ඉණ පටියට ගත්ත ණයා
-නිර්මල කොතලාවල-
හෙලෝ... සුන්දර නිහතමානීද මෙල් මහත්තයාද?
ඔව්. කතාකරනවා.
මම කළුතරින් නිර්මල කියලා කෙනෙක්. ඔබතුමාගේ පරණ තීරු ලිපියක් ගැන විස්තර හොයාගන්න ඕන වෙලයි කතා කළේ.
ඒ මොහොතේම රටම දන්න මානි ටික දෙනක් දන්න මම කියන්නේ කවුද කියලා හඳුනා ගන්නවා. මට අවශ්‍ය වලා තිබුණේ යුද්දේ දින්න දවස්වල මානිගේ තීරුව තුල ලියපු පරණ ලිපියක්. එකේ තිබුණේ ප්‍රභාකරන් මරා දමපු එක මහ ජරා වැඩක් කියලා අවුරුදු 25 කට පස්සේ හිතන මිනිස්සු ගැන. මම විස්තරේ කිව්වට පස්සේ වචනයේ පරිසමාප්තයෙන්ම සුන්දර නිහතමානී මට ඊ මේල් එකක් එවනවා.
කඩ ඉරකින් දැන් මේ තීරු ලිපිය වෙන්වෙනවා. 9 වන මහලින් පහලට කියන තීරු ලිපිය තුල ඔබ මෙතැන් සිට කියවන්නේ මානිගේ තීරු ලිපියේ තිබුණ වැදගත්ම කොටස. ලංකාදීප පත්තරයේ සංහිඳියාව වැදගත් වෙන්නේ මෙන්න මෙතැනට.
අසල්වැසියා තම ගේට්ටුව ලඟ සිටිනු දකින තරුණ සැමියා වහාම ගෙට රිංගයි.
“ඩාලිං අර අල්ලපු ගෙදර ආමි අංකල් ආවොත් මම ගෙදර නැහැයි කියන්න.” ඔහු සිය බිරිඳට කියා සිටියි.
“අනේ ඇයි ඔයා ඒ වයසක මනුස්සයව මඟ අරින්නේ, අපේ තාත්තගෙත් යාළුවෙක්නෙ.” තරුණ බිරිඳ සැමියාට කියයි.
“අයියෝ එයාගෙ බෝරිං යුද්ධ කතා අහගෙන ඉඳලා මට එපා වෙලා තින්නේ.” සැමියා බිරිඳට කියා සිටියි. “ඒ කාලයේ උතරු නැගෙනහිර හිටපු ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියාව එයා වෙඩි තියල මරපු විස්තරේ විතරක් මට දැන් විසි පාරකට වඩා කියල ඇති.”
“පව් අහිංසකයා” බිරිඳ කියයි.
“තමන් මිනිහෙක්ව මරල දාපු කතන්දරේ හැමදාමත් තියන මනුස්සයා අහිංසකයෙක් වෙන්නෙ කොහොමද ඩාලිං.
මිනිහා කොච්චර නරක මනුස්සයෙක් වෙන්න ඕනද ඔය කතාව පුන පුනා කියන්නෙ. මං හිතුවෙ මං ඒ වගේ මිනිහෙක්ම මඟ අරිනවට ඔයා කැමති වෙයි කියලා.”
යුද්ධය පසුබිම් කරගෙන තැණුනු සිංහල චිත්‍රපටියක් මාතර සිනමා ශාලාවක ප්‍රදර්ශනය වෙයි. චිත්‍රපටිය අවසානයේ ත්‍රස්තවාදියා හමුදාවට කොටු වී කර කියා ගන්නට දෙයක් නොමැතිව වට පිට බලයි. සිනමා ලෝලියෝ උඩට ගත් හුස්ම පහලට නොගෙන කුමකින් කුමක් සිදුවේදැයි බලා සිටිති. අවසානයේ ත්‍රස්තවාදිය හමුදාවට හසු නොවී බෙල්ලේ එල්ලා තිබූ සයනයිඩ් කරල කා මිය යයි. සිනමා ලෝලියෝ සිය අසුන් වලින් නැගිට සිට අත්පුටි ගසයි. සමහරු කටට ඇඟිලි දමා විසිල් කරති.
විනෝද ගමන යන බසය නතර කර ඉන් පැමිණි විශ්ව විද්‍යාල සිසු පිරිස බසිති. ඔවුහු පාර අයිනේ ඉදි කර ඇති කුළුනක් නරඹන්නට වෙති. සමහරු එය පසුබිමට ගෙන ඡායාරූප වලට පෙනී සිටිති. “අවුරුදු විසි පහකට කලින් මෙතන මහා යුද්ධ භූමියක් වෙලයි තිබුණේ.” ඉතිහාසය මහාචාර්යවරයා සිය සිසුන්ට විස්තර කරයි. “හමුදාවෙ තිස්දාහක් විතර අන්තිම කැරළිකාරයො තුන්සීය විතර වටකරගෙන හිටියා කියන්නෙ මෙතනයි.”
“තිස්දාහක් එක්ක තුන්සීයක්?” සරසවි සිසු සිසුවියෝ විශ්මය පළකරති. “ඒක අමන සටනක්නෙ!” “ඒ අන්තිම තුන්සීයෙ එක්කෙනෙක් අන්තිම හුස්ම යන්න කලින් හමුදා සෙබළෙකුට අන්තිමට කියපු කතාව ඒ සෙබලාගෙන්ම ඒ කාලෙ මට අහන්න ලැබුණා.” මහාචාර්යවරයා කියා සිටියි. “මිනිහ කිව්වලු තව අවුරුදු විසි පහක් ගියාම තොපේ එවුන්ට වීරයො වෙන්‍නෙ අපි වෙන්නත් බැරි නෑ බොලව් කියලා.”
කරුණාකර මේ මානිගෙ තීරුව සුරැකිව තබාගෙන අවුරුදු විසි පහකට පසු එය නැවත කියවා බලන්න. මා අද ලියූ දේ ගැන එදාට ඔබට කියන්නට දෙයක් තිබුණොත් එය මගේ පුතාට ලියා එවන්න.
උපුටා ගැනීම අවසන්ය.
මානි යෝජනා කරන්නේ අවුරුදු විසි පහකට පසුව මෙය කියවා බලන ලෙසය. මම යෝජනා කරන්නේ හත් වන යුධ සමරුව සමරපු 2016 මැයි 19 වන දායින් පසු ඕනෑම දිනක මෙය නැවත කියවා බැලිය යුතු බවය.
මෙම ආණ්ඩුව ගෙන යනු ලබන සංහිඳියාව ඇත්තටම හොඳය. පවුලක උනත් සංහිඳියාවක් නැති වුණාම ගෙදර ගෑණි කොස්ස ගන්න කොට මිහිනා ගන්නෙ උදැල්ලය. මේ ආණ්ඩුව කතාකරන සංහිඳියාවත් හොඳ වෙන්නේ දෙපැත්තම එක වගේ හිතනවා නම් ය. මෙතන නොවෙන්නෙත් ඔය දේමය.
පාර්ලිමේන්තුවේදී එස්. බී. දිසානායක ඇමතිතුමා විජයකලා මහේෂ්වරී ඇමතිතුමාගෙන්, ඔබේ මිනිහ මරපු ප්‍රභාකරන් ජාතික වීරයෙක් වෙන්නේ කොහොමද කියා අහන්නේ මෙන්න මේ නිසාය. ආණ්ඩුව විසින් දකුණේ මිනිස්සුන්ට පුන පුනා කියන්නේ එකම එක දෙයකි. ඒ මේ යුද්ධය තමන්ගේම සහෝදර ජනතාවකට එරෙහිම කරපු එකක් කියාය. අන්න ඒ නිසා මේකේ සැමරුමක් අවශ්‍ය නෑ කියාය. හැබැයි කරුමෙට උතුරේ පාර්ලිමේන්තු නියෝජිතයින් තමන්ගේ පරාජය වෙනුවෙන් කරන්නේ පහන් පත්තු කරන එකය.
අපි කියන්නේ පට්ට ලොකු කතාය. උදාහරණයට ගන්නේ දකුණු අප්‍රිකානු සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසන් සභා වාර්ථාය. හැබැයි සංහිඳියාව හදන්න කියා මේ විදියට නිවට විදියට ඉන්න ගියොත් හෙට අනිද්දා වෙන්නේ අර සිල් ගත්ත නයාට වෙච්ච දේය. එහෙම වුණොත් අන්තිමට වෙන්නේ දර මිටිය බැඳීමට නොව ඉන පටිය බැඳීමට අපිව ගන්න එකය. සංහිඳියාවට කැපකිරීම් අවශ්‍ය වෙන්නේ දෙපැත්තෙන්මය. උතුරේ කඳවුරු වලට බලෙන් ඇතුළු වී ඇතිකරන්න පුළුවන් සංහිඳියාවක් නැත. මේ සංහිඳියාව සම්බන්ධයෙන් මීට පෙරද උදාහරණ ඇත. 2005- 2006 සාම සාකච්ඡා තුලදී ද තිබුණේ මේ වගේ ඒක පාර්ශවීය සංහිඳියාවක්ය. තව දුරටත් අවශ්‍ය නොවන්නේ අන්න ඒ වගේ එකඟතාවයන්ය.
මේ දේවල් නැවත වතාවක් සිතා බැලිය යුත්තේ මෙන්න මේ නිසාය. නම්‍යශීලී විය යුතුය. හැබැයි නම්‍යශීලී වෙන්න කියා දෙකට නැමිය යුතු නැත. මේ නැවෙන විදියට නැවෙන්න ගියොත් ඉස්සෙල්ලාම නැති වෙන්නේ පස්ස පැත්තය. ඊට පස්සේ නැති වෙන්නේ රටේ කොන්දය.
සැ.යු:- මේ මොහොතේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සැපත්වී සිටින ශ්‍රී ශ්‍රී රවි ශන්කර් පූජකතුමාගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට සංහිඳියාව පිළිබඳව තවදුරටත් විස්තර ලබාගත හැකිය.
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .