3/14/2016

එක්ටා යනු රනිල් - සිරිසේන ආණ්ඩුකාරවරුන් විසින් ලංකාව ඉන්දියානු අධිරාජ්‍යයට පවරා දීමේ ගිවිසුමයි.

කතෘ:යුතුකම     3/14/2016   No comments

එක්ටා හිටං
-දර්ශන ක්ස්තුරිරත්න

ගොඩක් දෙනෙක් ගිවිසුම් කිව්ව ගමන් අහන්නේ මොනවද ගිවිසුමේ තියෙන වගන්ති කියලා හිටං. හැබැයි ගිවිසුමක පාර්ශවකරුවනුත් වැදගත්. සමහර විට වගන්ති වලටත් වඩා වැදගත්. දැං රෝම ලන්දේසි නීතියේ විවාහයත් ගිවිසුමක්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ ගිවිසුමක් ගහනවා අපි දෙන්නා මැරෙනකල් දුක සැප බෙදාගෙන එකට ඉන්නවා කියලා හිටං. දෙවියන් වහන්සේ පේන්ඩ නැති නිසා (දෙවියන් වහන්සේගේ) නීතිය ඉස්සරහා ගිවිසුම ගහනවා (ගිවිසුම කඩන්ට නං ඒ දෙවියන් වහන්සේගේම නියෝජිතයා වන නඩුකාර උන්නාන්සේ ගාවට යන්ඩ වෙනවා). ඉතිං එතනදි මං හිතන්නෙ නෑ ගොඩක් අය ඕකෙ තියෙන වගන්ති ගැන එච්චර සැලකිලිමත් වෙනවා කියලා. හැමෝම කියන්නේ එකම වගන්තිනේ. නමුත් එක එක විවාහ එක එක ආකාරයට තමයි turn-out වෙන්නේ. සමහර විවාහ පට්ට. සමහර ඒවා පතෝල වගේ ගුණත් නෑ අගුණත් නෑ. පෙළක් ඒවා නිකං පණ පිටිං අපායේ ගියා වගේ. ඉතිං ඒක තීරණය වන්නේ ගිවිසුමේ ‘පාර්ශවකරුවන්‘ මත. කොන්දේසි මතම නොවේ. පාර්ශවකරුවන් වෙන ගෑනු මිනිස්සු පස්සේ යනවානං, control freaks ලා නං හෝ වෙන මොනා හරි අවුලක් තියෙනවානං අර ගිවිසුමේ පණ දෙනවා කියාල තිබ්බත් වැඩක් නෑ. දැං විවාහයකදි අපිට ඇහැට පේන සංයුක්ත පුද්ගලයෙක් එක්ක ගහන නිසා පුද්ගල සාධකය සැර වැඩියි. රාජ්‍යයක් හෝ සමාගමක් එක්ක ගහන ගිවිසුමකදි සාපේක්ෂව වගන්ති වැදගත් වෙනවා වැඩිපුර. මොකද රාජ්‍යය හෝ සමාගම කියන්නේ වියුක්ත සංකල්ප නිසා. ඒවා අපිට ඇහැට පේන්නේ නෑ. අපිට රාජ්‍යයේ ඉඩම් හෝ මිනිස්සු පෙනුනට රාජ්‍යය පේන්නේ නෑ. සමාගමත් එහෙමයි. ඒවා වියුක්ත සංකල්ප. නමුත් එතැනදීත් ‘පාර්ශවකරු‘ වැදගත් වෙනවා. එකම වගන්ති ටික ඉන්දියාවයි ජපානයයි එක්ක වෙන වෙනම ගැහුවොත් ඒ දෙකේ ප්‍රතිඵල වෙනස් විය හැකිය. පාර්ශවකරුගේ ‘කැරැට්ටු‘ එතනදි වැදගත් වෙනවා. ඒක විවාහ ගිවිසුමේද, රටවල් අතර ගිවිසුමකද නැත්තං සමාගම් අතර ගිවිසුමකද කියලා එච්චරම වෙනසක් නෑ.


මේවට උදාහරණ අතීතයේ තියෙනවා. හොදම උදාහරණය 1815 ගිවිසුම. සුදු මහත්තුරු පට්ට සාධාරණයි පොතේ හැටියට වැඩ කරනවා කියලා අපි හිතං හිටයට 1815 ගිවිසුම සුදු මහත්තුරු අවුරුදු කීපයක් යද්දී කැඩුවනේ. 1815 ගිවිසුමේ තිබ්බා බුද්ධාගම පෝෂණය කරලා ආරක්ෂා කරනවා සහ සිංහල නීතියට අනුව රට පාලනය කරනවා කියලා. නමුත් සුදු මහත්තුරු ඒ වගන්ති කැඩුවා. ඒකනේ 1818 කැරැල්ල ඇති උනේ. බොහෝ විිට ඔය ගිවිසුම ගහන්ඩ ඇත්තේත් කඩන්ඩ බලාගෙන. නැත්තං උඩරට ප්‍රධානීන් ඒ ගිවිසුමට කැමති නොවන නිසා. ඉතිං එතනදීත් සමහරු ඔය ගිවිසුමේ ‘වගන්ති‘ අල්ලගෙන කෙස් පැළෙන තර්ක දාන්ඩ ඇති. සමහර නිළමෙලා තර්ක කරන්ඩ ඇති බලන්ඩකෝ මේකෙ බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙනවා කියලා තියෙනවානේ ඒක හින්ද sign කරමු කියලා. නමුත් ඒක මෝඩ වැඩක්. මොකද ගිිවිසුමේ වගන්ති උල්ලංඝනය උනොත් මොකද කරන්නේ. එතකොට අපි යටත් වෙලා ඉවරයි. අහු වෙලා ඉවරයි. බකං නිලාගෙන ඉන්ඩ තමා වෙන්නේ. ඒ නිසා පාර්ශවකරුනේ ‘අරමුණ‘ මොකක්ද කියලා බලන එක වැදගත් වෙනවා රාජ්‍ය අතර ගිවිසුමකදිත්. විශේෂයෙන්ම අසසමිතික දේශපාලන සහ ආර්ථික බලයක් හිමි පාර්ශව දෙකක් අතර ගිවිසුමකදී වඩා බලවත් පාර්ශවයේ අරමුණ ඉතා වැදගත් වෙනවා.

අපි ගිවිසුම්වලින් ඇණගත්ත ඒවා ගැන තව මෑත උදාහරණ තියෙනවා. අසූ ගණන් වල ඉන්දු ලංකා ගිවිසුම, සටන් විරාම ගිවිසුම (මේවා දේශපාලන ගිවිසුම්), චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ඉන්දියාව එක්ක ගහපු නිදහස් වෙළද ගිවිසුම (FTA) වගේ ඒවා. මෙයින් ඉන්දු ලංකා ගිවිසුමේ ඉන්දියාව පොරොන්දු උනා කොටින්ව නිරායුධ කරනවා කියලා. නමුත් ආයුධ බාර දෙනවා කියලා විහිලුවක් උනේ. වඩමාරච්චි මෙහෙයුමෙන් කොටි නැත්තට නැති කරන්ඩ ලංකා ආණ්ඩුවට තිබ්බ අවස්ථාව නැති උනා. ඉන්දියාව තමන්ගේ දරුවා වන කොටියා බේර ගත්තා. අන්තිමට බොරු උත්සවයක් තියෙලා කොටි තමන්ගේ පරණ තුවක්කු ටිකක් ඉන්දියන් ආමි එකට බාර දුන්නා. අනෙක් පැත්තෙන් ලංකාවෙ පෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත උනා ඉන්දියාවෙ උවමනාවට. ඒ මදිවාට ඒ මුවාවෙන් ඉන්දියන් හමුදාව ලංකාවට ගොඩ බැස්සා. බොහොම අමාරුවෙන් තමා යවා ගත්තේ. හොද වෙලාවට ජේආර් මහත්තයාගෙ විධායක ජනාධිපති ක්‍රමයට පින්සිද්ධ වෙන්ඩ ලංකාව කෑලි කෑලි වලට කැඩිලා ලේ විලක් වෙන එක වැළකුනා. නැත්තං ප්‍රේමදාස මහත්තයාගෙ කාලෙ වර්ධරාජා පෙරුමාල් වෙනම රටක් declare කරහම ඒක නිෂේධ කරන්ඩ ප්‍රේමදාස මහත්තායටයි එවකට ආරක්ෂක ඇමති රංජන් විජේරත්න මහත්තයාටයි ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන නැති වෙනවා.

කොටින් එක්ක ගහපු සටන් විරාම ගිවිසුම ගත්තත් අන්තිමට වගන්ති වලට වඩා වැදගත් උනේ පාර්ශවකරුගේ අරමුණනේ (එතනනං වගන්තිත් පට්ට පජාතයි. රනිල් ඉතිං ලියලම දුන්නනේ). කොටින්ට ඕන උනේ දුර දිග විහිදුම් බලකායෙන් තමන්ගේ නායකයන් මැරෙන එක නවත්තලා හැමදාමත් වගේ බොරුවට සාකච්ඡාවලට ගිහිල්ලා පිරිස් බලය, ආයුධ බලය සහ ආර්ථික බලය වැඩි කරගන්ඩ. ඒ කරලා ලංකා හමුදාව දුර්වල කරලා ඔවුන් ශක්තිමත් වෙලා හැමදාම වගේ තීරණාත්මක අවස්ථාවකදී යුධය පටන් අරන් යුධය දිනලා ඊළම පිහිටුවන්ඩ (එහෙම උනානං උ.බු. ජනතාව දැං වගේ ‘දේශපාලන විසදුම්‘ ගැන කියන එකක් නෑ නේ. කට්ටිය කියයි යුධය කියන්නේ මතවාදී දේශපාලනයේම extension එකක් කියලා දැං අපි කියන්නා වගේ). සටන් විරාම ගිවිසුමේදි බටහිර රටවල සහය සහ ආශිර්වාදය ඇතුව ඔවුන් ඒ අරමුණු ඉටු කරගත්තා. මොනිටර් කරන්ඩ දාපු සුදු මහත්තුරු ඉන්න මොනිටරිං මීසම වැඩ කරේත් හරියට අර ඉන්දියාවයි ලංකාවයි මැච් ගහද්දි ඉන්දියන් අම්පෑර්ලා ප්ලේ කරනවා වගේ. සමහර මොනිටරිං අය ඒ අය ආපු රටවල කට්ටිය කොටින්ට ආයුධ, උපකරණ දෙන්ඩ ට්‍රේන් කරන්ඩ සහ සැලසුම් දෙන්ඩ තරං ‘ස්වාධීන‘ උනා කියහල්ලාකෝ. හමුදාව බංකර්වලට වෙලා මදුරුවෝ තලද්දි කොටි පිස්තෝල කල්ලියේ අය ගල්කිස්සට ඇවිල්ලා හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන්ට වෙඩි තියලා මරලා බස් එකේ නැගලා වව්නියාවට ගිහින් එතනින් වන්නි කොටි මූලස්ථානයට කිසි අවුලක් නැතිව යන තත්වයක් උදා උනා. ඒකනං මාර ගිවිසුමක් අප්පා.

මේ ඔක්කොටම වඩා වැදගත් චන්ද්‍රිකා නෝනා ඉන්දියාවත් එක්ක ගහපු නිදහස් වෙළද ගිවිසුම. මේක වැදගත් වෙන්නේ මේක ආර්ථික ගිවිසුමක් වීම නිසා සහ ගැහුවේ ඉන්දියාවත් එක්ක නිසා. ඒක භාණ්ඩ වෙළදාම පිළිබද දේශ සීමා ඉවත් කරන ගිවිසුමක්. ඒකෙ වෙච්ච දේ ඉදිරියේදි එක්ටා එකෙන් වෙන දේ ගැන අදහසක් ගන්ඩ හොද අවස්ථාවක් වෙනවා. ඒ කාලෙ චන්ද්‍රිකා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් වෙච්ච මහාචාර්ය ජී.ඇල්. පීරිස් මේ එක ගැන වැදගත් ලිපියක් ලියලා තිබ්බා අයිලන්ඩ් පත්තරේ. මේ තියෙන්නේ ඒ ලිපිය.
Proposed economic agreement with India: Lessons from the recent past
By Prof. G. L. Peiris
http://www.island.lk/index.php?page...

කාටහරි කියන්ඩ පුළුවන් දැන් ජී.ඇල්. ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ නිසා ඔහුගේ අදහස් පක්ෂග්‍රාහී කියලා. නමුත් මෙතන ඔහු මතු කරන කාරණයට ආණ්ඩුව පැහැදිලිව උත්තරයක් දීලා නෑ. ඔහු පෙන්වා දෙන්නේ FTA එකේ මොන වගන්ති තිබ්බත් ඒකට පරිබාහිරව ඉන්දියානු රජය දාපු වෙනත් ආරක්ෂණවාදී නීති රිති නිසා ‘ප්‍රායෝගිකව‘ ලංකාවෙ සමාගම්වලට ඉන්දියාවේ භාණ්ඩ වෙළදපොලට යන්ඩ බැරි තත්වයක් උදා වූ බවයි. මේ සමහර ආරක්ෂණවාදී නීති රීති ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවෙන් දාපුවා. සමහරක් ඒවා ප්‍රාන්ත ආණ්ඩුවලින් දාපුවා. ඒකට උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියානු ආණ්ඩුව දාපු Import license කියන එක. දැං ගිවිසුමේ මොනවා තිබ්බා ඉන්දියානු ආණ්ඩුවට ලංකාවෙ නිෂ්පාදන ඉන්දියාවට එන එක වළක්වලා ඉන්දියාවේ සමාගම් ආරක්ෂා කරගන්ඩ පුළුවන් මේ කියන බාධකය දාලා. නමුත් ලංකාවෙ ඇතුලේ ඔපරේට් වෙන ඉන්දියානු සමාගම්වලට එවැනි බාධවක් නෑ. එකේ වගන්ති පරිශීලනය කරහම එහෙම එකක් ඒකෙ නෑ. මේක බාහිරින් දාපු එකක්. නමුත් ඒකෙන් වෙන්නේ එකෙන් ඉන්දියාවට විතරක් වාසි වෙලා ලංකාවෙ සමාගම්වලට ඉන්දියාවෙ තබා ලංකාවෙ තියෙන වෙළදපොලත් නැති වෙන එක. එතනදි ඉන්දියාව රාජ්‍යයක් විදියටම සදාචාර විරෝධී ලෙස කටයුතු කරලා තියෙනවා. ඔවුන්ගේ ‘චේතනාව‘ වෙලා තියෙන්නේ ලංකාවෙ වෙළදපොල ආක්‍රමණය කරලා ඒ ඒක්කම ලංකාවේ සමාගම් ඉන්දියානු වෙළදපොලට එන එක බ්ලොක් කරන්ඩ. ඉතිං එතනදී වගන්ති අල්ලගෙන කෙස් පැලෙන තර්ක දාලා වැඩක් නෑ නේද පාර්ශවකරුගේ ‘චේතනාව‘ සහ ‘කැරැට්ටුව‘ බලන්නේ නැතුව?

දැං මේ ගහන්ඩ යන එක්ටා එකෙත් මේ වගේම දෙයක් නොවන බවට තියෙන සහතිකය මොකක්ද? එක්ටා එකේ සේවා ආර්ථිකයනේ විවෘත කරන්ඩ යන්නේ (ඇත්තටම ලංකාවෙ ආර්ථිකය දුවන්නේ සේවා ආර්ථිකයෙන් නිසා මේක ඉතාම වැදගත් කාරණයක් අපි හැමෝටම). එක්ටා එකේ මොන වගන්ති තිබ්බත් ඉන්දියාවට තමන්ගේ සේවා ක්ෂේත්‍රය ඉන්දියානුවන්ට විතරක් සීමා කරන්ඩ අවශ්‍යනං වෙනම බාහිර නීති දාලා ඒක කරන්ඩ පුළුහන්. ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යවලටත් එවැනි නීති දාන්ඩ පුළුවන්. අනෙක එහෙම නීති නැතත් භාණ්ඩයක් විකුණනවා වගේ නොවේ සේවවක් විකුණනවා කියන එක. බොහෝ විට සේවාව සපයන මනුස්සයාට ඒ රටට යන්ඩ වෙනවා. එතනදී ඒ සමාජයේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රතිවිරෝධතාවලට මුහුණ දෙන්ඩ වෙනවා. පොතේ මොනවා තිබ්බත් ඉන්දියානු සමාගම් ලංකාවෙ සමාගම් වගේ නොවේ දැඩි ජාතිකවාදී ස්ථාවරයක ඉන්න නිසා ලංකාවෙ මිනිස්සුන්වනං හයර් කරයි කියලා හිතන්ඩ අමාරුයි.

බටහිර රටවල ඉන්න අය පවා ගොඩක් වෙලාවට මුහුණ දීලා ඇති වර්ගවාදය නිසා ජොබ් හොයා ගන්ඩ තියෙන අමාරුව ගැන (මං දන්න තරමින් බටහිර ප්‍රකට විශ්ව විද්‍යාලයක - හාවඩ් වගේ මතක - පර්යේෂණයක් කරලා තියෙනවා බටහිර රටක සම්ගම්වල අර CV එකේ නම අනුව අනෙකුත් සුදුසුකම් සමාන අයට interview කෝල් කිරීමේ සම්භාවිතාව ගැන. එතනදී පෙනී ගිහිල්ලා තියෙනවා CV එකේ තියෙන නම සුද්දෙක්ගේ නමක්නං interview කෝල් කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව. සුද්දෙක් නොවන නමක්නං සම්භාවිතාව අඩුයි. මුස්ලිම් නමක් නං සම්භාවිතාව බිංදුවට ආසන්නයි. හෙහෙ). ඉතිං අච්චර හොද සාධාරණ සුදු මහත්තුරුත් වැඩ කරන්නේ එහෙමනං කොහොමත් ලංකාව සම්බන්ධයෙන් වර්ගවාදී අධිපතිවාදී මානසිකත්වයක ඉන්න ඉන්දියන්කාරයෝ මොනවා නොකරයිද? ඉන්දියාවේ ප්‍රාන්ත තුළත් විරෝධයක් තියෙනවා වෙන ප්‍රාන්ත වලින් ඇවිල්ලා ජොබ් කරන අය ගැන (මේ ප්‍රාන්ත කියන්නේත් අතීතයේ ස්වාධීන රාජ්‍යයන් බොහෝ විට. ඉතින් වෙනම ප්‍රාන්තයක කෙනෙක් විදේශිකයෙක් ලෙස සැලකීම එක අතකිත් සාධාරණයි. ඉන්දියාව කියන්නේ විවිධ සංස්කෘති ඇති රටවල් ගොඩක් එකට ගැටගහලු හදපු මෙව්වා එකක්නේ).

India can stop the mauling, harassing, and killing of northeasterners—yet chooses not to
http://qz.com/285393/india-can-stop...
Troops deployed as deadly clashes in India cut water to capital
http://www.sfgate.com/world/article...

මං හිතන්නේ මෙතනදි ඉන්දියාවේ ‘චේතනාව‘ දැනගන්ඩ වැදගත් වෙන උපමාවක් තියනෙවා අයිටී ෆීල්ඩ් එකේම. ඒ කියන්නේ දැං ප්‍රධාන පෙළේ සමාගම් කරන වැඩක් තමයි තමන්ට competition එකක් දෙන්ඩ පුළුහන් කුඩා සමාගමක් නැගගෙන එද්දි ඒක සල්ලිවලට ගන්නවා. ඊට පස්සේ එක්කෝ ඒ කුඩා සමාගමේ products and services තමන්ගේ ඒවා කරගන්නවා. නැත්තං කරන්නේ කුඩා සමාගම නිකං අල කරලා ලොස් කරලා දානවා. එහෙම තමයි ලොකු සමාගම් තමන්ගේ monopoly එක තියාගන්නේ. Microsoft සමාගම මේ වැඩේ නිතරම කරනවා. ඉන්දියාවයි ලංකාවයි බැලුවත් මේ දෙක ආදේශක (complimentary) ආර්ථික නොවේ තියෙන්නේ. අපි දෙගොල්ලම හදන්නේ එකම දේවල්. දෙගොල්ලන්ම දෙන්නේ එකම සේවා. තේ, ඇගලුම් වගේ භාණ්ඩ බැලුවත් අයිටී, වෛද්‍ය වගේ සේවා බැලුවත් එහෙමයි. ඉන්දියාව නොදෙන අපි දෙන එකම සේවය මැදපෙරදිග වහල් සේවය විතරයි මගේ හිතේ. ඉන්දියාවෙ ඒක තහනම් මං දන්න විදියට. ඉතිං එහෙම බැලුවම ඉන්දියාවට ලංකාව competitor කෙනෙක්. ඉන්දියාව තමන්ගේ FTA එක හරහා භාණ්ඩ නිෂ්පාදන ක්ෂේතයේ ලංකාව අල කරලා දැම්ම. ඒ මදිවට ලංකාවත් තමන්ගේම වෙළදපොලක් කර ගත්තා. දැං ඉන්දියාව හදන්නේ ලංකාවේ සේවා ආර්ථිකයෙන් තමන්ට එන competition එකත් නැති කරලා ඒ මදිවට ලංකාවත් තමන්ගේ සේවාදායකගෙක් කරගන්ඩ. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන්ඩ. ඔය වගේ ගිවිසුම් ටිකක් හෝ සාර්ථක වෙලා තියෙන්නේ complimentary ආර්ථික තියෙන රටවල. ඒ කියන්නේ එක රටක නිෂ්පාදනයක් තව රටක අමුද්‍රව්‍යයක් වෙන විට. ඒක දෙපැත්තටම යම් ප්‍රමාණයකට හෝ සමමිතිකව වෙන්ඩත් ඕනේ. අසසමිතික දෙන්නෙක් එක්කහු කරොත් වෙන්නේ පොඩි එකා ලොකු එකා විසින් ගිලගන්න එක.
දැං යුරෝපා හවුලේ සාපේක්ෂව කුඩා ආර්ථික ඇති ග්‍රීසිය, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවලට වඩා බලවත් ආර්ථිකය ඇති ජර්මනිය විසින් කරලා තියනේනේත් ඒකනේ. ඒ රටවල් අද වෙන විට ජර්මනියේ නිල නොවන යටත් විජිත වෙලා. පත්වෙන ආණඩු මොනවාද කියලා තීරණය කරන්ඩ තරම් ජර්මනිය බලවත් වෙලා. යුරෝපා ආර්ථික හවුල තනිකර අසාර්ථක ව්‍යාපෘතියක් විතරයි ඒකෙන් උනේ යුරෝපයේ සාපේක්ෂව දුර්වල ආර්ථික නැතිභංගස්ථාන වෙලා සාපේක්ෂව ශක්තිමත් ආර්ථිකය වන ජර්මනිය ආර්ථික අධිරාජ්‍යයක් උන එකයි කියලා අද වෙනකොට ලෝකෙම මිනිස්සු පිළිගත්ත කාරණයක්. ආර්ථිකය අල්ලගත්තා කියන්නේ රටම අල්ලගත්තා වගේ තමා. ඇත්තටම යුරෝපා සංගමයේ වෙච්ච දේම ප්‍රමාණවත් මේ වගේ ඊනියා විස්තීරණ ‘සහයෝගිතා‘ ගිවිසුම් වල සැගව ඇති ආර්ථික සහ දේශපාලන/සංස්කෘතික අධිරාජ්‍යවාදය තේරුම්ගන්ඩ. සමහර යහපාලනවාදී උ.බු.ජනතාව කියන්නා වගේ අපට ඇත්තේ ඉන්දීය විරෝධයක් නොව අධිරාජ්‍ය විරෝධයක්. ඒ අධිරාජ්‍යවාදය එන්නේ බටහිරින්ද ඉන්දියාවෙන්ද ඒ දෙකේම එකතුවක්ද කියන එක විතරයි වෙනස.


ඇත්තටම පුද්ගලයෙක්ගේ වගේම එතනදී රාජ්‍යයක හෝ සමාගමක ‘සංස්කෘතිය‘ මත තමා ඔවුන්ගේ හැසිරීම තීරණය වෙන්නේ. ඉන්දියාව කියන්නේ අපිටත් වඩා සංස්කෘතික අනාථභාවට පත් වෙච්ච රටක්. කට්ටියක් පාරේ මළ පහකරනකොට අපද්‍රව්‍ය කාණුවල කිමිදෙනකොට තවත් කට්ටියක් සුරසැප විදින්නේ ඒ නිසා. ඉන්දියාව කියන්නේ අපිට බුදුදහම දුන්න දඹදිව හෝ ඊට පස්සේ තිබ්බ භාරතය නොවේ. ඉංගිරිසීන් විසින් අටවපු නූතන රටක්. වත්මන් ඉන්දියානුවන්ගේ ආකල්පවල බටහිර සුද්දන් අනුකරණය කිරීමයි පැරණි බමුණු අධිපතිවාදී සංස්කෘතියයි අපූරුවට එක්කහු වෙලා මහා චාටර් අධිපතිවාදී දැඩි ආත්මාර්ථකාමී, පුහු මානය, බක පණ්ඩිතකම සහ show-off එක පිරිච්ච හිස් සදාචාර විරහිත ගතියක් පිහටලා තියෙනවා. ඉන්දියානුවන්නේ සදාචාරය සහ සාරධර්ම ගැන පොදුවේ ලෝකෙම මිනිස්සු කළකිරිලා ඉන්න සංස්කෘතික අනාථභාවට හේතුව මේ සංස්කෘතික අනාථභාවයයි.


ඉන්දියාවේ මේ චාටර්ගතිය එන්නෙ රාජ්‍යයෙන්මයි. එහි සංස්කෘතියෙන්මයි. කිරිකැට් මැච් වල හොර කරලා දිනනවා කියන එක එන්නේ ඒ සිස්ටම් එකෙන්මයි. සුද්දෝ උනත් එහෙම හොර කරන්ඩ ලැජ්ජයිනේ. නමුත් ඉන්දියානුවාට එහෙම හොර කරලා දිනනවා කියන එක ලැජ්ජාවක් නෑ. ඉන්දියානු කිරිකැට් පාලක මණ්ඩලය හොර කරන එක අමාරු වෙන review system නැති කරන්නේත් ඉන්දියන් අම්පෑර්ලාම අන්තර්ජාතික තරගවලට දාන්නෙත් systematicallyම හොර කරන්ඩනේ. ඒක ඉන්දියානු රාජ්‍ය ආයතනයක් වන ඉන්දියානු කිරිකැට් පාලක මණ්ඩලයෙන්ම කරන වැඩක්. ඒක අම්පැර්ලාගේ පුද්ගලික වැරැද්දක් නොව ඒ රාජ්‍යයේ හැටියක්. ඒ සංස්කෘතියේම ඉන්න මිනිස්සුත් ඒවා අනුමත කරනවා වගේ පේන්නේ. ලංකාවෙන් ඔහොම කරානං අපේ මිනිස්සුම ඕවාට විරුද්ධ වෙනවා ඒක අපේ සංස්කෘතියට පටහැනි නිසා. කිරිකැට් මැච් එකක සිස්ටමැටිකලි හොර කරන රටක් මේ වගේ අතිශය තීරණාත්මක ආර්ථිකය විවර කරන ගිවිසුමකදි පට්ට අසාධාරණ සහ සදාචාර විරෝධි ලෙස කටයුතු නොකරයිද?

ඉන්දියාව එක්ක ලංකාව වැඩ කරපු මෑතම උදාහරණය ගත්තත් අර ‘ධීවර ප්‍රශ්නය‘ කාරණයේදි ඉන්දියාව කටයුතු කරේ කොහොමද? ගොඩක් දෙනෙක් මාර සිරා පොරක් විදියට සලකන ආචාර්ය අබ්දුල් කලාම් (seriously මටනං කලාම් මෙච්චර සිරා පොරක් වෙන්නේ කොහොමද කියාල තේරෙන්නේ නෑ. ඔහු දුප්පත් පවුලකින් ආපු කෙනෙක්. උපාධි ගොඩක් තියෙනවා. පාඩං කරන්ඩ සහ විභාග පාස් කරන්ඩ දක්ෂ කෙනෙක් වගේ පේන්නේ. ඒ හැරෙන්ඩ ඔහු අලුතෙන් හදපු සංකල්පයක් හෝ ප්‍රවාදයක් තියෙද කියලා මං දන්නේ නෑ. ඔහු ඉතාම අස්ථාවර සහ ප්‍රචණ්ඩ දේශපාලන වටපිටාවක් ඇති කලාපයකට න්‍යාෂ්ටික ආයුධ තාක්ෂණය ‘හදුන්වා දෙන්ඩ‘ පුරෝගාමී උනාලු. ඒකෙන් කලාපිීය න්‍යාෂ්ටික අවි තරගයක් ඇති උනා මේ රටවල අන්ත දුප්පත් මිනිස්සු කන්ඩත් නැතුව ඉන්දැද්දී. ඒක හොද දෙයක්ද? අනිත් එක ඒකෙ මොකක්ද ඇති නව නිර්මාණය? පස්සේ මනුස්සයා වයසට ගිහිල්ලා රිටයර් වෙලා motivational කතන්තර කිය කිය එහේ මෙහේ ගිහිල්ලා. මන් දන්නෑ සමහර විට ඔහුගේ මට නොතේරෙන වැදගත් කමක් ඇති) ධීවර ප්‍රශ්නයට දුන්න ‘විසදුම‘ මේක තමා. ඒ කියන්නේ රටවල් දෙකේ මුහුද සතියට දවස් තුන බැගින් බෙදාගෙන මාළු අල්ලනවා. එක දවසක් ‘නිවාඩු‘ දවසක් (ඒ දවසේ මාළුන්ට පට්ට ආතල් එකේ ඉන්ඩ පුළුහන්). බලන්න කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද කියලා. ලංකාවේ ධීවර ප්‍රජාවට වඩා ඉන්දියාවේ ධීවර ප්‍රජාව සහ බෝට්ටු ගාන ගොඩක් ලොකුයි. ලංකාවෙ මත්ස්‍ය සම්පත වැඩියි. අනෙක මේක ධීවර ප්‍රශ්නයක් නොවේ දේශ සීමා ප්‍රශ්නයක්. ධීවර කටයුතු මුවෙන් හොර බඩු ජාවාරම, මත්කඩු ජාවාරම (මේක ලංකාවෙ ආණ්ඩුවේ අන්තරාදායක ඖෂධ පාලන අධිකාරියේ ප්‍රධානියාම වරක් කිව්වා), නීති විරෝධී සංක්‍රමණය සහ (අනාගතයේ විය හැකි) ආයුධ ජාවාරමත් ඔතන තඩි ප්‍රශ්න. ලෝකෙ ලොකුම නාවික හමුදාවක් තියාගෙන හිතාමතාම ලංකාවේ මත්ස්‍ය සම්පත කොල්ලකෑම අනුමත කරන රාජ්‍යයක් එක්ක මේ වගේ රිස්කි ගිවිසුමක් ගහලා අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? කලාම් වගේ සාපේක්ෂව හොදයි කියලා හිතන මිනිහෙක් හිටපු ජනාධිපති කෙනෙකුත් හිතුවේ මෙහෙමනං අනිත් එවුන් මොනවා නොකරයිද?
India-Sri Lanka Fishermen Problems: Some solutions
http://www.idsa.in/idsacomments/Ind...

ඕනම රටක් ගිවිසුම් ගහන්නේ තමන්ගේ වාසිය බලලා තමයි. ඉන්දියාවත් එහෙමයි චීනෙත් එහෙමයි. චීනෙට සාපේක්ෂව ඉන්දියාව ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට බලපෑම් කරනවා වැඩියි. ඉතිහාසය ඒකට සාක්ෂි දරනවා. ඉන්දියාව බන්නේ ලංකාව වගේම අසල්වැසි රටවල් තමන්ට අවශ්‍ය විදියිට හසුරවන්ඩ. නේපාලය වගේ රටවල් ගත්තහම තනිකරම ඉන්දියාවෙ නිල නොලත් යටත්විජිත වෙලා ඉවරයි. මේ විදියට ගියොත් ලංකාවටත් වෙන්නේ ඒ සන්තෑසියම තමයි. හැබැයි වත්මන් ලංකාවෙ ආණ්ඩුවනං එහෙම ලංකාවෙ ජාතික අවශ්‍යතා වෙනුවෙන් ස්ථාවරයක් අරන් විදේශීය රටවල් හෝ සංවිධාන එක්ක negotiate කරන බවක් අපිටනං පෙනිලා නෑ. දෙකට නැමියං කිව්වම හතරට නැමෙන ආණ්ඩුවක් තියෙන්නේ. ඉතිං එතකොට වෙන්නේ විදේශීය රටවල් දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික පැති තුනෙංම අපිව exploit කරන එක සහ අපි දිගින් දිගටම කැමැත්තෙන්ම ඔවුන් අතින් exploit වෙන එක. අපි යටත්විජිතයක් වෙන එක. හොදම උදාහරණය අර ‘වකුගඩු ජාවාරම‘ පිළිබද කතාවේදි ලංකාවෙ ‘ආණ්ඩුව‘ (ආණ්ඩුව ආණ්ඩුව කිව්වට ලංකාවෙ දැන් ආණ්ඩුවක් තියෙනවාද කියන එකත් ප්‍රශ්නයක්. අපිටනං පේන්නේ ලංකාව පාලනය කරන්නේ බටහිර සහ ඉන්දීය තානාපති කාර්යාල වලින් වගේ) හැසිරෙච්ච විදිය. ඉන්දියානු වදුරු පොලිසියේ මාධ්‍ය ප්‍රකාශයක් සහ හින්දු පත්‍රයේ තනිකර සදාචාර විරෝදී නිව්ස් එකක් (උන් කරේ කිසිම පරී්කෂනයක් නැතුව මේකට සම්බන්ධයි කියලා ලංකාවේ දොස්තරලාගෙ නම් පළ කරපු එක. ටිපිකල් ඉන්දියන් ඇටිිටුයුඩ්) මත පදනම් වෙලා මොනම පරීක්ෂණයක්වත් නැතුව ඩෝං ගාලා සියලුම වකුගඩු බද්ධයන් තහනං කරලා ලංකාවෙ නැගගෙන ආපු මෙඩිකල් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක ඉන්දියන් හාම්පුතාගෙ උවමනාවට වළලලාම දාපු එක. දැං ඉතිං වකුගඩු ලෙඩ්ඩුන්ට ඉස්සර වගේ සේසතම විකුණලා ඉන්දියාවෙ ගිහිල්ලා එහෙ රෝහල් පෝසත් කරන්ඩ පුළුහන්. අන්න එහෙම ‘ආණ්ඩුවක්‘ තමා අපිට තියෙන්නෙ.

එක්ටා එකේ මුලින් වෛද්‍ය සේවය වගේ දේවලුත් විවෘත කරනවා කිව්වා. පස්සේ දැං ඒක අයින් කරලා පට්ට මානුෂික ගිලන් රථ සේවයයි (අරහේ ඉන්දියාවේ මිනිස්සු වතුර නැතුව මැරෙනවා. ඒ අස්සේ ඉන්දියාව අපිට නොමිලේ ගිලන් රථ සේවා දෙනවා. බලන්න ඉන්දියාව අපිට කොච්චර ආදරේද කියලා හිටං. මෙතන යන්නේ ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගන සහ මුට්ටිය දාලා බලන strategies නං නෙවෙයි ඈ) තව IT ක්ෂේත්‍රයයි තව නැව් අලුත්වැඩියා සේවයයි (FTA එකෙන් යන්තං ලංකාවට ටිකක් හරි වාසි උනේ මේ නැව් නිෂ්පාදනය. දැං ඒකටත් බඩු. යකෝ මුං අනුකම්පාවටත් එකක්වත් අත හරින්නේ නෑනේ) කීපයක් විවෘත කරන්ඩයි යන්නේ. දැං මේ වගන්ති කවුද හිතුමතේ වෙනස් කරන්නේ? මේවා තනිකර political decisions මිසක් කිසිම ආකාරයට විධිමත් අධ්‍යයනයකින් පසුව කරන දේවල් නෙවෙයි කියලා මේකෙන්ම පේනවා. නැත්තං කෝමද එක පාර එහෙම වගන්ති වෙනස් කරන්නේ. ඒවායෙන් වෙන impact එක study කරන්නේ නැතුව. මේ ගොල්ල කරන්නේ ඒ වෙලාවට එන විරෝධය මැනේජ් කරන්ඩ බොරුවට වගන්ති වෙනස් කරලා මොකක් හරි එකක් පාස් කරගන්න එකයි. ඊට පස්සේ ඒකට හිතුමතේ සංශෝධන දායි. වගන්තිවල නැති ඒවත් පස්සේ වෙයි. වගන්ති අස්සෙත් ඕන තරං හිල් හදලා තියන්ඩ පුළුහන්නේ පස්සේ රිංගලා යන්ඩ. ඒවා සුළු වැඩ.

IT ෆීල්ඩ් එක බැලුවොත් ලංකාවෙ අයිටී ගැන policy decisions ගන්න ආයතනය ICTA එක. ඒකෙන් මේ එක්ටා එකෙන් අයිටී ක්ෂේත්‍රයට වෙන බලපෑම ගැන කරලා තියෙන study එක මොකක්ද? නැත්තං මේ ගැන ඩිජිටල් ඇමති හරීන්ද තීරණය කරන්නේ? IT පුද්ගලික සමාගම්වල එකතුව වන SLASSCOM එක මේ ගැන දරන මතය මොකක්ද? (සමහර විට ඒ සමාගම්වල අයනං කැමතිවෙයි ලාභ ශ්‍රමය ලැබිලා ලාභය වැඩි වෙන නිසා. ප්‍රශ්නය ඒකෙන් ලංකාවේ IT ෆීල්ඩ් එකට වෙන්නේ යහපතක්ද නැද්ද කියන එක. මොකද මේ සමාගම්වල අයිතිය ඇත්තේත් විදේශික ආයෝජකයන්ටනේ. ඒ ලාභය ලංකාවෙ ආයෝජනය වෙන්නේ නෑ කොහොමත්. ඉතිං මේ සමාගම්වල ලාභය වැඩි උනා කියලා ලංකාවට ලැබෙන කෙංගෙඩියක් නෑ. වෙන එකම දේ කලින් ලාංකිකයන්ට ලැබිච්ච ජොබ් ටික සහ උන්ට ගෙවන salary වලින් ලාංකාවට ආපු විදේශ විනිමය ටිකත් ඉන්දියානුවන් අතට යන එක විතරයි).

ඇත්තටම ලංකාවේ IT ඉන්ඩස්ට්‍රිය කියලා මහලොකු එකක් නෑ. ගොඩක් තියෙන ලොකු සමාගම් විදේශ සමාගම්. නැත්තං විදේශ සමාගම්වල ශාඛා. ලංකාවෙම සමාගම් තියනේනේ අතලොස්සයි. තියෙන ඒවත් සමහර විට විදේශික සමාගම්වට විකුණනවා. දැං ලංකාවෙ IT ක්ෂේත්‍රය වර්ධනය වෙන්ඩ තියෙන බාධාව පුහුණු ශ්‍රමිකයන් නැති වීම කියලා ICTA එක සහ අනිත් අය කියනවානේ. මං නං හිතන්නේ ඒක අර්ධ සත්‍යයක්. IT field එක expand නොවෙන්ඩ ගොඩක් හේතු තියෙනවා. සමහර ඒවා කෙලින්ම පොලිටිකල් හේතු. උදා ලෙස stock exchange වලට සිස්ටම් හදන සමාගමක කෙනෙක් වරක් එක ලෙක්චර් එකකදි කිව්වා ඔවුන්ගේ product එක කොච්චර හොද උනත් ඔවුන්ට මැද පෙරදිග මාකට් එකට යන්ඩ බෑ මොකද එහේ මිනිස්සු ‘house-maid country‘ එකෙන් සොෆ්ට්වෙයාර් ගන්ඩ කැමති නැති හින්ද කියලා. බොහෝ විට ලංකාවෙ සමාගම් විදේශයන්ට විකුණන්නේ හෝ ලංකාවෙ ඩිවලොප්මන්ට් කරන සමාගම් බටහිර රටක ලියාපදිංචි වෙන්නෙ මේ ‘සුදු හම‘ සාධකය අන්තිමට සේල් එක කරද්දි වැදගත් වෙන නිසා. සොෆ්ට්වෙයාර් එක හදන්නේ ලංකාවෙ කියන එක පුළුවන් තරම් හංගන්ඩ තමා මේ මව් සමාගම්වල මාකටිං අංශයත් පුළුවන් තරං උත්සාහ කරන්නේ. මොකද නැත්තං සුදු මහත්තුරු මේවා සල්ලිවලට ගන්නේ නැති නිසා.

අනෙක් කාරණය අපේ මිනිස්සු සමාගම් පටන් ගන්නේ නැති එක. අපි කොහොමත් ගොවි සමාජයක්නේ. එක්කේ අපි කරන්නේ ගොවිතැන. නැත්තං රාජ්‍ය සේවය. රාජකාරිය දේවකාරියටත් වඩා ලොකුයි කියලනේ ඒ කාලෙ කිව්වේ. අපිට වෙළදාම එච්චර හුරු නෑ. බුදුහාමුදුරුවොත් වර්ණනා කරේ ගොවිතැන මිසක් වෙළදාම නොවේනේ. ඒ ගොවිතැනෙ තියෙන විවේකය නිසා. (IT ඉන්න අයටනං ඇති විවේකෙකුත් නෑ හැබැයි). අනෙක අපි පුද්ගලික සමාගමක වැඩ කරන්නේත් රාජ්‍ය සේවයේ වැඩ කරනවා වගේ බොහෝම භක්තියෙන්. සමාගම් කාරයෝ කරන්නේ ඒක exploit කරන එක. කෙසේ වෙතත් අපේ විශ්ව විද්‍යාල උපාධිවලත් මේ ව්‍යවසායකත්වය (entrepreneurship) කියන කතාව ලොකුවට කතා කරන්නේ නෑ. ලංකාවෙ IT සමාගම් රන් කරන අය බැලුවොත් එක්කෝ පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත අය, නැත්තං විදේශ විශ්ව විද්‍යාලවල ඉගෙන ගත්ත අය නැත්තං උපාධි නැති අය. රාජ්‍ය විශ්ව විද්‍යාලවල වැඩ කරන අය කරන්නේ සහ පුද්ගලික විශ්ව විද්‍යාලවලින් එන බහුතරයක් දෙනා කරන්තේ මේ සමාගම් වල වැඩ කරන එක. කොම්පැනියක් පටන්ගන්නවා කියන්නේ රිස්ක් එකක් අරන් කරන අමාරු වැඩක්. ගොඩක් දෙනෙක් කැමති නෑ ඒ වගේ රිස්ක් ගන්ඩ. ඒක අපේ සංස්කෘතියෙන් එන දෙයක්. සුද්දන්ට ඒ ප්‍රශ්නය නෑ. දැං ෆේස්බුක් උනත් පටන් ගත්තේ යුනිවසිටි ප්‍රොජෙක්ට් එකක් විදියටනේ (පස්සේ එක්සත් ජනපද ආණ්ඩුවෙ බැකිං එක ආවා කියනවා NSA එක හරහා. එතනත් ඉතිං රාජ්‍ය අනුග්‍රහයක් තියෙනවා).

පිටරටවල ගොඩක් යුනිවසිටිවල incubators තියෙනවා යුනිවසිටි projects හරහා එන අලුත් අදහස් සහ products වෙළදපොලට යනකං ගෙනියන්ඩ. ඒකට අවශ්‍ය ව්‍යාපාරික දැනුම දෙන එක, කන්ටැක්ට්ස් හදලා දෙන එක, මාර්ගෝපදේශකත්වය දෙන එක මේ incubators වලින් වෙනවා. Incubators වල ඉන්නෙ ළදරුවොනේ. ළදරු සමාගම් රජයෙන් හෝ වෙනත් පාර්ශවයකින් රැක බලාගන්ඩ වෙනවා මුලදි. ටිකක් ලොකු උනාම තනියෙන් ඔක්කොම කරගන්ඩ පුළුවන්. අනෙක් කාරණය කවුරුවත් IT (හෝ පොදුවේ ටෙක්නොලිජි සම්බන්ධ ක්ෂේත්‍රවල) අයෛා්ජනය කරන්ඩ හොර වීම. ලංකාවෙ ප්‍රධන සමාගම් ආයෝජනය කරන්නේ හැමදාම කරපු profit margins අඩු competition වැඩි ඇගලුම්, plantations වගේ ක්ෂේ්ත්‍රවල විතරයි. ගොඩක් වෙලාවල මේවායේ තීරණ ගන්න තැන් වල ඉන්න අයත් engineering/technology background එකක් ඇති අය නොවේ. මාකටිං හෝ finance වගේ ක්ෂේත්‍රවලින් ආපු අය. ටෙක්නිකල් අය ටෙක්නිසල් අංශයේම හිර වෙලා (හෝ හිර කරලා) ඉන්නවා මිසක් තීන්දු ගන්න (executive) ලෙවල් එකට යැවෙනවා අඩුයි. මේවා මොකවත් කතා නොකර නිකාංම IT ඩිග්‍රි තියෙන ඔලු ගෙඩි ගාන වැඩි කරලා IT ක්ෂේත්‍රය හෝ වෙනත් ටෙක්නිකල් ක්ෂේත්‍රයක් ගොඩගන්ඩ හිතනවානං ඒක හෙනම බොළද සිතිවිල්ලක්. ඒකෙන් වෙන්ඩ පුළුවන් එකම දේ අන්තිමට එහෙම එළියට එන මිනිස්සු හයර් කරන්ඩ කොම්පැනි නැතුව නිකංම නිකං රැකියා විරහිත උපාධිධාරීන් තොගයක් ඉතුරු වෙන එක විතරයි.

අනෙක ලංකාවෙ අයිටී දියුණු කරන්ඩ කියලා ඉන්දියාවෙන් මිනිස්සු ගේන එක හෙනම විහිලු කතාවක්. ඒ එන්නේ ඉන්දියානු සමාගම්. ඔවුන් ඉන්දියාවෙන්ම මිනිස්සු හයර් කරයි. කරලා ලංකාවෙ salary scales තවත් බස්සයි. අන්තිමට ලංකාවෙ සමාගමකට බාර දෙන project එකත් අර ඉන්දීය සමාගමට ගිහිල්ලා ලංකාවේ ඉතුරු වෙලා තියෙන අයිටී සමාගම් ටිකත් නැති භංගස්ථාන වෙන එක ඕකෙන් වෙන්නේ. මේ ආණ්ඩුව පහුගිය අයවැයෙන් විදේශ විනිමය හුවමාරුව නිදහසේ කරන්ඩ ඉඩ දීලා තියෙන නිසා (මේ ගැන ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්තිගේ අයවැය කතාව මෙතනින් අහන්ඩ පුළුවන් -https://web.facebook.com/SriAvTvNet...) මේ සල්ලි ලංකාවෙ රැදෙන්නේ නැහැ. මේක හරියට අල්ලපු කඩේ මුදලාලිට මිනිහගේ බඩු විකුණ ගන්ඩ තමන්ගේ කඩේ ඉඩ දෙනවා වගේ වැඩක්. අන්තිමට අල්ලපු කඩේ මුදලාලිගෙ නම යනවා. මිනිහගේ ආදායමත් වැඩි වෙනවා. අපේ හම යනවා. තිබ්බ ආදායමත් නැති වෙනවා. ඒ දෙන්නෙත් නිකං. ඊට වඩා හොදා කඩේ කෙලින්ම විකුණලා දැම්මනං.

ඇත්තටම ලංකාවට ලාභ ශ්‍රමය අතින් ඉන්දියාවත් එක්ක තරග කරන්ඩ බැහැ. ලංකාවට IT ක්ෂේත්‍රෙය් තරගයක් දෙන්ඩ වෙන්නේ යම් යම් ක්ෂේත්‍රවල specialize වීමෙන්. Niche markets අල්ලා ගැනීමෙන්. ඇගලුම් සමාගම් මේක සාර්ථකව කරා. ඉන්දියාවෙන් චීනෙන් බංගලිදේශයෙන් ආපු ලාභ ශ්‍රමය එක්ක තරග කරන්ඩ ලංකාවේ ඇගලුම් සමාකමර කරේ යටඇදුම්, ක්‍රීඩා ඇදුම්, මංගල ඇදුම් වගේ සාපේක්ෂව ඉහළ තාක්ෂණයක් ඕනේ ක්ෂේත්‍රවල specialize උන එක. එතකොට ඉන්දියාවට හෝ බංගලිදේශයට ලාභ ශ්‍රමයෙන් පමණක් ලංකාව එක්ක තරග කරන්ඩ අමාරුයි. ලංකාවට එන සේවාදායකයා එන්නේ අපේ තියෙන විශේෂඥ දැනුම නිසා මිස ලාභ ශ්‍රමය නිසා නොවේ. එයින් ලංකාවෙන් කෙරෙන value addition එකත් වැඩියි. අඩු මිනිස් සම්පතකින් වැඩි විදේශ විනිමයක් උපයන්ඩත් පුවවන්. අනෙක දිගටම එහෙම කස්ටමර්ස්ලා අපිට එනකොට අපිට ඒ පැත්තේ තව තවත් විශේෂඥ දැනුම වැඩි වෙනවා. මේක චක්‍රයක් වගේ යනවා.

IT ක්ෂේත්‍රෙයත් මේක කරන්ඩ පුළුවන්. සමහර සමාගම් යම් ප්‍රමාණයකට මේක කරලා තියෙනවා. ආචාර්ය සංජීව වීරවර්ණ වරක් කතාවකදී මේ ගැන කිව්වා. එනම් ලංකාවේ අයිටී වලට ‘සන්නාමයක්‘ (brand-name) හදන්ඩ ඕනෙ කියලා. ඒ කියන්නේ අයිටී වල යම් niche area එකක හෝ කීපයක විශේෂඥ දැනුමක් ලංකාවෙ ඉන්න අයිටී කට්ටියට ලබා ගන්ඩ ඕන කියලා. ඔහුගේ wso2 සමාගමේ සම්බන්ධ එවැනි විශේෂඥ දැනුමක් තියෙනවා web services middle-ware සම්බන්ධව. එතකොට ඒ සමාගමට කවුරුහරි එන්නේ ලාභ ශ්‍රමය නිසාා නොව ඒ දැනුම වෙන තැනකින් ගන්ඩ බැරි නිසා. එතකොට එක ඩිවපොපර් කෙනෙක් අතින් වෙන value addition එක සාපේක්ෂව ගොඩක් වැඩියි. මේකම කරලා තියෙනවා අයර්ලනත්නය සහ ඊශ්‍රායලලය වගේ රටවල්. ඊශ්‍රාලයනේ computer security, computational mathematics වගේ පැතිවල විශේෂඥ දැනුමක් තියෙනවා. එතකොට ගොඩක් ඒ පැත්තට යන සමාගම් ඊශ්‍රායලයේ ආයෝජනය කරනවා. ඒකෙත් තවත් ඒ විශේෂඥ දැනුම ඔවුන්ට වැඩි වෙනවා. සමහර විට ඒ specialization එක හැදෙන්නෙ අර වගේ technological domain එකක නොවේ financial markets, healthcare වගේ service domain එකක වෙන්ඩත් පුළුවන්. මෙතන චක්‍රයක් තියෙන්නේ. අපිත් එහෙම චක්‍ර ටිකක් හදාගන්ඩ ඕනේ. ඊශ්‍රායලය වගේ රටක තනි ඩිවොලොපර් කෙනෙක් තමන්ගේ විශේෂඥ දැනුම භාවිත කරලා ඉන්දියාව වගෙ රටක හුදෙක් ලාබ ශ්‍රමය මාකට් කරන ඩිවෙලොපර් කෙනෙක් වගේ හතර පස් ගුණයක value addition එකක් කරනවා. හතර පස් ගුණයක විදේශ විනිමය උපයනවා. නමුත් දැන් මේගොල්ල කරන්ඩ යන වැඩෙන් වෙන්නේ ඉන්දියානු සමාගම් ලංකාවෙ දැනට තියෙන සන්නාමයත් භාවිත කරලා (උදා ලෙස ස්කැන්ඩිනේවියානු රටවල සමාගම් ඉන්දියාවට යනවාට වඩා ලංකාවට එන්ඩ කැමති. සමහර විට ඉන්දියන්කාරයන්ගේ බක පණ්ඩිතකම් ඔවුන්ට නොදිරවන නිසා වෙන්ඩ ඇති) ලංකාවෙ මාකට් එක infiltrate කරන්ඩ අවස්ථාව ලැලබෙන එකයි. මේකෙන් ලංකාවට අයිටී පැත්තේ තමන්ගේම සන්නාමයක් හදාගන්ඩ තියෙන අවස්ථාව නැති වෙනවා. ලංකාවේ අයිටී ඉන්ඩස්ට්‍රියත් ඉන්දියන් අයිටී ඉන්ඩස්ට්‍රිෙය්ම extension එකක් වෙනවා. කොටින්ම ‘ලංකාවෙ අයිටී ඉන්ඩිස්ට්‍රියක්‘ කියලා එකක් තියෙනවානං හෝ හැදෙන්ඩ ඉඩ තියෙනවානං ඒ සියලු උත්සාහයක් තිඹිරි ගෙදරදීම මිය යන තතත්වයක් උදා වෙනවා.

ආණ්ඩුව මේ එක්ටා එක ගැන ජනමත විචාරණයක් අනිවාර්යෙන් තියන්ඩ ඕනේ. ගිය අවුරුද්දේ තියපු ජනාධිපතිවරණයේ හෝ මහා මැතිවරණයේ මේ ගැන හාංකවිසියක්වත් කීවේ නෑ. ඒ කීවේ නැත්තේ මේකට මිනිස්සු විරුද්ධ බවත් මේක ගැන කිව්වානං ඡන්දෙ නොලැබෙන බවත් දන්න නිසානේ. ඒ නිසා ආණ්ඩුවට මේ වගේ බරපතල ගිවිසුමක් ගහන්ඩ කිසිම ජනවරමක් නෑ. අනෙක මේක රනිල් හෝ මලික් හෝ හර්ෂ හෝ රොහාන් සමරජීව වගේ කීප දෙනෙක්ගේ ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. රටේ සමස්ත ජනතාවගේ සහ අනාගත පරපරේ අනාගතය ගැන ප්‍රශ්නයක්. ඒ නිසා අපි හැමෝටම මේක අත්සන් කරනවාද නැත්ද යන්න තීරණයට දායක වෙන්ඩ අයිතියක් යුතුකමක් හා වගකීමක් තියෙනවා. මේ වගේ ගිවිසුම්වලින් වෙන විනාශය ගැන අපිට බොහොම සමීප අත්දැකීම් තියෙනවා. 77-94 එජාප ආණ්ඩුවෙන් රජයට අයත් වේයන්ගොඩ වේටෙක්ස් එක කුණු කොල්ලෙට වික්කා හිතවතෙකුට. ඇත්තටම ආරංචි විදියට ඔහු ඒක අරන් තිබ්බේත් මහජන බැංකුවෙන් ණයක් දාලා. ඒ කියනේනේ මහජන ධනයෙන්. ඔන්න ඕකයි තත්වේ. නමුත් කොහොම හරි මේක ඇදගෙන ගියා. චන්ද්‍රිකා ආවා. ගැහුවා ඉන්දියාවත් එක්ක FTA එක. ආයෙ මොකක්ද එක අස්සනයිනේ. තීරු බදු මොකුත් නැතුව ලංකාවට ආපු රෙදි එක්ක තරග කරන්ඩ බැරුව වේටෙක්ස් එක වැහුනා ඒකත් එක්තම. සිය දහස් ගාණක් white-collar jobs කරපු මිනිස්සු හිගමනට වැටුනා. සමහරු කඩවල්වල අත්උදව්වට ගියා ජීවත් වෙන්ඩ. සමහරු කුලී වැඩ කරන්ඩ ගියා. ඒ නිසා මේවා අස්සන් කරන අයට මේවා සතපහක ගානක් නැති උනාට මේ තීරණ නිසා මිනිස්සු විනාශ වෙනවා. අද ලිබරල්වාදය ගැන බණ දෙසන ඉන්දියාව තමන්ගේ රථ වාහන ඉන්ඩස්ට්‍රිය පටන් ගත්තා කාලේ දැඩි ආරක්ෂණවාදී පිළිවෙතක් අනුගමනය කරේ නැද්ද? දැං ඔවුන් යම් තත්වයක ඉන්න නිසා රථ වාහන ආනයනය කරන්ඩ යම් නිදහසක් දීලා තියෙනවා. අවශ්‍ය වෙලාවට ආරක්ෂණවාදී පිළිවෙත් අනුගමනය කරන්ඩ ඕනේ දේශීය නිෂ්පාදකයා සහ කර්මාන්ත රැක ගන්ඩ. ජාතික ආර්ථිකය රැකගන්ඩ සහ වර්ධනය කරන්ඩ.

මේකත් අර සටන්විරාම ගිවිසුම වගේ අත්සන් කරලා ඊට පස්සේ හෙළි කරන තත්වයට පත් විය යුතු නෑ (ඇත්තටම අපි කොච්චර කෑ ගැහුවත් රනිල් දැනටමත් මේක අස්සන් කරලාද දන්නේත් නෑ. ඒ තරම්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක්නේ. අර ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සංගමේද මොකේද එකෙත් යාවජීව සාමාජිකයෙක්ලුනේ). මොකද මේක හුදෙක් ආර්ථික ගිවිසුමක් නොව දේශපාලන, ආර්ථික, සංස්කෘතික යන ක්ෂේත්‍ර තුනටම බලපාන අන්තිමට රටේ ජන සංයුතියත් වෙනස් වෙලා ලංකාව කියන රටේ අනන්‍යතාවයත් වෙනස් වෙන බරපතල කාරණාවක්. මේක ඇත්තටම දෙවැනි වෙනවානං දෙවැනි වෙන්නෙ 1815 ගිවිසුමට විතරයි. ඒ නිසා ආණ්ඩුව හොරා පොලිස් නොකර මේකෙ draft එක හරි ප්‍රසිද්ධ කරන්ඩ ඕන. ඊට පස්සේ ඒක සංවාදයට ලක් කරන්ඩ ඕන. පාර්ලිමේන්තුව තියෙන්නේ ඒකටනේ. නැතුව ඔතනට එන උන්ට කන්ඩ බොන්ඩ දෙන්ඩයි, ඇමතිකං දෙන්ඩයි වාහන පර්මිට් දෙන්ඩයි විතරක් නෙවිනේ. ඊට පස්සේ ජනමත විචාරණයකට යන්ඩ ඕන. එතනදී ජනතාව තීරණය කරයි මේක අපිට ගැලපෙනවාද නැත්ද කියලා.

මෙ වෙනකොට ආචාර්ය නිර්මාල් රංජිත් වගෙ සමහර මාක්ස්වාදීනුත් මේකට විරුද්ධව කතා කරනවා. ඇත්තටම ඔවුන් මේකට විරුද්ධ වෙන්නේ මාක්ස්වාදයේ මොන මතවාදී පදනමින්ද කියලා පැහැදිලි නෑ. සමහර මාක්ස්වාදීන්නං හිතනවා මේකෙන් ලංකාවෙ රාජ්‍යය දිය වෙලා ලංකාවෙයි ඉන්දියාවෙයි කම්කරු පන්තිය එකතු වෙලා ගෝලීය කම්කරු මෙව්වා එකක් වෙන්ඩ පදනම වැටෙයි කියලා. පව්. ඒගොල්ලනට තේරෙන්නේ නෑ මෙතන වෙන්නේ ලංකාවෙ රාජ්‍යය දිය වෙන ගමන් ඉන්දීය රාජ්‍යය තවත් පුළුල් වෙලා අධිරාජ්‍යයක් හැදනෙ එක කියලා. අනෙක් පැත්තෙන් ලිබරල්වාදීන් සිහින දකිනවා ආර්ථිකයේ ජාතික සීමා ඉවත් වෙලා ගෝලීය ආර්ථිකයට ‘ප්ලග්‘ වෙන්ඩ මේකෙන් අපිට පුළුවන් වෙයි කියලා. ඒ ගොල්ලොත් පව්. මොකද මෙතන වෙන්නේ ඉන්දීය ආර්ථික දේශ සීමාව තවත් ශක්තිමත් වෙලා පුළුල් වෙන එකයි. මේ දෙගොල්ලොම කරන්නේ දැන හෝ නොදැන පාරවල් දෙකකින් අධිරාජ්‍යවාදයට කඩේ යන එක. එක්ටා එකට විරුද්ධ වෙන්ඩ මතවාදී පදනමක් ඇත්නම් ඒ ජාතික ආර්ථිකය සහ ඒකට පදනම් වෙන ජාතිකවාදය පමණයි. අධිරාජ්‍යවාදයට විරුද්ධ වෙන්ඩත් රටේ දේශපාලන ස්වාධිනත්වය සහ ආර්ථික සමෘද්ධිය සහ සදාචාරය ගොඩනගන්ඩත් අදට වගේම හෙටටත් වලංගු වෙන එකම මතවාදය පොදු සංස්කෘතියක් මත පිහිටවු ජාතිකත්වය ජාතිකවාදය කියන එක මේ එක්ටා කතන්දරයෙන් වඩාත් තහවුරු වෙනවා.

අනෙක මේ ගිවිසුම ගැහුවට පස්සේ බඩේ පාර වදින්නේ යුන්පී, ශ්‍රීලංකා, ජේවීපී, හෙළ උරුම, ටීඑන්ඒ හෝ මුස්ලිම් කොන්‍ග්‍රස් බේදයක් නැතුව. සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ හින්දු කතෝලික ක්‍රිස්තියානි බේදයක් නැතුව. ඇත්තටම උතුරේ සහ වතුකරයේ දෙමළ ප්‍රජාවට තමයි මුලින්ම තර්ජනය එන්නේ මොකද දකුණු ඉන්දියාවෙන් එන සංක්‍රමණික සේවකයන් (විශේෂයෙන්ම blue collar jobs කරන අය) තමන්ගේ සංස්කෘතියට ඇති සමීප බව හන්දාම මේ පැතිවලට යන්ඩ ඉඩ වැඩි නිසා. දැං ධීවර ප්‍රශ්නෙනුත් සෘජුවම බඩේ පාර වදින්නේ උතුරේ දෙමළ ධීවරයටනේ. අනෙත් පැත්තෙන් තොග වෙළදාම කරන දෙමළ වෙළද ප්‍රජාවටත් බඩේ පාර වදිනවා ඉන්දීය දැවැන්ත retail industry එක මෙහෙට ආවොත්. සිල්ලර වෙළදාම කරන මුස්ලිම් වෙළද ප්‍රජාවටත් යන එන මං නැති වෙනවා. ඉතිං එහෙම බැලුවම මේ ඉන්දීය යටත්විජිතකරණයට ඇති විරෝධය අපි පදනම් කරගන්ඩ ඕනේ විවිධ ජනවර්ග සහ ආගම් එක්කහු කරගෙන, ඊටත් වඩා මේ පක්ෂ කියන ගෝත්‍රවාදය අතික්‍රමණය (transcend) කරපු (කොටින්ම පක්ෂයට කලින් රට ගැන හිතන) සිංහල බෞද්ධ සංස්කෘතිය විශේෂත වූ සහ අනෙකුත් සංස්කෘති අවශෝෂය කරපු පොදු ශ්‍රී ලාංකික සංස්කෘතියක් සහ ඒ මත ගොඩනැගුනු ශ්‍රී ලංකික අනන්‍යතාවයක් මත පදනම් වූ ශක්තිමත් ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගන්ඩ. ඒකට අර හැම sub-group එකේම නායකයන් මතු කර ගැනීමත් මීට විපක්ෂ පක්ෂ සහ බලවේගවලට පැවරෙන කාර්යභාරයක්. සමහර විට එක්ටා කියන කළු වළාවෙන් මතු වෙන රිදී රේඛාව ඒ පොදු ජාතිකත්වය ගොඩනගා ගැනීම වෙන්ඩ පුළුවන් (හැබැයි ඉතිං ඒකට මේක කොහොමහරි අත්සන් කරන්ඩ පෙර නවත්තගන්ඩ වෙනවා. නැත්තං ඉතිං රිදී රේඛාවෙ කෑලිත් නැති වෙනවා).

මේක ගැහුවට පස්සේ සහ ක්‍රියාත්මක උනාට පස්සේ ලංකාව ඉන්දියාවේ නිල නොලත් යටත් විජිතයක් කරගන්නවා ස්ථිරයි. ලංකාවේ මිනිස්සු උපන් රටේ යටත් වැසියන් සහ වහලුන් ටිකක් වෙනවා. ඒක ආපහු හරවන්ඩත් බෑ. මහින්ද රාජපක්ෂ පන්නලා මෝදි ඇදුම ඇදපු පඹයෙක් (ඒ කාලේ යහපාලනවාදී උ.බු. ජනතාව කිව්වේ නිකං ඇදුමක එල්ලිලා දගලන්ඩ එපා කියලයි. නමුත් සාටකයි, මෝදි සූට් එකයි වැදගත් සංකේත. ඒ වගේම වැදගත් සංකේතයක් තමයි ටොයිලට් එකට යද්දිවත් ගලවනවාද කියාලා ෂුවර් නැති රනිල්ගේ සූට් එකත්) ලංකාවෙ රජ කරන්ඩ ඉන්දියාව මෙච්චර වළි කෑවේ මේකයි. ඔවුන්ට ඒ වෙනුවෙන් ලැබෙන තෑග්ග තමා ලංකාව. බටහිරයන්ටත් තමන්ගේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය මේ හරහා ක්‍රියාත්මක කරන්ඩ පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ කලාපීය ‘ආණ්ඩුකාරයා‘ සහ ලංකාවෙ තානාපතිවරයා යන දෙන්නාම ඇමරිකානු ඉන්දියානුවන් වෙන්නේ අහම්බෙන් වෙන්ඩ බෑනේ. අද ඉන්දියාව ඉන්නේ බටහිර කදවුරේ. ඉතිං ඔවුන්ට ඕන දෙයක් ඕන විදියට කරාට බටහිරයන්ගෙන් කිසිම ප්‍රශ්නයක් නෑ. මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරපු ජනාධිපතිවරයා බෙල්ලෙන් අලල්ලා ගිහිං හිරේ දාලා ඒකාධිපතියෙක් පත් උන එකට ඉන්දියාවෙ මැදිහත් වීමක් තියනෙවා කියලානේ කියන්නෙ. මාලදිවයිනේ හිටපු පොර මහින්දගෙත් යාළුවෙක්. දැං ඒ වෙච්ච දේට බටහිර රටවලුත් අවුලක් නෑ. UN එකත් අවුලක් නෑ. හැමෝම සද්ද නෑ. සුද්දන් සහ බමුණන් එකතු වෙලා මේ පාර ගේම දෙන්නේ. කොහොමත් ඉන්දියාවේ බමුණන්ට ලංකාව එක්ක ඓතිහාසික සංස්කෘතික සහ දේශපාලනික වෛරයක් තියනෙවා. ඒක පිරිමහා ගැනීමත් මේ හරහා වෙනවා මොකද ලංකාවෙ සිංහල බෞද්ධ සංස්කෘතිය සහ අනන්‍යතාවය මේ හරහා ඉන්දියානු අනන්‍යතාවයේ ගිලිලා වැළලිලාම යන හන්දා. හින්ද චිත්‍රපට, ඉන්දීය කාටුන් සහ වැල් නාට්‍ය හරහා වෙන සංස්කෘතික බලපෑමත් මෙතනදී වැදගත් වෙනවා. එක්ටා කියන්නේ රනිල් - සිරිසේන ආණ්ඩුකාරවරුන් දෙපළ විසින් ලංකාව නිල වශයෙන් ඉන්දියානු අධිරාජ්‍යයට පවරා දීමේ ගිවිසුමයි.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
[Cartoon :Gihan de Chickera ]

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions