4/29/2015

ශ්‍රී ලංකාව අරඹා තිබෙන්නේ අවිනිශ්චිත අනාගතයකට යන අදූරදර්ශී ගමනක්‌

කතෘ:යුතුකම     4/29/2015   3 comments

- ආචාර්ය දයාන් ජයතිලක
19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීම පිළිබඳ දකුණේ යම් ආකාරයක 'සටනක්‌' මේ වනවිට ආරම්භ වී ඇති අතර උතුරේ ඊළාම් රාජ්‍යයක්‌ ප්‍රකාශ කර පලා ගිය හිටපු මහ ඇමැතිවරයකු වන වර්ධරාජා පෙරුමාල් යළි උතුරට පැමිණ තිබෙනවා. මෙවර ඔහුගේ මේ පැමිණීම අහම්බයක්‌ නොවන බව පවසන ආචාර්ය දයාන් ජයතිලක ලබන මස සිදුකිරීමට නියමිත ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් මෙරට ඉදිරි දේශපාලන ගමන් මගට ඇතිකරන බලපෑම පිළිබඳවද දිවයින ඉරිදා සංග්‍රහය සමග කළ සාකච්ඡාවකි මේ. 

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා එක්‌සත් ජාතික පක්‌ෂය දරන උත්සාහය සහ විපක්‌ෂයේ ඇතමුන් ඊට දක්‌වන විරෝධය ඔබ දකින්නේ කොහොමද?

එක්‌සත් ජාතික පක්‌ෂය 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීමට දරන උත්සාහයේ යම් ආකාරයක සාර්ථකත්වයක්‌ දකින්නට තිබුණත් ඒ තුළින් ඇතිවී තිබෙන දේශපාලන හැලහැප්පීම් සහ කැළඹිලි අනවශ්‍ය ආකාරයකට රටේ අස්‌ථාවරත්වය වැඩිවෙලා තිබෙනවා. මෙහිදී කල්පනා කළ යුතු කාරණයක්‌ නම් ව්‍යවස්‌ථා සම්පාදනයට ලෝකයේ කිසිම තැනක සුළුතර ආණ්‌ඩුවකට අවස්‌ථාව ලැබිල නෑ. අපේ රටේ දේශපාලන ඉතිහාසය තුළත් 1972 සහ 1978 ව්‍යවස්‌ථාවන් වෙනස්‌ කරනු ලැබුවේ තුනෙන් දෙකක බලයක්‌ තිබුණු ආණ්‌ඩු විසිනුයි. විවාදශීලි 13 සහ 18 යන සංශෝධන ගෙනාවෙත් තුනෙන් දෙකක ආසන බලයක්‌ සහිත ආණ්‌ඩු විසින්. නමුත් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ පළමුවෙනි වතාවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක්‌ නැති, තාවකාලික සහ සංක්‍රාන්තික ආණ්‌ඩුවක්‌ විසින් මෙතරම් විශාල ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙනඒමට උත්සාහ දරනවා. එමනිසා මේ ප්‍රසූතිය පිළිබඳ ප්‍රශ්නයක්‌ තිබෙනව. එබඳු ප්‍රශ්නයක්‌ තිබියදී විශේෂයෙන් ව්‍යවස්‌ථා සම්පාදනය පිළිබඳ පැහැදිලි පාරදෘෂ්‍ය ක්‍රියාපටිපාටියක්‌ තිබිය යුතුයි. නමුත් ක්‍රියාපටිපාටිය ප්‍රතිසංවාදයට තුඩු දුන් එකක්‌. විපක්‌ෂය කෙසේ වෙතත් ආණ්‌ඩුව තුළම චම්පික රණවක ඇමැතිතුමා ප්‍රමුඛ ජාතික හෙළ උරුමය චෝදනා කළේ රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්‌ථානුකූල කුමන්ත්‍රණයක යෙදෙන බවටයි. සුප්‍රිම් උසාවිය විසින් එය ව්‍යර්ථ කර ඇති බවටත් ඔවුන් කියා සිටියා. ඒ ප්‍රකාශ තුළිනුත් පෙනෙන්නේ මහා පරිමාණ ව්‍යවස්‌ථා සංශෝධනයකට අවශ්‍ය විශ්වාසවන්ත භාවය මේ ක්‍රියාදාමය තුළ නොතිබෙන බවයි.

මාර්තු 13 වැනිදා ගැසට්‌ කළ පනත් කෙටුම්පතට අගමැතිතුමා තවත් පිටු දොළහක ඇමුණුමක්‌ එක්‌ කොට තිබෙනවා. ඒ ඇමුණුමේ ඇති කාරණා විභාග කරන්නට සුප්‍රිම් උසාවියට අවස්‌ථාව ලැබුණේ නෑ. මේ කරන්නේ කොළේ වසා ගැසීමක්‌ද යන බරපතළ සැකය මතුවීම වළක්‌වන්න බෑ. සුළුතර ආණ්‌ඩුවක්‌ ව්‍යවස්‌ථා සංශෝධනයකට නොව පනතක්‌ සම්මත කරගැනීමට යැමේදී වුවත් ප්‍රධාන විපක්‌ෂයේ හිත දිනා ගැනීමට දැනගත යුතුයි. 

විපක්‌ෂය කියා සිටින්නේ 19 වැනි සංශෝධනය සමගම 20 වැනි සංශෝධනයත් සම්මත කරගත යුතු බවයි?

20 වැනි සංශෝධනය 19 වැනි සංශෝධනය වගේ නෙමෙයි. 19 වැනි සංශෝධනය කොත්තු රොටී හදන ආකාරයට නිර්මාණය කරන ලද්දක්‌. 20 වැනි සංශෝධනය දිනේෂ් ගුණවර්ධන මැතිවරණ ප්‍රතිසංස්‌කරණ කමිටුව විසින් වසර ගණනාවක්‌ තිස්‌සේ සාකච්ඡා කර සම්පාදනය කරනු ලැබූ වාර්තාවක ප්‍රතිඵලයක්‌. 20 වැනි සංශෝධනය 19 සමග සම්මත කර ගැනීමට ඇති ප්‍රායෝගික අපහසුතා කෙසේ වෙතත් ප්‍රධාන විපක්‌ෂයේ හිත සහ ඡන්ද දිනාගැනීම සඳහා එවැනි කැපකිරීමක්‌ කරන්නට එක්‌සත් ජාතික පක්‌ෂය සූදානම් විය යුතුව තිබේ. නමුත් එක්‌සත් ජාතික පක්‌ෂය සිතාගෙන සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපය තම මතයට හරවා දෙනු ඇතිය යන්නයි. එය සාර්ථක වන්නේද නැද්ද යන්න මම නොදනිමි. නමුත් මහා පරිමාණ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒමේ ක්‍රමවේදය නම් මෙය නොවේ.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මේ වනවිට ප්‍රමාණවත් අධ්‍යයනයකට ලක්‌වී ඇතැයි ඔබ සිතනවාද?

මෙහි සිංහල පරිවර්තනය තවමත් සූදානම් නොවීමත් 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ අන්තර්ගත දේ පිළිබඳ විපක්‌ෂයේ අවිශ්වාසයක්‌ තිබෙන නිසාත් මෙය තවදුරටත් පරිශීලනය කිරීමට අවශ්‍යයි. ඒනිසා මේ 'ඉන්ස්‌ටන්ට්‌ නූඩ්ල්ස්‌' ආකාරයට 19 සම්මත කරගන්නවාට වඩා ජනවරමක්‌ සහිත නව ආණ්‌ඩුවක්‌ විසින් එවැන්නක්‌ කෙරෙනවා නම් වඩාත් පහසුවෙන් එය සම්මත කරගත හැකි වේවි.

මේ ව්‍යවස්‌ථා සංශෝධන සටන දකුණේ සිදුවන අතර වාරයේ වර්ධරාජා පෙරුමාල් උතුරට පැමිණ සිටිනවා. ඔහුගේ මේ පැමිණීම අහඹු සිදුවීමක්‌ විය හැකිද?

වර්ධරාජා පෙරුමාල්ගේ පැමිණීම අහම්බයක්‌ නොවෙයි. උතුරු පළාත් සභාවේ මහඇමති විග්නේෂ්වරන් මහතා 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඔබ්බට ගොස්‌ ඉන්දියාවේ ආශීර්වාදයත් ඇතිව පෙඩ්රල් ක්‍රමයක්‌ කරා පියනගන්නට උත්සාහ දරන මේ අවස්‌ථාවේදී එවැන්නක්‌ මීට වසර විසිපහකට කලින් කළ වර්ධරාජා පෙරුමාල් මේ මොහොතේ උතුරට පැමිණීම කිසිසේත්ම රටට සුබදායක නෑ. වර්ධරාජා පෙරුමාල් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් අතර කිට්‌ටු දේශපාලන සබඳතාවක්‌ ද පවතින බව මතක තබා ගත යුතුයි.

වර්ධරාජා පෙරුමාල් අපේ රටේ ඊළාම් රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත් කළ සහ ඒ වෙනුවෙන් වෙනම හමුදාවක්‌ පවා ඇතිකරන්නට උත්සාහ දැරූ පුද්ගලයෙක්‌. ඔහු මෙරටට පැමිණි මොහොතේ අත්අඩංගුවට ගත නොහැකිද?

ඊළාම් රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත් කොට මෙරටින් පැන ගියාට පසු වර්ධරාජා පෙරුමාල් යළි ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්‌ථාව මෙය නොවෙයි. මේ පැමිණි අවස්‌ථාවේ ඔහු අත්අඩංගුවට ගැනීම කෙසේ වෙතත් ඔහු උතුරේ කරන කියන දෑ පිළිබඳ විමර්ශනයක්‌ කිරීමට වත් ආරක්‌ෂක අංශවලට අවස්‌ථාවක්‌ නොමැති බව පෙනෙනවා. එයට හේතුව දැන් උතුරේ හමුදාව බැරැක්‌කවලට සීමා කර ඇති නිසයි. උතුරේ හමුදාව දැන් වීථිවල සංචාරය කරන්නේ නෑ. ත්‍රිකුණාමලයේ අතිශය වැදගත් හමුදා කඳවුරු ඉවත් කර ඇති බවද පැවසෙනවා. සාම්පූර්, පුල්මුඩේ, කින්නියා එවැනි කඳවුරු තුනකි. මේ නිසා වර්ධරාජා පෙරුමාල් පමණක්‌ නොව කවරකු වුවද උතුරේ වපුරන දේවල් පිළිබඳ පහසුවෙන් සොයා බැලීම දැන් කළ නොහැක්‌කක්‌ බවට පත් කර තිබෙනවා.

මේවනවිටත් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ දින වකවානු ප්‍රකාශ වී තිබෙනවා. අපේ රටේ ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳව ඔහුගේ පැමිණීම කෙබඳු බලපෑමක්‌ සිදුකරයිද?

ඇමරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා වන ටොම් මැරිටොස්‌කි ශ්‍රී ලංකාවට පැමිණියේ මීට සති ගණනාවකට උඩදී. ඔහු පැමිණ කළ කී දේ තුළින් අපේ මේ රට ගෙනියන්න හදන දිශාව ඉතාම පැහැදිලියි. ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවී ඊනියා යුද අපරාධ පිළිබඳව වගකීමෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කළා පමණක්‌ නොවෙයි මුලතිව් වෙරළට ගොස්‌ මුලතිව් වැල්ලේ දණගසා යුද්ධයෙන් මියගිය සියලු පුද්ගලයන් වෙනුවෙන් මල් වඩමක්‌ තැබුවා. එය දමිළ ජනමාධ්‍යයේ පළවුණා. අන්තර්ජාලයේ එම ඡායාරූප තිබුණත් දකුණේ කිසිම ජනමාධ්‍යයක ඒ ඡායාරූප පළ වුණේ නෑ. මුලතිව් වෙරළේ 2009 දී මියගියේ සෑම ජනවර්ගයකටම අයත් සාමාන්‍ය ජනතාව නෙමෙයි. කොටි නායකයින් ඇතුළු ත්‍රස්‌තවාදීනුයි. ඇමරිකාව දැන් ශ්‍රී ලංකාව දක්‌කාගෙන යන්න හදන දිශාව දැන් පැහැදිලිවම පේනවා.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජැපෑන් ටයිම්ස්‌ පුවත්පතට ලිපියක්‌ සපයමින් පවසා සිටියේ වර්තමාන ආණ්‌ඩුව යටතේ ශ්‍රී ලංකාව ලෝකයේ තමුන්ගේ මූලෝපායික ස්‌ථානගත කිරීම වෙනස්‌ කිරීමට උත්සාහ දරන බවයි. එයින් අදහස්‌ කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ දෙවැනි වාරයේ විදේශ ප්‍රතිපත්තිවල සිදුවූ යම් යම් අඩුලුහු`ඩුකම් හා වැරදි කළමනාකරණය නිවැරදි කරනවාය කියන උපක්‍රමික ප්‍රකාශනය නෙමෙයි. එයින් කියන්නෙ ශ්‍රී ලංකාව මූලෝපායික වශයෙන් ලෝකයේ ස්‌ථානගත වී ඇති තැන සහමුලින්ම වෙනස්‌ කරනවා කියලයි. එනම් බටහිරට ගැති, බටහිර කඳවුර සමග බැඳුණු, චීනයට විරුද්ධ ස්‌ථානයකට ශ්‍රී ලංකාව මාරු කිරීමට මේ ආණ්‌ඩුවේ උත්සාහයක්‌ තිබෙන බවයි. 

ජෝන් කෙරී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මංගල සමරවීර මහතා මුණගැසුණු විට පවසා සිටියේ ශ්‍රී ලංකාව දමිළ ජනතාවට විරුද්ධව අවුරුදු 30 ක්‌ තිස්‌සේ කළ යුද්ධය හමාර කර සාමය හා සෞභාග්‍ය කරා යැමට ඇති කර ඇති සැලැස්‌ම දැනගැනීමට තමා බොහෝ කැමැත්තෙන් සිටින බවයි. ඒ අවස්‌ථාවේ මංගල සමරවීර මහතා කිවයුතුව තිබුණේ ශ්‍රී ලංකාව කිසිදිනක දමිළ ජනතාවට එරෙහිව යුද්ධ නොකළ බවයි. ශ්‍රී ලංකාව යුද්ධ කළේ ත්‍රස්‌තවාදීන් සමග බවයි. නමුත් මංගල සමරවීර මහතා එවැන්නක්‌ ප්‍රකාශ කළේ නෑ. ඇමරිකා එක්‌සත් ජනපදයේ පත්වී ඇති ශ්‍රී ලංකා සම්භවයකින් යුත් ඉහළ වෘත්තීයවේදීන් අට සියයකට වඩා දැන් මංගල සමරවීර මහතාගේ රැකියාව කිරීමට ඉදිරිපත් වූ සිටිනවා. ඔවුන් ජෝන් කෙරීගේ ඒ සාපරාධී ප්‍රකාශයට එරෙහිව පෙත්සමක්‌ අත්සන් කර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. ඒ උත්සාහයට නායකත්වය දී ඇත්තේ ලොස්‌ඇන්ජලීස්‌හි වාසය කරන ශ්‍රී ලාංකික කාන්තාවක්‌. ඇය පුවත්පත් කලාවේදිනියක්‌ වන හසින ලීලාරත්න මහත්මියයි.

ජෝන් කෙරීගේ මේ ප්‍රකාශය තුළින් ඔහු සිංහල ජනතාව පිළිබඳ කොතරම් දරුණු මතයක එල්බගෙන සිටිනවාද යන්න පැහැදිලියි. ඔහුගේ එම වැරදි මතය නව ආණ්‌ඩුවෙන් නිවැරදි කරන්නට හොඳම අවස්‌ථාව එළඹෙන්නේ ඔහුගේ පැමිණීමත් සමගයි. නමුත් මගේ අදහස නම් ජෝන් කෙරීගේ මේ පැමිණීමත් නරේන්ද්‍ර මෝදි අගමැතිතුමාගේ පැමිණීම හා සමාන එකක්‌ වනු ඇති බවයි. නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා අපේ රටට පැමිණ සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයකු නොකරන දෙයක්‌ සිදුකළා. එනම් ඔහු අපේ පාර්ලිමේන්තුව අමතා අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක්‌ වන අපේ රාජ්‍ය ව්‍යqහය පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක්‌ කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඔබ්බට යා යුතු බවත් පෙඩ්රල් ක්‍රමය ඊට සුදුසු ක්‍රමයක්‌ බවත්ය. ඒ ප්‍රකාශය පිළිබඳව භාරතීය ජනතා පක්‌ෂය බැංගලෝර්හි සිය වාර්ෂික සමුළුවේදී මෝදි අගමැතිතුමාට ප්‍රශංසා කර යෝජනාවක්‌ද මීට සති දෙකකට පමණ පෙර සම්මත කරගන්නා ලදී. ජෝන් කෙරී මහතාත් ශ්‍රී ලංකාවට පැමිණ අප ගත යුතු මග පිළිබඳව දේශනයක්‌ පවත්වනු ඇත. ඇමරිකාවත් ඉන්දියාවත් එකතු වී දැන් මේ කරන්නේ නාස්‌ ලණුවක්‌ දමා අපේ රට මේ නව ආණ්‌ඩුව හරහා තමුන්ට අවශ්‍ය දිසාවට හරවාගෙන යැමයි. එහි එක්‌ ප්‍රතිඵලයක්‌ වන්නේ ලෝකයේ බටහිර රටවල් පවා චීනය දෙසට හැරී ආර්ථික වාසි ලබාගැනීමට උත්සාහ දරන මොහොතකදී කුඩා ශ්‍රී ලංකාව පමණක්‌ එයින් ඈත් වී අපේ ආර්ථික ශක්‌තිය හා අනාගතය පරදුවට තබන ඉතාමත් අදූරදර්ශී මාවතකට පිවිසීමයි.


දිවයින

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. මූ අර වර්ධරාජා එක්ක එක්කහු වෙලා නිශ්චිතව වෙනම රටක් ප්‍රකාශ කල එකා නේද?

    ReplyDelete
    Replies
    1. අනේ නොදන්න රෙද්දවල් කතා නොකර ඉඳින්.....
      නිශ්චිතව :) හික් හික්
      උඹ දන්න රෙද්ද....

      Delete
    2. අනේ අපිටත් දැනගන්න කියල දෙන්නකෝ බයියෝ.
      කැමතිනම් (අ)නාථගෙන් අහල හරි කමක් නැහැ.

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions