5/02/2016

සිරිසේනලාගේ යහපාලන බයිලා මැද්දේ බැඳුම්කර මගඩිය දිගටම

කතෘ:යුතුකම     5/02/2016   No comments

ඇවිල්ල ඇවිල්ලා... බැඳුම්කර මගඩිය - 2 ඇවිල්ලා

-ශ්‍යාම් නුවන් ගනේවත්ත

ගිය වසරේ (2015) දී සිදුවූ මහ බැංකුවේ මහා පරිමාණ බැඳුම්කර වංචාවෙන් පසුවද එවැනි ප්‍රශ්නගත බැඳුම්කර නිකුත් කිරීම් සිදුවෙමින් පවතින බවත් එහිදී සිදුවන පොලී අනුපාත ඉහළ යැම හරහා මහජනතාවට අතිවිශාල පාඩුවක්‌ විඳීමට සිදුව ඇති බවත් මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති. මේ බැඳුම්කර නිකුතුවලදී කෘත්‍රිම ලෙස පොලී අනුපාත ඉහළ නංවා මහ බැංකුව විසින් මුලින් ප්‍රසිද්ධ කළ වටිනාකම ඉක්‌මවා බැඳුම්කර ලංසු පිළිගැනීමෙන් මේ අක්‍රමිකතාව සිදුවන බවද මෙය හුදෙක්‌ම වෙළෙඳපොළ ක්‍රියාවලිය තුළ සිදුවූ පොලී අනුපාත තීරණය වීමක්‌ ලෙස පෙන්වා දෙමින් මහ බැංකුව විසින් මේ අක්‍රමිකතාව සාධාරණීය කරමින් සිටින බවට ද ඔවුහු චෝදනා කර සිටිති. එහිදී චෝදනාවන්ට ලක්‌ වී ඇති එක්‌තරා ප්‍රාථමික වෙළෙඳ ආයතනයක වැඩි ලංසු පිළිගැනෙන පරිදි, මහ බැංකුව ක්‍රියාකිරීම විශේෂත්වයක්‌ බව පෙන්වා දෙන මුල්‍ය වෙළෙදපොළ නියෝජිතයන් කියා සිටින්නේ ඉහළ පොළියට එතරම් බැදුම්කර ලංසු ප්‍රමාණයක්‌ පිළිගත්තේ රජයේ ණය අවශ්‍යතාව අනුව බවට මෙම අක්‍රමිකතා චෝදනා ප්‍රතික්‌ෂේප කරමින් මහ බැංකුවේ එක්‌තරා නිලධාරියෙක්‌ පැහැදිලි කරමින් සිටින බවයි .එහෙත් රජයේ ණය අවශ්‍යතා මෙන්ම කලින් නිකුත් කළ බැදුම්කරවල කල් පිරෙන දින ගැන මහ බැංකුව කල්තියාම දන්නා බැවින් එම ප්‍රකාශ පිළිගත නොහැකි බවද ඔවුහු කියා සිටින කරුණකි. මේ පසුබිම තුළ මහ බැංකුවට දෙවන වරටත් චෝදනා එල්ල වී ඇති අදාළ බැදුම්කර නිකුත් කිරීම් ගැන අපි මේ ලිපියෙන් සාකච්ජා කරමු .

මේ බැඳුම්කර නිකුත් කර, සිදු කරන්නේ රජයට ණය ගැනීම වන බැවින් මෙහිදී රාජ්‍ය නය කළමනාකරණය ගැනද සාකච්ජා කිරීම වැදගත්ය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන නියෝජිත කටයුතු අතර එක්‌ ප්‍රධානතම කටයුත්තක්‌ වන්නේ රාජ්‍ය ණය කළමනාකරණයයි. මුදල් නීති පනතේ 113 වගන්තියට අනුව රාජ්‍ය ණය කළමනාකරණය හා සම්බන්ධ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, රජය වෙනුවෙන් ණය උපකරණ නිකුත් කිරීම සහ රජයේ දේශීය හා විදේශීය ණය සේවාකරණය සම්බන්ධ සියලූ කටයුතු මෙහෙයවීම සිදු කරයි. මුදල් අමාත්‍යාංශය විසින් විදේශීය මූලාශ්‍ර වලින් ණය ලබා ගැනීම සම්බන්ධ කටයුතු මෙහෙයවනු ලැබේ. විචක්‌ෂණශීලී අවදානම් මට්‌ටමකට අනුරූපව අවම පිරිවැයක්‌ යටතේ රජයේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමත්, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොල වැඩිදියුණු කිරීම හා ශක්‌තිමත් කිරීමත්, එහි කාර්යක්‌ෂමතාව වැඩි කිරීම හා ස්‌ථායිතාව පවත්වාගෙන යාමත් රාජ්‍ය ණය කළමනාකරණයේ අරමුණු වේ. රාජ්‍ය ණය කළමනාකරණයේදී අනුගමනය කළ යුතු උපාය මාර්ගයන්, අරමුණු පිළිබඳව කිසියම් නීතියකින් පැහැදිලි ලෙස දක්‌වා නොමැති වුවද, රාජ්‍ය ණය කළමනාකරණය තුළින් පහත සඳහන් අරමුණු ඉටු කර ගැනීමට අදහස්‌ කරන බව පැහැදිලිය.

* දිගුකාලින දෘෂ්ඨි කෝණයකින් බලන විට රාජ්‍ය ණය සඳහා වූ සෘජු හා වක්‍ර පිරිවැය අවම කිරීම.
* ණය සේවාකරණ පිරිවැයෙහි උච්ඡාවචනයන් මගහැරීම සහ එහි තුලිත ව්‍යාප්තියක්‌ සහතික කිරීම.
* ණය ගෙවීම් අධික ලෙස ඒකරාශී වීම වැලැක්‌වීම.
* ණය ප්‍රතිමූල්‍යකරණ අවදානම/නැවත නිකුත් කිරීමේ අවදානම අවම කිරීම.
* රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයේ කාර්යක්‌ෂමතාව ප්‍රවර්ධනය කිරීම.
* රාජ්‍ය ණය සේවාකරණය 100% ක නිරවද්‍යතාවකින් යුක්‌තව නියමිත වේලාවට සිදු කිරීම.

මේ සඳහන් කළ කරුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ නියෝජිත කටයුතු යන ශීර්ෂය යටතේ රාජ්‍ය ණය කළමනාකරණය යන කොටසේ දක්‌වා තිබිණි. එහි සඳහන් වූ පරිදිම රාජ්‍ය ණය කළමනාකරණයේදී අනුගමනය කළ යුතු උපාය මාර්ග හා අරමුණු මොනවාද යන්න පැහැදිලිය. එය නීතියකින් දක්‌වා නොමැති වුවද මහ බැංකුව විසින් පිළිගත් එම උපාය මාර්ග හා අරමුණු මොනවාද යන්න කාටත් පැහැදිලිය. මහ බැංකුව පිළිගත් එම උපාය මාර්ග හා අරමුණු තම වෙබ් අඩවිය මගින්ම ප්‍රසිද්ධියට පත්කර මහජනතාවට අනාවරණය කර තිබිණි. එසේ නම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජය වෙනුවෙන් ණය රැස්‌ කිරීමේදී මේවා අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බව පිළිගැනීමට සිදුවේ.

මෙහි පළමු කරුණ වන්නේ රාජ්‍ය ණය සඳහා සෘජු හා වක්‍ර පිරිවැය අවම කිරීමට ක්‍රියා කළ යුතු බවයි. එහෙත් ගිය වසරේ (2015) බැඳුම්කර නිකුතුවේදී මෙන්ම ඉකුත් මාර්තු 29 වැනිදා නිකුත් කළ බැදුම්කර නිකුතුවේදී ද පොළී අනුපාත ඉහළ ගොස්‌ රජයට ගෙවීමට සිදු වූ පොළී පිරිවැය ඉහළ ගිය බව රහසක්‌ නොවේ. ගිය වසරේ (2015) නිකුතුවේදී බැඳුම්කර වටිනාකම මෙන් දස ගුණයක (රු. බිලියන 10 ක) වටිනාකමක්‌ දක්‌වා ලංසු පිළිගත්තේය. ඒ වැඩි වූ පොළී පිරිවැය ගෙවීමට සිදුවන්නේ මේ රටේ මහජනතාවටය.

මෙසේ ගිය වසරේ (2015) මහ බැංකුව විසින් නිකුත් කළ රට තුළ ඉමහත් ආන්දෝලනයට ලක්‌ වූ බැදුම්කර නිකුතුවෙන් පසු ඉකුත් මාර්තු 29 දා මහ බැංකුව විසින් සිදුකළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවද එවැනි ආකාරයේ ප්‍රශ්නගත එකක්‌ බවත් එහිදී ද පොලී අනුපාත සියයට 14.23 දක්‌වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය බවත් එම මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ ප්‍රකාශ කරති. මෙහිදී මහ බැංකුව මාර්තු 29 වැනිදා නිකුත් කරන බවට මුලින් ප්‍රකාශ කළේ රු. මිලියන 10,000ක්‌ වටිනා වසර 14 කින් කල් පිරෙන බැදුම්කරය. එසේ ප්‍රකාශ කොට මහ බැංකුව රු. මිලියන 28975 ක වටිනාමක ලංසු පිළිගත්තේය. එවිට සාපේක්‌ෂව ඉහළ පොළියකට නිසි විනිවිදභාවයෙන් හෝ තාර්කිකභාවයෙන් තොරව කලින් ප්‍රසිද්ධ කළ ප්‍රමාණය ඉක්‌මවා සිදු කරන ලංසු පිළිගැනීම් හරහා සිදුවන පොලී අනුපාත ඉහළ යාම ආර්ථිකයේ වෙනත් පොළී අනුපාතවලටද බලපෑමක්‌ කරයි. වැඩිම හානිය සිදු වන්නේ මහජනතාවටය. එය සිදු වන්නේ රජයේ පොලී වියදම ඉහළ යාම නිසා ඒ බර රටේ බදු ගෙවන අති මහත් බහුතර ජනතාවට දැරීමට සිදු වන බැවිනි .එබැවින් මේ සිදුවීම් හරහා මහ බැංකුව විසින් මහජනතාවට සිදුකරමින් තිබෙන අතිවිශාල හානිය වැළැක්‌වීමට ජනාධිපතිවරයා වහාම මැදිහත් විය යුතු බවද මුල්‍ය වෙළදපොල නියෝජිතයෝ කියා සිටිති .

මේ බැඳුම්කර අක්‍රමිකතාවන්ට ඒකාබද්ධ විපක්‌ෂය දැඩි විරෝධය දක්‌වන බවත්, දැනට චෝදනා එල්ල වී ඇති ඉකුත් මාර්තු 29 දින සිදුවූ බැඳුම්කර නිකුතුව ගැන පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ලිතව ප්‍රශ්න කිරීමට අපේක්‌ෂා කරන බවත් ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ ලියුම්කරුට කීවේය .මීට අමතරව ගිය වසරේ (2015) දී සිදුවූ මහා පරිමාණ බැඳුම්කර වංචාව ගැන වත්මන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් සහ කැබිනට්‌ ඇමති මහින්ද අමරවීර මහතා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ පරීක්‌ෂණවල ප්‍රගතිය ගැන එම කොමිසම වහාම මහජනතාවට තොරතුරු හෙළිදරව් කළ යුතුව ඇතැයිද ඒ ගැන ඒකාබද්ධ විපක්‌ෂය, එම කොමිසමෙන් ප්‍රශ්න කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියයි. එසේම බැඳුම්කර වංචා පිළිබඳ පරීක්‌ෂා කිරීම සඳහා පූර්ණ බලැති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ පත් කරන ලෙස ඒකාබද්ධ විපක්‌ෂය රජයට යෝජනා කරන බව ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා (20 දා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ද කීවේය. ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන සියලු පක්‌ෂ නායකයන්ගේ අත්සන් සහිතව මේ යෝජනාව ඉදිරිපත් කරන බවද මෙමගින් ගිය වසරේ (2015) දී සිදු වූ මහා පරිමාණ බැඳුම්කර වංචාව මෙන්ම ඉකුත් මාර්තු 29 දින සිදුවූ බැඳුම්කර වංචාව ගැනද පූර්ණ පරීක්‌ෂණයක්‌ සිදුකරන ලෙස ඉල්ලා සිටින බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා එහිදී කීවේය. ගිය වසරේ සිදුවූ මහා බැඳුම්කර වංචාව ගැන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) සකස්‌ කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම පරීක්‌ෂණය නතර කළ තැන සිට එය යළි පටන් ගන්නා ලෙස ඒකාබද්ධ විපක්‌ෂය ඉල්ලා සිටින බවත් පැවසු මන්ත්‍රීවරයා තවදුරටත් කීවේ, ඉකුත් මාර්තු 29 දින රු. බිලියන 10 ක්‌ ගන්නා බව පවසා සියයට 14.23 ක අධික පොලියට භාණ්‌ඩාගාර බැඳුම්කර රු. බිලියන 29 ක වටිනාකමක්‌ දක්‌වා නිකුත් කිරීමෙන් මේ පොලී අනුපාත ඉහළ යැමේ බර මහජනතාව පිට පැටවෙන නිසා, මේ බැඳුම්කර ප්‍රශ්නය බරපතළ ප්‍රශ්නයක්‌ ලෙස සලකන බවයි.

වත්මන් යහපාලන රජයේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් යටතේ සිදුවූ බවට චෝදනා එල්ල වූ භාණ්‌ඩාගාර බැදුම්කර වංචා පිළිබද සිදුවීම් තවමත් පුවත් මවමින් ඉදිරියට ඇදෙමින් තිබේ. රජය මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක්‌ ගන්නා බවක්‌ පෙනෙන්නට ද නැත. මෙය මහා පරිමාණ මුල්‍ය අක්‍රමිකතාවක්‌ බවට චෝදනා එල්ල වුවත්, මේ මූල්‍ය වංචාව සංම්බන්ධයෙන් යහපාලන රජය විසින් පිහිටුවනු ලැබූ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් පරීක්‌ෂණ පවත්වන බවක්‌ පෙනෙන්නටද නැත. ආණ්‌ඩුවට එරෙහි අය සම්බන්ධයෙන් නම් අකුරට පරීක්‌ෂණ කරන බව පෙනේ. මෙසේ වංචා හා දූෂණවලට එරෙහිව පරීක්‌ෂණ කිරීමේ ක්‍රියාවලිය තනිකරම දේශපාලන ව්‍යාපෘතියක්‌ බවට පත්වන්නේ නම්, එය නිවැරදි නොවන අතරම, මහජනතාවද එය අනුමත නොකරනු ඇත.දැනට විවේචන එල්ලවී ඇත්තේ පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාශය දේශපාලන අරමුණින් ක්‍රියාත්මක වන බවටය. විපක්‌ෂයේ මන්ත්‍රීවරු මේ විවේචනය තදින්ම එල්ල කරමින් සිටී. මෙය බරපතල කරුණකි. එම විවේචනයට පදනමක්‌ ඇති බවට වන කරුණුද සිදුවෙමින් තිබේ. එනම් දැනට රු. කෝටි දහස්‌ ගණනක පාඩුවක්‌ රජයට සිදුකර ඇති බවට චෝදනා එල්ලවී ඇති, රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදී ඇති භාණ්‌ඩාගාර බැදුම්කර අක්‍රමිකතාව ගැන මේ පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාශය විසින් පරීක්‌ෂණ නොපැවැත්වීමයි. එය අද දවසේ කාටත් මතුව ඇති සාධාරණ ප්‍රශ්නයකි. මේ තර්කය වැරදි නම් ඒ ගැන රජයට නිවැරදි තත්ත්වය පැහැදිලි කරදීමට ද පුළුවන. මෙවැනි වංචා හා දුෂණ චෝදනා ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු පියවරක්‌ ගන්නා බවක්‌ද පෙනෙන්නට නැත. එදා මහින්ද රාජපක්‌ෂ රජය යටතේ සෞඛ්‍ය ඇමැති ලෙස දුම්වැටියට එරෙහිව රූපමය සෞඛ්‍ය අවවාද ගෙන එන්නට කළ සටනේදී අපගේ මාධ්‍ය මෙහෙවර ඉටු කරමින් ලිපි ගණනාවක්‌ ලියමින් හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට, මාධ්‍යවේදීන් ලෙස අපට හැකි උපරිම ශක්‌තිය ලබාදීමට අපි කටයුතු කළෙමු. එයට පසුගිය රජයේ ඇතැමුන් සහාය ලබා නොදීම ගැනද අපි එවකට මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට විවේචන ඉදිරිපත් කළෙමු. එදා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීගේ දුම්වැටියට එරෙහි සටන, මේ ලියුම්කරු හඳුන්වා දුන්නේ ආර්ථික ඝාතකයකුට එරෙහිව කරන සටනක්‌ වශයෙනි. වරක්‌ මාධ්‍යවේදී එරික්‌ ගාමිණී ජිනප්‍රිය සමඟ ගොස්‌ මෛත්‍රීපාල සිරිසේන මහතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවී එම දුම්වැටියයට එරෙහි රූපමය සෞඛ්‍ය අවවාද ගෙන ඒමේ අවශ්‍යතාව ගැන මේ ලියුම්කරුද පෙන්වා දුන්නේය. එසේ නම් එදා දුම්වැටියට එරෙහි සටනට කළ බාධා ගැන මහින්ද රාජපක්‌ෂ රජය විවේචනය කළ පරිද්දෙන්ම මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර මගඩිය ගැන මෙන්ම පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට එල්ල වී ඇති චෝදනා ගැන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අද කිසිදු පියවරක්‌ නොගැනීම ගැනද අපට කතා කිරීමට සිදු වේ. මෛත්‍රී ජනාධිපතිවරයාට සහ මේ රජයට ඡන්දය දුන් මහජනතාව අද මේ සිදුවන්නේ 'යහපාලනය' දැයි ප්‍රශ්න කරමින් සිටින බවද ජනාධිපතිවරයාට සිහිපත් කළ යුතු වේ.

මහ බැංකුවේ බැදුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ගැන මාස 13 ක්‌ ඇතුළත දෙවෙනි වතාවටත් මහ බැංකුවට චෝදනා එල්ල වී තිබේ. වරක්‌ චෝදනා එල්ල වූ ඒ අක්‍රමිතාව නැවත වරක්‌ සිදු වීම බරපතල කරුණකි. ඒ අනුව පසුගිය මාර්තු 29 වෙනිදා රුපියල් බිලියන 10 ක්‌ ගන්නා බවට ප්‍රසිද්ධ කොට ,සියයට 14.23 ක්‌ වැනි ඉතා ඉහල පොළියකට රු. බිලියන 29ක්‌ ලබාගැනීමට මහ බැංකුව කටයුතු කර ඇත. පසුගිය මහ බැංකු වංචාව ගැන ආණ්‌ඩුව කටයුතු කළ හැටි අපට මතකය. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මේ පිළිබද පරීක්‍ෂණ කොට, අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔන්න මෙන්න තිබියදී, එම දිනයට කලින් දින රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර එම වාර්තාව පිටවීම වැළැක්‌වීමට කටයුතු කළේය. ඒ අනුව තමා පුද්ගලිකව සම්බන්ධ නැතත් රටේ ජනපතිවරයාගේ අතේ ද මෙම මහ බැංකු බැදුම්කර වංචාවේ මඩ තැවරී අවසන්ය. එම බැදුම්කර මගඩිය යළිත් සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති මේ අවස්‌ථාවේ, ඒ අතේ තැවරුනු මඩ සෝදා ගැනීමට ජනදුක හඳුනන ජනපතිවරයාට හොදම අවස්‌ථාවක්‌ දැන් උදා වී තිබේ. වහාම මේ වංචාව පිළිබද විමර්ශනය කොට වරදකරුවන්ට දඩුවම් කළ යුතු වේ. එහිදී සාධාරණ පරීක්‍ෂණයකට බාධා විය හැකි බැවින් චෝදනා එල්ල වූ අය පරීක්‍ෂණ නිමවන තෙක්‌ අදාළ තනතුරුවල සිටීම ද සුදුසු නොවේ.

2014 වසර වන විට රටේ පොලී අනුපාතය ක්‍රමාණුකූලව පහළ යමින් පැවතුණි. භාණ්‌ඩාගාර බිල්පත් සහ බැදුම්කර වෙළදපොළේ පැවැති සාමාන්‍ය පොළිය සියයට 6.5 ක්‌ පමණ මටමේ පැවතුණි. 2005 වර්ෂයේ මහින්ද රාජපක්‌ෂ රජය රට බාරගන්නා විට මෙය සියයට 20 කටත් වැඩි අගයක පැවතුණු නිසා සියයට 20 සිට සියයට 7ට අඩු මට්‌ටමක්‌ දක්‌වා ක්‍රමානුකූලව පොළිය අඩු කිරීම නිසා අයවැයට අවම පීඩනයක්‌ ඇතිව එනම් අඩු පොළියකට වෙනදාටත් වඩා වැඩි ණය ප්‍රමාණයක්‌ ද ගැනීමට රජයට හැකියාව ලැබුණි. රජයේ පොළී වියදම අඩු වීම නිසා, ඒ තුළ මහජනතාවට පැටවුන බරද සාපේක්‌ෂව අඩුය. එහෙත් මෙවැනි අක්‍රමිකතා නිසා රටේ පොලී අනුපාතික ඉහල යැමෙන් ආණ්‌ඩුවට ණය ගැනීමේ හැකියාව සහ රජයේ ණය පිරිවැය ඉහළ යයි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions