2/21/2016

ඉත්තෑවාගේ ගෙට කැබැල්ලෑවා රිංගවන ETCA අව-'මඟුල'

කතෘ:යුතුකම     2/21/2016   No comments

ඉට්කා අව-'මඟුල'
-ධර්මන් වික‍්‍රමරත්න

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ඉන්දු-ලංකා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් ඉට්කා ගිවිසුම ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ හෙට දවස අඳුරු කරන වැඩපිළිවෙලකි. එය සමාජ, ආර්ථික සහ සංස්කෘතික පරාධීනත්වය යළි මෙරටට උරුම කරවන අවමඟුලකි. එහෙත් මව්බිම විකුණා කෑමට සූදානම්වන ඉන්දීය ආර්ථික ආක්‍රමණිකයින් ඇතුළු ඔවුන්ගෙන් යැපෙන 'ආර්ථික ඔස්තාර්ලා'ට නම් මඟුලකි. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් ඉට්කා යනු රටේ ආර්ථිකය ඉන්දියාවට බිලිදීමකි.ශ්‍රී ලංකාවේ ජනගහනය ලක්ෂ 218කි. ඉන්දියාවේ ජනගහනය ලක්ෂ 12,670කි. ශ්‍රී ලංකාවේ විරැකියාව තුන් ලක්ෂ පනස් දහසකි. ඉන්දියාවේ විරැකියාව ලක්ෂ 372කි. ඉට්කා ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ රැකියා විරහිත අයට පමණක් නොව රැකියාලාභීන්ටද දෙයියෝ සාක්කිය. එයට හේතුව වන්නේ ඉන්දීය ශ්‍රමය කුණු කොල්ලයට වෙළෙඳපොලේ ඇති බැවිනි. ඒ අනුව ඉට්කා ගිවිසුම සරළව කිවහොත් මහා ශ්‍රම කොල්ලයකි. කුණු එකතු කිරීමේ කම්කරුවාගේ සිට ඉංජිනේරුවා දක්වා ලංකාවේ රැකියා කේෂ්ත්‍රය මුළුමනින්ම ඉන්දීයාව විසින් ආක්‍රමණය කිරීමකි.

මෙයට කලින් ඉන්දියා සමඟ ශ්‍රී ලංකාව නිදහස් වෙළෙඳ ගිවිසුමක් ක්‍රියාත්මක කළේය. එම ඉන්දීය ශ්‍රී ලංකා ගිවිසුම ක්‍රියාත්මකවූ වසර 18ක කාලය තුළ අපට ලැබුණේ ආයෝජන කම්හල් දෙකකි. එකක් තඹ කුට්ටි කරන කම්හලකි. අනෙක වනස්පති ගිතෙල් හදන කම්හලකි. එම කම්හල් දෙකම ශ්‍රී ලංකාවට මෙලෝ වැඩක් නැති ඉන්දියාවට පමණක් වැඩක් ඇති දේවල්ය. ඉන්දීය ව්‍යාපාරික සමාගම් ලෙස නාරහේන්පිට ඇපලෝ රෝහලද, එයාටෙල් දුරකථන සමාගමද, ලංකා අයි.ඕ.සී තෙල් සමාගමද පමණක් ආරම්භ කර තිබේ. ඒවා පිහිටුවීමට ශ්‍රී ලංකා බැංකුවලින් ණය ගත්තා මිසක ප්‍රාග්ධනයක් රටට ආයෝජනය නොකළේය. ඉන්දීය අයි.ඕ.සී තෙල් සමාගම ලෝක‍ වෙළෙඳ පොලේ තෙල් මිල පහත වැටීමත් සමඟම දැන් ගජරාමෙට උ‍පයන ලාභයද ගිවිසුම අනුව දැඩි බදු කොන්දේසි වලින් නිදහස්ව ඉන්දියාවට පොම්ප කෙරේ. එමෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත ගිණිපෙට්ටි, ඉටිපන්දම්, හදුන්කූරු වැනි ස්වයං රැකියා නිෂ්පාදන ශ්‍රී ලංකාවට එම නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ගෙන ඒමේදී ශ්‍රී ලංකාවේ එම නිෂ්පාදන සකස්කල කම්හල් පමණක් නොව නිවෙස්වල ස්වයංරැකියාලාභීන් දහස් ගණනකට උන්හිටි තැන්ද නැතිවිය. එම ගිවිසුමෙන් ශ්‍රී ලංකාව සිදුවූ පාඩුව, ලාභයට වඩා දස ගුණයකින් වැඩිය. වෙහෙර ගිලපු එවුන්ට අග්ගලාත් කජ්ජක්ද?

ඉන්දියාව සමඟ සීපා ගිවිසුම ශ්‍රී ලංකාවට අත්සන් කිරීමට 'බලකළේ' 2008 සිටය. එහි ඵල විපාක දැනගත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2015 ජනවාරි 8වැනිදා තෙක් එයට යටත් වුණේ නැත. සීපා වෙනුවට දැන් ආවේ ඉන්දු-ලංකා තාක්ෂණික සහයෝගිතා(ඉට්කා) ගිවිසුමය. විධිමත් තාක්ෂණික අධ්‍යයනයකින් තොරව ඉන්දියාව වැනි ප්‍රබල රාජ්‍යයක් සමඟ පුළුල් විවෘත ගිවිසුමකට එළැබීම ඉතා අවදානම්කාරී ක්‍රියාවකි. අගමැති රනිල් වික්‍රමසිංහ 2015 සැප්තැම්බර් 14,15 සහ 16 ඉන්දියාවට ගොස් කල සාකච්ඡාවෙන් අනතුරුව ඉට්කා ගිවිසුම කරළියට නැ‍ගිණි. ගිවිසුම දැනට පිටු 64කින් පමණ සමන්විත වන අතර තවමත් සම්පූර්ණකර නොමැති පරිච්ඡේද දෙකක් ගෙඩි පිටින් ගලවා ගැනීමට යන්නේ කලින් ලොප් වුණ සීපා ගිවිසුමෙනි.

ඉට්කා ගිවිසුම අනුව දැනට ආණ්ඩුව ප්‍රකාශකර ඇති පරිදි ඔවුන් අනුමත කර ඇත්තේ භාණ්ඩ සහ සේවා ක්ෂේත්‍රයන් දෙකටය. එයට තොරතුරු තාක්ෂණ සහ සමස්ථ ඉංජි‍නේරු සේවාවන්ට අදාළ වෘත්තීන් ඇතුළත්ය. එහිම සඳහන් වන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකාවේ රැකියා ක්ෂේත්‍රයට වෛද්‍ය, පශු සහ දන්ත වෛද්‍ය, නීතිඥ, හෙද, වින්නඹු, පරිගණක ශිල්පී, පොත් තැබීම්, ගෘහ නිර්මාණ, භෞතික චිකිස්සක, දේපල සහ ලීසීන්, ඇසුරුම්, ධීවර, ප්‍රචාරක සහ උත්සව, සිනමා සහ රූපවාහිනී, අධ්‍යාපන සේවා, පාරිසරික කටයුතු, කොණ්ඩා කැපීම සහ රූපලාවන්‍ය ශිල්පී වැනිදෑද ඇතුළත් සෞඛ්‍ය සහ සමාජ සේවා ඇතුළු කේෂේත්‍ර ගණනාවක රැකියාවන්ද ඉන්දියානුවන්ට විවෘතවන බවය. දැනුම නිෂ්පාදනය කල හැකි අති බහුතර ඉන්දියානුවන් එක්කෝ නවතින්නේ ඇමරිකාවේ හෝ යුරෝපයේය. ශ්‍රී ලංකාවට එනු ඇත්තේද ඉතිරිව ඇති අඩු සම්භාවිතාවයකින් යුත් ඉන්දීය 'හාල් කෑලිය'. ඉන්දියානු රැකියාද ඒ අනුව ශ්‍රී ලංකිකයින්ට විවෘත වනු ඇත. සිදුවන්නේ ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වගේ වැඩක් පමණි.

ඇමති මලික් සමරවික්‍රම පවසන පරිදි ඉට්කා ගිවිසුම ගහන්‍නේ ලංකාවට වාසි වෙන විදිහටය. එජාප ආණ්ඩුව 1987 ජුලි 29 වැනිදා ඉන්දු ලංකා ගිවිසු ඉන්දියාව සමඟ අත්සන් කරනකොටද කීවේ එහෙමය. ‍එම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ පැල පදියම්වීමට ගිය ඉන්දීය 90,000කට අධික හමුදාව ජනාධිපති ප්‍රේමදාස බලහත්කාරයෙන් 1990 මාර්තු 24 වැනිදා රටින් පිටකලේ බලහත්කාරයෙනි. එහෙත් ඉන්දු ලංකා ගිවිසුම අහෝසි කිරීමට හැකිවූයේ නැත. වසර 2001දී අගමැති රනිල් වික්‍රමසිංහ සහ දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් අතර නෝර්වේ රාජ්‍යයේ ආශිර්වාදය ඇතිව ගිවිසුමක් අත්සන් කල අතර කොටි සංවිධානය එය උල්ලංඝනය කල විට ඔවුන් සහමුලින් පරාජය කිරීමට හැකිවූයේ 2009 මැයි මස 18වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂටය. එවකට ජනාධිපති වශයෙන් කටයුතු කල මහින්ද රාජපක්ෂට ජීනීවා ජාත්‍යන්තර චෝදනා ඇත්තේ එදා ත්‍රස්ත්‍රවාදයට කල සටන හේතුවෙනි. එබැවින් ඉට්කා ගිවිසුම අත්සන් කල පසු එසේ මෙසේ ගිවිසුමක් නොවනු ඇත.

ඉට්කා ගිවිසුම සැමට එකවර නොගෙනවිත් කඩින් කඩ ගෙන ඒමෙන් විරෝධය කඩින් කඩ මතුවනු බැවින් සමනය කිරීම පහසු වනු ඇතැයි ඉන්දීය රෝ ඔත්තු සේවය උපකල්පනය කලා විය හැකිය. එහෙත් ඉකුත් පෙබරවාරි 11 වැනිදා දහස් ගණනින් විහාර මහාදේවි රංගපීඨයට රොද බැදගත් පරිගණක ශිල්පීන්ද, ඉංජිනේරුවන්ද, වෛද්‍යවරුන්ද සකල මෙකී නොකී ගිවිසුමෙන් බැට කෑමට නියමිත අය පමණක් නොව නිදහසින් පසු දෙවන 'රාජ්‍යතාන්ත්‍රික ඉන්දීය ආක්‍රමණය'ට එරෙහිවූවන්ද එක හඬින් කියා සිටියේ කඩින් කඩ ආවද එකට විරෝධය ගොනු කරමින් එම උපායික අදහස පරාජය කල යුතු බවය. සරළව කිවහොත් වෙන්ව ගමන් කලද එක්ව පහරදිය යුතු බවය. වෘත්තීයවේදීන්ගේ පරිචිත භාවිතය සඳහා නීති කෙටුම්පත් සම්පාදනය කිරීමට වහ වහා රජයට බලකල යුතු බවය.

ඉට්කා ගිවිසුමට අමතරව රටපුරාම තවත් විරෝධතාවන්ය. රැකියා විරහිත උපාධිධාරීන් 2,000කට අධික උද්ඝෝෂණ පෙළපාලියට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයකි. ලංකා විදුලිබල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් කොළඹ පිත්තල හන්දියේ උද්ඝෝෂණයකි. තොටලඟ ජනයා නිවාස වලින් එළියට ඇද දමා ඒවා සමතලා කිරීමට එරෙහිව 'මෙගා පොලිස්' උද්ඝෝෂණයකි. ගොවි පොහොර ඉල්ලා අතුරු බෝග ගොවියෝ විදි පුරා පෙළපාලිය. ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සේවකයෝ අත්තනෝමතික ලෙස පත්වීම් ලබාදීමට එරෙහිව ගොඩනැගිල් වටලා විරෝධතාවයකි. නාවික හමුදා රග්බි ක්‍රීඩකයෝ පටි බැදගෙන නිහඬ විරෝධයකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදියෝ වයඹ පළාත් සභාවට එරෙහිව මාධ්‍ය නිදහස වෙනුවෙන් බ්‍රහ්ම දණ්ඩන ක්‍රියාවලියකි. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටය. ආණ්ඩුව පවසන පරිදි මෙම විරෝධතාවන්ට මිනිසුන් ගෙන්වන්නේ කුලියටය. යහපාලන ඇත්තෝ ජීවත් වන්නේ සබන් බෝලයක් ඇතුලේය. එය පිපිරීමේ තීරණය ජනතාව සතුය. රටටම ඉන්ටර්නෙට් දෙන්නට දකුණු ඇමරිකාවේ සිට මෙරට අහසේ අඩි 50,000ක් උඩින් ස්ථානගත කිරීම සඳහා එවන ලද ඇමති හරීන්ගේ ගූගල් බැලුම ගම්පොල පුපුරැස්සට කඩා වැටුනාක් මෙන් යහපාලන ආණ්ඩුවද කඩා වැටෙන දිනය වැඩි ඈතක නොවේ.

අස්වනු කැපීම ඇරඹී ඇති අතර වී කිලෝව රුපියල් 20කට පල්ලම් බැසී ඇත. වී කිලෝවක් නිෂ්පාදනයට වැය වන මුදල 33කි. ගොවියාට සිදුවන්නේ එදා වගේ යළි වහ කන්නටය. කුඩා තේවතු හිමියන් දැන් රටට බරක්ය. වෙනස් වන ලෝකය සඳහා වෙනස් වීමට සහාය ගන්නේ හතේ හත වැදුනු ඉන්දියාවෙන්ය. ඇමති හරීන් ප්‍රනාන්දු කියන පරිදි ඉන්දියාව සමඟ ඉට්කා ගිවිසුම ගෙන්නේ එම වෙනසට ගරු කරමිනි. තෙල් මිල අසාමාන්‍ය ලෙස ලෝක වෙළෙද පොලේ අසාමාන්‍ය ලෙස පහලට කඩා වැටීම නිසා ආණ්ඩුවට මේ තරමින් හෝ අල්ලා සිටිය හැක. නැතිනම් මේවන විට රට ගොඩගත නොහැකි පරිදි අගාධයේය. ඩොලර් 108ට තිබූ තෙල් බැරගලය දැන් ඩොලර් 25කි. ඒ අනුව රුපියල් 117ට දෙන පෙට්රල් ලීටරය රුපියල් 52කට දිය හැකිය. රුපියල් 95ට දෙන ඩීසල් ලීටරය රුපියල් 42කට දිය හැකිය. ලෝක වෙළෙද පොළේ තෙල් මිල පහල යාමේ වාසිය ජනතාවට තවමත් ලැබී නැත. එදා කථා වැලක් ඇදබෑ ආලාපාළු ආර්ථිකය ගැන කඳුළු සැලූ ඇත්තෝ දැන් 'යහපාලන' ඉබි කටුව තුල සැඟව ඇත. ආණ්ඩුව සිදුකරන්නේ එදා වේල ටුවර්ස් දේශපාලනයකි.

අලි පැටියෙක් තියාගැනීමේ වරදට උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ අද හෙට අත්අඩංගුවේය. නීතියේ කන්‍යාවිය සමහරුන්ට සැලකුවේ එසේ නොවේ. මහේස්ත්‍රාත්වරයෙකු නීති විරෝධී අලි පැටියෙකු බත්තරමුල්ලේ වන ජීවී කාර්යාලයට දමා ගොස් තිබිණි. පින්නවල අලි කඳවුරට ගොස් ඔහු රාජකාරියට බාධාද කර තිබිණි.රටේ නීතිය දෙවිධියකටය. බුදු දහමට අවලාද කරන අලුත්ම උපක්‍රම ගණනාවක් ඇමරිකානු සහ ඉන්දියානු අධිරාජ්‍යවාදීන්ගේ අනුග්‍රහයෙන් දැන් ක්‍රියාත්මක වේ. වායු දූෂණයේ බලපෑමෙන් අපේ දූ දරුවන් රැකගනිමුයි කියා පෙබරවාරි 19වැනිදා නුවරදී එන්.ජී.ඕ. උද්ඝෝෂණයකි. මහනුවර මහියංගණය ඒ 26 මාර්ගය විවෘත කිරීමට බලකරන බවද එසේ වසා තැබීමෙන් මහනුවර පාසැල් දරුවන් 23,000කට ස්වසන ආබාධ වැළදෙන බවට ඩොලර් මත යැපෙන මහාචාරවරයෙකුගේ පාඨයක් හුවා දක්වමින් මෙය සංවිධානය කරති. මේ උද්ඝෝෂකයෝ සිදුකිරීමට යන්නේ බෞද්ධයින්ගේ මුදුන් මල්කඩවූ දළදා මාලිගයේ ඉදිරිපිට පාර විවෘත කරගෙන සටන් විරාම කාලයේ ඇරියස් එක ගන්නටය. ‍ලෝක උරුමයක්වූ දළදා මාළිගයට දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් පහරදුන් අතර ඉකුත් වසරේ දියවඩන නිළමේට එරෙහිව අවලාද ව්‍යාපාරයක්ද ගෙන යමින් බෞද්ධාගමට පහර ගැසුවේය.

ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු බෙන්තොට විහාරස්ථානයේ පිටමන් කරන ලද දැනට පුත්තලම කරඹ විහාරස්ථානයේ සිටින මිගෙට්ටුවත්තේ සුනන්ද හිමි කල්පිටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛනාධිකාරි වශයෙන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් විසින් පත්කර ඇත. එය ආණ්ඩුවේ දේශපාලඥයින්ගේ මැදිහත්වීමෙන් සිදුවූවක් බවට කල්පිටිය මහා නාහිමිවරුන්ගේ චෝදනාවකි.මහාධිකරණයෙන් මරණ දඬුවම නියමකල ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙලේ සුදාටද මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඇප ලැබී ඇත. ෆුල්ටෝස් වැටෙන විට පාතාලෙන් සික්සර්ය. අධිකරණ භූමියේදීම සාක්ෂිකරුවන් වෙඩිතබා ඝාතනයකර පලා යයි. වසරකට පසු යළි පතාලය නිදැල්ලේ හැසිරීමට පටන් ගෙන ඇත. නීතිපති පත්කිරීමේදි වසර 200ක් තිස්සේ පැවති සම්ප්‍රදායද කඩකර තිබේ. විගණකාධිපතිවරයා පත්කිරීමද ඒ බෝට්ටුවේමය. නීතියේ ආධිපත්‍යයට හෙනහුරා කලදසාව ලැබෙමින් පවතී.

රණවිරු දඩයමේද නිමක් නැත. මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් ඇස්, ඉස්, මස් සහ ලේ කැපකල රණවිරුවන් අසරණය. බෙදුම්වාදී කොටින්ට වැඩි වැඩියෙන් දීමනාය. රණවිරුවන් දංගෙටය. භයානක ත්‍රස්තවාදයෙන් රට මුදාවා දුන් නීත්‍යානුකූල හමුදාවක් හා ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් ගැන පරික්ෂණ කරන්නට විදේශිකයන් වද්දවා ගෙන විශේෂ අධිකරණ පිහිටුවා නඩු විභාග කරන කිසිදු රටක් මිහිපිට නැත. මහකොමසාරිස්ගේ හුසේන් කුමාරයාගේ කතා සීනි තැවරූ වෙඩි උණ්ඩය.

ශ්‍රිලනිප තුළම ඇතැම් ඇමතිවරුන් නව ප්‍රවණතාවයට දෙස් දෙවොල් තබති. ඔවුන්ගෙන් බහුතරයම වාගේ පරාජිතයන් වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ අයය. ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින ඔවුහු ශ්‍රිලනිප පාක්ෂිකයින්ගේ අයිතිය අමු අමුවේ අපූරුවට උල්ලංඝනය කල අය‍ වේ. පෙබරවාරි 14 ඉරිදා මීගමුවට රැස්වූ ශ්‍රිලනිප පළාත් පාලන මන්ත්‍රීවරුන් 1,437න් 1,401ක් එක හඬින් කියා සිටියේ එජාපය සහ ඩාර්ලි පාරේ නෛතික ශ්‍රිලනිපයට විකල්පයක් ලෙස ප්‍රගතිශීලි සහ දේශප්‍රේමී පෙරමුණක් සඳහා නව දීගයකට ඔවුන්ගේ ඇති මනාපයය. පොළොන්නරුව දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රීවරුන් 7දෙනාගෙන්ම 6දෙනෙක්ද පළාත්පාලන මන්ත්‍රීවරුන් 71දෙනාගෙන් 55දෙනෙකුද එජාප සහ ශ්‍රිලනිප එකගෙයි කෑමට කැමති නැත. විනය කඩකල ශ්‍රිලනිප පළාත් පාලන හිටපු සභාපතිවරුන් 10කට දැනටමත් නිදහසට කරුණු විමසීමේ ලිපි එවා ඇත. කකුළුවා ඇ‍දේට යන ගමන් පැටියාට කෙලින් පලයන් කීම හාස්‍යජනකය. නෛතික ශ්‍රිලනිපයට පක්ෂපාතී පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ඌනතාවයෙන් හිමිනමක් ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් මොරටු උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාරටද දැන් ඇත්තේ අපමණ අගයකි.

ඇමති එස්.බීට අනුව හිටපු ජනාධිපති ශ්‍රිලනිප කඩාගෙන ගිය කලවැද්දෙකි. එස්.බීගේ කට නිසා ඔහු බොහෝ දුක් වින්දේය. වරෙක මහඋළු ගෙටද ගියේය. තවත් විටක හඟුරන්කෙත ඇමති එස්.බීගේ මාලිගය ගැන රූපවාහිනියෙන් ප්‍රචාරය කළේ වෙනින් කවුරුත් නොව ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග නෝනාය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරෝද සහභාගි විය. ඉන්ටනැෂනල් ස්කූස් හිමිකරුවෙකුවූ ග්‍රේරෝ ඇමතිගේ සහෝදරයාගේ දියණියන් ‍දෙදෙනා වන චිනූ සහ සෙනුරි මතභේදයට තුඩුදී ඇති මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරයි. ‍ඇමති ග්‍රේරෝ මඩින් එන්නේ පෞද්ගලික වෙද විදුහල ගොඩින් බේරා ගැනීමට වන්නට ඇත.

හිටපු නියෝජ්‍ය ඇමති වැලිගම හේමාල් ගුණසේකර ගැනනම් දුකක් නැත. ඔහුට එරෙහිව ඉකුත් ආණ්ඩු කාලයේදී අධිවේගී මාර්ගයේ වාහනයකින් ගමන් කරමින් සිටියදී දඬ කොලයක් ඉරාදමා පොලිස් නිලධාරියාට තර්ජනය කිරීම පිළිබඳව පැමිණිල්ලක් තිබිණි. අවසානයේදී පොලිස් නිලධාරියාගේ වාහනයද සති කිහිපයකට පසු ගිනිගෙන දැවී ගියේය. ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගිවූ පිනෙන් හේමාල් ගුණසේකරට පරණ පවෙන් මිදිය හැකිවීම ‍ඔහුගේ නොමඳ සතුටට හේතුවනු ඇත. රාජපක්ෂ ආණ්ඩුව එදා ජනතා විරෝධයට පත්වූයේ මර්වින්ලා සහ හේමාල්ලා වැනි මිනිසුන් නිසාය. ඇතැම්විට මාතර හේමාල් ගුණසේකරද පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙන පරාජිත ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්වූ මොණරාගල ජගත් පුෂ්පකුමාර, කුරුණෑගල ශාන්ත බණ්ඩාර, කළුතර පරාක්‍රම ගුණවර්ධන මෙන් ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂක ධූරයකින් හෙට අනිද්දා පිදුම් ලැබුවාද පුදුමයක් නැත. එම තනතුරට පැවරෙන නිෂ්චිත කාර්යයක් හෝ වගකීමක් නැතිවූවද හතේ හත වැදුණු පරාජිත දේශපාලඥයින්ට එය ඇලඩින්ගේ පුදුම පහනකි. කළුතර පරාජිත අපේක්ෂක රෙජිනෝල් කුරේද මෙවැනි ප්‍රවෘත්ති සාකච්ඡාවලට පැමිණ මහින්ද විරෝධයක් මවාපා කඹුරුවේය. ඒ පිනෙන් දැන් ඔහු උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල් කුරේය.

සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයින්ගේ දායකත්වයෙන් දැන් උදාවෙමින් පවතින්නේ අලුත් බලාපොරොත්තුවක් සමඟ රට දිනවන යුගයක ඇරඹුමය. එය බාධක අභියෝග මැදින් ජය මාවතට පිවිසෙන නව ගමනක් වනු ඇත. ලෝකය වඩාත් යහපත් තැනක් වී ඇත්තේ සියල්ල සිදුවෙමින් තිබියදී නිහඬව බලා සිටියවුන් ‍නිසා නොව යහපත් සමාජ පරිවර්තනයක් උදෙසා අරගල කලවුන්ගේ ධෛර්යයෙනි.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)

https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions