2002-03 වකවානුවේදී ලක්මව මුහුණ දුන් තත්වයට යම් සමාන තත්වයකට අදදු මුහුණ දෙමින් සිටියද එහිලා යම් තීරණාත්මක වෙනස්කම් කිහිපයක් දැකිය හැකිය. එදා එජාප නායකයාගේ ජන්මගත දේශද්‍රෝහී න්‍යායපත්‍රය ක්‍රියාත්මකව පවතිද්දී ඊට එවකට ජනාධිපතිවරිය සෘජුව දායක නොවූවාය. ඒ ඇගේ චින්තනය ඒ හා නොසැසඳුන නිසා නොව ඔවුන් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ පැහැදිලි දේශපාලන පිල් දෙකක් නියෝජනය කළ නිසා විය යුතුය. දශකයකට පසුව අද එම සුසංයෝගයම රටට එරෙහි ක්‍රියාදාමයක එකම පිලක් නියෝජනය කරමින් ක්‍රියාත්මක වන්නේ ඔවුන් විසින්ම ජීවග්‍රහයෙන් ගත් විධායකයේ උෂ්ණයද බලෙන්ම ආරෝපණය කරගනිමිනි. පැහැදිලිවම අද රට අරාජිකය. බලකාමයෙන් උමතු මහජන නියෝජිතයෝ පාර්ලිමේන්තු ගර්භයේ සංගීත පුටු කෙලියේ යෙදෙද්දී ද්‍රෝහී බල මුලු රිසිසේ තම කාරියේ නියැලෙමින් සිටිති.
ඊනියා සටන් විරාම ගිවිසුම් සමයේදී රට දැය වෙනුවෙන් එලි බට දේශහිතෛශී ජාතික ව්‍යාපාරය, ත්‍රස්තවිරෝධී ජාතික ව්‍යාපාරය ආදී දේශමාමක සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්වය 2005 මහින්ද යුගයේ ආරම්භයෙන් පසු හීන වී ගියේ ජාතික ව්‍යාපාරයේ දැවෙන ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරු ලැබෙමින් තිබුණ නිසාය. එවැන්නක අවශ්‍යතාවය මැකෙමින් පැවති නිසාය. 2009 දී කූඨප්‍රාප්ත දෙමළ බෙදුම්වාදයට එරෙහි යුදමය ජයග්‍රහණය එවකට ජාතික ව්‍යාපාරයේ ප්‍රබලතම සටන් පාඨය මුළුමනින්ම පාහේ නිශ්ක්‍රීය කර දැමීමට සමත් විය. පශ්චාත් යුද ජයග්‍රහණ සමයේදී දෙමළ බෙදුම්වාදයට හිස එසැවීමට ඉඩ නොදුන්නා පමණක් නොව දීර්ඝකාලීනව එවැනි ආක්‍රමණයකට ඇති ඉඩද අහුරාලීමට කටයුතු කෙරුණු බව සැවොම දන්නා කරුණකි. එහෙත් ජාත්‍යන්තර මට්ටමේදී මතවාදී දෙමල බෙදුම්වාදය පැරදවීමට අප අසමත් වූ බව පිළිගත යුතුව ඇත. කෙසේවෙතත්, නූතන ජාතික ව්‍යාපාරයේ කල එලි බැසීමට එය හේතුවූවා නම් ඒ සුළු වශයෙන් පමණි. ස්වභාවයෙන්ම රටට එරෙහි හතුරු බලවේග හමුවෙහි ජාත්‍යාන්ධ දේශපාලකයා පිබිදවීමට හැමකල්හිම සිවිල් සංවිධාන වලට සිදුවූ බවට ඉතිහාසය සාක්ෂි දරනවා ඇත. එතෙක් සෙමින් වර්ධනය වෙමින් පැවති හා සාපෙක්ෂව පසුගිය වසර කීපය තුළ ලෝක ප්‍රවණතාවයට සමගාමීව සීග්‍රයෙන් හිස ඔසවමින් පවතින මුස්ලිම් අන්තවාදය හමුවේ අනපේක්ෂිත ලෙස දෙමළ අන්තවාදයට බැට දුන් රජයම නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීමම එතෙක් මහින්දවාදීව සිටි දේශ හිතෛශී බලවේග අවදිකිරීමට සමත්වූවා පමණක් නොව එම බලවේගම මහින්ද එලවීමේ ව්‍යාපාරයේ කසකරුවන් කිරීමටද ප්‍රමාණවත් විය. එම තත්වයම සියළු ද්‍රෝහී බලවේග මනාව කළමනාකරණය කරගැනීමට සමත්වීම ජාතියේ අවාසනාවකි. අවසන් මොහොතේ හෝ බහුතර දේශහිතෛශී ජනතාව අඩුනරක හා වැඩිනරක වෙන්කොට හඳුනාගැනීමට තරම් සබුද්ධික වුවද එවිට අශ්වයා පැන ගොස්ය.
ඇතිවූ තත්වය කබලෙන් ලිපට වැටීමක්, ඉඟුරු දී මිරිස් ගැනීමක් ලෙස සරලව පෙණුනද ඉන් එහා යම් ධනාත්මක පසුබිමක්ද උදාවී ඇති බව වර්තමානයේ පෙනෙන්නට ඇත. ජාතික ව්‍යාපාරයට පොදුවේ මහින්ද සම්බන්ධයෙන් තිබුණු චෝදනා වලට නිසි දඬුවම දැනටමත් මහින්දට ලැබී ඇත. එය ඔහුගේ ඇස් ඇරවීමට ප්‍රමාණවත්ද යන්න නිගමනය කිරීමට තරම් සෑහෙන ඉඟියක් නො එසේනම් මහින්ද ජාතික මතවාදයට හිස නමනවාද යන්න පැහැදිලිව නිගමනය කිරීමට සාක්ෂියක් තවමත් කරලියට පැමිණ නැත. කොටින්ම මහින්ද ප්‍රමාණවත් ස්වයං විවේචනයකට තවමත් ගොස් ඇති බවට සාධක නැත. එහෙත් එසේ කිරීම හැර මහින්දට අන් විකල්පයක් නැත. අනෙක් අතට,ද්‍රෝහී බලවේග වල සැබෑ මුහුණුවර නැවත වරක් දැකබලා ගැනීමට රටට අවස්ථාව උදාවී ඇත. පසුගිය දශකය පුරාවට හොරගල් අහුලමින් සිටියෝ දැන් කරලියේ රඟති. මහින්ද යුගයේ අළු යට ගිනි පුපුරු දැන් මතුව දැල්වීමට ඔන්න මෙන්න ඇත. කෙනෙක් දැනටමත් දැල්වී ඇතැයි පැවසිය හැකි නමුදු, ඊට අවැසි සාධක අවම වශයෙන් එකක් හෝ තවමත් සැපිරී නොමැති බව පෙනෙන්නට තිබෙයි. එජාපය පෙරටුකොටගත් සමස්ත දේශද්‍රෝහී නඩයට බහුතර පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් ලැබෙන දා එම අඩුවද සම්පූර්ණ වනු ඇත. ඊට තව කඩුල්ලක් ඉතිරිව තිබීම ජාතික ව්‍යාපාරයට සැනසීමට ඇති එකම කරුණයි. මහින්ද එදා සිටම පැහැදිලිව ජාතිකත්ව මතවාදය නියෝජනය නොකලද අද රට කරවන්නන් හා සසඳන කල ඔහුගෙන් වූ හානිය අවම බව ජනාධිපතිවරණ සමයේදී ජාතිකත්වයෙන් අපගමනයවූවෝද අද පසක් කරමින් සිටිති. මහින්දට එරෙහි දූෂණ ආදී චෝදනා සත්‍ය වුවද අසත්‍ය වුවද ඒ සියල්ලම ම කැටිකල කල්හි ද ජාතික ආරක්ෂාව, ස්වෛරීත්වය ආදී විෂයයන් හා සසඳන කල ඒ, ඊට අලගුතැබීමටවත් නොහැකි බව අවබෝධ කිරීමට තවමත් පමා නැත. එහෙත් බලය අයුතු ලෙස පාවිච්චි කිරීම කිසිදු ලෙසකින් සාධාරණීකරණය කල නොහැකි බවද මෙහි ලා අවධාරණය කළයුතුය.
නව යටත්විජිතවාදී අනුග්‍රහයෙන් යලි පණගසනලද විජාතික, බෙදුම්වාදී, අන්තවාදී, ලිබරල්වාදී, පශ්චාත් නූතනවාදී ඈ නේක ඒකාබද්ධ ජාතිද්‍රෝහී - දේශද්‍රෝහී සොර මුල පලවාහැරීම අද ජාතික ව්‍යාපාරයේ ප්‍රමුඛ කාර්යයභාරය බවට නිතැතින්ම පත්ව ඇත. ඊට මහින්ද රැල්ල නිසි ලෙස කළමනාකරණය කරගැනීම හැර ජාතික ව්‍යාපාරයට අද අන් මගක් නැත.
-හර්ෂ සිරිවර්ධනයුතුකම සංවාද කවය
www.yuthukama.com
Good summarization
ReplyDelete