත්මක කල අයුරු කියැවෙන තැන් බොහෝයි.
ReplyDeleteගෞතම බුදුන් වහන්සේ මංගල සූත්‍රයේදී දක්වා තිබෙන්නේ ධර්මයේ හැසිරීමට නම් පතිරූප දේශයක, එනම් ඊට උචිත පරිසරයක් ඇති රාජ්‍යයක වාසය කිරීම අත්‍යශව්‍ය බවයි.එසේ නොවන කාලයක එවැන්නක් පිළීඹද සාකච්ජාව පල රහිත වන්නේමය.
පතිරූප දේශයක් ලෙස ගැනෙන්නේ සාමකාමී, සෞභාග්‍යවත් රාජ්‍යයකි. මෙහිලා එවැනි රාජ්‍යයක ස්වභාවය බුදුවදනට අනුකූලව විග්‍රහ කර ගැනීම අතිශයින් වැදගත් වනු ඇත. බුදුරදුන් දීඝ නිකායේ කූට දන්ත සූත්‍රය තුළින් මැනවින් දක්වා ඇති අන්දමට රාජ්‍ය බලය හැඳින්වෙන්නේ ‘ඉන්ද්‍රඛීලය’ ලෙසිනි. මේ උත්තරීතර වූ ‘රාජ්‍ය බලය’ , මුළු මහත් ලොව පුරා, ධාර්මිකව, පතුරුවා හරින බෞද්ධ පරමාදර්ශය සක්විති රජුය. චක්කවත්තී සීහනාද ආදී සූත්‍රයන්හි දැක්වෙන ලෙස මේ ධාර්මික සක්විති රජු සතුව සුවිශාල ඇත්, අස්, රිය, පාබල චතුරංගනි සේනාවක් පවතී. සප්තරත්නය පෙරටුව රාජ්‍ය කරන මේ සක්විති රජු වෙත මේ හමුදාවේ සියලුම අවශ්‍යතා සංතෘප්ත කොට ඔවුන් යහපත් මානසිකත්වයකින් තබා ගැනීමේ යුතුකම පැවරේ.
‘සබ්බා උජු ගච්ඡන්ති නෙන්තේ උජුගතේ සති’ නායකයා සෘජුව යන විට සියල්ලෝම සෘජුව යති. රාජ්‍ය පාලනය තුළ පහත සඳහන් දස රාජ ධර්මයන් හා දස සක්විතිවත් අන්තර්ගත විය යුතුය. මේ දසරාජ ධර්මයෝ ජාතක පාලියේදී තථාගත සම්මා සම්බුදුරජාණන් විසින් දේශනා කොට අනුදැන වදාළ සේක.
එසේම නාරද පවසන "අප දකින ආකාරයට රටේ දක්නට ඇති අපරාධ රැල්ලට හේතුව වී ඇත්තේ මිනිස් සිත් සතන් තුළ අකුසල් ජනිත කරවන වර්තමාන සමාජ වටපිටාව ය. එක් පසකින් අවශ්‍යතා වර්ධනය කරවන වෙළඳපොල ආර්ථික ක්‍රමය ය. අනෙක් පසින් රාගය, ද්වේශය වර්ධනය කරවන මාධ්‍යයන් ය. මෙකී විෂම සමාජය අප පිටු දැකිය යුතු ය. වහා සිදු කළ යුත්තේ මිනිස් සිත් තුළ අකුසල් සිතුවිලි ජනිත නොවන, කුසල් සිතුවිලි ජනිත වන බෞද්ධ සමාජයක් යළි බිහි කර ගැනීම යි. " විකල්පයද පිලිගත නොහැකියි . එය එසේවීනම් බුදින් දවස කිසිදු අපරාධයක් නොවිය යුතුයි. නමුත් එය එසේවීද?