සිංහලේ අවාසනාවන්තම දිනට අදට වසර 201.
උඩරට ගිවිසුම අත්සන් කළ රදළ ප්‍රධානීන් 11 දෙනාගේ අත්සන් |
සිය අණසක තව දුරටත් ව්‍යාප්ත කරන ලෙස නෝත් ආණ්ඩුකාරයාට උපදෙස් ලැබෙන තෙක් ඔවුහු උඩරට රාජධානියේ දේශපාලනයට මැදිහත් නොවූහ. එලෙස උපදෙස් ලැබුනු විගස නෝත් ආණ්ඩුකාරයා පිළිමතලාවේ සමඟ රහස් සාකච්ඡා පැවැත්වීය. රජු නොමඟ යවා, ඔහු ප්‍රකෝප කොට, ඔහුගේ පාලනය අවුල් කර, උඩරට ජනතාව ඔහු කෙරෙන් බින්ඳුවා ඒ මතින් නිර්මාණය කර දෙන අවස්ථාව තුළ උඩරට දේශපාලනයට අත දැමීම එම සාකච්ඡාවන්හි අරමුණ විය. රජු එම උඟුලට පා තැබීය.
තුන් දහසක සේනාවක් මෙහෙය වූ ජෙනරාල් මැක්ඩොවල් කොළඹ සිටද ලෙෆ්ටිනන්ට් ටාබට් ත්‍රිකුණාමලයේ සිට හත් සියයක පමණ බළගණයක්ද සමඟ පැමිණ 1803 පෙබරවාරි 20 වැනි දින නුවරට ඇතුළු විය. මාළිඟයටද ගිනිව තබා වටිනා දෑ ගෙන රජු සහ වැසියෝ පළා ගොස් තිබිනි. නුවර ජන ශුන්‍ය වී තිබුනි. ඉංග්‍රීසීන් වෙත පළා ගොස් සිටි රාජාධි රාජසිංහ රජුගේ බිසවගේ සොහොයුරා වන මුත්තුසාමිව ගෙන්වා ඉංග්‍රීසීන් විසින් උඩරට රජකරවනු ලැබීය. නමුත් ඔහුට රටවැසියන් නම් නොසිටියහ. සියළු දෙනා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමඟ හඟුරන්කෙත පෙදෙසට පළා ගොස් තිබින.
රජු අල්ලා ගැනීම සඳහා සිංහල හමුදාවන්ගේ පහරදීම් මධ්‍යයේ හඟුරන්කෙත දක්වා ඉංග්‍රීසි භට පිරිස් ගමන් කළද රජු, ඇමති වරුන් සමඟ ඉන් පළා ගොස් සිටියහ.
සැඟවී සිටින රජු බ්‍රිතාන්‍ය සිරභාරයට ගැනීම, පිළිමතලාවේ මහ අදිකාරම නව රජු ලෙස පිළිගැනීම, මුත්තුසාමි ආපසු යාපනයට යෑවීම, නව රජු මුත්තුසාමිගේ නඩත්තුව ලෙස වසරකට රුපියල් 30,000 ක් ගෙවීම, නුවර මැක්‌ඩෝවල් විසින් ඉදිකළ කොටුව හා අවට කලාපයත්, ත්‍රිකුණාමලයට පාර දමන බිම් පටියත් සත් කෝරලයත් ඉංග්‍රීසීන්ට දීම හා දෙපාර්ශ්වයම සන්නද්ධ ගැටුම් වහා නතර කිරීම යන කරුණු එම ගිවිසුමේ අඩංගු විය.
නමුත් ඉංග්‍රීසීහු ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගැනුමට කටයුතු නොකිරීම ඇතුළු ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකළේය.
ඉන් කළකිරීමට පත් පිළිමතලාව මහ අදිකාරමගෙ අනුදැනුම ඇතිව සිංහල සේනාංක විසින් 1803 ජූනි 24 දින දරුණු සහ මනා සැළසුම් සහගත ප්‍රහාරයකින් නුවර රඳවා සිටි ඉංග්‍රීසීන්ගේ භට කණ්ඩායම ඝාතනය කළේය. පසුවදා, මුත්තුසාමි හා ඔහුගේ ඥාතීන් අට දෙනෙකුගේ හිස් ගසා දැමුනි. පිළිමතලාව මහ අදිකාරම විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යළි සිංහාසනාරූඩ කරවූයේය. රජ වන්නට බලාපොරොත්තුවෙන් සිටියද පිළිමතලාවේ ඒ අවස්ථාවේදී සිහසුන ඩැහැ ගන්නට කටයුතු නොකළේය.
නමුත් පිළිමතලාවේ මහ අදිකාරම රජුට එරෙහිව කුමන්ත්‍රණ කිරීම නතර කළේ නැත. දෙවරක්ම ඔහුගේ සැලසුම් රජුට සැළවූ නමුදු, රජු ඒ දෙවතාවේදීම ඔහුට සමාව දුනි. නමුත් තෙවන වර ඔහුට රජුගෙන් සමාවක් නොලැබුනු නිසා 1811 දී ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු විය. පිළිමතලාවේගේ අනුප්‍රාප්තිකයා වන්නේ ඔහුගේ බෑණනුවන් වන ඇහැළේපොළය.
1814 දී හටගත් සඹරගමු කැරැල්ලට ඇහැළේපොළ හවුල් වී ඇති බව රජුට සැළවුයේය. තමා රජු විසින් නුවරට කැඳවු විට සිය ඉරණම වටහාගත් ඇහැළේපොළ ඉංග්‍රීසීන් වෙත පළා ගියේය.
ඉංග්‍රීසීන්ගේ උදව් ඇතිව ඇහැළේපොළ උඩරට ආක්‍රමණයට සැරසෙන බව කීර්ති ශ්‍රී රාජසිංහ රජුට ආරංචි විය. එවක උඩරට පැවති නීතියට අනුව රජු විසින් ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන් මරණ දණ්ඩනයට ලක් කළේය. නීතියට අනුකූල වුවද එය රජු විසින් සිදු කළ දේශපාලන වරදක් ලෙස සැළකිය හැක්කේ එමඟින් රජු කෙරෙහි අප්‍රසාදයක් ජනතාව අතර වර්ධනය වන්නට ඇති නිසාය.
යුරෝපයේ නැපෝලියන්ගේ යුධ කලබල පැවති එසමයෙහි ලංකාවේ ආක්‍රමණයක් දියත් කිරීමට කටයුතු නොකළ බ්‍රිතාන්‍ය පාලකයෝ රජු හා උඩරට නායකයින් අතර බේද ඇති කරවීම සඳහා කුමන්ත්‍රණ දියත් කළේය. නැපෝලියන්ගේ බලය බිඳ වටුනු පසු ඉතිරි භූමි ප්‍රදේශ අත් කරගැනීමේ අරමුණින් විශාල හමුදාවක් එක්රැස් කළේය.
1815 ජනවාරි 10 දා ඇහැළේපොළද කැටුව නුවර බලා ගමන් අරඹමින් ජෙනරාල් බ්‍රවුන්රිග් ආඥාවක් ප්‍රකාශයට පත් කළේය. ඉන් කියැවුනේ උඩරට ප්‍රධානීන්ගේ ඉල්ලීම සහ මහජන කැමැත්ත පරිදි බ්‍රිතාන්‍ය ආරක්ෂාව ලබා දීම සඳහා මෙම ආක්‍රමණය සිදු කරන බවකි. එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන් විසින් ගෙතූ කෙබරයකි. අධිරාජ්‍යයවාදීන් අද මෙන්ම එදත් ස්වදේශික ජනතාව පිළිබඳ කරුණාවෙන් එම රටවල් ආක්‍රමණය කරන බව පවසා ඇති බව පැහැදිළිය. එදායින් වසර දෙසීයකට පමණ පසුව අධිරාජ්‍යයවාදීන් ඉරාකය ආක්‍රමණය කෙරුනේ ඉරාක ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය උදා කරවන්නට බව පවසමිනි. ඉන් පසුව මැදපෙරදිග කලාපයට ඔවුනගේ හොස්ස පොවන්නේ ඒ රටවල ස්වදේශික ජනයා බේරා ගැනීමට බව පවසමිනි. ඔවුන් අනුන්ගේ මානව හිමිකම් පිලිබද උනන්දු වී ඇතතේ අද ඊයේ නොවන බව අප ඉතිහාසය ඇසුරෙන් තේරුම්ගත යුතුය.
උඩරට ගිවිසුම අත්සන් කිරීම දැක්වෙන ප්‍රකට සිතුවම |
මෙතැනදී රජුගේ මුහුණට කෙළ ගසා ගෙලින් ගෙන ඇද අවුත් සුද්දන්ගේ දෙපා ඉදිරියේ ඇද දැමූයේ සිංහල සිංහාසනය බව මේ ආවේගශීලී පරගැත්තෝ නො දැන සිටි බව දයාවංශ ජයකොඩි මහතා සිය 'සිංහලේ ජාතික සටන්' කෘතියෙහි සඳහන් කරයි.
අපගේ දිගු ඉතිහාසයේ වඩාත්ම අවාසනාවන්ත දිනය එළැඹුනේ හරියටම අදින් වසර දෙසීයකට පෙර එනම් 1815 මාර්තු 2 වන දාය. අධිරාජ්‍යවාදීන් අතට මුලු දිවයිනේම අණසක ලැබුනු අපකීර්තිමත් උඩරට ගිවිසුම අත්සන් තැබෙන්නේ එදාය. ආක්‍රමණයක් මඟින් 1803 දී නුවර බලය ඇල්ලූ ඉංග්‍රීසීනට මාස කිහිපයක් යනවිට ප්‍රතිප්‍රහාර එල්ල කොට සිංහලයන් යළි බලය ඇල්ලීමට සමත් වුවද 1815 දී ගිවිසුමකට අසුවූ සිංහලයනට ඒ බලය යළි ඇල්ලා ගත හැකි වූයේ නැත. එපමණක් නොව සුද්දන් පස්ස බලන්නේ අපගේ පාලකයන් කලු සුද්දන් බවට පරිවර්තනය කිරීමෙනි. ගිවිසුමෙන් වසර දෙසීයකට පසු අදත් අප සුද්දන්ගෙන් හා ඔවුන්ගේ මෙරට ඒජන්තයන් ලෙස දැන හා නොදැන ක්‍රියා කරන කළු සුද්දන්ගෙන්ද තවම නිදහස් වී නැත.
-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
[යුතුකම සංවාද කවය විසින් 2015 වසරේ පළකළ ලිපියකි]
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .