3/15/2016

පරපුටුවන්ගේ දුටුගැමුණු භීතිකාවට අපේ කාලයේ ශාස්ත්‍රවන්තයෙකුගෙන් පිළිතුරක්

කතෘ:යුතුකම     3/15/2016   No comments

ශාස්ත්‍රීය වාද කියවනු කැමත්තන්ට පේරාදෙණි සරසවියේ ශාස්ත්‍රවන්තයෙකු විසින් අගනා අවස්ථාවක් උදාකර දී ඇත. එබඳු වාද අද දුර්ලභ බැවින් මෙය කලාතුරකින් ලැබෙන විරල අවස්ථාවක් යයි කිව හැකිය.

‘දුටුගැමුණුගේ හෘද සාක්ෂියට පිළිතුරක්’ නම් මේ කෘතියට පදනම් වී ඇත්තේ මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතා විසින් මීට දශක තුනකට ඉහත දී රචනා කරන ලද ‘දුටුගැමුණුගේ හෘද සාක්ෂිය’ (Dutthagamani and the Buddhist Conscience) යන ලිපියයි. එය මුලින් ඉංග්‍රීසියෙන් රචනා කරන ලදුව සිංහලට පරිවර්තනය කරන ලද්දකි. මෙරට පාඨකයන් අතර ජනප්‍රිය වුයේ මේ සිංහල පරිවර්තනය යි.
ඔබේසේකර මහතාගේ ‘දුටුගැමුණුගේ හෘද සාක්ෂිය’ දශක තුනක් තිස්සේ කිසිදු බාධාවකින් තොරව ශාස්ත්‍රීය ලෝකයේ විරාජමාන වූ රචනයකි. එය පේරාදෙණි සරසවියේ දර්ශනය විෂය හදාරන පළමු වසර සිසුන්ට කියවීමට තිබූ ලේඛනයක් වූ අතර (2002A-2003 වසර කණ්ඩායමට) සිංහල, ඉතිහාසය, පුරාවිද්‍යාව, දේශපාලන විද්‍යාව ආදිය උගන්වන පන්ති කාමරවල ද අඩු වැඩි වශයෙන් භාවිත වූවකි. වෙනත් සරසවිවල තතු ද මීට වඩා වෙනස් නොවේ.

ලංකා ඉතිහාසයේ අපකීර්තිමත් කළු පැල්ලම වන කළු ජූලියෙන් ඉතා ටික කලකට පසුව හදිසියේ මෙන් රචිත මේ ලිපියෙන් මහාචාර්ය ඔබේසේකර මහතා පෙන්වා දුන්නේ දුටුගැමුණු රජු, ඔහු කළ පාපකර්ම නිසා මහත් වේදනාවෙන්, පසු තැවිල්ලෙන් මියගිය බවයි. මරණාසන්න මොහොතේ දුටු ගැමුණුගේ හෘද සාක්ෂිය කතා කරන්නට වූ බව පවසා සිටි එතුමා ඍජුව දැක්වුයේ දුටුගැමුණුට තිබූ හෘද සාක්ෂිය වත්මන් සිංහලයන්ට නොමැති බවයි.

මේ ලිපියේ එන තර්ක කිසිවෙකු අභියෝගයට ලක් නොකළා පමණක් නොව ඒවා දේවභාෂිත මෙන් හිස්මුදුනෙන් පිළිගෙන පුනරුච්චාරණය කරන පිරිසක් ද බිහි විය. ලිපියේ දෝෂ දුටු ඇතැම් වියතුන් සිටිය ද යම් යම් ආත්මීය හේතු නිසා ඔව්හු පිළිතුරු දීමෙන් වැළකුණෝ ය.
වර්තමාන කෘතියෙන් සිදුව ඇත්තේ වසර 30කට පසුව, ඉතිහාසයේ පළමු වතාවට ‘දුටුගැමුණුගේ හෘද සාක්ෂිය’ ලිපිය සාහසික ප්‍රශ්න කිරීමකට ලක් කර තිබීමයි. මෙය මල්සිරි මහතා විසින් වසර දෙකකට අසන්න කාලයක් තිස්සේ කරන ලද පර්යේෂණයක ප්‍රතිපලයකි. හිටපු කථිකාචාර්යවරයෙකු වන හෙතෙම පුරාවිද්‍යා විෂයයට පළමු පෙළ උපාධියක් ද ඉතිහාසය පිළිබඳ විශිෂ්ට දැනුමක් ද ඉංග්‍රීසි සිංහල හා පාලි භාෂා දැනුම ද සහිත ශාස්ත්‍රවන්තයෙකු බැවින් මෙබඳු ශාස්ත්‍රීය කටයුත්තකට හොඳ ම සුදුස්සෙකි. මීට පෙර රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසන් වටයට තේරුණ ග්‍රන්ථයක් කළ ලේඛකයෙකි. මේ පර්යේෂණාත්මක කෘතිය ලිවීමේ දී ඔහු අඩු ම තරමින් විවිධ භාෂාවලින් රචනා කරන ලද පොත් 300ක් වත් පරිශීලනය කර ඇත.
‘දුටුගැමුණුගේ හෘද සාක්ෂියට පිළිතුරක්’ කෘතියේ මල්සිරි මහතාගේ තර්ක කිරීම්වල දී නිරායාසයෙන් සිහිපත් වන අවස්ථා දෙකක් ඇත. ඉන් එකක් නම් ද්‍රවිඩ පාරම්පරික නිජ බිමක් ඇතැයි කියමින් කොටි හිතවාදීන් ලොව පුරා ගෙන ගිය මතවාදයට එරෙහිව ‘ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී න්‍යායය’ (Separatist ideology in Sri Lanka, A Historical Appraisal) කෘතියේ දී මහාචාර්ය කේ. එම්. ද සිල්වා මහතාගේ තර්ක කිරීමේ විලාසයයි. අනෙක් අවස්ථාව නම් ‘සිංහයාගේ ජනතාව’ (The people of the Lion: Sinhala Consciousness in History and Historiography) විවාදයේ දී මහාචාර්ය ලෙස්ලි රණවීර ගුණවර්ධන මහතාට එරෙහිව මහාචාර්ය කේ. එන්. ඕ ධර්මදාස මහතා තර්ක කළ අන්දමයි. මේ හැරුණු කල ඉතිහාසය පිළිබඳ කීර්තිමත් වියතෙකු වන මහාචාර්ය අමරදාස ලියනගමගේ මහතාගේ රචනා ශෛලියේ ආලෝකය ද මල්සිරි මහතාගේ වත්මන් කෘතිය මත පතිත වී තිබේ. වාද විවාදවල කොටස්කරුවන් වූ, ඉහත නම් සදහන් කළ වියතුන් සියලු දෙනා ම පාහේ පේරාදෙණි සරසවියේ නිර්මාණයන් වීම විශේෂ කරුණකි. එහි වත්මන් පරපුර නියෝජනය කරන මල්සිරි මහතා සිය කෘතියෙන් මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතාට දෙන පිළිතුරු ද ඉහත දැක් වූ මහාචාර්ය කේ .එම් .ද සිල්වා හා මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස වැනි වියතුන් විවාදවල දී ඔවුන්ගේ ශාස්ත්‍රීය ප්‍රතිවාදීන්ට දුන් පිළිතුරු සේ ම ව්‍යක්ත ද සාරගර්භ ද වේ.
මල්සිරි මහතා ඔහුගේ මේ අලුත් කෘතියෙන් කියන්නේ කුමක්ද? මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතාගේ ‘දුටුගැමුණුගේ හෘද සාක්ෂිය’ (Dutthagamani and the Buddhist Conscience) ලිපිය ව්‍යාජ රචනයක් ය යන්නයි. ඔහු වැඩි දුරටත් කියන්නේ මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතා ඉතිහාස මූලාශ්‍ර විකෘති කොට කියවූ බවයි; තමන්ගේ තර්කයට එරෙහි මහාමේරුව තරම් වන කරුණු යට ගසා ඈත පරිධියෙන් අහුලා ගත් අබ ඇටයක් තරම් වන වාසි සහගත කරුණු අසාමාන්‍ය ලෙස ලොකු කොට පෙන්නූ බවයි; කිසිම විකල්ප අදහසකට ඉඩ නොදී තමාගේ හිතුමතේට ඓතිහාසික දත්ත විග්‍රහ කළ බවයි; මුලශ්‍රයවල අකුරු, පද, වාක්‍ය එහි සන්දර්භයෙන් ගලවා සිතෙන සිතෙන අර්ථකථන දුන් බවයි; තැන් තැන්වලින් උපුටා ගත් වාක්‍ය කැබලි එකට එක් කර වංසකතාකරුවන් තුන් හිතකින් වත් නොසිතූ, කිසිදාක නොලියූ, පක්ෂග්‍රාහී ඉතිහාස කතන්දරයක් නිර්මාණය කළ බවයි. එක ම වාක්‍යයේ තමාට වාසි සහගත මුල් කොටස ගෙන අවාසි සහගත අග කොටස අත්හැර දැමු බවයි.
ඔබේසේකරයන්ගේ ලේඛනයේ එසේ අත් හැර දැමූ, එම ලිපියේ තර්කවලට විරුද්ධව පැවති වාක්‍ය සහ උද්ධෘත සම්පුර්ණයෙන් කියවීමට මල්සිරි මහතා මේ කෘතියේ දී පාඨකයන්ට අවස්ථාව උදාකර දී ඇත. අවාසි නිසා ලිපියෙන් පිටමං කළ එම කොටස් පෙරබිමට ගත්විට හා විකෘති ලෙස අර්ථ කථනය කළ දත්ත ප්‍රකෘති තත්වයට පත් කළ විට ඔබේසේකරයන්ගේ මතය සනාථ වනු වෙනුවට අනාථ වන බව මල්සිරි මහතා කියයි. මෙය හරියට ම රණවීර ගුණවර්ධනයන්ගේ ‘සිංහයාගේ ජනතාව’ ලිපියේ මතය අර්බුදයට යැවූ කේ. එන් .ඕ. ධර්මදාස සුරින්ගේ තර්කන ශක්‍යතාව හා ශාස්ත්‍රීය විචක්ෂණභාවය නැවත සිහි ගන්වන්නකි.
මල්සිරි මහතා, මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතාගේ ලිපියේ අඩුපාඩු පෙන්වන්නේ ඉතාමත් සංයමයෙන්, ශාස්ත්‍රීය ශික්ෂණයෙන් යුක්තව නියම ශාස්ත්‍රවන්තයෙකු ලෙසිනි. මේ සදහා ඔහු මහාවංශ ආදී වංසකතාවල පුස්කොළ පොත් ද ඉතිහාස හා පුරාවිද්‍යා මුද්‍රිත පොත් ද (ඉංගීසි හා සිංහල) ටැම් ලිපි පුවරු ලිපි ආදී ශිලා ලේඛන ද, ජනශ්‍රැති ආදිය ද, වෙබ් අඩවි ද පරිශීලනය කර ඇත. මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතාට පිළිතුරු දීමට අඩුම තරමින් ඔහු පොත්පත් 300ක් වත් පරිශීලනය කර තිබේ.
මහාචාර්ය ඔබේසේකර මහතාගේ ලිපිය පිටු 30කි. මල්සිරි මහතාගේ පිළිතුර පිටු 300කට ආසන්න ය.
මල්සිරි මහතා මේ කෘතියෙන් මහාචාර්ය ඔබේසේකරයන්ගේ මතවාදය හැම අතින් ම බරපතළ අර්බුදයකට යවා ඇත. මෙය කියවන ඔබ මේ විවාදය ගැන උනන්දු වන්නෙකු නම් මල්සිරි මහතාගේ පිළිතුර තුලනාත්මකව මෙන් ම සාවධානව කියවා බලනු වටී. ඔහුගේ සමහර අදහස් සමග ඔබ එකග නොවන්නටද පුළුවන. කෙසේ වෙතත් මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතාගේ අදහස් නිවැරදි බව තවදුරටත් ඔබට පෙනෙන්නේ නම් හා මේ ශාස්ත්‍රීය සංවාදයට සහභාගිවීමට කැමති අයෙකු නම් මල්සිරි මහතාගේ පිළිතුරට පිළිතුරක් දීම ඔබගේ යුතුකමකි. එහි දී මහාවංස චුලවංස ආදී පුස්කොළ පොත් ද, ඉතිහාස හා පුරාවිද්‍යා මුද්‍රිත පොත් ද, සන්නස්, තුඩපත්, තඹපත්, සීට්ටු, දිවිසීට්ටු, වට්ටෝරු, විත්ති වට්ටෝරු ආදිය ද, ද ටැම් ලිපි පුවරු ලිපි ආදී ශිලා ලේඛන ද, ජනශ්‍රැති ද, වෙබ් අඩවි ද පරිශීලනය කොට, තවත් අවශ්‍ය නම් නුතන විචාර න්‍යායන් ද පාවිච්චි කර මල්සිරි මහතාගේ මතය පරාජය කොට මහාචාර්ය ඔබේසේකර මහතාගේ මතවාදය ඔසවා තැබීම ඔබට අයත් කටයුත්තකි. මල්සිරි මහතා මේ පොත ලියන්නට පොත්පත් 300ක් වත් පරිශීලනය කර ඇති බැවින් ඒවා සියල්ල නැවත මුල සිට කියවා අලුතිනුත් තව පොත් හාරපන්සීයක් කියවා ඔබට ඔබේ පොත ලියන්නට සිදු වේ. පිටු 30ක ලිපියකට මල්සිරි මහතා ලියූ පොත පිටු 300කට කිට්ටු වන විට ඔබ ඊට ලියන පිළිතුර මල්සිරි මහතාගේ කෘතියේ පිටු ප්‍රමාණය ඉක්මවා යාම පුදුමයක් නොවේ. මේ සංවාදය තව දුරටත් පවත්වාගෙන යෑමට නම් මල්සිරි මහතාගේ මතවාදයට එරෙහි ඔබගෙන් එබඳු යෝධ දායකත්වයක් අනිවාර්යයෙන් ම ලැබිය යුතුම ය.
ශාස්ත්‍රීය විවාද මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සපුරා නොසලකා හරින ලද අංගයක් යයි කිව හැකිය. එබඳු විවාදයන්ට අනුබල දීමක් නම් කිසිවිටෙකත් සිදු නොවේ. සැක කිරීම හා ප්‍රශ්න කිරීම අපට නුහුරු දේ ය. බොහෝ විට සිදු කෙරෙන්නේ කිසියම් නම ගිය වියතෙකු ලියු ලේඛනයක් චතුර්වේදය සේ සලකා වන්දනාමාන කිරීම නැතහොත් පුනරුච්චාරණය කිරීම ය. වියතාගේ නම දුටු පමණින් ඔහු ලියන කියන දෑවල කිසිදු වැරද්දක් නැතයි උපකල්පනය කරනු ලැබේ.
මල්සිරි මහතාගේ කෘතිය සම්බන්ධව කවුරුන් නොසතුටට පත් වෙතත් මහාචාර්ය ඔබේසේකර මහතා නම් සතුටු වන බව කිව හැකිය. එතුමා වසර 30කට පෙර පළ කළ මේ මතවාදයේ තව දුරටත් එල්බගෙන සිටී ද යනු සැක සහිත ය. කෙසේ වෙතත් ‘දුටුගැමුණුගේ හෘද සාක්ෂිය’ ලිපියේ අද උරුමකරුවන් වී සිටින්නෝ වෙනත් පිරිස් ය. බොහෝ විට එම පිරිස් ‘දුටුගැමුණුගේ හෘද සාක්ෂිය’ පාවිච්චි කරනුයේ ඔබේසේකරයන් පවා අපේක්ෂා නොකළ දේශපාලන න්‍යාය පත්‍රයක් වෙනුවෙනි. වත්මන් පිළිතුර සැබවින් ම ඒ පිරිස් වෙත ය.
‘දුටුගැමුණුගේ හෘද සාක්ෂියට පිළිතුරක්’ කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය පළ වූ විට ජාතික මට්ටමෙන් ඔබ්බට යන කතිකාවකට දොරගුළු ඇරෙනු ඇත. මේ කෘතිය සිංහල භාෂාවෙන් මේ විවාදයට සහභාගී විය හැකි පාඨකයන් සඳහා බව කතුවර ඉෂංඛ මල්සිරි පෙරවදනෙහි කියා තිබේ.

-බුද්ධික කෝනාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions