4/01/2015

හෙළ උරුමයේ ජාතිවාදය

කතෘ:යුතුකම     4/01/2015   1 comment

ජාතික හෙළ උරුමය ජාතිකත්වය අත්හරියි


ජාතික හෙළ උරුමයට මහින්දව අත්හැරීම වුවමනා වුනි. මහින්දව අත්හරින්නට යාමෙන් හෙළ උරුමයට ජාතිකත්වය අත්හැරුනි. තම පක්ෂය බිහි වූ දා පටන්ම බොරුවට හෝ ඇත්තට හෝ තමන් පෙනී සිටි මතවාදය සමඟ සිට ගැනීමට වඩා මහින්දට එරෙහිව සිට ගැනීම ඔවුනට වඩාත් වැදගත් විය. 

ජනතාව ඔවුන් හැඳින ගත්තේය. නැවත වරක් දේශපාලනිකව ජාතිකත්වය වෙත යාමට හෙළ උරුමයට ඇති අවස්ථාව දැන් විරළය. සතුරන් බිහි වන්නේ ජාතිකත්වයට බාහිරින් පමණක් නොව. ජාතිකත්වයේ වේශයෙන්ද ජාතිකත්වයට සතුරන් බිහි වේ. බාහිර සතුරන්ට වඩා භයානක වන්නේ අභ්‍යන්තර සතුරන්ය. අප බොහෝ විට අභ්‍යන්තර සතුරන් හඳුනා ගන්නා විට ඔවුන් බාහිර සතුරන්ගේ මිතුරන් වී අවසන්ය. ශරීරයේ හටගන්නා පිළිකාවකින් ගැලවීමක් ඇත්තේ එය කලින් හඳුනා ගන්නා තරමටය. 

උපන් ගෙයි දෝෂය

හෙළ උරුමය සිය ගමන අරඹන්නේ වැරදි වෙලාවක වැරදි පය පෙරට තබා ගෙනය. පක්ෂ බිහි විය යුත්තේ රට වෙනුවෙන්ය. නමුත් ජාතික හෙළ උරුමය බිහි උනේ රට වෙනුවෙන් නොව, ඔවුන් වෙනුවෙනි. එහි සිටි සියල්ලෝම කපටින් යැයි මෙයින් නොකියවේ. නමුත්  ඔවුහූ ඒ වන විට පැවති දේශපාලන සන්දර්භය මත තබා සිය භූමිකාව පිරික්සා බැලුමට අසමත් වූ  බව පැවසීමට සිදු වේ.

සෝම හිමියන්ගේ අකල් අපවත්වීම සමඟ නැගී ආ ජනතා සංවේගය එම පක්ෂය බිහි වීමට අවස්ථාවක් සළසා දුනි. නමුත් එය බිහි වන්නේ මෙරට වූ පුළුල් දේශපාලනික සහ ජාතික අවශ්‍යතාවන් පිලිබද ගැඹුරු අවබෝධයකින් නොවේ. රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව ප්‍රභාකරන් සමඟ ගිවිස ගත් කූඨ සටන් විරාම ගිවිසුම නිසා රටේ ස්වෛරීත්වය තර්ජනයට ලක්වූ බැවින් එම රජය විධායකය විසින් විසුරුවා හැරීය. එවිට යෙදුනු මහ මැතිවරණය අභියසදීය ජාතික හෙළ උරුමය බිහිවන්නේ. එම මහ මැතිවරණය සුවිශේෂී කරුණු දෙකක් නිසා ජාතික බලවේගයන්ට අතිශය තීරණාත්මක විය.

 පළමු කාරණය නම් ඒ මැතිවරණ ප්‍රතිපලය තුළින් රනිල්-ප්‍රභාකරන් දේශද්‍රෝහි සටන් විරාම ගිවිසුම පෙරදැරිව ගලා ගිය රට දෙකඩ කිරීමේ මෙහෙයුම නතර කිරීමට වුවමනා විය. දෙවන වැදගත් කාරණය වන්නේ එකල ජවිපෙ (එකල ජවිපෙ හා වත්මන් ජවිපෙ එකම පක්ෂයක් ලෙස සැලකීම සුදුසු නැත.) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉතිහාසයේ පළමු වරට සන්ධානයක් බිහි කර එය ජනතාව අභිමුවට ගෙන ගොස් බෙදුම්වාදයට එරෙහිව ජන වරමක් ඉල්ලා සිටි මොහොතක් වීමයි. එම එක්වීම  එක්තරා අන්දමකට ජාතිකත්වය නියෝජනය කරන පරම්පරා දෙකක එක්වීමකි. එවක ජවිපෙ සතුව තිබූ සංවාදශීලී ජවය නිදිගත් කුම්මැහි යෝධයකු වූ ශ්‍රීලනිපය එම නිද්‍රාවෙන් මුදවන්නට සමත් වෙතැයි යන්න පොදු ජනතා පැතුම විය. මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත් වන්නේ ඒ මැතිවරණයේදීය. ජාතිකත්වයට අතිශය වැදගත් එම සන්ධාන ජයග්‍රහණයට තිබූ ප්‍රධාන අභියෝගය වූයේ අනෙකක් නොව ජාතිකත්වයම නියෝජනය කළ ජාතික හෙළ උරුමයය. තමන් දෙදණ බිම හොවා නමදින භික්ෂූන් වහන්සේ මහ මැතිවණයට ඉදිරිපත් වී තමනට ඡන්දය පූජා කරන්නැයි ඉල්ලා සිටින විට ඡන්දදායකයාගේ හැසිරීම කෙබඳු වේදැයි යන්න අවිනිශ්චිත විය. ඒ අභියෝගය සන්ධානය ජය ගන්නේ අනූ නවයෙනි. කතා නායක ඡන්දයවත් දිනා ගන්නට අභිනවයෙන් පත් වූ රජයට නොහැකි විය. වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා කතානායක වන්නේ එජාපය නියෝජනය කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසිනි. හෙළ උරුමය අතින් සන්ධාන ඡන්ද තව සුළු ප්‍රමාණයක් කැඩිනි නම් එදා රනිල් නැවත අගමැති වන්නේය. එසේ වුවා නම් අපි අද කතා කරන්නේ ලංකාවේ හා ඊළාම් රටේ දේශසීමා අර්බුදය පිලිබදවය.

ජාතික හෙළ උරුමය බිහි නොවිය යුතුම අවස්ථාවක බිහි වීම අනුවණ කමකට ලඝු කළ හැකිදැයි අපි නොදනිමු.

වෙනස මතු කරන හෙළ උරුමයේ ජාතිවාදය 


හෙළ උරුමය සිය උරුමය නිවැරදිව නියෝජනය කරන්නේ, තමා සිටිය යුතු පිළ ඉතාමත්ම පැහැදිළි අවස්ථාවක් වූ යුද්ධය ඉදිරියට යන විටදී පමණි . යුද්ධය නිමා වී පස් වසක් ගත වීමට මත්තෙන් ඔව්හූ ජාතිකත්වයට එරෙහි පිළ සමඟ යළි සිට ගත්තේ සිය උපන් ගෙයි දෝෂය අනුව යමිනි. එය හුදු පිල් මාරුවක් පමණක් නොව, මෙතෙක් කල් ජාතිකත්වය නියෝජනය කරමින් තමන් ගොඩනඟා ගෙන තිබුනු ප්‍රතිරූපය ජාතිකත්වයට එරෙහිවම අවභාවිතා කිරීමකි. අද චම්පික හෝ රතන හිමි හෝ දහතුන ගැන හෝ ඒකීයභාවය ගැන හෝ රණවිරු දඩයම ගැන හෝ කටින් කෙළ බිදක් නොහෙළීමෙන් පසක් වන්නේ ඒ රැවටීම නොවේද? ඔවුහු දැන් ඒකීයභාවය බිළි දීමට එකඟ වූවෝ වෙති. ඒකීය භාවය බිළිදෙත්දී තමන් ඊට විරුද්ධ වීමට කළින් අවසර ගත්තෝද වෙති. 

ජාතිකවාදයේ සහ ජාතිවාදයේ අක්ෂරමය වෙනස ඇත්තේ වචන මැද්දේ ඇති 'ක' අකුරෙහි පමණක් වුව අර්ථය අතින් ඒ පද දෙක එකිනෙකට විරුද්ධාර්ථ දෙන බව අප වටහා ගත යුතුය. ජාතිකත්වයේ අරමුණ වන්නේ සියළු ජනවර්ගයන්හි අනන්‍යතාව පිළිගන්නා අතර ඒ සියළු දෙනාට පොදු වූ සංස්කෘතියක්ද ඇති බව පිළි ගැනීමයි.ඒ පොදුභාවය මුල් කොටගෙන එය එක් ජන කොටසක් ලෙස එකට පෙනී සිටීමේ ශක්‍යතාවක් ඇති බව පිළිගැනීමයි. ඒ අර්ථයෙනි ජාතිකවාදීන් බෙදුම්වාදයට එරෙහි වරන්නේ. එනම් අප නොබෙදිය යුතුය. තන්තු මුල් ඇතත්, අප එකම මුදුන් මුලක් සහිත වෘක්ෂයකි යන අර්ථයෙනි. ජාතිවාදය ඊට ඉඳුරාම වෙනස් බව කිව මනා නොවේ. ජාතිවාදීන් ඉස්මතු කරන්නේ ජනවර්ග අතර පොදු බව නොව, ඔවුන් ඉස්මතු කරන්නේ ඔවුනොවුන් අතර 'වෙනස' වේ. සිංහලයා දෙමළ හෝ මුස්ලිම් හෝ ජාතිවාදයට එරෙහි විය යුත්තේ ජාතිකත්වය මතු කරමිනි. ජාතිකත්වය මතු කිරීම යනු ජාතිවාදය පරාජය කිරීම බව පෙනී යා යුතුය. සිංහලයාත් ජාතිවාදයට එරෙහිව ජාතිවාදයම අතට ගත හොත් සිදු වන්නේ මේ සමාජය කෑළි කෑළි වලට බෙදී යාමේ ප්‍රවණාතාවයක් ඇති වීම නොවේද? එය ජාතිකත්වයේ පරාජය සනිටුහන් කරන බව අප වටහා ගත යුතුය.

ජාතික හෙළ උරුමය කිසි දිනක ගැඹුරු ජාතික මතවාදයක් නියෝජනය නොකළේය. යුද්ධයෙන් පසු ඔවුහූ ජාතිකත්වයට වඩා ජාතිවාදය දෙසට නැඹුරු වූහ යැයි කීම නිවැරදි යයි සිතමි.

ජාතිකත්ව මතවාදය මතින් ජන ප්‍රසාදය දිනා ගැනීම පහසු නැත. එය කළ යුත්තේ ඉතා ස්ථාවරව නමුත් සෙමිනි. වීරයන් වීමට හදිසි දේශපාලකයන්ට ජාතිකත්වය සුදුසු නැත. ඔවුනට සුදුසු ජාතිවාදයයි. ජාතිවාදය මඟින් ඉක්මණින් ජනප්‍රිය විය හැකිය. විමල් වීරවංශ ජාතිකත්වය තෝරත්දී, චම්පික රණවක අවසන් අදියරේදී සිංහල ජාතිවාදයක් ඇති කිරීමට උත්සාහ දැරීය. ජාතිකත්වයේ සතුරන් වන්නේ දෙමළ ජාතිවාදය පමණක් නොව, සිංහල, මුස්ලිම් සියළුම ජාතිවාදයන් ජාතිකත්වයේ සතුරන්ය. මුස්ලිම් අන්තවාදී ජාතිවාදයට එරෙහිව චම්පිකලා සිංහල ජාතිවාදයක් බිහි කිරීමට වෑයම් කළේය. පොදු සිංහලයා  පොදු මුස්ලිම් මනුෂ්‍යයා දෙස සැකයෙන් බලන තැනට පත් කළේය.  ඒ සදහා සමාජ ජාලා වෙබ් අඩවි යොදා ගත්තේය. චම්පික ජාතීන් අතර වෛරය වපුරනවා යන චෝදනාව මත ඔහුගේ ෆේස්බුක් ගිනුම පවා තහනම් කෙරුනි.

අන්තවාදී මුස්ලිම් සංවිධාන පමණක් එල්ල කොට සාමාන්‍ය මුස්ලිම් ජනයාගේ සිත නොතලා ඔවුන්ද අන්තවාදය ප්‍රතික්ෂේප කරන සාධාරණ ආස්ථානයට කැදවනවා වෙනුවට චම්පිකලා කළේ එම ජනතාව සිංහලයා හා රජය කෙරෙහි බිඳවීමය. එහි ප්‍රතිපලය කවුරුත් දන්නේය.

චම්පිකට දෙමළ බෙදුම්වාදී ජාතිවාදී කඳවුර වෙනුවෙන් පෙනී සිටින ජාතීන් අතර වෙනස මතු කරන නව රජයක විදුලි බල හා බලශක්ති ඇමතිකම යළි ලැබී ඇත.

- ලසන්ත වික්‍රමසිංහ
 

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. සුගත්4/01/2015 12:31 PM

    චම්පික මහ උගතා කිව්වට, මෝඩයි. ඇත්තටම මෝඩ තීරණ ගන්නේ මිනිහගේ දැඩි මමත්වය නිසා.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com