5/15/2016

නවකවදය රතු දේශපාලනයේ බල මෙවලමක් වන්නේ කෙසේද?

කතෘ:යුතුකම     5/15/2016   No comments

-ඉසුරු ප්‍රසංග-
පූර්විකාව

විශ්ව විද්‍යාලවල නවකවදය පිළිබඳ කලකට ඉහත මා විසින් රචිත මේ සටහන නැවත උපුටා පළකිරීමට තීරණය කළේ නවකවදය පිළිබඳ අද නැවතත් ඇතිවී තිබෙන සංවාදය හේතුවෙනි. මේ සටහන ”බිඳුණු වම් අත” කෘතියේ ශිෂ්‍ය දේශපාලනය පිළිබඳ ලියැවුණු පරිචේදයෙන් උපුටා ගත් කොටසකි. නවකවදයේ එකම වගඋත්තර කරුවා ජවිපෙ නොවුනද ජවිපෙ හා නවකවදය අතර අතිශය තීරණාත්මක සම්බන්ධයක් පැවති බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. ඒ භූමිකාව අද පෙරටුගාමීන් අතට පත්වී තිබිය හැකිය. කෙසේ වුවද මේ පිළිබඳ දියත්වන සංවාදය බෙහෙවින් විකාර සහගත අදහස්වලින් පිරී පවතින්නකි. සරසවි අත්දැකීම් ඇති අයට පවා මේ සංකීර්ණ ප‍්‍රශ්නය හරි හැටි නිරාකරණය කරගත නොහැකිවී ඇති බව පෙනෙයි. එහිදී ඇතමුන් සුපුරුදු ලෙස අන්තරය බේරා ගැනීම සඳහා ගල් පැලෙන බොරු ගොතමින් සිටින අතර තවත් සමහරුන් තමන් දන්නා අත්දැකීම් වපසරිය තුළ සිට ප‍්‍රශ්නය විග‍්‍රහ කරන්නට යාම නිසා මංමුලා වී සිටිති. එහෙත් මේ ලිපිය රචනා වූයේ හුදු සරසවි ශිෂ්‍යයකු ලෙස ලැබෙන අත්දැකීම් ඔස්සේ පමණක් නොව, මෙරට විවිධ විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය දේශපාලනයත්, ජවිපෙ දේශපාලනයත්, අන්තරය ගැනත් මා ලබා ඇති අත්දැකීම් රාශියක් ආශ‍්‍රයෙනි.

සරසවිවල නවකවදයක් නැතැයි හෝ තමන් ඊට සම්බන්ධ නැතැයි මාධ්‍ය ඉදිරියේ මොරදෙන අන්තරේ හා ජවිපෙ සහෝදරයෝ පක්ෂ කමිටුවල රැස්වී ලිපිගොනු දිගහැරගෙන නවකවද වැඩසටහන් සැලසුම් කළ ආකාරය ගැන මම හොඳාකාරවම දනිමි. සරසවියේ මගේ කණ්ඩායමේ සිටි එකසිය ගණනක සිසු පිරිස අතරින් සිව්දෙනෙකු නවකවදය නිසාම පාඨමාලාව හැර ගියෝය. එය එකල සෑම සරසවියකම පාහේ සුලබව සිදුවන්නකි. එහෙත් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ලේ හලන්නට යන අන්තරයේ සහෝදරවරුන්ට එය ඉතා සරල සාමාන්‍ය සිදුවීමකි. නවකවදයට දේශපාලන සම්බන්ධයක් නැතැයි කියන ලදරුවන් කොහේ හෝ සිටිත් නම් මේ සටහනේ එන කරුණුවලින් බොහෝ ඔබ්බට ගොස් වුවද ඒ ගැන පිළිතුරු ලබාදිය හැකිය. මෙය මීට වසර හයකට පමණ පෙර ලියන ලද සටහනකි. එදා පැවති තත්ත්වයන් අද වනවිට වෙනස් වී තිබිය හැකිවුවත් මෙහි මූලික හරය එයින් අවලංගු වී නැතැයි සිතමි. ලිපියේ දීර්ඝ බව අඩු කිරීම සඳහා මුල් සටහන සංශෝධන කීපයකට ලක්කර ඇතිබවද සඳහන් කළ යුතුය.

ජවිපෙ සහ නවකවදය

සරසවි උපසංස්කෘතියේ ඉතා වැදගත් අංගයක් හා ආන්දෝලනාත්මක මාතෘකාවක් වන නවකවදය වනාහී ජවිපෙ තම බලය උදෙසා භාවිත කරන වැදගත්ම මෙවලමකි. නවකවදය පිළිබඳ පොදු සමාජ ආකල්ප හා මාධ්‍ය හරහා ගොඩනඟනු ලබන කතිකාවන් මුළුමනින්ම සාධාරණ ඒවා නොවුණද ශිෂ්‍ය ව්‍යාපාරයේ සරල තර්ක ඔස්සේ බැහැර කළ නොහැකි කාරණා රැසක් ඒ කතිකාවන් තුළ ගැබ්ව තිබේ.
නවකවදයේ මූලික ස්වභාවය සලකා බැලූ කල එය මුළුමනින්ම කළු රාක්‍ෂයකු නොවන අතර, එය වැඩි වශයෙන් ඉතා හානිකර අංග මෙන්ම, ඇතැම් අපූර්ව හාස්‍යජනක අංගවලින්ද සමන්විත සරසවි අත්දැකීමකි. එවන් විවිධ හේතු නිසාම ජ්‍යෙෂ්ඨයන් පමණක් නොව නවකයන් පවා නවකවදයට යම් කැමැත්තක් දක්වන අතර, බොහෝ සිසුන් සාම්ප‍්‍රදායික සුහද පිළිගැනීමකට වඩා නවකවදයේ විශේෂත්වයක්, දකිති. මේ ආකාරයට සාමාන්‍ය සරසවි ප‍්‍රජාව නවකවදය කෙරේ යොමුවීමට බලපාන හේතුකාරණා රාශියක් තිබේ. එහෙයින් නවකවදයේ එකම වගඋත්තරකරුවා ජවිපෙ හෝ අන්තරය ලෙස හැඳින්වීමද සාධාරණ නොවේ. මේ සියල්ල මෙසේ තිබියදී වුවද නවකවදයට ජවිපෙ සම්බන්ධතාවය බැහැර කළ නොහැකි වන අතරම එය කෙබන්දක් දැයි විමසා බැලීමෙන් මේ ගැටලූව හරියාකාරව විග‍්‍රහ කරගැනීම පහසුය.
නවකවදය පිළිබඳව, සුලබව අසන්නට ලැබෙන තනි පැහැයේ විග‍්‍රහයන් එතරම් සාධාරණ නොවුණද පොදුවේ ගත් කල නවකවදය සමන්විත වනුයේ වැඩි වශයෙන්ම ඉතා හානිකර අංගවලිනි. විවිධාකාර ක‍්‍රමවේද ඔස්සේ විශාල ශාරීරික හිංසනයක් මෙන්ම, කිසිදු ඉසිඹුවකින් තොර මානසික පීඩනයක්ද එහිදී නවකයන් මත අඛණ්ඩව මුදා හැරේ. නවකවදයේ ස්වභාවය සරසවියෙන් සරසවියට, පීඨයෙන් පීඨයට වෙනස් වුවද බොහෝ තැන්වල පොදුවේ දරුණු ප‍්‍රතිඵල හමුවන අතර, පසුගිය කාලයේදී සරසවි කිහිපයකම නවක සිසුන්ට හා සිසුවියන්ට පවා පහරදීම් පවා සිදුකර තිබුණේ නවකයන්ගේ සිරුරට අත නොතැබීම පිළිබඳ පිළිගත් නීතියද උල්ලංඝනය කරමිනි. සති මාස ගණනක් තිස්සේ ඉදිරියට ඇදෙන මේ නවකවද ක‍්‍රියාවලියේ පීඩනය දරා ගත නොහැකි වීම නිසා වාර්ෂිකව විශාල පිරිසක් තම පාඨමාලා අතහැර යන බවද ඉතා ප‍්‍රකට කරුණකි. නමුත් සිසුන්, සිසු සංගම්, අන්තරය, ජවිපෙ මෙන්ම සරසවි පරිපාලනයද එකී බරපතළ ගැටලූව නිහඬවම අමතක කර දැමීම නිසා, එය පසුගිය වසර ගණනාවක් තිස්සේම ඉතා සරල සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබිණි.

මෙහිදී පොදු සිසුන් මේ වදක භූමිකාවට බොහෝ විට යොමුවනු ලබන්නේම එය කාලයක් පවතින ස්ථාවර සම්ප‍්‍රදායක් වීම හේතුවෙනි. වදයට ලක්වන අවස්ථාවේ එය දැඩිව පිළිකුල් කරන සිසුන් පවා තමන්ට වදකයකු වීමේ අවස්ථාව ලැබෙන විට ඊට දායක වනුයේ මහත් අභිරුචියෙනි. සහජ ආක‍්‍රමණශීලී හැඟීම, බලය ප‍්‍රදර්ශනය කිරීමේ ආශාව, අනෙකා යටපත් කිරීමෙන් ලබන වින්දනය, කැපී පෙනීම, ලිංගික කාරණා, පුද්ගල අනන්‍යතා ප‍්‍රශ්න, සරල විනෝදය ආදී මානසික ආවේග රැසක් විසින් පොදු සිසුන් මෙම වදක භූමිකාවට පොළොඹවනු ලබයි. එවැනි මානසික අවශ්‍යතා රැසක් තෘප්ත කර ගැනීමේ ආශාව මෙන්ම ඊට තුඩු දෙන සංස්කෘතික පරිසරය විසින්ද පොදු ශිෂ්‍යයා නවකවදයට යොමු කරයි. මේ අන්දමින් නිර්මාණය වන නවකවදයට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වනුයේ ඔවුන් මේ ක‍්‍රියාවලිය තම බලයාන්ත‍්‍රණය ගොඩනැඟීමේ ප‍්‍රධාන මෙවලමක් බවට පත් කරගෙන තිබීම හේතුවෙනි. ජවිපෙ නවකවදයේ එකම වගඋත්තරකරුවා නොවුණද, ඔවුන් මේ සම්ප‍්‍රදාය තමන්ගේ බල ව්‍යාපෘතිය උදෙසා තීරණාත්මක ලෙස භාවිතා කරති.

සරසවි තුළ දක්නට ලැබෙන්නේ පක්‍ෂ දේශපාලනයකට වඩා සංස්කෘතික දේශපාලනයකි. සරසවි තුළ ජවිපෙ බල යාන්ත‍්‍රණය ගොඩනැංවී තිබුණේම සරසවි උප සංස්කෘතිය පදනම් කර ගනිමිනි. මේ අනුව බාහිරින් පැමිණෙන නවකයා සරසවි උප සංස්කෘතියේ නිත්‍ය සිරකරුවෙකු බවට පත් කිරීමේ ප‍්‍රධාන වැඩ කොටස ඉටු කරනු ලබන්නේ නවකවද ක‍්‍රියාවලිය මඟිනි. සරසවි සංස්කෘතියට, එහි අඳබාල වත්පිළිවෙත්වලට, හොඳින් හා නරකින් නවකයා පුහුණු කරවීම මෙහිදී ප‍්‍රධාන වශයෙන් සිදු කෙරේ. එය ජවිපෙ දේශපාලන පැවැත්මට හිතකර අයුරින් නිර්මාණය වී ඇති උප සංස්කෘතියකට නවකයා බලාත්කාරයෙන් අනුගත කිරීමකි. එම උප සංස්කෘතියේ මූලික ස්වභාවය සලකා බැලූ කල එය සමන්විත වී ඇත්තේ සමාජවාදී ආකල්පවල බාල වර්ගයේ අනුකරණ ආශ‍්‍රයෙනි. පෞද්ගලිකත්වය වෙනුවට සාමූහිකත්වය එසවීම මේ සංස්කෘතියේ ප‍්‍රකාශිත පරමාදර්ශයක් වන අතර ඒ වෙනුවෙන් විවිධාකාර සිල්ලර උපක‍්‍රම අනුගමනය කරනු ලැබේ. කටුකත්වය, දරිද්‍රතාවය, බුද්ධි විරෝධය, කායික වෙහෙස, අසංස්කෘතික බව, ප‍්‍රචණ්ඩත්වය, බල ආධිපත්‍යය ආදී ලක්‍ෂණ මෙහිදී උත්කර්ෂයට නැංවෙන අතර ඒ සියල්ල යුක්ති යුක්ත කෙරෙනුයේ සාමූහිකත්වයේ නාමයෙනි.

මේ සාමූහිකත්වය පිළිබඳ උදාහරණ කීපයක් ගතහොත් කෙසෙල් ගෙඩියක් හෝ ටොපියක් වැනි යමක් ගෙන නවක කණ්ඩායමේ අයට එය පොදුවේ සූප්පු කරමින්, ලෙවකමින් අනුභව කරන්නට නියම කිරීම, සාමූහිකත්ව පුහුණුවේ ප‍්‍රකට අංගයකි. දෛනික ආහාර වේල ගැනීමේදී වුවද පෞද්ගලිකත්වයට ඉඩක් නොමැති අතර, බත් පාර්සල් මිරිකමින් එකට අනා ඒවා පොදුවේ කෑමටත්, අන් අයට කැවීමටත් එහිදී අණ කරනු ලැබේ. ඇතැම් විට තවකෙකු විසින් මිරිකමින් අනා තැබූ ආහාර අනුභව කිරීමට මෙහිදී අන් අයට සිදුවන අතර, තවත් විටෙක සියලූ දෙනාගේ කෑම කන්දක් සේ එකට ගොඩගසා පිළිකුල හැෙඟන සේ එකට කලවම් කර පෝලිමේ පැමිණ ඒවා වැළඳීමට නියම කරති. නේවාසිකාගාරවල ශාරීරික වදහිංසාවලදි දහදියෙන් තෙත්වන කමිස කලිසම්ද එවෙලේම එකිනෙකා අතර හුවමාරු කර ගනිමින් ඇඟලා ගැනීමටද නවකයන්ට සිදුවෙයි. තම සමාන සගයන් ගැන පිළිකුල ඇති කර ගැනීම වරදක් වන අතර, සබන්, දත්බේත් ආදියේ සිට සෑම දෙයක්ම බෙදා හදා ගැනීමටද එහිදී ජ්‍යෙෂ්ඨයන්ගෙන් උපදෙස් ලැබේ. තවත් විටෙක නවක ගැහැනු හා පිරිමි ළමයින් කුඩා ඉඩකට ගොනුකර ඉතා තදින් එකිනෙකාගේ සිරුරු මත තෙරපීමට අණ කරනු ලබන්නේ එකම කණ්ඩායමේ සහෝදර සහෝදරියන් අතර අනිසි රාගික හැඟීම් මැඩපැවැත්වීමට යයි පවසමිනි. එහිදී පුරුෂ ඉන්ද්‍රියන් ප‍්‍රාණවත් වීම වරදක් ලෙස සැලකේ.

මේ ආකාරයේ නිමක් නැති විකාර සහගත ක‍්‍රියාකාරකම් අවසානයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් සාමූහිකත්වය, පොදු බව, සමානාත්මතාවය, සහෝදරත්වය ගැන කටපාඩම් කරගත් දේශනා පවත්වමින් ඉහත කී ක‍්‍රියාවන්ගේ අර්ථය පැහැදිලි කර දෙති. එමෙන්ම ශාරීරික දුෂ්කරතා විඳීමේ ශක්තියද එහිදී ඉහළ අගය කිරීමකට ලක් කෙරේ. මේවා කෙතරම් නිශ්ඵල දේ දැයි එම ක‍්‍රියාවන්ට අණ දෙන ජ්‍යෙෂ්ඨ සිසුන්ට පවා හැෙඟන නමුදු ඒවායේ වක‍්‍රාකාර දුරස්ථ ප‍්‍රතිඵල වන්නේ බිය නිසා හෝ මේ ඊනියා සාමූහිකත්වයට, පොදු බවට හිස නමන තත්ත්වයක් නවකයන් තුළ ඇතිවීමයි. එය ජවිපෙට වාසි සහගත වන්නේ මේ කියන පොදු වැඩ මොනවාදැයි ඉන් ඉදිරියට තීරණය කරනු ලබන්නේ ශිෂ්‍ය සංගම් තුළ සිටින තම නියෝජිතයන් හරහා වන බැවිනි. නියෝජිතයන් බොහෝ විට ජවිපෙ වුවද ශිෂ්‍ය සංගම් හඳුන්වා දෙනු ලබන්නේ පක්‍ෂ භේදයකින් තොර පොදු ශිෂ්‍ය සුබසිද්ධිය උදෙසා වූ ආයතන වශයෙනි. ඒ නිසා ශිෂ්‍ය සංගමය විසින් පවරන වැඩකටයුතු ඉටු කිරීමට පොදු සිසුන් හා විශේෂයෙන් නවක කණ්ඩායම් බැඳී සිටිති. එහිදී තමන්ගේ පහළ කණ්ඩායම හොඳින් හෝ නරකින් මේ වැඩවලට යොමු කිරීම ඉහළ කණ්ඩායමේ වගකීමකි. මේ වගකීම් හා වැඩ පැහැර හරින්නන් හැඳින්වෙන්නේ අලයන්, අපතයන් ආදී වූ නම්වලිනි. මේ අනුව පොදු වැඩ මඟනෑර ඉටු කිරීම උතුම් ගුණයක් වන අතර, ජවිපෙ දේශපාලන සටන් පාඨ අන්තරය හරහා, ශිෂ්‍ය සංගම් හරහා පොදු වැඩ ලෙස සරසවි වෙත පැවරීම සිදුකෙරේ. සාමූහිකත්වය පිළිබඳ නවකවදයේදී උගන්වන පාඩම් අනාගතයේදී ජවිපෙ විසින් ප‍්‍රයෝජනයට ගනු ලබන්නේ එසේය. මේ ආකාරයට පොදු ශිෂ්‍ය ප‍්‍රජාව පුරුද්ද නිසා, සම්ප‍්‍රදාය නිසා, මානසික ආවේග හා සමාජ කාරණා නිසා නවකවද ක‍්‍රියාකාරකම්වලට යොමුවන අතර එහි වක‍්‍රාකාර බොල් අස්වැන්න නෙළාගනු ලබන්නේ ජවිපෙ විසිනි.

මෙරට විශ්වවිද්‍යාල තුළ මෙය ඉතා පැහැදිලි යථාර්ථයක් වුවද සමාජවාදී ශිෂ්‍ය සංගමය ප‍්‍රසිද්ධ කතිකාවන්වලදී නවකවදයට එරෙහි වෙති. නවකවදය හරහා පක්‍ෂයට පිරිස දිනාගන්නේ කෙසේදැයි ඔවුහු ආඩම්බරයෙන් ප‍්‍රශ්න කරති. නවකවදයෙන් බිය ගන්වා නවක සිසුන්ට ජවිපෙ සාමාජිකත්වය ප‍්‍රදානය නොකරන බව හා එය කළ නොහැකි බවද සැබෑවකි. එසේ වුවද ඉහළ සිට පහළට අදිසි ලෙස ක‍්‍රියාත්මක වන ජවිපෙ සංස්කෘතික බලයාන්ත‍්‍රණයට අනුගත වීමට අවශ්‍ය යටහත් පහත් බව, බියසුලූ බව, අවිචාරවත් මනස, අතාර්කික බව හා බිඳුණු පෞරුෂය නවකයා තුළ උද්ගත කරනුයේ නවකවදය මගිනි. ඉතා ග‍්‍රාම්‍ය හා විකාරරූපී සරසවි සම්මුතීන් අති උතුම් පරමාදර්ශ ලෙස කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගැනීමට නවකයන් පොළඹවනු ලබන්නේ නවකවදය මගිනි. හොඳින් හෝ නරකින් ඔවුන් සරසවි සංස්කෘතියට පුරුදු පුහුණු කරවනු ලබන්නේ නවකවදය මගිනි. මෙය පක්‍ෂයට සාමාජිකයන් බඳවා ගැනීමට වඩා බෙහෙවින් සංකීර්ණ හා බහුජන මුහුණුවරක් සහිත කටයුත්තක් වන අතර ඇතැම් විට ජවිපෙ එකදු සාමාජිකයෙකු හෝ නොමැති තැන්වල පවා මෙය නිසි පරිදි ක‍්‍රියාවට නැංවේ. උදාහරණයක් ලෙස මා රජරට කෘෂිකර්ම පීඨයට ඇතුළත් වන විට එහි එකදු ජවිපෙ සාමාජිකයෙකු හෝ නොවීය. එමෙන්ම විශාල ජවිපෙ විරෝධයක්ද පීඨය තුළ පැවතිණි. පක්‍ෂ දේශපාලනයටද දැඩි තහංචි පනවා තිබිණි. එවැනි තත්ත්වයක් යටතේ පවා එහි ක‍්‍රියාත්මක වූයේ ජවිපෙ විසින් ඉල්ලා සිටින බල යාන්ත‍්‍රණය ගොඩනැඟීමට අවශ්‍ය සියලූ සාධක සහිත නවකවදයකි. මේ ක‍්‍රියාවලියේ සූක්‍ෂම බව නිසාම එහි නියැළෙන්නන්ට පවා තමන් කරන කටයුත්තේ වක‍්‍රාකාර ප‍්‍රතිඵල ගැන අවබෝධයක් නොවීය. අවසානයේදී උග‍්‍ර ජවිපෙ විරෝධීන් අතින්ම ජවිපෙට අවශ්‍ය පරිසරයක් සකසා දීම සිදුකෙරිණි. වෙනත් සරසවිවලටද මේ තත්ත්වය බොහෝ දුරට වලංගුය.
නිදහස් අධ්‍යාපනය සුරැකීම, අරගල කිරීම, පොදු වැඩ මඟ නොහැරීම, දුෂ්කරතා විඳ දරා ගැනීම, කැප කිරීම, අල නොවීම, පාවා නොදීම, ජ්‍යෙෂ්ඨයන් යටහත්ව ගරු කිරීම, ආචාර්යවරුන්ට ගරු නොකිරීම, අන්තරයේ වැඩවලට සහය වීම, සරසවි නීති රැකීම යනාදී දේවභාෂිතයන්ට පොදු සිසුන් එකඟ වේ නම් ජවිපෙ අරමුණුද ඒ හරහා වක‍්‍රව සාක්‍ෂාත් වන අතර, නවකවදයෙන් එවැනි ප‍්‍රතිඵල මිස ජේවීපී කාරයන් බෝකර ගැනීමක් ඇත්තෙන්ම සිදු නොවේ.

ප‍්‍රාථමික මනෝභාවයන් ඇතුළු හේතු රැසක් මත පොදු සිසුන් නවකවදයට යොමු වන අතර ජවිපෙ මගින් ඊට න්‍යායික ආවරණයක්, නීත්‍යානුකූල බලයක්, ආරක්‍ෂාවක් මෙන්ම විශාල සංවිධානාත්මක ශක්තියක්ද සැපයේ. නවක අනුරූපිතා වැඩසටහන, නවක නම්නීකරණය ආදී ගරු නාම සහිතව නවකවදය නිල වශයෙන් ස්ථාපිත කොට පවත්වාගෙන යන ලද්දේ ජවිපෙ ශිෂ්‍ය සංගම් විසිනි. ඒ ශක්තිය නොවන්නට නවකවදය මේසා ආන්දෝලනාත්මක මාතෘකාවක් නොවන්නටද ඉඩ තිබිණි. අවසාන වශයෙන් මෙය සැලකිය හැක්කේ ඉතා අල්ප හා නොවැදගත් දේශපාලන ප‍්‍රතිලාභයක් වෙනුවෙන් පොදු ශිෂ්‍ය ප‍්‍රජාවට මහත් ව්‍යසනයකට පමුණුවන කි‍්‍රයාවලියක් වශයෙනි. ජනතා විමුක්ති පෙරමුණට පවා මේ හරහා කිසිදු සරුසාර දේශපාලන ප‍්‍රතිලාභයක් හිමි නොවූ අතර තම පටු ක‍්‍රියාකාරීත්වයේ බලයට පොදු ශිෂ්‍ය සමූහය දක්කා ගැනීමේ ඉතා පසුගාමී හා නොහැකියාව මත පදනම් වූ බල වුවමනාව පමණක් මේ සියල්ල පසුපස සැඟවී තිබිණි.
බිඳුණු වම් අත (පිටු 249- 256)
ඉසුරු ප‍්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com