5/02/2016

සක්කාරං - විශිෂ්ටයෙකුගේ හොඳ සිනමා පටයක්...

කතෘ:යුතුකම     5/02/2016   No comments

-වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර-ධර්මසේන පතිරාජයන්ගේ නවතම සිනමා කෘතිය 'සක්කාරං' නැරඹුවෙමි. එය පතිරාජයන්ගේ මෙතෙක් එළි දුටු චිත්‍රපටවලින් වෙනස් වූ ඓතිහාසික මුහුණුවරක් ගත්තකි. මෙය සිනෙ සරසවි නිෂ්පාදනයකි. චම්මින්ද වෙලගෙදරයන්ගේ සුප්‍රකට නවකථාව අසුරෙන් ඔහු විසින්ම තිර පිටපත ලියන ලද්දකි. ඒ නිසාත්, සිනමාව යනු වෙනස් මාධ්‍යයක් නිසාත් සිනමා පටයක් නැරඹීමේදී එහි මුල් කතාවට සාධාරණයක් ඉටු වූවදැයි සෙවීම යුතු නොවේයැයි මම සිතමි. එබැවින් මෙහි ලියැවෙන්නේ 'සක්කාරං' චිත්‍රපටියේ ප්‍රෙක්ෂකයෙකු ලෙස මා දුටු, මට හැඟුණු දේ පමණි.

දළදා මාළිගයට අයත් රාජකාරි ගම්වල වෙසෙන නර්තන ශිල්පී ප්‍රජාවක් හා සුදු අධිරාජ්‍යවාදීන්ගේ බලපෑමත් සමඟ ඔවුන් මුහුණ දෙන ගැටළු සිනමා පටයට විෂය වෙයි. එහෙත් එපමණක් නොව, 'සක්කාරං' හි සරල කතාවක් තුලින් බොහෝ දේ කියන්නට යත්න දරන බව පෙනේ. කතාව විකාශය වන්නේ සුබේ හා ඔහුගේ බිරිඳ වන රතී යුවළ වටාය. ඒ තරුණ යුවළේ ප්‍රෙමය නිරූපණය කිරීම මෙම චිත්‍රපටයේ මා දුටු අපූර්වත්වය වෙයි. වෙසෙසින්ම ඓතිහාසික සන්දර්භයක් සහිත සිනමා පටවල අදාල කතාව කියන්නට යාමේදී ප්‍රෙමය කැමරාවට හසු නොවන තරම්ය; එසේත් නැත්නම් එය හැඟීම් නොදන්වන ඕලාරික නිරූපණයන් බවට පත්වීම සුලබ දසුනකි. එහෙත් පැරණි ලාංකික සමාජයේ කුටුම්භ ප්‍රෙමය 'සක්කාරං' තුලින් අපූරුවට අප වෙත සමීප වෙයි. සුබේ හා රතීගේ ආදරණීය බැලුම්, සැලකුම්, ආදරණීය කතා බහ හා දඟකාරකම්, අඹු සැමියන්ගේ අන්‍යෝන්‍ය ගෞරවය හා ආදරය අප වෙත ගෙනෙන නැවුම් ප්‍රෙම වෘතාන්තයක් තිරයේ සිත්තම් කරයි. එහිදී විශේෂයෙන්ම රතීට පණ දෙන ප්‍රසිදිනි අතපත්තුගේ සහ සුබේ ලෙස රඟන බිමල් ජයකොඩිගේ නිරූපණයන් අතිශය සාර්ථක බව මගේ හැඟීමයි.ඔවුන්ගෙන් උපරිමය ලබා ගැනීමත්, වෙසෙසින්ම පහත්යැයි සම්මත කුලයක චරිත ලවා ප්‍රෙමයේ සුන්දරත්වය ප්‍රකාශ කිරීමත් පිළිබඳව චිත්‍රපට අධ්‍යක්ෂවරයාට ප්‍රෙක්ෂක ප්‍රසාදය හිමිවෙයි.

'සක්කාරං'හි චරිත නිරූපණයේදී මෙන්ම සමස්ත කතාවේ ද ධනාත්මක ලක්ෂණයක් වන්නේ චරිත හා සිද්ධි දෙස මැදහත්ව බැලීමයි. බස්නායක නිළමේ රතී වෙත දැඩි කැමැත්තක් දක්වන අතර සුබේ නොමැති වෙලාවක් බලා වරක් ඇයව යටපත් කරගනී. එහෙත් තමා යටතේ සිටින පහත්යැයි සම්මත ජනතා වුව ද නොපෙළන, සම්ප්‍රදාය රකිමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් සොයා බලන, එසේම කැලෑ කපා කෝපි වැවීමේදී ඊට විරෝධය පාන ඔහු පිළිබඳව ප්‍රෙක්ෂක සිතේ වෛරයක් නූපදී. නිළමේ සිය වයස්ගත බිරිඳ හා ගෙවන අසාර්ථක පවුල් ජීවිතය ඔහුගේ සමහර නොහික්මුණුකම් වලට හේතුව විය හැකියැයි ප්‍රෙක්ෂකයා සිතන අතරේම නිළමේගේ බිරින්දෑගේ ඉරණම පිළිබඳව ද අනුකම්පාවක් ජනිත වෙයි. රාජකාරි කරන ජනයා පදිංචි වී සිටින දළදා මාළිගයට අයත් ඉඩම්වලට සින්නක්කර ඔප්පු දීමට මහනායක හිමි අකමැතිවීම තුළ අපේ සිතෙහි උන්වහන්සේ පිළිබඳව අප්‍රසාදයක් ඇති නොවන්නේ උන්වන්සේ එයට හේතු ලෙස දක්වන කරුණුවල සත්යතාවයක් ඇති වග අවබෝධ වීමෙනි. එසේ අකමැති වීමට හේතු නැවතත් සාමණේර නමකගේ මුවට නගන්නේද පුනරුක්ති දොසකට නොව එය අප වෙත අවධාරණය කරනු පිණිස බව පෙනේ. එපමණක් නොව,කෝපි වැවීම සඳහා ස්වදේශිකයන්ගේ ඉඩම් කොල්ලකන බවට සියළු දෙනා විසින්ම චෝදනා කරන සුද්දන් කෙරෙහි පවා අපට උපෙක්ෂාවෙන් බැලීමට පොළඹවන්නේ පන්සලේ නායක හිමියන්ගේ ඉල්ලීම පරිදි සුබේ ඇතුළු පරපුරට පදිංචියට ඉඩම් ලබා දීමට ඒජන්ත තැන එකඟ වීමත්, සුබේ-රතී යුවළගේ දියණිය පාසල් යැවීමට ඒජන්ත බිරිඳ ඉඩ සැලසීමත් වැනි සිද්ධි දැකීමෙනි. මෙලෙස ලෝකස්වභාවයේ පරිදිම සාතිශය බහුතරයක් අළු චරිත අප වෙත ගෙනෙන චිත්‍රපටය හීන් නිළමෙගේ චරිතය පමණක් සම්පූර්ණ කළු චරිතයක් කොට ඇත්තේත්, ඔහුට එරෙහිව නැගෙන වීරයන් තනා ඇත්තේත් එවන් ගැටුමක් නැති තැන රසයක් නැති වෙන බැවින් විය හැකිය! ඒ අතර රාජකාරි ක්‍රමය පිළිබඳව ද සිනමා පටය හෙළන්නේ යටත්විජිතවාදී නොවූ බැල්මකි. සුද්දන්ගේ ඉතිහාස අධ්‍යාපනය ලැබූවන් රාජකාරි ක්‍රමය හා ඒ හා බැඳුණු කුල ක්‍රමය දකින්නේ වහල් මෙහෙයක් ලෙසිනි. එහෙත් 'සක්කාරං' එය දකින්නේ ස්වාධීන මනසකිනි. මෙහි එන සමාජය බරපතල කුල පීඩනයකට හසු වූ වගක් නොපෙනේ. මෙම නර්තන ශිල්පීන් සමාජයෙන් කොන් වූ බවක් නොපෙනේ. තීරණ ගැනීමේදී, අදහස් ප්‍රකාශ කිරීමේදී පන්සලට කැඳවෙන පිරිස අතර ඔවුහු ද වෙති. වරක් සුබේගේ මුවින්ම කියවෙන පරිදි 'බෙර ගැහුවත්, පතුල් පැළෙන තුරු දළදා පෙරහැරේ නැටුවත් ඔවුන් වලව්වට වාල්කම් කිරීමක්' වී නැත.ඔවුන් රාජකාරිය සලකන්නේ බුද්ධපූජාවක් සේය. කෙසේ වුවද ඔවුනට වන අසාධාරණකම් පිළිබඳව ද චිත්‍රපටය අපට පෙන්වා දෙයි. ඔවුන්ට ඉඩම් ගැටළුවක් ඇති වන්නේත්, ජීවත් වන බිම අහිමි වේදෝයි සැක සාංකා මතුවන්නේත් ඉංග්‍රීසීන් විසින් ඉඩම් පවරා ගැනීම ඇරඹීමත් සමඟිනි; යටත්විජිතවාදයට කත් අදින හීන් නිළමේ වැන්නන් කුල භේදය ඉස්මතු කිරීමත් සමඟිනි. මෙහිදී වැදගත් වන්නේ රාජකාරි ක්‍රමය පිළිබඳව අපට විනිශ්චයක් නොදී එහි ගුණාගුණ මැදිහත්ව අප ඉදිරිපිට තැබීමයි.

කෙසේ වුවද 'සක්කාරං' සිනමා පටය මට සිහිපත් කළේ 'භේරුණ්ඩ පක්ෂියා' සහ 'සුදු කළුවර' වැනි සිනමා පටවල අච්චුවයි. එබැවින් තේමාව අතින් ගත් කළ එහි අපූර්වත්වයක් දැකිය නොහැකිය. අවසානය ද සාම්ප්‍රදායික එකක් වේ. දුෂ්ටයා එසේත් නැතිනම් 'නපුර' තාවකාලික පරාජයකට ලක් වනු ප්‍රෙක්ෂකයා දකී. එහෙත් ඉන් ප්‍රෙක්ෂකයා සැනසිය නොහැක්කේ ඉතිහාසයේ වූ දේ අප දන්නා බැවිනි. ජල මූලාශ්‍ර වනසමින් සුද්දා විසින් වතු වගාව ඇරඹීම අපට නවතාලීමට නොහැකි වූවා පමණක් නොව, අදටත් අපට අතහැරගත නොහැකි වී ඇත. පාලන බලය සුද්දන්ගෙන් මාරු වූයේ ටයි කෝට් අඳින සහ ජාතික ඇඳුම හැඳ හැඳි ගෑරුප්පුවලින් කිරිබත් කන කළු සුද්දන් අතටය. අදත් ඔවුන්ගේ ඒජන්තයෝ රට පාලනය කරති.

'සක්කාරං'හි චරිත නිරූපණය බොහෝ දුරට සාර්ථක බව මගේ අදහසයි. මගේ සිත් ගත් හොඳම රඟපෑම රතීගෙනි. ප්‍රෙමය, ස්වාමි භක්තිය, දරු සෙනෙහස ඇතුළු බොහෝමයක් හැඟීම ඇයගෙන් විශිෂ්ට ආකාරයට නිරූපණය වේ. මා හිතන ආකාරයට මේ ප්‍රසිදිනි අතපත්තු චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරන පළමු අවස්ථාව වෙයි. ඇගෙ කැපී පෙනෙන රංගනයට හේතු ලෙස පතිරාජයන්ගේ අධ්යක්ෂන හැකියාව මෙන්ම ඇය වේදිකාව ඇසුරු කර තිබීම ද යන හේතු දෙකම අදාල බව මම සිතමි. බිමල් ජයකොඩි ද සුපුරුදු පරිදි හොඳ රංගන කුසලතාවක් පෙන්වයි. මෙම චිත්‍රපටයේ ගයාන් වික්‍රමතිලකගේ චරිත නිරූපණය පිළිබඳව ද යමක් කිව යුතු යයි හඟිමි. ඔහුගෙ රංගනය මට සිහිපත් කළේ ශ්‍රියන්ත මෙන්ඩිස් නමැති ප්‍රවීණ රංගන ශිල්පියාගේ සේයාවකි. ඔහුගේ පෙනුමේ පවා සමහර අවස්ථාවල එවන් සාම්‍යයක් මම දිටිමි. හොඳ අධ්යක්ෂ්වරුන්ට හසුවුවහොත් ගයාන්ට සුපැහැදිලි අනාගතයක් හිමිවනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. සුළු සුළු අඩුපාඩු හැරුණු විට අනෙක් චරිත වලට පණ දුන්නන් බොහෝදුරට සිය චරිතවලට සාධරණයක් ඉටු කරන බව පෙනේ.

සංගීතය අතින් නදීක ගුරුගේට කරන්නට වැඩි යමක් නොතිබුණත් ඔහුගේ කාරිය ඉෂ්ට වී ඇත. කලා අධ්යක්ෂවරයාගේ වැඩිමනත් වැරද්දක් සොයගත නොහැක. ඓතිහාසික කතා සිනමාවට නගන්නට යෑමේදී විශිෂ්ටයන්ට පවා සිදුව ඇති අලකලංචි බැලූවිට එය ඉතා හොඳ තත්ත්වයකි. කෙසේ වුවද දස වසරකට පසු පෙන්වන දර්ශන වලදී සුබේ, රතී හා නිළමේ වයසට ගොස් ඇති ප්‍රමාණයට සාපේක්ෂව සුබේගේ පියා, හාමුදුරුවෝ හා සමහර ගම් වැසියන් වයසට ගොස් නැති වගක් මගේ නෙත ගැටිණි. එය සිදුවූයේ නොසැලකිල්ල නිසාද, එසේත් නොමැති නම් ඔවුන්ගේ තිරිහන් බව රැකෙන ජානයක් ඇති නිසාද යන්න නොදන්නා බැවින් මම වැඩිපුර ඒ ගැන නොපවසමි.

පැය දෙකකට ආසන්න කාලයක් දිවෙන 'සක්කාරං' ඕනෑම අයෙකුට අපහසුවකින් තොරව නැරඹිය හැකි බව නොබියව කියමි. සංයමය මැනැවින් රැකගෙන රසවිඳිය හැකි කතාවක් කීමට අධ්‍යක්ෂවරයා සමත් වී ඇත.

'සක්කාරං' අපේ රටේ කලාවේ ප්‍රාණය වූ ජන කොටසක් දෙස සානුකම්පිතව හා මානව හිතවාදීව, මැදහත් බැල්මක් හෙළුෑ හොඳ චිත්‍රපටයකි. ආචාර්ය ධර්මසේන පතිරාජයන් අධ්යක්ෂණය කළ බැවින් එය එසේ නොවී නම් ලජ්ජාවට කරුණකි. එසේ වුවත් එය විශිෂ්ට සිනමා පටයකැයි කීමට මම පසුබට වෙමි. එසේ කීමට තරම් අපූර්වත්වයක් මම එහි නොදකින බැවිනි. එය අධ්යක්ෂවරයාගේ වරදක් නොවීමට ඉඩ ඇත. නව කථාවක් නමැති රාමුවක් තුල කොපමණ විශිෂ්ටයෙකුට වුවද පින්සල හසුරුවා සිත්තම් කළ හැකි සීමාවක් ඇති වග ද අප අවබෝධ කරගත යුතු බැවිනි.

කෙසේ වුවද 'සක්කාරං' අපට කියන පණිවුඩය අප ග්‍රහණය කරග යුතුය. විවිධ වෙසින් අපේ රටවල් සිය ග්‍රහණයට හසු කරගන්නා නව යටත්විජිතවාදය යනු සිහිනයක් නොවන බැවිනි. ඉතිහාසය නැවත සිදුවන බව ඇරිස්ටොටල් පැවසුවේ අප වෙනුවෙනි.


යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions