6/18/2016

ජවිපෙට එළිය දී නිවී ගිය රතු තරුව, සෝමවංශ අමරසිංහ

කතෘ:යුතුකම     6/18/2016   No comments

-ධර්මන් වික්‍රමරත්න-ජවිපෙට එළිය දී නිවී ගිය රතු තරුව, සෝමවංශ අමරසිංහ : ධර්මන් වික්‍රමරත්න විසිනි - ඉදුරුවේදී 1943 ජුනි 13වැනිදා උපන් ඒ. කේ. සෝමවංශ අමරසිංහ පයාගල ඈතගම ගල්කනුව පාරේ පදිංචිකරුවෙකි. වැඩිමහල් සොහොයුරන් 4ක් සහ සොහොයුරියන් 3කි. (දැනට ඉන් 2ක් ජීවතුන් අතර නැත) පවුලේ බාලයා වූයේ සෝමවංශය. ඔහුගේ පියා කලක් පොලිසියේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කල ජෝන් අමරසිංහය. මව ගෘහණියකි. කළුතර කාන්තා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ සෝමවංශ කළුතර විද්‍යාලයට ඇතුල්වූයේ දෙවැනි ශ්‍රේණියටය. උසස්පෙළ සමත්වීමෙන් පසු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරියෙකු වශයෙන් ගල්ගමුව අභ්‍යාස විද්‍යාලයේදී 1963දී පුහුණුව ලැබූ ඔහු පසුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියෙකු වශයෙන් ගාල්ල, කල්මුණේ, බිබිල, රාජාංගනය සහ කොළඹද සේවය කළේය.

සෝමවංශ, ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) සොයාගෙන ගිය අයෙකි. ඒ 1969 පෙබරවාරි මසය. රැඩිකල් තරුණයින් අතර දැවැන්ත පිබිදීමක් ඇතිකරමින් රෝහණ විජේවිරගේ චේගුවෙරා ව්‍යාපාරය එකල රහසිගතව ප්‍රචලිත වෙමින් පැවතිණි. සෝමවංශ ජවිපෙට 1969දී සම්බන්ධ කළේ හෙට්ටි ආරච්චිගේ නවරත්න බණ්ඩාරය.(71 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ 15වැනි විත්තිකරුවූ හෙට්ටිආරච්චිගේ කුලරත්න බණ්ඩා පියසිරිගේ සොහොයුරා වන නවරත්න බණ්ඩා 1946 දෙසැම්බර් 04 උපන් අතර 2016 අප්‍රේල් 21වැනිදා මිය ගියේය). කාර්මික නිළධාරි පරණවිතාන විසින් සෝමවංශ පිළිබදව නවරත්න බණ්ඩාට දැනුම්දුන් අතර පසුව මරදානයේ දේවානම් පියතිස්ස මාවතේ පළමු සාකච්ඡාවෙන් පසු ව්‍යාපාරයට එක්වීමේ කැමැත්ත ඇතිවිය. කාසල් වීදියේ පිහිටි ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ දනෝරිස් අයියාගේ වෘත්තීය සමිති කාර්යාලයේ පැවති ජවිපෙ පන්තිවලට සෝමවංශ සහභාගි විය. රැකියාව අතහැර 1969 අවසානයේදී පූර්ණකාලීනව ජවිපෙට එක්වූ සෝමවංශ පසුව තමාට අයත් 5 ශ්‍රී 6022 දරණ හොන්ඩා යතුරු පැදියද පක්ෂයට පරිත්‍යාග කළේය.

ඉන් වසර 21කට පසු 1990දී ජවිපෙ 4වැනි නායකයා බවට පත්වූ සෝමවංශ අමරසිංහ 2014 පෙබරවාරි 2 දක්වා වසර 23ක් නායකයා වශයෙන් කටයුතු කළේය. පසුව 2015 අප්‍රේල් 16වැනිදා ජවිපෙන් ඉවත්වූ සෝමවංශ ජනතා සේවක පක්ෂය නමින් පක්ෂයක් පිහිටුවනු ලැබීය. එය මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 53ක් නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය සමඟද අත්වැල් බැඳ ගත්තේය. ඉකුත් ජුනි 15වැනිදා අලුයම රාජගිරියේ බුත්ගම සිය සොහොයුරෙකුගේ නිවසේදී දිවි සැරිය නිමකල සෝමවංශ අමරසිංහගේ අවසන් කටයුතු ජුනි 18 සෙනසුරාදා පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. දේහය බත්තරමුල්ල පැලවත්තේ දකුණු තලංගම සිංහපුර 35 දරණ ස්ථානයේ සොහොයුරියගේ නිවසේ ජුනි 16 සිට තැන්පත්කර තිබූ අතර දහස් ගණන් ජනයා එයට අවසන් බුහුමන් දක්වා තිබිණි.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු වශයෙන් 1984 පත්වූ සෝමවංශ අමරසිංහ නොහොත් සිරි අයියා ජවිපෙ 2වැනි කැරැල්ලේදී දිවි බේරාගැනීමට සමත්වූ එකම දේශපාලන මණ්ඩල සභිකයාය. ජීවත ආරක්ෂාව සඳහා 1990 පෙබරවාරි මස ඉන්දියාවට බෝට්ටුවකින් පලාගිය ඔහු ජවිපෙ යළි ප්‍රතිසංවිධානය කරමින් 2014 පෙබරවාරි 2වැනිදා දක්වා ජවිපෙ නායකයා වශයෙන් කටයුතු කළේය. අනූව දශකය මුල් භාගයේදී සෝමවංශ අමරසිංහගේ දුෂ්ටියේ දුබලතාවන් හේතුවෙන් විදේශගත දේශපාලන රැකවරණය ඉල්ලා සිටි බොහෝ පිරිසකට බලවත් හානිකර ප්‍රතිඵල උදාවූවද ජවිපෙ යළි ගොඩනැගීමෙහිලා ඔහුගෙන් ඉටුවූ සේවය අසමසමය. රෝහණ විජේවීර ඇතුළු දේශපාලන සඟයන් පවාදීම සහ ජවිපෙ 2වැනි කැරැල්ල අවසානයේදි ඔහු රඟපෑ භූමිකාව පිළිබඳව විවිධාකාර චෝදනා පැවතියද එහි කිසිදු සත්‍යතාවයක් නොමැත.

සෝමවංශ අමරසිංහ මවිබිමට වඩාත් අදරැති මිනිසෙකු වන්නේ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට බේරාගැනිම සඳහාවු ජාතිකවාදී අරගලය ඔස්සේ සමාජවාදයට ජවිපෙ මතවාදි අරගලය සමාජගත කල උපායමාර්ගික විද්වතා ලෙසය. පොදුජන එක්සත් පෙරමුණ සමඟ ජවිපෙ 2001දි පරිවාස ආණ්ඩුවක් පිහිටනු ලබන්නේද, ශ්‍රිලනිප සමඟ එක්ව 2004දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහි කරන්නේද, 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහායදි ඔහුගේ නායකත්වය යටතේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය වසර 30කට පසු පරාජය කරන්නේද සෝමවංශගේ නායකත්වය යටතේ ජවිපෙ ගත් තීන්දු තීරණ නිසාවෙනි. ජවිපෙ සමඟ කිසිදා එකතු නොවන ජාතිකවාදී බලවේගයන් එක්කලේ ඔහුය.

වසර 1971 අප්‍රේල් 5 කැරැල්ලේදී සෝමවංශට නියමවී තිබුණේ එවකට අගමැතිනී සිරිමා බණ්ඩාරනායක මැතිණිය රොස්මිඩ් පෙදෙසින් පැහැරගෙන යෑමේ කණ්ඩායමේ දෙවන නායකත්වය සහ අගමැතිනිය පැහැරගෙන යන රිය පැදවීමය. බොරැල්ලේ රිට්ස් සිනමා ශාලාව අසල වසර 1971 අප්‍රේල් 04වැනිදා රාත්‍රි රාත්‍රී 10.30වන තෙක් රොස්මිඩ් ප්‍රහාරයට එක්වීමට සෝමවංශ, බෝම්බ බැගයක්ද රැගෙන සිටියද අන් කිසිදු නායකයෙකු සහ සාමාජිකයෙකු පැමිණියේ නැත. යළි කුලී රථයකින් සෝමවංශ බෝඩිමට පැමිණියේය. අගමැතිනි බණ්ඩාරනායක පැහැර ගැනීමේ ප්‍රහාරයට එඩේරමුල්ලේ සරත් සහ රාජා, සෝමවංශ අමරසිංහ, නිමල් ඇතුළු කිහිප දෙනෙක්ම සම්බන්ධවි සිටි අතර ඔවුන් ‍සමගින්ම අප්‍රේල් 5වැනිදා රාත්‍රී සෝමවංශද අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී එම ඇතුළු පිරිස තදබල වධහිංසාවටද ලක්විය. එම ප්‍රහාරයට සම්බන්ධවූ ලොකු අතුලගේ ඥාතියෙකුවූ එඩිසන් ගුණතිලක ඒ පිළිබද තොරතුරු සිය පියා මගින් එජාපයේ ජේ.ආර්. ජයවර්ධනයට දැන්වූ විට ඔහු අගමැතිනිය දැනුවත් කිරීම මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය. පසුව අගමැතිනිය පොලිස්පතිගෙන් කල විශේෂ ඉල්ලීමක් පරිදි එඩිසන් පසුව පොලිසියට බඳවාගත් අතර ගඩාෆි නමින් හැදින්වූ ඔහු පොලිස් අධිකාරි දක්වා උසස් විය.(ජවිපෙ 2වැනි කැරැල්ලේදී වයඹ පළාතේ කැරළිකරුවන් සිය ගණනකගේ ඝාතන වලටද ඔහුට 1989දී චෝදනා එල්ල විය) 71 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුව සමඟ තවත් පරික්ෂණ නඩු 140ක් සිදුකල අතර එහි දෙවන නඩුව වූ රොස්මීඩ් පෙදෙස නඩුවේ 3වැනි විත්තිකරු වූයේ සෝමවංශය. ඔහු වැලිකඩ සිරගෙදර එච්. වාට්ටුවේ රඳවා තැබිණි.

අප්‍රේල් 71 අරගලයෙන් පසුව කල්ලි සහ මතවාද මැද ජවිපෙ දේශපාලනය ඉරි තැලී තිබිණි. සෝමවංශ ප්‍රථමවරට රෝහණ විජේවීර සමඟ කථාකළේ සිරගෙදරදී 1975දීය. අනතුරුව හදිසි නීතිය 1976 දෙසැම්බර් ඉවත් කිරිමත් සමගම කෙලී සේනානායක, උපතිස්ස ගමනායක, සෝමවංශ අමරසිංහ, සමරප්පු‍ලිගේ සෝමසිරි නොහොත් රාගම සෝමේ ඇතුළු කිහිප දෙනෙකු නිදහස්වූ අතර සෙසු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සහ පක්ෂය ප්‍රතිසංවිධානය කරමින්ද ඔවුහු ක්‍රියාකාරි විය. මරදාන දේවානම් පියතිස්ස මාවතේ සිරිපාල අයියාගේ නිවස එකල ඔවුන්ගේ මූලස්ථානය විය. නියමුවා පුවත්පතද ප්‍රචාරක රැළිද ඒ අනුව ආරම්භ විය. වසර 1977 නොවැම්බර් 02වැනිදා විජේවීර නිදහස් කරන තෙක් දේශපාලන වැඩසටහන් සංවිධානය කිරීමටද අන් අය සමඟ ඔහු එක්විය. විජේවීරගේ නිදහස වෙනුවෙන් සහ රටපුරා ජවිපෙ ගොඩනැගීම සිය උරමතට ගෙන අසීමිත කැපවීම් කල කිහිපදෙනා අතර සෝමවංශ ප්‍රමුඛයෙකු විය. ජවිපෙ 1978 සිට 1983 පක්ෂ තහනම දක්වා සෝමවංශ මධ්‍යම කාරක සභිකයෙකු විය.

කළු ජූලිය 1983 ජුලි 24 ආරම්භ වීමෙන් පසු 1983 ජුලි දෙමළ සංහාරය පිළිබදව එල්ලවූ විවේචනවලට ප්‍රතිඵලයක් වශයෙන් එය ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් බවට හංවඩු ගසමින් ජවිපෙ තහනම් කරන බවට විජේවීරට සැලවූයේ 1983 ජුලි 29 දහවල්ය. අසල්වැසි නිවසක සිටි දිමුත් මල්ලී අත පණිවිඩයක් යවන විජේවීර, ජවිපෙට අයත් කැබ් රථයෙන් චිත්‍රාංගනී සහ දරු දෙදෙනා සමඟින් තංගල්ල බලා පිටත්විය. නිවසේ කිසිවෙකු නොසිටි බැවින් සියල්ල වසා යතුරු දමන ලදී. සෝමවංශ අමරසිංහද ගමනට එක්වූ අතර කළුතරදි ඔහු බැස ගියේය. ජවිපෙ ඇතුළු වාමාංශික පක්ෂ 3ක් රජය මගින් 1983 ජුලි 30 වැනිදා තහනම් කල බව විජේවීරට ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණේ තංගල්ලේ සිටියදීය. මෙම හේතුව නිසා ජවිපෙ යළි රහසිගත දේශපාලනයට තල්ලුවිය.

එජාප ආණ්ඩුව මගින් 1983දී ජවිපෙ තහනම් කිරීමත් සමඟ නිකුත් කල පොලිස් දැන්වීමේ ඡායාරූප අතර සෝමවංශ අමරසිංහගේ ඡායාරූපයද විය. තවත් පක්ෂ ක්‍රියාකාරියන් 380කගේ ලේඛනයක්ද ආරක්ෂක අංශ සතු විය. තහනමත් සමඟ පක්ෂ ක්‍රියාකාරිකයින් සමඟ රහසිගතව කටයුතු කිරීම ඇරඹූ ඔහු 1984දී කොළඹට පැමිණ යළි දේශපාලන කටයුතු කරගෙන ගියේය. 2වැනි කැරැල්ලේදී හෙළිදරව් වු මුල්පෙලේ නායකයින් කොළඹින් පිට ජීවත්වූවද නගරය තුළ රැදෙමින් ඔහු පැවරූ වගකීම් ඉටු කළේය. ලියුම්කරුට සෝමවංශව 1984 මාර්තු මස හදුන්වා දෙන්නේ ජවිපෙ ශාන්ත බණ්ඩාර විසිනි. සෝමවංශ බොහෝ විට ලියුම්කරු හමුවීමට පැමිණියේ හිමිදිරි උදෑසනය. ඉංග්‍රීසි බසින්ද කටයුතු කිරීමට සමත් සෝමවංශ බටහිර සාහිත්‍ය ඇසුරක් සහ කලාත්මක ඥානයක්ද අත්පත්කරගෙන සිටි හෙයින් බොහෝ කටයුුතු දෙස නිරවුල් මනසකින් බැලූවෙකි. පක්ෂ තහනමින් පසු මානව හිමිකම්, සංස්කෘතික, වෘත්තීය වැනි ක්ෂේත්‍රයන්හි බුද්ධිමතුන් සමඟ 1989 ජුලි දක්වා නිරතුරුව සම්බන්ධතා පැවැත්වූ ඔහු ජවිපෙ නායකයින් සහ සෙසු බහුජන සංවිධාන නායකයින්ද සම්බන්ධීකරණය කළේය. කලින් පක්ෂ තහනමට පෙර බුද්ධිමතුන් සම්බන්ධීකරණය කළේ ලයනල් බෝපගේය. කොළඹ බොහෝ ජවිපෙ සංවිධාන කටයුතුවලදී සෝමවංශ අදිසි නායකයෙකු විය. සෝමවංශගේ වැඩිමහල් සොහොයුරිය විවාහවී සිටියේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ කිට්ටුම හිතවන්තයා වූ සිරිසේන කුරේ ඇමතිවරයා‍ගේ වැඩිමහල් සොහොයුරා සමඟය. සෝමවංශගේ රතුපාට සහ සුදුපාට කාර් රථය එකල බෙහෙවින් ජනප්‍රියය. අත් දිග කමිස වලින් නිරතුරුව සැරසී සිටියේය. සෝමවංශට භීෂණ සමයේ සැඟව සිටීමට හෝ රට පැනයෑමට සිරිසේන කුරේ කිසිදු උදව්වක් නොකලද 1984දී රාජගිරිය පොලිසිය මගින් කල අත්අඩංගුවට ගැනීමේදී නිදහස්කර ගැනිමට මුල්විය.

අප්‍රේල් 5 සංවත්සරයේ 11වැනි සමරුව 1982 පැවැත්වීමේදී ජවිපෙ නායක රෝහණ විජේවීර කියා සිටියේ තමා සහ දේශපාලන මණ්ඩල සභිකයින් මැග්නිෆිෂන්ට් සෙවන්(උද්කෘෂ්ඨවත් හත්දෙනා) යන ඇමරිකානු කව්බෝයි චිත්‍රපටියේ රැම්බෝවරුන් නොව ජනතාව අතරින් මතුවී ඔවුන් වෙනුවෙන්ම අරගල කරන ඕනෑම මොහොතක මියයෑමට සූදානම් සුවිශේෂි පුද්ගලයින් බවය. එහෙත් ජවිපෙ 1983 ජුලි පක්ෂ තහනමත් සමඟම විජේවීර සහ ගමනායක හැර දේශපාලන මණ්ඩලයේ බහුතරයක් ජවිපෙ හැර ගියෝය. නැතිනම් අක්‍රීය විය. ඇතමෙකු පළා ගියේය.

ඉන් පසු විජේවීර‍‍ගේ මැග්නිෆිෂන්ට් හත්දෙනා වූයේ 1984 අප්‍රේල් මස සිට අලුත් ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින් වූ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, සුමිත් අතුකෝරල, පියදාස රණසිංහ, ගුණරත්න වනසිංහ, සෝමවංශ අමරසිංහ, සහ නන්දතිලක ගලප්පත්තිය. එම වසරේ අග භාගයේදී ජවිපෙ දේශපාලන මණ්ඩලයට ඩී.එම්. ආනන්ද, සමන් පියසිරි ප්‍රනාන්දු සහ ශාන්ත බණ්ඩාරද පත්විය. පසුව 1985 මුල් භාගයේදී එච්.බී. හේරත්, ආර්.බී. විමලරත්න සහ ලලිත් විජේරත්නද එක්වීමෙන් ජවිපෙ දේශපාලන මණ්ඩලය 13ක් විය. ජවිපෙ දෙවැනි කැරැල්ලේ ජවිපෙ ප්‍රධාන නායකයින් වූයේ මෙම 13 දෙනාය. විජේවීරට වඩා සෝමවංශ මසකින් වැඩිමහල් නිසා සිරි අයියා යන නමද සෝමවංශට බෞතිස්ම කළේ විජේවිරය.

ජවිපෙ 2වැනි කැරළි සමයේදී සෝමවංශ පෙනී සිටියේ රෙජිනෝල්ඩ් පැට්ට්‍රික්, රෙජී අංකල්, මයිකල්, ,ෆෑන්ලින් ඩැ‍නියෝ, නිමල් බණ්ඩාර දිසානායකෙ නම් වලින්ද හැදින්විණි. සෝමවංශ අවාහ වූයේ කළුතර අයිරාංගනී මාලනී මුණසිංහ ගුරුවරිය සමඟය. විවාහය සිදුවූයේ පාසැල්වියේ සිට ඇතිවූ ප්‍රේම සම්බන්ධයකිනි. එක්දරු පියෙකි. වාරියපොල නිළඹ ප්‍රදේශයේ අරලිය වත්ත ඉඩම සහ බටුවිට ගෝනපොල හන්දියේ නිවසද ඇටම්පිටිය පාරේ නෙළුව කටුගහ වලව්ව පක්ෂය වෙනුවෙන් සෝමවංශ මිලදී ගෙන තිබ්බේ රෙජිනෝල්ඩ් පැට්ට්‍රික් නමිනි. එම ඉඩමට ලක්ෂ තුනාමාරක් ගෙවා තිබිණි. තවත් නිවසක් බටුවිල ගෝනපොල හංදියෙන් මිලදීගෙන තිබූ අතර එයට ගෙවූ මුදල 150,000කි. ඔප්පු අංක 1627 අක්කර 13කින් යුත් බණ්ඩාරවෙල නෙළුව වත්ත මිලදී ගැනීම සදහා වැයකල මුදල රුපියල් 680,000කි. එයද මිලදී ගෙන ඇත්තේ රෙජිනෝල්ඩ් පැට්ට්‍රික් නමිනි.

රෝහණ විජේවීර සිය දරු පවුල සමඟ හපුතලේ වල්හපුතැන්න නිවසට කැදවාගෙන යන්නේද සෝමවංශය. ඔහු විජේවීර සමඟ ඔහුගේ මස්සිනා ලෙස රඟපාමින් කටයුතු කල බව විජේවීරගේ බිරිඳ ශ්‍රීමතී චිත්‍රාංගනී වැලිසරදී ලියුම්කරු සමඟ මුහුණට මුහුණලා කල සාකච්ඡාවකදී පැවසීය. විජේවීරගේ දරුවන්ගේ පාසැල් ඇදුම් මිලදී ගැනීමට ඔවුන් කැඳවාගෙන යන්නේද සෝමවංශය. විජේවීර උලපනේ නිවසට යන්නේ 1988 මාර්තු මාසයේදීය. පක්ෂයේ නායක රෝහණ විජේවීරගේ අවසාන කාලයේ අභ්‍යන්තර කවයේ හොදම මිතුරන් වූයේ එච්.බී හේරත් සහ සෝමවංශය.

විජේවීරගේ දරු දෙදෙනා වන 1981 ජනවාරි 12වැනිදා උපන් දසුන් ඊසා සහ 1982 අප්‍රේල් 5වැනිදා උපන් සුපුන් චාගාද සමඟින් රෝහණ ගේ භූගත දේශපාලනයට 1984 අප්‍රේල් 29වැනිදා සිට එක්වීමට චිත්‍රාංගනීට සිදුවිය. ප්‍රථමයෙන් හල්දුම්මුල්ලේ හාල්ඇටතැන්නේ නිවසකද 1987 ජුලි මස සිට බණ්ඩාරවෙල නෙළුව ලෙව්ගොඩවත්තේද 1988 සැප්තැම්බර් 1වැනිදා සිට 1989 නොවැම්බර් 12වැනිදා තෙක් උලපනේ ශාන්ත මේරි වත්තේද පදිංචිව සිටි‍යහ. ඒ අතරතුර පාදුක්කේ මීගොඩ සහ බණ්ඩාරගම උපතිස්ස ගමනායක නිවසේද මාසය බැගින් ගතකර තිබිණි. මෙම කාලය තුළ නිවසේ කටයුතුවල සහායට ජවිපෙ සාමාජිකාවන් වූ මාතර රමණි සහ තංගල්ලේ කාන්තිද පසුව මැණිකේ ‍නොහොත් කළුතර අක්කාද හම්බන්තොට චමිලා සෙව්වන්දිද, එක්වී තිබිණි. චිත්‍රාංගනීගේ ව්‍යාජ නමවූ සමරකෝන් නමට 15 ශ්‍රි 7920 මිට්ෂුබිෂි ලාන්සර් රථය රුපියල් 220,000කටද අක්කර 5කින් යුත් උලපනේ ශාන්ත මේරි වත්ත රුපියල් 375,000කට ජවිපෙ මගින් මිලදී ගෙන තිබිණි. මින් වැඩි කොටසක් සම්බන්ධීකරණය කළේ සෝමවංශය.

කොළඹ බහුජන සංවිධාන සමඟ සෝමවංශ නිරතුරුව පක්ෂ සංවිධානයේ වැඩ කළේය. බොරැල්ල ගෝතමී විහාරයේදී නිරතුරුව ඔහු දක්නට ලැබිණි. ගෝතමී විහාරයට අවිගත් කණ්ඩායමක් 1988 සැප්තැම්බර් 07වැනිදා කඩා වැදී සියලු ලේඛන අත්අඩංගුවට ගෙන මානව හිතවාදී භික්ෂු සංවිධානයේ භික්ෂූන් 8 දෙනෙකු පැහැර ගෙන ගිය අවස්ථාවේදී එකල භූගතව සිටි සෝමවංශ අමරසිංහ ලන්ඩනයේ ඇම්නෙස්ටි ආයතනයට දුරකතන පණිවිඩයක් දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම ආයතනය ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නට ඒ සැණින් කථා කර ඔවුනට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා සිටියේය. පසුව කොළඹ එජාප නගරාධිපති රත්නසිරි රාජපක්ෂ මැදිහත් වී ඔවුන් බේරා ගත්තේය. ජනාධිපතිවරණය 1988 දෙසැම්බර් 19 පැවැත්වීමේදී ඒ වෙනුවෙන් 1988 ජුලි මස ගොඩනැගූ ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ වගන්ති 45කින් යුත් දේශපාලන වැඩපිළිවෙල පිළිබදව ශ්‍රිලනිප ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ 8ක සාකච්ඡාවන්ට ජවිපෙ නියෝජනය කළේද සෝමවංශ අමරසිංහගේ සමඟ ආනන්ද ඉඩමේගමය. ඉන්දිය තානාපති කාර්යාලයේ නිලධාරින් සමඟ ජවිපෙ වෙනුවෙන් 1989 නිල නොවන සාකච්ඡාවට සහභාගිවූ ඉහළ නායකයින් 3දෙනා අතර ඔහුද විය. ජවිපෙ 2වැනි කැරැළි සමයේ රටින් පළා යෑමට පෙර ලියුම්කරුට සෝමවංශ අවසාන වරට හමුවූයේ 1989 ඔක්තෝබර් මුලදීය.

රෝහණ විජේවීර ගේ නායකත්වයෙන් ජවිපෙ අවසාන දේශපාලන මණ්ඩල රැස්වීම තිබුණේ 1989 නොවැම්බර් 11,12 සහ 13 යන දිනයන්හීදී ගලහ නිවසේදීය. අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඩී. එම්. ආනන්ද සහ ගුණරත්න වනසිංහට එයට සහභාගිවීමට නොහැකි විය. මෙය සෝමවංශගේ සැකයට බඳුන් වූ අතර ඒ සඳහා ආරක්ෂාකාරීව පියවර ගන්නා ලෙසට විජේවීරට ඔහු දැනුම් දුන්නේය. එහෙත් එය විජේවීර සුළුකොට තකයි. රජය මගින් 1989 නොවැම්බර් 12 රාත්‍රි ඇදිරි නීතිය පනවන අතර ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීම නොවැම්බර් 12 දවල් වනවිට නිමා කළේය.

එහිදී සමන් පියසිරි ප්‍රනාන්දු, ලලිත් විජේරත්න, උපතිස්ස ගමනායක සහ රෝහණ විජේවීර මෝටර් රථයකින් පිටත් විය. ශාන්ත බණ්ඩාර වෙනමම ගියේය. පියදාස රණසිංහ සහ සෝමවංශ අමරසිංහ වෙනමම රථයකින් මඩවල ප්‍රදේශය බලා පිටත් වන්නේ ආරක්ෂාවට තබා තිබූ මුදල් වගයක් ලබාගැනීමටය. ආපසු එන අතරෙමගදී සෝමවංශ අමරසිංහ ට්‍රිනිටි කන්දෙන් බැස ගියේය. ගලහ බලා ආපසු පැමිණෙන අතරතුරදී පියදාස රණසිංහ නුවරදී අත්අඩංගුවට ගනු ලබන්නේ ක්‍ෂණික විහිදුම් බලකායේ අණදෙන නිලධාරි ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායම විසිනි. එහිදී පියදාස රණසිංහ සමඟ ආරක්ෂක අංශ ගලහ වතුයායට පස්වරු කඩා පනී. එහි දේශපාලන මණ්ඩල සභික එච්.බී. හේරත් සමඟ බෙලිසිරාද සිටියේය. එදිනම සවස විජේවීරද, පසුදින උදේ ගමනායකද අත්අඩංගුවට පත්වේ. විජේවීර, හේරත් සහ ගමනායක 1989 නොවැම්බර් 13 වැනිදා ඝාතනයට ලක්වේ. සෝමවංශගේ ඉව හේතුවෙන් ඔහු උපක්‍රමශීලිව කටයුතු කිරීම නිසා තවදුරටත් ජීවත්වීමට වරම් ලැබිය.සෝමවංශගේ බිරිඳ සහ පුත්‍රයා ආරක්ෂාවට 1989 අප්‍රේල් මාසයේදී ජපානයට යවනු ලැබූවද යළි සැප්තැම්බරයේදී ඔවුහු ශ්‍රී ලංකාවට පැමිණියහ. පසුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අසල මුස්ලිම් ජාතින්ට අයත් නිවසක යටි මහලේ ඔවුන් නතරවී සිටියහ.

රෝහණ විජේවීර සහ ගමනායකගේ ඝාතන වලින් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වශයෙන් පත්වූයේ සමන් පියසිරි ප්‍රනාන්දුය. ඒ ජවිපෙ දේශපාලන මණ්ඩලය 1989 නොවැම්බර් 28වැනිදා රත්නපුර කුරුවිටදී ගත් තීරණය අනුවය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින්ගෙන් ඉතිරිව සිටි සමන් පියසිරි, ශාන්ත බණ්ඩාර, ලලිත් විජේරත්න ඇතුළු පිරිසක් එයට සහභාගි වු අතර දේශපාලන සහ සංවිධානාත්මක වැඩ සම්බන්ධයෙන් ඉතිරිව සිටි දක්ෂම පුද්ගලයා සමන් පියසිරි බැවින් සෝමවංශගේ සහායද ඊට හිමිවිය. එහෙත් සෝමවංශ දරු පවුල සමඟින් ආරක්ෂිතව මීගමුව, කැලණිය සහ කොළම තදාසන්න ප්‍රදේශවල ආරක්ෂිතව ගත කලද සම්බන්ධකම් ලලිත් විජේරත්න හරහා පවත්වාගෙන යනු ලබයි. සමන් පියසිරිගේ ඝාතනයෙන් පසු ඉතිරිව සිටි දේශපාලන මණ්ඩල සභිකයින්ගේ අදහස් මත ලලිත් විජේරත්න ජවිපෙ තෙවැනි නායකයා ලෙස පත්කර ගත්තේය. ඒ 1989 දෙසැම්බර් 30වැනිදාය. ලලිත් විජේරත්න ජවිපෙ 3වැනි නායකයා ලෙස සිටියදී 1990 ජනවාරි 23වැනිදා ඝාතනයට පත්විය.

සෝමවංශ ආරක්ෂිත පියවරයක් ලෙස රටින් පලායාමට තීරණය කරන්නේ අනතුරුවයි. ඔහුට මෙහිදී උදව් කරන්නේ මාතලේ විකී නොහොත් සෙල්වාය. ඊස්වරන් බ්‍රදරස්හි තොග කළමනාකරුවෙකු වූ විකී නොහොත් වික්‍රමසිංහ ජවිපෙ මුල් පෙලේ ක්‍රියාකාරිකයෙකි. දෙමළ මිනිසෙකු සේ පොට්ටු ගසා වේට්ටියක් ඇදගත් සෝමවංශ, වික්‍රමසිංහ සමඟින් ඉන්දීය තානාපති කාර්යාලයට ගොස් ඉන්දියාවට යෑමට වීසා ලබාගනී. එදින ගෝල්ෆේස් හෝටලට ඔහු පැමිණිද කිසිවෙකු එම ඇදුම නිසා හදුනා ගන්තේ නැත. විජේවීර ඝාතනය වීමෙන් පසු 1989 නොවැම්බර් 23 දින සෝමවංශ අමරසිංහ මුදියන්සේලාගේ නිමල් බණ්ඩාර දිසානායක නමින් ජාතික හැදුනුම්පතක්ද ලබා ගෙන තිබිණි. එහි අංකය වුයේ 4707211049v. එයට තෙදිනකට පසු එම නමින් සියළු රටවල් සදහා වලංගු ගුවන් බලපත්‍රයකටද අයදුම් කර තිබිණි. එහි පදිංචි ලිපිනය වූයේ කුරුණෑගලය.

එහෙත් අවසානයේ දී ගුවනින් යෑම අනතුරුදායක හෙයින් බෝට්ටුවක් මගින් මුහුදින් ඉන්දියාවට පලා යෑමට සෝමවංශ තීරණය කරයි. කල්පිටියේ බෝට්ටු හිමියෙකුට රුපියල් 50,000ක් ලබාදී ඇන්ජින් දෙකක් සවිකල බෝට්ටුවකින් ඔහු ඉන්දියාවට පලා යන්නේ 1990 පෙබරවාරි මසදීය. සෝමවංශගේ බිරිඳ අයිරාංගනී සහ පුතා රියාද් නුවර ජවිපෙ කමිටුවේ සංවිධායකවරයෙකු වන ජයසිංහගේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවේ ත්‍රියේන්ද්‍රම් නුවර නිවසකට 1989 දෙසැම්බර් 25 යෑමට සමත් විය. හික්කඩුවේ රන්සිරි ගේ සම්බන්ධීකරණයෙන් සෝමවංශ අමරසිංහ බෝට්ටුවකින් කුලසේකර පට්නම් වෙරළ හරහා ඉන්දියාවට ගොස් තියේන්ද්‍රම්හිදී සිය බිරිඳ අයිරාංගනී සහ ප්‍රත්‍රයා හමුවූයේ 1990 පෙබරවාරි 21 වැනිදාය. සෝමවංශ අමරසිංහ රට යැමට උදව්කල මාතලේ විකී නොහොත් කොටහේනේ වික්‍රමසිංහ සහ යුධ හමුදාවේ කපිතාන් නිශ්ශංකට මහාධිකරණය ඉදිරියේ නඩු පවරයි. වික්‍රමසිංහ වරද භාර ගත් අතර වසර 5කට අත්හිටවූ සිර දඬුවමක් නියම විය. කපිතාන් නිශ්ශංකට වසර 15ක අත්හිටවූ සිර දඬුවමක් නියම වූ අතර පසුව අභියාචනයේදී ඔහු නිදහස් වේ. කපිතාන් නිශ්ශංක වරෙක ලියුම්කරුට බ්‍රිතාන්‍යයේ චන්දන බණ්ඩාර සමඟ හමුවූ අතර වික්‍රමසිංහද ලියුම්කරුට කිහිප වරක් හමුවිය.

ඉන්දියාවේ නවාතැන සම්බන්ධීකරණය කල කුරුණෑගල මැල්සිරිපුර පදිංචිකරුවෙකු වූ සෞදි අරාබියේ ජවිපෙ රියාද් කමිටුවේ සංවිධායක ජයසිංහ ගමන් බලපත්‍රයක් සැදිමට කටුනායකට පසුව පැමි‍ණීමේදී උපැවිදිවූ අමරේගේ ඔත්තුවක් අනුව අත්අඩංගුවට පත්ව ඝාතනය විය.පසුව සෝමවංශ 1990 ඔක්තෝබර් මස තායිලන්තයට දරු පවුල සමඟ පැමිණ එක්සත් ජාතින්ගේ දේශපාලන රැකවරණ ලබාගත්තේය. පසුව 1990 නොවැම්බර් මස දරුපවුල සමඟ ඉතාලියට ගොස් වල්පොලගේ ධර්මසිරිගේ නිවසේ නවාතැන් ගනු ලැබීය. ධර්මසේන 71 කැරළිකරුවෙකුවූ අතර 1980දී රෝමයට පැමිණි අයෙකු විය. අනතුරුව ඉතාලියේ සිට ප්‍රංශය හරහා බ්‍රිතාන්‍යයට යන සෝමවංශ ජවිපෙ කටයුතු වඩාත් හොදින් ප්‍රතිසංවිධානය කරනු ලබයි.

ජවිපෙ මෙම දේශපාලන සභිකයින් 13 සියලු දෙනා අතරින් අවසානයේ ජීවත් වීමට ඉතිරි වූයේ සෝමවංශ අමරසිංහ පමණි. දෙවන කැරැල්ලේදී මධ්‍යම කාරක සභිකයින් 30 දෙනා අතර 1971 අප්‍රේල් කැරැල්ලට සහභාගි වූ 16 දෙනෙකු ඇතුළත් විය. මධ්‍යම කාරක සභිකයින් අතරින් සිව් දෙනෙකු උපාධිධාරින්ය. තිදෙනෙකු උපාධි අපේක්ෂකයින් වේ. වයස 20ත් 30ත් අතර සමාජිකයින් ගණන 5කි. වයස 31ත් 40ත් අතර සාමාජිකයින් 23කි. වයස 41ත් 50ත් අතර 2කි. මධ්‍යම කාරක සභා 30 දෙනා අතරමින් දෙවන කැරල්ල නිමවන විට 24 දෙනෙකු ඝාතනය විය. ජීවිතය බේරාගැනීමට හැකි වූයේ 6 දෙනෙකුට පමණි.

ජවිපෙ 1994දී ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි දුෂ්කර ගමන් මාර්ගයේදී කැඩී දසත විසිරී ගොස් සිටි ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් යළි නාභිගත කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් සිදුකල 'ගුලිය'වූ පේරාදෙණියේ වෛද්‍ය සිසු කමල් දේශප්‍රිය, පේරාදෙණියේ කෘෂි විද්‍යා සිසු නන්දන ගුණතිලක, සේනාධීර ගුණතිලක, ජී. කුලරත්න, චන්ද්‍රසේන විජේසිංහ සමඟද පසුව එක්වූ විමල් විරවංශ, වස්කඩුවේ වෛද්‍ය හේමන්ත ද සිල්වා, දන්ත වෛද්‍ය චන්දන ජයකොඩි ඇතුළු පිරිස සමඟද නිදහසින් පසු 1991දී විජේරාම මංසන්දියේ කාමරයක් කුලියට ගෙන සිටි ප්‍රේමකුමාර් ගුණරත්නම් සමඟද විදේශගතව සිටි පක්ෂ නායක සෝමවංශ අමරසිංහ සබඳතා තරකර ගත්තේය. සෝමවංශගේ උපදෙස් අනුව පක්ෂයේ තෝරාගත් පිරිස් හමුවී සබඳතා අලුත් කරගත් අතර ජවිපෙ පක්ෂයක් ලෙස විධිමත්ව ගොඩනැගුනේ ඉන් අනතුරුවය.

අළු දූවිලි මතින් නැගිටිනු ජවිපෙ 1994 අගෝස්තු 16වැනිදා පැවති මහා මැතිවරණයෙන් ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ නාමය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ මල්බදුන සළකුණෙන් තරඟකර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් දිනාගැනීමට ජවිපෙ සමත්වීම සුවිශේෂි විය. ප්‍රජාතන්ත්‍රවාදයට එක්වීමට සෝමවංශ තැබූ පළමු ප්‍රයත්නයද එය විය. ටිල්වින් සිල්වා 1994 නිදහස් වීමෙන් පසු පූර්ණකාලීනව යළිත් එක්වූ අතර තංගල්ලේදී 1995දී විශේෂ සමුළුවක් පවත්වා ටිල්වින් සිල්වා ලේකම් ධූරයට පත්කරන ලදී. ජවිපෙ නීත්‍යානුකූල අයිතිය තහවුරු කරගැනීමටද නායක සෝමවංශ සමත්වූ අතර කථිකාචාර්ය කමල් කරුණාදාස සහ විජේවීරගේ වෛද්‍ය මස්සිනා වන චන්ද්‍රා ප‍්‍රනාන්දු ඇතුළු පිරිසක් ජවිපෙ නිල අයිතිය ලබාගැනීමට ජවිපෙ විරෝධීන් සහ එජාප ආණ්ඩුවේ පිරිසක් සමඟ එක්ව කල කුමන්ත්‍රණයක්ද ඒ සමඟ පරාජයට පත්විය. ජවිපෙ යළි කරළියට එන 1995 තංගල්ලේ සමුළුව පැවැත්වීමට පෙර එහි කණ්ඩායම්වාදයක් ගොඩනැගී තිබිණ අතර එයද වාෂ්ප කෙරිණි.

සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යයට ගිය දරු පවුලක් පෞද්ගලික ජීවිතය ගොඩනඟා ගෙන යහතින් ජීවත්වීමට හැකියාව තිබියදී නිහඬව සිටිය හැකි වුවද දිගු කලකට පසු සෝමවංශ ශ්‍රී ලංකාවට 2002දී පැමිණියේය. ඔහු එසේ පැමිණීමට ප්‍රමාද වූයේ දෙහිවල සත්වඋද්‍යානයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය කල 1988 පෙබරවාරි සිට පූර්ණකාලීනයෙකුවූ මාතරගේ දොන් ආරියදාස ජවිපෙට අයත් බොරලැස්ගමුව නිවසකදී අත්අඩංගුවට ගැනීමෙන් පසු දෙනු ලැබූ සාක්කියක් අනුවය. එහිදී ආරියදාස මහාධිකරණ විනිසුරු එෆ්.ඩී.එන් ජයසූරිය විසින් 1992දී බරපතල වැඩ ඇතිව වසර 2ක සිර දඬුවමක් පනවා එය වසර 10කට අත්හිටුවන ලදි. එම නෛතික ක්‍රියාමාර්ග අවසානවීමෙන් පසු සෝමවංශගේ පැමිණීම සිදුවිය. එහෙත් බිරිඳ අයිරාංගනිට එකම දරුවා වන පුත්‍රයා සමඟ බ්‍රිතාන්‍යයේ රැදී සිටියේ පුත්‍රයාට කුඩාකල සිදුවූ මානසික ආතතීන් නිසා තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බැවිනි. මෙයට වසර කිහිපයකට පෙර සෝමවංශගේ බිරිඳ මියගිය අතර පුත්‍රයා දැනට සෞඛ්‍ය හේතූන් මත බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටී.

ජනතා විමුක්ති පෙරමුණ තුළ 2005න් පසු වාම ප‍්‍රවණතා දෙකක් මතුපිටින් දිස්විය. ජාතිකවාදී වාම ප‍්‍රවණතාවය මහින්ද රාජපක්ෂට සමාන්තරව නියෝජනය කළේ විමල් වීරවංශය.ජවිපෙන් මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සමඟ වීරවංශ 2008 අප්‍රේල් 8වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කොට ජවිපෙන් ඉවත් විය. අතිවාදී වාම ප‍්‍රවණතාවය ජවිපෙ 2වැනි කැරැල්ලට සමාන්තරව නියෝජනය කළේ ප්‍රේමකුමාර් ගුණරත්නම් ඇතුළු පිරිසකි. සභාග දේශපාලනයට එරෙහිව ප්‍රේමකුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් යුත් ප්‍රබල ක්‍රියාකාරින් පිරිසක් 2012 අප්‍රේල් මස ජවිපෙන් ඉවත්වී පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහි කළේය. අද ජවිපෙ නියෝජනය කරන්නේ එම ප‍්‍රවණතා දෙකම නොව එජාප ආණ්ඩුවට හිතවාදී ප්‍රවණතාවයකි. සෝමවංශ මෙම ප්‍රවණතාවයන් දෙක බිදී යාමේදී අනුගමනය කල ක්‍රියාමාර්ගය දේශපාලන විචාරකයින්ගේ කුකුසට ලක්වූවකි.

සෝමවංශ අමරසිංහගේ විශිෂ්ඨතම ලක්ෂණය වූයේ ජවිපෙ නායකයෙකුව සිටියද වෙනත් නායකයින් මෙන් ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට රිංගා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ පසුව ඇමතිවරයෙක් වීමට තැත් නොකිරීමය. ඔහු තමන් ඇදහූ ප්‍රතිපත්තිය වෙනුවෙන් ජීවත්වූ මිනිසෙකි. දේශපාලනය උලා කා සැප නොවිදි සරල මිනිසෙකි. ලාංකීය විප්ලවීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ ඔහුගේ වසර 73ක ජීවිත කාලයෙන් වසර 46ක් කැපකලේ ජවිපෙ පූර්ණකාලීනයෙකු වශයෙනි. ජවිපෙ මුලිනුපුටා දමා ‘මැච් එක ඕවර්’ යැයි 1989 නොවැම්බර් 13වැනිදා වහසි බස් දෙඩු එජාප ආණ්ඩුවේ පුරසාරම පුස්සක් බවට පත්කළේ සෝමවංශගේ මැදිහත්වීමෙන් බව අවිවාදිතය. ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි දුෂ්කර මාර්ගය හරහා 1994දී ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ හරහා මහ මැතිවරණයට අවතීර්ණ විය. පසුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 39ක් දිනා ගැනීමට පවා ජවිපෙ සමත් විය. මර්ධනය නිසාවෙන් බිමට සමතලාවූ පක්ෂයක ඉතිරිවූ සුන්බුන් අතරින් හිතවතුන් එක්කර ජවිපෙට යළි ප්‍රාණ වායුව ලබාදීමේ ගෞරවය සෝමවංශට හිමිය. ඔහුගේ ජීවිතයේ සුන්දර හිතුවක්කාරි ස්වභාවය ගතින් වයසට යද්දී පක්ෂය සාම්ප්‍රදායිකව කරපිංචා න්‍යායෙන් සැලකුවද ඔහු කල කාර්යභාරය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂි පරිච්ඡේදයකි. ජවිපෙ ඉතිහාස කථාවේ සෝමවංශ සලකුණ ජවිපෙට එලියදී නිවී ගිය රතු ලකුණකි. සෝමවංශ රඟපෑ භූමිකාව පිළිබදව විවිධාකාර විවේචන පැවතියද ජනතා විමුක්ති පෙරමුණට යළි පණ ලබාදීමේදී ඔහු පසුබිම ඇති කථාව මෙයයි. එය සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා අරගල දෙකක් මගින් ක්‍රියාකාරිවූ සහ ඒවෙනුවෙන් අනේක විධ කැපකිරීම් කල දුක්ගැහැට විදි මිනිසෙකුගේද කථාවයි.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com