2/05/2016

යහ පාලකයෝ මාධ්‍ය මන්තරය ජප කිරීමේ රහස වටහා ගනිමු

කතෘ:යුතුකම     2/05/2016   No comments

තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් මහා ඝෝෂාවක් ද සමඟ, දහසකුත් එකක් පොරොන්දු රට හමුවේ තබමින් බලයට පත් වූ වත්මන් යහ-පාලකයෝ, මාධ්‍ය සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ අර්තකථන දෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. මේ උද්ගතවෙමින් ඇති තත්ත්වය පහසුවෙන් නොසලකා හැරිය යුතු නොවේ. 1948 න් පසු මෙරට දේශපාලන ඉතිහාසය මැනැවින් පරිශීලනය කරන ඕනෑම කෙනෙකුට මෙවන් ප්‍රවණතාවන්ගෙන් පසුව, පාලකයින් මාධ්‍ය කෙරෙහි දැක් වූ ප්‍රතිචාර අධ්‍යයනය කළ හැකිය. එය මාධ්‍යයන්ට පමණක් නොව රටටම කන කොකා හැඬ වූ යුගයක පෙර නිමිති බව ද අමතක නොකළ යුතුය.

ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීණ මාධ්‍ය වේදියෙකු වූ ගුණදාස ලියනගේ සූරීන්ගේ “පුවත්පත් මෙල්ල කිරීම” නම් කුඩා වුවත් වැදගත් ග්‍රන්ථය, මුද්‍රිත මාධ්‍ය පමණක් තිබූ යුගයේ සිට මේ දක්වා වූ මාධ්‍ය මර්දන විකාශය ගැන යම් පමණක සාධනීය විග්‍රහයකට මග පාදාගත හැකි ලියවිල්ලකි. එම ග්‍රන්ථය ලියැවුණු කාලයට සාපේක්ෂව අද සංසන්දනය කිරීමේදී එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රවණතාවයේ ප්‍රාථමික යුගය ලෙස ද හඳුනාගත හැකිය. 1970 දශකයේ ඇමි. ඩී. ගුණසේන පවුලේ මාධ්‍ය ජාලය වූ “දවස” පුවත් පත් ආයතනයට සීල් තැබීමේ ක්‍රියාන්විතය මහත් ආන්දෝලනයක් ඇති කළේය. 1977 ආණ්ඩු පෙරළියේ දී “කතරගම රූමතිය” තරමටම “දවස“ - “රිවිරැස“ පත්‍ර සීල් තැබීම තීරණාත්මක සාධකයක් ලෙස එවක එක්සත් ජාතික පක්ෂයට ආශීර්වාදයක් වීය.


ඊට පෙර, ලේක්හවුසිය රාජ්‍යය සන්තක කර ගත්තද ජනසතු ව්‍යාපාර නම් ප්‍රවණතාව හමුවේ ඊට හිමි වූයේ “දවස“ ට අත් වූ ලංසුවට වඩා අඩු ලංසුවකි.

රැජිණගේ ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසූ රෝහණ විජේවීරගේ නායකත්වයට අපරාධ යුක්ති විනිශ්චය කොමිසම යොදා දඬුවම් පැමිණවීමෙන් අනතුරුව, “71 කඳුළු“ තම අවිය කරගත් එක්සත් ජාතික පක්ෂය, ප්‍රේමවතී මනම්පේරි තමන්ගේ සුජාත දරුවෙකු බවට පත්කරගන්නට වෑයම් කළේය. ඒ කඳුළු “කිඹුල් කඳුළු“ බව වටහා ගන්නට 1987 වන විට ලෝකයාටම හැකි වීය. 1971 දී අටදහසක් වෙනුවට 1990 වන විට ලක්ෂයක් පමණ දෙනා ටයර් සෑය නම් අපූරු සෑයක මිහිදන් කරන්නටද ධර්මිෂ්ට පාලකයෝ සමත් වූහ.

මේ සියල්ල අතුරතුර පළමුව ඍජුව සහ වක්‍රව විවේචනයට බඳුන් වූයේ මාධ්‍යයන්ය. මෙවන් විවේචන පිළිබඳ විශ්ලේෂණයන්ගෙන් අපට හමුවන වැදගත් නිගමනය නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී හෝ අත්තනෝමතික හෝ හිතුවක්කකාරී හෝ සංස්ථාපිත ක්‍රියාදාමයක් අත ළඟ බවය. 1975 සිට 1977 දක්වා වූ පාලන කාලය දීර්ඝ කිරීමේ ඉතිහාසයේ සිට කුපක්‍රට 1982 ජනමත විචාරණය දක්වා මේ තත්ත්වය මැනැවින් නිරීක්ෂණය කළ හැකිය. 1982 න් පසුව රටම අමු සොහොනක් කළ එක්සත් ජාතික පක්ෂයේ භාවිතාව තවම සමාජයේ දෝංකාර දෙමින් පවතින යථාවක් බැවින්, ඒ පිළිබඳ අටුවා-ටීකා-ටිප්පණි අනවශ්‍යය. පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම්, 1977 න් පසුව ඉපැදී, එනමුත් මෑත ඉතිහාසයවත් අත් නොවිඳින, මෑත ඉතිහාසයවත් අධ්‍යයනය නොකළ දුහුනන්ටය. සැබැවින්ම එවන් දුහුනන්ගෙන් වන හානිය ද අතිමහත්ය. එය එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මන්තරයට ආශීර්වාදයක්ය.

කෙසේ වෙතත්, මාධ්‍ය ආයතනයන් නම් කරමින්, මාධ්‍ය වේදීන් නම් කරමින් පාර්ලිමේන්තු වරප්‍රසාදයන්ට මුවා වී, රටේ අග්‍රාමාත්‍යවරයා මේ සූදානම් වන්නේ කවරාකාරයේ කස්තිරමකටද යන්න මේ අනුව පැහැදිලි කර ගත යුතුය. ඒ තුළින් ඇති කරගන්නා නිගමනයන් වහ වහා සමාජ ගත කළ යුතුය. වත්මනෙහි මාධ්‍ය හිමිකාරීත්වයේ සිට පාඨකයා දක්වා ඇති බැරෑරුම් වගකීම එයයි. එය ප්‍රමාද කරන සහ ප්‍රමාද වන තරමට යළිත් වරක් අතීතය හා එහි අඳුරු සෙවනැලි සමස්ත සමාජයම වසා ගැනීම සීඝ්‍ර වනු ඇත.
1977 ජූලි වන විට තිබූ සාමකාමී දේශය, 1987 ජූලි වනවිට මිනී කන්නන්ගේ දේශයක් බවට පත් වූ ඉතිහාසය අපි කිසිසේත්ම අමතක නොකළ යුතු වන්නෙමු. එය මතක් කර දීම ඉතිහාස කාමයයැයි කෙනෙක් වහසි බස් දොඩවන්නේ නම් විද්‍යාත්මක දේශපාලනයෙන් ඇති ඵලක් නැත. එනම්, දේශපාලනය හා ඉතිහාසය අතර ඇත්තේ අත්‍යන්ත බැඳීමක් වන බැවිනි.
“...දේශපාලන විෂයය, ඉතිහාසයට, අර්ථ ශාස්ත්‍රයට හා ආචාර විද්‍යාවට ද ඉතා ආසන්න වේ.

ඉතිහාසය නම් පෙර සිදු වූ දේවල් හා ව්‍යාපාරත් ඒවා ඇති වීමට හේතු හා ඒවායේ අන්‍යෙන්‍ය සම්බන්ධයත් කියාපාන වාර්තාවකි. ආර්ථික, ආගමික, මානසික හා සාමාජික සංවර්ධනය පිළිබඳ පරීක්ෂණයක් මෙන්ම, රාජ්‍යයන්, ඒවායේ ඇතිවීම, වැඩීම හා ඒවායේ සංවිධානය හා ඒවායේ අන්‍යොන්‍ය සම්බන්ධතා පිළිබඳ සමීක්ෂණයත් එකී විෂයයට ඇතුළත් වේ.

දේශපාලනය හා ඉතිහාසය අන්‍යොන්‍ය සම්බන්ධයෙන් යුක්තය. සමහර ඓතිහාසික කරුණු දේශපාලන විද්‍යාවේ මූලධර්ම වශයෙන් ගැනේ. දේශපාලන මතාන්තර අධ්‍යයනය සඳහා උපයෝගීවන සමහර කරුණු - විශේෂයෙන් ඓතිහාසික වූ දේ - දේශපාලන විද්‍යාව ඇතිවීමේ හේතුකයන් වශයෙන් සලකනු ලැබේ. වෙනත් වචනවලින් දක්වතොත් ඉතිහාසය මහාර්ඝ වනුයේ දේශපාන විද්‍යාව නිසා යැයි කිව හැකිය.....” මෙසේ පවසන්නේ, ඒ. අප්පාදුරෙයි නම් දේශපාලන විද්‍යා ලේඛකයාය. එය ඔහුගේම මතයක් නොව, ඔහු විසින් සම්පිණ්ඩණය කරන දේශපාලන විද්‍යා දාර්ශනිකයන්ගේ මතාත්තර සාරයයි.

තවත් උදාහරණයක් ලෙස, ආණ්ඩු විපර්යාසයන්, ඒවා ඇතිවීමට හේතු හා ඒවාට කරන ලද පිළියම් ද සලකා බලයි. ඓතිහාසික විප්ලව වන 1688 ඉංග්‍රීසි ආණ්ඩු විප්ලවය ද, 1789 ප්‍රංශ ආණ්ඩු විප්ලවය හා 1917 රුසියන් ආණ්ඩු විප්ලවය ද දේශපාලන විද්‍යාව හදාරන්නන්ට වැදගත් වේ. ඒ සා විශාල දුරාතීතයකටවත් නොගොසින්, මෑත ශ්‍රී ලාංකේය ඉතිහාසය අපි අධ්‍යයනය කළ යුතු වන්නේ ඉන් අත් වූ සෙතට වඩා විපත අප තවමත් පෙළන බැවිනි. වත්මනෙහි ද කුප්‍රකට කියමනක් වන “ඉතිහාසයම පුනර්ජීවය ලැබීම විගඩමක් සහ ඛේදයක් වීම” යන්නද බහැර කළ හැක්කක් නොවේ.

මාධ්‍ය භාවිතය හා මාධ්‍යයට එල්ලවන බලපෑම විග්‍රහ කර ගත යුත්තේ ද මේ ආස්ථානයේ සිටය. ඒ අනුව 1977 න් ඇරඹි සමාජ විපර්යාසයන් සහ විකාශය අපට අත් කර දී ඇති ප්‍රගමණික තත්ත්වය මෙහිලා අත්විඳීම වැදගත්ය.

මෙම ලියුම්කරුගේ සජීවී අද්දැකීම්වලට අනුව 2015 ජනවාරි 08 යනු 1977 ජූලි 23 ට සමානය. “බලධාරියා විසින් කපාහරින ලදී..” යනුවෙන් සඳහන්ව, විමල් එස්. සුරේන්ද්‍රගේ සිට රිචඩ් ද සොයිසා දක්වාත්, රෝහණ කුමාර ගේ සිට ලසන්ත වික්‍රමතුංග දක්වාත් ලියැවෙන්නේ මේ පාදඩ සංස්කෘතියේම දිගුවකි. මේ අතරතුර, එක්සත් ජාතික පක්ෂයේ ගහලයින් විසින් තිරස්චීන ලෙස ඝාතනයට ලක් කළ එච්. ඊ. දයානන්ද නම් අභීත මෙන්ම ප්‍රගතිශීලී රාජ්‍ය සේවකයා ගැනවත් අද ඇතැමුන්ට මතකයක් ඇතිවගක් නැත. ඉවසිය නොහැකි ඛේදනීයම තත්ත්වය නම්, මේ බහු විධ හා යුගයේ දැවැන්තම ඛේදයන්ට වගකිව යුතු පාර්ශව අමතක කර මුව හම්වලට තඩිබාන ඊනියා වාමාංශිකයින්ගේ ක්‍රියා කලාපයයි.

මේ සියලු තප්පුලෑම් හමුවේ වත්මන් යහපාලකයෝ ද මාධ්‍ය මන්තරය ජප කිරීමේ උච්චම අවස්ථාව, අදට සාපේක්ෂව වෙනස්කම් හා උදාසීනතාවයෙන් යුතු 68 වන නිදහස් සැමරුමේ දී ද දෝංකාර දුන්නේය. ඒ, සිරිසේන ජනාධිපතිවරයාගේ මුවින් පිටවූ මාධ්‍ය කෙරෙහි වූ අවවාදාත්මක වදන් හරහාය. එය ද විශේෂත්වයකි. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදීත්, ජනාධිපතිවරයා නිදහස් සැමරුමේදීත් මාධ්‍ය මන්තරයට වැඩි අවධානයක් යොමු කිරීම විශේෂ නොවන්නේ කෙසේද ?

මේ අනුව, ඉදිරියේ දී අපට බොහෝ වෙනස්කම් නොවන විපර්යාසයක් රැසක් දැක ගැනීමට ඉඩ වැඩි බවට පෙරමග ලකුණු පහළ වෙමින් තිබේ. ප්‍රගතිශීලීන් ලෙස හා ශ්‍රී ලාංකේය ජාතියක් ලෙසින් මේ තත්ත්වයට අප මුහුණ දිය යුත්තේ කෙසේද ? මාධ්‍ය අඬහැරය භීතිකාවක් වී ඛේදයක් වීමට පෙර අප විසඳා ගත යුතු පැනය එයයි.

-ජනිත් විපුලගුණ -
2016 පෙබරවාරි 05

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com