2/23/2016

අපි ඉඟුරු දී මිරිස්‌ ගත යුතු නැත

කතෘ:යුතුකම     2/23/2016   No comments

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු රජයේ වගකිවයුතු බොහෝ දෙනා අද පවසනු ලබනවා ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ විරුද්ධ පාර්ශව විසින් බොරු බිල්ලෙක්‌ මවනවා කියා. එ අතර මෛත්‍රිපාල සිරිසේන මහතා අපට අවශ්‍ය සුන්දර ව්‍යවස්‌ථා දරුවකු රටට බිහි කරන්න යයි කියා තිබුණා. ඉතා ම අපූරුයි. මේ කරන්න යන්නේ එ වැනි සුන්දර ක්‍රියාවක්‌ ද? එහෙම නම්, මේ රටට ආදරය කරන මහා සංඝ රත්නය, විද්වතුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ව්‍යාවස්‌ථා නීති විශාරදයන් මේ ගැන සැක සංකා මතු කරන්නේ ඇයි?

ඇමැති සංඛ්‍යාව, මැතිවරණ ක්‍රමය, විධායක බලතල - දුන් පොරොන්දු ඉටු කළා ද?

ඉතා ම සරල කාරණයක්‌ ගත්තොත් මෛත්‍රී-රනිල් හවුල දීපු ප්‍රධාන පොරොන්දුවක්‌ තමයි කැබිනට්‌ ඇමැතිවරු 30 කට අඩු කරනව කියන එක. මේ පොරොන්දුව ඉෂ්ට කරන්න ව්‍යවස්‌ථා සංශෝධන අවශ්‍ය නෑ. ජනාධිපතිවරයාට හා රජයට ඒ පොරොන්දුව ඉෂ්ඨ කිරීමට තිබුණා. එසේ වුවත් ඒ පොරොන්දුව ඉටු නොකොට ඔවුන් ඒ සඳහා 19 වැනි සංශෝධනය ගෙනාවා. ඒ වෙලාවේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් ප්‍රධාන සාධාරණ සමාජයක්‌ ගැන, පිවිතුරු හෙටක්‌ ගැන ජනතාවට සිහින සපයපු හැමෝ ම පාර්ලිමේන්තු පිට්‌ටනිය පැත්තේ උද්ඝෝෂණ කළා. මේක සුදු මල් වට්‌ටියක්‌, ඒ නිසා මේකට අනුමැතිය දෙන්න කියා අපේ මහජන නියෝජිතයන් ගෙන් ඉල්ලුවා.

දැන් 19 සංශෝධනය සම්මතයි. දැන් කැබිනට්‌ ඇමැතිවරු 30 කට සීමා වෙලා ද?

දැන් කී දෙනෙක්‌ ද? 47 ද? 48 ද? 50ට කිට්‌ටු බව නම් ස්‌ථීරයි. මේ කැබිනට්‌ මණ්‌ඩලය 30කට සීමා කිරීමේ මහජන ඉල්ලීම හුදු නාස්‌තිය හා දූෂණය වැළැක්‌වීමේ පියවරක්‌ ම නෙවෙයි. එය මේ රටේ ජන සමාජය විසින් ඉල්ලා සිටියේ මන්ත්‍රීවරුන්ට අයුතු වරප්‍රසාද, වරදාන දීම හරහා මහජන මතය කෙළෙසීමේ ක්‍රියාදාමයක්‌ හැටියට මේ සීමාවකින් තොර ව අමාත්‍ය ධූර දීම සලකපු නිසා යි.

එතරම් සරල, එතරම් පහසුවෙන් ඉටු කරගත හැකි කාරණයක්‌, තමන් ම ගෙනා 19 වැනි සංශෝධනය උල්ලංඝනය කරමින් ඉටු නොකර සිටිය දී, එවැනි රජයක්‌ තවදුරටත් මහජන අදහස්‌ අනුව ක්‍රියා කිරීම ගැන කියන විට අප එය සැක කළ යුතු නැද්ද?

දැන් කැබිනට්‌ ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු සියයකට ආසන්න ගණනක්‌ විතරක්‌ නෙවෙයි, දිස්‌ත්‍රික්‌ක 25 ට දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු සභාපතිවරුන් 54 දෙනකුට වඩා පත් කර තියෙනවා. ඒ පළාත් සභාවල මහ ඇමැතිවරුන්ට අමතරව යි. ඔවුනුත් සංවර්ධන කමිටු සභාපතිවරු බවට නිල බලයෙන් ම පත්ව ඇතිs බැවින් දැනට හැට ගණනක්‌ දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු සභාපතිවරුන් පත් ව සිටිනවා. දිස්‌ත්‍රික්‌ක 25 ම මහජන මතය නිවැරැදි ආකාරයකට නිරූපණය වීම වැළැක්‌වීම සඳහා මේ වරප්‍රසාද වරදාන දීම යොදා ගනිමින් තිබෙනවා.

මේ අය ව්‍යවස්‌ථා සංශෝධන ගැන කියද්දී නිතර කියනවා අපි මේ ගැන මාදුලුවාවේ සෝභිත හාමුදුරුවන්ටත් ප්‍රතිඥාවක්‌ දුන්නා කියා, ඒ නිසා ඒ ප්‍රතිඥ ඉටු කළ යුතු යි කියා. ඉතින් උන් වහන්සේ ගේ ආදාහන උත්සවයට ගොස්‌ කතා පැවැත්වීමට පෙර ඇමැතිවරු සංඛ්‍යාව 30කට සීමා කරන්න තිබුණා නේ ද? කෝ, කළා ද?

උන්වහන්සේ ඉල්ලා සිටියා පාර්ලිමේන්තුවට ජනතාව ප්‍රතික්‌ෂේප කරපු අය, නැවත ජාතික ලැයිස්‌තුවෙන් පත් නොකරන ලෙස. ඒ වෙනුවට මොකක්‌ ද කළේ? පරාජිතයන් ව පත් කළා විතරක්‌ නෙවෙයි, ඔවුන්ට කැබිනට්‌ ඇමැතිකම්, නියෝජ්‍ය කතානායකකම් ආදී වරප්‍රසාද කිසිදු විලි ලැඡ්ජාවක්‌ නැතිව දීල තිබෙනවා. මේ ආකාරයට කටයුතු කරමින් ම මේ අය තවදුරටත් තමන් ව්‍යවස්‌ථා සංශෝධනයකට පොරොන්දු දුන් බව කියමින් මේ කරන්න යන දේ පිළිබඳ විශාල සැකයක්‌ ඇති වෙලා තිබෙනවා.

එපමණක්‌ නොවෙ යි. මැතිවරණ ක්‍රමය සංශෝධනය ගැනත් පාලකයන් කතා කරනවා. මහජනතාවට තමන් ගේ නියෝජිතයෙකු පත් කරගැනීමට ඉඩ දීම ගැන ඔවුන් කතා කරනවා. ඒ සඳහා ඉතා පැහැදිලිව 20 වන සංශෝධනය ගෙන ආ හැකි යි. හරිනම් එය ඔවුන් ගේ දින 100 වැඩසටහන තුළ ඉටු කළ යුතු පොරොන්දුවක්‌.

දින 100 අවසන් වූ පසු 20 වැනි සංශෝධන කෙටුම්පත ගෙනාවා. ඒකත් ගෙන ආවාට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. හරිනම් ඉන් පසු හදා ගත්ත හවුල් ආණ්‌ඩුවේ පළමු කාර්යය ලෙස ඒ සංශෝධනය යළි ගෙන ඒම කළ යුතු ව තිබුණා. දැන් එය කරගත නොහැකිව තිබෙන්නේ අප නිසා ද? දේශමාමක භික්‌ෂූන් වහන්සේලා නිසා ද? ඒකාබද්ධ විපක්‌ෂයේ මහජන නියෝජිතයන් නිසා ද?

නැහැ. එය ඔවුන් සමඟ ම හවුලේ බලය භුක්‌ති විඳිමින් සිටින ඔවුන් ගේ ම කණ්‌ඩායම් නිසා. එක්‌සත් ජාතික පක්‌ෂය, මුස්‌ලිම් කොංග්‍රසය, ජනතා විමුක්‌ති පෙරමුණ ආදී කොටස්‌ නිසා යි. මෙලෙස ඉතා පහසුවෙන් සිදු කළ හැකි, සිදු කළ යුතු, සංශෝධන තිබිය දී ඒවා හිතාමතා මඟ හැර මොවුන් නව ව්‍යවස්‌ථාවක්‌ ම ගෙන ඒමට කටයුතු කරන්නේ ඇයි ද යන කරුණ පිළිබඳ සැක සංකා ඇති වීම වරදක්‌ ද?

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක්‌ නැතිනම් විධායක බලතල අගමැතිට පැවරීමේ යෝජනාවක්‌ පළමුවරට 19 වැනි සංශෝධනය ගෙන එද්දී එයට ඇතුළත්ව තිබුණා. එවිට එයට එරෙහිව ඒ කැබිනට්‌ මණ්‌ඩලයේ ම සාමාජිකයෙක්‌ වුණ චම්පික රණවක ඇමැතිවරයා, මෙය ව්‍යවස්‌ථා කුමන්ත්‍රණයකැ යි කියමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඔහු කිවුවා බෙල්ල කපන්නයි හදන්නේ කියලා. කපන්න හැදුවේ ජනාධිපතිතුමා ගේ බෙල්ල ද, එසේත් නැත්නම් අපේ සදාදරණීය මාතෘභූමියේ බෙල්ල ද?

ඒ සංශෝධන සඳහා ජනමත විචාරණයකට යා යුතු බවට අධිකරණය තීන්දු කළ විට, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ජනමත විචාරණයකට යන සංශෝධන නොකරන බවට දුන් පොරොන්දුව පෙන්වා ඒ සංශෝධනය හකුළා ගත්තා. අපූරු ම කාරණය වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහත්මා ඉතා ම කැමැත්තෙන් උත්සාහ කරනවලු විධායක බලතල දන් දෙන්න. මේ විධායක බලතල හුවමාරුවට එරෙහිව අධිකරණයට ගිය, එය ව්‍යවස්‌ථා කුමන්ත්‍රණයක්‌ ලෙස නම් කළ, පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ව්‍යවස්‌ථාදායක සභාවට මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ම පත් කරනවා තමා (ජනාධිපතිවරයා) ගේ නියෝජිතයා ලෙස . එක්‌ වරක්‌ නෙවෙයි දෙවරක්‌ ම. එක වරක්‌ හෙළ උරුමයේ සිටිය දී. මේ මැතිවරණයෙන් ඔහු පත් වුණේ එක්‌සත් ජාතික පක්‌ෂයෙන්. මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ නායකයා. ඔහු පත් කරනවා එක්‌සත් ජාතික පක්‌ෂයේ මේ මන්ත්‍රීවරයාව තමන් ගේ නියෝජිතයා ලෙස ව්‍යවස්‌ථාදායක සභාවට. එතකොට මේ අය කියන දේවල් අවංකයි කියල පිළිගන්න පුළුවන් ද?

බෙදුම්වාදීනට කප්පම්?

බණ්‌ඩාරනායක-චෙල්වනායගම්, ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම් කඩකප්පල් නොකළා නම් යුද්ධයක්‌ නිර්මාණය වෙන එකක්‌ නෑ කියල මෛත්‍රිපාල ජනාධිපතිවරයා කියා තිබුණා. ඒ අතර ම ආබාධිත රණවිරුවන් හමුවක දී ඔහු ම කියා තිබුණා අප ප්‍රභාකරන් පරාජය කරා, දැන් ඔවුන් ගේ බෙදුම්වාදී මතය පරාජය කරමින් ඉන්නවා කියලා. ප්‍රභාකරන් බිහිවීම සාධාරණීකරණය කරමින් ද මේ රටේ ජනාධිපති ඒ මතවාදය පරාජය කරන්නේ? ඒක පුදුමාකාර පරාජය කිරීමක්‌ වෙන්න ඕනේ.

බණ්‌ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අත්හරින්න වුණේ කවුරු නිසා ද? හැන්සාඩ් වාර්තාවල තිබෙන අයුරින් නම් බණ්‌ඩාරනායක අගමැතිතුමා චෙල්වනායගම් මහතාගෙන් අහනවා කුමක්‌ හෝ ප්‍රශ්නයක්‌ තියෙනවා නම් කියන්න, මම එය විසඳන්නම්, ය යි කියා තිබිය දී මට දැනුම් නොදී ඇයි ශ්‍රී අකුරේ තාර ගාන්න ගත්තේ? ඇයි උතුරේ කලබල ඇතිකළේ? කියලා.

එදා එක රටක ජීවත් වීමට මේ ශ්‍රී අකුර ප්‍රශ්නයක්‌ වුණා. ශ්‍රී අකුර සංකේතයක්‌ විතරයි. දෙමළ අම්මා කෙනෙකුට තම පුතාව වාහනයක්‌ හප්පං ගියොත් වාහනේ නොම්මරය කියන්න ශ්‍රී අකුර දැනගන්න ඕන නෑ. එක සිංහල අකුරයි පාවිච්චි කළේ. ඒ අම්මාට කියන්න තිබුණේ අංක ටික විතරයි. ඉලක්‌කම් ටික දැනගත්තම ඇති වාහනය හොයාගන්න. එක ම අකුර භාවිත කළ නිසා සිංහල අකුර දැන ගන්න ඕනෑකමක්‌ තිබ්බේ නෑ වාහනය අඳුරගන්න. ජනවාර්ගික සාමය වෙනුවෙන් කියා ශ්‍රී අකුර අයින් කළා. දැන් මොනවද තියෙන්නේ? දැන් තියෙන්නේ මේ රටේ ජනයා සියදහස්‌ ගණනින් මරපු ඉංග්‍රීසීන් ගේ අකුරු. ඉංග්‍රීසි එක්‌ක අපට වෛරයක්‌ නෑ. හැබැයි අද ඉංග්‍රීසි දන්නේ නැති සිංහල වේවා දෙමළ වේවා අම්මා කෙනෙකුට පුළුවන් ද තමන් ගේ පුතාව වාහනයක්‌ හප්පං ගියොත් ඒ වාහනේ නොම්මරය කියන්න? මේකද මේ ඉෂ්ට කරගන්න හදන යුක්‌තිය?

ඒ වනවිටත් චෙල්වනායගම් පාර්ශවයෙන් ගිවිසුම කඩා තිබුණු නිසා යි බණ්‌ඩාරනායක මහත්මයා බද්දේගම විමලවංශ ස්‌වාමීන් වහන්සේලා රොස්‌මීඩ් පෙදෙසට ආවාම කිවුවේ, හාමුදුරුවනේ ඒ ගිවිසුම දැනටත් ඉරිලා ඉවරයි කියා. එය දැනටත් නිශ්ප්‍රභ වෙලා ඉවරයි කියා. මේ වගේ ම වැඩක්‌ දැනුත් වෙනවා. සිරිසේන ජනාධිපතිතුමා ඉන්දියාවේ පුවත්පතකට කියා තිබුණා, මේ ජූනි මාසයට පෙර යුද්ධයෙන් ඉඩම් අහිමි වූ සියලු දෙනාට ඉඩම් ලබා දෙනවා කියා. ඉතා හොඳයි. යුද්ධයෙන් ඉඩම් අහිමි වූ සියල්ලන්ට ම ඉඩම් දෙන්න. මේ ගැන "දි අයිලන්ඩ්" පුවත්පත විමසනවා සුමන්තිරම් මන්ත්‍රීවරයාගෙන්. ඔහු අපූරු පිළිතුරක්‌ දෙනවා. එතුමා කියනවා, ඉඩම් දෙන්න, හැබැයි හමුදාව ඉන්න ඉඩම්වලින් හමුදාව ඉවත් වෙන්න ඕන කියා. මේ අය ගේ වුවමනාව මිනිස්‌සුන්ට ඉඩම් දෙන්න ද? හමුදාව පන්නන්න ද? මිනිස්‌සුන්ට ඉඩම් දුන්නට මදි හමුදාවත් පැන්නිය යුතු යි කියලයි මේ බෙදුම්වාදීන් කියන්නේ. මේක තමයි ඇත්ත. මේ ඇත්තට අපට මුහුණ දෙන්න වෙනවා වැඩි දවසක්‌ නොගිහින්.

බණ්‌ඩාරනායක-චෙල්වනායගම්, ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම්වල තිබුණු අහිතකාරි දේ ගැන, බලය රැක ගැනීම වෙනුවෙන් මේ දේශපාලනඥයන් ගත් වැරදි තීරණ ගැන, ඒ විතරක්‌ නෙවෙයි ඉන්දු-ලංකා ගිවිසුම ගැන, පළාත් සභා පිහිටුවීම ගැන, චන්ද්‍රිකා ගේ පැකේජය ගැන, මේවා ගැන රට දැනුවත් කළේ කවුද? රට දැනුවත් කළේ අපේ මහ සඟ රුවන යි. මේ සඳහා පෙරමුණ ගත්තේ පූජ්‍ය බද්දේගම විමලවංශ නායක හාමුදුරුවෝ, පූජ්‍ය හේන්පිටගෙදර ඥානසීහ නායක හාමුදුරුවෝ, අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක හාමුදුරුවෝ, අතිපූජ්‍ය පලිපානේ ශ්‍රී චන්දානන්ද අස්‌ගිරියේ මහා නායක හාමුදුරුවෝ, ඒ වගේ ම පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හාමුදුරුවෝ. සෝභිත හාමුදුරුවෝ වෙනුවෙන් ජනතාව දුක්‌වුණේ ඒ ජාතික මෙහෙවර නිසා යි. දැන් ජනාධිපතිතුමා අපට කියන්නේ උන්වහන්සේලා එදා රට ගිනි තිබ්බා කියලා ද? මේ රට රැක්‌ක මහ සඟරුවනට ද කියන්නේ ප්‍රභාකරන් කෙනෙක්‌ හැදුවා කියලා? ඒ සමඟ ම එතුමා කියනවා දකුණෆෙඩරල්වලට බයයි - උතුර ඒකීය වචනෙට බයයි කියලා. මේ අපව රවට්‌ටන්න ද හදන්නේ?ෆෙඩරලුත් එපා, ඒකීයත් එපා, ඒ නිසා අපි රට එක්‌සත් කරමු කියලා කියන්න ද මේ හදන්නේ? ඒ සමඟ ම විග්නේශ්වරන් කියනවා උතුරයි දකුණයි සම බලතල ඇති රාජ්‍යයන් දෙකක සමූහාණ්‌ඩුවක්‌ විය යුතු යි කියලා. මෙහෙම කතා ඇහෙද්දි අප බය විය යුතු නැද්ද?

විකෘති පාර්ලිමේන්තුවකට නව ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කළ හැකි ද?

ඊළගට මෙ පවත්නා පාර්ලිමේන්තුව සැබෑ ලෙස ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තුවක්‌ ද? ජනතාව විසින් තමුන් ගේ ඡන්ද බලයෙන්, මනාපයේ බලයෙන් ප්‍රතික්‌ෂේප කර පරාජය කළ කී දෙනෙක්‌ නම් සන්ධානයේ ජාතික ලයිස්‌තුව කොල්ලකෑමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වී සිටිනවා ද? එ වැනි විකෘති පාර්ලිමේන්තුවකට රටට අලුත් ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ අයිතියක්‌ තිබෙනවා ද?

ඒ විතරක්‌ නෙවෙයි පාර්ලිමේන්තුවේ අගමැතිවරයා සහ කථානායකයා හැරුණු විට ඊළඟ පුද්ගලයා තමයි විපක්‌ෂ නායකයා. විපක්‌ෂ නායකයා පත්වුණු පක්‌ෂයට තිබෙන්නේ ඡන්ද ලක්‌ෂ 5 යි, මන්ත්‍රී ආසන 16 යි.
ඒත් අප දන්නවා ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් පනස්‌ ගණනක්‌ ඉන්නවා. ඔවුන් 48 ලක්‌ෂයක්‌ ජනතාව ගේ දේශපාලන මතය නියෝජන කරනවා. එහෙම බැලුවා ම කාට ද විපක්‌ෂ නායකකම ලැබිය යුත්තේ? ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ මේ මූලික කාරණය පවා ඉතා මර්දනකාරී ලෙස, ඒකාධිපති ලෙස කොල්ලකා තිබිය දී අලුත් ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට මේ පාර්ලිමේන්තුවට මොනම අයිතියක්‌වත් නැහැ.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට පුළුවන් නම් මුලින් ජාතික ලැයිස්‌තුව නිවැරැදි කරන්න. ඒ 48 ලක්‌ෂයේ මතය නිවැරැදි ලෙස නියෝජනය කරන්නට ඒ මන්ත්‍රීවරුන්ට ධුර ලබා දෙන්න. 48 ලක්‌ෂයේ නියෝජනයට විපක්‌ෂ නායක ධුරය දෙන්න. ඒ අනුව ව්‍යවස්‌ථාදායක සභාවේ 48 ලක්‌ෂයට හිමි විය යුතු ස්‌ථාන දෙක ලබා දෙන්න. අන්න එවිට අපට හිතන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ මහජන මතය නියෝජනය වෙනවා කියා. එසේ නැතිව මහජන මතය කොල්ලකා ඇති ආණ්‌ඩුවකට, විකෘති පාර්ලිමේන්තුවකට රටේ ව්‍යවස්‌ථාවක්‌ හදන්න දිය හැකි ද? අපේ ඡන්දයට නිසි වටිනාකමක්‌ දී නැති, නිසි මහජන නියෝජනයක්‌ නැති, ඒ මහජන නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ කතා කරන්න නිදහසක්‌ දෙන්නේ නැති, ඔවුන්ට හිමි විය යුතු විපක්‌ෂ නායකකම දෙන්නේ නැති පාර්ලිමේන්තුවකට අප වෙනුවෙන් ව්‍යවස්‌ථාවක්‌ හදන්න අයිතියක්‌ තිබේ ද?

මේ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය ඕන කියලා ද? මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න එපා කියලා ද? මේ පවතින ව්‍යවස්‌ථාව ආරක්‌ෂා කරගත යුතුයි කියලා ද?

මේ ප්‍රශ්නේ යහපාලනයේ කේවට්‌ටයන් අහන්නේ. ඒ සඳහා නිශ්චිත ව්‍යවස්‌ථා සංශෝධන ගේන්න. ඒකට මුළු ව්‍යවස්‌ථාවම භාරගන්න ඕනෙ නෑ. ජනතාවට පොරොන්දු වූ පරිදි අදාල සංශෝධන සඳහා රජයේ යෝජනා ගේන්න. එවිට විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට පුළුවන් ඒ ගැන සලකලා බලන්න. විධායක ජනාධිපති ධුරය අහෝසියක්‌ ගේන්න. හැබැයි ඒ සමඟ ම පළාත් සභාවල අන්තනෝමතික ක්‍රියා වැළැක්‌වීමටත් ප්‍රතිපාදන සහිත ව යි එය කළ යුත්තේ. පවතින ව්‍යවස්‌ථාවේ අඩුපාඩු රාශියක්‌ ම පවතින මුත් ඊටත් වඩා නරක ව්‍යවස්‌ථාවක්‌ රටට අවශ්‍ය නැත. අප ඉඟුරු දී මිරිස්‌ ගත යුතු නැත.

-ගෙවිඳු කුමාරතුංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com